බුරුමයේ රොහින්ගියා විරෝධී සංහාරය කලාපීය ආතතීන් අවුලුවාලයි
Burma’s anti-Rohingya pogrom fuels regional tensions
ජෝන් රොබර්ට් විසිනි, 2017 ඔක්තෝබර් 6
එක්සත් ජාතීන්ගේ නවතම වාර්තා වලට අනුව බුරුමයේ (මියන්මාරය) 507,000 ක රොහින්ගියා මුස්ලිම් වැසියන් එරට මිලිටරිය විසින් ආරම්භ කරන ලද කුරිරු “පවිත්‍රකරන මෙහෙයුම” හේතුවෙන් ඔවුන් ජීවත් වූ වයඹ දිග රඛින් ප්‍රාන්තයෙන් පලාගොස් ඇත. මිලිටරි මෙහෙයුම, අගෝස්තු 25 වන දින අරකන් රොහින්ගියා ගැලවීමේ හමුදාව (්ඍී්* විසින් පොලිස් මුරපොලවලට එල්ල කරන ලද බවට පැවසෙන ප්රහාරයන්ට ප්රතිචාරයකි.
මේ වනවිට බංග්ලාදේශයේ සරනාගත කඳවුරුවල තත්වය පිරිහෙමින් පවතී. නවතම සරනාගත ආගමනයත් සමග නවාතැන්, ආහාර සහ මූලික පහසුකම් අවශ්‍ය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ. මිලිටරි මෙහෙයුම් හේතුවෙන් රොහින්ගියා ජනයා බුරුමයෙන් පලා යෑම 2012 දක්වා ඈතට ගමන් කරයි.
සැප්තැම්බර් 28 පලවූ රොයිටර් වාර්තාවකට අනුව, මානව හිමිකම් කන්ඩායම් විසින් බුරුමයේ මිලිටරිය හා බුරුම ජාතිකවාදී කල්ලි විසින් රොහින්ගියා ලෙස හඳුනාගත් ගම්මාන 400 න් භාගයකට වඩා ගිනි තබා ඇති බවට ගනන් බලා ඇත. අගෝස්තු 25 සිට සැප්තැම්බර් 14 කාලය තුල ඉලක්ක වූ ගම්මාන 62 ක් හඳුනාගැනීමට හියුමන් රයිට්ස් වොච් සංවිධානය චන්ද්‍රිකා ඡායාරූප භාවිතා කරන ලදී.
රඛින් ජනපදය තුල මේ වන විට දහස් ගනනක් වූ ජනයා මූලික අවශ්‍යතාවයන් වත් සපුරාගත නොහැකි තත්වයකට පත්ව සිටී. ජාත්‍යන්තර ආධාර සංවිධාන, එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් “ආරක්ෂක” හේතූන් මත යයි පවසා එම ප්‍රදේශ වලට ඇතුලුවීම, අවුන්ග් සාන් සුකී නායකත්වය දෙන ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගය (එන්එල්ඩී) සහ මිලිටරිය විසින් තහනම් කරනු ලැබ ඇත.
සැප්තැම්බර් 27 වෙනිදා කෙයා ඉන්ටර්නැෂනල්, සේව් ද චිල්ඩ්රන් සහ ඔක්ස්ෆර්ම් (සාගත සහන සඳහා වූ ඔක්ස්ෆර්ඩ් කමිටුව) යන ජාත්‍යන්තර ආධාර ආයතන නිකුත් කරන ලද ප්‍රකාශයේ දැක්වෙන්නේ, “මානුෂීය ප්රවේශයන් පිලිබඳ දැඩි සීමාවන්” පනවා ඇති බැවින් ගැටුම් කලාපය තුල සිරවී සිටින ජනතාවට වෛද්‍ය සේවා, ආහාර සහ නිවාස ආදිය අහිමි වි ඇති බවයි. රජය සියලුම ආධාර මෙහෙයුම් මියන්මාර රතු කුරුස සංවිධානය වෙත පවරා ඇත.
සඳුදා වොෂින්ටන් පෝස්ට් වාර්තාවකට අනුව, ජංගම දුරකථන හරහා සම්බන්ධ වූ රොහින්ගියා පිරිස් ඔවුන් හා පවසා ඇත්තේ, සිය ගම්මාන බොහෝවිට ජාතිකවාදී කල්ලි විසින් වටලනු ලැබ ඇති බවයි. එක ගමක් සාගතයට මුහුනපා ඇති බවයි. තවද මෙම වාර්තාවේ සඳහන් වන පරිදි, සිදුකරන කුරිරුකම් පිලිබඳ තවත් පුවත් ලෝකය හමුවේ එලිදරව් වීම නතර කිරීමේ අරමුනින්, රජය විසින් රොහින්ගියා ජනතාව බංග්ලාදේශයට පලායාම වලක්වනු ලබන බවයි.
බුරුම ආන්ඩුව, රොහින්ගියා ජනතාව බංගලාදේශයේ සිට පැමිනි නීති විරෝධී සංක්රමනිකයන් ලෙස වර්ග කර ඇත. බොහෝ දෙනා පරම්පරා ගනනාවක් බුරුමයේ ජීවත් වූ මුස්ලිම්වරුන්ගෙන් පැවත එන්නන් වූව ද ඔවුන් දශක ගනනක් මුලුල්ලේ බුරුම ජාතික ස්වෝත්තමවාදයේ ඉලක්කය බවට පත් කරමින්, ඔවුන්ගේ පුරවැසිභාවය අහිමි කර ඇත.
මේ මානුෂීය ව්‍යසනය අග්නිදිග ආසියාව පුරා සහ අග්නිදිග ආසියානු ජාතීන් (ආසියාන්) තුල ආතතීන් උත්සන්න කරමින් තිබේ.
ආසියාන්හි වර්තමාන සභාපති, ෆිලිපීන විදේශ ලේකම් ඇලන් කැයෙටනෝ, රඛින් ප්‍රාන්තයේ තත්වය පිලිබඳව සැප්තැම්බර් 24 දා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල සැසිවාරය අතරතුර ප්‍රකාශයක් නිකුත් කල නමුත්, රොහින්ගියා ජනතාවට එරෙහි ප්රචන්ඩත්වය ගැන සඳහන් කිරීම මගහැරියේය.
මැලේසියානු විදේශ ඇමතිනි අනීෆා අමන්, රොහින්ගියා මුස්ලිම්වරුන්ට සලකන ආකාරය පිලිබඳව තම රටේ වැඩෙන කෝපය ගැන සැලකිලිමත් වෙමින්, ක්වාලාලම්පූර් ආන්ඩුව කැයෙටනෝගේ ප්‍රකාශය අනුමත කලේ නැත. ෆිලිපීනයේ විදේශ අමාත්‍යාංශය මැලේසියාවේ ආස්ථානයට ගරු කරන බව ප්‍රකාශ කරමින් ප්‍රතිචාර දැක්වූ නමුත් කැයෙටනෝගේ අදහස්වලින් බැහැර වූයේ නැත.
පිලිපීනයේ මෙම ප්‍රකාශය, ජකර්තාහි ද විවේචනයට ලක්ව තිබේ. ඉස්ලාමීය කන්ඩායම් තම පාලනයට අභියෝගයක් වෙමින් සිටින මොහොතක, ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ රොහින්ගියානුවන්ට සලකන ආකාරය විවේචනය කලේය. ඔහු සිය විදේශ ඇමති බුරුමයට යැවූ අතර අර්බුදය විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල රාජ්‍යතාන්ත්‍රික ප්රයත්නයක නිරත විය.
කලාපය තුල චීන බලපෑම අවහිර කිරීම සඳහා ඔබාමාගේ “ආසියාවට හැරීමේ” පිලිවෙත ඔස්සේ යන ට්‍රම්ප් පාලනයේ ව්‍යායාමයට, අග්නිදිග ආසියානු සංගමය තුල පැනනගිමින් ඇති මෙම ආතතීන් හරස්වී ඇත. 2011 සිට ඔබාමා ආන්ඩුව, බුරුමය බීජිනයේ කක්ෂයෙන් පිටතට ගැනීමේ බලාපෙරොත්තුවෙන් බුරුම මිලිටරිය සමග සමීප සබඳතා තහවුරු කරගත් අතර, මිලිටරි පාලනය, බටහිර ගැති එන්එල්ඩී ආන්ඩුව බලයට පත්වීමට ඉඩ සැලසීය. ට්‍රම්ප් නොවැම්බර් මාසයේදී අග්නිදිග ආසියානු සංගමයේ සමුලුවට සහභාගී වීමට නියමිතව ඇත්තේ මෙවන් තත්වයක් යටතේ ය.
බුරුම හමුදාවේ රෝහින්ගියා වාර්ගික පවිත්රකරනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ආරම්භක ප්‍රතිචාරය වූයේ, එය ඒආර්එස්ඒ ප්‍රහාරයට “අසමානුපාතික” යයි විස්තර කිරීමය. කෙසේ වෙතත්, රොහින්ගියා ජනයාට සිදු කරන ලද භීෂනයන්ගේ පරිමාව වඩාත් පුලුල් හා දැඩි වීම ද පෙරදිග හා ආසියාවේ බහුතර මුස්ලිම්වරුන් තුල කෝපය වර්ධනය වීම ද හමුවේ වොෂින්ටනය, වඩාත් විවේචනාත්මක ආකල්පයක් ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනි නිකී හැලි සැප්තැම්බර් 28 දා, බුරුම මිලිටරියට ආයුධ සැපයීම නැවැත්වීමට සහ “මිලේච්ඡ, නොනවතින මෙහෙයුම” සඳහා වගකීම මිලිටරි නායකත්වයට පැවරිය යුතු යයි සියලු රටවලින් ඉල්ලීය. කෙසේ වෙතත් හැලි, මිලිටරිය ආරක්ෂා කල සහ ඔවුන්ගේ කුරිරුකම් ආවරනය කිරීමට සහාය දුන් එන්එල්ඩී නායක සුකී හෝ ඇගේ ඇමතිවරු පිලිබඳව කිසිදු විවේචනයක් නොකලා ය.
”ආරක්ෂක” පියවරයන්ට සහාය දීමේ මුවාවෙන් බුරුම ආන්ඩුව හා මිලිටරිය සමග සිය සබඳතා ශක්තිමත් කර ගැනීමට චීනය උත්සාහ දරයි. චීනයේ යූනාන් ප්‍රාන්තයට සම්බන්ධ කෙරෙන බලශක්ති කොරිඩෝවේ, ක්යවුක්ෆ්යු වරායෙහි සිය ආයෝජන වැඩි කිරීම සඳහා බීජිනය පියවර ගත්තේය. බුරුමයේ හමුදාව පුහුනු කිරීම අවසන් කිරීමේ බි්රතාන්ය නිවේදනයත් සමග, හමුදා ප්‍රධානී ජෙනරාල් මින් අං හලයින් නැවතත් බීජිනයට කැඳවා තිබේ.
වර්ධනය වන ජාත්‍යන්තර විවේචන මොට කිරීමට සුකී උත්සාහ කරයි. සඳුදා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, තුර්කිය හා ජර්මනියේ විදේශ නියෝජිතයන් ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයන් 66 දෙනෙකුට රකයින් ප්‍රදේශයට යාමට ඉඩ දෙන ලදී. මෙය, තවමත් එම ප්‍රදේශය තුල ජන ජීවිතය “සාමාන්‍ය” තත්වයෙන් පවතින බවට සුකී කරන ප්‍රකාශය ඔප්පු කිරීම සඳහා නිර්මානය කර ඇති නරුම හා සමීපව මෙහෙයවන ලද මෙහෙයුමකි.
මීට අමතරව, 1993 දී යලි පදිංචි කිරීමේ ගිවිසුමකට අනුව තමන්, බුරුම වැසියන් ලෙස සනාථ කල හැකි නම්, බංග්ලාදේශයේ සිටින රොහින්ගියා සරනාගතයන්ට ආපසු ආ හැකි බව සුකී ප්‍රකාශ කලාය. 1992 දී ප්රචන්ඩ ක්‍රියා වලින් පසුව ඇතිකරගත් ගිවිසුම, රොහින්ගියානුවන් පුරවැසියන් ලෙස පිලිගත්තේ නැත. පදිංචිය හෝ දේපල අයිතිවාසිකම් තහවුරු කිරීමේ ලිපිලේඛන නොමැති වීම නිසා බොහෝ පිරිස් නැවත රටට භාර ගැනීම ප්‍රතික්ෂේප කෙරුනි.
ආන්ඩුවේ අභිලාශය පිලිබඳ තවත් පැහැදිලි අනතුරු ඇඟවීමේ ලකුනක් පෙන්වමින් සමාජ සංවර්ධන අමාත්‍ය වින් ම්යත් අයෙ මෑතකදී ප්‍රකාශ කලේ, “නීතියට අනුව, ගිනිබත් වූ භූමි භාග ආන්ඩුවේ පාලනයට යටත් වන ඉඩම් බවට පත්වේ”: මෙයින් ඇඟවෙන්නේ, රොහින්ගියා සරනාගතයින් ආපසු බුරුමයට පැමිනිය ද ඔවුන්ගේ ගිනිබත් වූ ගම්මාන කරා ආපසු යෑම තහනම් වන බවයි.
Follow us on