ධනපති ක්‍රමය සහ නිවාස ගැටලුව විසඳීමේ ආන්ඩුවේ පම්පෝරිය
ඔක්තෝබර් 2 දා පැවැත්වුනු “ලෝක ජනාවාස දිනයේ” ලෝක තේමාවට අනුව “සරිලන නිවසක උරුමය සැමට” යනුවෙන් ලංකාවේ තේමාව සකස්කර තිබීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රශංසා කර තිබුනි. ලෝකය පුරා පාලක පන්තීන් ලෝක ජනාවාස දිනය යොදාගෙන ඇත්තේ මහජනතාවන් ගෙන් අති දැවැන්ත සංඛ්‍යාවක් පෙලන නිවාස ප්රශ්නය ගැන තමන් උත්සුක වී සිටිතැයි කුහක ලෙස මවා පෙන්වීම සඳහාය.
තේමාවේ තේරුම පැහැදිලි කරමින් ජනාධිපති සිරිසේන ලෝක ජනාවාස දිනයට නිකුත් කල පනිවුඩයේ සඳහන් කර ඇත්තේ “නිවාස ලාභියාගේ ආර්ථිකයට ගැලපෙන පරිදි” හා “පවුලේ සාමාජිකයන්ගේ මනෝමූල තත්වයන්ට” හා “සාමාජීය ඕනෑඑපාකම් වලට ගැලපෙන පරිදි නිවාස නිර්මානය විය යුතු” බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ සහ නිවාස ඇමති සජිත් පේ‍්‍රමදාස ද එය පුනරුච්චාරනය කර ඇත. මෙම ප්‍රකාශවල සැබෑ තේරුම කම්කරුවන් දුගීන් ඇතුලු ජනයාට ශීලාචාර ජීවිතයකට අවශ්‍ය නිවාස ලබා දීමට ආන්ඩුව ක්‍රියා කරන්නේ නැති බවයි; ඒ අනුව, ජනතාවන්ට සරිලන්නේ ඔවුන්ගේ “ආර්ථික හැකියාවට” ගැලපෙන නිවසකි. දුප්පතුන් නම් දුප්පත් නිවසක්! පොහොසතුන් නම් සුඛෝපභෝගී මන්දිරයක්!
“සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබා දීම, නිවාස යනු ජනතාවගේ මුලික අයිතියක්” ආදී පුච්චානම් ඇදබාමින් මෙම දැවෙන ප්රශ්නය විසඳා ගැනීම ආන්ඩුව මහජනයාගේ කරේ තබා ඇත.
මේ බව මනාව පැහැදිලි කෙරුනු අවස්ථාවක් වූයේ, පසුගිය අගෝස්තු 29 වැනි දා නිවාස ඇමති සජිත් පේ‍්‍රමදාස, අගමැති වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් කොලඹ දිස්ති‍්‍රකයේ විවිධ ප්‍රදේශවලින් 1100දෙනා අරලියගහ මන්දිරයේ රැස්වීමකට කැඳවා ඔවුන්ගේ නිවාස වැඩි දියුනු කර ගැනීම ගැන පැවැත්වූ බන දේශනාවයි. එක අයෙකුට ලක්ෂයක් වටිනා චෙක්පතක් බැගින් රැස්වී සිටි ජනයාට ලබාදීම විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කෙරුනි. මහා උපකාරයක් කරන නියාවෙන් ඔවුන්ට ලබා දුන්නේ නය මුදලකි. සැබෑවටම නම් මෙය ධනපති ආන්ඩුව නිවාස ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින දුගී ජනතාව කෙරෙහි දක්වන අවඥාවේ ප්‍රකාශයකි.
“එකල අමාත්‍යංශය විසින් නිවාස ඉදිකිරීම් බාරගත්තා. ඒත් ඊට වඩා අඩු වියදමකින් ලාබදායී ආකාරයට ඉදිකර ගැනීම සඳහා අප නිවාස හිමියන්ට මුල්‍ය සහ ද්‍රව්‍ය ආධාර උපකාර ලබා දෙනවා. අද මේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රමය අනුවයි” යනුවෙන් වික්‍රමසිංහ පුරසාරම් දෙඩුවේය. නිවාස ප්රශ්නය විසඳීමේ නමින් මෙම නය වැඩසටහන ආන්ඩුව දීප ව්‍යාප්තව ගෙනයන්නකි. පේ‍්‍රමදාස දිනපතා මුල්ගල් තබමින් සහ “ආදර්ශ ගම්මාන” විවෘත කරන මහා උත්සව සංවිධානය කරමින් මාධ්‍ය ආවරනය ඇතිව මෙම ප්‍රෝඩාව ගෙනයයි.
වික්‍රමසිංහ සඳහන් කලේ 1960, 1970 ගනන්වල නිවාස අමාත්‍යංශය කුඩා නිවාස ඉදිකර දුගී නිවැසියන්ට ලබාදීමේ සීමිත වැඩසටහන 1978න් මෙපිට විවෘත ආර්ථික වැඩපිලිවෙල යටතේ මුලුමුනින්ම නැවැත්වීම ගැනයි. “ආන්ඩුව ප්රාග්ධනය [ඇත්තෙන්ම නම් නය] ලබාදුන් පසුව ජනතාවගේ දහඩිය මහන්සිය යොදා නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබෙනවා” යනුවෙන් වික්‍රමසිංහ ප්‍රකාශ කලේය.
නිවාස ගැටලුව විසඳීමේ දුෂ්කරතාව ගැන සඳහන් කරමින් ආන්ඩුව දැවැන්ත නය අර්බුදයක ගිලී සිටින බව වික්‍රමසිංහ කීවේය. මෙවැනි අර්බුදයක් මධ්‍යයේ නිවාස තනා දීමට රුපියල් කෝටි 2200ක් වෙන් කර ගැනීමට හැකිවීම මහත් ජයග්රහනයක් ලෙස ඔහු හුවා දැක්වූයේය. එහෙත් ආන්ඩුව ආරක්ෂක වියදම් සඳහා කෝටි 28400ක් එනම් නිවාස අමාත්‍යංශයට වෙන්කල මුදලමෙන් 14 ගුනයක් ගිය අවුරුද්දට වෙන්කර තිබුනි. ආන්ඩුවේ ප්‍රමුඛතාව දී ඇත්තේ දැවෙන සමාජ ප්‍රශ්න විසඳීමට නොව ඒවා විසඳන ලෙස ඉල්ලා අරගලයට ඇදෙන කම්කරුවන්, දුගීන් හා තරුනයන් මැඩලීමට මර්දන යන්ත්‍රය තරකිරීමටයි.
“මේ වනවිට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ නිවාස ලක්ෂ දෙකහමාරක් පමන ඉදිකිරීමට ආධාර උපකාර කර තිබීම ගැන” වික්‍රමසිංහ ගසන කයිවාරුව කි‍්‍රයාවට නැංවී ඇත්තේ කෙසේද? ආදර්ශ ගම්මාන ලෙස නම් කොට ඒවායේ ඉදිකෙරුනු වර්ග අඩි 500කටත් අඩු කුඩා නිවාස ලබාදී ඇත්තේ නය පදනම මතය.
හම්බන්තොට සිරිබෝපුර “සොමිසෙතගම” සැප්තැම්බර් 28 දා විවෘත කල අලුත්ම ආදර්ශ ගම්මානයයි. එහිදී සාදා තිබු නිවාස 22ක් බෙදා දුන් අතර ආසන්න ප්‍රදේශයේ විසිරී ඇති පවුල් 325කට රුපියල් මිලියන 82.5ක් එනම්, එක් අයෙකුට රුපියල් ලක්ෂ 2.5ක් බැගින් නය ලබා දුන්නේය.
අම්බලන්තොට සිට කිලෝමීටර් 9ක් දුරින් පිහිටි මයුරපුර ගම්මානයේ ගොඩනගා ඇති “සත්මිතුගම” පර්චස් 20ක භූමියක තැනූ කුඩා නිවාස 20ක් බෙදා දුන්නේ අපේ‍්‍රල් 7දාය. නිවාස සෑදීම සඳහා එක් අයකුට රුපියල් ලක්ෂ 3ක නය මුදලක් ලබා දී ඇති අතර ඒ සදහා මසකට රුපියල් 3182ක නය වාරිකයක් ගෙවිය යුතුය. වයස 40ක් පමන වන ගෘහනියක් කියා සිටියේ ලද නය මුදලෙන් ගෙයක් සෑදිය නොහැකි නිසා තමන් මීට පෙර ජීවත්වූ කුඩා නිවස හා ඉඩම විකුනා ලබාගත් මුදල් හා පිටතින් පොලියට ගත් තවත් නයක් ද මෙම නිවසට වියදම් කල බවයි. ඇය තවදුරටත් සඳහන් කලේ තමාත් ස්වාමිපුරුෂයාත් කුලීවැඩ කර නය ගෙවීමේ යෙදී සිටින බවයි.
රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂ තුනක් ගෙයක් සාදා ගැනීමට තබා පිලිසකර කර ගැනීමටවත් ප්‍රමානවත් නැති බව අමුතුවෙන් කිවයුතු නැත. එපමනක් ද? ආන්ඩුව කර ඇත්තේ මහජනයා නයකාරයන් බවට පත් කිරීමයි.
කොලඹ නගර සීමාවේ පමනක් පැල්පත් 50,000ක් ඉවත් කිරීමට නියමිත බව බස්නාහිර පලාත් සංවර්ධන ඇමති පාටලී චම්පික රනවක සැප්තම්බර් මස 24දා රැස්වීමකදී පවසා ඇත. ඉන් අඩක් 2020 වන විට ඉවත් කෙරෙන බව ඔහු කීවේය.
නමුත් මේ වන විටත් කොලඹ නිවැසියන් දහසකට අධික ගනනකගේ නිවාස පොලිසිය හා හමුදාව යොදා බලහත්කාරයෙන් කඩා බිඳ දමා එම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කරගෙන ඇත. මේ සඳහා අවසර පත්‍රය සකසා ගන්නේ ඔවුන්ට අනවසර පදිංචිකරුවන් යන ලේබලය ඇලවීමෙනි. මේ නිවාස දිගු කාලයක් තිස්සේ ඉතාමත් දුෂ්කර කොන්දේසි යටතේ පරම්පරා කිහිපයක් විසින් ගොඩ නගා ගන්නා ලද ඒවාය. සෞඛ්‍යය ඇතුලු සමාජ සේවා කප්පාදුවේ ප්‍රතිඵල ලෙස කොලඹ නගරය තුල ඩෙංගු ආදි වසංගත රෝග උවදුරු පැතිර යද්දීත්, ගංවතුර විපත් හට ගනිද්දීත් වරද පටවන්නේ මේ දුගී නිවැසියන් මතය.
මෙලෙස පන්නා දමන ලද දුගී නිවැසියෝ තැන තැන අටවා ගත් තාවකාලික ඉදිකිරීම් තුලත් කුලී නිවාසවලත් කටුක කොන්දේසි යටතේ ජීවත් වෙති. ඉවත් කල නිවැසියන් කිහිප සියයකට ලබා දී ඇති මහල් නිවාස මොනම ප්‍රමිතියකට වත් නැති, කුඩා එමෙන්ම අනාරක්ෂිත ඒවාය.
අපේ‍්‍රල් 14 දා අඩුම ගන්නේ 32ක් ජනයාගේ ජීවිත බිලිගනිමින් හා සියයකට අධික නිවාස යටකරමින් මීතොටමුල්ල කුනු කන්ද කඩා වැටීමෙන් ප්‍රදර්ශනය කෙරුනේ කොලඹ ප්‍රදේශයේ ජනයා මුහුන දෙන නිවාස ප්රශ්නයේ දරුනුකමයි. පසුගිය හා වත්මන් ආන්ඩු ප්‍රදේශයේ ජනයාගේ විරුද්ධත්වය නොතකා කුනුකන්ද ඉවත් නොකොට ගොඩගසමින් මෙම මහා සමාජ අපරාධය සිදු කලේය.
ආන්ඩුවේ ප්‍රතිපත්ති කිසිසේත්ම දුගීන්ගේ නිවාස හිඟය ඇතුලු සමාජ ප්‍රශ්න විසඳීම එල්ල කරගත් ඒවා නොව ධනපති පන්තියේ හා විදේශ ප්‍රග්ධනයේ ලාභ අවශ්‍යතා රැකීමට සඳහා තීන්දු කරගත් ඒවාය. ලංකාවේ ජීවත්වන පවුල් මිලියන 6න් මිලියන 2.5ක් වාසස්ථානයක් නැතිකම ඇතුලු නිවාස ප්‍රශ්නයන්ට මුහුන දෙන බව පේ‍්‍රමදාස පවසා ඇත. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අගමැති වික්‍රමසිංහ ලංකාවේ පවුල්වලින් සියයට 43ක් ලබන්නේ දවසකට ඩොලර් දෙකකට අඩු ආදායමක් බව පැවසුවේය.
ලංකාවේ ආන්ඩු ගෝලීය පරිමානව සිදුවන එක් අන්තයක ධනයත් අනෙක් අන්තයේ දුප්පත්කමත් කඳුගැසීමේ කොටසක් ලෙස ලංකාවේ, විශේෂයෙන්ම කොලඹ නගරයේ වර්ධනය වන සුපිරි ධනවතුන්ගේ හා ඉහල මධ්‍යම පන්තික කොටස්වල සුඛෝපභෝගී ජීවිතවලට අවශ්‍ය නිවාස සංකීර්න හා සංචාරක හෝටල්වලට ඇති ඉල්ලුම තෘප්ත කිරීම සඳහා දෙස්-විදෙස් ආයෝජකයන්ට සියලු පහසුකම් සලසමින් සිටියි. දුගීන් පලවා හැර ශුද්ධ කර ගන්නා ඉඩම් බෙහෙවින්ම යොදා ගන්නේ මේ ව්‍යාපෘති සඳහාය. ආන්ඩුව පෙනී සිටින්නේ මෙම මහා ධනපතියන් සහ විදේශ ප්රාග්ධනයේ උවමනාකම් වෙනුවෙනි.
මාධ්‍ය වල එන්න එන්නම වැඩිවන නිවාස සංකීර්න වල ප්රචාරක දන්වීම් බලන්න. කොළඹ “64 වෝඞ් ප්ලේස්” මහල් නිවාස සංකීර්නයේ ග්‍රෑන්ඩ් ක්ලැසික් කොටසේ නිදන කාමර දෙකේ නිවසක් රුපියල් මිලියන 47.4 සිට මිලියන 56 දක්වා (ඇමරිකානු ඩොලර් 316,000 සිට 347,600) මිල නියම කර ඇත. ග්‍රෑන්ඩ් එක්ස්ක්විසයිට් කාමර තුනක නිවසේ මිල රුපියල් මිලියන 60.9 ක්ද, ග්‍රෑන්ඩ් සුප්‍රීම් කාමර හතර මිලියන 70.5 සිට 79.5 වේ.
කොලඹ හයිඩ්පාක් අසල ලූනා ටවර් හි කාමර දෙකේ නිවස මිලියන 36.5ක්, කාමර තුන මිලියන 68.5ක් සහ කාමර හතර මිලියන 118.5ක් ගෙවා මිලදී ගත හැක. සමහර නිවාස සංකීර්න වල මිල ගනන් මීටත් වඩා ඉහලය.
1872 දී “නිවාස ප්රශ්නය” මැයෙන් ලියූ රචනාවක ෆෙඩි්රක් එංගල්ස් ”ධනේශ්වරය නිවාස ප්රශ්නය විසඳන්නේ කෙසේද?” යන්න ගැන කල විශ්ලේෂනය අවසන් කලේ මෙසේය: “ධනපති නිෂ්පාදනය කම්කරු පන්තියට දිවා රෑ ජීවත් වීමට නියම කර ඇත්තේ වසංගත රෝගයන්ගේ අභිජනනයට තෝතැනි වූ සිරකුටි බඳු නිවාස සමූහයන්ගෙන් යුත් පෙදෙස් තුලය. එම කොන්දේසි අහෝසි කරනු වෙනුවට ධනපති පන්තිය කරන්නේ එම දුගී කම්කරු නිවාස වෙනත් තැන්වලට මාරු කිරීමයි! එහෙත්, එම අහිතකර කොන්දේසි නිර්මානය කිරීමට හේතුකාරක වූ ආර්ථික අවශ්‍යතා එලෙසම පවතින නිසා නව ස්ථානයේ ද එම කොන්දේසි ම නිර්මානය වෙයි. ධනපති ක්‍රමය පවතින තාක් කම්කරු පන්තිය මුහුන දෙන නිවාස ප්රශ්නය හෝ සමාජ ප්‍රශ්න හෝ හුදෙකලා ගැටලු ලෙස ගෙන විසඳිය හැකි යැයි සිතීම මුලාවකි. විසඳුම ඇත්තේ ධනේශ්වර නිෂ්පාදන මාදිලිය අහෝසි කර දමා සියලුම ජීවන මාධ්‍යන් හා ශ්‍රමයේ මාධ්‍යන් කම්කරු පංතිය තමා වෙතම අත්පත් කර ගැනීම තුල පමනි.” (පිටුව 368, මාක්ස් එංගල්ස් එකතු කල කෘති, වෙළුම 23).
මෙම විශ්ලේෂනය ගෝලීයවම අදට ද වලංගුය. එක්සත් ජනපදයේ 2015 වසරේ නිවාස නැති ජනගහනය 564,708ක් විය. එක රැයක කොන්දේසි ගැන කෙරුනු සමීක්ෂනයකින් ඉදිරිපත් කෙරුනු මෙම සංඛ්‍යාවට වඩා සැබෑ තත්වය දරුනු බව සැලකේ. ජරාවාස වීමට ඉඩ හැර, ගින්නකට ගොදුරු කෙරී 100ක් පමන මියගිය ග්‍රෙන්ෆෙල් සමාජ අපරාධය ලන්ඩනයේ හා බි්රතාන්යයේ කොන්දේසි පෙන්නුම් කරයි. මෙම දැවැන්ත සමාජ ප්රශ්නය කිසිදා ධනපති ක්‍රමය තුල නොවිසඳුනා පමනක් නොව ලෝක ධනවාදයේ බිඳවැටීමේ නව කාල පරිච්ඡේදය තුල උග්‍රවී තිබේ.
ශීලාචාර ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පහසුකම් ඇති නිවසක් ලැබීම සමාජ අයිතියකි. ඒ සඳහා නම් දැවැන්ත මුදල් සම්භාරයන් වෙන් කල යුතුය. එය කල හැක්කේ නිෂ්පාදන ක්‍රමය, ලාභ ගැරීමේ ක්‍රමයක් ලෙස සිරකරගෙන සිටින ධනපති පන්තිය අතින් උදුරාගෙන සමාජයේ බහුතරයේ අවශ්‍යතා සපුරාලනු වස් ප්රතිසංවිධාන කිරීමෙනි. එනම්, බැංකු, මහා කර්මාන්ත හා විශාල වතු කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතට ගෙන ඒවා සමාජවාදී පදනමක් පිහිටුවීමත් විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමත් ඊට ඇතුලත්ය. මෙම අරගලය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසකි.
සමාජවාදී සමානතා පක්ෂය මෙම සමාජවාදී වැඩපිලිවෙලටද එය කි‍්‍රයාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටද සටන් කරයි.
නවීන් දේවගේ
Follow us on