ඉරිදා දිනයන් හි අමතර පන්ති තහනම සඳහා ආගමික සංස්ථාපිතය අත්වැල් බැඳ ගනී
මිනූෂ ප්‍රනාන්දු විසිනි, 2017 දෙසැම්බර් 30
අන්තවාදී බෞද්ධ භික්ෂු කල්ලියක් විසින් නායකත්වය දෙන බොදු බල සේනා (බොබසේ) සංවිධානයේ ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර ඇතුලු පිරිසක්, පසු ගිය දා, කාදිනල් මැල්කම් රන්ජිත් හමුවුනේ, ඔහු විසින් ඉරිදා හා පෝය දිනයන්හි පෞද්ගලික පන්ති පැවැත්වීමට එරෙහිව කරමින් සිටින වැඩකටයුතු වලට “ස්තුතිය” සහ “ප්‍රසාදය” පල කිරීම, එම හමුවේ අරමුන බව පවසමිනි.
කාදිනල්වරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ලිපියක් යවමින්, “ලමුන් හට ටියුෂන් පන්ති යාම නිසා පන්සලට හෝ පල්ලියට යාමට වෙලාවක් නැති බැවින්” “පැය කිහිපයකට හෝ” ඉරිදා දිනයන්හි අමතර පන්ති තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ ය. කාදිනල්වරයා, මීට ඉහත අවස්ථාවක දී ප්රමුඛ බෞද්ධ උත්සවයක් අමතමින්, තමන් “අනාගමික ශ්‍රී ලංකාවක් පිලිබඳ මතවාදය කිසිදු දිනයක අනුමත නොකරන බව” පැවසීය. රාජ්‍යය අනාගාමික වීමට එරෙහිව ඔහු ගෙනයන උද්ඝෝෂනයෙහිම නියැලෙන බෞද්ධ භික්ෂූන් හට සිය සහයෝගීතාව පලකරමින්, ව්‍යවස්ථාව තුලින් බෞද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය එලෙසම සුරකින බවට සහතිකයක් ලබා දීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්තුතිය පල කිරීමටද කාදිනල් රන්ජිත් උත්සුක විය.
කාදිනල්වරයා නියෝජනය කරන සමස්ත ආගමික සංස්ථාපිතයටම, ස්වකීය විවේක කාලය පවා කැප කරමින් අමතර පන්ති යාමට ශිෂ්‍යයන් හට බල කෙරෙන සමාජ, ආර්ථික සහ දේශපාලනික කොන්දේසි පිලිබඳ කිසිදු තැකීමක් නැත. 2016 වසර දත්තයන්ට අදාලව, ශ්‍රී ලංකාව තුල දැවැන්තම තරඟයක් ඇති උසස් පෙල විභාගයට මුහුන දෙන ශිෂ්‍යයන්ගෙන් සියයට 60.46 ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන අතර, එම සුදුසුකම් ලබන පිරිසගෙන් විශ්ව විද්‍යාලයට යාමට අවස්ථාව හිමි වන්නේ සියයට 17.14 කට පමනි. සමාජ සුභ සාධන මත ධනපති පාලනය විසින් එල්ල කරන අනවරත ප්රහාරයන් විසින් නිර්මිත මෙම අධ්‍යාපන අවස්ථාවන් සීමා සහිත වීමේ අර්බුදය, ශිෂ්‍යයන් එකිනෙකා අතර දැවැන්ත තරඟයකට තුඩු දී ඇත. ඉරිදා දිනයන්හි පවා සිසුන් අමතර පන්තිවලට යොමු කෙරෙන්නේ මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
මෙම කරුනු හිතා මතාම වසන් කරමින්, කාදිනල්වරයා සහ බෞද්ධ සංස්ථාපිථයේ අන්ත ප්රතිගාමී කොටස් ගෙනයන මෙම උද්ඝෝෂනයෙන් පිලිබිඹු වන්නේ කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යයන් අතර තම ආධිපත්‍යය බිඳ වැටීම සම්බන්ධයෙන් ආගමික සංස්ථාපිතයන් දක්වන කනස්සල්ල සහ භීතියයි. විශේෂයෙන්ම තම ආධිපත්‍යයේ පදනම වන පන්ති සමාජය, වත්මනේදී නම් ධනේශ්වර සමාජ පර්යාය, අභියෝගයට ලක් කරමින් ජාතිකව සහ ජාත්‍යන්තරව නැගී එන පන්ති අරගල සහ සමාජ පිපිරීම් වලින් ඔවුනගේ දෙපා සලිතව ඇත.
බෞද්ධ වේවා කතෝලික වේවා සූරා කෑමේ පද්ධතිය මත යැපෙන හා එම සූරාකෑම ආරක්ෂා කිරීමට කටයුතු කරන ධනපති පන්තියේම කොටසක් වන ආගමික සංස්ථාපිතය සම්බන්ධයෙන් ලෙනින් මෙසේ පැවසීය: “ආගම ජනතාවගේ අබිංය. මාක්ස්ගේ මෙම කියමන ආගම ගැන මුලූමහත් මාක්ස්වාදී දර්ශනයේ මුල් ගලය. සියලුම සමකාලීන ආගම් සහ පල්ලිද, සෑම ආගමික සංවිධානයක්ද සූරාකෑම ආරක්ෂා කිරීමට සහ කම්කරු පන්තිය මත්කොට මුලා කිරීමට සේවය කරන ධනේශ්වර ප්රතිගාමීත්වයේ උපකරන වශයෙන් මාක්ස්වාදය විසින් නිතරම සලකා ඇත.”
සමාජ ප්රතිගාමීත්වය යුක්ති යුක්ත කිරීමට මෙන්ම, කම්කරු පන්තිය විසින් පන්ති අරගලයේ වෛෂයික නියාමයන් සහ තමන්ගේම ඉතිහාසයෙන් පාඩම් ග්රහනය කර ගැනීම වැලැක්වීමට කටයුතු කරන මෙම සංස්ථාපිථයේ නියෝජිතයන්, නැගී එන සමාජ පිපිරීම් වලට ප්‍රතිචාර දක්වන්නේ, එම සමාජ පිපීරීම් කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් යටතේ ධනවාදයට එරෙහි අරගලයක් බවට වර්ධනය වීම වැලක්වීමට උගුල් අටවමින්ය. ඔවුන් හැකි සෑම විටම එම අරගල ඉස්මත්තට පැන ඒවා ධනපති පාලනය තුල කොටුකොට දියකර හැරීමට කටයුතු කරයි. නැතහොත් එම අරගල වලට තුඩු දෙන රුදුරු කොන්දේසි ඉවසා සිිටීමේ වැදගත්කම දේශනා කරයි.
කතෝලික පල්ලියත් බෞද්ධ සංස්ථාපිතයත් එක හා සමානවම කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ පීඩිතයන්ගේ අරගල දියකර හැරීම සහ ඒවා අවමංගත කොට විවිධ වර්ගයේ ධනපති සංවිධාන පිටුපස ගාල් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවකට හිමිකම් කියයි.
පසුගිය රාජපක්ෂ ආන්ඩු සමයේ ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ධීවරයන් අතර ඇවිල ගිය විරෝධතාවය, ආන්ඩුව විසින් මිලිටරිය යොදා මර්දනය කිරීමේදී මිය ගිය ඇන්තනි ප්‍රනාන්දු නම් ධීවරයාගේ අවමගුලේදී, ඊට එරෙහි ජනතාවගේ විරෝධය යටපත් කිරීම සඳහා පල්ලියේ පූජකයන්හට එම අවමගුලේ සංවිධාන කටයුතු පාලනය කිරීම පැවරුනි. එහිදී ධීවර ජනතාවට සිය අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ප්රගතිශීලී ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කල එකම ව්‍යාපාරය වූ සමාජවාදී සමානතා පක්ෂයට (සසප) අවමගුල් උත්සවයේ කතාවක් පැවැත්වීමට ජනතාව අතරින් ඉල්ලීමක් තිබියදී පවා, එය වැලක්වීමටද පූජකයන් කටයුතු කලේය.
එම ආන්ඩු සමයේම ඉන්ධන සහනාධාරය කප්පාදුවට එරෙහිව පැනනැගි විරෝධතාවය දියකර හැරීමට කතෝලික පල්ලිය විශාල කාර්ය භාරයක් ඉටුකලේය. මීගමුවේ ධීවරයන් විසින් ආරම්භ කල උපවාසයකට මැදිහත්වූ රන්ජිත් කාදිනල්වරයා, ජනාධිපති රාජපක්ෂ සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දෙන බවට ප්‍රකාශ කරමින් උපවාසය අත හරින ලෙස ඉල්ලා සිටියේය.
බෞද්ධ භික්ෂූන්ගේ ප්රතිගාමී ක්‍රියාකලාපයද මීට දෙවැනි නොවේ. පිරිසිදු පානීය ජල ගැටලුවක් මුල් කරගෙන රාජපක්ෂ ආන්ඩු සමයේම රතුපස්වල ප්‍රදේශයේ පැන නැගී අරගලය මිලිටරි ප්‍රහාරයකින් පවා නතර කිරීමට අසමත් වූ ආන්ඩුව, ආරම්භයේදී උද්ඝෝෂනයට සහය දුන් තෙරිපැහැ සිරිධම්ම නම් බෞද්ධ භික්ෂුව සමග ඇති කරගත් රහස් එකඟතාවයකින් උද්ඝෝෂනය නතර කොට කම්හල නැවත විවෘත කිරීමට සැලසුම් කලේය.
රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යයන් අතර වැඩුනු බලගතු විරෝධය සිරිසේන-වික්‍රමසිංහ සන්ධානය වෙත යොමුකොට එක්සත් ජනපද හිතකාමී වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමේ වැඩපිලිවෙලෙහි මූලික ක්රියාකලාපයක් ඉටු කලේ බෞද්ධ භික්ෂුවක් වන මාදුලූවාවේ සෝභිතයි. දැන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරහිව කම්කරු පන්තියේ, තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ වැඩෙන විරෝධය ගසා කමින් යලි බලයට ඒමට දඟලන මහින්ද රාජපක්ෂ, එම විරෝධය තමන් පිටුපස පෙල ගස්වා ගැනීම සඳහා ද භික්ෂූන් මෙහෙයවමින් සිටී.
ධනපති පාලනය සහ ආගමික සංස්ථාපිතය අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා මත රඳා පැවතීම නව ඉහලකින් පිලිබිඹු වීම, ජාත්‍යන්තර ප්රපංචයකි. එය, 2008 මූල්‍ය අර්බුදයෙන් පුපුරා ගොස් බිඳවැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ප්රගාඪ අර්බුුදයේ ප්රකාශනයකි. ධනේශ්වරය, එහි පැවැත්ම වෙනුවෙන් සියලුම ප්රතිගාමී සහ අන්ත දක්ෂිනාංශික බලවේග සේවයට කැඳවා ගනිමින් සිටී.
“සාමය සහ දයාව” යන බැනරය යටතේ චීන-විරෝධී සහ කොමියුනිස්ට්-විරෝධී මතවාදයන් ලෝකය පුරා පතුරුවාලන දලයිලාමා මෙම වසර මැද ඇමරිකාව තුල සිදුකල සංචාරය මෙහි ආසන්නතම ප්රකාශනයකි. මෙය, චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපාය සමග සෘජුවම ගැටගැසී පවතී.
එමෙන්ම වාම වෙස් මුහුනක් දමාගනිමින්, පසුගිය වසරේ පැවති එක්සත් ජනපද ජනාධිපතිවරනයේදී, ධනපති සංස්ථාපිතයට එරෙහි මහජන විරෝධය අවමංගත කල බර්නි සැන්ඩර්ස් එම මැතිවරන ව්‍යාපාරය අතරතුරදීම වතිකානුවට ගොස් පාප් හමුවෙමින්, පල්ලියේ ක්‍රියා කලාපය ඔහුගේ ක්‍රියා කලාපය සමග සමපාත වන බව සනාථ කලේය. එම වසරේදීම එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකු වන ස්කලියා විසින් ඇමරිකානු ව්‍යවස්ථාව විකෘති ලෙස අර්ථ කථනය කරමින් පල්ලිය සහ රාජ්‍යය වෙන් කිරීම ප්‍රතික්ෂේප කලේය.
එක්සත් ජනපද ව්‍යවස්ථාව විසින් තහවුරු කොට තිබෙන පල්ලිය සහ රාජ්‍යයේ වෙන්වීම උල්ලංඝනය කරමින් ඇමරිකානු පාලක පන්තිය, 2015 වසරේදී පාප් ඇමරිකාවට සංචාරය කල අවස්ථාවේ, රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියාවන ඔහු හට ඒකාබද්ධ සැසිය ඇමතීමට අවස්ථාව ලබා දුන්නේය.
ධනේශ්වර ප්රජාතන්ත්රවාදී විප්ලවයන් මගින් රාජ්‍යය ආගමෙන් වෙන් කෙරුනු යුරෝපීය සහ ඇමරිකානු රටවල සිට උපතේ පටන් පන්ති පාලනයේ අවිය ලෙස ආගම යොදා ගත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි පසුගාමී රටවල් දක්වා වන ලොවපුරා පාලක පන්තීහු, අතිමහත් වේගයෙන් වර්ධනය වන සමාජ පිපිරීම් හමුවේ, තම පන්ති පාලනය රැක ගැනීම සඳහා ප්රතිගාමී ආගමික සංස්ථාපිතය සමග වඩාත් ඒකාග්ර වෙමින් සිටිති. කාදිනල් රංජිත්ගේ සහ ගලගොඩඅත්තේ ඥානසාරගේ හමුව සහ ඉරිදා අමතර පන්ති නවතන ලෙස ඔවුන් රාජ්‍යයට කරන කැඳවුම මෙම සන්තතියේ පිලිබිඹුවකි.
Follow us on