න්‍යෂ්ටික ශිශිරය - දීර්ඝ කාලයක් තිස්සේ යටපත්කර ඇති න්‍යෂ්ටික යුද්ධයේ යථාර්තය

විද්‍යාඥයකු හා ප‍්‍රති-න්‍යෂ්ටික ක්‍රියාකාරිකයකු වන ස්ටීවන් ස්ටාර් සමග කල සම්මුඛ සාකච්ඡාවකි

Nuclear winter—the long-suppressed reality of nuclear war

බ‍්‍රයන් ඩයින් විසිනි, 2017 ජනවාරි 19

ලෝසවෙඅ මෑතකදී න්‍යෂ්ටික යුද්ධයක අනතුරු පිලිබඳව විශේෂඥයෙකු වන ස්ටීවන් ස්ටාර් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන සහ මාධ්‍ය සංස්ථාපිතය න්‍යෂ්ටික යුද්ධයේ අන්තරායන්ට සුදුහුනු ගාමින් ඒකාබද්ධ ව්‍යාපාරයක් ගෙනගොස් තිබුනි. 1980 ගනන් වලින් මෙපිට අපකීර්තිමත් විද්‍යාව උපයෝගී කර ගත් එක්සත් ජනපද නිලධාරීන්, රුසියාවට එල්ලකරන පලමු න්‍යෂ්ටික ප‍්‍රහාරයක් “සාර්ථක වීමට” පුලුවන් බව ද බහුවිධ පරමානුක හෝ තාප න්‍යෂ්ටික ස්ඵෝටයක් මගින් මතු විය හැකි යැයි සලකන පාරිසරික අන්තරාය, එනම්, ඊනියා න්‍යෂ්ටික ශිශිරය, සනාථ නොකෙරෙනු ඇතැයි ද යන ප‍්‍රතිපත්තිය තෝරාගෙන තිබිනි.

කොන්ග‍්‍රස් මන්ඩලයේ රිපබ්ලිකානු සහ ඉහල ඩිමොක‍්‍රටික් නිලධාරීන් රුසියාව සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට එරෙහිව නව මැකාර්තියානු පුරසාරම් යොදා ගැනීම සහ පෝලන්තයේ රුසියානු දේශසීමාව ඔස්සේ 4000ක එක්සත් ජනපද හමුදාවක් යුද ටැංකි, කාලතුවක්කු සහ සන්නද්ධ රථ ස්ථානගත කිරීම වැනි ප‍්‍රකෝපකරන සලකා බලන විට, එවැනි ආකල්පයක් දැරීම ම, විරුද්ධවාදීන්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිලිබඳව අනතුරු අඟවන නව එලියක් විහිදුවයි. එක්සත් ජනපද ආන්ඩුවේ සැලකිය යුතු කොටසක් න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග යුද්ධයකට සුදානම් වන අතර අවුරුදු 34 මුලුල්ලේ ප‍්‍රාමානිකව විද්‍යාත්මක පරීක්ෂන වලින් තහවුරුකර ඇති න්‍යෂ්ටික ගැටුමකින් මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන බව ඔවුහු ප‍්‍රතික්ෂේප කරති.

මෙම ඉදිරිදර්ශනය මාධ්‍යය තුල පිලිබිඹු වේ. 1987 දී නනැෂනල් රිවිව් සඟරාව න්‍යෂ්ටික ශිශිරය “ප්‍රෝඩාවක්” ලෙස විස්තර කලේය. 1990 දී නිව්යෝක් ටයිම්ස් පුවත්පත, එය බාල විද්‍යාවක් බව සඳහන් කලේය. 2000දී ඩිස්කවර් සඟරාව, “ඉතිහාසයේ ඉහලම විද්‍යයාත්මක අනුවනකමින් වන වැරදි විස්ස ඇතුලත්” ලැයිස්තුවට න්‍යෂ්ටික ශිශිරය ද ඇතුලත් කරන ලදී. එතැන් පටන් න්‍යෂ්ටික ශිශිරයයේ අවදානම විශාල වශයෙන් නොසලකා හරිනු ලැබූ අතර ඒ පිලිබඳව විද්‍යාඥයින් පරියේෂන කරනුයේ ඉතා සුලු වශයෙනි.

ස්ටීවන් ස්ටාර්
ස්ටීවන් ස්ටාර් න්‍යෂ්ටික යුද්ධයක ප‍්‍රතිවිපාක ජනතාව ඉදිරියේ නිරාවරනය කල විද්‍යායඥයන් කිහිප දෙනා අතරින් කෙනෙකි. ඔහු න්‍යෂ්ටික ආයුධ වල පාරිසරික අන්තරාය පිලිබඳව විශේෂඥයකු වන අතර ඔහුගේ පරීක්ෂන පත‍්‍රිකා පරමානුක විද්‍යාඥයන්ගේ බුලටිනයේ ද මොස්කව් භෞතික විද්‍යා ආයතනය සහ අවි පාලනය, බලශක්තිය සහ පාරිසරික අධ්‍යයනයන් සඳහා වන තාක්ෂනික කේන්ද්‍රයේ ද ප‍්‍රසිද්ධ කරනු ලැබ තිබේ. න්‍යෂ්ටික ස්ඵෝටනයක් නිසා ඇතිවන දේශගුනික ප‍්‍රතිවිපාක සම්බන්ධයෙන් පර්යේෂන වල 2001 සිට ඔහු නිමග්නව සිටියි.

ස්ටීවන් ස්ටාර්, මිසොරි විශ්වවිද්‍යාලයේ සායනික පරීක්ෂනාගාර විද්‍යා වැඩසටහනේ අධ්‍යක්ෂක වන අතර සමාජ වගකීම් සඳහා වන භෞතිකවේදී ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු ද වේ. ඔහු ගේ මෑතම ප‍්‍රකාශනය වන්නේ Turning a Blind Eye Towards Armageddon – U.S. Leaders Reject Nuclear Winter Studies (මහා විනාශය දෙස අන්ධ ඇසකින් බැලීම-එක්සත් ජනපද නායකයින් න්‍යෂ්ටික ශිශිරය පිලිබඳ අධ්‍යයන ඉවතලීම) යන හිසින් ඇමරිකානු විද්‍යාඥයන්ගේ සම්මේලනය නම් සංවිධානයේ වෙබ් අඩවියේ පල කල ලිපියයි.

න්‍යෂ්ටික ශිශිරය පිලිබඳ සංකල්පය යටින් පවතින ඉතිහාසය, විද්‍යාව හා දේශපාලනය සහ කිසියම් රටකට න්‍යෂ්ටික යුද්ධයක් දිනිය හැකිය යන මිත්‍යාව පිලිබඳව මෑතකදී අපි ස්ටාර් සමග කථා කලෙමු.

***

බ‍්‍රයන් ඩයින්: පලමුව ඔබගේ පසුබිම ගැන යමක් පැවසිය හැකි ද? එමෙන්ම න්‍යෂ්ටික යුද්ධයේ පූර්න ප‍්‍රතිවිපාක දැඩි ලෙස එලිදරව් කරන්නකූ බවට ඔබ පත්වන්නේ කෙසේද?

ස්ටීවන් ස්ටාර්: මම න්‍යෂ්ටික යුද්ධය ගැන සිතීම ආරම්භ කලේ, මා තුන් වන ශ්‍රේනියේ සිටියදී ලද කියුබානු මිසයිල අර්බුදයේ අත්දැකීමත් සමගයි. මට මතකයි ගුරුවරු කුඩා කලූ සුදු රුපවාහිනියක් වටා රොක් වී සිටියා. එමෙන්ම අපට ඒ දෙස නොබලන ලෙසත් අභ්‍යන්තර බිත්ති වලට මුහුනලා ඉඳ ගන්නා ලෙසත් පැවසූවා. න්‍යෂ්ටික පිපිරීමක ප‍්‍රතිවිපාක වලින් ආරක්ෂාවීම සදහා වන සියලූම පුහුනුවීම් මා තුල කාවැදුනි.

පසු කලෙක, 1990 දි ප‍්‍රකාශයට පත් කාල් සේගාන් ගේ A Path Where No Man Thought: Nuclear Winter and the End of the Arms Race(කිසිවකුත් නොසිතූ මාවත: න්‍යෂ්ටික ශිශිරය සහ අවි තරඟයේ අවසානය) නැමති ග‍්‍රන්ථය මට හමු විය. ඒ තුල සේගාන් න්‍යෂ්ටික යුද්ධයක් නිසා ඇති වන කාලගුනික හා පාරිසරික ප‍්‍රතිවිපාක 1980 ගනන් වල වායුගෝලය පිලිබඳ පරියේෂන මගින් ඔප්පු කරන බව අවධාරනය කරයි. සේගාන් සහ තවත් නාසා ආයතනයේ විද්‍යාඥයන් හතර දෙනෙක්, අඟහරු ග‍්‍රහයා ගේ ගෝලීය දූවිලි කුනාටු පිලිබඳ දත්ත පරීක්ෂා කල අතර එහිදී දූවිලි කුනාටු පවතින සහ නොපවතින අවස්ථා වල අඟහරු මතුපිට උෂ්නත්වය වෙනස්වීම විශේෂයෙන් පරීක්ෂා කරන ලදී. එවිට ඔවුන් විමසුවේ, “පෘථිවිය මත ඊට සමාන තත්වයක් කුමන හේතු නිසා ඇතිවිය හැකි ද?” යන්නයි. ඊට පිලිතුරු ලෙස ඔවුහු, ගිනි කඳු පිපිරීම් හෝ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීම කරා අවධානය යෙදූහ.

මෙ මගින් ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සතු න්‍යෂ්ටික අවි කෙතරම් භයානක ද යන්න මට ප‍්‍රත්‍යක්ෂ විය. 1980 ගනන් වල පැවති සරල වායුගෝලීය ආකෘති අනුව පවා, න්‍යෂ්ටික යුද්ධයක දී ඇති වන විශාල අග්නි ජාලය මගින්, පෘථිවිය මතු පිටට සූර්ය එලියෙන් වැඩි කොටසක් පැමිනීම අවහිර කිරීමට ප‍්‍රමානවත් දුම් හා කලු කාබන් සහිත දැලි නිපදවිය හැක. න්‍යෂ්ටික ශිශිරය පිලිබඳ ආරම්භක පරියේෂන වලදී පුරෝකථනය කලේ, යුද්ධයක දී 1980 ගනන් වල පැවති න්‍යෂ්ටික අවි පාවිච්චි කලහොත් පවා, පෘථිවිය මත උෂ්නත්වය මීට අවුරුදු 18,000 කට පෙර පැවති අවසාන අයිස් යුගයේදී පැවති උෂ්නත්වයටත් වඩා අඩුවන බවයි. මේ අනුව පෘථිවිය සැබැවින්ම ජීවීන්ට වාසය කල නොහැකි තැනක් බවට පත් වේ. මුල් අධ්‍යයන, න්‍යෂ්ටික යුද්ධයක ප‍්‍රතිවිපාක ඇත්ත වශයෙන්ම අවතක්සේරු කර ඇති බව මෑතදී කරන ලද පරීක්ෂන වලින් අනාවරනය වේ.

2007දී විශේෂඥ කමිටුවකින් කල සමාලෝචන අධ්‍යයනයකට අනුව, ඉන්දියාව හා පාකිස්ථානය අතර යුද්ධයකදී දෙරටේ නගර වලට හෙලනු ඇති න්‍යෂ්ටික බෝම්බ 100ක් මගින් ජනනය කල හැකි දැලි සහ දුම් නිසා උෂ්නත්වය, පසු ගිය අවුරුදු 1000 තුල අත්විඳි අවම මට්ටමට ගෙන එනු ඇති බවට පුරෝකථනය කර තිබේ. මෙ මගින් අවුරුදු කිහිපයක් යන තෙක්, සහල්, ඉරිඟු සහ ධාන්‍යමය භෝග වගාව සැලකිය යුතු ප‍්‍රමානයකින් අඩු වන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස, මෑතම ඇස්තමේන්තු අනුව වෛද්‍ය විශේෂඥයින් පුරෝකථනය කරන පරිදි, බිලියන දෙකක පමන ජනතාවක් සාගතයට ගොදුරු විය හැකිය.

නූතන පරියේෂන පෙන්වා දෙන්නේ, උත්තර අර්ධ ගෝලයේ ජනගහනය සහිත භූමිභාගයන්හි, ඉහල උනුසුම් දුමාර නිසා සිදුවන අපරිවර්තී ගෝලයේ ඕසෝන හානිය සියයට 20 සිට 50 දක්වා වනු ඇති බවයි. එහිදි සුදු චර්මය සහිත අයෙකු, ජුනි මාසයේ දිනක මද්දහනේ පිටත විනාඩි හයක් වැනි සුලු කාලයක් තුල ඉර එලියට නිරාවරනය වුවහොත් වේදනාකාරී පිලිස්සුම් ඇති වේ. ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සතුව දැනට පවතින න්‍යෂ්ටික අවි යොදාගෙන කරන යුද්ධයකින්, කෘෂිකර්ම කටයුතු දශකයක් හෝ ඊට වැඩි කාලයකට ඇන හිටින අතර න්‍යෂ්ටික දුර්භික්ෂයක් නිසා මිනිසුන් ගෙන් විශාල පංගුවක් මරනයට පත් වනු ඇත.

1990 ගනන් වල අවසාන භාගය ආරම්භයේ දී මෙම මාතෘකාව පිලිබඳ වැඩිමනත් පර්යේෂන සිදු නොකෙරෙන්නේ මන් ද යන්න ගැන මම පුදුම වන්නේ, විශේෂයෙන් න්‍යෂ්ටික අවි නවීකරනය නිසා සැලකියුතු වෙනස්වීම් සහ කාලගුනික ආකෘති, 1983 දි මුල්ම අධ්‍යයන වල සිට බොහෝ දුරක් ඉදිරියට පැමින ඇති බැවිනි. එක් ආයුධයකින් ඇති වන ප‍්‍රතිවිපාක පමනක් නොව අතිශය දියුනු පරිගනක තාක්ෂනය, න්‍යෂ්ටික යුද්ධයකින් වන පූර්න බලපෑම අධ්‍යයනයට අවකාශ සලසා තිබේ. මම අවබෝධ කරගත්තේ, මේ සම්බන්ධයෙන් කරන පර්යේෂන යටපත් කිරීමට ක්‍රියාත්මක උත්සාහක් පැවති අතර ඒ සඳහා නොයෙක් ක‍්‍රම උපයෝගී කර ගෙන තිබුනු බවයි.

පලමුව 1986 දී ස්ටාර්ලි තොම්සන් සහ ස්ටෙෆාන් ස්චෙනයිඩර් විසින් ජාතික වායුගෝලීය පරීක්ෂන කේන්ද්‍රයේ අධ්‍යනයක් ප‍්‍රකාශට පත් කරනු ලැබූ අතර එහි සඳහන් වූයේ, මුල් න්‍යෂ්ටික ශිශිරය පිලිබඳ අධ්‍යනයන්, ඉහල වායුගෝලයට මුදා හැරෙන කාබන් අඩංගු දැලි ප‍්‍රමානය අධිතක්සේරු කර ඇති බවයි. මෙහිදී ස්ටාර්ලි සහ ස්ටෙෆාන්, න්‍යෂ්ටික පිපිරීමකින් නිකුත් වන දුම් වලින් 50% ක් අපරිවර්තී ගෝලයට මුදාහැරෙන බවත් ඉතිරි ප‍්‍රමානය වැසි මගින් ඉවත් වන බවත් සාවද්‍ය ලෙස ප‍්‍රකාශ කිරීමට භාවිතා කර ඇත්තේ, ප‍්‍රාථමික ගනයේ ආකෘතියකි (දින 20 ක් තුල පමනක් කි‍්‍රයාත්මක වන). “න්‍යෂ්ටික ශරත් සමය” නම් වාක්‍ය ඛන්ඩය උපුටාගෙන ඇත්තේ, අදාල විෂය පිලිබඳ විශේෂඥ මන්ඩලයකින් සමාලෝචනයක් නොකෙරුනු මෙම අධ්‍යයනය වෙතිනි.

“න්‍යෂ්ටික ශරත් සමය” වෘතාන්තය ෆොරින් එෆෙයාස් හි පලකරනු ලැබු අතර ඉක්බිතිව නැශනල් රිවිව්, වෝල් ස්ට්‍රීට් ජ්ර්නල්, ටයිම්ස් මැගසින්, සහ නිව්යෝක් ටයිම්ස් ඇතුලු නොයෙක් වර්ග වල ප‍්‍රවෘත්ති පල කරන මාධ්‍ය වෙත පැතිර ගියේය. 2000දී ඩිස්කවර් සඟරාව න්‍යෂ්ටික ශිශිරය ”ඉතිහාසයේ ඉහලම විද්‍යාත්මක අනුවනකමින් වන වැරදි විස්ස” යන තම ලැයිස්තුවට ඇතුලත් කරන ලදී.

න්‍යෂ්ටික ශිශිරයයට එරෙහිව ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් එහි විශ්වසනීයත්වයට හානි කිරීම සාර්ථක වීමෙන් පසුව, වැඩිමනත් පිරිස් අවසානයේ දී මෙම වෘතාන්තය පිලිගත් අතර මේ සම්බන්ධ නව පරීක්ෂන සඳහා අරමුදල් වියැකී ගියේය. න්‍යෂ්ටික ශිශිරය පිලිබඳ න්‍යාය බොරු කරන ලදැයි යන හැඟීම ජනතාව මත විශාල බලපෑමක් ඇති කලේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම මාතෘකාව ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල සාකච්ඡා වන්නේ ඉතා අල්ප ලෙසයි.

බ‍්‍රයන් ඩයින්: න්‍යෂ්ටික ශිශිරය, න්‍යෂ්ටික ශරත් සමය ලෙස වෙනස් වීමට දේශපාලන බලපෑම් සම්බන්ධව ඇතැයි ඔබ හිතනවද?

ස්ටීවන් ස්ටාර්: නියත වශයෙන්ම පලමු න්‍යෂ්ටික ශිශිරය පරීක්ෂනයට එරෙහිව විවිධ කාර්මික සහ මිලිටරි ක්ෂේත‍්‍රයන්ගෙන් දැඩි රිනාත්මක ප‍්‍රතික්‍රියා පල විය. විද්‍යාඥයෝ බොරුකාරයන් ලෙස හැඳින්වු අතර විද්‍යාත්මක පරීක්ෂන “බාල විද්‍යාවන්” (bad science) ලෙස හංවඩු ගැසීය. මෙයට එක හේතුවක් වන්නේ, අවුරුදු ගනනක් තිස්සේ න්‍යෂ්ටික ආයුධ සඳහා ඩොලර් ට්‍රිලියන ගනන් වියදම් කරනු ලැබ තිබීමයි. න්‍යෂ්ටික ශිශිරය පිලිබඳ පරීක්ෂන වල නිගමන ලෙස න්‍යෂ්ටික යුද්ධය සියලු මිනිසුන් හා ජාතීන් ගේ සියදිවි නසාගැනීමක් යන්නට ව්‍යාප්ත වූ පිලිගැනීමක් සහ අවබෝධයක් අත්පත් කරගත්තේ නම්, න්‍යෂ්ටික ආයුධ කර්මාන්තය වසා දැමීමට සිදුවිය හැකිව තිබිනි.

න්‍යෂ්ටික ශිශිරයට අදාල පරීයේෂන සඳහා අරමුදල් කපා හරිමින්, එවැනි පරීයේෂන නවතා දැමීමට විද්‍යාඥයන් වෙත බලපෑම් එල්ල කෙරිනි. න්‍යෂ්ටික ශිශිරයක අනතුර පිලිබඳ මිනිසුන් දැනුවත් කිරීම වෙනුවෙන් විද්‍යාඥයින් වෙත ඉහලම තිලින ප‍්‍රධානය කිරීම වෙනුවට ඔවුන් පීඩාවට පත් කරනු ලැබින. අරමුදල් ඉවත් කිරීම විද්‍යාඥ ප‍්‍රජාව නිහඬ කිරීම සඳහා ගත හැකි ඵලදායී මාවතයි.

එය සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක නොවීය. උදාහරනයක් ලෙස සේගාන් මෙම මාතෘකාව පිලිබඳව කථා කිරීම හා වාර්තා ඉදිරිපත් කිරීම දිගටම කර ගෙන ගිය අතර බොහෝ විද්‍යාඥයො මේ පිලිබඳ උනන්දුවක් සහ සැලකිල්ලක් දැක්වූහ. ප‍්‍රති න්‍යෂ්ටික ආයුධ ක්‍රියාකාරින් ද ඇතුලු, මෙම අරමුදල් ලබා ගැනීම සඳහා හමුවූ වැඩි දෙනෙක්, න්‍යෂ්ටික ශිශිරය විද්‍යාත්මකව කුනු කූඩයට වැටී ඇතැයි විශ්වාස කල අය වීම නිසා, 2001දී ඒ පිලිබඳ නව පරීක්ෂන සඳහා අරමුදල් සොයාගැනීමට මා දැරූ පලමු උත්සාහය අසාර්ථක විය. බ‍්‍රයන් ටූවුන්, ඇලන් රොබොක්, මයික් මිල්ස් සහ අනෙකුත් විද්‍යාඥයෝ අවසානයේ අලුත්ම පරීක්ෂන තොරතුරු එලි දැක්වීමට සමත් වූහ. (2007 ආරම්භයේ දී) ඒවායින් වැඩි පංගුව තමන්ගේම මුදල් සහ පරීක්ෂනාගාර පහසුකම් යොදා සිදුකල ඒවා විය. ඔවුහු න්‍යෂ්ටික ශිශිර සෘතුවක බොහෝ විනාශකාරී ප‍්‍රතිවිපාක සම්බන්ධයෙන් වඩා සවිස්තරාත්මක පර්යේෂන කටයුතු සඳහා අරමුදල් ජාතික විද්‍යා ආයතනයෙන් ඉල්ලා සිටියත් එය අසාර්ථක විය.

එසේ වුවත් ඔවුන්ගේ මෑත අධ්‍යයන වලදී යොදාගත් විද්‍යාත්මක ඥානය, ගෝලීය විද්‍යාඥ ප‍්‍රජාවගේ විචාර හමුවේ නොසැලී පැවතුන අතර ඉහලම ප‍්‍රමිතියකින් යුත් දැනුුුුම් සම්භාරයක් ලෙස පවතී. විද්‍යාඥයින් තම ඇස්තමේන්තු සහ අනාවැකි හා ඒවායේ සැබෑ බලපෑම පිලිබඳව අවශ්‍යයෙන්ම දරන්නේ, තත්වාරක්ෂක ආස්ථානයකි. උදාහරනයක් නම් ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වන න්‍යෂ්ටික බෝම්බ 100ක යුද්ධයකින් පසුව අපරිවර්තී ගෝලයට මුදාහැරෙන දැලි සහ දුම් ප‍්‍රමානය ටොන් මිලියන7 බව ඔවුන්ගේ පරීක්ෂන අනුව පෙන්වා දුන් නමුත් එහි ප‍්‍රතිවිපාක ඇස්තමේන්තු කිරීමේ දී විද්‍යාඥයින් එම ප‍්‍රමානය ටොන් මිලියන 5 ක් ලෙස සලකන ලදි. එසේම ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් නිරූපනය කරන ආකෘති දෙකෙහි කරන ලද ඔවුන්ගේ ගනන් බැලීම් වලදී සැලකිල්ලට ගන්නා ලද විශාලම ආයුධය, කිලෝටොන් 100 ක බෝම්බය ක් වුවත්, යථාර්තයේදී රුසියානු බෝම්බ වැඩි පංගුවක් කිලෝ ටොන් 800 ක් බර වන අතර ඇමරිකා එක්සත් ජනපදය භාවිතා කරන බොහෝ බෝම්බ කිලෝටොන් 300 සහ 475 ක් බර වේ. වඩාත් තත්වාරක්ෂක සංඛ්‍යා භාවිතා කිරීම නිසා කල්පිත යුද්ධ වලදි විය හැකි තාප ප‍්‍රතිවිපාක සහ ඊට අනුරූපව පිටකරන දුම් ප‍්‍රමානය අවම කර දක්වයි.

බ්‍රයන් ඩයින්: ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර න්‍යෂ්ටික අවි ගැටුමක් ඇතිවුවහොත් කුමක් සිදුවනු ඇත්දැයි දේශපාලඥයින් සහ ජනරාල්වරුන් සිතන්නේද? ඔවුන් න්‍යෂ්ටික යුද්ධයකින් ඇති වන පාරිසරික අනතුරු වටහාගෙන සිටින්නේ ද?

ස්ටීවන් ස්ටාර්: කවර තරාතිරමේ තෝරාපත් කරගත් නිලධාරියකු වෙතින් හෝ මෙයට පිලිතුරක් ලබා ගැනීම අසීරුය. ඔවුන් සහකාර සේවක මන්ඩලයක් පිරිවරා සිටින බැවින් ඔවුන්ට යමක් කියවීමට දීම දුෂ්කරයි. කෙසේ වෙතත් ලොස් ඇලමොස් අධ්‍යයන කන්ඩායමේ විධායක අධ්‍යක්ෂක සහ ලේකම් මා මිත‍්‍ර ග්රොග් මෙලෝ, විටෙක න්‍යෂ්ටික ශිශිරය පිලිබඳ ප‍්‍රශ්නය එක්සත් ජනපද න්‍යෂ්ටික අවි සභාව හමුවේ මතු කිරීමට සමත් විය. මෙම කන්ඩායමට ඇමරිකා එක්සත් ජනපද යුද මූලෝපාය පිලිබඳ ප‍්‍රධානියා ද ඇතුලත් වු අතර න්‍යෂ්ටික ආයුධ පිලිබඳ ඇමරිකා එක්සත් ජනපද ප‍්‍රතිපත්තිය සකස් කරන්නේ ඔවුන්ය. ඉඳුරාම ඔවුන්ගේ අදහස වූයේ “අපි න්‍යෂ්ටික ශිශිරය විස්වාස නොකරමු” යන්න යි. විකල්පයක් ලෙස ඔවුන්ගේ එල්ලය, න්‍යෂ්ටික ත‍්‍රස්තවාදය සහ විය හැකි අනෙක් ආකාරයක එක න්‍යෂ්ටික ආයුධයක් පමනක් සම්බන්ධ වන යුද්ධයක් වැලැක්වීමය.

මෙය අර්ථ විරහිතයි. එක්සත් ජනපදය සහ රුසියාව සතුව වෙන වෙනම, ඕනෑම අවස්ථාවක භාවිතා කිරීමට සුදානම්ව තබා ඇති, න්‍යෂ්ටික ආයුධ ආසන්න වශයෙන් 1000 ක් බැගින් තිබේ. එක්සත් ජනපදය තුල මෙයින් අදහස් වන්නේ, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වල ඝන ඉන්ධන එංජින් දවසේ පැය 24 පුරාම, බල ගන්වා දියත් කිරීමට අන ලැබෙන තෙක් රඳවා ඇති බවයි. එක්සත් ජනපද ජනාධිපතිවරයා තමන් නිතරම රැගෙන යන තම න්‍යෂ්ටික ලිපි අඩංගු බෑගය විවෘත කර මෙම ආයුධ මුදා හැරීමට නියෝග දීම සඳහා ගත වන්නේ මිනිත්තු ගනනකි. ඊට සමාන ලිපි බෑගයක් ජනාධිපති පුටීන් සතුව ද ඇත.

මුදා හැරීමට සූදානම් කර ඇති මෙම ආයුධ ස්ථිරවම අනතුරුදායකයි. ඒවායින් බලාපොරොත්තු වන්නේ න්‍යෂ්ටික ආයුධ භාවිතය අධෛර්යමත් කිරීමයි. එහෙත් අධෛර්යමත් කිරීමේ සැබෑ තේරුම සිතා බැලිය යුතුයි. මෙය පදනම් වන්නේ, යමෙකු පිලිගත නොහැකි ප‍්‍රති ප‍්‍රහාරයකට ගොදුරු කිරීමේ හැකියාව තිබේ යන අදහස මතයි. ඔබ අපට පහර දෙන්නේ නම්, අපි ඔබව විනාශ කරන්නෙමු. එහෙත් සම්භාව්‍ය අධෛර්යමත් කිරීම, ඔබ විනාඩි 15 ක දී හෝ ඊට අඩු කාලයක දී ඔබේ ආයුධ ක්‍රියාත්මක කල යුතුයි යන්න නොව කියන්නේ, පහර දිය හැකි කිසියම් අවස්ථාවකදී ඔබට ඒවා මුදාහැරීමේ හැකියාව ඇති බවයි. ප‍්‍රහාරයක අනතුරු ඇඟවීම් පවතින විට මිලිටරිය තමන්ගේ ආයුධ ක්‍රියාත්මක කලයුතු යැයි තීන්දු කල විට, ප‍්‍රහාරය තමන් වෙත එල්ල වීමට පෙර කටයුතු කිරීමට සිදුවන්නේ කෙටි කාලරාමුවක් තුලය.

වෙනත් වචන වලින් පැවසුවහොත්, මුදා හැරීමට සුදානම් කර ඇති න්‍යෂ්ටික ආයුධ ප‍්‍රධාන වශයෙන්ම, පූර්වභංග ආයුධ වේ. එක්සත් ජනපද පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය තමන්ට එරෙහිව මිසයිලයක් ක්‍රියාත්මක කර ඇති බව අනාවරනය කරගත්තේ නම්, තම රටේ න්‍යෂ්ටික මිසයිල ශිර්ෂ, පනිවිඩ හුවමාරු පද්ධතිය සහ අවි තොග විනාශ කිරීමට පෙර ජනාධිපති “ප‍්‍රතිප‍්‍රහාරයක්” ලෙස, න්‍යෂ්ටික අවි මුදාහැරීමට අන කල හැකිය. ඇත්තටම මෙය වැරදි අනතුරු ඇඟවීමක් නම් එවිට ප‍්‍රතිප‍්‍රහාරදීමේ අදහසින් කල ප‍්‍රහාරය පලමුවෙන් කල ප‍්‍රහාරයක් බවට පත් වේ. එවිට න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වේ.

තව ද යමෙක් ඔබගේ න්‍යෂ්ටික ආයුධ ගබඩාවක් (සයිලෝවක්) එල්ල කර න්‍යෂ්ටික ප‍්‍රහාරයක් දියත් කර ඇත්තේ නම්, ඔබට ඔවුන්ගේ හිස් ආයුධ ගබඩාවන් ඉලක්ක කර එකට එක කල නොහැකිය. ඔබ ඉලක්ක කරනු ඇත්තේ ඔවුන්ගේ නගර ය. ජනගහනය 100,000 වැඩි නගර රුසියාවේ ආසන්න වශයෙන් 230ක් තිබෙන අතර එක්සත් ජනපදයේ 312ක් තිබේ. එබැවින් පලමුවෙන්ම එක විට එල්ල කරන ප‍්‍රහාර මගින් නගර කීප සියයක් අතුගා දැමීම අපහසු නොවේ.

අවුරුදු බොහෝ ගනනක් පුරා න්‍යෂ්ටික ආයුධ පිලිබඳ ගෝලීය සංවාදය, ත‍්‍රස්තවාදීන් විසින් භාවිතා කරන එක න්‍යෂ්ටික ආයුධයක් වෙත ප‍්‍රාථමිකව යොමුව තිබිනි. එය ත‍්‍රස්තවාදය පිලිබඳ නිල කථාව සමග පෑහුනි. එසේ නමුත් එය, වර්තමානයේ එක්සත් ජනපදය හා රුසියාව සතුව ඇති න්‍යෂ්ටික අවි යොදාගන්නා යුද්ධයක අන්තරාය නොසලකා හැරීය.

එක න්‍යෂ්ටික අවියක් වෙත පමනක් අවධානය යොමුවීමෙන් තව ගැටලුවක් මතුවේ. අපි ක්ලිනින්ග‍්‍රෑඩ්වෙත නේටෝ හෝ පෝලන්ත හමුදා ප‍්‍රහාරයක් එල්ලව ඇතැයි හිතමු. එය හුදෙකලාව පිහිටි භූමි භාගයක් වුවත් රුසියානු නාවික හමුදාවට ඉතා වැදගත් ප‍්‍රදේශයකි. එවැනි ප‍්‍රහාරයක් වැලැක්වීමට ප‍්‍රමානවත් සම්ප‍්‍රදායික හමුදා රුසියාව සතු නොවේ. ක්ලිනින්ග‍්‍රෑඩ් අහිමිවීමෙන් වන හානිය වැලැක්වීම සඳහා රුසියාව න්‍යෂ්ටික ආයුධය භාවිතා කරයි ද? එක්සත් ජනපද/නේටෝ සහ රුසියානු යුද්ධයක් ආරම්භ වුවහොත් එය නවත්වන්නේ කෙසේ ද? කුමන පැත්ත පරාජය භාරගනී ද? වරක් න්‍යෂ්ටික ආයුධ භාවිතා කරනු ලැබු පසු තවදුරටත් භාවිතා කිරීම වලක්වන්නේ කෙසේ ද?

මූලෝපාඥයින් පවසන්නේ “ඕ රුසියාව පසු බසීවි” යනුවෙනි. ඔවුන් එසේ නොකල හොත් කුමක් වේද? ඔවුන්ගේම දේශසීමාව මතදී ඔවුන් පසු බසින්නේ ඇයි? එක්සත් ජනපද/නේටෝ සහ රුසියාව අතර යම් සෘජු මිලිටරි ගැටුමක්, පූර්න පරිමානයේ න්‍යෂ්ටික යුද්ධයකට තුඩු දෙනු ඇත.

බ‍්‍රයන් ඩයින්: එක ලිපියක ඔබ, එක්සත් ජනපදය ”න්‍යෂ්ටික යුද්ධයක් දෙසට නින්දෙන් ඇවිද යයි” යැයි සඳහන් කර ඇත. එය නින්දෙන් ඇවිදීමක් ද? දැනුවත් ප‍්‍රතිපත්තියක් ද?

ස්ටීවන් ස්ටාර්: එය යුක්ති සහගත ප‍්‍රශ්නයකි. මම ඔබ සමග එකඟ වෙමි. එය ප‍්‍රකාශ කිරීමේ අතිශය ආචාරශීලී ක‍්‍රමය “නින්දෙන් ඇවිදින බව” පැවසීම බව මගේ වැටහීමයි.

උදාහරනයක් වශයෙන් කියර් ලීබර් සහ ඩැරිල් ප්‍රෙස් විසින් ලියන ලද The Rise of Nuclear Primacy(න්‍යෂ්ටික ආධිපත්‍යයේ නැගීම) යන ලිපිය, 2006 දි ෆොරින් එෆෙයාස් සඟරාවේ පල විය. එය නොඉවසිලිමත් ලෙස ප‍්‍රධානකොටම ප‍්‍රකාශ කරන්නේ, එක්සත් ජනපද අවි පද්ධතීන් කෙතරම් දියුනු ද යත්, රුසියාවට එරෙහිව පලමු ප‍්‍රහාරය එල්ල කලහොත් රුසියාවට ප‍්‍රතිප‍්‍රහාර දීමේ හැකියාව අහිමිවන බවයි. “න්‍යෂ්ටික ආධිපත්‍යයේ නැගීම” පල කරන අදහස නම්, පලමු ප‍්‍රහාරය එල්ල කිරීම මගින් එක්සත් ජනපදයට, රුසියාවට එරෙහි න්‍යෂ්ටික යුද්ධයක් ජයගත හැකිය යන්නයි - ලීබර් හා ප්‍රෙස් එවැනි පලමු ප‍්‍රහාරයකින් ඇති විය හැකි පාරිසරික ප‍්‍රතිවිපාක බැහැර කරයි. රොබොක් සහ ටූන් අපට පවසන්නේ පලමු න්‍යෂ්ටික ප‍්‍රහාරයක් නිසා ඇතිවන දුර්භික්ෂය හේතුවෙන්, යුද්ධය ජයගන්නා පැත්තේ වැසියන් ද මරනයට පත් වනු ඇති බවයි.

එලෙසම රුසියාව, රුසියාව වටා මුහුදේ සහ ගොඩබිම ස්ථානගත කර ඇති එක්සත් ජනපද/නේටෝ බැලිස්ටික් මිසයිල් ආරක්ෂක (බීඑම්ඩී) පද්ධතිය, එක්සත් ජනපදයේ පලමු ප‍්‍රහාරයක කොටසක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ගැන ද භීතියට පත්ව සිටියි. ඒ පලමු න්‍යෂ්ටික ප‍්‍රහාරයකින් හානියට පත් නොවී ඉතිරිවන රුසියානු මිසයිල “අතුගා දැමීමේ” පද්ධතියක් ලෙස බීඑම්ඩීහි ප‍්‍රහාරක හැකියාවන් ගැන රුසියාව සලකා බලන නිසයි.

මෙ මගින් රුසියාවට, රුමේනියාව හා පෝලන්තය ඇතුලු එක්සත් ජනපද/නේටෝ බැලිස්ටික් මිසයිල් ස්ථානගත කර ඇති නැගෙනහිර යුරෝපයේ පිහිටි ක්‍රියාකාරි මධ්‍යස්ථාන ඉලක්ක කිරීමේ අවස්ථාව උදාකරදී ඇත. බටහිර බලවතුන්ට මේ මගින් ප‍්‍රහාරක න්‍යෂ්ටික කෲස් මිසයිල දියත් කිරීමට හැකි නිසා, මෙම ස්ථානගත කිරීම් විශේෂ තර්ජනයක් ලෙස රුසියාව වටහාගෙන ඇත. මෙම සාධකය රුසියානු මාධ්‍ය අතර පලල්ව සාකච්ඡා කරන අතර රුසියානු ජනතාව මෙම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස පූටින්ගෙන් ඉල්ලා සිටියි.

බ‍්‍රයන් ඩයින්: න්‍යෂ්ටික යුද්ධයක් කෙතරම් භායානක ද යන්න නිශ්චිතව තිබියදි, එන්ට එන්ටම උන්මාදනීය වන, එක්සත් ජනපද මාධ්‍යය, ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකානුවන්ගේ රුසියාව සහ රුසියානු ආන්ඩුව හෙලාදැකීම් සම්බන්ධයෙන් ඔබ සිතන්නේ කුමක්ද ?

ස්ටීවන් ස්ටාර්: ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ නායකත්වය මෙලෙස සිතනු ලැබීම ඉතා කනස්සලු සහගතයි. විශාල ලෙස අලෙවි වන ප‍්‍රධාන පෙලේ පුවත්පත් වන නිව්යෝක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් ද ඇතුලු දස දහස් ගනන් වෙනස් මාධ්‍යයන් තුලින් පුටින් සහ රුසියානු විරෝධී කතන්දර එකවිටම පැනනැගී ඇත. ප‍්‍රධාන පුවත්පත් සතුකරගෙන ඇති කීර්ති නාමය කෙලසා ගනිමින් එවා මඩ ගැසීම් ලෙස පල කරයි. එවැනි සියලුම කථාවස්තූ පදනම්ව ඇත්තේ, කිසියම් තොරතුරක් නොමැතිව හෝ වැරදි තොරතුරු මත වන අතර ඔවුන් අප රුසියාව සමග යුද්ධයකට තල්ලු වෙමින් තිබෙන වෘත්තාන්තයක් නිර්මානය කර තිබේ. එහි දෙකක් නැත.

චීනය සමග යුද්ධයක් ඊට වඩා හොඳ නොවේ. චීනය රුසියාවේ මූලෝපායික සහකරුවෙකි. ඔවුන් සතුව මෙගාටොන් (ටී.එන්.ටී. ටොන් දශලක්ෂයක පිපුරුම් බලයක් ඇති) තුනක මිසයිල ශිර්ෂ ගෙන යා හැකි අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල (කිලෝමීටර් 5,500 වඩා ගමන් කල හැකි) ඇති අතර එක් මිසයිල ශිර්ෂයකට වර්ග සැතපුම් 600 ක් ගිනි බත් කල හැක. ඊට අමතරව චීනය සතුව සබ්මැරීන මගින් දියත් කල හැකි න්‍යෂ්ටික මිසයිල ශීර්ෂ සහිත බැලිස්ටික් මිසයිල ඇත.

එසේ වුවත් වත්මන් න්‍යෂ්ටික යුද්ධ තර්ජනය ගැන එක්සත් ජනපදයේ සාකච්ඡාවක් නොපවතී. මෙය එවැනි න්‍යෂ්ටික අවි පිලිබඳ සාකච්ඡාවක් ආරම්භ කල යුතු අවස්ථාවයි. ලෝකයේ හොඳම විද්‍යාඥයින් අපගේ පැත්තෙහි සිටී නම් හා න්‍යෂ්ටික යුද්ධයකින් මිනිස් සංහතිය අතුගෑවෙන බව ඔවුන් අපට පවසන්නේ නම්, එය අපගේ අවධානය ප‍්‍රධානකොටම යොමුකර ගනු ඇත. ඇයි මෙවැනි අවිආයුධ පැවතීමට පවා ඉඩ දී ඇත්තේ?

Share this article: