මෙට්‍රොපොලිටන් ඔපෙරාවේ නියාමක ජේම්ස් ලෙවින්ට ප‍්‍රසිද්ධියේ අවමාන කොට ඔහුව විනාශ කර දැමීම
The public humiliation and destruction of Metropolitan Opera conductor James Levine
නිව් යෝර්ක් නුවර මෙට්‍රොපොලිටන් ඔපෙරාව, මින්මතු එහි සංගීත මෙහෙයුම් වලට සිය චිරකාලීන (1976-2016) සංගීත අධ්‍යක්ෂ ජේම්ස් ලෙවින් යොදාගැනීම අත්හිටුවීම වනාහි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සහ නුතන මර්දනයේ කෙරුම්කාරයන් ලබාගෙන ඇති අලුත්ම ජයග‍්‍රහනය යි.
ඇමරිකා එක්සත් ජනපදය තුල ඔඩු දුවමින් පැතිරෙන ලිංගික අපචාර උද්ඝෝෂනය එහි ප‍්‍රතිගාමී වපසරියෙන් සහ මදාවි බවෙන් 1950 ගනන් වල එරට අලලාගත් මැකාර්ති වාදී දඩයම ද 1690 ගනන් වල නව එංගලන්ත ප‍්‍රාන්තවල, මායාකාරීන් දඩයම (විව් හන්ට්) පමනක්නොව මධ්‍යකාලීන යුගයේ ඉන්ක්විසිෂන් තුලින් (කතෝලික පල්ලිය පැවැත්වූ අධර්මමර්දනාධිකරනය) පවා කුරිරු අංග උපුටා ගෙන තිබේ.
අන්‍ය-ලිංග කාමී හා සමලිංග කාමී යන දෙගනයේ ම ප‍්‍රමුඛ පුද්ගලයන්, ට එරෙහිව දුරාචාර හා දුර්ලබ්ධි චෝදනා හෝ කටකතා සිතාමතාම ම අවුස්සාලීමේ දී කෂඩ ප‍්‍රවෘත්ති මාධ්‍යය අතර මුල්තැන ගෙන සිටින්නේ ද ටයිම්ස් පුවත්පතයි. එම පුවත්පත අදාල පුද්ගලයාගේ නම කැත කිරීම සහ ඔහු හෝ ඇයගේ බොකු-බඩවැල් එලියට ඇද දැමීම සඳහා, අවශ්‍ය කතන්දර සොයා ගැනීම ට සැලකිය යුතු සම්පත් කැප කර ඇත. දැන් පැහැදිලි වන දෙය නම් චිත‍්‍රපට නිෂ්පාදක හාර්වි වෙයින්ස්ටයින්ට එරෙහිව එල්ල කෙරුනු චෝදනා සේවය කර ඇත්තේ හුදෙක් මුලපිරීමක් සහ ව්‍යාජයක් ලෙස ම පමනක් බවය.
වසර 30 සිට 50 කට ආසන්න කාලයකට පෙර සිදුවූ අශ්ලීල සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු ලෙවින්ට චෝදනා කර ඇත. දශක කිහිපයකට පෙර හෝ අර්ධ ශතවර්ෂයකට පවා පෙර සිදුවූ බලහත්කාර ලිංගික අන්තර්ක‍්‍රියාකාරිත්වයන් පිලිබඳව ඔප්පු නොවූ චෝදනා, ලෙවින් විනාශ කිරිමට භාවිතා කිරීම අතිශය භයානක දෙයකට අඩු දෙයක් නොවේ. ඇමෙරිකාවේ වඩාත් වැදගත් ඔපෙරා නාලිකාවේ ඉතිහාසයේ ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කල සංගීතඥයකුගේ යාවජීව කෘතී, ඒ මේ අත විසුරුවන හිම කන්දකින් වලලා දැමීමේ භූතාකාර විස්තර ටයිම්ස් පුවත් පත මගින් පල කරනු ලබයි. අපි හැමෝම මේ වර්ගයේ කහ වර්නයේ (වැදගැම්මකට නැති) පුවත්පත් කලාව සඳහා නැගිට “බ්රාවෝ” කියා කෑ ගැසිය යුතුද?
ටයිම්ස් වාර්තාව පදනම් කර ගත් පරිදි, මිචිගන් ප‍්‍රාන්තයේ සිදුවූ බවට චෝදිත සිදුවිම් තුනෙහි සාපරාධී හැසිරීමක් සිදුවූ බවක් කොහෙත්ම ප‍්‍රත්‍යක්ෂ නැත. වයස අවුරුදු 17 විසූ පුද්ගලයින් දෙදෙනෙකු සහ තෙවැන්නා වයස අවුරුදු 20 පසු විය. ප‍්‍රාන්තයේ අනුමැතිය හිමි වන වයස අවුරුදු 16 වේ. චෝදනාව අනුව ඉලිනොයිස්හි ගොදුරු වු පුද්ගලයාගේ වයස සිද්ධිය සිදුවන විට අවුරුදු 16 ක් වූ අතර එය ප‍්‍රාන්තයේ අනුමැතිය හිමිවන වයස අවුරුදු 17 ට අඩු ය.
අවසාන කථාංගයේ නීති විරෝධී කටයුත්තක් සිදුවිය හැකි බවට තර්කයක් නැගිය හැකි වුවත්, ලෙවින්ට කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැත. හේතුවක් පැවතිම සඳහා වන කාලාවරෝධය නැතහොත් කල් ඉකුත් වීමේ නීතිය අනුව දීර්ඝ කාලයක් ගත වී තිබේ. ලෙවින් චෝදනාවට ලක් වුවත්, අධිකරනයක් මගින් වරදකරු කරනු ලබන තෙක් ඔහුට අහිංසක පුද්ගලයෙකු ලෙස පුර්වානුමාන කිරීමේ හිමිකම ලැබිය යුතුව ඇත.
කෙසේ වෙතත්, මෙට්‍රොපොලිටන් ඔපෙරා හි ලෙවින්ගේ සේවා කාලය තුල දී සිද්ධීන් කිසිවක් ප‍්‍රකාශයට පත්ව නොමැති බැවින් ඔපෙරා පාලක මන්ඩලය මෙම සිදුවීම් පිලිබඳව විමර්ශනය කරන්නේ මන්ද යන්නත්, එය ලෙවින්ගේ සේවය අත්හිටවූයේ මන්දැයි යන්න තවමත් පැහැදිලි නැත.
නිව් යෝර්ක් පුවත්පත වාර්තා කලේ ඔපෙරා හවුස්හි සාමාන්‍යාධිකාරී පීටර් ගෙල්බ් විසින් “අන්තර්ජාලය (ඔන්ලයින්) හරහා කටකතා පතුරවන්නන් කියන ලෙසට අතීතයේ දී අපහරනයට ගොදුරු වූවන්ගේ පවුල් සමග මෙට්‍රොපොලිටන් ඔපෙරා (මෙට්) ප‍්‍රශ්න නිරාකරනයකට පැමින ඇත යන්න අසත්‍යයක්” යයි ප‍්‍රකාශ කල බවයි. “මෙට් ඉතිහාසයේ මෑත කාලවලදී ලෙවින් ගැන හෝ මම මෙට් හී සිටි කවරදාකවත් එකදු සිද්ධියක් සම්බන්ධයෙන් හෝ පැමිනිල්ලක් ඉදිරිපත් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වී නැත” යි ද ගෙල්බ් ප‍්‍රකාශ කලේ ය.
මෙට්රොපොලිටන් හී ක‍්‍රියාමාර්ගය, නිව් යෝර්ක් ටයිම්ස් විසින් උසිගන්වන ලද නින්දිත වූ හිස්ටිරියාවට බියගුලු ලෙස යටහත් වීමක් වන අතර ටයිම්ස් ලිංගික අනර්ථයන් සොයා යාමේ දී ජාතියේ ඇඳ ඇතිරිලිවලට ඉව අල්ලන පිස්සු හැදුනු ප‍්‍රකාශකයෙකු හා කර්තෘවරුන් ලෙස නින්දාවට පත් වේ. සෑම දිනකම අලුත් හෙලාදැකීම් ප‍්‍රකාශයට පත් කරන හෙයින් එම පුවත්පත ලිංගික අපචාර පිලිබඳ වාර්තා සපයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
ද ටයිම්ස් පුවත් පත ආයාචනා කරන්නේ වඩාත් පසුගාමී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සාමාජ කොටස් වලටය යන්න එහි වාර්තා වලට ප‍්‍රතිතිචාර ලෙස ලැබී, පලකර තිබුනු මතවල අන්තර්ගතය සහ තානය මගින් හෙලිදරව් ව ඇත.
නූතන ඇමරිකානු ඉතිහාසයේ කවර කලෙක වත් දක්නට නො ලැබුනු ආකාරයකින්, ඔවුන්ගේ සකල ලිංගික ඉතිහාසය පිලිබඳව වග උත්තර දීමට මනුෂ්‍යයන්ට කරන බලපෑමකි මේ. වෙයින්ස්ටයින් එකල යෙදුනේයැයි කියන දුරාචාරයන් පිලිබඳ ගොරහැඩි වාර්තා වල පටන්, මෙම මෙහෙයුම දැන් එලඹී තිබෙන්නේ දැන් අවුරුදු 74 ක වයස්ගතයෙකු වන ලෙවින් වයස අවුරුදු 25 දී හස්ත මෛථුනයේ යෙදුනේ කවුරුන් සමග ද යන්න දක්වා පුලුල් කිරීමට ය.
විවිධ මාධ්‍ය ප‍්‍රකාශනයෝ ප‍්‍රහාර-ගෝචර යයි පෙනීයන පුද්ගලයින් නම නියම කරගෙන ඔවුන්ගේ “අතීතය අවුස්සමින්” වැඩට බැස ඉන්නේ නියමිත පුද්ගලයෙකුට එරෙහිව සැබෑ හෝ සිතලු, දුක්ගැනවිලි තවත් කාටහරි තිබෙනු ඇත යන පදනම මත ය.
සමලිංගිකයන්ට මෑතක් වන තුරු සිය ලිංගික යොමුව වසන් කර ගෙන දෙබිඩි ජීවිත ගත කිරීමට බොහෝ විට සිදුව තිබුනු තතු තුල, සමලිංගික පුද්ලයන් වර්තමානයේ විවිධ ක්ෂේත‍්‍රවල කැපීපෙනෙන්නන් ව සිටියද, සමලිංගික කාර්ය ශූරයන් හා කීර්තිධරයන්ට, අලුතින් විශේෂ අවදානමක් පවතින බව සුපැහැදිලි කරුනකි. කෙවින් ස්පෙසි (ඇකඩමි සම්මානලාභී ප‍්‍රවීන රංගන සහ සිනමාවේදියා) ට එල්ල වූ විසකුරු ප‍්‍රහාරය හා ඔහුගේ “අතුරුදහන් වීම” අහම්බයක් නොවේ. නාට්‍යය, චිත‍්‍රපට සහ කලාවන් විශේෂයෙන්ම ඉලක්ක කෙරී පවත්නා “පරාභූත කලාව” ට එල්ලවන ප‍්‍රහාරයේ නොවරදින සුලු නාසි ගඳ දැනේ.
එපමනක් නොව, එන්බිසී හි මැට් ලූවර්, මාධ්‍යවේදීන් විසින් “ස්ත‍්‍රීලෝලයෙකු” යයි චෝදනා කොට ප‍්‍රසිද්ධියේ නින්දාවට ලක් කරන ලදී. විවාහයෙන් පිටස්තර හා විවාහයට පෙර ලිංගික හැසිරීම් තහනම් කිරීමේ උත්සාහයන් සඳහා සැලසුම් නැවතී නැත. පැරනි සාධු සම්මත සමය කරා ආපසු! මේවන් සමාජ පරාගමනයකින් වඩාත්ම විඳවනු ඇත්තේ කාන්තාවන් ය.
ලෙවින් යනු සරලව ම මෙම පෘතුල උද්ඝෝෂනයේ දී සිදුකෙරුනු “සහ-පාර්ශ්වීය හානියක් පමනි”; අපේක්ෂා කලාට අමතර වැඩි හානියකට භාජනය වූවෙකි. පෙර නොවූ විරූ, අතිශයින්ම කුරිරු ආකාරයකින් ඇමරිකානු සහ ජාත්‍යන්තර සංගීතයේ ඒ හෝ මේ කැපී පෙනෙන, කුසලතා පූර්න පුද්ගලයින් ගනනාවක් ක‍්‍රමානුකූලව, ප‍්‍රසිද්ධියේ අවමානයට පාත‍්‍ර කොට විනාශ කර තිබේ.
1890 දශකයේ දී, අයර්ලන්ත ලේඛක ඔස්කා වයිල්ඩ් තරුන පුරුෂ ගනිකාවන් සමග සමලිංගික ඇසුරේ යෙදීම හෙලිදරව් කොට ඔහු ව විනාශ කර දැමුනි. වයිල්ඩ්ට අවුරුදු දෙකක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම වූ අතර සිරගෙවල්වල දී මුහුන පෑ තත්වය ඔහුගේ අකල් මරනයට හේතු විය. විනිසුරු, සර් ඇල්ෆ‍්‍රඩ් විල්ස් තම විනිශ්චය ප‍්‍රකාශය තුල, “වයිල්ඩ්, ඔබ, යෞවනයන් අතර ඉතාම අශෝභන ආකාරයේ විස්තීර්න දූෂන කවයක කේන්ද්‍රය වී ඇත,” යි සඳහන් කලේ ය. ඔහු එම තීන්දුව විස්තර කලේ “මෙබඳු සිද්ධියක් සඳහා මුලුමනින්ම ප‍්‍රමානවත් නොවන” දඬුවමක් ලෙස ය. වයිල්ඩ් කතා කිරීමට තැත් කල විට, සිදු වූ දෙය, නඩු ලේඛනවල වාර්තාවන්නේ මෙසේ ය: “මමද? ස්වාමීනි, ස්වාමීනි, ඉතින් මම? කිසිවක් නොකියා සිටිය යුතු ද?” ඔහුට එරෙහිව නැගුනු “ලැජ්ජයි” යන හඬ තැලීම් ඔහු ගේ කටහඬ යටකර දැමී ය.
වයිල්ඩ්ගේ එක් මිතුරෙකු ප‍්‍රකාශ කර ඇති පරිදි මෙම ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයා වරදකරු වී ඇත්තේ “කාලානුක‍්‍රමික දෝෂයක” ට පමනි, එනම්, වඩාත් ප‍්‍රබුද්ධ සමයක දී නම්, වයිල්ඩ් “දුරාචාරයකට” හෝ අපරාධයකට වැරදි කරු යයි දකිනු හෝ තීන්දු කරනු නැත. නිල සදාචාරයේ කනු ලෙස හැඳින්වෙන්නෝ ලැජ්ජාව සහ ප‍්‍රගාඪ පසුතැවිල්ල යයි කියන දෙය කරා බඩගා ගෙන යාම සඳහා දශක ගනනාවක් ම නොගත්තෝද? අද ස්පේසි, ලෙවින්, ජෙෆ්රි රෂ් ආදීන්ට අප ඇස් ඉදිරියේ සිදුවන දෙය අන්තර්ගතය අතින් මීට වඩා වෙනස් නැත. ඔවුන් වැරදි අවස්ථාවේ මහජන සදාචාරයේ ආරක්ෂකයන් යැයි සලකාගත්තවුන්ගේ රීති උල්ලංඝනය කලේය...
මෙම ජරා ජාවාරමේ ගැලී සිටින අතර, සමහර විටෙක, ටයිම්ස් පුවත්පත පුනරුදයේ චිත‍්‍රශිල්පී ලියනාර්ඩෝ ඩා වින්චි සතලොස් හැවිරිදි ආධුනිකයෙකු සමග “දුරාචාරයේ” යෙදීම සම්බන්ධයෙන් 1476 දී, අත්අඩංගුවට ගැනීම කෙරෙහි ද අවධානය යොමු කල යුතුව ඇත.
ලියනාඩෝ උලහිටුවා පුලුස්සා දැමීමට සිදු විය හැකිව තිබුනි. ෆ්ලෝරන්ස් හී ඕපාදූප පතුරවන්නන් සමග ද ටයිම්ස් පත‍්‍රයට ගනුදෙනු තිබුනේ නම්, එය මයිකල් ඇන්ජෙලෝ තමා ඇඹු ඩේවිඩ් ප‍්‍රතිමාව සඳහා යොදවා ගත් නිරූපකයා සමග පැවති සම්බන්ධය පිලිබඳව මොනවා කරනු ඇත්දැයි කෙනෙකුට සිතාගත හැකිය... ඉතාලියානු සිනමාකරු පීයර් පාවුලෝ පසොලිනී තරුන කම්කරු පන්තික මිනිසුන් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා කරනු ඇත. ඔහුව ඉතාලි ධනේශ්වරය හා කතෝලික සභාව ප‍්‍රචන්ඩ ලෙස හෙලා දුටුවේය. ගෞරවනීය කලාත්මක ශික්ෂාවෙන් පිටත සිටින වෙනත් ලිංගික “දුරචාරීන්” ගැන මොවුන් නොලියන්නේ මන්ද? ගෝලීය ව්‍යාජ වම්මුන් (ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට්, ඉන්ටර්නැෂනල් විව්පොඉන්ට් යනාදිය) මේ සාහසික සදාචාර කුරුස යුද්ධයට ඔල්වරසන් දීම සහ එක පෙලට සිටීම නින්දනීය භාවය ඉක්මවයි; එය ඔවුන්ගේම දේශපාලන බංකොලොත්කමට සාක්ෂිය.
මෙම ධාවනය උත්සන්න වෙත් වෙත්, ඊට ගොදුරු වන්නන් තව තවත් වැඩි වනු ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ගැන ලෝකය ට දැනගන්නටවත් බැරි වනු ඇත, බොහෝ දෙනෙක් පෙරලා පහරදීමට අසමත් වනු ඇත. ද ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් හා සෙස්සෝ “විනීතභාවය” උල්ලංඝනය කරන්නන් සෙවීම සඳහා දුරාචාර මර්දන බලඇනි නීත්‍යානුකූල කොට වැඩට බස්සනු ඇත. නිවාස ආක‍්‍රමනය කොට නිදන කාමරවලට කඩාවදිනු ඇත. ජංගම දුරකථන සහ පරිගනක සියල්ල සර්වව්‍යාපී ආවේක්ෂන (සියල්ල මුරකරන සහ සොයා බලන) යාන්ත‍්‍රනයන් බවට හරවනු ඇති අතර ඇත්ත වශයෙන්ම, යථා කාලයේ දී, කවුරුන් කා සමග ලිංගිකව රමනය කරන්නේ ද යන්න පිලිබඳව පවා බලධාරින්ට දැනගතහැකි වනු ඇත.
අනාවරනය වීම පිලිබඳ බිය විසින් භීතියේ මානසිකත්වයක් බිහි කෙරයි, මෙම මෙහෙයුමේ අරමුන නම් එයයි: විරෝධය හා විසම්මුතිය මැඩ, බිය ගන්වා, ජනතාවට මුකවාඩම් දැමීමයි.
මේ සියල්ල සදාචාරාත්මකව හා දේශපාලනිකව බියවද්දා තමන්ගේ අරමුනු ඉෂ්ටකරගැනීමේ නව මාර්ග විවර කරයි. ප‍්‍රශ්න කරන්නන් ට කීකරු වෙනු . නැත්නම්!
“ව්‍යාජ ප‍්‍රවෘත්ති” සහ “රුසියානු ප‍්‍රචාරය” පිලිබඳ කරදරකාරී වතාවරනයක් මැවීමට හවුල් වූ ටයිම්ස් පුවත්පත තමන් ඇමරිකානු සමාජයේ සාධිකාරී, ආක‍්‍රමනික, සදාචාර පදනම ලෙස ඉදිරිපත්කරගනී. නව සම්මුතිය (නිව් ඩීල්) සහ “මහා සමාජය” (ග්‍රේට් සොසයිටි) සමයන්හි පැවති සමාජ ප‍්‍රතිසංස්කරනයන් ප‍්‍රතික්ෂේප කරන දේශපාලන සංස්ථාපිතය “ලිංගික විප්ලවය” වැනි දේවල් ද ප‍්‍රතික්ෂේප කිරීම කරා ගමන් කරන බව පෙනි යයි.
මේ නිර්දය ධර්මාධිකාරින්ගෙන් ගැලවී යාම කල හැකි යයි විශ්වාස කලැහැක්කේ කාටද? වෛරයන් පිරිමසා ගනු ලබමින් පවතී. ඉන් සමහරක් පුද්ගලිකය. සමහරක් දේශපාලනිකය. දෙවිවරු ලේ පිපාසිතව සිටිති. ලෙවින් සිය දිගුකාලීන වෘත්තීය ජීවිතයේ සතුරන් පටවාගෙන ඇතුවාට සැකයක් නැත. සමහර අය කැමති වනවාට වඩා දිගු කාලයක් ඔහු “මෙට්” හී, සිය තනතුරේ රැඳී සිට ඇත. ඔහුගේ නික්ම යාම දැකීමට කැමති විරුද්ධවාදීන් හිඟ නැත.
ලූවර් සම්බන්ධ සිද්ධිය ගත් කල, පසුගිය වසරේ මැතිවරන ව්‍යායාමය තුල දී ඔහු හිලරි ක්ලින්ටන් “දැඩිව” ප‍්‍රශ්න කිරීම් මගින් ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඉහල ධුරාවලිය තුල බොහෝ සතුරන් ඇති කර ගත්තේය. තවත් “කම්පක” හෙලිදරව් කිරීම් ඉස්සරහට එනු ඇත. නිව්යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචකයන් පවා (අප අනන්‍යතා දේශපාලනයේ සටන් කරුවන් ගැන සඳහන් නොකරතොත්) දැන් දඩයමට ඔල්වරසන් දෙමින් සිටින අතර ඔවුන් ට ද යම් තැනක දී අතීත හා රහසිගත අපරාධයන් පිලිබඳව උත්තර බැඳීමට කැඳවනු ලබනු ඇත.
මෙම තුච්ඡ මෙහෙයුම දේශපාලන න්‍යායපත‍්‍රයකට බැඳී තිබේ. එනම්, සැබෑ මර්දනයයි. මේ වනාහි අන් සියල්ලටමත් වඩා ඩිමොක‍්‍රටික් පක්ෂයයි. “සමාජ නස්පත්තියෙන්,” බදු ප‍්‍රතිසංස්කරන මගින් භාන්ඩාගාරය කොල්ලකෑමෙන් සහ අන් සියල්ලටමත් වඩා භයංකර ලෝක යුද්ධයේ අනතුරෙන් ඉවතට අවධානය යොමු කිරීමට යත්න දරමින්, ද නිව්යෝක් ටයිම්ස්, ද වොෂින්ටන් පොස්ට් සහ අනෙකුන් “ලිංගික ගොදුරු සොයන බිල්ලන්” පිලිබඳ භ‍්‍රාන්තිය පතුරුවා ලීමට කටයුතු කරති.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනය කිසිම දෙගිඩියාවකින් තොරව හෙලා දකියි.
ඩේවිඩ් නෝර්ත් සහ ඩේවිඩ් වොල්ෂ්
Follow us on