ඔස්ට්‍රියානු මැතිවරනයෙන් පසු අන්ත-දක්ෂිනාංශිකයන් ආන්ඩුවට ඇතුලුවීමට සැරසේ
Far-right poised to enter government following Austrian election
පීටර් ෂ්වාර්ස් විසිනි, 2017 ඔක්තෝබර් 16
ඔස්ට්‍රියාවේ 15දා පැවති මැතිවරනය දක්ෂිනාංශය වෙත තියුනු හැරීමක් පෙන්නුම් කරයි. හිට්ලර්ගේ වැටීම හා ඔස්ට්‍රියානු නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු දැක නැති ආකාරයේ දක්ෂිනාංශික ආන්ඩුවක් එරට පිහිටුවනු ඇතැ යි අපේක්ෂා කෙරේ.
එරට ඉතිහාසයේ දූෂිත ම මැතිවරන ව්‍යාපාරය මෙය බවට ඒකමතියක් ඇත. ගෝලීය ධනේශ්වර අර්බුදයේ විනාසකාරී සමාජ ප්‍රතිවිපාක විසඳීමට අපොහොසත් ප්‍රධාන පක්ෂ, එකිනෙකා පරයා යාමට උත්සාහ ගත්තේ, සරනාගතයන්ට එරෙහි ප්‍රහාර හා අන්‍යෝන්‍ය මඩ ගැසීම් සමගිනි. එක් ප්‍රකාශකයෙක්, නිල දේශපාලනය අරක් ගෙන තිබුනු ”උන්මාදනීය ඔස්ට්‍රියාව පලමුවෙන් යන වාතාවරනය” පිලිබඳ ව කතා කලේ ය.
මෙය ලියන අවස්ථාවේ, ඡන්ද සියයට 31.4ක් ගනිමින් පැහැදිලිවම ඉදිරියෙන් සිටින්නේ කොන්සර්වටිව් ඔස්ට්‍රියානු මහජන පක්ෂය ( ඕවීපී) යි. එය 2013 ජාතික මැතිවරනයට වඩා සියයට 7.4ක් ඡන්ද ලබා ගත්තේ ය. තැපල් ඡන්ද ගනන් කරන සඳුදා වන තෙක්, අවසන් ප්‍රතිඵල දැන ගැනීමට නො හැකි වනු ඇත.
සමාජ ප්රජාතන්ත්රවාදී (එස්පී ඕ) ප්රමුඛ මහා සභාගයේ විදේශ ඇමති වන තිස්එක් හැවිරිදි සෙබස්තියන් කූර්ස්, නව අගමැති වීමට ඉඩ ඇත. මැයි මාසයේ දී කූර්ස් ඕවීපීයේ නායකත්වයට පත් විය. එය අභ්‍යන්තර පක්ෂ කුමන්ත්රනයක් බඳුය. ඔහු තම ව්‍යාපාරය කේන්ද්‍රගත කලේ සිය පුද්ගලත්වය වටා ය. එහි තනි දේශපාලන අවධානය වූයේ, සංක්රමනිකයන්, සරනාගතයන් හා මුස්ලිම් ජනතාව කෙරෙහි වන විරුද්ධත්වය යි. කූර්ස් අන්ත දක්ෂිනාංශික නිදහස් පක්ෂය (එෆ්පී ඕ) පරාජය කිරීමට උත්සාහ කලේ දකුනෙනි.
ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව, හා ලිබියාව තුල එක්සත් ජනපද නායකත්වයෙන් ගෙන ගිය, නේටෝව පිටුබලය දුන් යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් මැද පෙරදිග, මධ්‍යම ආසියාව හා උතුරු අප්‍රිකාව තුල සිදුව ඇති විනාසය හමුවේ පලායන සරනාගතයන් විසින් යොදා ගැනෙන බෝල්කන් ගමන් මාර්ගය වසා දැමූ බවට කූර්ස් කයිවාරු ගැසුවේ ය. ඔහු හංගේරියානු අගමැති වික්ටර් ඔර්බාන් සමග තම සම්බන්ධකම් දැඩි කරමින් සරනාගතයන්ට එරෙහි මර්දනකාරී පියවර ගන්නා බවට දිව්රුවේ ය. සංක්රමනිකයන් සංඛ්‍යාව සීමා කිරීම, ආරක්ෂාව පතන්නන් සඳහා සමාජ සහන අඩු කිරීම මෙන් ම ඉස්ලාමීය බාලාංශ පාසල් වසා දැමීමට ද ඔහු පොරොන්දු විය. එසේම ඔහු පොලිසිය හා ආරක්ෂක යාන්ත්‍රනය දැවැන්ත ලෙස තරකරන බවට ද පොරොන්දු විය.
(මැතිවරනයේ) දෙවැනි තැන සිටින්නේ අන්ත-දක්ෂිනාංශික නිදහස් පක්ෂය (එෆ්පී ඕ) යි. එය සියයට 27.4 දක්වා තම ඡන්ද සියයට 6.9න් වැඩි කර ගත් අතර, අවුරුදු හතරකට පෙර ගත් ඡන්ද සංඛ්‍යාව ම ලැබූ, සමාජ ප්රජාතන්ත්රවාදීන් (සියයට 26.7) පරාජය කලේ ය. වසර දහයක් රට පාලනය කර ඇති මහා සභාගය ඉදිරියට ගෙන යාමට කොන්සර්වටිව්වාදීන්ට හෝ ඩිමොක්රටිකයන්ට අවශ්‍ය නොවන හෙයින්, දක්ෂිනාංශික අන්තවාදීන් ඊ ලඟ ආන්ඩුවේ හවුල්කරුවන් වනු ඇති බව පෙනෙන්නට ඇත.
ජෝර්ජ් හේඩර්ගේ නායකත්වය යටතේ 2000 සිට 2007 දක්වා නිදහස් පක්ෂය මීට පෙර වතාවක් වියානා ආන්ඩුවට ඇතුලු වී සිටියේ ය. එම අවස්ථාවේ දී එය ආන්ඩුවට වැද්ද ගැනීම ගැන යුරෝපයේ පුලුල් විරෝධයක් ඇවිල ගිය අතර යුරෝපා සංගමය සම්බාධක ද පැනවී ය. එතැන් සිට, පක්ෂය සැලකියයුතු ලෙස තවත් දකුනට ගමන් කර ඇත.
2005දී හේඩර්ගෙන් බිඳී නායකත්වය ගත් දැනට හතලිස් අට හැවිරිදි හේන්ස් ක්‍රිස්ටීන් ස්ට්රාච්, සූඬේයිට්ෂේ සයිතුංග් පත්‍රයට අනුව, නිදහස් පක්ෂයේ තම වෘත්තිය අරඹන විට සටන්කාමී නව නාසි රංග භූමියේ කොටස් කරුවෙකු විය.
වයස 17ක තරුනයෙකු ලෙස, ස්ට්රාච් වියනාවේ වැන්ඬේලියා හි ජර්මානු ජාතික ශිෂ්‍ය සහෝදරත්වයට එකතු විය. ඔහු සුප්‍රසිද්ධ දක්ෂිනාංශික අන්තවාදියෙකු සමග කිට්ටු සම්බන්ධකම් පවත්වා ගෙන ගිය අතර වසර හතක් ඔහුගේ දියනියගේ සහකාරයා ද විය. 1994දී තහනම් කෙරුනු, නව-නාසී වයිකිං කන්ඩායම සමග ඔහුට සම්බන්ධකම් තිබූ අතර, ප්‍රසිද්ධ නව නාසීන් සමග පැරා මිලිටරි කටයුතු වලට ද සහභාගී විය. නාසි නිලඇඳුම් සමග ඔහුගේ ඡායාරූප තිබිය දී, ඔහු ඔහුගේ පැරා මිලිටරි ක්‍රියාකාරකම් එකිනෙකාට වර්න පන්දු දමා ගැසීමේ ක්‍රීඩා (paintball play) රඟපෑම් ලෙස නිෂ්ප්‍රභ කිරීමට උත්සාහ කලේ ය.
ස්ට්රාච් 1989දී නිදහස් පක්ෂයට සම්බන්ධ වුව ද නිදහස සඳහා තරුන කවය නම් නිදහස් පක්ෂයේ තරුන සංවිධානය, ඔහු පලවා හැරියේ ය. “එම අවස්ථාවේ දී ස්ට්රාච් ඕනෑවට වඩා දක්ෂිනාංශික වූ අතර ඕනෑවට වඩා කයිවාරු ගැසුවේ ය”යි අනාගත ආරක්ෂක ඇමති වීමට ඉඩ ඇති ස්ෂේයිබ්නර් එම තීරනය පිලිබඳ ව පැවසී ය.
මැතිවරනයේ වඩාත් විය හැකි ප්‍රතිඵලය වන, කූර්ෂ් හා ස්ට්රාච් අතර හවුල් ආන්ඩුවක් දල වසයෙන් සමාන වන්නේ ජර්මනියේ ක්‍රිස්තියානි සමාජ සංගමයේ මාර්කුස් සෝඩර් හා ජර්මනිය සඳහා විකල්පයේ බර්නාඞ් හෝක් අතර; නැත්නම් ප්රන්සයේ නිකොලස් සාර්කෝසි හා මරීන් ල පෙන් අතර සභාගයකට ය. 1938දී හිට්ලර් විසින් ඈඳා ගැනුනු රටක, අතීතයේ අපරාධ වලට සම්බන්ධ සියලු සලකුනු ඉවත දැමී ඇත.
මෙම වර්ධනයන් වටහා ගත හැක්කේ කලෙක තමන් ම “වාම” හෝ කම්කරු පන්තියේ නියෝජිතයන් යැයි විස්තර කර ගන්නා ලද සංවිධානයන්ගේ බංකොලොත්කමේ සන්දර්භය තුල ය.
20වැනි සියවස ආරම්භයේ දී, ඔස්ට්‍රියානු සමාජ ප්රජාතන්ත්රවාදීහු දෙවැනි ජාත්‍යන්තරයේ ඉතාමත් බලගතු කන්ඩායම් අතර වූහ. ඔස්ට්‍රියානු සමාජ ප්රජාතන්ත්රවාදීන් සහාය දුන් 1වන ලෝක යුද්ධයෙන් පසුව පවා පක්ෂය, “රතු වියනාවේ” ආධිපත්‍යය දැරූ අතර එහි වැසියන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් පක්ෂයේ සාමාජිකයෙකු විය. 1970 ගනන්වල පක්ෂය ධනේශ්වර පර්යායට සිය කොන්දේසි විරහිත සහාය ප්‍රකාශ කර තිබූ නමුත් තවමත් සීමිත සමාජ ප්රතිසංස්කරන ගෙන ගිය සමාජ ප්රජාතන්ත්රවාදී නායක බෘනෝ ක්රෙයිස්කි ජාත්‍යන්තර සමාජ ප්රජාතන්ත්රවාදය තුල ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් එක් අයෙකු විය.
කම්කරු පන්තියේ අයිතීන් ආරක්ෂා කිරීමේ මවාපෑම පවා අතහැර දමමින් දැන් එස්පී ඕව, දක්ෂිනාංශික අන්තවාදීන්ට පාර කපා ඇත. ඒ වෙනුවට එය, මැතිවරනයට පෙර එෆ්පී ඕ සමග සභාගයක් ඇටවීමට තම සූදානම පෙන්නුම් කරමින්, විදේශිකයන් නොරිස්සීමේ සටන්පාඨ වලට අනුගතවී ඇත.
අනෙකුත් පක්ෂ මෙන් ම සමාජ ප්රජාතන්ත්රවාදීහු ද මැතිවරන උද්ඝෝෂනය තුල සරනාගතයන්ට එරෙහිව දේශසීමා ශක්තිමත් කිරීම ඉල්ලා සිටියහ. කලාපයේ දක්ෂිනාංශික ආන්ඩුව විසින් බෝල්කන් ගමන් මාර්ගය වසා දැමීමේදී ඊට සහාය දුන් ඔවුන්, මධ්‍යධරනී මුහුදේ සරනාගතයන්ට එරෙහිව වඩා දැඩි ආස්ථානයක් සඳහා පෙනී සිටියේ, ඔවුන් “ආර්ථික සංක්රමනියකයින්” බව ප්‍රකාශ කරමිනි.
ජූනි මාසයේ දී, හිටපු දුම්රිය කර්මාන්ත විධායකයෙකු ද චාන්ස්ලර් මෙන් ම එස්පී ඕ නායකයා ද වන ක්‍රිස්ටියන් කර්න්, වසර 30ක් පැරනි “ව්රැනිස්ට්ස්කි ප්‍රවාදය” අතහැර දැමී ය, මෙම ප්රවාදයට අනුව සමාජ ප්රජාතන්ත්රවාදීන් එෆ්පී ඕ සමග හවුල් නො විය යුතු ය. ප්රමුඛ එස්පී ඕ නිලධාරීහු විවෘතුව ම දක්ෂිනාංශික අන්තවාදීන් සමග සන්ධානයක් ඉල්ලා සිටියහ. ඉදිකිරීම් වෘත්තීය සමිති ප්‍රධානී ජෝශෆ් මුකිට්ස් හා ලෝහ කම්කරුවන්ගේ වෘත්තීය සමිති නායක රේනර් වයිමර් වැනි බලගතු වෘත්තීය සමිති නියෝජිතයන් අතර මෙය විශේෂයෙන් ම විෂය විය. ප්‍රාන්ත මට්ටමේ දී, 2015 වන විටත් එස්පී ඕව බර්ගන්ඩි ප්‍රාන්තයේ දී එෆ්පී ඕ සමග හවුලක් අටවා තිබුනි. පක්ෂ දෙක ම ඔවුන්ගේ කිට්ටු සහයෝගිත්වයට ප්‍රශංසා කර ගත්හ.
මැතිවරනයේ දී, එස්පී ඕව දූෂිත උද්ඝෝෂනයක් ගෙන ගිය අතර, එය හෙලිදරව් වූ පසුව පක්ෂයේ මූනත්තහඩුව පුපුරා ගියේ ය. අගෝස්තු මාසයේ දී ඉහල වැටුප් ලබන එස්පී ඕ උද්ඝෝෂන උපදේශක ටැල් සිල්බර්ස්ටේන්, ඊස්රායලයේ දී දූෂන චෝදනා මත අත්අඩංගුවට ගැනුනු අතර, ඕවීපී අපේක්ෂක කූර්ස් යුදෙව් විරෝධියෙකු ලෙස පෙන්නුම් කරමින්, ඔහු ගැන බොරු පැතිර වූ නිර්නාමික ෆේස්බුක් පිටුවක් පවත්වා ගෙන ගිය බව හෙලිදරව් වුනි.
එක් ප්‍රධාන පක්ෂයක් වටා කුඩා පක්ෂ එකක් හෝ කීපයක් සමග සන්ධානගත වෙමින් නව පාර්ලිමේන්තුවේ බහුතරයක් පිහිටුවීමේ හැකියාවක් නොමැත්තේ, සුලු පක්ෂ වාර්තා කල ඡන්ද සංඛාව ඉතා පහල වන බැවිනි.
සරනාගත විරෝධී උද්ඝෝෂනය තෝරා ගත්, පොහොසත් මධ්‍යම පන්තික කන්ඩායම්වලින් සැදුනු නව ලිබරලුන්, නැවත පාර්ලිමේන්තුවට ඇතුලු වනවා ඇත්තේ, අවසාන මැතිවරනයේ ප්‍රතිඵලය ම වන ඡන්ද සියයට 5.0 සමගිනි.
2016 දෙසැම්බරයේ දී හරිතයින්ගේ හිටපු සභාපති ඇලෙක්සැන්ඩර් වෑන් ඩෙර් බෙලන්, ඕස්ට්‍රියානු ජනාධිපති ලෙස තෝරා ගැනුනු නමුත් මෙවර හරිතයෝ සියයට 9.1ක් ඡන්ද අහිමි කර ගත්හ. සියයට 3.3ක සංඛ්‍යාවක් ලැබූ ඔවුන්ට පාර්ලිමේන්තුවට ඇතුලුවීමට අවශ්‍ය සියයට 4 නොලැබී ඇත. සරනාගතයන් හා තුර්කිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති අවශ්‍ය තරම් දක්ෂිනාංශික නොවන බැවින් හරිතයන්ගෙන් වෙන්වුනු පැබ්ලෝවාදී විප්ලවවාදී මාක්ස්වාදී කන්ඩායමේ පීටර් පිල්ස්ගේ ලැයිස්තුව සියයට 4.1ක් ඡන්ද ලබා ගත්තේ ය.
පසු ගිය මැතිවරනයේ දී සියයට 5.7ක් ලබා ගත්, දක්ෂිනාංශික ව්‍යාපාරිකයෙකු විසින් පිහිටුවන ලද, ස්ටොනාච් කන්ඩායම, මෙවර මැතිවරනයට තරඟ නො කලේ ය.
ඔස්ට්‍රියාවේ දක්ෂිනාංශික මාරුව සමස්ත යුරෝපය පිලිබඳවම ඇඟවුමකි. මිලියන 9ට ආසන්න ජනගහනයකින් යුත් ඇල්පයින් සමූහාන්ඩුව තුල ප්‍රකාශිත වන්නේ, ධනේශ්වර දේශපාලනය කුනුවීමේ සමස්ත පරිමාවයි.
ගැඹුරුවන ජාත්‍යන්තර හා සමාජ ආතතීන් හමුවේ, ධනවාදය ආරක්ෂා කරන සියලූ පක්ෂ ජාතිකවාදය, විදේශික බිය, මිලිටරිවාදය හා මර්දනකාරී රාජ්‍ය සංවිධාන ශක්තිමත් කිරීමට හැරෙමින් තිබේ.
මහජනතාවගේ අසන්තෘප්තිය හා සමාජ අවශ්‍යතාවන් සම්ප්‍රදායානුකූල පාලක පක්ෂ තුල ප්රකාශනයක් සොයා නො ගන්නා අතර එය, අන්ත දක්ෂිනාංශික කයිවාරුකරුවන්ට ඔවුන් ගසා කෑමට ඉඩ සලසයි. මෙය, එෆ්පී ඕව පැරනි එස්පී ඕ බලකඳවුරුවල සහාය දිනා ගන්නා ඔස්ට්‍රියාවට පමනක් නොව, අභාවයට යන කාර්මික ප්‍රදේශවල ජාතික පෙරමුන ජය ගත් ප්රන්සය සම්බන්ධයෙන් ද සත්‍යයකි. දුගී බවට පත්ව ඇති නැගෙනහිර ජර්මනියේ ඒඑෆ්ඩී බලකොටු සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි.
Follow us on