සමාජවාදී සමානතා පක්ෂය (එජ) පැවැත්වූ පස්වන ජාතික සමුලුවේ ආරම්භක වාර්තාව

Opening report to the Fifth National Congress of the Socialist Equality Party (US)

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2018 අගෝස්තු 4

2018 ජූලි 22-27 දක්වා පැවති සසප පස්වන ජාතික සමුලුවට මෙම වාර්තාව ඉදිරිපත් කලේ, සමාජවාදී සමානතා පක්ෂයේ (එජ) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසිනි.

සමාජවාදී සමානතා පක්ෂයේ පස්වන ජාතික සමුලුව පැවැත්වෙන්නේ, දේශපාලන, ආර්ථික හා සමාජ ක්‍රියාවලීන්ගේ පුපුරන සුලු අන්තර් ක්‍රියාකාරිත්වය මධ්‍යයේය.

දෙවන ලෝක යුද්ධය අවසානයේ පටන් ලෝක භූදේශපාලනයේ පදනම ලෙස පැවති, අධිරාජ්‍යවාදී බලවතුන් අතර ජාත්‍යන්තර සන්ධානයන් බිඳ වැටෙමින් තිබේ. දිගු කාලීන මිතුරන් සතුරන් බවට පත්ව, ඔවුන්ගේ මිලිටරි බලවේග ගොඩනඟමින් සිටී. ගෝලීය ආර්ථිකයේ අන්තර් රඳා පැවැත්මේ ස්වභාවය සහ ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධය නොවැරදීම ඇදී යන්නේ ලෝක යුද්ධය දෙසටය. මෙම අර්බුදයේ ප්‍රධාන දායකයා ඇමරිකානු අධිරාජ්‍යවාදයයි. එරට තමන් සතු සුපිරි මිලිටරි බලය නිර්දය ලෙස යොදාගන්නේ, තමන්ගේ දිගු කාලීන ආර්ථික පරිහානිය වලක්වා ගැනීමටය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශයන්ට සතුරු පලමුව ඇමරිකාව යන හඬතැලීම, ඇමරිකානු පාලක පන්තිය එක්සත් ජනපදයේ ගෝලීය අධිකාරය පවත්වාගැනීමට දක්වන අධිෂ්ඨානයේ ගොරහැඩිම ප්‍රකාශනයයි. ඇමරිකානු කතිපයාධිකාරය සැදුම්ලත් විවිධ කොටස් අතර සැබවින්ම රුදුරු ගැටුම් පැවතියේවී නමුත්, ට්‍රම්ප් හා ඔහුගේ ඩිමොක්‍රටික් විරුද්ධවාදීන් ද ඔත්තු සේවා ආයතනවල ඔවුන්ගේ මිතුරන්ගේ ද මූලෝපායික අරමුනුවල මූලික වෙනස්කම් පවතින්නේ යයි විශ්වාස කිරීම බරපතල දේශපාලන වැරැද්දක් වනු ඇත. නිසැකවම, කාකොටා ගන්නා මෙම කල්ලි තුල කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන ප්‍රවනතාවයක් නොමැත. ට්‍රම්ප් හා ඔහුගේ ඩිමොක්‍රටික් විරුද්ධවාදීන්ගෙන් ”නරකම එකා” කවුරුන්දැයි තීරනය කරන්නට යාම වනාහි, ඔබ හපාකනු ලැබීමට වඩාත් කැමති නයෙක් ද නැතිනම් වෙලාගත් පිඹුරෙකු විසින් දැයි අසනවාක් වැනිය.

එක වෙලාවකට යමෙකු ට්‍රම්ප්ට වඩා නරක කෙනෙක් නැතැයි සිතනවා විය හැකිය. එහෙත් යමෙකු ඩිමොක්‍රටික් සෙනේට් සභික මාර්ක් වෝනර් රුසියාවට එරෙහිව තර්ජන එල්ල කිරීම හා ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභිකයින් “ඇමරිකා එක්සත් ජනපදය, ඇමරිකා එක්සත් ජනපදය” යනුවෙන් හඬ තැලීම සන්සන්දනය කලොත්, ට්‍රම්ප් බොහෝකොටම සීලාචාර අයෙකු සේ පෙනී යනු ඇත. එබැවින් එකම යෝග්‍ය පිලිතුර, ෂේක්ස්පියර් විසින් යෝජිත “ඔබගේ දෙපාර්ශවයේම වසංගතයකි!” යන්නයි.

උපායන් පිලිබඳ මතභේද කෙතරම් කටුක වුව ද ඇමරිකානු මූල්‍ය-ව්‍යාපාරික කතිපයාධිකාරයේ සෑම පාර්ශවයක්ම මූලෝපායික අරමුන පිලිබඳව එකඟ වෙති. එනම්, ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යය සුරැකීමය. නැටෝව සමඟ ද ඊට එරෙහිව ද, රුසියාවට එරෙහිව ජර්මනිය සමඟ සන්ධානගත යුද්ධයක් තුලින් ද නැතිනම් ජර්මනියට එදිරිව රුසියාව සමඟ සන්ධානගතව ද නැතිනම් චීනයට එරෙහිව ආර්ථික පීඩනය හෝ මිලිටරි බලය යොදාගැනීමෙන් ද යන කවරකදී හෝ ඇමරිකාව, තම ආසක්තයන්ට තර්ජනයක් ලෙස දැකගන්නා කවර රටකට විරුද්ධව, අවශ්‍යවන්නේ යයි සලකන කවර හෝ මාධ්‍යයක් යොදාගන්නවා ඇත. පුදුමාකාර පූර්වඥානයකින් ට්‍රොට්ස්කි 1928 දී මෙසේ ලිවීය: “අර්බුද කාලයකදී එක්සත් ජනපද ආධිපත්‍යය, උත්පාත අවධියකදීට වඩා, වඩාත් පරිපූර්න ලෙස, වඩා විවෘතව හා වඩාත් නිර්දය ලෙස ක්‍රියාකරනු ඇත.” (1)

සියලු ප්‍රමුඛ බලවත්තු වියරු සහගත ලෙස සිය මිලිටරි ශක්තිය ගොඩනඟමින් සිටිති. මිලිටරිකරනයේ වර්ධනය හා යුද්ධය සඳහා සූදානමේ උග්‍ර අදියර, කම්කරු පන්තියේ ආර්ථික බර දැඩි කරන අතර සම්ප්‍රධායික ව්‍යවස්ථාමය ආරක්ෂාවන්ගේ පෙර නොවූ විරූ සීමා කිරීම් ඉල්ලා සිටී. ධනපති-ප්‍රජාතන්ත්‍ර පාලන ආකෘතීන්ගේ අර්බුදය ලොව පුරාම දැකගත හැකිය. 2013 ඊජිප්තු ප්‍රති විප්ලවය, වාමාංශික මහජන නැඟිටීමකට පාලක පැලැන්තිය කවරාකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්න පිලිබඳ ම්ලේච්ඡ නිදසුනක් සම්පාදනය කරයි. එක් අවස්ථාවකදී කල් ගැනීම පිනිස සහන පිරිනැමීමට බල කරනු ලැබුව ද, පාලක පන්තීන් පලමු අවස්ථාවේම නිර්දය ලෙස පෙරලා පහර දෙනු ඇත. එහෙත් ඕනෑම අවස්ථාවකදී ඔවුන්ට, මූලිකත්වය ගැනීම සඳහා කම්කරු පන්තියට ඉඩ දීමේ අභිමතයක් ඇත්තේ නැත. ලෝකයේ සෑම තැනකම දක්ෂිනාංශික දේශපාලන බලවේග ශක්තිය ගොනුකර ගනිමින් සිටිති. එය වනාහි ප්‍රධාන ප්‍රවාහයේ සම්ප්‍රධායික ධනපති පක්ෂ විසින් සාදරයෙන් පිලිගනු ලබන ප්‍රවනතාවකි.

ජර්මනියේ නව නාසින්ගේ ඕල්ටර්නේටිව් ෆර් ඩොයිෂලෑන්ඩ් සංවිධානය සැලකිය යුතු දේශපාලන බලවේගයක් ලෙස ඉස්මතුවී ඇත. 1949 දී, දෙවන ලෝක යුද්ධයේ මංමුලාසහගත ඉක්බිත්තේ රයිෂ්ටෑග් බුන්ඩස්ටෑල් බවට පත් විය. පැරනි ගොඩනැඟිල්ල නවීන කොතක් සහිතව මෑතක දී පිලිසකර කර තිබේ. එහෙත් ගොඩනැඟිල්ලේ සිටින මන්ත්‍රීවරු කථාකරන්නේ, හිට්ලර් හා ගෝරිංට වුනත් තේරුම්ගත හැකි හා අනුමත කල හැකි සමාන දේශපාලන භාෂාවකිනි. එමෙන්ම, නාසිවාදයට ගොදුරුවූවන්ට ඛේදනීය අවමානයක් සිදු කරමින්, ලොවපුරා සිටින ෆැසිස්ට්වාදී හා යුදෙව් විරෝධී දේශපාලඥයින් හා පාලන තන්ත්‍ර සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යන ඊස්රායලයේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව, සුවිශේෂවම යුදෙව් ජනතාවට ඉහල හා විශේෂ නීතිමය තත්වයක් සලසාලීමට සමානකමක් ඇති ව්‍යවස්ථාමය සංශෝධන ඇතිකර තිබේ.

මේ ගෝලීය ප්‍රවනතාවක් පිලිබඳ නිදසුන් දෙකක් පමනි. ධනපති රාජ්‍යයෝ, ආඥාදායක ස්වභාවයක් අත්කර ගනිමින්, ඔත්තු ආයතනවල මර්දනකාරී බලතල ශක්තිමත් කරමින්, පොලිස් බලඇනි වඩ වඩාත් මිලටරීකරනයයේ යෙදී සිටිති. අන්තර්ජලයෙන් තොරතුරු ලබා ගැනීම වාරනය කෙරේ. විශේෂයෙන්ම ලෝසවෙඅ මුල් කරගත් සමාජවාදී හා යුද විරෝධී වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කිරීම දැඩිකර ඇත. මර්දනයෙන් ගැලවීමට පලායන නිමක් නැති සරනාගතයින්ට රැකවරනය සැලසූ, 19 සියවසේ ධනපති ප්‍රජාතන්ත්‍රයේ සමෘද්ධිය පෙන්නුම් කල ලන්ඩනය තුල, දේශපාලන සිරකරුවෙක් ලෙස සිටින ජූලියන් අසාන්ජ්, ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් ඉවත් කල හොත් ක්ෂනිකව අත්අඬංඟුවට ගැනීමේ තර්ජනයට මුහුනපා සිටී. අධිරාජ්‍යවාදී යුද්ධයන්ගේ ප්‍රචන්ඩත්වය නිසා ද ආන්තික ආර්ථික සූරාකෑමේ ප්‍රතිවිපාක වශයෙන් ද නිවාස අහිමිව, අවම මානව අයිතීන් පවා නොමැතිව ලොව පුරා සිටින ජනතාව මිලියන ගනනකි. ඇමරිකාව තුල ලමුන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් උදුරාගෙන රැඳවුම් කඳවුරු තුලට ගාල් කෙරේ.

යුද්ධය හා ආඥාදායකත්වය කරා තල්ලුව, 2008 වෝල් වීදියේ කඩාවැටීමෙන් උග්‍ර අතට හැරවීය. වත්මන් ගොලීය අර්බුදය වනාහි, කඩාවැටීමට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තීන් විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තීන්ගේ ප්‍රතිපලයයි. කොටස් හුවමාරුවන්හි ප්‍රකෘතිය තිබියේවී නමුත්, දශකයකට පෙර බිඳවැටීමට තුඩුදුන් යටින් පැවති ප්‍රතිවිරෝධතා කිසිවක් විසඳී ඇත්තේ නැත. වඩ වඩාත් පැහැදිලි වන පරිදි, අර්බුදය පාලනය කර ගැනීමටත් ඒ තුලින් තෙමේම පොහොසත් වීමටත් මූල්‍ය කතිපයාධිකාරය විසින් යොදාගනු ලැබූ ක්‍රමෝපායන්, එහි අවසාන දිනය ප්‍රමාද කරනවා පමනි.

1929 වෝල් වීදියේ බිඳ වැටීම, ජාත්‍යන්තර කම්කරු පන්තියේ රැඩිකලීකරනයකට තුඩු දෙමින් ලෝක පරිමාන අර්බුදයක් මුදාහලේය. එහෙත් සෝවියට් පාලන තන්ත්‍රයේ දේශපාලන පරිහානියත්, සමාජ ප්‍රජාතන්ත්‍ර හා ස්ටැලින්වාදී පක්ෂ විසින්, සියල්ලටත් වඩා ජර්මනිය, ප්‍රන්සය හා ස්පාඤ්ඤය ඇතුලු යුරෝපය තුල කම්කරු පන්තිය පාවාදෙනු ලැබීමත්, ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනය සහතික කල අතර වසර 10 ක් තුල දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට තුඩු දුන්නේය.

ඇමරිකාවත් දැවැන්ත සමාජ අරගල අත්දුටුවේය. ව්‍යාජ වම අමතක කිරීමට මනාප වන, සීඅයිඕ නමැති කාර්මික සංවිධානයන්ගේ සම්මේලනය, ඒඑෆ්එල් නමැති ඇමරිකානු කම්කරු සම්මේලනයට එරෙහිව කැරැල්ලක් ලෙස 1935 දී මතුවිය. එය කම්කරුවන් මිලියන ගනනකගේ ව්‍යාපාරයක නාභීය ලක්ෂය බවට පත්විය. සිය යුරෝපීය සහචරයින්ට වඩා බෙහෙවින් පොහොසත් ඇමරිකානු පාලක පන්තිය, තමන්ගේම සාමාජිකත්වයේ කටුක විරුද්ධත්වය තිබියදී වුවත්, රූස්වෙල්ටගේ නිව් ඩීල් ප්‍රතිසංස්කරන වැඩසටහන සමඟින්, ඇමරිකානු කම්කරු පන්තියේ අභියෝගයට මුහුන දිය යුතු යයි තීන්දු කලහ. ඒ ෆැසිස්ට්වාදයේ ඇමරිකානු මොස්තරයේ විවිධ අංඟ නියෝජනය කල, හියු ලෝංග්, හෙන්රි ෆොර්ඞ්, බොස් ෆ්‍රෑන්ක් හේග්, ෆාදර් කෆ්ලිංග් හා චාර්ල්ස් ලින්ඞ්බර්ග් වැන්නවුන්ට පටහැනිවය. එහෙත් ප්‍රතිසංස්කරනවාදී නිව් ඩීල් විකල්පය ක්‍රියාවට නැංවීමට හිලව් වශයෙන් ෆ්‍රෑන්ක්ලීන් ඩිලානෝ රූස්වෙල්ට්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “යුද ව්‍යායාමය” වෙනුවෙන්, අලුතෙන් සංවිධානයවූ කාර්මික වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහාය ඉල්ලා සිටි අතර එය ලැබුනි.

1929 ඉක්බිත්තේ මෙන් නොව 2008 කඩා වැටීමෙන් පසුව ඇමරිකාවේ පාලක පන්තිය, ප්‍රතිසංස්කරන විකල්පයක් ඉදිරිපත් කලේ නැත. ඔබාමා ආන්ඩුව, “දැවැන්ත ධනයක් ගොඩගසාගත් අපරාධකාරයින්” වෙත සිය තර්ජනාත්මක මුෂ්ඨිය සෙලවූයේවත්, රූස්වෙල්ට් කලාක් මෙන්, “මුදල් ජාවාරම්කාරයින් දෙවොලෙන් පලවා හැරියේවත්” නැත. ඒ වෙනුවට ඔබාමා කලේ, මුදල් ජාවාරම්කරුවන්ගේ නියෝජිතයින් තම ආන්ඩුව වෙත කැඳවා ගැනීමත් දැවැන්ත පොහොසත් අපරාධකරුවන් වෙන කවර කලෙකටත් වඩා ධනවත් කිරීමත්ය. ආන්ඩුව බැංකු ගලවා ගැනීමට ඇප දෙමින් දශක ගනනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබූ ක්‍රියාවලියක් නිමා කලේය. එනම් රාජ්‍යයේ පූර්න සහයෝගය ඇතිව කොටස් හුවමාරුව, ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරය වෙත පෙර නොවූ විරූ පරිමාවකින් හා දැවැන්ත ලෙස ධනය මාරු කිරීමේ මාධ්‍ය ලෙස ක්‍රියා කිරීමේ දේශපාලන-ආර්ථික ක්‍රමයක් ආයතනගත කිරීමය. ආන්තික පරපුටුකමේ මෙම ක්‍රමය, අවසාන විග්‍රහයේදී පිලිබිඹු කෙලේ, ඇමරිකානු ධනවාදයේ නිෂ්පාදන ශක්තිය හා ලෝක තත්වයයේ ගෝලීය පරිහානියයි.

ඔබාමා ජනාධිපතිවී යන්තම් මාස හයකට පසුව එනම් 2009 මාර්තු මාසයේ දී සමාජවාදී සමානතා පක්ෂය අනතුරු ඇඟවූ පරිදි:

ඔබාමා පාලනයේ ප්‍රතිපත්ති මුලුමනින්ම තීරනය කරන්නේ, ව්‍යාපාරික හා මූල්‍ය වංශාධිපතිත්වයේ ආසක්තයන් මඟිනි. මේ අර්ථයෙන් ඔබාමා රූස්වෙල්ට් සමඟ සැසඳීමේ යෙදී සිටින්නෝ, එක්කෝ ස්වයං මිත්‍යාවේ නැතිනම් පොදු වංචාවේ ගැලී සිටිති. ආර්ථික අර්බුදයේ බරපතලකම තිබියදීම, ඇමරිකාව සතුව 1930 ගනන්වල තිබුනු දැවැන්ත ආර්ථික සම්පත්, සමාජ ප්‍රතිසංස්කරන සමඟ අත්හදා බැලීමට රූස්වෙල්ට්ට අවකාශ සලසා දුන්නේය. එම විකල්පය අද දවසේ තවදුරටත් පවතින්නේ නැත. සමකාලීන ධනවාදයට එවන් සම්පත් හිඟය.” (2)

ඔබාමා ආන්ඩුව ඇප දුන්නේ ධනවතුන්ටය. එහෙත් එම ක්‍රියාවලිය තුලදී මිලියන ගනන් වැඩකරන ජනතාවගේ ඇස් පනාපිට දේශපාලන ක්‍රියාවලිය අපකීර්තියට පත් විය. “ඔබට විශ්වාස කල හැකි වෙනස” පිලිබඳ ඔබාමාගේ පොරොන්දුව, නරුම ප්‍රෝඩාවක් බව සනාථ කෙරී තිබේ. එය ට්‍රම්ප් මතුවී ඒම සඳහා මාවත සකස් කලේය. ප්‍රන්සයේ ලේ පෙන්, ජර්මනියේ ගෝලන්ඞ් හා ඉතාලියේ සැල්විනි මෙන්ම ඔහු ද, පිරිහෙන ජීවන තත්වයන් කෙරෙහි වන පුලුල්ව පැතිරුනු කෝපය ගසාකෑමට, දක්ෂිනාංශික ජනතාවාදී වාචාලකම යොදාගත්තේය.

දැන් ඇමරිකාව 1865 සිවිල් යුද්ධයේ අවසානයෙන් පසුව මුහුනදෙන බරපතලම දේශපාලන අර්බුදයේ වෙලී පවතී. වත්මන් තත්වය සැසඳිය හැකි කිසිදු අතීත ඓතිහාසික අත්දැකීමක් ගැන සිතාගැනීම පවා දුෂ්කරය. 1861 දී මතුව ආ “නොමැඬලියහැකි ගැටුම” හටගත්තේ, අවසාන විග්‍රහයේදී ඇමරිකාවේ බලගතු ධනේශ්වර සංවර්ධනයෙන්ය. ඇමරිකානු ධනේශ්වරයේ ගතික, ප්‍රගතිශීලී හා විප්ලවවාදී පවා වූ කොටස, වහල් හිමියන්ගේ ප්‍රතිගාමී කැරැල්ලකට මුහුන දුන්නේය. වසර 160ට පසුව වත්මන් අර්බුදය, ඇමරිකානු ධනවාදයේ ගෝලීය තත්වය පරිහානිගතවීමේ වැඩිදියුනු අවස්ථාවක නිමැවුමකි. එය ඇමරිකානු පාලක පන්තියේ සියලු කොටස්වල පරිහානියට දෙස්දෙයි. මා යලිත් කියන්නේ: පාලක ධනපති-අධිරාජ්‍යවාදී කතිපයාධිකාරයේ තරඟකාරී කිසිදු කොටසක් තුල කිසිදු ප්‍රගතිශීලී ප්‍රවනතාවක් ඇත්තේ නැති බවයි.

මේ ගැටුම උත්සන්න වෙද්දී, පාලක පන්තිය ඇමරිකාව තුල දේශපාලන බලය ක්‍රියාත්මක කල සියලු සංස්ථාවන්ගේ හා ලොව පුරා තම අනුහස පතුරුවාගත් මෙවලම්වල දේශපාලන නීතියුක්ත භාවය ප්‍රශ්නයට බඳුන්ව ඇත. රාජ්‍යයේ ඉහලම මට්ටම්වල එකිනෙකාට සතුරු කොටස් අතර ගැටුම, විවෘතවම ප්‍රචන්ඩ ස්වභාවයකට පත්වීමේ අද්දරට පැමින ඇත.

ඇමරිකාවේ හා අන් සියලු ප්‍රමුඛ ධනපති රටවල ජනගහනයේ පොහොසත්ම සියයට පහ අතේ පෙර නොවූවිරූ තරම් ධනයක් ඒකරාශී වීම සලකුනු කරන්නේ, වැඩෙන සමාජ කෝපයයි. මෑතකදී හටගත් වැඩවර්ජන, විශේෂයෙන්ම ඇමරිකාව තුල, පන්ති අරගලයේ පුනර්ජීවනයේ ආරම්භක ඇඟවුම්ය. ආන්තික සමාජ ධ්‍රැවාන්තගතවීමේ කොන්දේසි යටතේ කම්කරු පන්තිය රැඩිකලීකරනය වෙමින්, ධනවාදයට සමාජවාදී විකල්පයක් පිලිබඳ උනන්දුවක් දැක්වීමට පටන්ගෙන ඇත. එහි දේශපාලන අවබෝධය හා අරමුනු තවමත් සීමිත වුව ද මෙම වර්ධනයේ ගතිකය, වඩාත් පැහැදිලි ධනේශ්වර විරෝධී හා විප්ලවකාරී සමාජවාදී දිශානතියක් අත්කරගනු ඇත.

වරෙක ප්‍රගතිශීලී න්‍යායපත්‍රයක් ඉදිරිපත් කරන්නේ යයි පැවසූ සංවිධාන, මේ අර්බුදයට ප්‍රතිචාර වශයෙන් වමට නොව දකුනට තල්ලු වෙමින් සිටිති. වාර්ෂිකව ඩොලර් ලක්ෂ ගනනින් පඩි ලබන විධායකයින් විසින් මෙහෙයවනු ලබන වෘත්තීය සමිති විසින් කරනු ලබන්නේ, කම්කරුවන්ගේ නැගෙන සටන්කාමීත්වය යටපත් කර, දිරිසුන් කිරීමයි. වෘත්තීය සමිති වඩාත් හොඳින් විස්තර කල හැක්කේ සංගත ශ්‍රමබලකා කලමනාකරන මන්ඩල ලෙසය. ව්‍යාජ වාම සංවිධාන, විශේෂයෙන්ම සිය දේශපාලන පැටිකිරිය ෂැට්මන්වාදය හා පැබ්ලොවාදය කරා දිවෙන, ක්‍රියාකරන්නේ, වඩ වඩාත් විවෘතව ධනේශ්වර පක්ෂවල ඒජන්තයන් ලෙස හා අධිරාජ්‍යවාදයේ ආධාරකරුවන් ලෙසය. ග්‍රීසියේ සිරිසා ද ස්පාඤ්ඤයේ පොදිමොස් ද බි්‍රනානයේ කෝබින් නායකත්වය දරන ලේබර් පක්ෂය ද උත්සාහ කරන්නේ ජනතාව අතර වැඩෙන සමාජ විරුද්ධත්වය නොමග යවමින් පාගාදැමීමට ය. ඔවුන් දේශපාලන ආනුභාවය අත්පත්කර ගැනීම නොවැලැක්විය හැකි ලෙස තුඩු දෙන්නේ රාජ්‍යයට ඔවුන් ඒකාග්‍රවීමට හා කම්කරු පන්තිය පාවා දීමට ය.

ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා සංවිධානය (ඩීඑස්ඒ) වේගයෙන් වැඩී යාම වනාහි මූලික වශයෙන් ම දේශපාලන අත්දැකීමකින් තොර තරුනයින් ඩිමොක්‍රටික් පක්ෂයට විකල්පයක් සෙවීමෙහි ප්‍රතිඵලයකි. එහෙත් එම සංවිධානය කවර කලෙකවත් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ස්වාධීනව තිබී නැත. නිව් යෝක් ටයිම්ස් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ කොටස් එයට දිරි දී ඇත්තේ, ධනේශ්වර දේශපාලනයේ අක්ෂයට පිටින් වාමාංශික ව්‍යාපාරයක් පැන නැගීම පෙරලොප් කිරීමට ය. දැනට ඩිමොක්‍රටික් සෝෂලිස්ට් සංවිධානය බැලුමක් සේ පිම්බෙමින් ඇත. උනුසුම් වායුව හැර අන් කිසිවකින් තොර මේ පිම්බීම අනිවර්යයෙන්ම දේශපාලන සහ සංවිධානාත්මක අර්බුදයකට මඟ පාදනු ඇත. එම සංවිධානය කරා ඇදී එන වඩාත් සිතන මතන තරුනයින්, එම සංවිධානය ඩිමොක්‍රටික් පක්ෂයේ වලිගයක් හා ධනවාදයට එරෙහි අරගලකට සතුරු ය යන්න වටහාගනු ඇත.

සාරසංග්‍රහවාදී දේශපාලන ඇටවිලි ද වැරහැලි අවස්ථාවාදී උපාමරු ද වනාහි, විද්‍යාත්මකව පදනම් කරගත් ඓතිහාසිකව දැනුවත් මාක්ස්වාදී ක්‍රියාමාර්ගයකට දිලිඳු විකල්පයකි. කරුනාවන්ත සහ ඉවසිලිවන්ත ධනපති ක්‍රමයක් සඳහා වන මානවවාදී ආයාචනා, ඒකාධිපතිත්වය සහ යුද්ධය දෙසට සිදුවන අනිවාර්ය ධාවනය නවතනු නැත. අපේක්ෂා කලහැකි පරිද්දෙන්ම මාධ්‍ය, ඩිමොක්‍රටික් සමාජවාදී සංවිධානය වර්නනා කරයි. එහෙත් ධනේශ්වර පදනමක, ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතිය ද සහිතව අර්බුදයට විසඳුමක් සොයා ගැනීමට එයට පවත්නා අපේක්ෂාව, දේශපාලනික වශයෙන්ද බුද්ධිමය වශයෙන් ද බංකොලොත් ය. ජැකොබින් සඟරාව පලකරන්නන් වැනි එම සංවිධානයේ න්‍යායවාදීහු, ගතවූ සියවසේ විප්ලවීය අත්දකීම් සහ පාඩම් කෙරේ සිය නොතැකීම ගැන උඩඟු වෙති. එහෙත් මේ න්‍යාය ගුරුන්ගේ අඥානයේ හා අමන තෘප්තියේ මිශ්‍රනය විසින් සිදු කෙරෙන්නේ ලෝකය පිලිබඳ කිසිදු තත්‍ය වැටහීමක් ලබාගත නොහැකි තත්වයකට ඔවුන් ඇද දැමීමයි.

කම්කරු පන්තිය ඉදිරියේ පවත්නා විකල්පයන් නම් ‘ප්‍රතිසංස්කරනය හෝ විප්ලවය’ ද යන්න නොවේ. එය වනාහි ‘විප්ලවය හෝ ප්‍රතිවිප්ලවය’ ද යන්නයි. දෙවන ලෝක යුද්ධයේ මුවවිටදී ලියන ලද හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලියවිල්ල වන සංක්‍රමන ක්‍රියාමාර්ගය තුල ට්‍රොට්ස්කි විසින් කරන ලද අනතුරු හැඟවීම වත්මන් ලෝකයේ දී එකලට ද වඩා බලයකින් ප්‍රතිරාවය වෙයි: “සමාජවාදී විප්ලවයකින් තොරව, මීලඟ ඓතිහාසික කාලපරිච්චේදය තුල මහා ව්‍යසනයක් මානව වර්ගයාගේ සකල සංස්කෘතියටම තර්ජනය කර සිටී.” 3

2008 වර්ෂයේ සමාජවාදී සමානතා පක්ෂය පිහිටවූ තැන පටන් සම්පූර්න දශකයක්ම ගතවී ඇත. ඇත්ත වශයෙන්ම වර්කර්ස් ලීගය සමාජවාදී සමානතා පක්ෂය බවට පරිවර්තනය කිරීම තීන්දු කොට ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1995 ජුනියේ දී ය. එම තීන්දුව ගනු ලැබුවේ, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමට ද කම්කරු පන්තියේ පැරනි සාම්ප්‍රදායික සංවිධානවල (පක්ෂ සහ වෘත්තීය සමිතිවල) දේශපාලන බිඳවැටීම ට ද ප්‍රතිචාර වශයෙනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ප්‍රයත්නයන් කම්කරු පන්තිය සංවිධානය කොට උගන්වාලීම ඉටුකරන පක්ෂයන් නිර්මානය කිරීම දෙසට මෙහෙයවිය යුතුව තිබුනේ ය. එමගින් සමාජවාදය සඳහා දැනුවත් අරගලය අලුත් කිරීමට අත්තිවාරම දැමිය යුතුව තිබුනි.

1991 නොවැම්බරයේ දී, සෝවියට් සංගමය විසුරුවා හැරීමට යන්තම් සති කිහිපයකට පෙර ජාත්‍යන්තර කමිටුව බර්ලිනයේදී පැවැත්වූ සම්මේලනයේ දී, ස්ටැලින්වාදය ද, එහි ක්ෂමාලාපකයින් ද අශමනීය ලෙස අපකීර්තිමත් වීම තුල, ඉස්මතුවන සාරභූත ඓතිහාසික ගම්‍යයන් ග්‍රහනය කර ගත්තේ ය.

මෙම බර්ලින් සම්මේලනය සලකනු කරන්නේ, හතරවන ජාත්‍යන්තරයේ වර්ධනයේ නව අවධියකි. අද දින ජාත්‍යන්තර කමිටුව වනාහි, මුලු ලෝකයේම ඇති එකම සැබෑ ලෝක ට්‍රොට්ස්කිවාදී සංවිධානයයි. ජාත්‍යන්තර කමිටුව වනාහි හුදෙක් හතරවන ජාත්‍යන්තරය තුල එක නිශ්චිත ප්‍රවනතාවයක් නොවේ. එය වනාහි ඒ හැටියට ගත් කල්හි හතරවන ජාත්‍යන්තරයම වෙයි. මෙම සම්මේලනයෙන් ආරම්භ කරමින්, ජාත්‍යන්තර කමිටුව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ වැඩකටයුතුවල නායක වගකීම්වලට උර දෙනු ඇත. 4

ඓතිහාසික සන්තතිය කොතරම් දිග්ගැස්සුනේ වී නමුදු, ජාත්‍යන්තර කමිටුව සිය දේශපාලන කටයුතු වල අවශ්‍ය වෙනස්කම් සිදුකරගත යුතු විය. ලීගයන් පක්ෂ බවට පරිවර්තනය කිරීම සිදු කරන ලද්දේ මෙම වෛෂයික අවශ්‍යතාව හේතු කොට ගෙන ය. ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ‘ලීගයන්’ ලෙස පැවැත්ම සඳහා දීර්ඝ ඓතිහාසික මූලයන් පැවතිනි. මූලික උපායික ආරම්භකත්වයන් පැවතුනේ, මහජන පක්ෂ හෝ වෘත්තීය සමිති, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ස්ටැලින්වාදීන් හෝ එක්සත් ජනපදයේ මෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ආධාරකරුවන් අත පැවතියේ ද යන්න නොතකා ඒවාට ‘ඉල්ලීම්’ ඉදිරිපත් කිරීමේ ආකාරයෙනි. මෙම උපාය, ප්‍රතිගාමී නායකත්වයන් සමග කිසියම් ආකාරයක සමහන් වීමක් තබා මොනම අන්දමක හෝ අනුගත වීමක් මත වුවත් පදනම් නොවීය. ඒ වෙනුවට එය තීන්දු කරන ලද්දේ කම්කරු පන්තියේ ක්‍රියාත්මක අරගලය තුල මෙම සංවිධානයන්ට පැවති අධිකාරවත් භූමිකාව මගිනි. කම්කරු පන්තියේ පන්ති විඥානයෙන් යුත් සහ සටන්කාමී කොටස් අතර ඒවාට තිබුනු සැලකිය යුතු අනුහස සැලකිල්ලට ගැනීමෙනි. පලල් කම්කරුවන් තුල තමන්ගේ සංවිධාන සහ ඒවායේ නායකත්වයන් කෙරෙහි පැවති සැලකිය යුතු මිත්‍යාවන් බිඳීම සඳහා සමාජවාදී ඉල්ලීම් ඉදිරිපත් කිරීම අවශ්‍ය හා නො වැලක්විය හැකි යයි සලකන ලදී. බි්‍රතාන්‍යයේදී “සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරු බලය” පිලිබඳ ඉල්ලීම, ප්‍රන්සයේ දී “කොමියුනිස්ට් පක්ෂ-සීජීටී ආන්ඩුවක් සඳහා” ද එක්සත් ජනපදයේදී “වෘත්තීය සමිති මත පදනම් වූ ලේබර් පක්ෂයක් සඳහා” ද යන්න යොදා ගන්නා ලද්දේ, කම්කරු පන්තියේ ධනේශ්වර විරෝධී අපේක්ෂාවන් නිලධරයන්හි පන්ති සහයෝගිතා දේශපාලනයට එරෙහිව පිහිටුවාලීම සඳහා ය.

එහෙත් 1980 සහ 1990 ගනන්වල නිලධාරිවාදී සංවිධානයන් විසින් කරන ලද අඛන්ඩ පාවාදීම් මාලාව සහ නැගෙනහිර යුරෝපයේ ද සෝවියට් සංගමයේ ද ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසුරුවාලීම, මෙම සංවිධාන වලට කම්කරු පන්තිය සමඟ පවත්නා සම්බන්ධතාවය වෛෂයිකව මෙන්ම ආත්මීය වශයෙන් ද වෙනස් කලේ ය. මෙම වෙනස වටහා ගැනීමට අසමත්වීමක් තුල, පැරනි සංවිධාන කෙරේ පැවතී මිත්‍යාවන් ජය ගැනීම සඳහා එකල සකසාගෙන තිබුනු උපායක්, එවන් මිත්‍යාවන් දිග්ගැස්සීමේ සහ ඒවාට දිරිදීමේ නිශ්ඵල හා ස්වයං පරාජක ප්‍රයත්නයක් බවට පරිවර්තනය වීමේ අන්තරාය පැවතුනි.

මෙම දිශාවනතිය, වැඩ කිරීමේ නව ආකෘතීන් සකසා ගැනීමේ අවශ්‍යතාවක් බව සසප වටහා ගත්තේය. මෙය ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ඤපක්ෂ බවට පරිවර්තනය කර තිබුනු% සමග වඩාත් සමීප සහයෝගිතාවයක් ඇති කරමින් 1998 පෙබරවාරියේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීමට තුඩු දුන්නේය.

ඊලඟ දස වසර තුල සමාජවාදී සමානතා පක්ෂය දේශපාලනිකව මෙන්ම සංවිධානාත්මකව ද සැලකියයුතු ඉදිරි පියවර ගත්තේ ය. ඉතා සීමිත වර්ධනයේ වර්ෂ ගනනාවකට පසු පක්ෂය නව බලවේගයන් ආකර්ෂනය කර ගන්නට පටන්ගති. ඇත්තටම මෙය, 2000 සොරකම්කල ජනාධිපතිවරනය, 9/11 ට පසු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දියත් කිරීම, 2003 ඉරාක ආක්‍රමනය ආදියට එරෙහිව පැනනැඟුනු දේශපාලන විරෝධය සමඟ බැඳී පැවතුනි. එහෙත් වෛෂයික තත්වය තුල පැවති විභවය සාක්ෂාත් කරගත හැකිවුයේ එය තේරුම්ගෙන ඒ මත ක්‍රියා කලතාක් දුරට පමනි. සසපයේ දේශපාලන සහ සංවිධානාත්මක ආරම්භකත්වය තීරනාත්මක වැදගත්කමක් අත්පත් කර ගත්තේය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු සමයේ පක්ෂය විසින් කරන ලද න්‍යායික වැඩකටයුතු ද මෙහිලා අවධාරනය කල යුතුව ඇත. මෙම කටයුතු අවශ්‍යයෙන්ම සංකේන්ද්‍රනය වුනේ ඉතිහාසය හෙලිපෙහෙලි කර ලීමට ය. 1992 මාර්තුවේදී ජාත්‍යන්තර කමිටුවේ දොලොස්වන සැසිවාරයේදී එලිදරව් කරන ලද පරිදි:

රුසියානු විප්ලවයේ සමස්ත අත්දකීම ම ග්‍රහනය කරගත හැකිවන පදනම යටතේ, අප විසින් කම්කරු පන්තියේ දේශපාලන විඥානය වර්ධනය කල යුතුය. මේ දැන් කම්කරු පන්තිය තුල දැවැන්ත ව්‍යාකූලත්වයක් පවතී. එහි අදහස් නිවැරදි ඓතිහාසික සවිඥානකත්වය මත පදනම් වී නොමැත. මේ සාවද්‍ය විඥානය මුල්බැස තිබෙන්නේ මීට පෙර කල ජනයා පසුකර ආ, අත්දැක තිබෙන ඓතිහාසික අත්දැකීම් තුලය. ඒවා පක්ෂයේ මැදිහත්වීමෙන් තොරව උකහා ගත නොහැකි අත්දැකීම් වේ.

මිලියන සංඛාත ජනතාව නොමග යැවීමට යොදාගෙන තිබෙන මහා බොරුව නම්, සෝවියට් සංගමයේ බිදවැටීම මාක්ස්වාදයේ හා සමාජවාදයේ අසාර්ථකත්වය පෙන්නුම් කරන බවයි. මෙම බොරුව ලිදරව් කොට, ස්ටැලින්වාදය වනාහි මාක්ස්වාදයේ ප්‍රතිවිරුද්ධය ය, ඉතිහායේ බිහිසුනුම ප්‍රතිවිප්ලවයේ නිර්මානය බව තහවුරු කිරීම අත්‍යවශ්‍යව ඇත. ඤ5%

දොලොස්වන සැසියට ඉක්බිත්තේ ජාත්‍යන්තර කමිටුව,‘පශ්චාත් සෝවියට් ඓතිහාසික මුසාකරනයේ ගුරුකුලයට එරෙහි ප්‍රහාරය’ දියත් කලේ ය. එහිදී අපගේ අභාවයට පත් වඩිම් සකාරොවික් රොගොවින් වැදගත් හා දිරිගන්වන සුලු ක්‍රියාකලාපයක් ඉටු කලේය. 1995 සහ 1998 අතරතුරේ ජාත්‍යන්තර කමිටුව විසින් රොගොවින් සහෝදරයාගේ දේශන මාලාවක් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට අනුග්‍රහය දැක්වීය. මෙම න්‍යායික කටයුතුවල තීරක සන්ධිස්ථානයක් වුයේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීමට කෙලින්ම පෙරාතුව, 1998 ජනවාරියේදී, හජාජාක ඕස්ට්‍රේයානු ශාඛාවේ අනුග්‍රයෙන් සිඞ්නි නුවර පවත්වන ලද ‘ගිම්හාන පාසැල’යි. මෙම පාසැලේදී පැවැත්වුනු දේශන, ජාත්‍යන්තර කමිටුව 1990 ගනන් පුරා වර්ධනය කරමින් තිබුනු ඓතිහාසික, දේශපාලන, දාර්ශනික සහ සෞන්දර්ය විද්‍යාත්මක ප්‍රයුක්තීන් සාරාංශගත කිරීමක් විය.

පාසලට, සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදයට යථාර්තවාදී විකල්පයක් තිබුනේ නැතැයි යන ප්‍රකාශ ඛන්ඩනය කල දේශන ද, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත කැස්ත්‍රෝවාදය සහ ඊට බැඳුනු ධනේශ්වර ජාතිකවාදයන් පිලිබඳ විවේචනාත්මක විභාග කිරීමක් සහිත දේශන ද, විසිවන සියවස අවසානයේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිඝතිතා විභාග කල දේශන ද සමාජවාදය සඳහා විප්ලවවාදී අරගලයේදී වෘත්තීය සමිතිවල වල භූමිකාව පිලිබඳ විවරන ද ධනේශ්වර සමාජය විවේචනයේ දී කලාවේ භූමිකාව පැහැදිලි කල දේශන ද ඇතුලත් විය.

වාම විපාර්ශවයේ ඇලෙක්සැන්ඩර් වොරන්ස්කිගේ ලිපි ඇතුලත් Art as the Cognition of Life (කලාව ජීවිතය ඥානය කිරීම ලෙස) යන කෘතිය, ෆ්‍රෙඞ් විලියම්ස් සහෝදරයා විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදුව, 1998 දී මේරිං පොත් ප්‍රකාශකයින් විසින් පලකරන ලද බැව් ද සැලකිල්ලට ගත යුතුය. මෙම වෙලුම පල කිරීම ද අධ්‍යයනය කිරීම ද විශේෂයෙන්ම එය ෆ්‍රොයිඞ්ගේ මතය ඛන්ඩනය කිරීම, මාක්ස්වාදය සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හා පශ්චාත් නූතනවාදය අතර අගාධය පිලිබඳ පක්ෂයේ වැටහීම් මහත් සේ පොහොසත් කිරීමට දායක විය. මෙම පැහැදිලි කිරීම්, පුද්ගලවාදී ජනවර්ගික, වාර්ගික, ලිංගික, ලිංගික අනන්‍යතාව, සමාජ පන්තියට ඉහලින් ඔසවා තැබීමේ දී ව්‍යජ-වමේ ප්‍රතිගාමී මධ්‍යම පන්තික දේශපාලනය හා විසකුරු න්‍යායික බලපෑමට එරෙහි අරගලයේ දී තීරනාත්මක වැදගත් කමක් දරනු ඇත.

2005 අගෝස්තුවේ දී සසප, ජාත්‍යන්තර කමිටුව සමග ඒකාබද්ධව “මාක්ස්වාදය, ඔක්තෝබර් විප්ලවය සහ හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික පදනම්” යනුවෙන් දේශන 9ක් පැවැත්වීමට අනුග්‍රහය දැක්වීය. ඉන් මස 6ක් ගත්වීමටත් පෙර, 2006 ජනවාරි අගදී ඕස්ට්‍රේලියානු සසප විසින් ආරාධිත ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ රැස්වීමක දී වාර්තා 13ක් ඉදිරිපත් කෙරිනි. මෙම වාර්තා, මාක්ස්වාදී දෘෂ්ඨි ආස්ථානයේ පිහිටා ලෝක දේශපාලන තත්වය පිලිබඳ පුලුල් සමස්ත විශ්ලේෂනයක් සම්පාදනය කලේය.

2006 මැයි මාසයේ දී, මහාචාර්ය රොක්මෝර් ෆ්‍රෙඞ්රික් එංගල්ස්ට සහ දාර්ශනික භෞතිකවාදයට එරෙහිව එල්ල කල ප්‍රහාරය පිලිබඳ සවිස්තර විවේචනයක් පල කලෙමු. ඉන් මසකට පසුව 2006 ජූනියේ දී මම, “මාක්ස්වාදය, ඉහිහාසය සහ සමාජවාදී විඥානය” යන මැයෙන් ස්ටයිනර් සහ බ්‍රෙනර්ට දීර්ග ලිපියක් යැවීමි. එහි ප්‍රාථමික අරමුන වූයේ, ඔවුන්ගේ විධි ක්‍රමයන්ගේ ඇති දෝෂ පිලිබඳව ඒ දෙදෙනා ඒත්තුගැන්වීම නොව, ආත්මීය විඥානවාදී අතාර්කිකත්වයේ සියලු රූපාකාරයන්ට එරෙහිව භෞතිකවාදය ආරක්ෂා කිරීම හා කම්කරු පන්තියේ හා ඒ තුල විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීම අතර පවත්නා සාරභුත සම්බන්ධාතවය තවදුරටත් පැහැදිලි කිරීමයි.

2007 මැයි මාසයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය, බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලිකයන් වන ඉයන් තැචර් හා ජෙෆ්රි ස්වේන් විසින් ලියන ලද, අවලාදාත්මක ට්‍රොට්ස්කි-විරෝධී චරිතාපදාන සවිස්තරාත්මක ලෙස, බිඳ හෙලන ලේඛනයක් පල කලේය. ඉහත සඳහන් කල සියලුම වැඩකටයුතු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දෛනික ප්‍රකාශන කටයුතු සමග සිදු කෙරුනු ඒවා ය.

සමාජවාදී සමානතා පක්ෂයේ ආරම්භක සම්මේලනයට පෙරාතුව කරන ලද මෙම කර්තව්‍යය සිහිපත් කිරීමේ අරමුන වූයේ, න්‍යායික, දේශපාලන සහ සංවිධානාත්මක කටයුතු අතර තීරනාත්මක සම්බන්ධතාවය අවධාරනය කිරීමයි. 1995 සහ 2008 අතර ජාත්‍යන්තර කමිටුවේ සහ සසපයේ අත්දැකීම පෙන්නුම් කරන්නේ, ප්‍රමුඛ දේශපාලන සහ සංවිධානාත්මක ඉදිරි පියවර සඳහා තිරසර න්‍යායික සූදානම් වීමක් අවශ්‍ය බවයි. ලෙනින් නිවැරදිය, “විප්ලවවාදී න්‍යායකින් තොරව විප්ලවවාදී ව්‍යාපාරයක් පැවතිය හැක්කේ නැත.”

2008 වනවිට පැහැදිලිවම නිල ආරම්භක සම්මේලනයක් සඳහා සෑහෙන මූලික සුදානම් කටයුතු නිම කර තිබුනි. සැබෑ අවංක භාවයකින් කිවහොත් එවැන්නක් ඊට අවුරුදු කිහිපයකට පෙර ඉටු කරගත හැකිව තිබුනි. කෙසේ වෙතත්, 2008 වනවිට, දේශපාලන ක්‍රියාමාර්ගය සහ සංවිධානමය නීති නිලවශයෙන් සම්මත කරගත හැකි වන ආරම්භක සම්මේලනයක් පැවත්වීම තව දුරටත් කල්තැබිය නොහැකිය යන දැඩි එකඟත්වයක් පක්ෂ නායකත්වය තුල පැවතිනි. එම එකඟත්වයෙහි පදනම වුයේ, වර්ධනයවන ආර්ථික අර්බුදය සහ එහි දේශපාලන ගම්‍යයන් පිලිබඳ අපගේ ඇගයීමයි. ඉන් සතියකට පෙර, 2008 ජනවාරි 11 දා ලෝක සමජවදි වෙබ් අඩවිය, ඈන් ආබර්හිදී පැවැත්වූ සසප ජාතික සමුලුවට මවිසින් ඉදිරිපත් කරන ලද කතාවක වාර්තාවක් පල කලේ ය. වර්තාව මෙසේ ආරම්භ විය:

2008 වර්ෂය ලෝක ධනේශ්වර පද්ධතියේ ආර්ථික සහ දේශපාලන අර්බුදය සැලකියයුතු ආකාරයකින් උග්‍ර කිරීමක් සලකුනු කරනු ඇත. ලෝක මූල්‍ය වෙලඳ පලවල පවත්නා කැලඹීම, හුදෙක් සාංසිද්ධික පහත වැටීමක් නොව, ප්‍රගාඪ පද්ධතිමය අස්ථාවරත්වයකි. එය දැනටම ජාත්‍යන්තර දේශපාලනය අස්ථාවර කරමින් පවතී.

වාර්තාව තව දුරටත් මෙසේද කියා සිටියේ ය:

අවමුඛ උකස් තුල අපාලිත සමපේක්ෂනාත්මක ආයෝජන මඟින් අවුලුවා තිබෙන, එක්සත් ජනපදයේ නිවාස වෙලඳපල බුබුල පුපුරායාමේ ප්‍රතිපල වශයෙන්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය සංස්ථාවන්ට ඩොලර් බිලියන සිය ගනනක පාඩු සිදුකලේ ය. මුල්‍ය උපකරන වල ගොරහැඩි සුපය, -- එනම්, එස් අයි වී (structured investment vehicles) (ව්‍යුහගත ආයෝජන වාහක ) සිඩීඕ (සමාන්තර නය වගකීම් ) යනාදිය, -- අවමුඛ උකස් සඳහා සුරැකුම් ලෙස යොදාගෙන තිබුනු අතර, ඒවායේ සැකකටයුතු භාවය වසං කර, අවදානම විශාල ආයතන ගනාවකට බෙදා හැරියේ ය. මෙහි ප්‍රතිඵලය වුයේ, ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයකි, එය එක විශ්ලේෂකයෙකුගේ වචන වලින් කිවහොත්, ඇන්ග්ලෝ-ඇමරිකානු ධනපති ක්‍රමයේ නීති යුක්ත බව ප්‍රශ්නයට හාජනය කලේ ය.

මෙම විශ්ලේෂනය පහත සඳහන් නිගමනයන් කරා එලඹුනි. පලමුවැන්න, එක්සත් ජනපදය ද ලෝකය ද 1930 ගනන් වලට පසුව එලඹුනු දැවැන්තම ආර්ථික අර්බූදය මුවවිටට එලඹ සිටියේ ය යන්නයි. දෙවැන්න, මෙම අර්බූදය පන්ති අරගලයේ වේගවත් ඉහල නැගීමකට තුඩුදෙනු ඇත යන්නයි. තෙවැන්න, පන්ති අරගලයේ නැගීම කම්කරු පන්තිය රැඩිකලීකරනය කොට, සමාජවාදය සහ මාක්ස්වාදය පිලිබඳ උනන්දුව යලි පනගන්වනු ඇත යන්නයි. එසේම එය, කම්කරු පන්තියේ වැඩි දියුනු කොටස් ජාත්‍යන්තර කමිටුවේ, ට්‍රොට්ස්කිවාදයේ ක්‍රියාමාර්ගය කරා දිනා ගැනීමට පෙරනුවූ විරු තරම් ඉඩප්‍රස්ථා සම්පාදනය කරනු ඇත යන්නයි.

ආරම්භක සම්මේලනය 2008 අගෝස්තු 3 දා ඇරඹිනි. නියෝජිතයෝ පක්ෂ ව්‍යවස්ථාවක් ද, මූලධර්ම පිලිබඳ ප්‍රකාශනයක් ද සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් යන ප්‍රධාන ලියවිල්ල ද සම්මත කරගත්හ. එම ලියවිල්ලෙහි ආරම්භක කොටසේ දී සසපයේ වැඩකටයුතු ඉතිහාසයට අයත් තැන පැහැදිලි කලේ ය.

විප්ලවීය සමාජවාදී මූලෝපාය වර්ධනය විය හැක්කේ අතීත අරගලවල පාඩම් මත පමනි. අන් සියල්ලටත් වඩා, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ සවිස්තර දැනුමක් ඇතිකර ගැනීම කරා සමාජවාදීන් මෙහෙයවා ගත යුතුය. සමාජවාදී විප්ලවයේ න්‍යායික සහ දේශපාලන හී තුඩ ලෙස මාක්ස්වාදයේ වර්ධනය, එහි ඉතාමත් දියුනු ප්‍රකාශනය අත්පත් කරගෙන ඇත්තේ, 1938 දී ආරම්භ කරන ලද තැන පටන් හතරවන ජාත්‍යන්තරය, ස්ටැලින්වාදයට, ප්‍රතිසංස්කරනවාදයට සහ පැබ්ලෝවාදය විසින් ට්‍රොට්ස්කිවාදය පිලිබඳව කරන ලද සංශෝධනයන්ට ද අන් සියලු දේශපාලන අවස්ථාවාදයන්ට ද එරෙහිව කරන ලද අරගලයන් තුලිනි.

20 වන සියවසේ ඓතිහාසික අත්දකීම් හා ඒවායේ කේන්ද්‍රීය මූලෝපායාත්මක පාඩම් ද පිලිබඳ පොදු ඇගැයුමක පදනම මත හැරෙන්නට වෙනත් ආකාරයකට අත් කර ගත නොහැකිය. වරෙක රෝසා ලක්ෂම්බර්ග් ඉතිහාසය වනාහි කම්කරු පන්තියේ “වියා ඩොලරෝසව“ ඤවධ වේදනා සහිත ගමන් මග% යනුවෙන් විස්තර කලා ය. ජයග්‍රහනයන්හි පාඩම් පමනක් නොව පරාජයන්හි පාඩම් ද ඇතුලුව ඉතිහාසයේ පාඩම් උගන්නා තරමට පමනක් ම, කම්කරු පන්තියට විප්ලවවාදී අරගලයේ නව කාලපරිච්ඡේදයක් විසින් ඉදිරිපත් කරනු ලබන්නා වූ නව අභියෝගයන් සඳහා සූදානම් විය හැකිය .6

ආරම්භක සම්මේලනය අගෝස්තු 9 වනදා සමාප්ත විය. හරියටම සති පහකුත් දින දෙකකට පසු 2008 සැප්තැම්බර් 15 දා ලෙහ්මන් බ්‍රදර්ස් බැංකුව බංකොලොත් බව ප්‍රකාශ කලේ ය. ඒ සමග ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය අංශක 504 කින් පහලට වැටුනි. වෙලඳපොල ස්ථාවර කිරීමට දරන ලද අති මහත් ප්‍රයත්නයන් හමුවේ කොටස් වෙලදපොලේ වේගවත් බිඳවැටීම තාවකාලිකව නතරවිය. එහෙත් සැප්තැම්බර් 29 දා කොටස් වෙලඳපලේ පල්ල ගියේ ය. එයින් 1930 ස් ගනන්වලින් මොබ නපුරුම බිඳවැටීම ප්‍රකාශිත විය. ඉක්බිති මාස වලදී, කොන්ග්‍රසය ජාතික නය මට්ටම දෙගුනය කින් ඔසොවා ලූ අතර ෆෙඩරල් රිසව් [ඇමරිකානු මහා බැංකුව] වෝල් වීදියේ ආයෝජකයින් ගලවා ගැනීමට ඩොලර් බිලියන සිය ගනනක් ඇප දුන්නේය. 2009 මාර්තුවේදී බිඳවැටීමේ පහතම මට්ටමට වැටි තිබුනු කොටස් වෙලඳපොල වේගවත් නැගීමක් තුලින් ගමන් කලේ ය. නිවාස උගස්කර සින්නවීම, මෘග වැටුප් කැපිලි, ලක්ෂ ගනන් රැකියා වනසා දැමීම සමාජ සේවා වැඩපිලිවෙලවල වියදම් කප්පාදු කිරීම යනාදී ස්වරූප වලින් අර්බුදයේ බර මුලුමනින්ම කම්කරු පන්තිය මතට මාරු කරන ලදී.

ගත වූ දශකයේ සිද්ධීන් 2008 ආරම්භයේදී සසපය කර තිබුනු පෙරදැක්ම කොතරම් දුරට සනාථ කරනු ලැබ තිබේ ද? යෝධ ආර්ථික අර්බුදයක් පිලිබඳ පක්ෂයේ පෙර දැකීම සැකයකින් තොරව මුලුමනින්ම සනාත විය. පන්ති අරගලයේ නැගීම, 1930 ස් ගනන්වලදී තරම් වේගවත් නුවුවත්, පැහැදිලිවම ආරම්භ වී තිබේ. වඩා හෙමින් සිදුවන මෙම වර්ධනය වටහාගත හැක්කේ ඓතිහාසිකව සකස්වූ කොන්දේසි ගනනාවක් තුලිනි. සියල්ලටත් වඩා කම්කරු පන්තියේ දේශපාලන විඥානය මත සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ටැලින්වාදය විසින් කරන ලද පාවාදීමේ දිර්ඝකාලීන බලපෑමයි. දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදය ඉතිහාසය මුසාකරනය කොට, දැවැන්ත අපරාධ සිදුකොට ලෝකයට මාක්ස්වාදය දූෂිත විකෘතියක් ලෙස ඉදිරිපත් කර තිබුනි. අවසාන වශයෙන්, 1989 හා 1991 අතර නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදි තන්ත්‍රයන් වේගයෙන් බිඳී යාම, ධනවාදයට විකල්පයක් ලෙස සමාජවාදයේ හැකියාව පිලිබඳවම ගැඹුරින් මුල්බැසගත් අසුභවාදයක් ජනනය කොට තිබුනි.

විශේෂයෙන්ම 1991න් ඉක්බිත්තේ පන්ති විඥානයේ බිඳවැටීම, ධනේශ්වර සමාජයේ වඩාත් පුලුල් සංස්කෘතික හා බුද්ධිමය පරිහානියක් පිලිබිඹු කලේ ය. මාක්ස්වාදයට එරෙහි එහි යුද්ධය තුල දී හිස් ජයග්‍රහනයක් බුක්ති විඳි පාලක පන්තියට ඉතුරු වුයේ, අර්ථභාරී අදහස් වලින් හා ඉදිරිදර්ශනයකින් තොර, බරපතල සංස්කෘතික ආවේෂයක් ජනනය කිරීමට අසමත්, විශ්වවිද්‍යාලවල නරුම, බියසුලු, පශ්චාත්-නූතනවාදී ව්‍යාජ-බුද්ධිමතුන්ගේ දායකත්වය මත යැපෙන, නිසරු බුද්ධිමය වාතාවරනයකි.

මෙම සමාජ ස්ථරයේ සකල දුර්ගුන, නිමක් නැති ආත්මාර්ථය, පෞද්ගලික ධනය සහ තත්වය පිලිබඳ උනන්දු, පෞද්ගලික උත්සුකයන් සමාජ වගකීමට උඩින් තැබීමේ නිරත, ප්‍රජාතන්ත්‍ර අයිතීන් නොතකා හැරීමට නැඹුරු හා කම්කරු පන්තිය කෙරේ ගැඹුරු සතුරු බවකින් යුක්ත මේ සියල්ල, අනන්‍යතා දේශපාලනය තුලින් ප්‍රකාශනයක් අත්කරගත්තේය. දේශපාලනිකව සහ බුද්ධිමය වශයෙන් ප්‍රතිගාමී වූ මෙම වාතාවරනය - ඓතිහාසික, ප්‍රගතිශීලී සමාජ සහ ප්‍රජාතන්ත්‍ර විඥානය යටපත් කරන ලද මෙය - පන්ති අරගලයේ වර්ධනය පසුබස්සන සැලකිය යුතු සාධකයක්ව පවතී.

සංස්කෘතික සහ බුද්ධිමය සාධක, කෝපරේට්වාදී වෘත්තීය සමිති විසින්, ධනේශ්වර සුරාකෑමට එරෙහිව ආරක්ෂාවීමට කම්කරු පන්තිය දරන සෑම ප්‍රයත්නයක්ම යටපත් කිරීමට දරන උත්සාහය මගින් උත්සන්න කරනු ලැබේ. රාජ්‍යය සහ මහා සංගත සමග බැඳුනු, නිලධරය විසින් පාලනය කෙරෙන අති මහත් සම්පත් පසුගිය තිස් වසරක් පුරා කම්කරු පන්තියේ අරගලයේ ප්‍රාරම්භක ක්‍රමවේදය වන වැඩවර්ජන වැලැක්වීමට නිර්දය ලෙස මුදා හැර තිබේ.

එහෙත් සාමාන්‍ය ගුරුවර සාමාජිකයින් විසින් නිලධරයේ අනුමැතියකින් තොරව කැඳවනු ලැබූ වැඩවර්ජන රැල්ල සලකුනු කරන්නේ, වෘත්තීය සමිතිවලට එරෙහි කැරැල්ලක ආරම්භයයි. 2008දි සසප අපේක්ෂා කල පරිදී ම පන්ති අරගලයේ ඉහල නැගීමක් පවතින අතර මෙය පන්ති විඥානයේ ඉහල නැඟීමක්ද සමාජවාදය ගැන උනන්දුව අලුත් වීමක්ද පෙන්නුම් කරයි. පන්ති අරගලයේ පුනරුත්ථානය සහ සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ නම් සම්මේලන ඉදිරිදර්ශන යෝජනාව, ප්‍රධාන වශයෙන්ම උත්සුකව ඇත්තේ, කම්කරු පන්ති අරගලයේ යලි නැගී ඒම ද කම්කරු පන්ති විඥානයේ රැඩිකලීකරනය ද තුලින් මතුකරනු ලබන -න්‍යායික, දේශපාලන සහ සංවිධානික- අභියෝගයන් පිලිබඳවය.

ජාත්‍යන්තර කමිටුව ද සමාජවාදී සමානතා පක්ෂයද වත්මන් තත්වය දකින්නේ යථාර්ථවාදීව සහ සුභවාදිවය. මේ අංග දෙක එකනෙකට පරස්පර විරෝධී වන්නේ නැත. දෙකම විප්ලවාදී ඉදිරිදර්ශනයක සාරභුත සංරචකයන්ය. කෙටුම්පත් ඉදිරිදර්ශන ලියවිල්ලේ ලියා ඇති පරිදි “අසුභවාදය වනාහි ඉතිහාස විරෝධී ආත්මීයවාදයේ අතිශයින්ම අදුරදර්ශී සහ නිරර්ථක ස්වරූපය වේ”. සුභවාදය, කොයිතරම් සංකීර්න හා පරස්පරවිරෝධී ආකාරයයකින් වුවද මානව සමාජයේ සංසිද්ධීන් තුලින් ප්‍රකාශිත වන ඓතිහාසික නියාමයන් වටහාගැනීම තුල මුල්බැස පවති. අප අවධාරනය කරගත යුත්තේ, සුභවාදය වනාහි, මිකොබර් මහතා කියන්නාක් මෙන් (චාල්ස් ඩිකන්ස්ගේ කෘතියක එන) “මොකක් හරි හරියාවි” යයි බලාගෙන සිටීමක් නොවේ. කෙටුම්පත් යෝජනාව කියන පරිදිම අප භෞතිකවාදීන් ය. එහෙයින් සිද්ධීන්ගේ ප්‍රතිඵලය නිර්නය කිරීමේලා වැදගත් භූමිකාවක් අපි ඉෂ්ට කරන්නෙමු:

මෙම ඓතිහාසික තත්වය තුල වෛෂයික අර්බුදයේ ප්‍රතිපලය නිර්නය කිරීමේලා විප්ලවවාදී පක්ෂය ඉමහත් සාධකයක්ව පවති. විප්ලවවාදී පක්ෂයේ භූමිකාව ගනනට නොගන්නා වෛෂයික තත්වය පිලිබඳව හා දේශපාලන ශක්‍යතා පිලිබඳ කරනු ලබන යථාර්තවත් අගැයීමක් මාක්ස්වාදයට සාකල්‍යයෙන්ම ආගන්තුකය. මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂය සිද්ධීන් පිලිබඳව හුදෙක් ප්‍රකාශ නිකුත් කරනවා නොවේ. එය තමන් විශ්ලේෂනයට භාජනය කරන සිද්ධීන්ට සම්බන්ධධ වෙයි. එසේ කම්කරුවන්ගේ බලය සහ සමාජවාදය සඳහා අරගලයට නායකත්වය දීම සහ අරගලය තුලින් ලෝකය වෙනස් කිරීමට යත්න දරයි.

මා උපුටා දක්වා තිබෙන ඡේදය ලියවිල්ලේ “හතරවන ජාත්‍යන්තරයේ අසූ වසරක්” නමැති කොටස හඳුන්වා දෙයි. ඉදිරිදර්ශන ලියවිල්ලලේ අලුත් දෑ ගොඩක් ඇත. එය එක්සත් ජනපදය තුල ද ජාත්‍යන්තරව ද ප්‍රමුඛ දේශපාලන සහ සමාජ අරගලයන් තුල පක්ෂයේ ක්‍රියාශීලී මැදිහත් වීමෙන් උකහාගෙන තිබෙන අත්දැකීම් ද දේශපාලන තත්වය පිලිබඳ පක්ෂයේ අවබෝධයෙහි සැලකිය යුතු වර්ධනයක් ද නියෝජනය කරයි. එතකුදු නොව ලියවිල්ල, පන්ති අරගලයේ වෛෂයික වර්ධනය ද, පක්ෂයේ ක්‍රියාකාරීත්වය ද අතර සම්බන්ධය හෙලි කරමින්, සම්මේලනයෙන් ඉක්බිති පක්ෂය විසින් ගත යුතුව තිබෙන දේශපාලන සහ ප්‍රායෝගික ආරම්හකත්වයන් නිශ්චිතව අවබෝධ කර ගනු ලබයි.

එහෙත් මා සිතන ආකාරයට ලියවිල්ලේ න්‍යායික සහ දේශපාලන අරටුව වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය සාකච්ඡාවට භාජනය කරන කොටස් ය කියාය. සමාජවාදී සමන්තා පක්ෂ ක්‍රියාකාරීත්වය පදනම්ව ඇති ඓතිහාසික අත්දැකීම, ක්‍රියාමාර්ගය සහ මුලධර්ම සාරාංශ ලෙස ඉදිරිපත් කරන්නේ කෙටුම්පත් යෝජනාවේ එම කොටසිනි.

පක්ෂය සංවත්සරයන් කෙරේ දක්වන අවධානය වනාහි, ඉතිහාසය පිලිබඳ ශාස්ත්‍රාලික ආසක්තයක ප්‍රකාශනයක් හෝ රූපික පිලිගැන්මක, අතීත සිද්ධීන් පිලිබඳ යම් ආකාරයක හැඟීම්බර ආවර්ජනයක් පිලිබඳ ප්‍රශ්නයක් හෝ නොවේ. ඒ වෙනුවට සංවත්සරයන් වනාහි, වර්තමානයේ පවත්නා තතුවල එලියෙන්, කම්කරු පන්තිය සහ සමස්ත විප්ලවවාදී ව්‍යාපාරයම ගමන් කොට තිබෙන තීරක අත්දැකීම් යලි විමසා බලන අවස්ථාවන් ය. සෑමවිටම මාක්ස්වාදීන්ට අතීත අත්දැකීම් පුනරීක්ෂනය කිරීම වනාහි අනාගත අරගලයන් උදෙසා සුදානම් වීමයි.

ට්‍රොට්ස්කිගේ Results and Prospects (ප්‍රතිඵල සහ ඉදිරිදර්ශනයෝ) ලේඛනයේ එන, නොනවතින විප්ලව න්‍යාය වර්ධනය කිරීමට පදනම සැපයු තීරනාත්මක පරිච්ඡේදය නම්, 1789-1848-1905 යි. “අවුරුදු 120 ක කාලයක් තුල ධනේශ්වර විප්ලවයේ විකාශනය පිලිබඳ ඓතිහාසික සමාලෝචනය තුලින් ට්‍රොට්ස්කි මෙහෙයවනු ලැබුවේ, රදල පාලනයට එරෙහි අරගලය තුල කම්කරු පන්තියට උරුමවූ නව භූමිකාවද, එය 20 වන සියවසේ දී රුසියාව හා ලෝකය පුරා මාක්ස්වාදී විප්ලවීය මූලෝපාය කෙරෙහි ඇති කල දුරදිග යන ඇඟවුම් ද පිලිබඳ ප්‍රගාඪ වැටහීමක් කරා ද වේ. 1917 ගිම්හානයේ ලියන ලද ලෙනින්ගේ “රජය සහ විප්ලවය” කෘතිය මූලික වශයෙන් ම සමන්විත වුයේ, 1871 පැරිස් කොමියුනය පිලිබඳ මාක්ස්ගේ සහ එංගල්ස්ගේ ලේඛන පිලිබඳ සවිස්තර විභාගයකිනි. ලෙනින් විසින් මෙම සමාලෝචනය තුලින් උකහා ගනු ලැබූ නිගමන, බලය අල්ලා ගැනීම පිනිස බොල්ශේවික් පක්ෂය තුල සහයෝගය දිනාගැනීමට 1917 සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී ඔහු ගෙනගිය අරගලයේ න්‍යායික අත්තිවාර්ම සකස් කලේ ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛාවෝ කම්කරු පන්තියේ අරගලය තුලට ගෙනෙන්නේ ඉල්ලීම් සහ සටන්පාඨ මාලාවක් පමනක් නොවේ. ඒවා සැලකියයුතු වැදගත් කමක් දරන නමුත් කම්කරු පන්තියේ අධ්‍යාපන ගත කොට එහි විඥානය සමාජවාදී විප්ලවය ඉෂ්ට කරන මට්ටමට ඔසොවාලීම සඳහා සෑහෙන්නේ නැත. අර්බුදයද, එය තමන් ඉදිරියේ තබා ඇති කර්තව්‍යයන්ද ග්‍රහනය කර ගැනීමට නම් කම්කරු පන්තිය තමන් ජීවත්වන හා සටන් කරන ඓතිහාසික යුගයේ ස්වභාවය වටහාගත යුතුව තිබේ.

එපමනක් නොව, විප්ලවවාදී මුලෝපායද උචිත උපායන්ද වර්ධනය කරගැනීම සඳහා කම්කරු පන්තිය, පසුගිය සියවසේ ප්‍රමුඛ දේශපාලන සිද්ධීන් ද විප්ලවාදී අරගලයන් පිලිබඳව ද ප්‍රමානවත් මට්ටමක දැනුමක් ඇතිව සිටිය යුතුය. අවසාන වශයෙන් කම්කරු පන්තියට, තමන්ගේ පන්ති අවශ්‍යතාවන් නියෝජනය කරන්නේ යයි කියා සිටින සංවිධාන සහ ප්‍රවනතා මැන ගැනීම සඳහා ඔවුන්ගේ ඉතිහාසය ද ඔවුන්ගේ දේශපාලන පෙලගැසීම් ද අතීත අරගල තුල ඔවුන් ඉෂ්ඨ කර තිබෙන භුමිකාව ද තක්සේරු කල යුතුය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දැවැන්ත ඓතිහාසික අත්දැකීම් සම්භාරයක් ගැබ්කර ගනී. නිරන්තරව ඉතිහාසය අධ්‍යයනය කිරීම, එහි පාඩම් උකහා ගැනීම ද සිය භාවිතාවේ දී ක්‍රියාමාර්ගය සහ දිශාව සූත්‍රගතකර ගැනීමට එය සතු ඓතිහාසික දැනුම් සම්භාරයේ ක්‍රියාකලාපය ද මඟින් හජාජාක, තමන් සමාජවාදී යයි කියාගත් අන් සෑම දේශපාලන සංවිධාන හා ප්‍රවනතා වලින් වෙන්ව සිටී.

කෙටුම්පත් ඉදිරි දර්ශනය මෙසේ කියා සිටි:

1938 සැප්තැම්බරයේ හතරවන ජාත්‍යන්තරය පිහිටවූ තැන් පටන් අසූ වන සංවත්සරය මේ වර්ෂයට යෙදී ඇත. එහි අසු වසරක කාලයෙන් වසර 65ක්ම හතරවන ජාත්‍යන්තරය ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ එය පැවතී ඇත. 2018 කුලුන මුදුනේ සිට බලන කල හතරවන ජාත්‍යන්තරය පදනම් කරගත් ඓතිහාසික විශ්ලේෂනය, මූලධර්ම, සහ ක්‍රියාමාර්ගය ද 1953 ජාත්‍යන්තර කමිටුවට පදනම සැපයු විවෘත සංදේශය ද ඓතිහාසික වර්ධනය විසින් සනාථ කර ඇති බව පැහැදිලිව දැකගත හැකිය.

ට්‍රොට්ස්කිගේ ලියවිලිවල අත්‍යසාමාන්‍ය අදාලත්වක් අද දිනද පවතින්නේ, ඔහු පොරබැදුවා වූ දේශපාලන ප්‍රශ්න, වෛෂයිකව ගත් කල්හි, වර්තමාන ඓතිහාසික යුගයේ ඒවා වන හෙයිනි. එපමනක් නොව ඔහු සටන් වැදුනු ක්‍රියාමාර්ගය සහ මූලධර්ම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතු තුලින් නිරන්තරව වර්ධනය කරනු ලැබ තිබේ. ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසයෙහි සාරභුත අන්තර්ගතය වන්නේ, සමකාලීන අරගලයන් සමග එය පවත්වාගෙන ඇති නිරන්තර හා දෘඪ සම්බන්ධයයි. හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය, කම්කරු පන්තියේ දැනුවත් කොටස ලෝක ධනේශ්වර පද්ධතියේ අර්බුදයෙන් උද්ගතවන දේශපාලන ප්‍රයුක්තීන් හා ඝට්ටනවලට දක්වන ප්‍රතිතිචාරය ද පන්ති අර්ගලය හා කම්කරු පන්තියේ විඥානය තුල එම අර්බුදය අත්කරගන්නා පිලිබිඹුව ද සටහන් කරයි.

ජාත්‍යන්තර කමිටුව සිය ඉතිහාසය පිලිබඳ සවිස්තර විවරනයක් ඉදිරිපත් කිරීමට සමත් ය. සිද්ධ වූයේ කුමක්ද යන්න පිලිබඳ වාර්තාවක් පමනක් නොව ප්‍රමුඛ දේශපාලන ඝට්ටනයන්ගේ සමාජ සහ දේශපාලන හේතු පැහැදිලි කිරීමක් ද හතරවන ජාත්‍යන්තරය තුල පැනනැගී දේශපාලන වෙනස්කම්වල අර්ථභාරයද, ඒවා මිලියන සංඛ්‍යාත ජනයා සම්බන්ධවූ වෛෂයික සමාජ සන්තතින් හා දේශපාලන ඝට්ටනයන් කෙරේ පවත්නා සම්බන්ධතාවය ද පිලිබඳ පැහැදිලි කිරීමක් ද ඉන් ඉදිරිපත් කෙරින.

The Heritage We Defend (අප රක්නා උරුමය) නව මුද්‍රනයේ ප්‍රස්ථාවනාවේ දී මම ඩැනියල් ගයිඩෝ සහ වේලියා ලුපරල්ලෝ යන ඉතිහාසඥයින් විසින් මෝරෝ-ගොල්ඞ්මන් කන්ඩායම එස්ඩබ්ලිව්පීය තුල, ජේම්ස් පී. කැනන් විසින් මෘග ලෙස මර්දනයට ලක් කරන ලද විපාර්ශවයක උදාර නායකයන් ලෙස උත්කර්ශයට නැංවීමට දරන ලද උත්සාහය කෙරේ මගේ අවධානය යොමු කලෙමි. ගයිඩෝ හා ලුපරෙල්ලෝ, කැනන් කන්ඩායමේ ජයග්‍රහනය හතරවන ජාත්‍යන්තරය වැදගැන්මකට නැති තැනකට ඇද දැමූ බව පවසන තරම් දුර ගියහ. මේ පදනම මත මොරෝ -ගෝල්ඞ්මන් කන්ඩායමට පසු සමයේ එස්ඩබ්ලිව්පී ඉතිහාසයම අඩු හෝ වැඩි වශයෙන් නිරර්ථක වී යයි ඉවත දැමීමට දරන ලද උත්සාහයකි මේ. ඔවුහු මෙසේ ලියති:

මේ විශ්ලේෂනය නිවැරදි නම්, හතරවන ජාත්‍යන්තරයේ අර්බුදය ආරම්භ වූයේ, බොහෝ විට තර්ක කෙරෙන පරිදි 1953 දී මයිකල් පැබ්ලෝගේ “ගැඹුරු ඇතුලුවීමේ” උපාය මගින් අවුලුවාලන ලද මතභේදයෙන් නොව, ඉන් දස වසරකට පෙර, මුසෝලිනීගේ වැටීමේ ද ඊට පසු කාලයේදී බටහිර යුරෝපයේ ධනේශ්වර පන්තීන් හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ප්‍රජාතන්ත්‍රික ප්‍රතිවිප්ලවයේ පිලිවෙතක් වැලඳගැනීමේ ද ප්‍රතිඵලයක් ලෙස යුරෝපය තුල වර්ධනය වූ නව තත්වයට සිය උපායන් අනුගත කිරීමට එස්ඩබ්ලිව්පී නායකත්වය අපොහොසත් වීම නිසාය. (7)

1940 දී සුලුධනේශ්වර සුලුතරය එස්ඩබ්ලිව්පීයෙන් භේද වීමෙන් පසුව මැක්ස් ෂැට්මන් විසින් පිහිටුවන ලද කම්කරු පක්ෂය සමඟ එස්ඩබ්ලිව්පීයේ යලි එකමුතු වීමකට මොරෝ සහ ගොල්ඞ්මන් පක්ෂව සිටි බව, වෙනත් කරුනු ගැන සඳහන් කරන අතරතුරේ ගයිඩෝ සහ ලුපරෙල්ලෝ කියා සිටී. ඒ සමගම ඔවුහු, විස්තාරනය කිරීමකින් තොරව, මොරෝ ගෝල්ඞ්මන් ප්‍රවනතාවයේ ‘අපකීර්තිමත් අවසානය’ ගැන ද අපැහැදිලි ආකාරයකින් සඳහන් කරති. මෙම ‘අපකීර්තිමත් අවසානයට’, මොරෝ හා ගෝල්ඞ්මන්, සිය මිතුරාවූ ජින් වෑන් හෙයිනූර්ට් ද සමග අධිරාජ්‍ය-ගැති ප්‍රතිකොමියුනිස්ට්වාදයේ කඳවුර තුලට සේන්දු වීම අඩංගු වන බව, මොවුහු පැහැදිලි නොකරති. එසේම ඔවුහු, මැක්ස් ෂැට්මන්ගේ හා ඔහුගේ කම්කරු පක්ෂයේ දේශපාලන පරිනාමය ගැන ද සාකච්ඡා නොකරති. ෂැට්මන්ගේ ආත්මය හා දේශපාලනය, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් නම් සංවිධානයේ හා අපට ඊට එක් කල යුතු, සමකාලීන නව-කොන්සවේටිව් ව්‍යාපාරයේ බොහෝ කොටස්වල දේශපාලනය තුල ජීවත් වන තාක් දුරට, මෙය වනාහි හුදෙක් පෞරානික හා ශාස්ත්‍රාලික ආසක්තයන් පිලිබඳ කාරනාවක් නොවේ.

1953 දී ෂැට්මන් ලියු ලිපියක් කම්කරු පක්ෂයේ පුවත්පත වන ලේබර් ඇක්ෂන්හි පලවිය. එය ඇරඹුනේ මෙසේ ය:

එක්සත් ජනපදයේ විදෙස් පිලිවෙත ව්‍යසනයකි. එය, රූස්වෙල්ට්ගේ වෝර් ඩීල් (යුද සම්මුතිය), ටෲමන්ගේ ෆෙයාර් ඩීල් (සාධාරන සම්මුතිය) යටතේ එක සේ පැවතුනාක් මෙන්ම, අයිසන්හවර් පාලනයේ පලමු දින 100 තුල දී නරක අතට හැරෙමින් පැවතුනි.

ෂැට්මන් මෙසේ ද කීය:

දෙවන ලෝක යුද්ධයේ ගමන් මගෙහිදී ස්ටැලින්වාදියෝ, යුරෝපයේ සහ ආසියාවේ රටවල් දුසිම් ගනනක සිය ආඥාදායක බලය ගොඩනැඟීමටත් තහවුරු කරගැනීමටත් සමත් වුහ. මෙතරම් වේගයකින්, එතරම් අඩු ප්‍රතිරෝධයකින්, මෙතරම් අඩු වියදමකින්, එකදු වෙඩිල්ලක් වත් පත්තු නොකරම පාහේ පිහිටුවනු ලැබූ මෙයට සන්සන්දනීය පරිමානයකින් හා අර්ථභාරයකින් යුක්ත අධිරාජ්‍යයක් ඉතිහාසය තුල පැවතියේ යයි මතක්කර ගැනීම පවා දුෂ්කර ය. මේ සියල්ල, සමහර විට ඉතිහාසයේ වෙනත් කිසිදු සන්සන්දනීය කාල පරිච්ඡේදයකට වඩා රැඩිකල් ලෙස මහ පොලොවේ මුහුනත වෙනස් කලේය.

එසේ වුවත්: දැවැන්ත එක්සත් ජනපදය ද ඇතුලු සියලු ධනේශ්වර බලවතුන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා නායකයෝ, ස්ටැලින්වාදී ජයග්‍රහනයන් වැලකීමට නොහැකිව, සිය කෙස් ඇද ගැනීම පිනිස ඇඟිලි දික් කිරීමට වැඩි දෙයක් කරගත නොහැකිව, අසරනව සිටියහ. මීට සමාන කල හැකි දෙයක් අපගේ ජීවිත කාලය තුල නොපැවතියේය.

තව ද: සැබෑව නම් අඩුවෙන් හෝ වැඩියෙන් වගකිව යුතු ප්‍රතිගාමින්ට ඊයේ විදෙස් පිලිවෙතට විකල්පයක් ඇත්තේ නැත. අද දින පිලිවෙතව පවතින්නේ ද රූස්වෙල්ට් සහ ටෲමන් යටතේ ද පැවති පිලිවෙතමයි. එනම් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සුවිශේෂ තත්වයට සහ උවමනාකම්වලට ගලප්පන ලද අධිරාජ්‍යවාදයේ පිලිවෙතකි.

අධිරාජ්‍යවාදය කෙරේ වෛරයද, ඉන් අත්මිදීමේ අධිෂ්ඨානයද කැපී පෙනෙන පොදු ගති ලක්ෂනය වන අද දින, ලෝකය තුල අධිරාජ්‍යවාදී පිලිවෙතක් ක්‍රියාත්මක කිරීමට යත්න දරන කවුරුන් වුව ද විනාශයක් මිස අත්කර ගන්නා අන් යමක් නැත. අද දින පවත්නා අතිශය එකාධිපති මෙන්ම වඩාත්ම ඒකාධිපති වූ අධිරාජ්‍යවාදී බලය වන ස්ටැලින්වාදයට එරෙහිව යෙදුනත් මෙය සත්‍යය වන්නේ ය.

වොෂින්ටනයේ වත්මන් පිලිවෙතට ප්‍රායෝගික ප්‍රතිගාමී විකල්පයක් ඇත්තේ නැති හෙයින්, ස්ටැලින්වාදයට එරෙහි අරගලය නිෂ්කාරක වන්නේ යයි ගම්‍යවන්නේ නැත. අයිසන්හවර්-ටෲමන්- රූස්වෙල්ට්- පිලිවෙතට විකල්පයක් පවතී.

එහි නාමය: ප්‍රජාතන්ත්‍රවාදී විදේශ ප්‍රතිපත්තියක් යන්නයි.

යථාර්තයේ දී ෂැට්මන් මේ යෝජනා කරන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය නව ප්‍රචාරක ව්‍යායාමයක් දියත්කල යුතුය යන්නයි. ඒ සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ සීඅයිඒ මූලස්ථානයන්ට අලුත් සායමක් ගෑ යුතුය. අධිරාජ්‍යවාදී අඩයාලම දරන පැරනි දැන්වීම් පුවරු ඉවත් කොට ප්‍රජාතන්ත්‍රවාදී ලාංචන සහිත අලුත් ඒවා යොදාගත යුතු බවයි.

ෂැට්මන්ට තවත් යෝජනාවක් තිබුනි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අලුත් ප්‍රජාතන්ත්‍රවාදී පිටකවරය විදේශවලදී බැරෑරුම්ව පිලිගැනෙන්නට නම්, එම ව්‍යායාමය සඳහා ඇමරිකානු වෘත්තීය සමිතිවල සම්පත් පාවිච්චියට ගනිමින්, නිදහස් හා ස්වාධීන කම්කරු ව්‍යාපාරයක දුතයන් ලෙස පෙනී සිටිය යුතු ය. ෂැට්මන් සිය ලිපිය සමාප්ත කරමින් මෙසේ ප්‍රකාශ කලේ ය:

ඉමහත් අවස්ථාවක් එලඹ ඇත- ඒ ඇමරිකානු කම්කරු ව්‍යාපාරය සිය වඩාත්ම ප්‍රගතිශීලී කොටස් වලින් අරඹා, තමන්ගේම එනම් වත්මන් ලෝකයේ බලගතුම ව්‍යාපාරයේ හඬ වගකීම බාරගනිමින් එම හඬ යොදාගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ විදේශ ප්‍රතිපත්තියට කම්කරුවන්ගේ අසීමිත කැපවීමක් කල යුතු ය.

ඉක්මනින්ම සීඅයිඕ සංවිධානය සමග එක්සත් වීමට යමින් සිටි ඒඑෆ්එල් සංවිධානය, ෂැට්මන්ගේ කැඳවුම පිලිගනිමින්, සිය දැවැන්ත සම්පත් “ප්‍රජාතන්ත්‍රවාදයේ විදේශ ප්‍රතිපත්තිය” ක්‍රියාත්මක කිරීමට කැප කලේ ය. ෂැට්මන් සහ ටොම් කාහන් වැනි ඔහුගේ ගෝලයෝ, අලුතින් හැඳුනු ඒකාබද්ධ ඒඑෆ්එල්-සීඅයිඕ සංවිධානයේ ප්‍රතිගාමී නායක ජෝජ් මිනි ගේ අනුහස්ධාරී උපදේශකයන් බවට පත්වූහ. ෂැට්මන් තෙමේම සිය “ප්‍රජාතන්ත්‍රවාදයේ විදේශ ප්‍රතිපත්තිය” ට කැපවීම පිලිබඳ සිත් කාවදින උදාහරන සපයමින්, බේ ඔෆ් පිග්ස් ආක්‍රමනය, සටන්කාමී කියුබානු වෘත්තිය සමිතිවල ක්‍රියාවක් ලෙස නම් කලේ ය. එක්සත් ජනපදය විසින් වියට්නාමය ආක්‍රමනය කිරීමට සහාය දුනේ ය. ෂැට්මන්ගේ උනන්දු සහගත දැඩි සහය ලද තවත් ව්‍යායාමයක් නම්, ප්‍රජාතන්ත්‍රවාදී ස්වයං නිර්නය නාමයෙන් සෝවියට් අධිරාජ්‍යවාදයෙන් යුක්රේනය මුදාගැනීමේ යුද්ධයයි.

අයිඑස්ඕ සංවිධානයේ විදෙස් පිලිවෙත වනාහි, ෂැට්මන්ගේ “ප්‍රජාතන්ත්‍රවාදයේ විදෙස් පිලිවෙතේ” වත්මන් අවතාරයයි. එහි අතිශය දුෂ්ට උදාහරනය නම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිරියාව ආක්‍රමනය කිරීමට සහය දෙන එහි උද්ඝෝෂනයයි.

The Heritage We Defend(අප රක්නා උරුමය ) කෘතියේ නව මුද්‍රනයේ ප්‍රස්ථාවනාව තුල පැහැදිලි කොට ඇති පරිදි, “හතරවන ජාත්‍යන්තරය තුල ඇතිවූ ඝට්ටනයන්ට යටින් පැවති -වෛෂයික සමාජ සහ දේශපාලන සන්තතින් වනාහි, දෙවන ලෝක යුද්ධයට පසු සමයේ ලෝක ධනවාදයේ ප්‍රතිඝතිතාවලින් පැනනගින පන්ති අරගලයේ ගෝලීය සහ ජාතික වර්ධනයන්හි ප්‍රතිපලයක් ලෙස ග්‍රහනය කරගැනීමට සමත් වන්නේ ජාත්‍යන්තර කමිටුවම පමනි.”

අවුරුදු අසූවක කාලපරිච්ඡේදයක් පිලිබඳව ආපසු හැරී බැලීමේ දී, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ සියලු තීරනාත්මක අවධීන්ගේ වෛෂයික ඓතිහාසික වැදගත්කම තේරුම් ගැනීමට පුලුවන: 1940 දී සමාජවාදී කම්කරු පක්ෂයේ සුලු ධනේශ්වර සුලුතරයට එරෙහි අරගලය, 1946 දී මොරෝ-ගෝල්ඞ්මන්ගේ දක්ෂිනාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කිරීම, 1953 දී විවෘත ලිපිය නිකුත් කිරීම සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම, 1963 දී ජාත්‍යන්තර කමිටුව පැබ්ලෝවාදීන් සමග යලි එක්සත්වීම ප්‍රතික්ෂේප කිරීම, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ අවස්ථාවාදයට එරෙහිව 1982 සහ 1985 අතර වර්කර්ස් ලීගය තුල විරුද්ධත්වය වර්ධනය වීම, එහි කුලුගැන්වීම ලෙස 1985 දෙසැම්බර් 16 දා ජාත්‍යන්තර කමිටුවෙන් කවිප සාමාජිකත්වය අත්හිටුවීම සහ 1986 පෙබරවාරියේ දී අවසන් භේදය. මෙම සෑම තීරනාත්මක අදියරකදීම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉරනම - එනම්, ලෝක සමාජවාදය සඳහා වූ දැනුවත් අරගලයේ පැවැත්ම - පරදුවට ලක්වුනි.

ලෝක අර්බූදයේ වර්ධනය ද, ට්‍රොට්ස්කිවාදයේ මූලෝපායික සංකල්පයට විරුද්ධව එය සංශෝධනය කිරීමට මාන බැලු ප්‍රවනතාවල දේශපාලන විකාශනය ද විසින්, අවුරුදු අසූවක තම පැවැත්මෙන්, හැටපහක් ම ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය ලද හතරවන ජාත්‍යන්තරය විසින් මෙහෙයවන ලද අරගල සනාථ කර ඇත.

සෝවියට් නිලධරය නියෝජනය කලේ අලුත් පන්තියක්ය යන ෂැට්මන්ගේ කියාපෑම, 1989 -91 සිද්ධීන් විසින් තීරනාත්මකව බිඳ දමන ලදී. ඉතිහාසයේ කවර කලෙකවත්, පන්තියක් විසින් ස්වේච්ඡාවෙන් සිය රාජ්‍යය විසුරුවා හැරියේවත්, තම ධනයේ ද සමාජ අනන්‍යතාවේද පදනම වූ දේපොල රූපයන් විනාශ කිරීම පිලිගත්තේවත් නැත. එසේම පැබ්ලෝවාදය සම්බන්ධයෙන් ගත් කල, ස්ටැලින්වාදී නිලධරයට විප්ලවවාදී භූමිකාවක් පවරමින් ඔවුන් ඉදිරිපත් කල, සමාජවාදය සාක්ෂාත් කරගත හැක්කේ ශතවර්ෂ ගනනාවක් පවතිනු ඇති විකෘති කම්කරු රාජ්‍යවල ස්වරූපයෙන්ය යන මතය ස්ටැලින්වාදී තන්ත්‍රයන්ගේ ස්වයං විසිරවීම විසින් බිඳ දමන ලදී.

ඓතිහාසික සිද්ධීන් විසින් හතරවන ජාත්‍යන්තරයේ මූලධර්ම සහ ක්‍රියාමාර්ගය සනාථ කරනු ලැබ තිබේ. අසු අවුරුද්දක් පුරා පැතිර ගිය සුවිසල් දේශපාලන අරගලයක අත්දැකීම සංකේන්ද්‍රිතව පවතින්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යාන්තර කමිටුව තුල ද සමාජවාදී සමානතා පක්ෂය තුලයි. ව්‍යාපාරයේ කාර්ය ධරයන්ගෙන් දැන් ඉල්ලා සිටින්නේ, වර්ධනය වන පන්ති අරගලය තුල මෙම අත්දැකීම දැනුවත්ව යොදාගෙන වඩාත් පන්ති විඥානයෙන් යුතු සටන්කාමී කම්කරුවන්ද තරුනයන්ද ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගයට දිනාගැනීමය.

සටහන්

1. The Third International After Lenin ලෙනින්ට පසු තුන්වන ජාත්‍යන්තරය, (නිව් යෝර්ක්: පාත් ෆයින්ඩර්, 2002), 29 පිට

2. ඬේවිඞ් නෝර්ත්, The Economic Crisis and the Return of History ආර්ථික අර්බුදය හා ඉතිහාසයේ පුනරාගමනය, (ඕක් පාක්, මේරිං, 2012), 27 පිට

3.Documents of the Fourth International: The Formative Years (1933-40), හතරවන ජාත්‍යන්තරයේ ලියවිලි: (1933-40), (නිව් යෝර්ක්, පාත් ෆයින්ඩර්, 1973), 181 පිට

4. ඬේවිඞ් නෝර්ත්, “කම්කරු පන්තියට හා හතරවන ජාත්‍යන්තරයට ඓතිහාසික ජයග්‍රහනයක්” අධිරාජ්‍යවාදී යුද්ධයට හා යටත්විජිතකරනයට එරෙහිව, කම්කරුවන්ගේ ලෝක සමුලුවට ඉදිරිපත් කරන ලද වාර්තාව, 1991 නොවැම්බර් 16, The Fourth International හතරවන ජාත්‍යන්තරය, 19 වෙලුම, අංක එක, 13 පිට

5. ඬේවිඞ් නෝර්ත්, “සෝවිට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ අවසානයෙන් පසුව: මාක්ස්වාදය සඳහා අරගලය හා හතරවන ජාත්‍යන්තරය,” 1992 මාර්තු 11, හජාජාක දොලොස්වන සමුලුවට ඉදිරිපත් කල වාර්තාව, The Fourth International හතරවන ජාත්‍යන්තරය, 19 වෙලුම, 75 පිට.

6. ආරම්භක සම්මේලනය සඳහා සකස් කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්, 2008 ජූලි, (කම්කරු මාවත ප්‍රකාශන, 2009), 08 පිට.

7. ඩැනියෙල් ගයිඩෝ හා වේලියා ලුප්රෙල්ලෝ, “Strategy and Tactics in a Revolutionary Period: U.S. Trotskyism and the European Revolution, 1943-1946” “විප්ලවවාදී අවධියක් තුල මූලෝපායන් හා උපායන්: එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදය හා යුරෝපීය විප්ලවය, 1943-1946,Science & Society විද්‍යාව හා සමාජය, 78 වෙලුම, අංක 4, 2014 ඔක්තෝබර්.

Share this article: