කුනු කඳුගැසීමේ උවදුරට එරෙහිව උද්ඝෝෂනය කල මහජනයා ලෝසවෙඅ ට කතා කරයි
අපේ වාර්තා කරුවන් විසිනි, 2017 මැයි 9
කම්කරු පීඩිත මහජනයා මරුමුවට පත්කරමින්, තුවාල සිදුකරමින් සහ උන්හිටි තැන් අහිමි කරමින් අපේ‍්‍රල් 14 දා සිදුවූ මීතොටමුල්ල ඛේදවාචකයෙන් භීතියට පත් දිවයිනේ සෙසු පලාත් හි කසල රඳවන ස්ථාන අවට ජීවත්වන මහජනයා තම නිවස්නා ප්‍රදේශයන්හි කසල කඳු ගැසීමට එරෙහි උද්ඝෝෂනයන් සඳහා පෙරට පැමිනියහ. ආන්ඩුව පොලීසිය යොදා උද්ඝෝෂකයන්ට පහරදුන්නේ ඔවුන් මුහුන දී සිටින අන්තරායකාරී තත්වය ගැන කවර හෝ තැකීමක් නොමැති බව යලිත් සනාථ කරමිනි.
ව්‍යසනයෙන් පසු මීතොටමුල්ලේ කසල රැඳවීමට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් පැන නැගුනු බලගතු විරෝධය හමුවේ කොලඹ නගර සභා බල ප්‍රදේශයට අයත් කසල වෙනත් ප්‍රදේශයන්හි පිහිටි රඳවනයන් වෙත යොමු කිරීමට ආන්ඩුව තීන්දු කලේය. මෙයින් හෙලිදරව් වූයේ මීතොටමුල්ලේ මෙන්ම සෙසු පලාත්හි මහජනයා ද අනතුරු දායක තත්වයක පසුවන බවය.
කරදියාන දොම්පෙ, කොටිකාවත්ත, මුතුරාජවෙල යනාදී විවිධ පලාත්හි මහජනයා විරෝධතා උද්ඝෝෂනයන්ට එක්වූ අතර දොම්පේදී ඔවුනට පොලිස් ප්‍රහාර එල්ල කෙරුනි.
දොම්පේ දී ප්‍රහාරයට ගොදුරුවූවෙක්, ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැවසුවේය.
“උද්ඝෝෂනය පවත්වන්න කලින් දවසේ අප්‍රේල් 18 වෙනිදා අපි රැස්වෙලා පොඩි ජනහමුවක් තිබ්බා. අපි කතා වෙනකොට එතනට හර්ෂන රාජකරුනා මන්තී‍්‍ර තුමා (එජාප) ඇවිල්ලා අපිට කිව්වා මේ අවස්ථාවේ රජයත් අමාරුවෙන් ඉන්නේ ඒ නිසා කාරුනිකව හිතලා දින 14කට පමනක් මේ කුනු කිරිඳිවැල මාලිගාවත්ත හන්දියේ උපාලි ගුනරත්න කී‍්‍රඩාංගනයේ කෙලවර තිබෙන කොම්පොස් රඳවනයට බැහැර කරන්න ඉඩ දෙන්න කියල. එය ජනාධිපති ගේ නියෝගයක් බවත්, වෙනස් කල නොහැකි බවත් ඔහු පැවසුවා. දින 14ට පසු නැවතත් කුනු දානවනම් මමත් විරුද්ධ වෙනවා කියලා හර්ෂන ඇමති තුමා කිව්වා.”
අප්‍රේල් 19 දින සවස් වරුවේ කසල පටවාගත් ලොරි පැමිනෙද්දී ප්‍රදේශයේ මහජනතාව එකතුව පාර හරස්කොට කසල බැහැර කිරීම වලක්වා ඇත. පසු දිනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එම ලොරි පැමිනිය ද මහජනතාවගේ ප්‍රතිචාරය එයම වූ බැවින් කැරලි මර්දන පොලීසිය කැඳවූ බව ඉහත නිවැසියා පැවසීය.” අධිබල වතුර විදිනයකින් උනු වතුර විද්දා. කඳුලු ගෑසුත් ගැහුවා. සමහර භටයො අතේ තිබුනු තුවක්කු වලින් පහර දුන්නා. එත් අපි ගියේ නැ. එක්කෙනෙක්ට හොඳටම අමාරු වෙලා කොලඹ ජාතික රෝහලට අරන් ගියා. එයාගේ හිස් කබල පුපුරලා. තව දෙන්නෙක් තාම ලෙඩ ඇඳේ.”
එදිනම, 20 වන දා, ජනාධිපති සිරිසේන කසල ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශ කලේය. ඒ අනුව පලාත් පාලන ආයතන මගින් සිදු කරන කසල බැහැර කිරීම් වලට බාධා කරන අය අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසියට පැවරින. “ඒ නියෝගෙට විරුද්ධව මුලු දොම්පේ කිරිඳිවැලම මිනිස්සු මාලිගාවත්ත හන්දියට එකතු වුනා. එදත් අපි පාර හරස් කරගෙන හිටියා කුනු දාන්න නොදී. පහුවෙනිදා මුලු කිරිඳිවැල ටවුන් එකම වැහුවා අපිට ගහපු එකට විරුද්ධව.”
එදින කිරිඳිවැල හන්දියේ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් බෆල් රථ 20 ක් පමන, කිරිඳිවැල පොලිසිය අසල පිට්ටනියේ රඳවා තිබී ඇත. ආන්ඩුව මර්දනය තීව්ර කිරීමට සූදානම්ව සිටි නමුත් දිවයින පුරා වැඩෙන විරෝධය සැලකිල්ලට ගනිමින් නැවත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වැලකී ඇත.
ඔහු දොම්පෙට කුනු බහාලීමේ ආරම්භය ද විස්තර කරමින් පසුගිය රාජපක්ෂ සමයේ දකුනු කොරියාවේ ආධාර මත දොම්පේ නගරයේ කැලිකසල කොම්පෝස්ට් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකොට ඇති අතර, එයට ප්‍රදේශවාසීන් විරුද්ධ වූ අවස්ථාවේ දී අමාත්‍ය දුලිප් විජේසේකර පවසා ඇත්තේ කොම්පෝස්ට් කර්මාන්තශාලාවෙන් ප්‍රදේශවාසීන්ට රැකියා උත්පාදනය වන බැවින් සහ ලමා උයන් නිර්මානය කෙරෙන බැවින් එයට විරුද්ධ නොවිය යුතු බවයි. කම්හල ඇරැඹී ඇතිමුත් විජේසේකර පොරොන්දු වූ කිසිවක් තමාට නොලැබුනු බව ප්‍රදේශවාසීහු පැවසූහ.
මීතොටමුල්ල විනාශයත් සමග, කොලඹ මහ නගර සභාව කැස්බෑව මහාධිකරනයෙන් ගත් නියෝගයක් මත පිලියන්දල, කරදියාන කසල ප‍්‍රතිචකී‍්‍රකරන මධ්‍යස්ථානයට කොලඹ මහ නගර සභාවේ කසල බැහැර කිරීම සඳහා උසාවි නියෝගයක් ලබාගෙන ඇත. එම ප්‍රදේශයේ මහජනතාව දැනටමත් පරිසර දූෂනයෙන් නොයෙක් අපහසුතාවයන්ට පත්ව ඇති තත්වයේදී ඊට බරපතල විරෝධතාවයක් වර්ධනය විය. අපේ‍්‍රල් 18 හා 22 යන දින දෙකේදීම මහජනයා 500 ක් පමන කුනු ලොරි පැමිනීම වලක්වමින් උද්ඝෝෂනයට සම්බන්ධ වූහ.
එයට සම්බන්ධ වූ අජිත් කසල රඳවනය නිසා මුහුන දෙන තත්වය මෙසේ විස්තර කලේය.“කුනුගොඩ නිසා පරිසරයට විශාල බලපෑමක් තිබෙනවා. කලින් මම ලිඳක් පාවිච්චි කලා. ලිදේ වතුර අපිරිසිදු නිසා මම අඩි 35-40 ක් ගැඹුරු නල ලිඳක් ගැහුවා. ඒකෙන් ලැබෙන්නෙත් කලුපාට වතුරම තමයි. මේ අපිරිසිදු කම භූගත ජලයටත් එකතුවෙලා කියලයි මම හිතන්නේ. මේ ගමට ලිං 7-8 ක් තිබුනා. දැන් ඒ එක ලිඳක වත් වතුර බොන්න බැහැ. ජල සම්පාදන මන්ඩලයේ වතුර නැති අවස්ථාවක රෙදි හෝදගන්න නාගන්න කිසිවක් බැහැ.
“අක්කර තිස් හතක් වූ භූමි ප්‍රමානයෙන් අක්කර 25ක අපද්‍රව්‍ය රඳවා ඇති අතර දිනකට එකතු වන ප්‍රමානය ටොන් 35 කට අධිකය. පස් කියුබ් 25ක් වත් දාල වහන්නේ නැහැ. කුනු ගොඩ තුල ඉතාමත් අධික ලෙස මැස්සන් බෝවෙනවා”
ඔහු වත්මන් ආන්ඩුව හා පසුගිය ආන්ඩුව විවේචනය කරමින් මෙසේ පැවසීය. “පහුගිය කාලයේ බලයේ හිටපු සියලුම දේශපාලන පක්ෂවලට මෙයින් මග හරින්න බැහැ. දැන් කුනු දමනවාට විරුද්ධ වන දේශපාලකයන් ඒ කාලේ කුනු දැමීමට නියෝග කලා. ඒකාලේ ඔවුන් ඇහුවේ මීහරක් ලගින තැන්වල ඇයි තමුසෙලා ගෙවල් හදාගත්තේ කියලා. පාටලී ඇමති තුමා කුනු ගොඩ වටේට රඹුටන් පැල හිටව හිටව ගියා. ව්‍යසනය පිටට නොපෙනෙන්න යි එහෙම කලේ.”
කොටිකාවත්ත කනත්ත පිටුපස ස්ථානයකට ප්‍රාදේශීය සභාව මගින් කසල බැහැර කිරීමට විරුද්ධව ජනතාව අපේ‍්‍රල් 18දා ලෝ ලෙවල් පාර අවහිර කරමින් උද්ඝෝෂනයක් දියත් කලහ. එම විරෝධය යටපත් කිරීම සඳහා, අපේ‍්‍රල් 19දා කොටිකාවත්ත නාගරුක්ඛාරාමයේදී රැස්වීමක් පැවැත්විනි.
මේ සඳහා සහභාගී වූ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම්, සභාවේ තාක්ෂනික නිලධාරිනිය හා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් ඇතුලු පිරිසකට එම රැස්වීමේදී බලවත් විරෝධයක් ජනතාවගෙන් එල්ල විය.
ප්‍රදේශවාසි ශ්‍රියානන්ද රනසිංහ කියා සිටියේ ඔවුන්ගේ මේ විරෝධය මීතොටමුල්ල ඛේදවාචකය නිසාම පැනනැගුනක් නොවන බවයි. “මේ ප්‍රශ්නයට අවුරුදු 8ක්-10ක් වෙනවා, ඉස්සෙල්ල තාවකාලිකව කියල කුනු දාන්න පටන් ගත්ත, අපි කොච්චර විරුද්ධ වුනත් ගනන් ගත්තේ නැහැ. දැන් මෙතන මහා කුනු ගොඩක් හැදිලා, කිලෝමීටරයක් විතර ඈතට ගඳ එනවා, හැමදාම ලමයින්ට ලෙඩ. බැරිම තැන අපි බත්තරමුල්ලේ ගෙයක් කුලියට අරගෙන ගියා.”
ගෘහනියක් වන ගීතා බොතේජු කියා සිටියේ, පුද්ගලික අයිතිය සහිත මේ කුඹුරු ඉඩම් වලට ප්‍රාදේශීය සභාවෙන් කසල බැහැර කිරීම ආරම්භ කලේ කිසිඳු අවසර ගැනීමකින් තොරව බවයි. දැන් එයට එරෙහි උසාවි තහනම් නියෝගයක් ද තිබිය දී තවමත් බලෙන් කසල බැහැර කරන බව ඇය පැවසුවාය.
මීට අමතරව මුතුරාජවෙල හා වේයන්ගොඩ ද කසල දැමීමට එරෙහිව මහජන උද්ඝෝෂන පැවති බව වාර්තාවේ. පවතින බලගතු විරෝධය හමුවේ තවදුරටත් මහජන උද්ඝෝෂන වැඩීයාමේ හැකියාව පවතී.
Follow us on