ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පුහු ගාලගෝට්ටි: ධනේශ්වර සංස්ථාපිතයට එරෙහිව වැඩෙන මහජන විරෝධය වෙනතක හැරවීමේ තැතක්
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 මාර්තු 17
පසුගිය සති අන්තයේ, කතානායකගේ තීන්දු වලට එරෙහිව, වරෙක විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ද, තවත් වරෙක ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ද, පාර්ලිමේන්තුව තුල දක්වන ලද විරෝධතා රංගනයන් සහ මාධ්‍ය තුල එයට ලබා දෙන සුවිසල් අවධානය වනාහි, ආන්තික අර්බුදයට සහ පරිහානියට පත් ධනේශ්වර සංස්ථාපිතයට එරෙහිව වේගයෙන් වැඩෙන මහජන විරෝධය වෙනත් දිසාවන්ට හැරවීම සඳහා පාලක පන්තිය විසින් දරන මංමුලාසහගත ප්රයත්නයේ කොටසකිි.
මෙම විරෝධතාවන්ට ආසන්න නිමිත්ත වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුන (ජානිපෙ) විසින් තම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුල ස්වාධීන කන්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩදෙන ලෙස කතානායක කරු ජයසූරියගෙන් කරන ලද ඉල්ලීමයි.
සිංහල ස්වෝත්තමවාදී පක්ෂයක් වන ජානිපෙ පසුගිය මහ මැතිවරනයේදී තරග කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නායකත්වය දෙනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) යටතේ ය. එසේ වුවද, ජානිස පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටත කටයුතු කරන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්, සිරිසේන නායකත්වයට එරෙහිව ගොඩනගාගෙන ඇති ‘ඒකාබද්ධ විපක්ෂය’ සමගිනි.
කෙසේ නමුදු, මාර්තු 8 වන දා පාර්ලිමේන්තුව අමතමින් කතානායකවරයා පැවසුවේ ජානිපෙ හි ඉල්ලීමට ඉඩදිය නොහැකි බවයි. ‘ඒකාබද්ධ විපක්ෂයේ’ තවත් පාර්ශ්වයක් වන මහජන එක්සත් පෙරමුනේ (මඑපෙ) නායක, දිනේශ් ගුනවර්ධන මෙයට විරුද්ධත්වය පල කරමින් අධි රංගනයක යෙදුනු අතර අවසානයේදී ඔහුට සතියක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම් තහනම් කෙරුනි.
10 වන දා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ජානිස ඉල්ලීම සම්බන්ධයෙන් කතා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සහ දිනේශ් ගුනවර්ධන වෙනුවෙන් කතා කිරීමට එම කන්ඩායමේ මන්ත්‍රීවරයෙකුට ඉඩදීම සම්බන්ධයෙන් කතානායකවරයාට විරෝධය පලකොට වත්මන් ආන්ඩුවේ ප්‍රධානතම පාර්ශ්වය වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සභාගැබෙන් ඉවත් වූහ. මේ තතු යටතේ මාර්තු 22 වන දා තෙක් සභාව කල් තැබුනි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුල ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකගේ තීරනයකට විරෝධය පල කරමින් සභා ගර්භයෙන් ඉවත්ව ගිය පලමු අවස්ථාව ආදී වශයෙන් නම් කරමින් මාධ්‍ය විසින් අති මහත් ප්‍රචාරයක් ලබා දෙන මෙම ඊනියා විරෝධතාවන් මගින් මහජනතාවගේ කවර හෝ අවශ්‍යතාවයක් නියෝජනය නොකෙරේ.
‘විරෝධතාවන්’ හි එක් පාර්ශ්වයක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ නියෝග මත, කම්කරු-පීඩිත මහජනතාව ගේ සමාජමය සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් එකින් එක උදුරා ගනිමින් පොලිස් රාජ්‍යයක් දෙසට පියවර නගමින් සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ එජාපය යි.
ආන්ඩුවට එරෙහිව වේගයෙන් වැඩෙන මහජන විරෝධය ගසා කා යලි බලයට පැමිනීම සඳහා, ෆැසිස්ට් අංග ලක්ෂන සහිත සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් ගොඩනගමින් සිටින රාජපක්ෂ ඇතුලු ‘ඒකාබද්ධ විපක්ෂය’ අනෙක් පාර්ශ්වය යි.
රටේ දැවැන්ත නය කන්දරාව, අපනයන කඩා වැටීම, විදේශ ආයෝජන ගලා ඒමේ දැඩි මන්දගාමිත්වය ආදිය හේතුවෙන් ආන්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුන දී සිටී. ලෝක ධනේශ්වර පද්ධතියේ අභ්‍යන්තර පරස්පර විරෝධතාවන් පෙර නොවූ විරූ ආකාරයෙන් තීව්‍රවී සමස්ත පද්ධතියම බිඳ වැටීමක් තුලින් ගමන් කරන තතු යටතේ රටේ ආර්ථික අර්බුදය වඩාත් උග්‍ර කෙරී ඉතිහාසයේ පලමු වරට නය පැහැර හැරීමේ තත්වයට ශ්‍රී ලංකාව පත්ව ඇත.
තමා මුහුන දී සිටින ප්රගාඪ ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම රටක් රටක් පාසා පාලක පන්තීන්ගේ පිලිවෙත බවට පත්ව ඇත. මෙම පිලිවෙත් නිර්නය කෙරෙන්නේ, ලොවපුරා මහජනතාවගේ සමස්ත සමාජ-ආර්ථික ජීවිතය පාලනය කරන ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ අවශ්‍යතාව මතයි. අති මූලික වශයෙන් ගත් කල ඒ ඒ රටවල ආර්ථික පිලිවෙත් නිර්නය කෙරෙනුයේ ජාත්‍යන්තර ප්රාග්ධනයේ සංවිධිත රූපය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.
සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනි ආසන්නයේ මූල්‍ය අරමුදලෙන් ලබාගත් නය වෙනුවෙන් පනවන ලද කොන්දේසිය වූයේ 2015 දී දල ජාතික නිශ්පාදනයෙන් සියයට 7 ක් වූ අය-වැය පරතරය 2020 වන විට සියයට 3.5 ක් දක්වා අඩු කලයුතු බවයි.
මූල්‍ය අරමුදලේ නියෝගයන් මත, අය-වැය පරතරය අඩු කිරීම සඳහා, රාජපක්ෂ විසින් ක්‍රියාවට නංවමින් සිටි කප්පාදු පිලිවෙත් වඩාත් වේගයෙන් ඉදිරියට ගෙන යාමට වත්මන් ආන්ඩුවට බල කෙරී ඇත්තේ මෙම තතු තුලයි. මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය ඇතුලු සුබසාධන සේවාවන් සඳහා වැය කෙරෙන මුදල් දැවැන්ත පරිමානව කපා දැමීම, ‘ප්රතිව්යුහකරනය’ නාමයෙන් සිදු කෙරෙන රාජ්‍ය රැකියා කප්පාදුව සහ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය මෙන්ම මහජනතාව මත ඉහිලිය නොහැකි තරමේ බදුමුදල් පැටවීම ආදී පියවර හරහා ආන්ඩුව ක්‍රියාවට නංවමින් සිටින්නේ මෙම නියෝගයන් ය.
මූල්‍ය ප්රාග්ධනයේ ප්රහාරයන්ට එරෙහිව රැඩිකලීකරනය වෙමින් පවත්නා ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ද ආන්ඩුවේ ප්රහාරයන්ට එරෙහිව නොකඩවා අරගලයට අවතීර්න වෙමින් සිටී. අනෙකුත් රටවල ආන්ඩුවල මෙන්ම අර්බුදග්රස්ත සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ මෙම අරගල රුදුරු ලෙස තලා දැමීමයි. සිවිල් යුද්ධය මධ්‍යයේ ගොඩනගා ගත් මර්දන යන්ත්‍රය සහ වර්ධනය කරගත් ක්‍රමවේදයන් අරගලයට ඇදෙන කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව යහමින් භාවිතා කරමින් සහ ඒවා තවතවත් ශක්තිමත් කරමින් ආන්ඩුව පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් පියවර මනිමින් සිටී.
රටක් රටක් පාසා පාලක පන්තීන් ගෙන යන මෙම සමාජ ප්රතිවිප්ලවීය ප්රහාරයන්ට සමගාමීව, කම්කරු පන්තියට එරෙහිව කඩා පැන්නවීම සඳහා ෆැසිස්ට් පන්නයේ ව්‍යාපාරයන් වර්ධනය කිරීම අර්බුදග්රස්ත පාලක පන්තීන්ගේ තවත් ව්‍යායාමයකි. එක්සත් ජනපද ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ල’පෙන් ගේ නායකත්වයෙන් යුත් ප්රන්සයේ ජාතික පෙරමුන සහ පිලිපීනයේ දුතර්තේ එම ප්රපංචයේ කැපී පෙනෙන උදාහරනයන් ය. ස්වෝත්තමවාදය සහ ජාතික ආර්ථිකවාදය ප්‍රවර්ධනය කිරීම ඔවුනගේ ප්රතිගාමී දේශපාලනයේ මූලික අංග ලක්ෂනය ලෙස පවතී.
සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම් වූ රාජපක්ෂගේ ‘ඒකාබද්ධ විපක්ෂය’ වේගයෙන් වර්ධනය වෙමින් පවත්නේ මෙවන් ෆැසිස්ට් පන්නයේ ව්‍යාපාරයක් දෙසට යි. ඩොනල්ඩ් ට්‍රම්ප් ට සුබ පතමින් යැවූ පනිවුඩයේ රාජපක්ෂ විසින් අගය කරනු ලබන්නේ ට්‍රම්ප් ගේ මෙම ගති ලක්ෂන යි.
ට්‍රම්ප් සමග එක්ව වැඩ කිරීමේ තම සූදානම, එනම් ට්‍රම්ප් බලයට පැමිනීමෙන් පසු වේගවත් කොට ඇති චීනය මිලිටරිමය සහ ආර්ථිකමය වශයෙන් වටලෑමේ එක්සත් ජනපද මූලෝපායික වැඩකටයුතු වලට ඒකාග්ර වෙමින් සිරිසේන-වික්‍රමසිංහ තන්ත්රය ඉටු කරන ප්රතිගාමී කි‍්‍රයා කලාපය ඉටු කිරීම සඳහා තම සූදානම, මහින්ද රාජපක්ෂ පසුගිය දා නිකුත් කල ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් දැනටමත් පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තුව තුලින් තේරී පත්විය යුත්තේ ‘ජනතාව වෙනුවෙන් වූ, ජනතාවගෙන් සැදුම් ලත් හා ජනතාවගේ ආන්ඩුවක්’ යන ඒබ්‍රහම් ලින්කන් ගේ සුප්‍රකට ප්‍රකාශයට කවර හෝ වලංගුභාවයක් ලබා දීමට මෙම පාර්ලිමේන්තුව හෝ එහි නියෝජිතයන් සමත් නොවේ. ඒ වෙනුවට ඇත්තේ ‘ධනය පොදි ගැසීම වෙනුවෙන් වූ, ධනවතුන්ගෙන් සැදුම්ලත්, ධනවතුන්ගේ’ පාර්ලිමේන්තුවකි.
ඉහල වැටුප් සහ දීමනා, විදේශ සංචාර සහ අධි සුඛෝපභෝගී වාහන ඇතුලූ වරප්‍රසාද තරකර ගැනීමේ බඩජාරී පියවරයන් සඳහා අනුමැතිය ලබා ගැනීමේ දී මෙම ‘එදිරිවාදීන්’ එකිනෙකාගේ කරට අත දමා ගන්නේ ජුගුප්සාව දනවමිනි. මෙම වරප්‍රසාද වලට අමතරව විවිධ මගඩි හරහා සුපිරි ධනවතුන් බවට පත්ව ඇති මෙම පරපෝෂිතයන් රොත්ත සහ ඔවුනගේ ග්‍රාම්‍ය රඟ මඬල වන පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් බහුතර මහජනතාව තුල ඇත්තේ පිලිකුල සහ කෝපය පමනකි.
ඓතිහාසික අර්ථයෙන් ගත්කල, ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ දශක හතක පැවැත්ම තුල කවර හෝ ප‍්‍රජාතන්තී‍්‍රය කර්තව්‍යයක් ඉටු කෙරී නොමැති අතර එමගින් අති මූලිකව සිදු කෙරුනේ දෙමල කතා කරන ජනයාට එරෙහි සිංහල-බෞද්ධ රාජ්‍යයක් තහවුරු කිරීමේ සහ කම්කරු පන්තියට එරෙහි කුරිරු මර්දන නීති සම්පාදනය කරදීමේ කර්තව්‍යයි. එහි වැඩ ඇරැුඹුනේමත්් දෙමල වතු කම්කරු ජනයා භුක්ති විඳිමින් සිටි මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියක් වන ඡුන්ද අයිතිය අහෝසි කරමිනි. පීඩිත ජාතීන්ගේ ජාතික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතිය තහවුරු කිරීම හා ගොවි ජනතාවගේ ඉඩම් පිලිබඳ ප්රශ්නය විසඳීම වැනි ධනේශ්වර ප්රජාතන්ත්රවාදී කර්තව්‍යයන් කිසිවක් ඉටු කිරීමට මෙම පාර්ලිමේන්තුව තම සමස්ත ඉතිහාසය තුල අසමත්ව ඇත.
ධනේශ්වර සංස්ථාපිතයේ ප්‍රධානතම ආයතනයක් වන පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් මහජනතාවගේ මෙම උතුරා යන කෝපය ගැන පාලක පන්තියේ උත්සුකය දනවන කතුවැකි කීපයක් ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් හි පලවිය.
මෙම මහජන කෝපය පිලිබඳව ‘දේශපාලන පන්තිය විසින් අවබෝධ කරගත යුතු’ යැයි කතුවැකි අනතුරු අඟවයි.
ධනේශ්වර පාර්ලිමේන්තුව පිලිබඳ මහජන විශ්වාසය බිඳ වැටීම පිලිබඳ වඩාත්ම භීතියට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යි. පසුගිය දා පාර්ලිමේන්තුව තුල සිදුවූ නාටක වලින් පසු මාධ්‍ය ඇමතූ ජවිපෙ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ‘මෙවැනි සිද්ධි නිසා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් මහජනතාවට ඇති විශ්වාසය සීඝ්රයෙන් බිඳ වැටෙමින් පවතින’ බවත් එම ‘විශ්වාසය තහවුරු වන ආකාරයට මන්ත්‍රීවරුන් හැසිරිය යුතු බවත්’ දැඩි කනස්සල්ලෙන් පැවසුවේය.
පවත්නා සංස්ථාපිතයේම කොටසක් බවට පත්ව ඇති ජවිපෙ හි දෙපා සලිතව ඇත්තේ, ධනපති පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ වැටීම, ධනේශ්වර පද්ධතියටම එරෙහි විකල්පයක් සෙවීමට මහජනයා යොමු කෙරෙන්නක් බැවිනි.
Follow us on