කාෂ්මීර මුස්ලිම් දැරිය දූෂනය කර මරා දැමීම ආවරනය කරන බීජේපී නායකයන් කෙරෙහි ඉන්දියාව පුරා කෝපය පලවේ
BJP leaders’ cover-up of rape and murder of Kashmiri Muslim girl provokes outrage across India
වසන්ත රූපසිංහ විසිනි, 2018 අප්‍රේල් 20
කාෂ්මීරයේ අට හැවිරිදි මුස්ලිම් දැරියක් සමූහ දූෂනයට ලක් කර මරා දැමූ අපරාධකරුවන් වසං කිරීමට හින්දු වර්ගවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) ප්‍රාදේශීය අධිකාරීන් හා නායකයන් දරන උත්සාහයට එරෙහිව ඉන්දියාව පුරා කෝපය පලව ඇත.
පසුගිය ජනවාරියේ පැහැරගෙන ගොස් පිට පිටම දූෂනය කර අසීෆා බානෝ මරා දැමීම, ජම්මු කාෂ්මීරයේ කතුවා දිස්ත්‍රික්කයෙන් අර්ධ-එඬේර බක්කාර්වාල් වරුන් බියගන්වා පලවා හැරීම ඉලක්ක කරගත් කුමන්ත්රනයක් යයි ප්‍රාන්ත පොලීසිය චෝදනා කරයි.
ග්‍රාමීය හින්දු කෝවිලක භාරකාරයා ද පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුලු මිනිසුන් හය දෙනෙකුට මෙම කෲර අපරාධය පිලිබඳව චෝදනා එල්ලවී ඇත. සිද්ධිය විමර්ශනය කිරීමට මුලින් පත්කල තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සාක්ෂි විනාශ කිරීම ද ඇතුලු අපරාධකරුවන්ට අනුබල දීම ගැන චෝදනා එල්ලවී තිබේ.
ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් සිටින එකම ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරය තුල සති ගනනක් තිස්සේ මෙම සිද්ධිය දේශපාලන හා වාර්ගික ගිනිසිලුවක් ව තිබේ. එහෙත් ඉන්දියාවේ ජාතික මාධ්‍ය එම සිද්ධියට අවධානය යොමු කලේ, සැකකරුවන් අට දෙනාට උසාවිය ඉදිරියේ චෝදනා නැගීම වැලැක්වීමට හා ඉන්දියාවේ බීජේපීය නායකත්වය දරන ජාතික ආන්ඩුවේ පාලනය යටතේ පවතින මධ්‍යම විමර්ශන කාර්යාංශය (සීබීඅයි) වෙතට විමර්ශන බාරදෙන ලෙස ඉල්ලමින් ප්‍රාන්තයේ බීජේපී නායකයන් උද්ඝෝෂන පටන්ගත් විටය.
කතුවා දිස්ත්‍රික්කයේ ද ජම්මු කාෂ්මීරයේ අනෙකුත් හින්දු බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ද වාර්ගික එදිරිවාදීකම් ඇවිලවීමට බීජේපී නායකයන් උත්සාහ දරා තිබෙන්නේ, අට හැවිරිදි අසීෆා බානෝට සිදුකල අපරාධය විමර්ශනය කල සමහර නිලධාරීන් මුස්ලිම්වරුන් වන නිසා, පොලිස් විමර්ශනය පක්ෂපාතී යයි කියා සිටිමිනි.
මෙම ව්‍යාජ උද්ඝෝෂනයට නායකත්වය දී තිබෙන්නේ, හින්දු එට්කා මාන්ච් හෙවත් එක්සත් හින්දු පර්ෂදය නම් නව සංවිධානයක් විසිනි. එහි සභාපතිවරයා ජම්මු කාෂ්මීරයේ බීජේපී ලේකම් විජේ ෂර්මා ය.
ජම්මු කාෂ්මීරයේ ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය (පීඩීපී) විසින් නායකත්වය දෙනු ලබන සභාග ආන්ඩුවේ බීජේපී ඇමතිවරු දෙදෙනෙක් වන වනාන්තර පිලිබඳ ඇමති ලාල් සිං හා කර්මාන්ත ඇමති චන්ද්‍ර ප්‍රකාශ් ගංගාට, බීජේපී ජාතික නායකත්වය විසින් ඉල්ලා අස්වන ලෙස පසුගිය සතිඅන්තයේ බලකරනු ලැබුවේ, හින්දු එට්කා මාන්ච් විරෝධතා තුල ඔවුන්ගේ කටයුතු වලට එරෙහිව ඉන්දියාව පුරා උද්ඝෝෂන ඇවිල ගිය තතු හමුවේය.
චූදිතයන් අට දෙනා, මුස්ලිම්වරුන් රඟදක්වන දඩයමක “ගොදුරු” බවට පත්වූවන් ලෙස හුවාදක්වන වර්ගවාදී විරෝධතා තුල ඉදිරිපෙල භූමිකාවක් එකදිගට ම ඉටු කල නිසා, සිංට හා ගංගාට ඉල්ලා අස්වන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පුද්ගලික ව ම අන කල බව බීජේපීය කියයි.
මෝදි මත් ආන්තික හින්දු වර්ගවාදියෙකි. හින්දු අධිපතිවාදී ආර්එස්එස්හි ජීවිත කාලීන සාමාජිකයෙක් වන ඔහු, පලමු වරට ජාතික ප්රමුඛත්වයට පැමිනියේ, 2002 වසරේ දී ගුජරාට් ප්‍රාන්ත මහ ඇමති ලෙස සිටිමින්, දහසකට වැඩි දෙනෙකු මරනයට පත්කරමින් ද තවත් දහස් ගනනකට නිවාස අහිමි කරමින් ද ඇවිල ගිය මුස්ලිම් විරෝධී කෝලාහලයක් උසිගැන්වීමෙන් පසුව ය.
මෝදි අගමැති ලෙස ගත කල සිව් අවුරුදු කාලය තුල, ඔහු ද ඔහුගේ ආන්ඩුව ද වර්ගවාදී ප්‍රකෝපකරනයන්ගෙන් සහ බීජේපී කේඩරය හා ආර්එස්එස්ට සම්බන්ධ ක්රියාකාරිකයන්ගේ මිනීමරු ප්රචන්ඩත්වයෙන් දුරස්ථ වී සිටීමට උත්සාහ දරා ඇත්තේ, ඔහුගේ ආන්ඩුවේ සුජාත භාවයට වලකැපෙන බවට සංගත මාධ්‍ය විසින් අනතුරු ඇඟවූ විට හා විරෝධී රැල්ලක් මතු වූ විට පමනි.
පසුගිය දශක හත පුරා පාකිස්තානයට එරෙහි ඉන්දියාවේ ප්රතිගාමී මිලිටරි-මූලෝපායික එදිරිවාදිකම්වල කේන්ද්‍රීය ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරයේ දේශපාලන ගතිකය මත, අසීෆා බානෝ සිද්ධියෙන් ඇති කරන බලපෑමට ඉන්දීය පාලක ප්රභූව බිය වෙයි.
බීජේපී හෝ විපාර්ශවික කොංග්‍රසය යන කවර පක්ෂයක නායකත්වය යටතේ වේවා සෑම ඉන්දියානු ආන්ඩුවක් ම, ජම්මු කාෂ්මීර දේශපාලන-වාර්ගික අර්බුදය පෙන්නුම් කිරීමට උත්සාහ දරා ඇත්තේ, පරම වසයෙන් නො වේ නම් ප්රමුඛ වසයෙන්, ඉන්දියානු-විරෝධී ඉස්ලාමීය කාෂ්මීර ජාතිකවාදී කැරැල්ලට දීර්ඝ කාලයක් තිස්සේ සහයෝගය දෙන පාකිස්තාන රාජ්‍ය යාන්ත්රනයේ මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ය.
එහෙත් නව දිල්ලිය පුරා දන්නා යථාර්ථය වන්නේ, ඉන්දීය රාජ්‍යය හා ඉන්දියානු පාලක ප්රභූව වඩ වඩාත් හින්දු වර්ගවාදය වැලඳගැනීම මගින් දශක ගනනක් තිස්සේ පරිභවයට ලක්කර ඇති කාෂ්මීර මුස්ලිම් වැසියන් අතර මහජන අතෘප්තියක් පවතින බව යි.
පසුගිය විසිපස් වසර තුල ජම්මු කාෂ්මීරයේ වාඩිලාගෙන සිටින අඩ මිලියනකට වැඩි රාජ්‍ය ආරක්ෂක හමුදා, දන්ඩ මුක්තිය සහිතව මිනීමැරීම, අතුරුදන් කිරීම හා ගනන් නැති අපරාධ සිදුකර ඇත.
2016 හා 2017 යන වසර දෙකේ ම කාෂ්මීරය තුල ඉන්දියානු ආන්ඩුවට එරෙහි විරෝධතා මාස ගනන් පැවතුනු අතර එහි දී කාෂ්මීර තරුනයන් දෛනික ව ම පාහේ ආරක්ෂක හමුදා සමග ගැටුනි.
බීජේපී ආන්ඩුවේ එකම ප්‍රතිචාරය වී ඇත්තේ, මර්දනය තීව්ර කිරීම, යුදවාදී හා හින්දු වර්ගවාදයේ පදනම මත ඉන්දියානු ජාතිකවාදය ඇවිස්සීම හා දකුනු ආසියාව පූර්න පරිමාන යුද්ධයක් දෙසට ඇදගෙන යාමට තර්ජනය කරමින් පාකිස්තානය මත මිලිටරි හා රාජ්‍ය-තාන්ත්‍රික පීඩනය තීව්ර කිරීම යි.
පසුගිය වසරේ ජම්මු කාෂ්මීරයේ සියයකට වැඩි සිවිල් විරෝධතා කරුවන් මරා දැමූ ආරක්ෂක හමුදා තවත් දහස් ගනනකට තුවාල සිදුකලේ ය.
මුස්ලිම්වරුන්ට එරෙහි ප්රචන්ඩත්වය ඇවිලවීම පිලිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති හින්දු ප්‍රධාන පූජකයෙක් වන යෝගි අදිත්‍යනාත් මෝදි විසින් මහ ඇමති ලෙස පත්කර තිබෙන උත්තර් ප්‍රදේශයේ සිද්ධීන් ද මෝදි ආරක්ෂක ආස්ථානයකට තල්ලු කර දමනු ලැබී ය.
පසුගිය සති අන්තයේ කතුවා දූෂන මිනීමැරුමට එරෙහි ව මහජන කෝපය නැගෙන තතු හමුවේ, පසුගිය ජුනි 4දා උනා ඕ දිස්ත්‍රික්කයේ දී 17 හැවිරිදි දැරියක් දූෂනය කිරීමේ චෝදනාව මත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ බීජේපී සාමාජිකයෙක් වන කුල්දීප් සිං සෙන්ගාර් සීබීඅයි අත්අඩංගුවට පත් විය.
එම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ අතවරයට පත් දැරියගේ පවුලගේ උදවිය මාස ගනනක් තිස්සේ ගෙන ගිය උද්ඝෝෂනයකින් පසුව ය. උත්තර් ප්‍රදේශ් පොලීසියේ පලිගැනීමේ ඉලක්කයක් බවට ඔවුන් පත්ව සිටියදීම එම උද්ඝෝෂනය කරගෙන යන ලදී.
මාධ්‍ය වාර්තාවන්ට අනුව සන්නද්ධ අවි පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් (2017) අප්‍රේල් 3දා අත්අඩංගුවට ගන්නා ලද දැරියගේ පියා අප්‍රේල් 5දා හිරගෙදරට යැවුනි. මෙම අසාධාරනය හේතුවෙන් කම්පනයට පත් දැරිය අප්‍රේල් 8දා මහ ඇමති අදිත්යනාත්ගේ නිවස ඉදිරිපිටට පැමින ගින්දරට පැන දිවිහානි කරගැනීමට තැත් කලා ය. පසු දින හිර කූඩුව තුල මැරී සිටිය දී ඇයගේ පියාගේ සිරුර සොයාගත් අතර, පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවන්ට අනුව ඔහුගේ ශරීරයේ දරුනු තුවාල තිබී ඇත.
උත්තර් ප්‍රදේශ් පොලීසියේ අපරාධකාරීත්වය කෙරෙහි වැඩෙන මහජන කෝපය මධ්‍යයේ ප්‍රාන්ත ආන්ඩුව සිද්ධිය පිලිබඳ විමර්ශන සීබීඅයි වෙත අප්‍රේල් 12දා බාරදුන් අතර පසුදින සෙන්ගාර් අත්අඩංගුවට ගැනුනි. එහෙත් එමගින් පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 14) බීජේපී සාමාජිකයන් දූෂනයට පත් දැරියගේ ගම්මානයට පැමින එහි වැසියන්ට සාක්ෂි නො දෙන ලෙස තර්ජනය කිරීමෙන් වලක්වාලූයේ නැත.
අප්‍රේල් 13දා සිද්ධීන් දෙක පිලිබඳ ව සඳහන් කිරීම දේශපාලනිකව අවශ්‍ය යයි මෝදිට හැඟුනි. නම් සඳහන් නො කරමින් “පසුගිය දින දෙකෙහි පටන් සාකච්ඡා කෙරෙන සිද්ධීන් පිලිබඳව අපේ දියනියන්ට සාධාරනය ඉටුවන බවට” පොරොන්දු වන බවට සංවේගයෙන් කී ඔහු, ලිංගික ප්රචන්ඩත්වයට විසඳුම ලෙස “නීතිය හා සාමය” සහ “පවුල් පද්ධතිය” ශක්තිමත් කිරීම අවශ්‍ය වන බව පැවසීය.
පොදුරාජ්‍ය මන්ඩල සමුලුවට සහභාගි වෙමින් සිටින අතරතුර අප්‍රේල් 19දා ලන්ඩනයේ දී කතා කල මෝදි, “දූෂන සිද්ධීන් දේශපාලනීකරනය කිරීමට” උත්සාහ දැරීම ගැන බීජේපීයේ දේශපාලන විරුද්ධවාදීන්ට නරුම ලෙස පහර එල්ල කලේ ය. “ඒ හා මේ ආන්ඩුව යටතේ සිදු වුනු දූෂන සිද්ධීන් ගනන ගනන් කිරීමට මා කිසි දා ඉඩ දී නැතැ” යි මෝදි ප්‍රකාශ කලේ, මුස්ලිම්වරුන්, දලිත්වරුන් හා අනෙකුත් සුලුතරයන්ට එරෙහිව ඔහුගේ ආන්ඩුව යටතේ එල්ල වන වාර්ගික ප්‍රහාර වැඩිවීමක් තිබෙන බවට සාක්ෂි ගොනුවෙමින් තිබියදී ය.
කොංග්රස් පක්ෂය හා විවිධ ප්‍රාදේශීය හා කුලවාදී පක්ෂ වර්ගවාදය ඇවිස්සීම ගැන බීජේපීය හෙලා දැක තිබුනත්, ප්රජාතන්ත්රීය අයිතීන් ආරක්ෂා කරගැනීමටත් වාර්ගික ප්රතිගාමීත්වයට එරෙහි ව අව්‍යාජ අරගලයක් දියත් කිරීමටත් ඔවුන් අත්‍යන්තයෙන් ම අසමත් ය. හින්දු වර්ගවාදය සහ/හෝ බීජේපීයට ඉඩ දීමේත් ප්රතිගාමී කුලවාදී ආයාචනාවන් කිරීමේත් දීර්ඝ ඉතිහාසයකට ඔවුහු හිමිකම් කියති. තම ප්රජාතන්ත්රවාදී-අනාගමික ක්‍රියාමාර්ගය අත්හැර දමා 1947 දී උපමහාද්වීපය වාර්ගික පදනමක බෙදීම අනුමත කලා වූ ද 1984 දී සීක්-විරෝධී කෝලාහල අවුලුවාලූ හා 1992 දී බබ්රි මස්ජිද් පල්ලිය විනාශ කිරීමට ඉඩ දුන්නා වූ ද කොංග්රස් පක්ෂය සම්බන්ධයෙන් ද මෙය විශේෂයෙන් සත්‍ය ය.
තව ද ස්ටැලින්වාදී සීපීඑම් හා සීපීඅයි ඇතුලු විරුද්ධ පක්ෂ, ඉන්දියානු ධනේශ්වර පර්යායේ ආරක්ෂකයන් වන අතර රට ගෝලීය ප්රාග්ධනය සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීමේ ඉන්දියානු ධනේශ්වරයේ ධාවනය ඉදිරියට ගෙනයාමට උදවු වී ඇත. මේ හේතූන් නිසා, වාර්ගික ප්රතිගාමීත්වය කපා හෙලීම පිනිස ඉන්දියානු කම්කරුවන් හා පීඩිතයන් කුල හා වාර්ගික රේබා කපාහැර දුප්පත් කම, සමාජ අසමානතාව හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව බලමුලුගැන්වීමට ඔවුන් ඓන්ද්‍රීය ව ම අසමත් ය.
හින්දු දක්ෂිනාංශය විසින් සිදුකරන වාර්ගික ප්රකෝපකරනයන් ගැන මෝදි ඉලක්ක කරගත් කතුවැකියක් නිව් යෝක් ටයිම්ස් පත්‍රය අප්‍රේල් 16දා පල කලේ ය. ටයිම්ස් හා දි එකොනොමිස්ට් වැනි ජාත්‍යන්තර ප්රාග්ධනයේ හොරනෑවල් තුල එවැනි ප්‍රකාශ සුලබ වන අතර ඒවා ඉන්දීය ලිබරල් මාධ්‍ය තුල ප්රතිරාව නැංවේ. සමාජය ගිනිගන්වන සුලු වෙලඳපොල ගැති ප්රතිසංස්කරන ඉදිරියට ගෙන යාම හා චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව මුලුමනින්ම ඒකාග්ර කිරීම ගැන මෝදි උත්කර්ෂයට නංවන ලිබරල් මාධ්‍ය, ඔහුගේ ඊනියා නරක පැත්ත වාර්ගික ප්රතිගාමීත්වය දිරිමත් කිරීම යයි සැක සහිත අනතුරු ඇඟවීම් නිකුත් කරති. වාර්ගික ප්රතිගාමීත්වය ඉන්දියාව මත ඇති කරන දේශපාලනික අසමතුලිතතාව ගැන බිය වන එම මාධ්‍ය, ඉන්දියාව චීනයට එරෙහි “ප්රජාතන්ත්රවාදී” ප්රතිබලයක් ලෙස වාත්තු කිරීමේ ඔවුන්ගේ උත්සාහයන්ට වලකපන්නක් ලෙස එය දැක ගනිති.
එහෙත් මෝදිට “පැති දෙකක්” නැත. ඔහුගේ මහා ව්‍යාපාරික ආර්ථික න්‍යාය පත්‍රය හා ඉන්දියාව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ලෝක ආධිපත්‍යය කරා වන ධාවනය වෙතට ඒකාග්ර කරගැනීම මගින් ඉන්දීය පාලක ප්රභූවේ මහා බල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ඔහු දරන උත්සාහයන්, හින්දු අධිපතිවාදය දිරිමත් කිරීමේ ඔහුගේම ව්‍යායාමයේ කොටස් වේ. බීජේපීය බදා වැලඳගැනීමට ඉන්දියානු ධනේශ්වරයට බල කෙරී ඇත්නම් එයට හේතුව, අතිමහත් බහුතර ඉන්දියානු ජනයාගේ අවශ්‍යතාවන්ට විරුද්ධ ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට දැමීම කලහැක්කේ වර්ගවාදී-ආගමික අනන්‍යතාවට ආයාචනා කිරීම, ගූඪවාදය හා පසුගාමීත්වය දිරිමත් කිරීම හා සුලුතර ජනයා ගොදුරු කරගැනීම ආදිය හරහා පමනක් ම වන නිසා ය.
Follow us on