පොලිස් නිලධාරීන්ට පහරදීම කඩතුරාවක් කරගනිමින් ආන්ඩුව උතුරේ රාජ්‍ය මර්දනය තර කරයි
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි ,2017 අගෝස්තු 07
කඩු සහ පොලුවලින් සන්නද්ධව යතුරු පැදිවලින් පැමිනි 15 පමන කන්ඩායමක් යාපනේ කෝපායි ප්‍රදේශයේ දී ජූලි 30 දහවල් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඇත. ඔවුන් දෙදෙනා ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ පැමිනිල්ලක් විභාග කිරීමට ගොස් ආපසු එමින් සිටිය දී බව වාර්තා වෙයි. පහරදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ සුරේන්ද්‍ර සහ ධම්මික යන පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනේ ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
පහරදීමට හේතුව කුමක්දැයි තවම නිශ්චිතව එලිදරව් වී නැත. ඇතැම් වාර්තාවලට අනුව පැමිනිල්ල විභාග කිරීමේ දී පොලීසිය සමග ඇති වූ ආරවුලක් නිසා සිදුවුවකි. කෙසේ වුවදසිද්ධියට පසු දින යාපනයට ගිය පොලිස්පති පුජිත් ජයසුන්දර මෙසේ ප්‍රකාශ කලේය:
“අපි ත්‍රස්තවාදය අවසන් කලැයි කිව්වට එහි සියලුදේම ඉවරවුනා කියල කියන්න බැහැ. මේක මේ විදිහට යන්න දෙන්න බැහැ. එල්ටීටීඊ ත්‍රස්තවාදය පටන් ගත්තෙත් මේ විදිහට. ඒ දේම නැවත එනවා” යයි යාපනේ ආගමික නායකයන් සහ සිවිල් ජනයා සමග 31 වෙනිදා පැවති සාකච්ඡාවක දී ජයසුන්දර පැවසුවේ ය.” ප්‍රහාරකයන් එල්ටීටීඊ ය සමග සම්බන්ධකම් තිබුන අය බවද අත්අඩංගුවට ගත් දෙදෙනෙක් “පුනරුත්තාපනය නොවුන පූර්න එල්ටීටීඊ සාමාජිකයන්” යයි ද ඔහු සඳහන් කලේ ය.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය දිවා රාත්‍රී මුර සංචාරයේ යොදවන බවත් අවශ්‍ය වුනොත් ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ලබා ගන්නා බව ද ජයසුන්දර අවධාරනය කලේ ය. මර්දන සැලසුම ක්‍රියාවට දැමීම සාකච්ඡා කිරීම පිනිස ජයසුන්දර උතුරේ මහ ඇමති, දෙමල ජාතික සන්ධානයේ නායකයන් හා රජයේ ඉහල නිලධාරින් ද මුන ගැසුනි.
“එල්ටීටීඊ ත්‍රස්තවාදය” යලි හිස ඔසවමින් තිබෙන බවට ඔහු කල ප්‍රකාශවල එල්ලය එලෙස මර්දනය උත්සන්න කිරීමට පියවර ගනිමින් වර්ගවාදය ඇවිස්සීමට උඩගෙඩි දීමයි. පසුගිය මාසවල පොලිස් ප්රකෝපකිරීම් වලට එරෙහිව පැන නැගුන මහජන විරෝධයන් ද “එල්ටීටීඊය යලි හිස එසවීමේ” අවස්ථා ලෙස හංවඩු ගසමින් පොලීසිය හා ජනමාධ්‍ය විසින් විසකුරු ප්‍රචාරයක් අරඹා ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ පොලීසිය යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට විරුද්ධව උතුරේ ජනයා විශාල උද්ඝෝෂනයක් ගෙන ගියහ. පසුව කල පරීක්ෂනවලින් අනාවරනය වුයේ පොලිස් නිලධාරීන් ඔවුන් වෙඩිතබා ඝාතනය කර බොරුගෙතු බවයි. සිය නිලධාරීන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු දැමීමට පොලීසියට සිදුවිය.
ජූලි 9 දා තරම් මෑතකදී, පේදුරුතුඩුව අසල දී, ටිපර් රථයක නැගී ගිය තරුනයෙකුට වෙඩිතබා මරා දැමූ පොලිසිය ඔහු නීති විරෝධී වැලි ප්‍රවාහනය කිරීමට සම්බන්ධ බවට ප්‍රචාරයක් කලේය. ප්‍රදේශයේ ජනයා පොලීස් මුර පොලකටද පහර දෙමින් විරෝධය ප්‍රකාශ කල තතු තුල, පොලීසිය ඇඟ බේරාගෙන ඇත්තේ, “අධිකතර ලෙස බලය” යෙදුවේ යයි නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරමිනි.
එහෙත් වර්ගවාදී ප්රචාරයට තෙල් දමමින් දි අයිලන්ඩ් පත්‍රය ජුලි 31 වෙනිදා සිය කතුවැකියේ මෙසේ ලියා තිබුනි: “පූර්න යුද්ධයක් බවට වර්ධනය වූ උතුරේ නැගිටීමට පොලිසියට පහරදීම් පෙරගමන්කරුවෙකු වූ බව ආන්ඩුව අමතක නොකල යුතුය.” එම කතුවැකිය වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබුනි: “විනාශකාරී බලවේගවලට නිදහසේ ක්‍රියා කිරීමට හැකි වන ලෙස, ක්‍රමානුකූලව මුදාහරින ප්රචන්ඩත්වයන් මගින් පොලීසිය සහ සන්නද්ධ බලකායන් උතුරේ බැරැක්ක වලට සීමා කර තැබීමට පරෙස්සමින් සැලසුම් කල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව පෙනෙන්ට තිබේ”.
මහින්ද රාජපක්ෂ නායකත්වය දරන “ඒකාබද්ධ විපක්ෂයේ” සාමාජිකයෙක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන රෝහිත අබේගුනවර්ධන පොලිස්පතිගේ වචන පුනරුච්චාරනය කරමින් “එල්ටීටීඊ එක මුලින් ආරම්භ වුනේත් ඔය විදිහට, පොලිස් නිලධාරීන්ට ගහල, මරල. දැන් ඒවා නැවත වතාවක් යාපනෙන් පටන් ගන්නවා” යයි කියා ඇත. රාජපක්ෂගේ ඇම්බැට්ට සිංහල ස්වෝත්තමවාදී පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල 31 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පොලීසියට පහරදීම් ගැන සඳහන් කරමින් “යලිත් වතාවක් උතුරේ අපේ රනවිරුවන්ගේ ජීවිත අනතුරට ලක්වෙලා තියෙනවා” යයි හඬ තැලුවේය.
පහරදීම්, නීතියට පිටින් කෙරෙන මනුෂ්‍ය ඝාතන, ජනතා උද්ඝෝෂන මැඩීම ඇතුලු විවිධ කාරනා මුල් කරගෙන උතුරේ පමනක් නොව දකුනේ ද පොලීසිය සමග ජනතාව ගැටෙති. මහජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් මැඩීම සඳහා ආන්ඩුව වඩ වඩා පොලීසිය සහ ආරක්ෂක හමුදාවන් මෙහයවන තතු තුල එම මර්දනකාරී ධනපති සංස්ථාවන් කෙරෙහි මහජන වෛරය සහ කෝපය ද උත්සන්න වෙමින් ඇත.
ප්‍රහාරය සිදුකල අය හිටපු එල්ටීටීඊ සාමාජිකයන් මෙන් ම “ආවා කල්ලියට” සම්බන්ධ අය බවට හඳුනාගෙන ඇතැයි ජුලි 31 වෙනිදා යාපනේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේ දී පොලිස්පති ජයසුන්දර කියා ඇත. විටින්විට ආන්ඩුව හා පොලීසිය සඳහන් කරන, ගුප්ත ආවා කල්ලිය යනු කුමක් දැයි ඔහු පැහැදිලි කර නැත.
බෙදුම්වාදී එල්ටීටීඊ යට එරෙහි වාර්ගික යුද්ධය තුල දී අර්ධ හමුදා බලකායන් හා සන්නද්ධ මැර කල්ලි ආරක්ෂක හමුදා සහ ඒවායේ බුද්ධි අංශ යටතේ ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ. බොහෝවිට ඒවායේ සාමාජිකයන් වුයේ එල්ටීටීඊ යට විරුද්ධ හා කොලඹ ආන්ඩුව සමග සහයෝගයෙන් වැඩ කල ඊලම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය (ඊපීඞීපී) වැනි පක්ෂවල සාමාජිකයෝය. ආවා කල්ලිය යුද්ධයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ අනු දැනුම ඇතිව හමුදා බුද්ධි අංශය විසින් නිර්මානය කල එකක් බව ආන්ඩුවේ අමාත්‍යමන්ඩල සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පසුගිය නොවැම්බර් 2 දා පැවති මාධ්‍ය සාකච්චාවක දී ප්‍රකාශ කර තිබුනි.
මහ ජනතාව ගේ සිවිල් ජීවිතයේ හැම පැත්තක් ම පරීක්ෂාවට ලක් කෙරෙන හමුදා-පොලිස් පාලනයක් යටතේ පවතින උතුරු පලාතේ, කඩු-පොලු රැගත් මැර කල්ලියකට යතුරු පැදිවල නැගී දිවා-රාත්‍රී දෙකේම නිදහසේ යාමට සහ පහර දී පලායාමට ආරක්ෂක හමුදාවල පිටු බලයකින් තොරව කල හැකිද යන්න සැක සහිතය.
ආන්ඩුව මර්දනය තීව්ර කිරීමට පියවර ගෙන ඇත්තේ යුද්ධයෙන් වසර 8 ක් ඉක්ම යන තතු තුලත් සිවිල් ජන ජීවිතයට පීඩා කරමින් තවමත් ලක්ෂයකට අධික හමුදාවක් උතුරේ වාඩිලාගන සිටීම, යුද්ධ කාලයේ හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම් වලින් බහුතරයක් ඒවායේ නීත්‍යානුකුල හිමිකරුවන්ට ආපසු නොදීම, අතුරුදහන් වුවන් සහ දේශපාලන සිරකරුවන් සම්බන්ධ නිසි තොරතුරු ලබා නොදීමට විරුද්ධව උතුරේ ජනතාව අතර ආන්ඩුව කෙරෙහි කෝපය සහ විරුද්ධත්ව වර්ධනය වන කොන්දේසි යටතේය. පොලිසියට පහරදීම මර්දනය උත්සන්න කිරීම සඳහා යොදාගන්න ව්‍යාජ නිමිත්තක් පමනි.
දෙමල ජනතාව අතර කැකෑරෙන නොසන්සුන්තාව ගැන භීතියට හා කැලඹීමට පත්ව සිටින දෙමල ජාතික සන්ධානය (දෙජාස) ආන්ඩුව විසින් මුදාහරින මර්දනයට ඉඳුරාම සහයෝගය දෙයි. ඒ අතරම, හමුදාව විවෘතව යෙදවීමෙන් උතුරේ ජනයා අතර පවතින කෝපය සහ නොසන්සුන්තාව කැරලිකාරී මට්ටමකට වර්ධනය වෙතැයි දෙජාස නායකයෝ බියෙන් තැවෙති.
ආරක්ෂක හමුදාවන් නොයොදා “අවංක සහ කාර්යක්ෂම” පොලිස් බලකායක් යොදවන ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන මාවෙයි සේනාධිරාජා මෑත මාධ්‍ය සාකච්ඡාවක දී ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. උතුරට “දෙමල” පොලිස් නිලධාරීන් යොදවන ලෙස ඉල්ලා සිටි මහ ඇමති විග්නේශ්වරන් පේදුරුතුඩුවේ දී පොලීසිය විසින් වෙඩිතබා තරුනයෙකු ඝාතනය කිරීමෙන් පසු දෙමල නිලධාරීන් එය සිදු කිරීම ගැන තමන් “කම්පා වන බවට” අඳෝනා නැගීය.
දෙජාස ඇතුලු දෙමල ධනපති පන්තියේ කනස්සල්ල ධනපති රාජ්‍යය දෙමල ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතීන් පාගා දැමීම ගැන නොව ආන්ඩුව, ධනපති රාජ්‍යයේ පොලීසිය, හමුදාව සහ අධිකරනය ඇතුලු මර්දන සංස්ථාවන් කෙරෙහි මහ ජනතාව තුල විරුද්ධත්වය මතුවීම ගැනය.
උග්‍ර කෙරෙන කප්පාදු වැඩපිලිවෙලට හා මර්දනකාරී පාලනයට එරෙහිව උතුරේත් දකුනේත් කම්කරුවන් හා දුගීන්ගේ වැඩෙන විරුද්ධත්වය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව හා ධනපති පන්තියේ සෑම කොටසක්ම භීතියට පත්ව සිටිති. දෙමල විරෝධී වර්ගවාදයක් ඇවිස්සීමට වර්ගවාදී නඩ ද උසිගන්වාගෙන ඔවුන් ක්‍රියා කරන්නේ උතුරේත් දකුනේත් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීම වැලැක්වීමට ය.
පන්ති පාලනය අර්බුදයට යන හැම විටම ධනපති පන්තියේ විසකුරු ආයුධය වූයේ වර්ගවාදය අවුස්සා කම්කරු පන්තිය භේදකර මර්දනය දිගේලි කිරීමයි. ලෝක අර්බුදය තුල ගිලී තීරනාත්මක ප්‍රශ්නවලට මුහුන පා ඇති ලංකාවේ ආන්ඩුව සුදානම් කරමින් සිටින්නේ ආඥාදායක පාලනයකි.
Follow us on