දහස් ගනනක් දුගීහු සමෘද්ධි සහනාධාරය කප්පාදුවට එරෙහිව විරෝධය පාති
අපේ වාර්තාකරුවන් විසිනි ,2017 අගෝස්තු 22
සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව පසුගිය සතියේ දහස් ගනනක් දුගීහු විරෝධතා උද්ඝෝෂනවල නිරත වුහ. මාතර, අම්බලන්ගොඩ, ඇල්පිටිය, සූරියවැව, මහනුවර, පොලොන්නරුව හා කන්තලේ ඇතුලු දිවයින පුරා බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට සහ නගරවල මෙම උද්ඝෝෂන පැවැත්වුනි.
ආන්ඩුව කප්පාදුව ක්‍රියාවට දමා ඇත්තේ සමෘද්ධි සහනාධාර මුදල් ගෙවීම “ප්‍රතිසංවිධානය” කිරීමේ ප්‍රෝඩාව යටතේය. දහස් ගනනක් ගම්බද සහ නාගරික දුගීන් සහනාධාර කප්පාදුවට විරුද්ධව වීදී බැසීම පෙන්නුම් කලේ ධනපති ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව මහජනතාව අතර වර්ධනය වන පලල් විරුද්ධත්වය හා කැකෑරෙන කෝපයයි.
සමෘද්ධි සහනාධාර ලාභීන්ගේ උද්ඝෝෂනය, ජීවන තත්වයන්ට සහ ප්රජාතන්ත්ර අයිතීන්ට එල්ල කරන ප්‍රහාර කෙරෙහි කම්කරුවන් හා සෙසු පීඩිත ජන කන්ඩායම් අතර බරපතල විරෝධයක් වැඩෙන තතු තුල තවතවත් අප්‍රසාදයට ලක්වෙති බියවූ ආන්ඩුව ප්රතිශෝධන තොරතුරු ගැන යලි සලකා බලන තුරු ප්‍රතිසංවිධානය තාවකාලික නතර කරන බව නිවේදනය කලේ ය. සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන ඇමති එස්. බී. දිසානායක ආන්ඩුවේ සැබෑ කප්පාදු සැලසුම් වසන් කිරීමේ තුච්ච ප්රයත්නයක් යෙදෙමින් සඳහන් කලේ පරිගනකයට දත්ත ඇතුලු කිරීමේ වරදකින් ප්රශ්නය මතුවූ බවයි.
මාතර කොටුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට 16 වෙනි බදාදා පැවති උද්ඝෝෂනයට 400 ක් පමන සහභාගී වුහ. ඔවුන්ගෙන් බහුතරය දුගී ගෘහනීන්ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල උද්ඝෝෂකයෝ ජීවන වියදම පිම්මේ ඉහලයන තත්වය තුල තමන්ට ලැබෙන සොච්චම් සහනය ද කප්පාදු කිරීම කෙරෙහි ඔවුන්ගේ බරපතල කෝපය ප්‍රකාශ කලහ.
උද්ඝෝෂනයට සහභාගිවූ 65 වයැති ඩබ්ලිව්.ඒ.කේ ආරියවති තිදරු මවකි. ස්වාමි පුරුෂයා මියයාමෙන් පසු පවුලේ බර දැරීමට සිදුවී ඇත්තේ ඇයට ය. “මට කිසිම ස්ථීර රැකියාවක් නැහැ. එදිනෙදා කුලී වැඩක් කරලා ජීවත් වෙන්නේ. ජනාධිපති කීවා සමෘද්ධි සහනාධාරය කපන්නේ නැහැ දෙගුනයක් කරනවා කියල. ඊට පස්සේ තමයි ග්‍රාම සේවක කාර්යාලයේ සහනාධාර කප්පාදු කරපු බව දැක්වෙන ලේඛන ප්‍රදර්ශනය කලේ. අපි අද ආවේ මෙම අසාධාරනේට එරෙහිව උද්ඝෝෂනය කරන්න. ඒත් කිසිම නිලධාරියෙක් කථා කරන්නේ නැහැ. පොලීසිය ගේට්ටු අවහිර කලා අපි ප්‍රාදේශීය කාර්යාලය ඇතුලට යන එක වලක්වන්න. සහනාධාර දෙගුනයක් කරනවා කියලා ජනාධිපති කිව්වට සහනාධාර වැඩි කරන්නේ අපිව හිඟමනට ඇද දාලද අපි අහනවා” ඇය පැවසුවය.
තවත් ගෘහනියක් වන හතලිස් දෙහැවිරිදි යූ. ඩබ්ලිවූ. මංගලිකා එක් දරු මවකි. ඇගේ ස්වාමිපුරුෂයාට හෝ ඇයට ස්ථීර රැකියාවක් නැත. “පසුගිය ජලගැල්මෙන් පස්සේ විෂ බීජයක් ඇතුලුවෙලා එයාගේ (සැමියගෙ) කකුල ඔපරේෂන් කලා. දැන් රක්ෂාවක් කරන්න බැරි තත්වයක ඉන්නේ. ඒනිසා අපට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ඒ අස්සේ ලැබෙන සහනාධාරයත් කැපුවොත් අපි කොහොම ද පන ගැටගහ ගන්නේ?” ඇය විමසීය.
දියනියන් තිදෙනෙකුගේ පියකු වන 43 වියැති ඊ. එස්. මහින්ද පාපැදියෙන් ගොස් මාලු විකුනන සුලු මාලු වෙලෙන්දෙකි. “මාලු වෙලඳාමෙන් ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ. බඩුමිල ඉහල යන විදිහට ලමයින්ගේ වියදමත් දරාගෙන ජීවිතේ ගැටගහ ගන්නේ හරිම අමාරුවෙන්. අපේ පවුලට රුපියල් 3,500 ක සමෘද්ධි සහනාධාරයක් ලැබුන. ඒකෙන් පොඩි සහනයක් තිබුන. දැන් ඒ මුදල සම්පූර්නයෙන්ම කපා දාන්න යනවා. ඔහු පැවසුවේ ය.
පොලොන්නරුව, වැලිකන්ද, මගුල්පොකුන ගමේ ඒ.ජී.ලොකුබන්ඩා එදිනෙදා කුලී වැඩක් කර ජීවිතය ගැටගසා ගන්න තිදරු පියෙකි. ඔහුගේ පුතුන් තිදෙනා තාවකාලික හමුදා සේවයට බැඳුනු විට ඔහුට දුන් සමෘද්ධි සහනාධාරය කපා ඇත. දැන් තමන් ජීවත්වීමට නොහැකි දුෂ්කර කොන්දේසි වලට මුහුන දී සිටින ආකාරය ඔහු විස්තර කලේය:
“මගෙ පුතාල තුන්දෙනා යුද්ධ තාවකාලිකව හමුදාවේ හිටිය නිසා දැන් එලියට දාල. දැන් කුලී වැඩ කරන්නෙ. ඒ කට්ටිය යුද්දෙට යන්න ඉස්සර මට සමෘද්ධිය තිබුනා. ඒඅය හමුදාවට ගියාට පස්සෙ ඒක කැපුව. ඒ අය ස්ථිර නොකර එලියට දාලා ඒත් සමෘද්ධිය ඉල්ලුම් කලාට මට දෙන්නෙ නෑ. මගෙ කකුලත් කැඩිල තියෙන්නෙ අලියෙක් ගහල. ඒ නිසා සමාජ සේවා එකෙන් මට රුපියල් 3000ක් ලැබෙනවා. ඒකෙන් තමා ජීවත් වෙන්නෙ. සමෘද්ධි බැංකුවෙන් ගත්ත නයක් තිබුන රුපියල් 15,000ක, ඒක දැන් මට ගෙවන්න විදියක් නෑ. බැංකුවෙන් කිව්වා රුපියල් 30,000 නයක් දෙන්නම් ඒකෙන් නයයි පොලියයි ගෙවන්න කියල. සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් දෙන මුලු මුදලම ඒකට කැපෙනවා. එතකොට මම ජීවත් වෙන්න විදිහක් නැහැ”
ප්රතිසංවිධාන තොරතුරු නිසි ලෙස සකස් නොකිරීම ගැන සමෘද්ධි නිලධාරීන් මත වරද පටවා සහනාධාර කප්පාදු සැලැස්ම පිලිබඳ වගකීමෙන් ආන්ඩුව නිදහස් කිරීමේ දුෂ්ට ප්රයත්නයක ඇමති දිසානායක යෙදුනත් එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග මත කෙරෙන රජයේ වියදම් කප්පාදුවේ කොටසකි. සමෘද්ධි, ගොවි, ධීවර සහ වැඩිහිටි සහනාධාර සහ රාජ්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය සඳහා කෙරෙන වියදම් ඇතුලු සමාජ වියදම් කප්පාදුව ද රාජ්‍ය ආයතන පුද්ගලීකරනය ද ජාමුඅ විසින් යෝජිත ආර්ථික ප්රතිසංස්කරන වලට ඇතුලත් වේ.
ජාමුඅ නියෝග වලට අනුව සුබසාධන හා අනෙකුත් රාජ්‍ය වියදම් කප්පාදුව, බදු වැඩි කිරීම හා අත්‍යාවශ්‍ය භාන්ඩ හා සේවා මිල ඉහල දැමීම මගින් දල ජාතික නිෂ්පාදනයට (දජානි* සමානුපාතිකව 2015 දී සියයට 7.6 ක් වූ රටේ අයවැය පරතරය 2016 දී 5.4 ට අඩු කලේ ය. මෙම වසරේ එය 4.6 ට දක්වා අඩු කිරීමට ඉලක්ක කර ඇති අතර 2020 වනවිට සියයට 3.5 දක්වා අඩු කල යුතුය.
සමෘද්ධි සහනාධාර කප්පාදුවට එරෙහිව විරෝධතා පැවති බොහෝ තැන්වල ඒවායේ මුදුනට පැන ගෙන තමන් දුගී ජනයාගේ අයිතීන් ආරක්ෂා කරන බවක් පෙන්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන “ඒකාබද්ධ විපක්ෂය” තැත් කලේය. ඒ මෙම දුගී ජනයාගේ සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා නොව, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන අප්‍රසාදය ගසා කා යලි බලයට පැන ගැනීම සඳහා ප්රතිගාමී ප්රයත්නයේ කොටසක් ලෙසය. අනෙකුත් ආන්ඩු මෙන්ම රාජපක්ෂ තන්ත්රය ද බලයේ සිටින විට සමෘද්ධි දීමනාවලට කෙටුවේය.
2006 දී 1,916,607 ක් වූ සමෘධි සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව 2013 වනවිට 1,470,607 දක්වා 446,000 න් කප්පාදු කෙරුනේ රාජපක්ෂ ආන්ඩුව විසිනි. ඔහුගේ ආන්ඩුව එම කප්පාදුව යුක්තිසහගත කලේ සහනාධාරය කප්පාදු කල පවුල්වල ආර්ථිකය “සවිබලගැන්වී” ඇත යන වංචනික කඩතුරාවක් යොදා ගනිමිනි.
මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ 2015 ආන්ඩු බලය අල්ලා ගැනීමේ දී සහනාධාර කැපීම ඇතුලු ජීවනතත්වයන්ට එල්ල කෙරුන ප්‍රහාර වලට විරුද්ධව රාජපක්ෂ තන්ත්රය කෙරෙහි පැතිර පැවති මහජන විරෝධය ගසා කෑවේය. සමෘද්ධි සහනාධාරය ඇතුලූ සමාජ සහන නොකපන බවට දුන් පොරොන්දුව ඔවුන්ගේ බොරු චන්ද පොරොන්දු වලින් එකක් පමනි.
සමෘද්ධි සහනාධාරලාභීන් සඳහා රුපියල් 210 වූ අවම මාසික දීමනාව රුපියල් 420 හා උපරිම මාසික දීමනාව රුපියල් 1500 සිට 3,500 දක්වා වර්තමාන ආන්ඩුව විසින් පසු ගිය අයවැයෙන් වැඩි කල නමුත් එය ඉහල යන ජීවන වියදම සමග සැසඳීමේ දී කිසිසේත් නොසෑහෙයි. රුපියල් 3,500 ක මාසික දීමනාවක් ලැබෙන්නේ සාමාජිකයන් 5 න් යුක්ත පවුලකටය.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තම්න්තුවේ ගනනය කිරීම් වලට අනුව 2017 ජුලි මාසයේ රටේ නිල ජාතික දරිද්‍රතා රේඛාව එනම් තනි පුද්ගලයෙකුට සිය මාසික පාරිභෝගික වියදම අවම මට්ටමින් පවත්වා ගැනීම පිනිස අවශ්‍ය අවම මුදල රුපියල් 4,327 කි. ඒ අනුව 5 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා අවශ්‍ය අවම මාසික පාරිභෝගික වියදම රුපියල් 21,635 කි. ආන්ඩුව දෙන්නේ ඉන් පහෙන් එකක් පමනි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 6.7 ක් දරිද්‍රතා රේඛාවෙන් පහල ආදායම් ලබන බව ජාතික නිල සංඛ්‍යා ලේඛන වලින් කියැවෙතත් සැබෑ සංඛ්‍යාව සියයට 25ක් පමන බව ජනාධිපති සිරිසේන ප්‍රකාශ කර ඇත.
ජාමුඅ මෙන් ම ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය වැනි ප්‍රතිපත්ති සැලසුම්කරුවන් විසින් යෝජනා කරනු ලැබ ඇත්තේ සමෘද්ධි සහනාධාරය “ඉලක්කගත” පවුල් සංඛ්‍යාවකට සීමා කොට සමෘද්ධි සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව කප්පාදු කරන ලෙසය. එනම් දැනට සහනාධාරය ලබන පවුල් මිලියන 1.5 න් හරි අඩක් හෝ ඊට වැඩි ප්‍රමානයකට සමෘද්ධි සහනාධාරය අහිමිවනු ඇත. ග්‍රාමසේවක නිලධාරීන් සහ සමෘධි නිලධාධාරීන් මගින් පසුගිය දිනවල කෙරුන සමෘද්ධිලාභී පවුල් පිලිබඳ සමීක්ෂනයේ එල්ලය එයයි.
නම සඳහන් නොකල සමෘද්ධි නිලධාරියෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කල ආකාරයට නිවසේ වහල උලු සෙවිලි කර හෝ ෂීට් යොදා තිබීම, නල ජලය හා විදුලිය ලබාගෙන තිබීම, රූපවාහිනියක් හෝ යතුරු පැදියක් තිබීම, සමෘද්ධිලාභියා නිවසේ කෙනෙකු රට රැකියාවකට ගොස් තිබීම හා කුකුලන් දහ දෙනෙකුවත් ගෙදර ඇති කරන්නේ නම් හෝ ගවයන් දෙදෙනකු සිටී නම් සහනාධාර අහෝසියට හේතුවකි. සමෘද්ධිලාභියා බදු නිවසක සිටියත් ඉහත සඳහන් කල දෑ තිබේ නම් ඔහුගේ සහනාධාරය අහෝසි කෙරෙයි. මේ නිර්දේශවලට අනුව සහනාධාර හිමිකම් ලබනුයේ ඉතාම සුලු පිරිසකි.
“සහනාධාර දෙගුනයක් කරනවා කියල ජනාධිපති කිව්වා කතාවේ තේරුම විශාල පිරිසකගෙ කපා හැර සුලු පිරිසකට සොච්චම් වැඩිවීමක් කරල මහජන අප්‍රසාදය වලක්වා ගැනීම” බව ඔහු පැවසුවේ ය.
දැනට සහනාධාරය ලබන පවුල් 10 දෙනා බැගින් කන්ඩායම් ගතකර ඔවුන්ට සුලූුකර්මාන්ත හෝ ව්‍යාපාර සඳහා නයක් ලබා දීමේ සැලැස්මක් ඇති අතර එම ව්‍යාපෘතිය පටන් ගත් වහාම සමෘද්ධි හිමිකම අහෝසිවන බවත් සමෘද්ධි සහනාධාරලාභීන්ගේ විරෝධය මැද නැවත සමීක්ෂනයක් කිරීමට ආන්ඩුව පොරොන්දු වුනත් ප්රතිපලයෙහි, එනම් කප්පාදුවේ වෙනසක් සිදු නොවන බව ද ඔහු සඳහන් කලේ ය.
ආන්ඩුව සමෘද්ධි කප්පාදුව කල්දැමීම පමනක් සිදුකර ඇත. එය ඉදිරියේදී යලි ඉදිරිපත් කිරීමට නියමිතය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සමාජ සුභසාධන කප්පාදුව සහ කම්කරු පන්තියේ සහ පීඩිත ජනයාගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාර ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය තුල හැම රටකම පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමන සමාජ අයිතීන් උදුරා ගැනීමේ වැඩපිලිවෙලක කොටසකි.
Follow us on