ශ්‍රී ලංකාව: කම්කරු පරීක්ෂනය මීතොටමුල්ල කසල ව්‍යසනය පිලිබඳ තොරතුරු එලිදක්වයි
Sri Lankan workers’ inquiry presents findings on Meethotamulla garbage disaster
අපගේ වාර්තාකරුවන් විසිනි , 2018 අප්‍රේල් 12
මීතොටමුල්ල කසල කන්ද නිර්මානය කල විනාශය පිලිබඳ කම්කරු පරීක්ෂනයේ තොරතුරු, අප්‍රේල් 1දා කොලඹදී පැවැත්වුන ප්‍රසිද්ධ රැස්වීමකදී හෙලිදරව් කෙරුනි. කොලොන්නාවේ පිහිටි මෙම දැවැන්ත කසල කන්ද 2017 අප්‍රේල් 14දා කඩා වැටීමෙන් අඩුම තරමින් ජීවිත 32ක් හා නිවාස 142ක් විනාශවිය. එය ප්‍රදේශවාසීන් දහස් ගනනකගේ ජීවිත වලට බලපෑවේය.
සමාජවාදී සමානතා පක්ෂය පසුගිය මැයි මාසයේදී එම ව්‍යසනය හා එය සිදුවූයේ කුමක් නිසාදැයි සොයා බැලීම පිනිස මෙම කම්කරු පරීක්ෂනය පැවැත්වීය. අප්‍රේල් 1දා රැස්වීමට 100ක් පමන සහභාගී වූහ. ඒ අතර මෙම ව්‍යසනයෙන් කෙලින්ම විපතට පත්වූවන් ද කම්කරුවන්, තරුනයින් හා සසප සාමාජිකයන් ද සිටියේය.
රැස්වීමේදී විනාශය සිදුවීමට පෙර කසල කන්ද ඉවත් කරන ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් දැක්වූ විරෝධතාවක් ද විනාශයෙන් පසු තත්වය ද ප්‍රදේශයේ විපතට පත් නිවැසියන්ගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡාද ඇතුලත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කලේය.
පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු විලානි පීරිස් පැවසුවේ, විනාශය සිදුවීමෙන් මාස 12ක් ගතවී ඇතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රදේශවාසීන් මුහුනපාන කිසිදු මූලික ප්‍රශ්නයක් විසඳා නැති බවයි.
එසේම ආන්ඩුව අනාගතයේ මෙම ප්‍රදේශයේ සිදුවිය හැකි ව්‍යසනයන් වැලැක්වීමට ද කටයුතු කර නැත. සොච්චම් වන්දි මුදල් ද ගෙවා ඇත්තේ නිවාස විනාශවූවන්ට පමනි. නිවාස අහිමිවූ පවුල් 90ට සපයා ඇති නිවාස “වාසයට සුදුසු තත්වයක” නැත.
සසප දේශපාලන කමිටු සාමාජික කපිල ප්‍රනාන්දු පැවසුවේ, කොලොන්නාව නගරසභාව කසල බැහැර කිරීම ආරම්භ කලේ 1987 තරම් ඈතදී බවය. එය 2009දී කොලඹ නගරයේම කසල බැහැර කරන ස්ථානයක් ලෙස පුලුල් විය. අක්කර දෙකකට සීමාවිය යුතු බවට දී තිබුන අධිකරන නියෝගයට පවා පටහැනිව යමින් එය අක්කර 23ක් දක්වා පුලුල් කරන ලදී.
2009දී එල්ටීටීඊය පරාජය කිරීමෙන් අනතුරුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ, කොලඹ ජාත්‍යන්තර වානිජ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ සැලසුම් එලිදැක්වීය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එම සැලැස්ම අනුව යමින් කොලඹ නගරයේ වටිනා බිම් කොටස් අත්පත්කරගෙන දුගී පවුල් ඉවත් කරන ලදී.
ප්‍රදේශවාසීන් කසල කන්ද අඩි 10ක් තරම් උසට නගිද්දී එයට විරෝධය පලකිරීමට පටන් ගති. ආන්ඩුව මෙම විරෝධතා මර්දනය කල අතර කසල කන්ද අඩි 200ක් තරම් උසට නැගුනි. එය සියලු පරිසර නීති පවා උල්ලංඝනය කිරීමකි.
තවත් සසප නායකයෙකු වන ප්‍රදීප් රාමනායක රැස්වීම අමතමින් කියා සිටියේ මෙය “ස්වාභාවික විපතක්” නොවූ බවය. එය සිදුවුනේ “ජනාකීර්න ප්රදේශකට නිතිපතා කසල ගොඩකිරීම නිසාය.”
ජාතික ගොඩනැගිලි පරියේෂන ආයතනයේ භූ විද්‍යාඥ ආර්.එම්.එස්. බන්ඩාර උපුටා දක්වමින් රාමනායක පැවසුවේ, දුර්වල පස් තට්ටු මත ටොන් මිලියන ගනන් කසල ගොඩකිරීම නිසා ඇතිවූ පීඩනයේ ප්‍රතිපලය ලෙස නායයාම සිදුවූ බවයි. තෙත් බිමක් කසල බැහැර කිරීමට සුදුසු නොවන බව ඔහු පැහැදිලි කලේය. ප්‍රදේශයේ කිසිදු යෝග්‍යතා පරීක්ෂනයක් පවා සිදුකර නැත.
සසප දේශපාලන කමිටු සාමාජික ලසිත ලක්මාල් පැවසුවේ, කිසිදු පාලනයකින් තොරව කසල බැහැර කිරීමෙන් සිදුව ඇති බොහෝ ව්‍යසනයන් අතරින් මීතොටමුල්ල නායයාම එකක් පමනක් බවයි. 2000 වසරේ ජූලි මාසයේ පුද්ගලයින් 200කගේ ජීවිත බිලිගත් ෆිලිපීනයේ මැනිලා ආසන්න කුවිසොන් කසල කන්ද කඩාවැටීම ද 2014 වසරේ පෙබරවාරියේ ඉන්දුනීසියාවේ බැන්ඩුංහි කසල කන්දක් කඩා වැටීම ද දැනට ඉන්දියාවේ මුම්බායි හා තවත් නගරවල සිදුව ඇති කසල අර්බුද ද ඔහු ගෙනහැර දැක්වීය.
මෙම ව්‍යසනයන් සිදුව ඇත්තේ දුගී ජනතාවට ජීවත් වීමට බලකෙරී ඇති ප්රදේශවලය. එය දුගී හා සංවර්ධනය වන රටවලට පොදු ගැටලුවකි. ලාභ සොයා යාම හා දශක ගනනාවක් තිස්සේ ආන්ඩුවල වියදම් කප්පාදුව නිසා මේ තත්වය උද්ගතව පවතී. ඇමරිකාවේ ෆ්ලින්ට් නාගරිකයේ වැසියන්ට ඊයම් මිශ්‍ර ජලය පානය කිරීමට බලකෙරී තිබීම ද 2017 ජූනියේ පුද්ගලයින් 70කට ජීවිත අහිමි කරමින් ලන්ඩනයේ ග්රීන්ෆෙල් තට්ටු නිවාසවල ඇතිවූ දැවැන්ත ගින්න පිලිබඳව ද ලක්මාල් සඳහන් කලේය.
පානි විජේසිරිවර්ධන පැවසුවේ, ජනගහන ඝනත්වය, කානු පද්ධතිය හා පසේ ස්ථාවරත්වය වැනි ප්‍රධාන ප්‍රශ්න ගැන අවධානයක් හෝ විද්‍යාත්මක කසල කලමනාකරන ක්‍රමවේදයන් කිසිවක් මීතොටමුල්ලේදී යොදා නැති බවයි. ඒකාබද්ධ කසල කලමනාකරන සංකල්ප 1980 ගනන්වල වර්ධනය විය. කසල කඳුවල විස වායු නිර්මානය අවම කිරීම හෝ ප්රතිචක්රීයකරනය හා බලශක්තිය නිපදවීම යන කිසිවක් රටේ ප්‍රධාන නාගරිකයන්හි බලධාරීන්ගේ සැලකිල්ලට ලක්ව නැත.
එවන් කර්තව්‍යයන් සඳහා මූල්‍ය සම්පාදනය ක්‍රමානුකූලව කපාහැර තිබෙන අතර යටිතල පහසුකම් බෙහෙවින් දුබල කෙරී ඇත. 2016 වසරේදී කසල කලමනාකරනය සඳහා පලාත්පාලන ආයතන වලට වෙන් කර තිබුනේ රුපියල් මිලියන 334ක සොච්චම් මුදලක් පමනක් බව ද විජේසිරිවර්ධන පැවසීය.
සසප දේශපාලන කමිටු සාමාජික රොහන්ත ද සිල්වා සංස්ථාපිත දේශපාලන පක්ෂවල හා ව්‍යාජ වමේ ප්‍රතිචාරය විමසා බැලීය. පාලක පන්තියේ පක්ෂ සාමාන්‍ය ජනතාවගේ ඉරනම පිලිබඳව කිසිදු තැකීමක් නැති අතර සෞඛ්‍ය සම්පන්න හා යහපත් ජීවන කොන්දේසි ද සමාජ අයිතීන් ද පිලිබඳ සෑම ඉල්ලීමක්ම මර්දනය කර ඇත.
එසේම ආන්ඩුවේ හෙංචයියන් ලෙස වැඩ කරන එක්සත් සමාජවාදී පක්ෂය හා නව සමසමාජ පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් මීතොටමුල්ල ව්‍යසනයට දේශපාලනිකව වගකිව යුතුඅය ගැන පවත්වාගෙන යන්නේ පූර්න නිහඬතාවකි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතාවන්ගේ අරමුන කසල ප්රශ්නය කෙරේ පලවන මහජන විරුද්ධත්වය අවමංගත කර, ඒ ඒ ආන්ඩුවලට නිරර්ථක ඉල්ලීම් ඉදිරිපත් කරමින් ව්‍යසනයට හේතුවී තිබෙන ලාභ සූරාකෑමේ ධනපති ක්‍රමය පිලිබඳ ප්රශ්නය යට ගැසීම බව ද සිල්වා පැහැදිලි කලේය.
සසප සාමාජික දේහින් වසන්ත සංස්ථාපිත මාධ්‍යයේ හා විවිධ පරිසර සංවිධානවල ක්‍රියාකලාපය ගෙනහැර දැක්වීය. ඩේලි නිව්ස් හා දිනමින යන රජයේ ප්රවෘතිපත්ර කතුවැකි ලියමින්, ව්‍යසනය ඇතිවීමට පෙර ප්‍රදේශයෙන් ඉවත් නොවීම නිසා ජීවිත හානි සිදුවූයේ යයි මීතොටමුල්ල දුගී ජනතාවට වරද පැටවීමේ උත්සාහයක නිරත විය.
රැස්වීම නිමා කරමින් පීරිස් ජනාධිපති කොමිසම, ජපන් විශේෂඥයින්, පේරාදෙනිය ශාස්ත්රාලිකයින් ඉදිරිපත් කල වාර්තා කිසිවක් ප්‍රසිද්ධියට පත්කර නැතිබව පැවසීය. මෙම “පරීක්ෂන” වලින් උත්සාහ දරා ඇත්තේ සැබෑ වගකිවයුත්තන් වසංකර දිවිගලවා ගත් අයගේ සහ ඔවුන්ගේ දරු පවුල්වල දුක්පීඩා ඔවුන්ගේම ඉරනමට අතහැර දැමීමටය.
කරදියාන, ගොහාගොඩ හා දොම්පේ යන තැන්වල ඇති කසල කඳු අසල ජීවත්වන අයගේ තත්වය ද මීට වෙනස් නොවන බව ඇය පැවසුවාය. කසල ප්රශ්නය පිලිබඳව පැනනැගුන මහජන විරෝධතාවන් කෙරෙහි ඒ ඒ ආන්ඩු ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේදැයි ඇය පෙන්වා දුන්නාය. 2015 මැයි මාසයේදී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පෙලපාලිකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර එල්ල කිරීම පිනිස පොලිසිය යෙදවීය.
දේශපාලඥයින් කසල ප්රශ්නය විසඳන බවට පොරොන්දු වුව ද කිසිවක් සිදුව නැත. මීතොටමුල්ල ව්‍යසනය සමාජ අපරාධයකි. එය නිර්මානය කලේ ලාභය පසුපස දුවන ධනපති ක්‍රමය හා එහි දේශපාලඥයන් විසිනි.
සිය මූලික සමාජ අයිතීන් රැකගැනීමත් ජීවන තත්වයන් වැඩි දියුනු කරගැනීමත් අනාගත ව්‍යසනයන් වලක්වා ගැනීමටත් කම්කරුවන් හා පීඩිතයින්, පාලක පන්තියේ සියලු දේශපාලන සංවිධාන ප්‍රතික්ෂේප කර තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොනැගිය යුතුය. මේවා සමජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, කම්කරුවන්, ගොවීන්, තරුනයින් හා සිසුන් ද අනෙකුත් පීඩිත ජනකොටස් ද බලමුලු ගන්වන සටන් සංවිධාන විය යුතුය.
යහපත් නිවාස, රැකියා, සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන ගනන් යෙදවිය යුතුය. “වතු බැංකු හා විශාල සමාගම් කම්කරු පාලනය යටතේ ජනසතු කල යුත්තේ එබැවින්ය. නිෂ්පාදනය සංවිධාන කල යුත්තේ අතලොස්සකගේ ලාභය සඳහා නොව අති විශාල බහුතරයක් වන ජනතාවගේ ශුභසිද්ධිය සඳහා ය”යි පවසමින් පීරිස් සිය කථාව නිමා කලාය.
Follow us on