මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා:
මීතොටමුල්ලේ කසල කන්දෙන් ඇතිකල සමාජ ආර්ථික ගැටලු සහ එයට එරෙහි මහජන අරගලය
සකස් කලේ විමල් පෙරේරා විසිනි, 2018 අප්‍රේල් 30
2017 අප්‍රේල් 14 දා මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් ඇතිවූ ඉමහත් ජීවිත හානිය හා දේපොල විනාශය, හදිසියේ හෝ අහම්බෙන් සිදුවූ අනතුරක් නොව, දශක ගනනාවක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු ගෙනගිය සමාජ ව්‍යසනකාරී වැඩපිලිවෙලක ප්‍රතිපලයකි.
මීතොටමුල්ල කසල රඳවනය පිහිටා ඇති ස්ථානය කලින් “පොතුවිල් කුඹුර” නමින් හැඳින්වූ, කැලනි ගෙඟ් පිටාර තැන්නේ පිහිටි ස්වාභාවික තෙත්බිමකි. එය සම්ප්රදායිකවත්, පසුව සංක්රමනික පවුල් විසිනුත් වී වගාව, එලවලු හා පලා වගාව වැනි කටයුතු සඳහා යොදාගෙන ඇත.
එම ජීවිකාවන් ද විනාශ කරමින් මෙම කසල රඳවනය ආරම්භ කොට ඇත්තේ 1987 දී කොලොන්නාව නගර සභාව විසිනි.
ඉන් ඇතිවිය හැකි සෞඛ්‍යමය සහ අනෙකුත් ගැටලු දැන දැනම, කුනුකන්ද පිහිටා ඇති වගුරු බිමේ කොටසක් ගොඩකොට, 1989 දී “දහම්පුර” නම් නිවාස ව්‍යාපෘතිය අරඹා ඇත්තේ රනසිංහ ප්‍රේමදාස ආන්ඩුව මගින් දියත් කල “උදාගම්” වැඩසටහනේ කොටසක් ලෙසිනි.
එහිම තවත් කොටසක ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ “පන්සල් හේන” නම් දුගී නිවාස සංකීර්නය ද පසුව ගොඩනගා ඇත.
මුල් දශක තුනේදී මෙම රඳවනය, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය වලට පමනක් සීමා වූ නමුදු, 2009 සිට කොලඹ නගරසභා බල ප්‍රදේශය තුල ජනනය වන අපද්‍රව්‍ය වලින් වැඩි කොටස ද මීතොටමුල්ලට යොමු කරන ලදී.
කොලඔ නගරයේ කසල මීතොටමුල්ලට යොමුකෙරුනේ, බ්ලූමැන්ඩල් කසල රඳවනයට එරෙහිව අසල්වාසීන් ගොනු කල පෙත්සමක් විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය, එහි කසල බහාලීම නතර කරන ලෙස දුන් නියෝගයෙන් අනතුරුවයි.
කොලඹ නගරයේ කසල මීතොටමුල්ලට ගෙන යාමට සිදුවූයේ උසාවි නියෝගය නිසා යයි බලධාරීන් ප්‍රකාශ කල ද, සැබෑ හේතුව නම්, වරාය ආශ්රිත බ්ලූමැන්ඩල් වැනි ප්‍රදේශයක කසල ගොඩගැසීම, කොලඹ නගරය මූල්‍ය කේන්ද්‍රයක් බවට පත්කර ගැනීමේ වැඩපිලිවෙලට බාධකයක් වෙතැයි ආන්ඩුවට තිබුනු උත්සුකයයි.
විශාල වශයෙන් නාගරික දුගීන් ජීවත් වන මීතොටමුල්ල ප්‍රදේශය ඒ සඳහා තෝරා ගැනුනේ කිසිඳු නීතිමය අවසරයකින් හෝ පරිසර අධ්‍යනයකින් තොරවයි.
කොලඹ නගරයේ කසල මීතොටමුල්ලේ රැඳවීම ආරම්භ කිරීමත් සමගම එයට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රබල විරෝධයක් මතු විය. එම තතු තුල, වගුරුබිමේ අක්කර 2 ක භුමි භාගයක අවුරුදු 2 ක කාලයක් සඳහා පමනක් කසල රැඳවීමේ අතුරු නියෝගයක්, කොලඹ නගර සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ලබා ගත්තේ ය. කෙසේ වුවද, 2017 වන විට එය අක්කර 23ක් පුරා පැතිරුනු, අඩි 200 ඉක්මවූ උසකින් යුතු දැවැන්ත කසල කන්දක් බවට එය පරිවර්තනය වී තිබිනි.
2016 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වාර්තා කල අන්දමට, කසල කන්දෙන් පැතිර යන මදුරුවන් හා විෂබීජ නිසා ඒ අවට ඩෙංගු රෝගය, මී උන, පාචන රෝග හා හඳුනා නොගත් ආසාදන නිසා සෑම වසරකම කුඩා ලමයින් ද ඇතුලුව දුසිම් ගනනක් මියගියහ. ප්‍රදේශයේ වෛද්‍ය වරුන් කල අධ්‍යයනයකින් හෙලිවූයේ ඩෙංගු රෝගයෙන් පමනක් පසුගිය වසර කිහිපය තුල පුද්ගලයින් 30ක් මියගොස් ඇති අතර, ප්‍රදේශවාසී දරුවන්ගෙන් සියයට 60 ක් සමේ රෝග වලින්ද, සියයට 65 ක් ශ්වසන රෝග වලින්ද පෙලෙන බවයි.
වැසි දින වල එයින් නිකුත් වන දුර්ගන්ධය කිලෝමීටර 4ක් පමන දුරින් ඇති ගොතටුව හා කලපලුවාව වැනි ප්‍රදේශ වලටද දැනිනි. කසල කන්දෙන් ගලන ඕජස් නිසා, මීතොටමුල්ල ප්‍රදේශය හරහා ගලාගොස් කැලනි ගඟට වැටෙන ඇල සම්පූර්නයෙන්ම දුෂිතව, අධික දුගඳ හමන හා කලුපැහැති ජලයෙන් යුක්ත විය. 2017 අප්‍රේල් වන විට කසල කන්ද පැවතියේ එම ප්‍රදේශයේ වැසියන්ට පමනක් නොව, සමස්ත කැලනි ගංගා පරිසර පද්ධතියටම දැවැන්ත පාරිසරික තර්ජනයක් වෙමින්, කොලඹ ජනතාවගේ හිසට ඉහලින් ලඹදෙන බිහිසුනු අනතුරක් ලෙසය.
ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හා අනුප්‍රාප්තික ආන්ඩුවල ප්‍රතිචාරය
මීතොටමුල්ල කසල කන්දට එරෙහිව දශක දෙකක පමන කාලයක් පුරා ප්‍රදේශ වාසීන් උද්ඝෝෂනය කලහ. කන්ද කඩාවැටීමෙන් තම නිවස අහිමි වූ, පිටකොටුවේ කුලී කම්කරුවෙකු වන, ඒ. ප්‍රියන්ත ලෝසවෙඅට මෙසේ පැවසීය: “මේ කුනු කන්ද අඩි දහයක් කාලේ ඉඳල අපි උද්ඝෝෂනය කලා, ඒත් ඒක අඩි 200 ටත් වඩා උසට යනකන් කුනු දැම්ම. දැන් අපිට ඉන්න තැනත් නැති වුනා.”
2009දී කොලඹ නගර සභාවේ ප්‍රධාන කසල බැහැරලන ස්ථානය බවට පත් වීමෙන් පසු මෙම උද්ඝෝෂන තීව්ර විය. 2014 මැයි මාසයේදී ප්‍රදේශවාසින් කොලඹ අවිස්සාවේල්ල මාර්ගය වාඩිලාගෙන කල උද්ඝෝෂනයට, එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මුර්ග පොලිස් ප්‍රහාරයක් එල්ල කරමින් මර්දනය කලේ දුසිම් ගනනක් අත් අඩංගුවට ගනිමිනි.
2015 ජනාධිපතිවරනයේදී, මේ ප්‍රදේශයේ ජනතාවගෙන් රාජපක්ෂ ආන්ඩුවට එල්ලවී තබුනු විරෝධය ගසා කමින්, බලයට පත්වූ දිනම මෙහි කසල දැමීම නතර කරන බවට බොරු පොරොන්දු ලබා දුන් වර්තමාන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ඊට ප්රතිකුලව සිදු කලේ, පසුගිය වසර දෙක තුල මෙහි කසල බැහැර කිරීම තවත් වේගවත් කිරීමයි.
2015 දෙසැම්බර් මාසයේදී කසල කන්දට එරෙහිව ජනතාව කල තවත් උඝෝෂනයක් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් මර්දනය කලේ පෙර මෙන්ම මුර්ග පොලිස් ප්‍රහාරයක් යොදා ගනිමිනි. 2016 අවසානය වන විට කසල කන්ද ආශි‍්‍රත ඉඩම් පිලිබඳ ආන්ඩුවේ සැබෑ සැලසුම් හෙලිදරවු කරමින්, කොලොන්නාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ගුවන් විදුලි සංවාදයකදී ප්‍රකාශ කලේ “මෙතන ඉඳල කොලඹ වරායට කිලෝමීටර 2යි, කටුනායක අධිවේගී මාර්ගයට කිලෝමීටරයයි, මේ අක්කර 28 ක භුමි භාගය ආර්ථික මර්මස්ථානයක්. මීලඟ නවීන නගරය හදන්න මෙතන පාවිච්චි කරන්න ඕනේ” යනුවෙනි.
ආන්ඩුවේ ප්‍රධාන උවමනාවක් වූයේ මේ වටිනා බිම වැදගත් වානිජ කාර්යක් සඳහා යොදා ගැනීමයි, එනම්, එම ප්‍රදේශයෙන් දුගී ජනතාව ඉවත් කර ආයෝජන සඳහා විවෘත කර ගැනීමයි. අපේ‍්‍රල් 14දා සිදුවූ ව්‍යසනය, හුදෙක් කසල කලමනාකරනය පිලිබඳ අර්බුදයෙන් පැනනැගුනක් නොව, දශක ගනනාවක් පුරා කොලඹ පොදු සේවාවන් වල ඇතිවෙමින් ඇති ඛාදනයේ හා නාගරික ඉඩම් වලින් දුගීන් හා කම්කරුවන් ඉවත් කර ඒවා පුද්ගලික ආයෝජනයන්ට පවරාදීමට ගෙනයන ධාවනයේ ප්රතිඵලයකි.
කොලඹ පොදු පහසුකම් වල අර්බුදය හා එහි ඉතිහාසය
බ්‍රිතාන්‍ය පාලන කාලය තුල වානිජ හා මිලිටරි අවශ්‍යතා සඳහා, කොලඹ නගරයේ වානිජ හා පරිපාලන මධ්‍යස්ථාන වලට සේවා සැපයෙන සේ වැසිජල හා පල්දෝරු පද්ධතිය හා ගංවතුර ආරක්ෂන පද්ධතිය වැනි සීමිත නාගරික යටිතල ව්‍යූහයන් ඉදිකරන ලදී. නමුත් ඒවා නිවැරදි නාගරික සැලසුම්කරනයක් තුලින් නිර්මානය කල නියම ආකාරයේ “පොදු පහසුකම්” නොවීය.
1948 යටත්විජිත පාලනය අවසන් වීමෙන් පසුව, බ්‍රිතාන්‍ය ප්රාග්ධනය ගලා ඒම සීමාවීම නිසා, මාර්ග පද්ධතිය හැර මේ සීමිත පොදු පහසුකම් අතලොස්සේද මොනම වර්ධනයක්වත් ඇති නොවීය. 1977 බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුව ක්‍රියාත්මක කල විවෘත ආර්ථික ප්‍රතිපත්ති මගින් එතෙක් කම්කරු අරගල මගින් සීමිතව හෝ තහවුරු කරගෙන තිබුනු සුබසාධන හා පොදු සේවා සියල්ල අතුගා දැමීමේ වැඩපිලිවෙලක් දියත් විය.
1983දී ඇරඹුනු වර්ගවාදී යුද්ධය හා ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්ති යටතේ ග්‍රාමීය ආර්ථිකයේ සිදුවූ බිඳවැටීම් හේතුකොටගෙන ලක්ෂ ගනනක් ගැමියන්ට කොලඹට සංක්‍රමනය වීමට සිදු වීම නිසා නගරයේ ජනගහනය සීග්‍රයෙන් ප්රසාරනය විය.
මෙහි ප්‍රතිපලයක් ලෙස, නාගරික සංවර්ධන අධිකාරියේ දත්ත අනුවමත්, 2014 වසර වන විට කොලඹ ජනගහනයෙන් සියයට 54 ක් ජීවත් වූයේ අධික ජන ඝනත්වයකින් යුතු, කිසිඳු නාගරික පහසුකමකින් හෝ සේවාවන්ගෙන් තොර “මුඩුක්කු” ජනාවාස වලය.
මෙලෙස නගරයේ ජනගහනය සීග්‍රයෙන් වර්ධනය වූ නමුත්, 1977 සිට සියලු අනුප්‍රාප්තික ආන්ඩු එය නොතකා සිදුකලේ පොදු සේවාවන් සඳහා වූ රාජ්‍ය ප්‍රතිපාදන එක දිගට කපා හැරීමයි. 1980 ගනන් වල අගදී නගර සභා තම වියදම වැඩි වැඩියෙන් බදු මුදල් මගින් සපයා ගත යුතුය යන ප්‍රතිපත්තියක් ආරම්භ කෙරිනි. 1980 මහා වැඩවර්ජනය මුල්කරගනිමින් හා ඉන් පසුව සිදුකල රාජ්‍ය අංශයේ සේවක කප්පාදුව නිසා, පලාත් පාලන ආයතන වලට තම සේවාන් පවත්වා ගැනීමට අවශ්‍ය සේවක සංඛ්‍යාවද නොමැති තැනට පත්වී ඇත.
නගරයේ පොදු පහසුකම් මේ කාලය තුල පරිහානියට පත් වී ඇති තරම පෙන්නුම් කරමින් 2015 වසරේ නොවැම්බර් මාසයේ මහා වැසි වලදී කොම්පඤ්ඤවීදිය පල්ලිය පාරේ නිවාස 100ක් පමන යල්පැනගිය පල්දෝරු පද්ධතිය උතුරා යාමෙන් අශූචි මිශ්‍ර ජලයෙන් යටවූ අතර 2016 මැයි ගංවතුරේදී, මධ්‍යම තෙල් ගබඩාවට අයත් දශක ගනනාවකින් අලුත්වැඩියා කර නැති තෙල් නල පද්ධතිය පුපුරා යාමෙන්, සේදවත්තේ නිවාස 60 ක් පමන බොරතෙල් මිශ්‍ර ජලයෙන් යට විය.
කොලඹ නගරයෙන් දුගී හා කම්කරු නිවාස ඉවත් කිරීම
1978 ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමග ජාත්‍යන්තර මුල්‍ය ප්රාග්ධනයට ශ්‍රී ලංකාව විවෘත හා සුරක්ෂිත කර දීමේ පියවරක් ලෙස කොලඹ වානිජ නගරයක් ලෙස වර්ධනය කිරීමේ වැඩපිලිවෙල ඉදිරිපත් කෙරුනි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආධාර ඇතිව 1978 දී සකස් කරන ලද “කොලඹ ප්‍රධාන සැලැස්ම” (Colombo Master Plan) මගින්, නගරයේ ඇති දුගී නිවාස හා පොදු ගොඩනැගිලි නගර මධ්‍යයෙන් ඉවත් කර, නාගරික ඉඩම් පුද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීමත් යෝජනා කෙරින.
ඉන් පසුව දශක දෙකක කාලය පුරා පැවති ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හා චන්ද්‍රිකා බන්ඩාරනායක ආන්ඩු යටතේ, යලි යලිත් මතුව ආ දැවැන්ත ජනතා විරෝධය මර්දනය කරමින් මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක විය. මේ යටතේ බොරැල්ල වනාතමුල්ල, වැල්ලවත්ත, බම්බලපිටිය, මට්ටක්කුලියේ කාක දුපත වැනි ප්‍රදේශ වලින් ඉවත් කෙරුනු දහස් ගනනක් ජනයා කොලොන්නාව, වැල්ලම්පිටිය වැනි කිසිඳු නාගරික යටිතල පහසුකමක් නැති තදාසන්න ප්‍රදේශ වලට තල්ලු කෙරින.
2009 දී මහින්ද රාජපක්ෂගේ හවුල් ආන්ඩුව එල්ටීටීඊ ය පරාජය කිරීමෙන් පසුව, පෙර නොවූ විරු සහසිකත්වයකින්, කොලඹ වානිජ කේන්ද්‍රයක් කිරීමට හා ඉඩම් පුද්ගලීකරනය කිරීමට අවතීර්න වූයේ, වර්ගවාදී යුද්ධයේදී උතුරු නැගෙනහිර ජනතාවට එරෙහිව යොදාගත් හමුදාව හා පොලිසීය නාගරික දුගීන්ට එරෙහිව යොදා ගනිමිනි.
2015 සිට වර්තමාන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, මේ ප්‍රහාරය තවත් තීව්ර කර ඉදිරියට ගෙනගියේ පෙර මෙන්ම පොලිස් මර්දනය යොදා ගනිමිනි.
2010 සිට දියත් කෙරෙන මේ ඊනියා නගර සංවර්ධන හා නගර අලංකරන ව්‍යාපෘති ( කොලඹ සංවර්ධන වැඩසටහන, මෙගපොලිස් වැඩසටහන) යටතේ දුගී නිවාස 70,000 - 135,000 අතර ප්‍රමානයක් කඩා ඉවත් කිරීමට නියමිතය. දැනට ඉවත් කල නිවැසියන්ගෙන් අතලොස්සක්, ජීවත් වීම සඳහා කිසිසේත්ම නුසුදුසු, තැන තැන ඉදිකර ඇති “මෙත්සර පුරවර”, “මුවදොර උයන” ආදී අඩු ආදායම් ලාභී තට්ටු නිවාස වල කිසිදු ස්ථිර අයිතියක් නැතිව පදිංචි කරවන ලද අතර, තවත් විශාල පිරිසක් සොච්චම් කුලී මුදලක්, හෝ බොහෝවිට කිසිවක් නොමැතිව, අවතැන් විය.
නගර අලංකරන ව්යාාපෘති වල තවත් ප්‍රධාන අංගයක් වූයේ, නගරයේ හා තදාසන්න ප්‍රදේශ වල ධනවත් හා ඉහල මධ්‍යම පාන්තික වටාපිටාවන් තුල ඉක්මනින් කැලි කසල ඉවත් කිරීම සිදු කිරීමයි. මේ යටතේ, බොහෝ ප්‍රදේශ වල තිබු කුඩා අපද්‍රවය බැහැරකරන හෝ තාවකාලික රඳවන ඉවත් වී, ඒ අපද්‍රව්‍ය රිජුවම ප්‍රධාන කසල රඳවන වූ, මීතොටමුල්ල හා කරදියාන වෙත ගෙනයාම නිසා ඒවායේ වර්ධනය වේගවත් විය.
මේ අනුව මීතොටමුල්ල ව්‍යසනය අහම්බ සිද්ධියක් නොව, මහජන විරෝධතා මැඩලමින් ධනපති ලාභ උවමනාවන් තහවුරු කිරීම සඳහා සමාජ අයිතීන් උදුරාගනිමින් ගෙන ගිය ප්රතිගාමී වැඩපිලිවෙල මගින් නිර්මානය කෙරුනු සමාජ අපරාධයකි.
Follow us on