පලාත් සභා මැතිවරන කල්දැමීම: ආන්ඩුවේ ප්රජාතන්ත්ර-විරෝධී ක්‍රියාකලාපයේ ඉහල ප්රකාශනයක්
ප්‍රදීප් රාමනායක විසිනි, 2017 ඔක්තෝබර් 23
පලාත් සභා මැතිවරන එකම දිනයක පැවැත්වීම, පක්ෂවල කාන්තා අපේක්ෂක ප්‍රතිශතය ඉහල දැමීම හා මිශ්‍ර ක්‍රමය හෙවත් කේවල සහ දිස්ත්‍රික් අනුපාතය යටතේ ඡන්ද පැවැත්වීම ඇතුලු සංශෝධන රැගත් පනතක්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට සැප්තැම්බර් 20 වනදා ආන්ඩුව පියවර ගත්තේය. විපක්ෂය නියෝජනය කරන දෙමල ජාතික සන්ධානය (දෙජාස) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලහ.
ආන්ඩුව කඩිමුඩියේම මෙම පනත සම්මත කරගැනීමට ආසන්නතම හේතුව වූයේ ධුරකාලයේ අවසානයට ලඟාවෙමින් තිබූ සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පලාත් සභා සඳහා මැතිවරන පැවැත්වීම කල් පමාකරගැනීමේ උප්පරවැට්ටියක් ලෙසය. පනත සම්මත නොවූයේ නම් පිලිවෙලින් සැප්තැම්බර් 26, සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 01 දායින් ධූර කාල අවසන් වූ එම පලාත් සභා සඳහා මැතිවරන පැවැත්වීමට දින නියමකල යුතුව තිබුනි.
ආන්ඩුව මෙම ක්‍රියාමාර්ගයට අවතීර්න වූයේ ඉහත සංශෝධන ද ඇතුලත් වූ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දය පමනක් ප්‍රමානවත් නොවන බවත්, ඒ සඳහා ජනතා අනුමැතිය ලබාගැනීම සඳහා ජනමත විචාරනයක් පැවැත්විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් තීන්දුවක් දී තිබූ තතු තුලය.
පාර්ලිමේන්තුවේ සම්මත වූ පලාත්පාලන ආයතනවල මැතිවරන සංශෝධන නීතිගත කරමින් ඔක්තෝබර් 12 වනදා කතානායකවරයා ඊට අත්සන් තබද්දී එම ආයතන ද විසුරුවා හැර වසර දෙකකටත් වැඩි කාලයක් ගතවී තිබුනි. පලාත් සභා ඡන්දය කල්දැමීම සඳහා ද ඒ අයුරින්ම නොයෙක් උපාමරු යොදමින් සිටි ආන්ඩුව ඒවා ප්‍රමානවත් නොවෙන තැනදී සිය පාලනයට බෙහෙවින් අවාසිදායක විය හැකිව තිබූ ජනමත විචාරනයක් ද මඟහැර යමින්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් මෙම පනත සම්මත කර ගැනීම, ආන්ඩුවේ ප්රජාතන්ත්ර-විරෝධී ක්‍රියාකලාපයේ ඉහලම ප්රකාශනයකි.
පනත සම්මත වූ දිනට පසු දා පලාත් පාලන සහ පලාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කලේ සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පලාත් සභාවල නිල කාලය අවසන්වීමෙන් පසුව ඒවායේ පාලනය මැතිවරනය පවත්වන තුරු එම පලාත් තුනේ ආන්ඩුකාරවරුන්ට පැවරෙන බවයි. එනම් මැතිවරන පැවැත්වෙන තෙක් එම පලාත් සභාවල පාලනය මධ්‍යම ආන්ඩුව අතට ගන්නා බවයි. සියලුම පලාත් සභාවල මැතිවරන එක් දිනයක පැවැත්වීම සඳහා ඉහත පනතින් සංශෝධන සම්මත කරගැනීමත් සමග උක්ත පලාත් සභා සඳහා මහජන ඡන්දයෙන් නව නියෝජිතයන් පත්කර ගැනෙනු ඇත්තේ ඒවායේ ධුරකාල අවසන් වී අවම වශයෙන් වසරක්වත් ගතවීමෙන් පසුවය.
පනත සම්මත කර ගැනීමෙන් ආන්ඩුව ප්රජාතන්ත්රීය අයිතීන්ට එල්ල කල ප්‍රහාරය ජනාධිපති සිරිසේන විසින් නරුම ලෙස අර්ථ දැක්වූයේ ආන්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු වන අවස්ථාවක් ලෙසයි. 27 වනදා බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් සිරිසේන මෙසේ පැවසීය: “අපිට හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා. ආන්ඩුවට චෝදනා කරන අය කුමන ආකාරයේ විවේචන කලත් පසුගිය සතියේ තමුන්නාන්සේලාට ඔප්පු කලා, රජය පැත්තෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අරගෙන ආන්ඩුවේ ස්ථාවරත්වය.”
ආන්ඩුව මෙම පලාත් සභා මැතිවරන සංශෝධන සම්මත කරවා ගැනීම සඳහා පලමුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ පසුගිය ජූලි 27 වනදාය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව අවාසිදායක වන තතු තුල තවත් සංශෝධන 30 ක් සමඟ පාර්ලිමේන්තුව හරහා එය සම්මත කරගැනීමට ආන්ඩුව ක්‍රියා කලේය. පලාත් සභා සඳහා ඉදිරිපත් කර ඇති සංශෝධන වලින් බහුතරයක් ඉතා දැනුවත් ලෙස මැතිවරන ප්‍රමාද කරවීම ඉලක්ක කරගත් ප්රයෝගයන්ය.
නාම යෝජනා පත්‍රයක කාන්තා නියෝජනය මුලු අපේක්ෂක සංඛ්‍යාවෙන් සියයට 30 ක් විය යුතු බවට කර ඇති සංශෝධනය, ආන්ඩුව පවසන අයුරින් ස්ත්රීන්ගේ ප්රජාතන්ත්රීය අයිතීන් ආරක්ෂා කිරීම අරමුනු කර ගත්තක් නොවේ. ලංකාව වැනි පසුගාමී රටවල දේශපාලන ක්ෂේත්රයේ ස්ත්‍රී නියෝජනය අඩුවීම ඓතිහාසිකව නොවිසඳුනු සමාජයීය සහ ප්රජාතන්ත්රීය ගැටලූ සමග බැඳී පවතී. එම ප්රගාඪ සමාජ-දේශපාලනික ප්‍රශ්න වලින් කිසිවක් හෝ විසඳීමට ලංකාවද ඇතුලු කලාපයේ ධනපති පන්තිය ඓතිහාසික වශයෙන් අපොහොසත් වන අතර මෙය ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමේ නාමයෙන් මහජනතාවගේ ඇස් වලට වැලි ගැසීම සඳහා ක්‍රියාවට නංවන ලද කුහක උපාමාරුවකට වැඩි යමක් නොවේ.
අනෙක් සංශෝධන අතුරින් තීරනාත්මක එකක් වූයේ, සීමා නීර්නය කමිටුවක් පත් කිරීම සදහා ඉදිරිපත් කර තිබූ නිර්දේශයයි. ලංකාවේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් බොහෝ කොටම වර්ගවාදී පදනමකින් ඡන්ද දායකයන් බෙදී යන පරිදි මෙම සීමා නිර්නය කර ඇත්තේ වර්ගවාදය උසිගැන්වීම හරහා සිය ඡන්ද ගොඩවල් තරකර ගැනීම සඳහාය.
පස් දෙනෙකුගෙන් සැදුම් ලබන මෙම කමිටුවට පැවරෙන කාර්යය වන්නේ පලාතක, මැතිවරන කොට්ඨාස නීර්නය කිරීමය. පලාත් පාලන ආයතන සඳහා දැනට තීරනය කර ඇති බල සීමාවන් සංශෝධනය කිරීමට යාමේ දී මතුවන විවිධ ගැටලු ඉස්මත්තට ගනිමින් මැතිවරනය තවදුරටත් කල් දැමීම ආන්ඩුවේ අරමුනයි.
සටකපට උපාමාරු මගින් මැතිවරන කල්දැමීම වනාහි තමන් කැමති නියෝජිතයින් පත්කරගැනීමට මහජනතාවට ඇති අති මූලික ප්රජාතන්ත්රීය අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පනත සම්මත කරගැනීමෙන් දින දෙකකට පසුව ප්රමුඛ පෙලේ මැතිවරන නිරීක්ෂන සංවිධාන පහක් විසින් කැඳවූ මාධ්‍ය හමුවකදී ද ආන්ඩුවේ ක්‍රියාව හරහා මහජනතාවගේ මූලිකම ප්රජාතන්ත්රීය අයිතියක් උදුරා ගැනෙන අන්දම පැහැදිලි කෙරින. එහිදී එක් ප්‍රකාශකයෙක් සඳහන් කලේ “මේ පනත සම්මත කරගත් ආකාරයෙන් ජනතාවට තමන්ගේ විරෝධය ඉදිරිපත් කරන්න කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ, පනතේ ඉදිරිපත් කෙරුනු කරුනු හොඳද නරකද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ කරුනු ඉදිරිපත් කෙරුනු ආකාරයයි. අනාගතයේදී ඕනෑම පනතක් ගෙනල්ලා මේ ආකාරයෙන් කටයුතු කල හැකියි” යනුවෙනි.
ආන්ඩුවේ මෙම ප්රජාතන්ත්ර-විරෝධී පියවරයන් පසුපස පවතින්නේ බලයට පැමිනි තැන් පටන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ හා ප්රජාතන්ත්රීය අයිතීන්ට එල්ල කල ප්‍රහාර හේතුවෙන් මහජනතාව අතර වර්ධනය වී ඇති වෛරය හේතුවෙන් මැතිවරනයන් වලින් පරාජය වී ආන්ඩුවේ අර්බුදය වඩාත් උග්රවනු ඇතැයි පවත්නා භීතියයි.
තියුනු වන ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය ඇතුලු සමස්ත පීඩිත මහජනතාවන්ගේ කරමත පැටවීමේ රුදුරුම ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට, එම ප්‍රහාරය දිගේලි කිරීම සඳහා මෙවන් ආන්තික වශයෙන්ම ප්රජාතන්ත්ර විරෝධී විධික්රම මත යැපීම හැර අන් විකල්පයක් නොමැත.
පනත සම්මත කරගැනීම සඳහා ජවිපෙ සහ දෙජාස ආන්ඩුවට දැක්වූ සහය විසකුරුය. මැතිවරන කල්දැමීම ගැන මහජනතාව අතර බලවත් විරෝධයක් ජනනය වෙමින් තිබෙන මොහොතක එම විරෝධය දියකර හැරීමට ඔවුහු ආන්ඩුවට ඉඩ සලසා දුන්හ.
ජවිපෙ නායකයින්ට ආන්ඩුවේ ප්රජාතන්ත්ර-විරෝධී ප්‍රහාරය ගැන සුලු හෝ තැකීමක් නොවීය. ඊට විපරීතව ජවිපෙ නායක අනුරකුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ආදීන් ප්‍රකාශ කොට තිබුනේ පනත සම්මතවීම “විශාල ජයග්රහනයක්” බව සහ “එය රටට හිතකර” බව යි. ආන්ඩුවේ ප්‍රහාරයට තමන් පලකල සහයෝගයට සුදුහුනු තැවරීමේ අටියෙන්, තමන් මැදිහත් වූයේ “මැතිවරන ක්රමයේ වැරදි නිවැරදි කිරීමට” යැයි ජවිපෙ නායකයෝ කුහක ලෙස පැවසූහ.
පනත සම්මත වීමෙන් දිනකට පසු ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසුවේ “පලාත් සභා මැතිවරනය වරින් වර පැවැත්වීමේ තක්කඩි දේශපාලනය, ඒකාධිපති වියරුව පසුගිය රාජපක්ෂ පාලන කාලයේ වසර අටක් තුල අපි අත්වින්දා. අපි පනතට ඡන්දය දුන්නේ එම විකෘතිය නිවැරදි කිරීමට” බවයි.
දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙන් කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග ගැලතී සිටින දෙජාස ද ආන්ඩුව මහජනතාවට එල්ල කරන කවර ප්‍රහාරයකට හෝ අංශු මාත්‍රික විරෝධයක් පල නොකරයි. විපක්ෂයේ වාඩි වී සිටිමින් ආන්ඩුවේ මර්දනකාරී ප්‍රතිපත්ති සමග ජවිපෙ සහ දෙජාස වඩ වඩා පෙල ගැසෙමින් සිටිති.
රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය මැතිවරන කඩිනම් කලයුතු බවට උද්ඝෝෂනයක නිරතව සිටින්නේ, මහජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතීන් සුරක්ෂිත කරදීම උදෙසා නොවේ. සිරිසේන තම ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී ගසාකන ලද්දේ, මේ අයුරින්ම ප්රජාතත්රවාදී අයිතීන් මැඩලමින් ඒකාධිපති පාලනයකට මාරුවෙමින් සිටීම නිසා රාජපක්ෂට එරෙහිව පැන නැංගාවූ මහජන විරෝධයයි. දැන් සිරිසේන-වික්‍රමසිංහ පාලනය අපකීර්තියට පත්ව ඇති තතු තුල යලි බලයට පැනගැනීම සඳහා මහජන විරෝධය ගසාකෑමට හැකිවෙතැයි රාජපක්ෂ දැන් ගනන් බලයි.
ආන්ඩුවේ මෙම ප්රජාතන්ත්ර-විරෝධී ක්‍රියාකලාපය තුල කම්කරු පන්තිය ඇතුලු පීඩිත මහජනතාවන් විසින් අවබෝධ කර ගතයුතු බරපතල දේශපාලන ඇඟවුමක් පවතී. සිය අර්බුදය දිනෙන් දින තියුනු වෙද්දී, ආන්ඩුව පෙර නොවූ විරූ අන්දමේ ප්‍රහාරාත්මක විධි ක්රමයන් අනුගමනය කරමින් ආඥාදායක පාලනයක් වෙත ගමන් කිරීම වේගවත්කොට ඇතිබව එම ඇඟවුමයි.
Follow us on