ජීවන කොන්දේසි තලා දමමින් ආන්ඩුව අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල දමයි
කපිල ප්‍රනාන්දු විසිනි, 2017 ඔක්තෝබර් 10
ආහාර පිසීමට ගන්නා කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110න් ඉහල දැමීමට සැප්තැම්බර් 25 දා ආන්ඩුව ගෑස් සමාගමට අවසර දුන්නේය. මෙම මිල වැඩිකිරීම ගෑස් භාවිතා කරන නිවාසවල වියදම ඉහල දැමීමෙන් හා බේකරි නිෂ්පාදන හා ආපනශාලා මගින් ලබා දෙන ආහාරපාන ගනනාවක මිල ගනන් සියයට 20න් පමන ඉහල යාමෙන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසි මිරිකා දමන තවත් පහරක් වී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන් කප්පාදු කිරීම සඳහා පසුගිය මාස දෙකේ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය කීපයකම මිල ඉහල දැමීම සිදුකර ඇත.
x අගෝස්තු මස අග ආන්ඩුව ලංකාවේ ජනයාගේ ප්‍රධාන ආහාරය වන හාල් සඳහා පැවති පාලන මිල ඉවත් කලේය. ඒ සමගම සහල් මිල සියයට 5 සිට සියයට 12 දක්වා ගනන් වලින් ඉහල ගොස් තිබේ.
x සප්තැම්බර් 25 දා ජනාධිපති සිරිසේනගේ නියෝගයක් මත ලොකු ලූනු ආනයනය මත විශේෂ බද්දක් පනවන ලදී. හේතුව ලෙස ලංකාවේ ලූනු ගොවියන් රැක ගැනීමට එසේ කරන බවට මුසාවක් දෙසාබා ඇත.
x රටපුරා පොල් ගෙඩියක මිල රුපියල් 100 සිට 75 අතර ගනන්වලට නැගී තිබේ.
x ලංකා ඉන්දීය තෙල් සමාගම නුදුරේදීම ඛනිජ තෙල් මිල ඉහල දමන බව දැනටමත් නිවේදනය කර ඇත. ආන්ඩුව පනවා ඇති අධික බදු නිසා පෙට්‍රල් ලීටරයකින් රු 17ද ඞීසල් ලීටරයකින් රු 14ද පාඩු වන බව සමාගම පවසා ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඒ අනුව මිල ඉහල දැමීමට ගනන් බලයි. සියයට 20 වෙලඳ බද්දකට ලක්වී සිටින තත්වය හමුවේ මිල ඉහල නොදැමුවහොත් පාඩු ලැබීමට සිදුවන බව ලාෆ් ගෑස් සමාගම ද ජනමාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත.
එක දිගට සිදුවන මිල ඉහල දැමීම නිසා උද්ධමනය නැගෙමින් පවතී. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ජුලි මාසයේ පැවති 6.3ක් වූ උද්ධමන රේට්ටුව අගෝස්තු මාසයේ 7.2 දක්වා ඉහල නැග තිබේ. මෙය පසුගිය වසෙර් පැවති උද්ධමන රේට්ටුව වන සියයට 4 මෙන් දෙගුනයකට ආසන්නය. අගෝස්තු මාසයේ වැඩියෙන්ම නැගී ඇත්තේ අහාර ද්‍රව්‍යවල මිල උද්ධමනයයි.
ජීවන තත්වයන් ඛාදනය වීමට මුහුනදී සිටින කම්කරුවන් හා දුගීන් අතර විරෝධය වැඩිදියුනු වන තතු යටතේ තමන් සහන සැලසීමට පියවර ගන්නේ යයි මවා පෑමක ආන්ඩුව යෙදී සිටියි.
ඉදිරි මාස කිහිපය තුල සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් ආනයන කරන බවත් සතොස වෙලඳ සැල් මගින් සහල් අඩු මිලට ගත හැකි බවත් ලොකු ලූනු සහ අර්තාපල් කිලෝවක් රුපියල් 65 ක මුදලකට මිල දී ගතහැකි බවත් සැප්තැම්බර් 27 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ බඩුමිල සම්බන්ධව පැවති විශේෂ සාකච්ඡාවක දී සිරිසේන ප්‍රකාශ කලේ ය. ආන්ඩුව වගකීමෙන් ගලවා ගැනීම සඳහා සිරිසේන එහි දී තොග වෙලඳුන් වැඩි ලාභ පතා මිල ගනන් ඉහල දමා ඇතැයි කියා සිටියේ ය. කෙසේ නමුත්, සාමාන්‍ය වෙලඳපලට වඩා යම් හෝ අඩු මිලකට සතොස තුල ඇත්තේ ප්‍රමිතියෙන් බාල ආනයන කරන ලද සම්බා හාල් සහ හාල්මැස්සන් වැනි ආහාර ද්‍රව්‍ය කිහිපයක් පමනි.
භාන්ඩ මිල ඉහල යෑම ලංකාවට පසුගිය දිනවල බලපෑ ගංවතුර හා නියඟය නිසා සිදුවූ බව පෙන්වීමට ද ආන්ඩුව උත්සාහ කර තිබේ. ගංවතුර හා නියඟ භාන්ඩ හිඟයට හා මිල ඉහලයාමට යම් මට්ටමකින් බලපෑ එක හේතුවක් පමනි. පසුගිය 27 දා මහා බැංකුව නිකුත් කල මාධ්‍ය ප්‍රකාශයක් තුල “බදු ව්‍යූහයට සිදු කරන ලද ගැලපීම්වලට අමතරව, අහිතකර කාලගුනික තත්ත්වය හේතු කොටගෙන සැපයුම් අංශයේ ඇති වූ අවහිරතා සහ ජාත්‍යන්තර වෙලඳ භාන්ඩවල මිල ගනන් ඉහල යෑම” 2017 වසරේ උද්ධමනය ඉහල යෑමට බලපාන ලද බව සඳහන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව රුපියලේ වටිනාකම වෙලඳපොලේ තීන්දුවීමට ඉඩ හැරීම නිරන්තරව බඩුමිල ඉහල යාමට බලපාන සාධකයක් වී තිබේ.
භාන්ඩ මිල වෙලඳපොලේ තීන්දුවීමට ඉඩ දීම ආන්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට දමා ඇත. අගෝස්තු 10 දා ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මෙසේ ප්‍රකාශ කලේය: “ලිබරලීකරනය කිරීමේ දර්ශනයේ කොටසක් වන්නේ වෙලඳපොල නිදහසේ ක්‍රියාත්මක වීමයි. එය වගකිවයුතු ලෙස ක්රියාකිරීමක් අපට අවශ්‍යය.” උපරිම මිල නියම කල භාන්ඩ 17ක් පවතින බ කී ඔහු “එයද ක්‍රමයෙන් ඉවත් කිරීම ඔබට දකින්නට ලැබෙනු ඇත. අපි ඒවාද ඉවත් කරන්නෙමු,” යි වික්‍රමරත්න පැවසුවේය. මිල ගනන් නැගීම හා නැග්ගීම ආන්ඩුවේ දැනුවත්ව ක්‍රියාවට දමන ප්රතිපත්තියකින් තීන්දුවී ඇත.
කලින් පැවති අගමැති සිරිමා බන්ඩාරනායක ආන්ඩුවේ ජාතිකවාදී ධනපති ප්‍රතිපත්ති බිඳ වැටෙන තතු තුල මූල්‍ය ප්රාග්ධනයේ උවමනාකම් මත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම ඇරඹුවේය. 2008 මූල්‍ය කඩා වැටීමෙන් සලකුනුවී ඇති ධනපති අර්බුදයේ නව කාල පරිච්ඡේදය තුල මෙම ප්‍රහාරය අලුත් මට්ටමකින් ක්‍රියාවට දැමෙමින් පවතී.
ආන්ඩුව මෑත දී පාර්ලිමේන්තුවේ දී සම්මත කල නව බදු පනත ඇතුලු කප්පාදු අගය කරමින් ජාවූ ලී නායකත්වය ගත් ජාමූඅ කන්ඩායමක් සැප්තැම්බර් 29 දා කොලඹ දී මාධ්‍ය අමතා, නය තක්සේරු කිරීම් පිලිබඳ මූඩි ආයතනය නිකුත් කල සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ප්‍රකාශ කලේ ලංකාවේ උග්‍ර වන නය අර්බූදය හමුවේ තව දුරටත් කප්පාදු ගෙන ආයුතු බවයි. එම දත්තවලට අනුව ලංකාව ගෙවිය යුතු නය වාරික 2019 දී ඩොලර් බිලියන 4 ක් වන අතර 2019 සිට 2022 දක්වා එය බිලියන 13.8 ක් වීමට නියමිතය.
ජාමූඅ නියෝජිත කන්ඩායම, “නය කලමනාකරනය සහ රාජ්‍යය සතු ව්‍යවසායන්හි ප්ර්රතිසංස්කරන හා විනිවිදභාවයෙන් යුත් බලශක්ති මිල පාලනය ශක්තිමත් කිරීමට ආන්ඩුව පියවර ගත යුතු” යයි කියා සිටියේ ය. ඛනිජ තෙල් සංස්ථාවේ සහ විදුලිබල මන්ඩලයේ පාඩු අවම කිරීමට මිල ඉහල දැමීම පිලිබඳව ජාවූ ලී එහිදී සෘජුව අවධාරනය කල අතර පෞද්ගලික අංශය මූලිකත්වය ගත් ආර්ථික වර්ධනයක් පිලිබඳව බලාපොරොත්තු තබා ඇති බව තවදුරටත් සඳහන් කලේය.
එහි අර්ථය වන්නේ, නුදුරු අනාගතයේ දීම තෙල් හා විදුලි මිල ඉහල යනු ඇති බවත් ‘පාඩු ලබනවා’ ය යන ව්‍යාජ හේතුව මත විදුලිබල මන්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ජල සම්පාදන මන්ඩලය, වරාය අධිකාරිය වැනි රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කොට මිල ඉහල දැමීමත් එම ආයතන තුල සේවක කප්පාදුව ක්‍රියාවට නැගීමත් ය.
මෙම පියවර ජාමූඅ සෑම රටකම ක්‍රියාවට නගා ඇති පිලිවෙතයි. මූල්‍ය ප්රාග්ධනයේ නියමු ආයතනය වන ජාමූඅ නියෝගය වන්නේ යෝධ බැංකුවල, මූල්‍ය ආයතනවල හා සමාගම්වල ලාභ පොදි රැකදීම සඳහා කම්කරු පන්තියේ සියලු සමාජ අයිතීන් වනසා දැමිය යුතු බවයි. රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන වෛරය ගසාකමින් බලයට පැමිනි වත්මන් සිරිසේන-වික්‍රමසිංහ පාලනය ද ක්‍රියාවට නගමින් සිටින්නේ ජාමූඅලේ මෙම රුදුරු කප්පාදු පිලිවෙත් ය.
ඉහල යන බඩු මිල සම්බන්ධව හලාවත පාසල් ගුරුවරියක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසෙවඅ) සමග මෙසේ ප්‍රකාශ කලා ය: “ගිය මාසේ 20 දා ගත්ත පඩිය කඬේ නය ගෙවලා ඊයේ [සැප්තැම්බර් 30] වෙද්දි ඉවරත් වූනා. අපි දැනටත් ගෑස් පාවිව්චි කරන්නේ බත් එක උයා ගන්නයි වතුර ටිකක් උනු කර ගන්නයි විතරයි. උදේට මටයි මහත්තයාටයි වැඩට යන්න අනෙක් ව්‍යාංජන උයා ගන්නේ දර ලිපේ. ඒක එතරම් පහසු නෑ. මේ තත්වය උඩ තෙල් මිලයි විදුලි බිලයි වැඩි කෙරුවොත් අපි තවත් අමාරුවේ වැටෙනවා.”
කොලඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් සිය ජීවන අරගලය පිලිබඳව මෙසේ කරුනු දැක්වීය: “මහපොලට ලැබෙන මුදල ඉන්න තැනට ගෙවනවා. ඉතුරු වියදම් හොයා ගන්න සිකියුරිටි ජොබ් එකක් කරනවා. එතන වැඩ කරලා ඇවිත් දවල් දේශනවලට සම්බන්ධ වෙනවා. බඩු මිල ඉහල යාමත් එක්ක කාමර කුලියේ ඉඳන් හැම දෙයක් ම වැඩි වෙන කතාව තමයි ඉතින් ඉස්සරහට එන්නෙ. මේ යන විදියට දවල්ටත් පාට්ටයිම් කරන්න වෙන තත්ත්වයක් තියෙන්නෙ.”
”හාල් පොල් ලූනු ආදී සියලු අත්‍යවශ්‍යම අහාර මිල ඉහල ගිහින් ගෑස් මිලත් වැඩිවුනා. ගෑස් මිල වැඩිවුනා කියන්නේ බත් පැකට් එකේ ඉඳලා සියලුම බඩුවල මිල ගනන්යනවා කියන එකයි. හැම දෙයකම මිල එකම විදිහට ඉහලයි. මට ඉන්නේ එකම දරුවයි. ඇයගේ පන්ති වියදම රුපියල් අට දාහක් විතර මසකට වැයවෙනවා. මගේ දෙමව්පියෝ බලාගන්නෙත් මමයි. දරුවාගේ හා වයසක දෙමව්පියන්ගේ බෙහෙත් වියදම ඉස්සර ගනනට දැන් කරන්න බැහැ. මම නිවස සැදීමට සහ විවිධ අවශ්‍යතා සඳහා ගත් නය සඳහා ගෙවන වාරිකවල එකතුව රුපියල් විසිපන්දහසක් විතර වෙනවා එය මගේ පඩියෙන් භාගයකට වඩා වැඩියි,” යැයි මොරටුව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවිකාවක් වන චන්ද්‍රානි ලෝසවෙඅ වාර්තාකරුට පැවසුවාය.
“පොඩි මිනිහට එල්ලවෙන ප්‍රහාරයේ නිමක් නැහැ ජනාධිපති කිව්වේ ගෑස්මිල වැඩිකරන්නේ නැහැ කියල. ඒත් කට ගන්න කලින් ගෑස්මිල වැඩිකරලා ඉවරයි. තෙල්මිලත් ඒවගේමයි කොච්චර නැහැ කිව්වත් හෙට අනිද්දා වැඩිවෙයි”යැයි එම විශ්ව විද්‍යාලයේම අනධ්‍යයන සේවක ප්‍රේමසිරි ද සිල්වා පැවසීය.
නිදහස් වෙලඳ කලාපයේ නෙස්ට් ෆැක්ටරි සේවකයෙක් වන දිනේශ් සඳහන් කලේ තමන් අතිකාල වැඩ කොට මසකට ලබා ගන්නා රු 60,000ක පමන මුදල බැංකු නය, පවුලේ නඩත්තුව, කෑම හා බෝඩිං ගාස්තු ආදිය සඳහා නොසෑහෙන බවයි. කිසිම පාර්ලිමේන්තු පක්ෂයක් පිලිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බව ඔහු පැවසීය.
හැටන් ස්ටතන් වත්තේ තරුන වතු කම්කරුවෙකු වන මනික්කරාජ් ලොසවෙඅට මෙසේ තම අදහස් දැක්වීය: “අපි මේ ආන්ඩුවට චන්දෙ දුන්නේ අපේ ජීවන කොන්දේසි වැඩි දියුනු කරගන්න වුනත් අද අපි වඩාත් නරකතත්වයකට මුහුන දීල තියෙනවා. මං සමූපකාරෙයන් හා වෙනත් තැන්වලින් කිහිප විටක් නය ගත්තා. දවසින් දවස බඩු මිල ඉහල නගිනවා. අපි කොහොමද ජීවත් වෙන්නේ?
“අපේ වැඩ කොන්දේසිත් එන්න එන්නම නරක් වෙනවා. දවසට කිලෝ 19ක් දලු කැඩුවෙ නැත්නම් රු. 140 දීමනාව අහිමි කරනවා. දවස් 21ක් වැඩ නොකෙලාත් රුපියල් 60 දිරි දීමනාව අහිමි කරනවා. වැහි දිනවල මෙම දීමනා ගන්න අමාරු නිසා දවසට රු 500 මූලික වැටුපෙන් තමයි ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ.”
Follow us on