පෙසප නායකයා සයිටම් පාවාදීම ආරක්ෂා කිරීමට ප්රතිගාමී න්‍යාය ගොතයි
ප්‍රදීප් රාමනායක, 2017 නොවැම්බර් 25
ආන්ඩුව විසින් කරන ලද ඉල්ලීමකට යටත් වෙමින්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ප්රමුඛ සිසු සංගම් විසින් “සයිටම් අහෝසි කිරීම” සඳහා ගෙනගිය සියලු විරෝධතා, නොවැම්බර් 8 වෙනිදා අත්හැර දැමුනි.
එම සංගම් මෙහෙයවන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රමුඛ න්‍යායාචාරී පුබුදු ජයගොඩ, පසුවදාම ෆේස් බුක් සටහනක් පල කරමින් මහත් උද්දාමයෙන් කියා තිබුනේ “සයිටම් විරෝධී සටන ජයගෙන” ඇති බවයි.
ජයගොඩට ජයග්රහනයක් වුවද, සිසුන්ගේ සහ පීඩිත මහජනතාව පැත්තෙන් ගත් කල එය රුදුරු පාවාදීමකි. ආන්ඩුව දියත්කල දරුනු පොලිස් මර්දන නොතකා, දීර්ඝ කාලයක් මුලුල්ලේ දහස් ගනන් සිසුන් සයිටම් විරෝධතාව වටා ගොනු වූයේ ගැඹුරු කෙරෙන අධ්‍යාපන කප්පාදුවට සහ පෞද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමේ අව්‍යාජ අභිලාෂයෙනි.
එහෙත් සිසුන්ගේ එම විරෝධතා නතර කෙරුනේ ජනාධිපති සිරිසේන, ඔක්තෝබර් 29 වනදා “සයිටම් අර්බුදය විසඳීමේ” නමින් නිකුත්කල නිවේදනයේ නිර්දේශ පිලි ගනිමිනි. එම නිර්දේශ වලට විරුද්ධ බවක් මවා පාමින් සති දෙකක කාලයක් දේශපාලන හොරගල් ඇල්ලූ මෙම ශිෂ්‍ය සංගම් අවසානයේදී එයට එකඟ වූහ. සයිටම් නමින් පැවති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නම අහෝසි කර වෙනත් නමකින් එය පවත්වාගෙන යාම ආන්ඩුවේ අරමුන බව එම නිර්දේශ තුලින් මනාව පැහැදිලි කෙරී තිබින.
තම සටන පාවාදී ඇති බව සිසුන් විසින් කෙටිකලකින්ම අවබෝධ කරගන්නා බව දන්නා ජයගොඩ, සිසුන්ගේ ඇස්වලට වැලි ගැසීම සඳහා ප්රතිගාමී න්‍යාය ගොන්නක් අඹරා ඇත.
සයිටම් නම අහෝසි කිරීමට ආන්ඩුව විසින් දුන් පොරොන්දුව සයිටම් අහෝසි කිරීමක් ලෙස අර්ථ ගන්වන ජයගොඩ, එය “තාවකාලික සහ මතුපිට” ජයග්රහනයක් පමනක් යැයි පවසයිි.
සයිටම් අරගලයේ පාඩම වනුයේ, සමාජවාදී නිශ්පාදන ආර්ථික ක්‍රමයක් සඳහා සටන් කිරීමෙන් තොරව, බිඳ වැටීමකට ලක්ව ඇති ධනපති ක්‍රමය තුල ජයගොඩ පවසන ආකාරයේ “තාවකාලික සහ මතුපිට ජයග්රහන” හෝ ලබාගත නොහැකි බවයි.
ජයගොඩ මෙසේ ද පවසයි: “ආන්ඩුව මේ එකඟතාව කැඩීමට ඉඩ තිබේ. නැතිනම් කාලයකින් පසු වෙනත් උපාධි කඩ පිහිටුවීමට ඉඩ තිබේ. මේ සටනේ සැබෑ ජයග්රහන ඇත්තේ එම සීමාවට පිටින්” (අවධාරනය අපේ).
අධ්‍යාපනයේ පෞද්ගලීකරනය ආන්ඩුවේ පිලිවෙත බවත්, අර්බුද ග්රස්ත ධනපති ක්‍රමය යටතේ එය ඉදිරියටම ගෙන යාමට ආන්ඩුවට වෛෂයිකව බලකෙරී ඇති බවත් ජයගොඩ හොඳින්ම දනී. නියත වශයෙන්ම සිදු වෙමින් පවත්නා මෙම සන්තතියට අනියතභාවයක් දෙමින් ඔහු පවසන්නේ එවැන්නකට ‘ඉඩ ඇති’ බවයි.
ව්‍යාජ වම්මුන්ගේ වංචනිකත්වයට ගැලපෙන පරිදි, ඔහු පවසන “සැබෑ ජයග්රහන” සහ ඒවා පිහිටන “සීමාව” කුමක්දැයි ජයගොඩ නොපවසයි. කෙසේ නමුදු, එම “සීමාව” ධනේශ්වර ආන්ඩු වලට බලපෑම් දැමීමේ සීමාව ඉක්මවා නොයන බව පැහැදිලිය.
සයිටම් සටනේදී ලබාගත් “ජයග්රහන” ලැයිස්තුව ඉදිරිපත් කරමින් ජයගොඩ මෙසේ පවසයි. “අවසානයේදී ආන්ඩුවට පවා අධ්‍යාපනය ලාභ අරමුනු වලට ගොදුරු නොකල යුතු බව පිලිගැනීමට බල කෙරිනි. එය විශාල ජයග්රහනයකි, එය පාලකයන්ට යලි උදුරා ගත නොහැකි ජයග්රහනයකි.”
මෙය දැවැන්තම මුසාවකි. අධ්‍යාපනය ලාභ අරමුනු වලට ගොදුරු නොකල යුතු බව ආන්ඩුව කිසිසේත්ම පිලිගෙන නැත. ඒ වෙනුවට ආන්ඩුව යලිත් තහවුරු කොට ඇත්තේ ලාභෝත්පාදක පුද්ගලික ව්‍යවසායන් ලෙස අධ්‍යාපනික ආයතන තවතවත් බිහි කිරීමට ආයෝජකයන් දිරි ගන්වන බවයි.
ධනේශ්වර ආර්ථික අර්බුදය තුල ගැඹුරින් ගැඹුරට ගිලී යන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් ක්‍රියාත්මක කරමින් සෑම සුබසාධන ක්ෂේත්රයක්ම තියුනු ලෙස කප්පාදු කරමින් සිටී. සිසු සංගම් සහ පෙසප විසින් හුදු සයිටම් විරෝධයකට කොටු කලේ ධනපති ක්රමයේ මෙම සමස්ත ප්‍රහාරයටම එරෙහිව සිසුන් සහ කම්කරුවන් අතර මතුවූ බලගතු විරෝධයයි.
එහෙත් ජයගොඩ එය “ධනයේ බලයට එරෙහි සටන”කැයි උත්කර්ෂයට නංවයි. ධනයේ බලයට එරෙහි සටන ධනවාදයට එරෙහි සටනකි. සැබැවින්ම එවන් අරගලයකට ජයගොඩ ඇතුලු ව්‍යාජ වම්මුන් සපුරාම එරෙහිය. මන්ද යත් ඔවුන් හිසේ සිට දෙපතුල දක්වා ධනේශ්වර පර්යායට බැඳී ඇති බැවිනි.
“මේ සටන දේශපාලනය ප්‍රභූ තන්ත්රයකට සහ ඊනියා සිවිල් බුද්ධිමතුන්ට අයත් විෂයයක් බවත්, පහල පාන්තික ජනයා කල යුත්තේ මැතිවරනයකදී ඡන්දය දී, ඉන් අනතුරුව දේශපාලනය ඔවුන්ට පවරාදී, නරඹන්නන් බවට පත්වීම බවත් ප්‍රචලිත කල අධිපතිවාදී දේශපාලනයට එරෙහි සටනක්” බව කියමින් ජයගොඩ ඉදිරියට යයි.
එහෙත් සැබවින් සිදුවූයේ ඊට ඉඳුරාම වෙනස් එකකි. අවිශිබම සහ පෙසප, සිසුන් සහ කම්කරුවන්, සිය ස්වාධීන අභිලාෂයන්ගෙන් ඈත් කර සිංහල ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමය වැනි ආන්ඩුවේ ම පාර්ශවකරුවන්, ජවිපෙ සහ ඒකාබද්ධ විපක්ෂයේ නඩ පිරිවරාගත් ධනපති හවුලක් පසුපස ගාල් කර තැබීමට කටයුතු කලහ. එක් පසෙකින් ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ද, අනෙක් පසින් කම්කරුවන් ඇතුලු පීඩිතයන්ගේ අරගලවලින් ද මිරිකී සිටි ආන්ඩුව, ඒ අරගල අතරින් ප්රමුඛ එකක් වූ සයිටම් විරෝධතාවය නතර කර දෙන මෙන් පෙසප ඇතුලු නඩයෙන් ඉල්ලා සිටියේය. ඔවුහු එය පිලිගෙන හෙලෙත්තාඩු ආන්ඩුවට හුස්මක් අල්ලා දී එහි ආයු කාලය දික්කර දුන්හ.
පෙසපයේ සමස්ත දේශපාලන ව්‍යාපෘතිය ම යොමුව ඇත්තේ මෙලෙස කම්කරු-පීඩිත මහජනතාව “අධිපතිවාදී දේශපාලනයේ” ග්රහනයට නතුකර දීමටයි.
සයිටම් විරෝධතාවය තුල එක දිගටම සනාථ කෙරුනු දේශපාලන සත්‍යය වූයේ, අනෙකුත් සමාජ සුභසාධන මෙන්ම අධ්‍යාපනය සඳහා මහජනතාවට ඇති අයිතිය, ලාභ පද්ධතිය අහෝසි කෙරෙන සමාජවාදී ක්රියාමාර්ගයකින් මිස අන් ලෙසකින් තහවුරු කල නොහැකි බවයි. පෙසපය ප්රමුඛ ව්‍යාජ වම්මු හැකි උපරිම වෙර යොදා වසන් කරන්නට උත්සාහ කලේ එයයි.
එම වැඩපිලිවෙලට සිසුන් යොමුවීම අහුරාලමින් අවිශිබම සහ පෙසප ආරම්භයේ සිටම උත්සහ කලේ “සයිටම් අහෝසි කරනු” යන තනි ප්රශ්නයේ උද්ඝෝෂනයක සිසුන් සිරකර තබමින් ඒ වෙනුවෙන් ආන්ඩුවට හැකිතාක් බලපෑම් දැමීමට සිසුන් මෙහෙයවීමයි.
ආන්ඩුව සිය පෞද්ගලීකරන පිලිවෙත් වල කිසිඳු ලිහිලක් නොපෙන්වමින් ඒවා වඩ වඩා වේගවත් කිරීම හරහා අවිශිබමයේ විරෝධතා දේශපාලනයේ බංකොලොත්කම හෙලිදරව් වෙමින් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සමස්ත ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලයකට ප්රවිෂ්ටවීමේ අවශ්‍යතාවය සිසුන්ට අභිමුඛ කෙරී තිබින.
එවන් අරගලයක් සාක්ෂාත් කල හැක්කේ විදේශ නය ගෙවීම නිෂ්ප්‍රභ කරන්නා වූත්, මහා වතු, සමාගම් හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරන්නා වූත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් යටතේ අධ්‍යාපනයට දැවැන්ත ධනස්කන්ධයක් වෙන් කිරීමෙන් පමනි. ධනපති ක්‍රමය පෙරලා දමා එවන් සමාජවාදී ආර්ථිකයක් ප්‍රතිස්ථාපනය
කිරීමේ අරගලයට නායකත්වය දීමේ ඓතිහාසික ශක්‍යතාවය පවතින එකම විප්ලවවාදී බලවේගය වන්නේ කම්කරු පන්තියයි.
මාක්ස්වාදයේ මෙම අතිමූලික විග්රහයට මුලු මුනින් සතුරුව මෙම ව්‍යාජ වම්මු කලේ හැකි තරම් පන්ති රේඛා බොඳකර හරිමින් ව්‍යාකුලතා නිර්මානය කිරීමයි. ජයගොඩ මෙම සටහනේද ඒ සඳහා සැලකිය යුතු ඉඩක් වෙන්කර ඇත.
“සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරයේ ප්‍රාදේශීය සංවිධාන වටා පහල පාංතික ජනයා රොක්විය. පාසල් වල ගුරු-දෙගුරු සමිති, ගම්වල සුබසාධක සමිති, අවමංගල්‍යාධාර සමිති, කුඩා වෙලඳුන්ගේ වෙලඳ සංගම්, ත්‍රිරෝද රථ සමිති ඇතුලු ප්‍රජා සංවිධාන යටතේ සිය ගනනින් සමාජයේ පහත මාලය සංවිධානය වී සටනට පැමිනියේය.”
අවැසි වූයේ නම් ජයගොඩට තවත් සමිති-සමාගම් දුසිමක වුවද ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නට පුලුවන් කමක් තිබෙන්නට ඇත. එහෙත් කම්කරු පන්තියෙන් පරිබාහිර අවශේෂ පීඩිත කන්ඩායම් කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්‍යතාවය වටහා ගනිමින්, එහි නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පෙලගැසීමෙන් විනා, ජයගොඩගේ සූත්‍රයට අනුව පන්ති පදනම් නොසලකා හැකිතාක් පිරිස් රැස්කිරීමෙන්, ධනපති ආන්ඩුවල සමාජ ප්රතිවිප්ලවයේ පිලිවෙත් පරාජය කල නොහැක.
ජයගොඩ සිය සටහන අවසාන කරන්නේ මහා මුසාවකිනි. එනම් සයිටම් විරෝධතාවය “ජයග්‍රහනය” කිරීම හරහා මහජන විඥානය ඉහල ගොස් ඇති බවයි. ඔහු මෙසේ කියයි: “තමන් බුද්ධිමතුන් ලෙස නම් කරගන්නා සිවිලුන්ගේ බාධා නොතකා ඔවුන් පංති දේශපාලනයට පැමිනියේය. සමාජයේ පහත මාලයට හඬක් ලබාදීම, එය සංවිධානය කිරීම, එයට දේශපාලන සවිඥානය ගෙනයාම සහ එහි බලය වර්ධනය කිරීම පැත්තෙන් අරගලය ජයග්රාාහී පියවරක් තැබුවේය”
ජයගොඩ කියන මෙම “පංති දේශපාලනය” කුමක්ද? නැතහොත් එය කුමන පංතියේ දේශපාලනයද? මෙය පෙසප සහ එහි පෙකනිවැල බැඳී ඇති ජවිපෙ සිතාමතාම ඇති කරන ව්‍යාකූලත්වයකි. ඔවුහු කම්කරුවන්, ගොවියන්, ත්‍රිරෝද රථ රියැදුරන් සහ කුඩා වෙලෙන්දන් සියලු දෙනා එක පන්තියකට දමා අනති. යම් සමාජයීය පුද්ගලයෙකුගේ පන්ති නිර්නය වන්නේ නිශ්පාදන ක්‍රියාවලියට ඔහු හෝ ඇය සම්බන්ධ වන සුවිශේෂී ආකාරයෙන් මිස ඔහුගේ අතමිට අනුව නොවේ.
නිශ්පාදන මාධ්‍ය අහිමි, තම ශ්‍රම ශක්තිය විකිනීමෙන් පමනක් ජීවත් වීමට නියමිතව ඇති පන්තිය කම්කරු පන්තිය හෙවත් නිර්ධන පන්තියයි. ගොවියන්, ත්‍රිරෝද රථ රියැදුරන් සහ කුඩා වෙලෙන්දන් තමගේම නිශ්පාදන මාධ්‍ය තුල තමාගේම ශ්‍රමය වගුරා ජීවත්වන තතු තුල ඔහු කම්කරු පන්තියට හෙවත් නිර්ධන පන්තියට අයත් නොවේ. ඔවුන් අයත් වන්නේ සුලු ධනපති පන්තියටයි.
පෙසප මෙම පන්ති ව්‍යාකූලත්වයන් ඇති කරනුයේ කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට එරෙහිව සහ එහි විප්ලවවාදී නායකත්වයට එරෙහිවයි.
පන්ති “විඥානය” සම්බන්ධයෙන් ද ඔවුන් කරන්නේ එවැනිම මඩ කිරීමකි. කම්කරු පංති විඥානය යනු සමාජවාදී විඥානය හැර අන් කිසිවක් නොව. ධනේශ්වර ක්‍රමය තුල කම්කරු පන්තියට ද ස්වභාවයෙන් උරුම වන්නේ ධනේශ්වර විඥානයයි. කම්කරු පන්තික විප්ලවවාදී පක්ෂය විසින් “පිටත සිට කම්කරු පන්තිය තුලට” මෙම සමාජවාදී නැතහොත් විප්ලවවාදී විඥානය ගෙන යා යුතුයැයි ලෙනින් තම කල යුත්තේ කුමක්ද? කෘතියේ පැහැදිලිව පෙන්වා දුන්නේ එයයි.
සයිටම් අරගලය පුරා අවිශිබම සහ පෙසප කලේ සමාජවාදී විඥානය ට එරෙහි ධනේශ්වර විඥානය වගා දිගා කිරීමයි. එනම් ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම හරහා කම්කරුවන්ට සහ සිසුන්ට සිය ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යාව වැපිරීමයි. අවසානයේ දී අවිශිබම සහ පෙසප නායකත්වයෙන් ඔවුන් දැවැන්ත පාවාදීමකට ලක් කෙරී ඇත.
පෙසප ට විපරීතව සයිටම් අරගලය පුරා සමාජවදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සටන් වැදුනේ සමාජවාදී විඥානය සිසුන් සහ කම්කරුවන් තුල තහවුරු කිරීමටයි. සසප සහ සසජාතශි එම සටන ඉදිරියටම ගෙනයනු ඇත.
Follow us on