ජාමූඅ ශ්‍රී ලංකාවේ වර්ධනය පිලිබඳ අනාවැකිය පහත හෙලයි
IMF lowers Sri Lanka’s growth forecast
සමන් ගුනදාස විසිනි, 2016 දෙසැම්බර් 29
දෙසැම්බර් 9 දා නිකුත් කල ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නවතම වාර්තාව රට මුහුන දෙන තත්වය ගැන උත්සුකතා මතු කල අතර එහි 2016 වර්ධනය පිලිබඳව මීට ඉහත පල කල අනාවැකිය සියයට 5 සිට සියයට 4.5 තෙක් ද 2017 සඳහා සියයට 5.5 සිට සියයට 4.8 තෙක්ද අඩු කලේය.
ශ්‍රී ලංකාව සඳහා වන ජාමූඅ මෙහෙයුම් කන්ඩායමේ නායකයා වන ජෙයිවූ ලී වොෂින්ටන් සිට රූපවාහිනි සබඳතාවක් හරහා ශ්‍රී ලංකා මාධ්‍ය අමතමින්, ”මෙම පහත වැටෙන සංශෝධනය සඳහා මූලික හේතුව වන්නේ අප සිතන්නට පුරුදු වී ඇති අයුරෙන් බාහිර පරිසරය වාසිදායක නොවීමයි... ගෝලීය අනතුරුදායී බව වැඬේ නම්, මහ බැංකුව ප්‍රතිපත්ති තද කිරීමට සූදානම් විය යුතුයි. අපි මෙම සූදානම අවධාරනය කරන්නෙමු” යැයි පැවසීය.
”අවාසිදායක බාහිර පරිසරය” ගැන ජෙයිවූගේ ප්‍රකාශය විශේෂයෙන්ම එජ ෆෙඩරල් බැංකුව මෑතකදී සියයට 0.25න් රේට්ටු වැඩිකිරීම හා සම්බන්ධ වන අතර බලයට එන ට්‍රම්ප් පරිපාලනයේ යටිතල පහසුකම් සඳහා ආයෝජන ඉහලදැමීමේ සූදානම, රේට්ටු තව දුර ඉහලයෑමක් බලාපොරොත්තු වේ.
”ප්‍රාග්ධන ඇදී ඒම බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වීම හෝ ප්රාග්ධනය රටෙන් පිටතට ඇදී යාම” ශ්‍රී ලංකා ආන්ඩුව මුහුන දෙන ප්‍රධාන අවදානම්වලින් එකක් බව ජාමූඅ වාර්තාව අනතුරු ඇඟවීය. ශ්‍රී ලංකාව ”තිරසාර ප්‍රාග්ධන පිටවීම් වල සෘජු හා වක්‍ර බලපෑම්වලට අනතුරුදායක” ඉහලම කලාපයේ සිටින බව මූඩිගේ ආයෝජන සේවය ද වාර්තා කලේය.
2016 ජනවාරි-අගෝස්තු සඳහා ශ්‍රී ලංකාවට ලැබුනු විදේශ ආයෝජන ඩො. මිලියන 336 ක් බවත් ගිය වසරේ එම කාලය හා සැසඳීමේදී ඩො. මිලියන 534 සිට සියයට 37.1 ක පහලයාමක් බව දෙසැම්බර් 18 දා සන්ඬේ ටයිම්ස් හෙලි කලේය. 2016 සෘජු විදේශ ආයෝජන 2015 දී ආයෝජනය කල ඩො. මිලියන 681 ට වඩා පහල යනු ඇතැයි එය අනතුරු ඇඟවීය.
ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන ”ඒ හා සමාන, නැගී එන හා ඉහතදී යුද්ධ වලින් පීඩාලත් ආර්ථිකයන් වන වියට්නාමය (2015 දී ඩො. බිලියන 15) සහ මියන්මාරය (2015/16 දී ඩො. බිලියන 9.4) හා සැසඳීමේදී අල්ප” බව ප්රකාශනය සඳහන් කලේය.
ඔක්තෝබර් හා නොවැම්බර් අතරේදී ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත ඩො. බිලියන 5.07 සිට ඩො. බිලියන 4.23 දක්වා පහත ගියේය. රන් සංචිත පවා සියයට 8 කින් එනම් ඩො. මිලියන 848 තෙක් පහලට වැටුනි. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ද වේගයෙන් ඇද වැටෙමින් තිබේ. 2016 මුල් මාස අට තුලදී, ඩො. බිලියන 6.865 තෙක් එනම් 2015 ඒ හා සමාන කාලයට සාපේක්ෂව සියයට 4.1 කින් ඇද වැටුනි.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ඩො. බිලියන 2 ක සංචිත මුදල්, හුවමාරු බැඳුම්කර (currency swaps) ලෙසට ඇස්තමේන්තු කරන ජාමූඅ, ඉතිරි විදේශ මුදල් සංචිත මුදල් ලෙස තබා ගැනීම අවශ්‍ය බව පවසයි.
ගිය වසරේදී සියයට 3.1 කින් අවප්රමාන වුන ශ්‍රී ලංකා රුපියල, ප්‍රාග්ධන ගලා යෑමෙන් පහලට වැටුන බව පෙන්වා දුන් ජාමූඅ මෙම තත්වය ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් මත අහිතකර ලෙස බලපෑ හැකි බවට අනතුරු ඇඟවීය.
මේවා හුදු සංඛ්‍යාලේඛන නොව, අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල ඔරොත්තු නොදෙන මට්ටමට ඉහල නගින අතර වැටුප් හා ආදායම් එකතැන පල්වෙන ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ හා දුගී ජනයාගේ සමාජ තත්වයන් වැනසී යෑම පෙන්නුම් කෙරෙන සාධක වේ.
අවප්රමාන වීම වර්ධනය මන්දගාමී කරවන බවත්, එයම අනෙක් අතට, ශ්‍රී ලංකාවේ බාහිර නය පිලිබඳ ජාමූඅ මූල්‍ය තක්සේරුව මත රිනාත්මක බලපෑමක් ඇති කරවන බවටත් ජාමූඅ අනතුරු ඇඟවීය. බාහිර නය සියයට 6 කින් අඩු කල යුතු බවට එනම් 2021 දී දල දේශිය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 49 ක් විය යුතු බවට ඒජන්සිය බලාපොරොත්තු වේ.
2019 දී වානිජ නය ගනනාවක් ආපසු ගෙවීමට ඇති තම වගකීම සාක්ෂාත් කිරීමට ශ්‍රී ලංකා ආන්ඩුව ගැටලුවලට මුහුන දෙනු ඇතැයි ද ජාමූඅ සඳහන් කලේය.
”සමාන රටවල් සමග සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නය හා දල මූල්‍යකරන අවශ්‍යතා ඉහල බවද දල මූල්‍යකරන අවශ්‍යතාවලට දදේනි යේ අනුපාතය නැගී එන ආර්ථිකයන් අතර පස්වන විශාලතම රට”යැයි වාර්තාව පැවසීය. 2015 අවසානය වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නය දදේනි යෙන් සියයට 80.4 ක් වූ අතර එයින් සියයට 47 ක් විදේශ මුදල් බව එය අවධාරනය කලේය.
ලෝක බැංකුව රජයට ඩො. බිලියන 1.34 ක් සැපයීමට එකඟ වුන බවත් එයින් ඩො. මිලියන 440 ක් සංවර්ධන සහාය සඳහා සියයට 2 පොලියට ලබා දෙන බවත් ”සාමාන්‍ය සහාය” ලෙස අර්ථ දක්වන ඉතිරිය ඉහල පොලී අනුපාතයකට ලබා දෙන බවත් දෙසැම්බර් මුලදී මුදල් ඇමති රවි කරුනානායක පැවසීය.
ඕනෑම කෙනෙකුට ”නීත්‍යානුකූල” තත්වයන් යටතේ උපයාගත් මුදල් රට තුලට රැගෙන ඒමට අවශ්‍ය වන පරිදි විනිමය පාලන නීති ලිහිල් කොට ඇති බව ද කරුනානායක පැවසීය. ”නීත්‍යානුකූල” යනුවෙන් ඔහු අදහස් කලේ කුමක්දැයි ඔහු විස්තර කලේ නැත.
ජාමූඅ නියෝග අනුව යමින්, ආන්ඩුව රාජ්‍ය වියදම් කපා හරිමින් සිටී. සියලු රාජ්‍ය අමාත්යාංශ්යවල වියදම් විශ්ලේෂනය කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව කරුනානායක නිවේදනය කලේය. අයවැයෙන් වෙන් කල මුදල් දැනටමත් අඩුකර තිබෙන තත්වය මතට, සෑම මාස තුනකට වරක් සෑම අමාත්‍යාංශයක්ම වියදම් වාර්තාවක් කැබිනට් මංඩලයට ඉදිරිපත් කල යුතුය.
2017 අයවැයෙන්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් දැනටමත් කපා හැර තිබෙන අතර ඒ සමගම ගොවීන් සඳහා වූ පොහොර සහනාධාර, පාසල් සිසුන් සඳහා වූ නිල ඇඳුම් සහනාධාර හා ශ්‍රී ලාංකික සමාජයේ දුප්පත්ම කොටස සඳහා දෙන ආහාර සහනාධාර කපා හැර ඇත.
ආන්ඩුව විසින් අගය මත එකතු කිරීමේ (වැට්) බද්ද සියයට 11 සිට සියයට 15 තෙක් ඉහල දැමීම හා වෙනත් බදු ඉහල දැමීම් ජාමූඅ වාර්තාවේ පැසසුමට ලක්ව ඇත. ”මූල්‍ය කාර්ය සාධනය ධෛර්ය උපදවන සුලු වේ”යැයි එය ප්‍රකාශ කලේය. ”වැට් බද්දට කල සංශෝධනවල පුනස්ථාපනය ආදායම් උපදවන්නට රුකුලක් වනු ඇත.... ඊලඟ වසර මුලදී ගෙන ඒමට බලාපොරොත්තු වන නව දේශීය ආදායම් පනතින් වඩා කාර්යක්ෂම, පාරදෘෂ්‍ය හා පුලුල් පදනමක බදු ක්‍රමයකට මග හෙලි කරනු ඇත.”
කෙසේවුවද ”බදු පරිපාලනයේ, රාජ්‍ය මූල්‍ය කලමනාකරනයේ හා පාලනයේ සහ රාජ්‍ය ආයතන පාලනයේ අනුපූරක ව්‍යුහාත්මක ප්රතිසංස්කරන ස්ථිර මූල්‍ය සංස්ථාපනය සඳහා තීරනාත්මක” යැයි ජාමූඅ අවධාරනය කලේය. ”බලාපොරොත්තු වූවාට වඩා අඩු වර්ධන වේගය හා රාජ්‍ය ආයතනවල බලාපොරොත්තුවූවාට වඩා වැඩි පාඩු” ගැන සඳහන් කරන එය සමහර රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමේ අවශ්‍යතාවය හා රාජ්‍ය ආයතනවල නය ”සක්රීයශීලීව කලමනාකරනය” කල යුතු බව අවධාරනය කලේය.
ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය ආයතන හය සඳහා ආන්ඩුව සංස්ථාපිත අභිප්‍රායේ ප්‍රකාශන දැනටමත් සුදානම් කරමින් සිටින බව ජාමූඅ සඳහන් කලේය. ඒවා මොනවාදැයි නම් නොකලත්, එය ජාමූඅ හි පුද්ගලීකරන නියෝග ක්‍රියාත්මක කිරීමට ආන්ඩුවේ සූදානම ගැන පැහැදිලි සංඥාවකි.
ජාතික ගුවන් සේවය පුද්ගලීකරනයට ගන්නා ක්‍රියාමාර්ග ගැන ප්‍රකාශ කරමින්, ”උපායමාර්ගික සහකරුවෙක් හා විස්තරාත්මක වියදම් කප්පාදුවක් ඇතුලත්ව 2016 දෙසැම්බර් (පමාවීමක් සමග) වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා මූලෝපායික යෝජනාවක් සම්මත කර ගත යුතුයැ”යි ආයතනය පැවසීය.
ඩො. බිලියන 1.1 ක් සඳහා චීනයේ මර්චන්ට් පෝට් හෝල්ඩිංස් කම්පැනි ලිමිටඩ් වෙත වරායේ කොටස් වටිනාකමින් සියයට 80 ක් ලබාදෙමින් හම්බන්තොට වරාය විකිනීමට ශ්‍රී ලංකා රජය චීන සමාගම සමග මූලික ගිවිසුමක් දැනටමත් අත්සන් කර තිබේ.
මේ මස මුලදී හම්බන්තොට වරාය සේවකයන්ගේ වැඩ වර්ජනය බිඳ දමන්නට පොලීසිය හා සන්නද්ධ නාවික සොල්දාදුවන්, අධිකරන නියෝගයෙන් පිටුබලය ලත් හොරිකඩයින් හා විෂඝෝර මාධ්‍ය ව්‍යාපාරයක් යොදවන විට ජාමූඅ නියෝග ක්‍රියාවට දැමීමට හා තම සමාජ-ප්රතිගාමී ප්‍රතිපත්තිවලට එරෙහිව සියලූ විරෝධයන් මැඩලීමට කොලඹ පරිපාලනයේ අධිෂ්ඨානය පැහැදිලි වුනි. නව සමාගම වරායේ පාලනය බාර ගැනීමට පෙර තම රැකියා ස්ථිරකර ගැනීමට අනියම් කම්කරුවෝ සටන් කලහ.
හම්බන්තොට වරාය සේවකයන් වෙත එල්ල කල ආන්ඩුවේ ප්‍රහාරයේ අනුකම්පා විරහිත ස්වරූපය තම ප්රතිගාමී වැඩපිලිවෙලට එරෙහි වන කම්කරු පන්තියේ අනෙකුත් කොටස්, ග්‍රාමීය දුගීන් හා තරුන සිසුන් අතර වැඩෙන විරෝධයට ප්රතිචාරයකි.
Follow us on