ඩෙංගු හා උන වසංගතය පැතිරීම සෞඛ්‍ය සේවයේ ඛාදනය පෙන්නුම් කරයි
රොහාන්ත ද සිල්වා විසිනි, 2017 අප්‍රේල් 17
ෙඅප්රේල් 1දා කින්නියා මහ රෝහලට ගිය ජනාධිපති සිරිසේන රෝහලේ ධාරිතාව වැඩි කිරීමට තමන් මැදිහත් වන බව එහි කාර්ය මන්ඩලයට පොරොන්දු විය. ප‍්‍රදේශයේ පුල්ල්ව පැතිර යන ඩෙංගු රෝගයට හා ඉන්ෆ්ලූවන්සා වෛරසයට ගොදුරුවූවන්ට මූලික සෞඛ්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථානයක් වන මෙහි පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් සේවකයන් ගෙන ගිය දවස් හතරක වර්ජනය අවසන් කර දැමීමත්, වසංගත තත්වයකට පත්ව ඇති රෝගය පැතිරයාම වැලැක්වීම සහ ඉන් පීඩා විඳින ප‍්‍රදේශවාසී මහජනතාවට අවශ්‍ය ක්ෂනික සෞඛ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආන්ඩුවේ නොතකා හැරීමට එරෙහිව වැඩෙන විරුද්ධත්වය සමනය කිරීමත් සිරිසේනගේ මැදිහත්වීමේ මූලික අභිප‍්‍රාය විය.
ත‍්‍රීකුනාමලයේ පැවති යොවුන්පුර උත්සවයට යන අතරමග, පොදු ජනයා සුභ සාධනය ගැන තමනට පවතින දැඩි උනන්දුව මේ තරම් යයි මවාපෑමට, අතරමගදී කඩා පාත් වූව ද, ඩෙංගු අර්බුදයක් ලෙස වර්ධනය වන තෙක් බලා සිටීමම පෙන්නුම් කරන්නේ සාමාන්‍ය මහජනතාව සම්බන්ධයෙන් සිරිසේනට ඇති පිලිකුල ය.
මීට මාස කිහිපයට පෙර, ජනවාරි 31 දා, ජාතික දන්ත රෝහලේ උත්සවයකට සහභාගි වෙමින් සිරිසේන මෙවැනිම ප්‍රෝඩාකාරී පොරොන්දුවක් දුන්නේය. “කිසිම බාධාවකින් තොරව රාජ්‍ය සෞඛ්‍ය සේවයක් සම්පාදනය කිරීමට අවශ්‍ය නව පහසුකම් තම රජය මඟින් සැපයීමෙන් නිදහස් සෞඛ්‍ය සේවය වඩාත් ශක්තිමත්” කරන බවට එහිදී ඔහු ශපථ විය.
එහිදී ජනාධිපතිවරයා අවධාරනය කලේ ඩෙංගු මර්දනය සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා දැනට පවතින වැඩ පිලිවෙලවල් වලට අමතරව නව ක‍්‍රියාමාර්ගයන් ආරම්භ කරන බවයි. නමුත් අපට දක්නට ලැබෙන්නේ පසුගිය මාස කීපය තුල ඩෙංගු වසංගතය වැඩි දියුනු වීමයි.
පසුගිය මාර්තු මාසය තුල ශ්‍රී ලංකාව තුල 53 දෙනෙකුු ඩෙංගු රෝගයෙන් මිය ගොස් ඇති අතර හඳුනාගත් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 27,898 දක්වා ඉහල නැග ඇත. කොලඹ, ගම්පහ, කලූතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව, ත‍්‍රීකුනාමලය, යාපනය හා කෑගල්ල දිස්ත‍්‍රික්ක වලින් මේ රෝගීන් හමුව ඇති අතර, වර්ධනය වන අර්බුදය පෙන්නුම් කරමින් ගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම මාර්තුවේදී හමුවූ රෝගීන් සංඛ්‍යාව 2,696 සිට 9,004 දක්වා ඉහල ගොස් ඇත. ඒ හා සමගාමීව ඒඑච්අයිඑන්අයි ඉන්ෆ්ලූවන්සා රෝගීන් ද ලංකාව පුරාම හමුව ඇත.
ඩෙංගු රෝගයට මූලිකව ගොදුරු වී ඇත්තේ නැගෙනහිර ප‍්‍රදේශය වන අතර, ත‍්‍රීකුනාමලය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය කොට්ඨාස හතෙන් ඩෙංගු රෝගීන් 2923ක් වාර්තා වී ඇති බව මාර්තු 27 දින මව්බිම වාර්තා කරයි. සිදුවී ඇති මරන සංඛ්‍යව 15කි.
මහනුවර හා මාතලේ දිස්ත‍්‍රික්කවල අප්‍රේල් 2දා වන විට ඒඑන්වන්එච්වන් ලෙස හඳුනාගෙන ඇති වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් පිලිවෙලින් 12ක් හා 5ක් මියගොස් ඇති බව වාර්තා වේ. මොවුන් අතර ගැබිනි මාතාවන් දෙදෙනෙකුද සිටියි. නුවරඑලිය ප‍්‍රදේශයෙන් ද මෙම රෝගයට ගොදුරුවූවන් ප‍්‍රතිකාර ගෙන ඇති බව වාර්තා වේ.
ඩෙංගු රෝගය වැලඳුන විට, සාමාන්‍යයෙන් දින 2ත් 5ත් අතර කාලයක් විජලනය පවතින අතර ඒ කාලය තුල රුධිර පීඩනය වේගයෙන් පහල බසියි. මේ නිසා ඇතිවන ‘කම්පන තත්වයට’ පත්වීමෙන් රෝගියා මිය යයි. රුධිර පීඩනය මනාව පවත්වාගැනීමට සේලයින් ලබාදිය යුතු අතර එය මනාව කලමනාකරන කල යුතුය.
උන, ඇඟපත වේදනාව, කිවිසුම් යාම, සොටුදියර ගැලීම, හිසරදය වැනි රෝග ලක්ෂන මෙම රෝගයන් හි පොදු ලක්ෂනයන් වේ. ඩෙංගු වලට සමානව රුධිර පට්ටිකාවල අඩුවක් මේ රෝග වැලඳුනවුන්ගේ රුධිර පරීක්ෂා කිරීමේදී දක්නට හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
වාර්ෂිකව වසංගතයක් ලෙස ඩෙංගු පැතිර යන නමුත් එක්සත් ජාතික පක්ෂ - ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පෙරමුනු ආන්ඩුව හෝ ඊට පෙර පැවති ආන්ඩු ඒ වැලැක්වීම සඳහා කිසිම විධිමත් ක‍්‍රියාමාර්ගයක් අනුගමනය නොකල අතර මාධ්‍ය සමඟ එකමුතුව මහජනයාට වරද පවරයි.
දිවයින පුරා පැතීරි යන වසංගතයක් ලෙස ඩෙංගු හා ඒඑන්වන්එච්වන් ඉන්ෆ්ලූවන්සාව පැතිරීයාම පෙන්නුම් කරනුයේ රාජ්‍ය වියදම් කප්පාදුව හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ හා වංසගත පැතිරීමේ සේවාවල දිගුකාලීනව ඇති වී තිබෙන ඛාදනයයි. සෞඛ්‍ය සඳහා ගිය වසරේ වෙන්කල මුදල වන රුපියල් බිලියන 174, මේ වසර වන විට බිලියන 13 කින් කපා දමා ඇත.
ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂ ධුරය වසර දොලහක් දැරූ මහාචාර්ය තිස්ස විතාරන පසුගිය මාර්තු 27 දා ලක්බිම පත‍්‍රයට සඳහන් කරන ලද්දේ අද එම ආයතනයේ සිටින්නේ එක් “වැඩබලන කීට විද්‍යාඥයෙකු” පමනක් බවත් ඉන් ලංකාව ආවරනය කල නොහැකි බවත් ය.
මෙය වර්තමාන එක්සත් ජාතික පක්ෂ - ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවේ පමනක් නොව, විතාරනද ඇමතිවරයෙකු ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ කලින් පැවති ආන්ඩුවේ ද කප්පාදුවල ප‍්‍රතිඵලයකි.
වර්ධනය වන මෙම තත්වයට ආන්ඩුවේ ප‍්‍රතිචාරය වී ඇත්තේ මහජනතාව මතට වගකීම කඩා පාත් කර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමයි. නැගෙනහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුව ත‍්‍රිකුනාමල දිස්ත‍්‍රික්කයේ මදුරු මර්දන සතියේ දින හතරක ක‍්‍රියාත්මක කල පරික්ෂාවේදී නිවාස 792කට නොතීසි නිකුත් කර 169කට නඩු පැවරීමට කටයුතු කර ඇත.
පේරාදෙනිය සරසවි සිසුන් අතර ද මෙම රෝගය පැතිර යමින් පැවති තතු තුල එය අප්‍රේල් 4 දා දහවල් 12සිට වසාදමා සියලු නේවාසික සිසුන් ඉවත් කොට ඇත. එහි උපකුලපතිට අනුව සිසුන් අටකට එක් අයෙක් මේ වෛරස් උන රෝගයට නිරාවරනය වී ඇත. අප්‍රේල් 2 හා 3 යන දිනයන්හි සිසුන් 700ක් හා 500 ක් වශයෙන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයට පැමින ඇත.
එහි අවශ්‍ය පරීක්ෂන සිදු නොකෙරෙන අතර යම් බෙහෙතක් ලබාදීමෙන් පසුව සිසුන් අසල පිහිටි පේරාදෙනිය හා මහනුවර රෝහල් වෙත යොමු කෙරේ. දැනට පේරාදෙනිය ශික්ෂන රෝහලෙහි ඩෙංඟු ලෙස හඳුනාගත් සිසුන් දෙදෙනෙකු හා උන රෝගයට ගොදුරුවූ කිහිප දෙනෙකුු සිටින බව වාර්තා වෙයි. මීට පෙර රුහුනු විශ්ව විද්‍යලයේ පීඨ දෙකක්ද මේ වසංගතය නිසා වසා දැමුනි.
පාලක ආන්ඩුව හා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් විසින් මෙය ස්වභාවික ආපදාවක් ලෙස නම්කලත්, ඩෙංගු පැතිරීමට බලපානු ලබන එක් මූලික කාරනාවක් වන්නේ අවිධිමත් නාගරික කරනයයි. ධනපති ක‍්‍රමයේ අර්බුදයක් ලෙස පැතිරෙන දුප්පත්කම හා මූලික සනීපාරක්ෂක පහසුකම් වල අඩුව ද මේ සඳහා බලපායි. අවම සනීපාරක්ෂක පහසුකම්, ආන්ඩුවේ අකාර්යක්ෂම රෝග වැලැක්වීමේ පියවර හා සෞඛ්‍ය සේවාවේ කප්පාදු ද මෙයට බලපායි.
පලාත් පාලන ආයතන හා නගර සභා මීට මූලිකව වග කිව යුතුය. මෙම ආයතන මගින් නිවෙස් වලින් බැහැර කරන අපද්‍රව්‍යද ඇතුලු අනෙකුත් ඉවත ලන දෑ එකතු කරන විශාල කසල රැස් කිරීමේ මධ්‍යස්ථාන ජනාකීර්න ප‍්‍රදේශ අසල පවත්වාගෙන යයි. එක තැන පල් වන කානු පිලිසකර කිරීමටත් ජලය පල් වන පහත් බිම් හා අප ජලය එක්වන ස්ථාන පිලිසකර කිරීමටත් මෙම ආයතන අසමත්ව ඇත.
මෙහි මූලික එකක් වන්නේ මිනිස් ජීවිත බිලි ගනිමින් පසුගිය 14 දා නායගිය කොලොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ පිහිටා ඇති කුනු කන්දයි. කොලඹ මහනගර සභාව හා කොලොන්නාව නගර සභාව මගින් කිසිදු කලමනාකරනයකින් තොරව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් බිහිවී ඇති මෙම කසල කන්ද, එම ප‍්‍රදේශවාසීන්ට පමනක් නොව මුලුමහත් කොලඹ ප‍්‍රදේශයටම දැවැන්ත, සෞඛ්‍ය හා පාරිසරික තර්ජනයක් වෙයි.
1989 සිට එක දිගට වසංගතයක් ලෙස ඩෙංගු පැතිර යන මුත්, වත්මන් ආන්ඩුව හෝ ඊට පෙර පැවති ආන්ඩු ඒ වැලැක්වීමට කවර හෝ ක‍්‍රමවත් වැඩ පිලිවෙලක් අනුගමනය නොකිරීමෙන් පෙන්නුම් කරනුයේ ක‍්‍රමවත් සෞඛ්‍ය වැඩපිලිවෙලක් මහජනතාව වෙත සම්පාදනය කිරීමට පාලක ප‍්‍රභූව දක්වන අසමත්කම හා මහජනතාව සම්බන්ධයෙන් ඔවුනට ඇති බරපතල නොතැකීමයි.
Follow us on