කටුනායක පොලිස් ප්‍රහාරය පිලිබඳ කොමිසන් වාර්තාව රාජපක්ෂ ආන්ඩුව වගකීමෙන් නිදහස් කරයි
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2017 අගෝස්තු 7
වසර හයක් යට ගසා තිබු කටුනායක නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය පිලිබඳව විමසීමට පත්කල කොමිසන් සභාවේ වාර්තාව ඉන් මියගිය රොෂාන් චානකගේ පවුලේ අයට මෑත දී බාර දී ඇත. මහින්ද රාජපක්ෂ ආන්ඩුව ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනතට විරුද්ධව 2011 මැයි මාසයේ 30 වෙනිදා උද්ඝෝෂනයේ යෙදුන නිරායුධ නිවෙක කම්කරුවන්ට සන්නද්ධ පොලීසිය විසින් මෘග ලෙස පහර දුන්නේය. තරුන කම්කරුවෙකු වූ චානක එහිදී වෙඩිතැබීමෙන් මියගිය අතර තවත් සිය ගනනක් තුවාල ලැබුහ.
ප්‍රහාරය පිලිබඳව කම්කරු පන්තියෙන් හා මහජනතාවගෙන් මතු වූ පුලුල් විරුද්ධත්වය මධ්‍යයේ එය සමනය කිරීම සඳහා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිද්ධිය ගැන පරීක්ෂාකර වාර්තා කිරීමට විශ්‍රාම ලත් විනිසුරුවරයෙකු වූ මහානාම තිලකරත්නගේ ඒක පුද්ගල කොමිසම පත් කරන ලදී. එහෙත්, රාජපක්ෂ ආන්ඩුව වාර්තාව අවසන් කර තමන් වෙත ලබා දුන්නද එය ප්‍රසිද්ධ කලේ නැත.
වර්තමාන ජනාධිපති සිරිසේනගේ ආන්ඩුව අවුරුදු දෙකක් කල්මරා වාර්තාව නිකුත් කලේ නිවෙක කම්කරුවන්ගේ හා චානකගේ පවුලේ අයගේ අඛන්ඩ උද්ඝෝෂනයක හා මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ ප්රජාතන්ත්රවාදී මවාපෑම් වඩ වඩාත් එලිදරව් වෙන කොන්දේසි තුල ය.
වාර්තාවෙන් පොලීසියේ නීති විරෝධී හා ප්රකෝපකාරී ක්‍රියා එලිදරව් වී ඇත. ප්‍රහාරයේ දී පොලීසිය දන්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය, පොලිස් ආඥා පනත හා රටේ ව්‍යවස්ථාව ම ත් උල්ලංඝනය කර ඇතැයි වාර්තාව කියයි. පොලීසියේ බහුතරයක් නිල අංක රහිතව සිටි බවත්, නිවෙක කම්කරුවන් තමන් ට පලමුව ගල් ගැසූ බවට නගා ඇති චෝදනා ද පොලීසියේ ප්රචන්ඩ ක්‍රියා යුක්ති යුත්ක්ත කිරීම පිනිස ගෙතු කතන්දර සහ අසත්‍ය ප්‍රකාශ බව ද එහි සඳහන් කර තිබේ.
මැයි 24 වෙනිදා කොලඹ-හලාවත මාර්ගයේ කටුනායක 18 කනුව අසල විශ්‍රාම වැටුප් පනතට විරුද්ධව පැවති නිවෙක කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂනයෙන් පසු “එවන් නීතිවිරෝධී ක්‍රියාවන් මින් මතු නො ඉවසන” බවට එවකට පොලිස්පති මහින්ද බාලසුරිය විසින් නිකුත් කල තර්ජනාත්මක නිවේදනයක් වාර්තාව උපුටා දක්වයි. 24 වෙනිදා සිට පොලීසියේ හැසිරීම කම්කරුවන් “කුපිත කිරීමට” තුඩුදුන් බව ද වාර්තාව අවධාරනය කරයි. කෙසේ නමුත් වාර්තාවෙන් සනාථ කෙරෙන්නේ පොලිස් ප්රකෝපකිරීම් හා පහරදීම් පූර්ව සුදානම් කිරීමකින් ක්‍රියාවට දැමු බවයි.
කොමිසම කම්කරුවන්, කර්මාන්ත ශාලා ආරක්ෂකයන් හා පොලිස් නිලධාරීන්ගෙන් සටහන් කර ගෙන ඇති සාක්ෂි ඉතා සීමිතය. කොමිෂන් සභාව සිද්ධිය ඇසින් දුටු හා ප්‍රහාරයෙන් බේරී පලායාමට කම්කරුවන්ට උපකාර කල ප්‍රදේශවාසීන්ගෙන් කිසිදු සාක්ෂියක් සටහන් කරගෙන නැත. රොෂාන් චානකගේ මරනය හෝ ප්‍රහාරයෙන් බරපතල තුවාල සිදුවූවන් සම්බන්ධ අධිකරන වෛද්‍ය වාර්තා උපුටා දැක්වීමක් හෝ ඒවා පරීක්ෂා කල බවක් ද වාර්තාවේ සඳහන් නොවේ.
කෙසේ නමුත් පොලීසිය කාන්තා කම්කරුවන්, ගැබිනියන් ඇතුලු නිරායුධ කම්කරුවන්ට, කර්මාන්ත ශාලා වලින් පිටත දී සහ කර්මාන්ත ශාලා තුලට බලහත් කාරයෙන් කඩා වැදී අමානුෂික ලෙස පහර දුන් බව කොමිසම පිලිගෙන ඇත. ගල් ප්‍රහාර, කඳුලු ගෑස් සහ වෙඩි තැබීම් සිදු වූ බව හා සමහර අයගේ රත්රන් චෙන්, මුදල් පසුම්බි උදුරා ගත් බවත් , මෝටර් බයිසිකල් වලට පොලුවලින් පහර දී අලාබහානි කල බවත් වාර්තාවේ සඳහන් වේ.
නොරාටෙල් ආයතනයේ පොටෝ ටයිප් සේවිකාවක් වූ ඩබ්ලිව්. එම්. ඉන්ද්‍රානි සාක්ෂි දෙමින් සිද්ධිය වූ දින (මැයි 30) කම්හලේ ප්‍රධාන ගේට්ටුව අසල ඇතුලත නොරාටෙල් සහ තවත් කම්කහල්වල කම්කරුවන් විශාල සංඛ්‍යාවක් රැස්වී සිටි බවත් සවස 3.00 පමන ඇතුලට කඩා වැදුනුු පොලීසිය ඔවුන්ට පහර දුන් බවත් කියා ඇත.
“සවස තුනට පමන පොලීසියේ අය අප පැක්ටරිය අසලට ආවා. ඔවුන් අත යකඩ පොලු, ලී පොලු, දම්වැල්, බැටන්, ඇන ගහපු රීප්ප ආදිය තිබුනා”
“පසුව පොලීසිය ඇතුලට පැමින අපට පහර දෙන්න පටන් ගත්තා කිසි ඉවක් බවක් නැතිව. කුනුහරුප කියමින් Pregnant(ගර්භනී) අයටත් පයින් ගැහැව්වා. කවුරුත් හිටියේ නිල ඇඳුමින්. බොහෝ අයගේ සේවා අංක නිල ඇඳුමේ තිබුනේ නැහැ. මගේ ඔලුවට බැටන් පොලු පහර දෙකක් වැදුන. දකුනු අතටත් පහර දුන්න (වැලමිටෙන් පහලට)”
“ඇතුලෙදි ගහන්න එපා කියද්දීත් ගැහුවා. පිරිමි ලමයින්ගේ ඔලු පැලුව. දකින දකින අයට ගැහැව්වා” (පිටු අංක 50)
නොරාටෙල් ආයතනයේ ටී.එම්. සෙනරත් රාජපක්ෂ (36) සාක්ෂි දෙමින් මෙසේ සඳහන් කලේය: “අපේ ආයතනය ඉදිරිපිට සිටියදී අපේ සේවකයින් කිහිප දෙනෙකුටත් වෙඩි වැදුනු බව අපිට ආරංචි වුනා. ඉන් අයෙක් ධම්මික බව මා පසුව දැනගත්තා. වෙඩි හඬ මට ඇසුනා. එය පැය දෙකක් විතර කඩින් කඩ ඇහුනා.”
“මට වැදුනු යකඩ පොලු පහර හා ලී පොලු පහර වලින් මගේ වම් අතේ සුලැඟිල්ලට පහලින් තුවාල වුනා. ඇඟිල්ලේ ඇට කැඩිලා බව මා පසුව දැන ගත්තා. ඔලුවට දුන්න පහර වැලැක්වීමේ දී එය මගේ අතට වැදුන. ඔලුවටත් පිටටත් පහර වැදුන. (දකුනු අතේ මැනික් කටුව අසලින් අඟල් තුනක පමන තුවාලයක් පෙන්වයි). එය 2x2 පොල්ලකින් ගැසූ බව මට හිතෙනවා. මේ සියලුම පහරදීම් සිදුවුනේ ආයතන භූමිය තුලදියි. මගේ බෙල්ලේ තිබු පවුම් 11/2 චේන් එක කැඩුව. එය කඩා නිල ඇඳුමින් සිටි පොලීසියේ අයෙක් සාක්කුවේ දා ගත්තා මා දැක්ක....” (පිටු අංක 68)
මිර්රායි ආයතනයේ ඩබ්ලිව්. දිල්රුක්ෂි (17) සාක්ෂි දෙමින්:“මා වැඩට ඇවිත් සති දෙකයි. මා මේ උද්ඝෝෂනවලට සහභාගී වුනේ නැහැ. සවස කලබල ඇතිවුන නිසා අපි එලියට පැන ගන්න උත්සාහ කලා. අපි එලියට යන්න ගියේ පොලීසිය පැත්තේ ගේට්ටුවෙන්. අපි ඉස්සරහට යනකොට වෙඩි වැදිලා රොෂාන් අයියා බිම වැටෙනවා දැක්කා. නමුත් මා ඔහුව කලින් අඳුනන්නේ නැහැ. ලේ පෙරාගෙන තුවාල වී සිටි එයත් ඔසවාගෙන අපි එයා වැඩ කරන ෆැක්ටරියට ගෙන ගියා. එහෙම වෙඩි වැදුනේ Crystal සහ Mas ෆැක්ටරි දෙක අතරේ මහ පාරේ. ඔහුට වෙඩි වැදුනේ අඩි 25 ක් විතර දුරින් කියල හිතෙනවා. රබර් උන්ඩවලිනුත් වෙඩි තිබ්බ. කීප දෙනෙකුට වැදුන. පොලීසියේ 90-100 ක් පමන හිටිය.
අපි තුවාලකාරයා සර් කෙනෙකුගේ කාර් එකකට දමා ගත්ත. ඒත් පොලීසියෙන් ඒ කාර් එකට යකඩ පොලුවලින් ගසා වීදුරු කුඩු කලා. රෝහලට ගෙනයාමට ප්‍රමාද වුනා.”(පිටු අංක 71)
වාර්තාව ප්‍රහාරය සම්බන්ධයෙන් හුදෙක් පොලීසිය මත වරද පටවා ඊට අනදුන් හා ඊට සාකල්‍යයෙන් ම වගකිවයුතු ධනපති ආන්ඩුව කොක්කෙන් මුදා හරියි.
“ආන්ඩුවේ, ජනාධිපතිගේ, රටේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා සිද්ධිය අවස්ථාවේ සිටි සියලුම ඉහල පොලිස් නිලධාරීන් හා ඊට සම්බන්ධ සෙසු පොලිස් නිලධාරීන් ට විරුද්ධව ඔවුන්ගේ තරාතිරම නොතකා කටයුතු කල යුතු” බව වාර්තාවේ නිගමනවල දී ඉදිරිපත් කර ඇත.
“සමහර කම්කරුවන් ප්‍රකාශ කල ආකාරයට සහ ගම තුල සහ බුද්ධිමතුන් අතර පවතින සාමාන්‍ය කතාබහට අනුව සිද්ධිය පිටුපසින් සිටියේ ආන්ඩුවයි. මා ඉදිරියේ එවන් සාක්ෂි නැත.”යි කොමිසමේ සභාපති මහානාම තිලකරත්න කියයි.
කොමිසම මෙන් ම නිවෙක සමිති නායකයන් ද ප්‍රහාරයේ වගකීමෙන් ආන්ඩුව නිදහස් කර හොරාගේ අම්මගෙන් පේන අහන ආකාරයට එයින්ම සාධාරන විසඳුම් ඉල්ලා ඇත. “ආන්ඩුව ක්ෂිනිකව මැදිහත් වී මෙහි වරද කරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දී එහි නිර්දෝෂිභාවය සනාත” කරන ලෙස කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් නිදහස් වෙලඳ කලාප සහ පොදු කම්කරු සංගමයේ සම ලේකම් ඇන්තනී මාකස් [රාජපක්ෂ] ආන්ඩුවෙන් ඉල්ලා ඇත. ඉන් ඇඟවුම් කෙරෙන්නේ ධනේශ්වර ආන්ඩුව හා රාජ්‍ය සංස්ථාවන් කෙරෙහි මහජන විශ්වාසය බිඳීයාම කෙරෙහි කොමිසම මෙන්ම සමිති ද කනස්සල්ලෙන් සිටින බවයි.
කටුනායක ප්‍රහාරයෙන් වසර හයක් ගත වී ඇත. අවසාන වශයෙන් සිදුවී ඇත්තේ සීදුව ස්ථානභාර නිලධාරි හා ප්‍රධාන පොලිස් පරීක්ෂක වූ රත්නායක සහ පොලිස් පරීක්ෂක රනසිංහ ප්‍රහාරයේ දඩමීමුන් බවට පත් කරමින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීම පමනි. ප්‍රහාරයට වගකිවයුතු පොලිස්පතිගේ, ඉහල නිලධාරීන්ගේ සහ “දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන හස්තයන්ගේ” පවු ගෙවීමට රත්නායකට සහ රනසිංහට සිදුවී ඇතැයි වාර්තාව කියයි. “අදෘශ්‍යමාන හස්තය” වනාහි ධනේශ්වර ආන්ඩුව මිස අන්කිසිවක් නොවේ.
ප්‍රහාරයෙන් පසු ඉල්ලා අස්වූ පොලිස්පති බාලසූරියට කෘත ගුන සැලකීම් වස්, එක්සත් අරාබි රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් අනතුරුව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශයේ ලේකම් ලෙසත් රාජපක්ෂ ආන්ඩුව විසින් පත් කරන ලදී. සෙසු ඉහල නිලධාරීන් ද එලෙසම නිරුපද්‍රිත ය.
ප්‍රහාරය ආන්ඩුව දැනුවත්ව සුදානම් කල එකකි. පුද්ගලික අංශය සඳහා ඊනියා විශ්‍රාම වැටුප් පනත ගෙනාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික ප්රතිසංස්කරන වල කොටසක් ලෙසය. මෙම ප්‍රෝඩාකාරී පනත කෙරෙහි බරපතල විරෝධයක් කම්කරු පන්තිය තුලින් මතුවිය. නිවෙක කම්කරුවන්ට එරෙහි මෘග ලෙස පොලිසිය කඩාපැන්නවූයේ එම විරුද්ධත්වය තලා දැමීමටය.
නිවෙක පොලිස් මර්දනය හුදකලා සංසිද්ධියක් නොවේ; තෙල් මිල ඉහල දැමීමට එරෙහිව 2012 පෙබරවාරි 15 විරෝධය පෑ හලාවත ධීවරයන්ට වෙඩිතබා ධීවරයෙකු ඝාතනය කල රාජපක්ෂ ආන්ඩුව, බීමට පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල වැලිවේරිය රතුපස්වල ගම්මුන්ට 2013 අගෝස්තු එල්ල කල හමුදා ප්‍රහාරයෙන් සිසුන් දෙනෙකු හා කම්කරුවෙකු මරනයට පත් වුහ.
සමාජ සහ ප්රජාතන්ත්රීය අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාර කෙරෙහි වැඩකරන ජනතාව ප්රමුඛ මහජනතාවගේ විරුද්ධත්වය මැඩීම පිනිස මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව, රාජපක්ෂ පාලනයේ මෘගත්වය පරයා යමින් පොලිස් රාජ්‍ය විධික්රම යොදා ගැනීමට සූදානම් බව කම්කරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ මෑත අරගලවලට එල්ල කල ප්‍රහාරවලින් දැනටමත් ඔප්පු කර ඇත.
කම්කරු පන්තියේ හා පීඩිත මහ ජනතාවගේ සමාජ සහ ප්රජාතන්ත්රීය අයිතීන්ට පහර දෙන සහ එහි කොටසක් ලෙස මහජනතාවට එරෙහිව මුදාහැරි ප්රචන්ඩත්වය සම්බන්ධයෙන් ධනේශ්වර රාජ්‍යයෙන් යුක්තිය අපේක්ෂා කිරීම බරපතල මිථ්‍යාවක් වනු ඇත.
Follow us on