රාජාංගනයේ ගොවීන් තමන් මුහුන දෙන සමාජ ආර්ථික ගැටලු විස්තර කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 අප්‍රේල් 5

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජාංගනය ගොවි ජන ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් 30,000 ට අධික සංඛ්‍යාවක් වී, කෙසෙල් සහ විවිධ එලවලු වගාවන්ගේ නිරතව සිටිති.

ශ්‍රී ලංකාවේ ගම්බද දුගී ගොවීන් අත් විඳින පොදු ආර්ථික හා සමාජ ප‍්‍රශ්න පිලිබඳ මනා චිත‍්‍රයක් රාජාංගනයේ ගොවීන් මුහුන දී සිටින කටුක කොන්දේසි මගින් සම්පාදනය කෙරෙයි.

ජල හිඟය, පොහොර, කෘෂි රෂායනික හා බීජ මිල ඉහලයාම, වගාවේ දී සහ අස්වනු නෙලීමේ දී වැය වන අධික පිරිවැය හා අස්වනු අලෙවියේ දී සාධාරන මිලක් නොලැබීම හා ප‍්‍රමානවත් තරම් සෞඛ්‍ය, අධ්‍යාපන හා අනෙකුත් සමාජ පහසු කම් නොමැතිකම අතුලු ප‍්‍රශ්නවලින් මෙම ගොවීහු පීඩා විඳිතිි.

එමෙන් ම, පිරිසිදු පානීය ජලය හා නිසි ප‍්‍රතිකාර නොමැතිකම හේතුවෙන්, වියලි කලාපයේ පැතිරෙන දරුනු වකුගඩු රෝගය, කෘෂි රසායනික ශරීර ගත වීමෙන් වැලඳෙන සමේ රෝග සහ හුස්ම ගැනීමේ අපහසුව ඇතුලු රෝග වලින් ඔවුහු දරුනු ලෙස පීඩා විඳිති.

බිම් සකස් කිරීමට, පැල සිටුවීමට, වල්පැල ඉවත් කිරීමට හා අස්වනු නෙලීමට අවශ්‍ය නවීන ගොවි උපකරන මෙම ගොවීන් ට නොමැත. කුඩා ප‍්‍රමානයේ ට‍්‍රැක්ටර් සහ අනෙකුත් යන්ත‍්‍ර අධික මිලක් ගෙවා ``කුලියට ගැනීමට ගොවීන්ට සිදු වී තිබේ.

එමෙන් ම තම ගැටලුවලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂනයේ යෙදෙන ගම්බද දුගී ගොවීන්ට නිරන්තර ව ම රුදුරු රාජ්‍ය මර්දනයට ද මුහුන දීමට සිදුව ඇත. ගොවීන් මුහුන දෙන ජල හිඟය සහ ඔවුන්ගේ විකල්ප යෝජනා නොතකා ආන්ඩුව ආරම්භ කර ඇති රාජාංගනය වැවෙන් ජලය ලබා ගැනීමේ ජල ව්‍යාපෘතියකට විරුද්ධව, දහස් ගනනක් ගොවීන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 28 දා තඹුත්තේගම නගරයේ පැවති උද්ඝෝෂනය ආන්ඩුව මර්දනය කලේ ඔවුන්ට එරෙහි මෘග පොලිස් ප‍්‍රහාරයක් මුදා හරිමිනි. (කියවන්න: රාජාංගනයේ ගෙවීහු තමන්ට එල්ල වූ පොලිස් මැර ප‍්‍රහාරය හෙලා දකිති)

මෙම පොලිස් ප‍්‍රහාරය ගැන තොරතුරු විමසා බැලීමට එම ප‍්‍රදේශයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට තමන් මුහුන දී සිටින දුෂ්කර ජීවන හා සමාජ කොන්දේසි ගැන ගොවීහු දීර්ඝව විස්තර කලහ.

වී ගොවිතැනින් පාඩු ලබන නිසා කෙසෙල් වගාවට මාරු වූ අවිවාහක තරුන ගොවියෙකු වන මහින්ද තම අත්දැකීම් ප‍්‍රදේශයේ තරුන ජනයා මුහුන දෙන පොදු ගැටලු බව පෙන්වා දුන්නේ ය: “මට වයස 27 යි. වී ගොවිතැනින් ලබන පාඩුව හා ජල ප‍්‍රශ්නය නිසා මම කෙසෙල් වගාව පටන් ගත්තා. කෙසෙල්වලින් ආදායමක් ගන්න පුලූවන් වෙන්නේ වගාකරලා මාස 11 කට පස්සේ. යටි වගාවක් විදිහට කැකිරි දාලා තියෙනවා. නමුත් ඒ ආදායම සෑහෙන්නේ නැති නිසා මමයි, අම්මයි වෙනත් ඉඩම්වල කූලියට වැඩ කරනවා.”

අතර මැදියන් විසින් ගොවීන්ගේ නිෂ්පාදන අඩු මිලට ගසා කෑම ගැන සඳහන් කල ඔහු, වෙලෙන්දන් විසින් ඇඹුල් කෙසෙල් කිලෝ එකක් ගන්නේ රුපියල් 10 ට 15 ට බව පැවසුවේ ය. “එහෙම ගන්නෙත් කෙසෙල් කැනේ මුලූ බර කිලෝ 15 ට වැඩි ලොකු ගෙඩි තියෙන කැන් විතරයි. අවුරුද්දේ උත්සව තියෙන සති දෙක තුනේ පමනක් රුපියල් 50 කට මිලක් ලැබෙන” බව ඔහු කීවේ ය.

රැකියා ප‍්‍රශ්නය නිසා තම වයසේ තරුනයන් විශාල සංඛ්‍යාවක් යුද්ධය කාලයේ හමුදාවට බැඳුන බව මහින්ද පැවසීය. ගමේ සෑම පවුලක එක් කෙනෙකු හෝ හමුදාවට බැඳුනු බවත් ඔහුගේ වැඩිමහලූ සහෝදරයා ගුවන් හමුදාවේ සේවය කරන බවත් මහින්ද කීවේය. ඔහුට අනුව හමුදාවට බැඳුනු ගමේ සිය දෙනෙකු පමන යුද්ධයේදී මියගොස් ඇත.

සාමාන්‍ය පෙල සමත් වීමෙන් පසුව උසස් පෙල ඉගෙන ගනිමින් සිටියදීම ආර්ථික දුෂ්කරතා නිසා මහින්ද ඩුබායි රාජ්‍යයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක වසර නවයක් රැකියාවේ නිරත වී ඇත.

තම වයසේ ගැහැනු ලමයි පිලිබඳව සඳහන් කල මහින්ද මෙසේ පැවසීය: “මේ ප‍්‍රදේශයේ ගැහැනු ලමයි බොහොම දෙනෙක් නොච්චියාගම හා තඹුත්තේගම තිබෙන ඇඟලුම් ආයතන වල වැඩට යනවා. බස් හතරක් හැමදාම උදේට එනවා ලමයි ගෙනියන්න. ආරක්ෂක අංශ වල, ඇඟලුම් කර්මාන්තශාලා වල සහ මැදපෙරදිග රටවල වැඩට යන එක තමයි දැන් තරුන තරුනියන්ට තියෙන රස්සා.”

සෙනෙවිරත්න

ගොවිතැනට අමතරව එලවලු වෙලඳාමේ යෙදෙන ඝෝඨාභය සෙනවිරත්න ප‍්‍රදේශයේ පාසැල්වල තත්වය පැහැදිලි කරමින් කියා සිටියේ ඒවායේ විද්‍යාගාර සහ පුස්තකාල පහසුකම් නොමැති බවයි. දරුවන්ගේ උපකාරක පන්තිවලට විශාල වශයෙන් වියදම් කිරීමට දෙමාපියන්ට සිදු වී ඇති බව ඔහු පැවසීය. “එහෙ ම කරලා පාස් වුනත් විශ්ව විද්‍යාලයට යන එක හරි අමාරුයි. මේ පාර ලඟම තියෙන රාජාංගනය නවෝද්‍යා පාසලෙන්, කලා, වානිජ හා විද්‍යා අංශ තුනෙන් ම විශ්ව විද්‍යාලයට යන්න පුලුවන් උනේ තුන් දෙනෙකුට විතරයි”.

අසිත

වී වගා කිරීමට යන අධික වියදම් සහ ආන්ඩුවේ සහතික මිලක් තිබුනද එම මිලට හෝ ආන්ඩුව ප‍්‍රමානවත් තරම් අස්වනු මිල දී නොගැනීම මෙන්ම පුද්ගලික වෙලඳුන් අඩු මිලට ගොවීන්ගේ අස්වනු කොල්ල කෑම හේතුවෙන් වී ගොවිතැන තවදුරටත් කර ගෙනයා නොහැකි බව තිස්තුන් වියැති එක්දරු පියෙකු වන අසිත පැවසුවේ ය.

“ගොවිතැන් කරන්න මටම කියලා ඉඩමක් නැහැ. අක්කර එකහමාරක ඉඩමක් අඳේට අරගෙන තමයි වගා කරන්නේ. එක කන්නයකට වී බුසල් 30 ක් ඉඩම අයිති කෙනාට දෙන්න ඕන.

“තම කුඹුරේ සී සෑම සඳහා ට‍්‍රැක්ටර් කුලිය රුපියල් 15,000 ක් ද පොහොර වලට රුපියල් 10,000 ක් ද වල් නාශක වලට රුපියල් 3000 ක් ද වැය වන බව ඔහු සඳහන් කලේ ය. නියර රහින්නේ, මඩ තියන්නේ, නියර බඳින්නේ ඔහු සහ ඔහුගේ පියාගේ ශ‍්‍රමයෙනි. මීට අමතරව වැපුරුම් කුලිය සඳහා අක්කරයකට රුපියල් 5000 ක් ද ගොයම් කපන යන්ත‍්‍රයට රුපියල් 16,000 ක් ද බිත්තර වී මිලට ගත්තොත් ඒ සඳහා රුපියල් 4,000 ක් ද වැය වන” බව අසිත පැවසුවේ ය.

තමාගේ කුඹුර, යායේ අග තියෙන නිසා වතුර හරවා රෑ නිදි මරාගෙන මහන්සි වෙන්න සිදු වෙන බවත් කන්නයකට යන සම්පූර්න වියදම රුපියල් 70,000 ට වැඩි බවත් ඔහු සඳහන් කලේ ය.

“නැති බැරි කමට කරනවා මිසක් ගොවිතැනින් ඇති වැඩක් නැහැ. ගෙදර කෑමට හාල් හොයා ගන්න විතරයි අපි මේ මැරෙන්නේ. කුඹුරෙන්ම කඩා ගන්න පලා ටිකක්. කැකිරි ගෙඩියක්, කෙසෙල් මුවක් උයා ගෙන තමයි බත් කන්නේ.

“අඳේට දෙන බුසල් 30 ඇරලා, මට ඉතුරු වෙන්නේ වී බුසල් 100 ක් විතර. ඒවා දෙන්නේ රුපියල් 30 ගානේ පුද්ගලික වෙලෙන්දන් ට. මම වැපුරුවේ ලොකු වී. ආන්ඩුවේ ගබඩාවට වී දෙන්න තලාවට යන්න රුපියල් පන්දාහක් විතර වියදම් වෙනවා. ඊට වැඩිය ලාභයි රුපියල් 30 ට මෙහෙදීම විකුනනවා. මේ කන්නේ අස්වැන්න වී කිලෝ 2100 ක් විතර. ආදායම රුපියල් 70,000 ක් විතර. නය ගෙවපුවම ගෙදර කෑමටවත් වී ඉතිරි වෙන්නේ නැහැ”.

කෘෂි කර්මාන්තයෙන් ලාභ ලබන්නේ වී මෝල් හිමියන් සහ කෘෂි රසායනික සහ පොහොර සමාගම් බව ඔහු පැවසුවේ ය.

1989/90 කාලපරිච්ඡේදයේ දී අසිතගේ පියාගේ සහෝදරයන් තුන් දෙනෙකු ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ වී සිටීම හේතුවෙන් රාජ්‍ය හමුදා විසින් ඝාතනයට ලක් වී ඇත. අවස්ථාවාදී දේශපාලනය නිසා ඔහු ජවිපෙ ගැන කලකිරී සිටී.

“ජවිපෙ කියපු නිසා අපි මේ ආන්ඩුව බලයට ගේන්න වැඩ කලා. නමුත් දැන් එපා වෙලා තියෙන්නේ. පොහොර මිටිය රුපියල් 2500 යි. ආන්ඩුව අක්කරයක ඉඩමකට එක කන්නයකට සහනාධාර දෙන්නේ රුපියල් 5000 යි. අක්කරයකට පොහොර මිටි (කිලෝ 59) පහක්වත් ගහන්න ඕනා.

“රාජපක්ෂ කාලේ කිව්වා යුද්දේ නිසා ප‍්‍රශ්න විසඳන්න බැහැ කියලා. නමුත් යුද්ධෙ ඉවර වෙලා මොකද කෙරුවේ. ලංකාවේ හැමදාමත් යුද වියදම්නේ අංක එක. සෞඛ්‍යය හා අධ්‍යාපනය දෙවැනි තැනට දමනවා. ප‍්‍රශ්න විසඳන බවට පොරොන්දු වෙලා බලයට ආපු මේ ආන්ඩුව ඊටත් හපන්.

“ඇත්තටම ධනපති ආන්ඩු වෙනස් කලාට පලක් නැහැ. ධනපති ක‍්‍රමය ම පෙරලා දැමිය යුතු” යැයි ඔහු පැවසුවේ ය.

තරදි මදුසරා

ගොවිතැන් කටයුතු මුලුමනින් ම පාහේ ඇන හිටි ස්වභාවයක් පෙන්නුම් කෙරෙන වම් ඉවුරේ යාය 18 ප‍්‍රදේශයේ පදිංචි තරදි මදුසරා මෙසේ ප‍්‍රකාශ කලා ය: “ගොවිතැන් කරනවා තියා අපිට නාන්නවත් වතුර නැහැ. මම දැන් නොච්චියාගම ඇඟලූම් කර්මාන්ත ශාලාවක වැඩ කරනවා. අතිකාල සමග මාසෙකට ලැබෙන්නේ රුපියල් 20,000 ක් විතර. මමයි, අම්මයි. මගේ ලමයිනුයි යැපෙන්නේ ඒ පඩියෙන්. ආන්ඩු ගැන නම් කියන්න දෙයක් නැහැ. අපිට කිසිම සහනයක් නැහැ” යැයි ඇය පැවසුවාය.

Share this article: