ස්මරන සමාප්ති : කලාත්මක ප්‍රතිභාව සමග දෘෂ්ටිවාදී අගතීන් ද ප්‍රකට කෙරෙන කෘතියක්
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 නොවැම්බර් 8
මෙහි පහත පල වන්නේ, “ස්වාධීන සිනමා එකමුතුව” විසින් පසුගිය ඔක්තෝබර් 10 වන දා, රාජ්‍ය චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පවත්වන ලද, සත්‍යජිත් මාඉටිපේ ගේ ස්මරන සමාප්ති චිත්‍රපටය පිලිබඳ සංවාදයේ දී, සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජේසිරිවර්ධන විසින් ඉදිරිපත් කල අදහස් වල විස්තාරනයකි.
1997 වසරේදී නිශ්පාදනය කරන ලද ස්මරන සමාප්ති, සත්‍යජිත් මාඉටිපේ ගේ ප්‍රථම චිත්‍රපට නිර්මානය යි. මාඉටිපේ විසින්ම තිර පිටපත ලියා ඇති මෙම චිත්‍රපටය, 2000 වසරේ සුමති ටෙලි සම්මාන උලෙලේ දී හොඳම ටෙලි චිත්‍රපටයට හිමි සම්මානය ද, එම වසරේම ශ්‍රී ලංකා විචාරක සම්මාන උලෙලේ දී විශේෂ ජූරි සම්මානය ද දිනා ගැනීමට සමත්ව ඇත.
ස්මරන සමාප්ති ට පසුබිම් ව ඇත්තේ 1988-89 කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ පැවති භීෂනයයි. එකල පැවති ජනාධිපති ආර්. ප්‍රේමදාස ගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් මුදාහල රුදුරු රාජ්‍ය ත්රස්තය හරහා, ගම්බද තරුනයන් 60,000 ක් ඝාතනය කෙරුනි. මීට සමගාමීව ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් “දේශප්‍රේමයේ” නාමයෙන් දියත් කල ෆැසිස්ට් උද්ඝෝෂනය තුල, එයට එරෙහි දේශපාලන පක්ෂ සාමාජිකයන්, වෘත්තීය සමිති නායකයන් සහ කම්කරුවන් ඇතුලු තවත් සියගනනක් ම්ලේච්ඡ ලෙස මරා දැමුනි.
ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලනික පර්යාය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කල එම භීෂනයෙන් දස වසරකට පසු, එය පසුබිම් කොටගත් කෘතියක් නිර්මානය කිරීමට තරුන කලාකරුවෙකු ලෙස මාඉටිපේ දරා ඇති ප්රයත්නය පැසසිය යුතුය. උතුරේ දෙමල පීඩිත ජනතාවට එරෙහිව ම්ලේච්ඡ යුද්ධයක් දියත් වෙමින් පැවති කාලයක සහ එම යුද්ධය තුලදී කුරිරු අපරාධ සිදුකල මිනීමරුවන්, රනවිරුවන් ලෙස උත්කර්ෂයට නැංවුනු පසුබිමක, ලංකාවේ මිලිටරිය දකුනේ සිදුකල අපරාධ තම නිර්මානය තුලින් ඉදිරිපත් කිරීමට යම් නිර්භීතභාවයක් අවශ්‍යම වෙයි. මෙම නිර්භීතභාවයට අමතරව ඔහු සතු කලාත්මක ප්‍රතිභාව ද තම පලමු නිර්මානයෙන්ම ප්‍රකට කිරීමට මාඉටිපේ සමත් වෙයි.
චිත්‍රපටය ආරම්භ වනුයේ, අසංග සමරසේකර නම් වූ තරුන වෛද්‍යවරයකු (පීටර් ද අල්මේදා) නව පත්වීමක් ලැබ ග්‍රාමීය රෝහලකට පැමිනෙන දසුනකිනි. ඔහු කුඩාකල සැදී වැඩී ඇත්තේ එම ගම්මානයේ බවත්, භීෂන සමයේ රාජ්‍ය හමුදා විසින් තම පවුලේ සියලු සාමාජිකයන් ඝාතනය කරන අයුරු කුඩා දරුවෙකු ලෙස ඔහු සියැසින් දැක ඇති බවත් චිත්‍රපටය ගලා යද්දී දැන ගන්නට ලැබෙයි. එම කම්පනය හේතුවෙන් මෙතෙකුදු ඔහු පෙලන ක්ෂතිය, තම අතීතය සොයායාමට ඔහු පොලඹවයි. චිත්‍රපටය ගලා යන්නේ වෛද්‍යවරයාගේ මෙම ස්මරන චාරිකාව ඔස්සේය.
මෙම චාරිකාවේදී ඔහුට තම මතකයේ බලගතු ලෙස රැඳී තිබෙන තැනැත්තියක් නැවත හමුවෙයි. ඇය, යාබද නිවසේ පදිංචිව සිටි තම පාසැල් ගුරුවරිය වූ නන්දාවතී ඉස්කෝලෙ හාමිනේ (අයිරාංගනී සේරසිංහ) ය. ගමේ පාසැලේ විදුහල්පතිවරයාව සිටි ඇගේ සැමියාට සහ තරුන හමුදා නිලධාරියෙකු වන ඔවුනගේ එකම පුත්‍රයාට ජවිපෙ තුවක්කුකරුවන් විසින් වෙඩි තබයි. නන්දාවතීගේ පුත්‍රයා ඇගේ දෑත් මතම අවසන් හුස්ම හෙලන අතර සැමියා බලගතු ලෙස රෝගාතුරව මිය යයි. ඔහුට ප්‍රතිකාර කරනුවස් තම නිවස උගසට තබන නන්දාවතී ට නිවසද අහිමි වෙයි. වියපත් නන්දාවතී, විවාහය අසාර්ථක වූ තම එකම දියනියගේ දරු දෙදෙනා රැකබලා ගනිමින් කුඩා නිවසක දිවි ගෙවන්නී ය.
සැමියාගෙන් වෙන්ව සිටින එක්දරු මවක් වන මායා (චාන්දනී සෙනවිරත්න) නම් වූ වෛද්‍යවරිය අනෙක් ප්‍රධාන චරිතයයි. අසංග ගේ පෙම්වතිය වන ඇය, ක්ෂතියෙන් පෙලෙන ඔහුගේ දැවෙන අවශ්‍යතාව හඳුනාගෙන එය සාක්ෂාත් කර ගැනීමට හැකි සෑම අයුරින්ම උදව් කරයි. අසංගට අවශ්‍ය වන්නේ, පවුලේ සියලු දෙනා තමාට අහිමි කෙරුනු ඒ අඳුරු රාත්‍රියේ හව්හරනක් පතා, තමා මහත් සේ ගෞරව කල ගුරුතුමිය වෙත පැමිනි අවස්ථාවේ ඇය පිටුපෑවේ මන්ද? යන ප්‍රශ්නයට පිලිතුරු සොයා ගැනීමටයි. මායා, නන්දාවතී සමග වරින්වර කරන සංවාදයන් හරහා එය අනාවරනය කර ගැනීමට යත්න දරයි.
අධ්යක්ෂවරයාගේ කලාත්මක ප්‍රතිභාව
මාඉටිපේ තම කෘතිය තුල සිද්ධීන් ගොඩ නගන්නේ සහ ඒවා එකින් එක අමුනන්නේ ඉමහත් කලාත්මක
ප්‍රතිභාවක් ප්‍රකට කරමිනි. චිත්‍රපටයේ කේන්ද්‍රීය සිද්ධිය වන, අසංග ගේ පවුලේ අය කුරිරු ලෙස මරා දැමෙන භීෂනයේ රාත්‍රිය ඉදිරිපත් කෙරෙන දර්ශනයෙන් මාඉටිපේ සතු මෙම ගුනාංගයන් තියුනු ලෙස ප්‍රකාශයට පත්වෙයි. එම අන්ධකාර රාත්‍රියේ අසංගගේ පවුලේ සාමාජිකයන් මිලිටරිය ඉදිරියේ අභය ඉල්ලා නගන විලාපය දැනෙනුයේ, මිලිටරියේ සැහැසිකම් වලට ගොදුරුවූ දහස් සංඛ්‍යාත තරුනයන් සහ ඔවුනගේ පවුල්වල සාමාජිකයන් එම අඳුරු යුගයේ සිට නගන විලාපයක් මෙනි.
වෙඩිහඬ සහ විලාපය කෙමෙන් මැකී යද්දී, දිවිගලවා ගත් කුඩා දරුවා ඝන අන්ධකාරයේම නන්දාවතීගේ නිවස වෙත පැමින “ඉස්කෝලෙ හාමිනේ, ඉස්කෝලෙ හාමිනේ” යනුවෙන් නගන හඬ තුල ඔහුගේ වේදනාව, මරනබිය සහ තම ගුරුතුමිය කෙරෙහි පවත්නා සෙනෙහස සහ විශ්වාසය යන සියල්ල මාඉටිපේ ඉතා සියුම්ව ඉදිරිපත් කරයි.
තමාට මෙලෙස ආමන්ත්රනය කරනුයේ තම ආදරනීය ශිෂ්‍යයා බව නන්දාවතී හඳුනා ගනී. සසලවන ඇය දොර විවර කොට අඳුරේම ඔහු වෙත පැමිනෙන නමුදු, දරුවා කැඳවා ගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක සහ මනුෂ්‍යත්වය අතර ඇය සිරවෙයි. ක්ෂනිකව ආපසු හැරී ගෙතුලට යන ඇය දොර වසා ගනී.
අසංගගේ ආත්මය තුල සහ නන්දාවතී ඉස්කෝලෙ හාමිනේගේ චිත්ත සන්තානය තුල නොනැසී රැඳී පවත්නා එම අත්දැකීම ප්‍රේක්ෂකයා ද කම්පනය කරනුයේ යුගයේ බියකරුබව සහ නොමිනිස්බව බලගතු ලෙස දනවමිනි.
කෙසේ නමුදු, වසර ගනනාවකට පසු මායා සමග එම සිද්ධිය පිලිබඳව කෙරෙන සාකච්ඡාවන්හිදී නන්දාවතී තැති ගන්නා ආකාරයෙන් සහ සාකච්ඡාවන් මගහැර යාමට ඇය දරන ප්රයත්නයන්ගෙන් විශදවනුයේ, අසරනව රැකවරනය පතා පැමිනි තම ආදරනීය ශිෂ්‍යයාට දොර විවර නොකිරීමෙන් තමා බලගතු වරදක් කලේය යන මානසික පීඩාවෙන් නන්දාවතී තම දිවිය පුරා පීඩා විඳින බවයි.
එපමනක් නොව, දයාරත්න සහ ඔහුගේ මියගිය සොයුරු-සොයුරියන් “ඉගෙනීමට දක්ෂ ලමයි” බව පවසමින් ඔවුන් පිලිබඳව නන්දාවතී කනගාටුවන ආකාරයෙන්, ව්‍යසනයට පත් එම පවුල සම්බන්ධයෙන් නන්දාවතීගේ සිත්හි පවත්නා සානුකම්පීය හැඟීම ද ප්‍රකාශයට පත්වෙයි. එමගින් මිලිටරිය විසින් මරා දැමුනු දහස් ගනන් තරුනයන් කෙරෙහි ඇති කරන සානුකම්පික හැඟීම එම භීෂන සමය පිලිබඳව යලි හැරී බැලීමකට ප්‍රේක්ෂකයා පොලඹවයි.
මාඉටිපේ එවන් බලගතු ජවනිකා පෙලක්ම නිර්මානය කරයි. මායා, අසංග හමු වීම සඳහා ග්‍රාමීය රෝහලට පැමිනෙන දර්ශනය ඒ අතරින් එකකි. අසංග රෝහලේ සිට පැමිනෙන තෙක් ඔහුගේ නිල නිවසේ ආලින්දයේ පුටුවකට බර වන ඇය ගමන් විඩාව නිසාම නින්දට වැටෙයි. රෝහලේ සිට පැමිනෙන අසංගට නින්දේ සිටින මායාගේ විඩාපත් මුහුන ජනනය කරනුයේ අනුකම්පාව කැටිකරගත් ප්‍රේමනීය ආනන්දයකි. ඔහු ඇය අසල දන ගසා ඇගේ සුරත ගෙන සීරුවෙන් සිප ගනිත්ම ඇය නින්දෙන් පිබිදෙයි. අසංග තම හිස මායාගේ උකුල මත හීන්සීරුවේ රඳවයි. ඇය ඔහුගේ හිස මවක මෙන් පිරිමදී. ක්ෂතියෙන් පෙලෙන අසංග ඇගෙන් බලාපොරොත්තුවන්නේ මාතෘත්වයක් බඳු සෙනෙහසක් බව ද මායා එය උපරිම වශයෙන් තෘප්ත කරන බවද ප්‍රේක්ෂකයාට පසක් වෙයි.
දෙපසකින් ක්‍රියාත්මක වූ ත්රස්තයකට ගම්බද මහජනතාව ගොදුරුවූ බව සංකේතවත් කිරීම සඳහා එකිනෙකට යාබද නිවෙස් දෙකක් තෝරා ගැනීමද කලාත්මක වශයෙන් ප්රබලය. මින් ජනනය කෙරෙන කලාත්මක විපරීතභාවය හේතුවෙන් විෂය වඩාත් බලගතු ලෙස ස්පර්ශ වෙයි.
කලාකරුවෙකු තම විෂයට දක්වන අවංකභාවය, නැතහොත් වෛෂයික සමාජයීය සත්‍යය අනාවරනය කිරීමේ අධ්‍යාසය සමග ඔහුගේ ප්‍රතිභාව එක්වූ විට එම නිර්මානය කෙතරම් ප්‍රබල වන්නේ ද යන්න ඉහත ගෙනහැර දැක්වූ අවස්ථා බලගතු උදාහරනයන්ය.
විෂයට දක්වන අවංකභාවයේ ගිලිහී යාමක්
අවසානයේදී මෙම අවංකභාවය මාඉටිපේගෙන් ගිලිහී යයි. නන්දාවතී යැවූ පෙත්සමක් මත දයාරත්නගේ පවුල විනාශ වූ බව කියැවෙන කොමිසන් වාර්තාවක් තම කෘතියට එල්ලන ඔහු, එම රුදුරු අපරාධයන්ගේ වගකීමෙන් සමස්ත ධනේශ්වර රාජ්‍යය මුදා හරියි. එපමනක් නොව, වැලලී ගිය සත්‍යයන් හෙලි පෙහෙලි කරන ආයතනයන් ලෙස මෙම ඊනියා රාජ්‍ය කොමිසන් සභාවන් උත්කර්ෂයට නංවා ඒවාට වලංගුභාවයක් ද ලබා දෙයි.
නිශ්චිත දේශපාලනික ප්‍රශ්න සම්බන්ධයෙන් පොරබැදීමේ දී විෂයට දක්වන අවංකභාවය මාඉටිපේගෙන් ගිලිහී යන්නේ ප්රතිගාමී දේශපාලන උද්ඝෝෂනයන්ගේ සහ දෘෂ්ටිවාදයන්ගේ බලපෑම හේතුවෙනි.
විශේෂයෙන්ම, මෙම අපරාධ හේතුවෙන් එවකට පැවති එජාප ආන්ඩුවට එරෙහිව වැඩුනු බලගතු මහජන විරෝධය ගසා කෑම සඳහා, 1994 ජනාධිපතිවරනයේ දී චන්ද්‍රිකා කුමාරතුංග ගෙනගිය ප්රතිගාමී උද්ඝෝෂනයට මාඉටිපේ නතුව ඇතිබව පැහැදිලිය. එම රාජ්‍ය අපරාධ විමර්ශනය කොට වගකිවයුත්තන්ට නිසි දඬුවම් දෙන බවට මෙම උද්ඝෝෂනය තුල දී කුමාරතුංග ශපථ විය. බලයට පත්වූ ඇය එම අපරාධ විමර්ශනය කිරීමේ නාමයෙන් කොමිසමක් පත්කල නමුදුු එයින් සිදුවූයේ හමුදා නිලධාරීන් අතලොස්සකට සහ සිවිල් පුද්ගලයින් කීප දෙනෙකුට වගකීම පවරා, එජාප ආන්ඩුව, මිලිටරිය ඇතුලු රාජ්‍ය සංස්ථාපිතය කොක්කෙන් ගලවා දැමීමයි.
1988-89 සමයේ සමාජ-දේශපාලනික පසුබිම අනුප්‍රාප්තික ආන්ඩු මගින් අඛන්ඩව එල්ල කල ප්රහාරයන් හමුවේ විරැකියාවෙන්, දරිද්‍රතාවයෙන් සහ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ දොරටු වැසී යාමෙන් පීඩාවට පත්ව සිටි උතුරේ සහ දකුනේ තරුනයෝ මෙම කාලය වන විට බලගතු ලෙස රැඩිකලීකරනය වෙමින් සිටියහ. මෙම තරුනයන්ට නායකත්වය දීමට සිටි කම්කරු පන්තික ව්‍යාපාර, විශේෂයෙන්ම ලංකා සම සමාජ පක්ෂය, ධනේශ්වර පද්ධතියට වඩවඩාත් අනුගතවීමත් සමග නිර්මානය වූ රික්තය තුල එල්ටීටීඊ ය සහ ජවිපෙ වැනි සුලු ධනේශ්වර ව්‍යාපාරයන් පැන නැගින. මෙම ව්‍යාපාරයෝ දකුනේ දී සිංහල ස්වෝත්තමවාදය ද උතුරේදී දෙමල ජාතිකවාදය ද තම ප්‍රධානතම දෘෂ්ටිවාදයන් බවට පත් කර ගත්හ.
දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව යටතේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරුනේ, උතුරේ තරුනයන් මැඞීම සඳහා ඉන්දියානු “සාම සාධක” හමුදාව යොදා ගැනීමට සහ දකුනේ තරුනයන් මැඞීම සඳහා කොලඹ හමුදාව යොදා ගැනීමටයි. ජවිපෙ ගෙනගිය “ඉන්දියානු විරෝධී දේශප්‍රේමී” උද්ඝෝෂනය දකුනේ තරුනයන් මැඞීම සඳහා වහා ඩැහැගත් ජේ.ආර්. ජයවර්ධන ආන්ඩුව දැවැන්ත විලෝපනයක් මුදා හලේය. ජවිපෙ තම ප්රතිගාමී උද්ඝෝෂනය, මූලික වශයෙන්ම කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් ප්‍රහාරයක් මට්ටමට වර්ධනය කලේය. කම්කරුවන් මැඞීම සඳහා මෙම ෆැසිස්ට් මුගුර යොදාගත් පාලක පන්තිය අවසානයේ දී එහි නායකත්වය ද මරා දැමීය.
කුලය සහ අනන්‍යතා දේශපාලනය
දයාරත්නගේ පවුල කුලහීන බවද නන්දාවතීගේ පවුල කුලීන බවද චිත්‍රපටයෙන් හැඟවෙන තතු තුල, කුලෝත්තමවාදය විසින් නන්දාවතී දිසානායක, එවන් පෙත්සමකට යොමුවූයේ යැයි යමෙකුට සිතිය හැක. සැබැවින්ම එවන් අගතීන් මෙම භීෂනය තුල සිදු වන්නටද ඇත. නමුත් එම සුවිශේෂයන් තුල පවත්නා සාමාන්‍යය, එනම් ගම්බද තරුනයන්ට එරෙහිව පොදුවේ ගෙනගිය රාජ්‍ය මර්දනය, චිත්‍රපටය තුල ප්‍රකාශයට පත් නොවීම හේතුවෙන් එහි කලාත්මක සංයුක්තභාවය හීන වී ඇත.
මෙම වැදගත් කරුන සම්බන්ධයෙන් ලියොන් ට්‍රොට්ස්කි තම “සාහිත්‍යය හා විප්ලවය” නම් වූ විශිෂ්ට කෘතියේ මෙසේ සඳහන් කරයි:
ඉතිහාසයේ පැවත එන මානව සමාජයේ සමාජ තතු නම් සියල්ලට ම පලමුව පන්ති සම්බන්ධතාවල තතුය. කලාවත් ඇතුලත් දෘෂ්ටිවාදයේ සියලු ක්ෂේත්රවල, විශේෂයෙන්ම කලාව තුල පන්තිමය මාන දන්ඩක් එතරම් ම ඵලවත් වන්නේ එහෙයිනි. කලාව බොහෝවිට ගැඹුරුතම වූ ද අතිශයින්ම සැඟවී පවතින්නා වූ ද සාමාජික අභිලාශ ප්‍රකාශ කරන හෙයිනි. තවද සාමාජික මානදන්ඩක් රූපික, ආකෘතික විචාරය, එනම් තාක්ෂනික නිමාව, ශිල්පීය ධර්මය බැහැර නොකරනු පමනක් නොව එය සමග අත්වැල් බැඳගෙන ගමන් කරයි. සැබැවින්ම මෙම මානදන්ඩ පොදු මිනුමකින් සුවිශේෂය පරීක්ෂා ද කරයි. සුවිශේෂය සාමාන්‍යයට නො සිඳුවුුව හොත් මිනිසුන් අතර සමාපර්කයන් නැතිවන හෙයිනි; චින්තා ද කාව්‍ය ද නැතිවන හෙයිනි.” (ලියොන් ට්‍රොට්ස්කි, සාහිත්‍යය හා විප්ලවය, පිටුව 109, සුචරිත ගම්ලත් පරිවර්තනය)
මාඉටිපේ තම කෘතිය තුල දී සුවිශේෂය සාමාන්‍යයට නොසිඳවන බැවින් ව්‍යසනයේ මූලය කුලයටම සිඳී යාමේ ස්වභාවයක් පෙන්නුම් කරයි. මේ අනුව ස්මරන සමාප්ති, ලිංගිකත්වය, වර්ගය, ජාතිකත්වය පාදක කොටගත් අනන්‍යතා දේශපාලනය සමග යම් දුරකට අනන්‍ය වෙයි. බොහෝවිට “ප්රගතිශීලී” සහ “වාමාංශික” රූපයෙන් ඉදිරිපත් කෙරෙන මෙම අනන්‍යතා දේශපාලනය, 1991 සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් මධ්‍යම පන්තික බුද්ධිමතුන් වෙලාගත් අසාරදර්ශනයෙන් හිස ඔසවන ලද, ප්රතිගාමී ප්රවනතාවයකිි.
පශ්චාත් නූතනවාදී විචාරකයන්
ඔක්තෝබර් 10 වන දා පැවැත් වූ ස්මරන සමාප්ති චිත්‍රපට දර්ශනයට සහ සංවාදයට සහභාගිවූවන් අතර බෙදාහල චිත්‍රපටය පිලිබඳ විචාර එකතුවේ බොහොමයක් පශ්චාත් නූතනවාදී විචාරයන් වන අතර ඒ සියල්ලෙන්ම පාහේ මාඉටිපේගේ ගේ නිර්මානය මහත්සේ අගය කොට තිබුනි. එම අගය කිරීම් අප පදනම් වූ මාක්ස්වාදී කලා විචාර මූලධර්මයන්ට සාකල්‍යයෙන්ම එරෙහි ප්රතිගාමී මනෝ විකාරයන් මත පදනම් වෙයි. ඔවුහු තම මනෝ විකාර, චිත්‍රපටයේ එන චරිත සහ සිද්ධීන් මත බලහත්කාරයෙන් පටවයි.
මෙහි නරුම මෙන්ම විකාරරූපී ප්‍රකාශකයෙකු වනුයේ ඔක්තෝබර් 10 වන දා සංවාදයේ අනෙක් ප්‍රධාන කථිකයන් දෙදෙනාගෙන් කෙනෙකු වූ, පශ්චාත් නූතනවාදියෙකු ලෙස ප්‍රකට මහාචාර්ය ජගත් වීරසිංහ යි.
වීරසිංහට අනුව චිත්‍රපටයේ එන වෛද්‍යවරයා ධනේශ්වර රාජ්‍යයට “අකීකරු” වන්නෙකි. වීරසිංහ මෙසේ කියයි: “ඔහු, භාෂාමය මෙන්ම ශාරීරික සංඥාවන්, අංගචලනයන් මගින් ස්ථාපිතයට/රාජ්‍යයට අකීකරු වෙනවා. ඔහු රාජ්‍ය කිලිටු කරනවා. ඔහු රෝගීන්, ඥාතීත්වයේ භාෂාවට ගෙන එනවා. නාඳුනන අය ඥාතීත්වයේ භාෂාවට ගෙන එනවා. ඔහු ලෙඞ්ඩුන්ට ආමන්ත්රනය කරන්නේ ‘මල්ලී’ කියලා.”
වෛද්‍යවරයාගේ මෙම “අරගලය” උත්කර්ෂයට නංවන වීරසිංහ අවසානයේදී මෙසේ ද කියයි: “මෙවැනි අරගල තමයි මහා නිදහස් අරගලවල යටිතලය ලෙස ක්‍රියාත්මක වෙන්නෙ..... මෙවැනි අපාරදෘශ්‍ය අරගලවල අප නිමග්න නොවන තාක් කල් අපිට රාජ්‍ය සමඟ කේවල් කිරීමේ හැකියාව ලබාගත නොහැකි වේ යැයි මේ කතාව අපට යෝජනා කරනවා යැයි මම සිතනවා.”
චිත්‍රපටයෙන් යෝජනා කෙරෙන බවක් පවසමින් වීරසිංහ ගෙන එනුයේ ඔහුගේ ම යෝජනාවයි. වීරසිංහ ඇතුලු පශ්චාත් නූතනවාදීන් විසින් ජාත්‍යන්තර පරිමානව මෙම “අපාරදෘශ්‍ය අරගල” සහ “ක්ෂුද්‍ර අරගල” උත්කර්ෂයට නැංවීමේ අතිමූලික අරමුන වනුයේ, පන්ති අරගලය අවමංගත කොට, ධනේශ්වර රාජ්‍යයට සහ සමස්තයක් ලෙස ලෝක ධනේශ්වර පද්ධතියට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය වීම වැලැක්වීමයි. ඔහු යෝජනා කරනුයේ ධනේශ්වර ක්‍රමය සහ රාජ්‍ය පෙරලා දැමීමේ අරගලයක් නොව, ධනේශ්වර “රාජ්‍ය සමඟ කේවල් කිරීමේ හැකියාව ලබාගත හැකි”, “අපාරදෘශ්‍ය” අරගලයන් ය.
මෙම ප්රතිගාමී දෘෂ්ටිවාදයන්ගේ සහ “විචාරයන්ගේ්” නොමග යැවීම් වලින් ව්‍යාකූල නොවී, තමා සතු කලාත්මක ප්‍රතිභාව වඩාත් සුසංවාදී ලෝකයක් නිර්මානය කිරීමේ කර්තව්‍යයට යොමුකර ගැනීමට නම් මාඉටිපේ ඇතුලු කලාකරුවන් සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක් දෙසට හැරී එහි ඉදිරිදර්ශනාත්මක මගපෙන්වීම ලබාගත යුතුය. එම කර්තව්‍යය ඉටු කරනුයේ සමාජවාදී සමානතා පක්ෂය, එයට නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි නිල මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියයි.
Follow us on