ඔක්තෝබරයේ පාඩම්: බලය අල්ලා ගැනීම ආසන්නයේ බොල්ශෙවික් පක්ෂය තුල දේශපාලන අර්බුදය

Lessons of October: The political crisis within the Bolshevik Party on the eve of the seizure of power

ක්‍රිස් මාස්ඩන් විසිනි ,2017 නොවැම්බර් 3

පටන් ගැනීමට පෙර කිව යුත්තක් ඇත: මගේ දේශනය* සඳහා මම පැරනි වර්ගයේ දින දර්ශනය යොදාගන්නෙමි. මක්නිසාදයත්, මෙයට සම්බන්ධ අය විසින් කරන ලද සමහර ප්‍රකාශන වල සඳහන් වන්නේ එම දින වකවානු වීම නිසා මෙන්ම, දේශනයේ මාතෘකාව විසින් යෝජනා කෙරෙන පරිදි, බොල්ශෙවිකයින්ට දින දර්ශනය වෙනස් කිරීමට පෙරාතුව විප්ලවයක් කිරීමට සිදුවීම නිසාය.

මේ දේශන මාලාවේ පලමු දේශනයේදී ඩේවිඩ් නෝර්ත් සහෝදරයා සිය මාතෘකාව ලෙස තෝරා ගත්තේ, “රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද?” යන්නයි.

එම ප්‍රශ්නයට පිලිතුරු වශයෙන් ඉදිරිපත් කරන ලද කරුනු 10න් යුත් ලැයිස්තුවේ 9වන කාරනයේදී නෝර්ත් මෙසේ සඳහන් කරයි:

“සැබෑ විප්ලවවාදී පක්ෂයක් යනු කුමක්ද යන්න සහ සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය තහවුරු කිරීමෙහි ලා එවන් පක්ෂයක විස්ථාපනය කල නොහැකි කාර්යභාරය පිලිබඳ ආදර්ශයක්, බෝල්ශෙවිකයෝ කම්කරු පන්තියට ලබා දුන්හ. 1917 විප්ලවවාදී ක්‍රියාවලිය පිලිබඳ සුපරීක්ෂාකාරී අධ්‍යයනයක් මඟින් නිසැකවම තහවුරු වන්නේ, ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් බෝල්ශෙවික් පක්ෂය පැවතීම සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා තීරනාත්මක වූ බවයි.” 1

ඔක්තෝබර් නැඟිටීම ආසන්නයේ බෝල්ශෙවික් පක්ෂය තුල පුපුරා ගිය අර්බුදය විමසීමේදී, සම්පරීක්ෂාව සඳහා අන්වීක්ෂය යටින් තැබෙන්නේ විප්ලවවාදී පක්ෂයේ විස්ථාපනය කල නොහැකි භූමිකාව පිලිබඳ තීරනාත්මක ප්‍රශ්නයයි. එසේම එය අද දිනයේ අප පක්ෂය ද එහි කාර්යධරයන් ද මුහුනදෙන කර්තව්‍යයන් පරිපූර්නව වටහා ගැනීමේ හැකියාව අපට ලබා දෙයි.

ඔක්තෝබරයේ පාඩම්: බලය අල්ලා ගැනීම ආසන්නයේ බොල්ශෙවික් පක්ෂය තුල දේශපාලන අර්බුදය

අප්‍රේල් මාසයේ රුසියාවට යලි පැමිනි තැන් සිට, ලෙනින් ඉටු කල ආවශ්‍යක කර්තව්‍යය වූයේ බෝල්ශෙවික් පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ වාමාංශය ලෙස, එම විප්ලවය සම්පූර්න කිරීම පිනිස ධනේශ්වරයට බලපෑම් කිරීමේ තැන කරා ඇද දැමීමේ සියලු උත්සාහයන්ට විරුද්ධත්වය දැක්වීමය.

මෙන්ෂෙවිකයින්ගේ හා සමාජ විප්ලවවාදී පක්ෂයේ (එස්ආර්වරුන්ගේ) පැහැදිලි දෘෂ්ටි ආස්ථානය වූ මෙය, ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාද පිලිබඳ සාකච්ඡා වලින් දිගු කලෙකට පසුව ද, සිනොවියෙව් හා කමනෙව්ගේ - සහ වඩාත් සැඟවුනු හා දෙගිඩියා සහගත බවෙන් යුතුව ස්ටැලින්ගේ ද - මූලිකත්වයෙන් බෝල්ශෙවිකයින්ගේ දක්ෂිනාංශය දිගටම පිලිබිඹු කල සංකල්පය විය.

ලෙනින් පෙනී සිටියේ රුසියාව දිගටම අධිරාජ්‍යවාදී යුද්ධයේ පැටලී සිටීමට කිසිදු සහායක් දැක්වීමට එරෙහිව සම්මුති විරහිත අරගලයක් සඳහා, සෝවියට් සභාවල බහුතරය දිනාගැනීම සඳහා, තාවකාලික ආන්ඩුව පෙරලා දැමීම සඳහා සහ, සෝවියට් සභා විසින් බලය අල්ලාගෙන, යුරෝපයේ හා ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස රුසියාවේ සමාජවාදී විප්ලවය සිදුකිරීම සඳහාය. බලය අල්ලා ගැනීමට කාලය එලඹ ඇතැයි පක්ෂ නායකත්වය ඒත්තු ගැන්වීමට සැප්තැම්බරයේ හා ඔක්තෝබරයේ දී ඔහුට සිදු විය.

තම දේශනයේදී බැරී ග්‍රේ සහෝදරයා, “සියලු බලය සෝවියට් සභාවලට” යන සටන් පාඨය අත්හැර දමන ලෙස ලෙනින් පක්ෂයට බල කලේ කෙසේදැයි සඳහන් කලේය. ඒ, නැඟිටීමේ මුදුනෙහි පක්ෂය පිහිටිය යුතු බව හා පක්ෂයේ නමින් ද එහි අධිකාරය යටතේ ද එය ගෙන යා යුතු බව අවධාරනය කිරීමටය.

ඔහු එසේ කලේ, ජූලි මාසයේ නැඟිටීම මෙන්ම බෝල්ශෙවිකයන් ද තලා දැමීමට හමුදාව මෙහෙයවු එස්ආර්වරුන් හා මෙන්ෂෙවිකයන් අධිකාරය දැරූ සෝවියට් සභා විසින් ඉටුකරන ලද ප්‍රධාන භූමිකාවට ප්‍රතිචාර වශයෙනි.

බලය සඳහා අරගලයක දී අවශ්‍ය සංවිධාන ව්‍යූහය දැන් කම්හල් කමිටු විසින් සැපයෙනු ඇතැයි ඔහු යෝජනා කලේය.

කෙසේ වෙතත්, පක්ෂයේ මධ්‍යම නායකත්වය තුල සැලකිය යුතු අනුහසක් දරමින් සිටි කොටස් තුල ජූලි අත්දැකීම් විසින් ඇති කරනු ලැබ තුබූ අදහස වූයේ එවන් පියවරක් යනු අමු මදාවියක් බවය. සැප්තැම්බරය පුරාම දක්ෂිනාංශය සිදු කලේ, පැලපදියම්ව තිබුනු ධනපති ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ අන්ත වම ලෙස බෝල්ශෙවිකයින්ගේ තත්වය සුරක්ෂිත කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවූ පියවර ගනිමින් හෝ ගන්නා ලෙස ඉල්ලමින්, ඊට හිලව් වශයෙන් ස්ටොක්හෝම් “සාම” සමුලුවට, කෙරෙන්ස්කිගේ ප්‍රජාතන්ත්‍ර සමුලුවට හා එය උපත ලත් පූර්ව පාර්ලිමේන්තුවට සහභාගී වීමට සහාය දෙන බවට පොරොන්දු වීමයි.

ඔක්තෝබරයේ පාඩම් තුල ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි:

පූර්ව පාර්ලිමේන්තුවට සහභාගී වීම ධනේශ්වර සමූහාන්ඩුව දෙසට මාවත වූ පරිද්දෙන් ම ස්ටොක්හෝම් කරා මාවත, තථ්‍ය වශයෙන්ම, දෙවන ජාත්‍යන්තරය කරා මාවත විය. ....මෙන්ෂෙවික්වරුන්ගේ හා එස්ආර් වරුන්ගේ කර්තව්‍යය සමන්විත වූයේ, බෝල්ශේවික්වරුන් සෝවියට් නීත්‍යානුකූලත්වයට සිර කොට ඉනික්බිති සෝවියට් නීත්‍යානුකූලත්වය වේදනා රහිතව ධනේශ්වර පාර්ලිමේන්තු නීත්‍යානුකූලත්වය බවට පරිවර්තනය කිරීමෙනි. දකුනෝ මෙය පිලිගැනීමට කැමති වූහ. ...මේ අතරතුරේ, බෝල්ශෙවික්වරු පෙට්‍රොග්‍රෑඞ් හා මොස්කව් සෝවියට් සභාවල බහුතරය බවට ඒ වන විටත් පත්ව සිටියහ; හමුදාව තුල අපේ බලපෑම වර්ධනය වෙමින් පැතුනේ දිනෙන් දින නොව, පැයෙන් පැයට ය. මෙය තවදුරටත් පූර්ව-ඥානනයක් හෝ ඉදිරිදර්ශනය පිලිබඳ කාරනයක් නො වී ය; එය වාච්‍යාර්ථයෙන් ම අප ඊලඟ දිනයේ කෙසේ වැඩකල යුතු ද යන්න පිලිබඳ ප්‍රශ්නයක් විය. 2

කොර්නිලොව්ගේ කුමන්ත්‍රන ප්‍රයත්නයෙන් හා එයට විරුද්ධත්වය පෑමේදී බෝල්ශෙවික් කම්කරුවන් විසින් ඉටුකරන ලද තීරනාත්මක භුමිකාවෙන් ද පසුව, කම්හල් කමිටුවලින් බෝල්ශෙවිකයන්ට ලැබුනු සහයෝගය වර්ධනය වූයේ කෙසේ ද යන්න තම දේශනයේදී ටොම් කාටර් සහෝදරයා විසින් පැහැදිලි කරනු ලැබින. මෙය සෝවියට් සභා තුල ද පිලිබිඹු විය. සම්මුතිවාදීන් නායකත්වය දරන ලද සෝවියට් සභාවන්ට, තම ආරක්ෂාව සලසා ගැනීමට කුමන්ත්‍රනය විසින් බල කෙරුනි. ඉන් ඉක්බිතිව සෝවියට් සභාවල අධිකාරී බලය බවට පත්වීමට බෝල්ශෙවිකයින්ට අවස්ථාව සැලසුනි.

නැඟිටීමේ සෘජු වගකීම පක්ෂය විසින් ගත යුතු බව ලෙනින් යලි යලිත් අවධාරනය කලේය. ඔහු සැප්තැම්බර් 14දා මධ්‍යම කාරක සභාවට යැවූ ලිපියක මෙසේ ලිවීය: “අගනුවරවල් දෙකේම (පෙට්‍රොග්‍රෑඞ් හා මොස්කව්) කම්කරු සෙබල නියෝජිතයින්ගේ සෝවියට් සභාවල බහුතරය බොල්ශෙවිකයන් අතට පත්වීමේ තතු තුල ඔවුන් රාජ්‍ය බලය සියතට ගත යුතුය.” 3

ලෙනින්ගේ උපදෙස් මත බෝල්ශේවිකයින් විසින් මෙහෙයවන ලද නැඟිටීමට ට්‍රොට්ස්කි මුලුමනින්ම සහාය දැක්වීය. එහෙත් ඔහු සෝවියට් සභාවල නමින් විප්ලවය සිදුකිරීමට මනාප විය.

බෝල්ශේවිකයන්ට පැවැති පිලිගැනීම දිනෙන්දින ශක්තිමත් වූ තතු තුල ඔහු තර්ක කලේ, “සියලු බලය සෝවියට් සභාවලට!” යන සටන්පාඨය මතු කල යුතු බවයි. කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා සෙබලුන්ගේ පුලුල්ව පිලිගත් ප්‍රජාතන්ත්‍රවාදී සභා වෙත බලය මාරු කිරීමට ආධාර කිරීමෙන්, බෝල්ශේවිකයන්ට ආධාර කිරීමට අදිමදි කරනු ඇති අය අතරින් උපරිම සහයෝගය දිනාගැනීම ඔහුගේ එල්ලය විය.

ලෙනින්, තාවකාලික ආන්ඩුව පෙරලා දැමිය යුතු බවට බෝල්ශේවික් පක්ෂ නායකත්වයට නිර්දය ලෙස පීඩනය යෙදීය.

ට්‍රොට්ස්කි, ‘ඔක්තෝබරයේ පාඩම්‘ තුල ලෙනින්ගේ ලේඛනයන්ගෙන් ඡේද උපුටා දක්වයි.

“ක්ෂනික කැරැල්ලකට” එරෙහිව වන ප්‍රවනතාව “ජයගත යුතුය.” “ප්‍රමාදවීම සාපරාධීය. සෝවියට් සමුලුව තෙක් බලා සිටීම උපචාරයන් පිලිබඳ බොලඳ ක්‍රීඩාවකි, විධිමත්භාවය පිලිබඳ නින්දිත ක්‍රීඩාවකි, එසේම විප්ලවය පාවාදීමකි.” ප්‍රමාද වන විප්ලවවාදීහු “සියල්ල අහිමි කර ගැනීමේ අවදානම දරති.”

ලෙනින්ගේ කැරුම් ඔහුගේ කියුම් සමඟ මනාව ගැලපුනි.

පක්ෂ නායකත්වයේ කල් මැරීම විනාශයකට මඟ පාදා, ජයග්‍රහනය ප්‍රතිවිප්ලවයේ ඇකය මත හෙලනු ඇතැයි බියට පත් ඔහු, පක්ෂ නායකයන්ට බලපෑම් කරනු වස්, හා මහපොලොවේ සංයුක්ත තත්වයන් නිර්මානය කරනු වස් පසුපෙල සාමාජිකත්වය පොලඹවන මං සොයා බැලීය.

තම සමීප සහෝදරයෙකු වූ ඉවා ස්මිල්ගාට සැප්තැම්බර් 27දා ඔහු ලියා දැන්වූයේ ෆින්ලන්තයේ හා කලු මුහුදේ නාවික බල ඇනියේ සෙබලුන් අතර නැඟිටීමක් සූදානම් කිරීමට සාකච්ඡා කරන ලෙසය. දෙදිනකට පසුව - පූර්වෝපායයක් ලෙස මොස්කව් හා පෙට්‍රොග්‍රෑඞ් පක්ෂ කමිටුවලට යවමින් - මධ්‍යම කාරක සභාව වෙත යොමු කල ලිපියකින් ඔහු පහත දැක්වෙන අසාමාන්‍ය ප්‍රකාශය කලේය:

මා මෙතැන් පටන් සිදු කරන පරිදි, පක්ෂයේ පසුපෙල සාමාජිකයින් අතර හා පක්ෂ සම්මේලනය තුල උද්ඝෝෂනය කිරීමේ නිදහස මා වෙත තබා ගනිමින්, මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට මට සිදු වී ඇත.

මක්නිසාදයත්, සෝවියට් සභා සමුලුව එලැඹෙන තෙක් “බලා සිටිමින්” වත්මන් තත්වය පහව යාමට ඉඩ හැරියහොත් අප විප්ලවය විනාශ කරනු ඇතැයි යන්න මගේ ප්‍රගාඪ වැටහීම වන නිසාය.4

සති ගනනක් තිබියේවා, එක් දිනක හෝ ප්‍රමාදයක් නො ඉවසිය හැකි පරිද්දෙන් ලෙනින් මත බලපැවැත්වූ ඒ සා හදිසිභාවය නිර්නය වූයේ කුමකින් ද?

ඔහු සැලකුවේ රුසියාවේ තත්වය විප්ලවය සඳහා මෝරා ඇති බවටය. රටේ අවශේෂ ප්‍රදේශවල සහාය නැතිව, ඇතැම්විට මොස්කෝවේ සහාය පමනක් දිනා ගන්නට ඇති ශාන්ත පීටර්ස්බර්ග් හි ජූලි නැඟිටීමේදී ලෙනින් අවධානය කලේ ඉක්මන් නොවන ලෙසය. දැන් පොහොසත් ඉඩම් හිමියන්ට විරුද්ධව ගොවීන්ගේ කැරැල්ලක් වර්ධනය වෙමින්, ගොවි ජනතාවගේ සහයෝගය නිර්ධන පන්තියට දිනාගත හැකි කොන්දේසි නිර්මානය වෙමින් පැවතින.

තව ද ලෙනින්ගේ දේශපාලන උත්සුකය පැවතියේ රුසියාවේ තත්වය පිලිබඳව පමනක් නොව, ලෝක කම්කරු පන්තියේ ඉරනම කෙරෙහිය. ඔහු තම විප්ලවවාදී ඉදිරිදර්ශනය හුදෙක් රුසියානු තත්වය මත පමනක් නොව ජාත්‍යන්තර තත්වය මත පදනම් කලේය. ඔහු පෙරදුටු පරිදි යුද්ධයේ භීෂනයට ප්‍රතිචාරයක් ලෙස මතුවෙමින් පැවති යුරෝපීය විප්ලවයට මෙම ප්‍රමාදය මරු පහරක් වනු ඇතැයි ඔහු පැහැදිලි කලේය.

ඔක්තෝබර් 10ට යෙදී තිබුනු උතුරු දිග සෝවියට් සභා සමුලුව සඳහා ඔක්තෝබර් 8දා ලිවු ලිපිවල ලෙනින් මෙසේ සඳහන් කලේය:

“අපගේ විප්ලවය ගමන් කරමින් තිබෙන්නේ ඉතා අර්බුදකාරී අවධියක් තුලිනි. මෙම අර්බුදය වඩා ප්‍රබල අර්බුදයක් සමඟ සම්පාත වේ. එනම්, ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනය හා එයට විරුද්ධව ලෝක අධිරාජ්‍යවාදය විසින් ගෙනයනු ලබන අරගලයයි. අපගේ පක්ෂයෙහි වගකිවයුතු නායකයින් වෙත පැවරී ඇත්තේ දැවැන්ත කර්තව්‍යයකි. එය ඉටුකිරීමට අසමත්වීම, ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරය මුලුමනින්ම බිඳ වැටීමේ තර්ජනය මතු කරයි. පවත්නා තතු කෙසේද යත්, ඇත්ත වශයෙන්ම, ප්‍රමාදය මාරාන්තික වනු ඇත.” 5

පක්ෂය යලි දිශානත කිරීමට ගෙනගිය දිගු අරගලය, ඔක්තෝබර් 10දා මධ්‍යම කාරක සභාවේදී කුලුගැන්වුනි. වෙස්වලාගෙන පැමිනි ලෙනින් ඊට සහභාගී විය. ඔහුට පැවති අධිකාරයට පින්සිදු වන්නට ඉල්ලා අස්වීම අවශ්‍ය නොවීය. ඔහුගේ යෝජනාව 10ට 2ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මත විය.

නැඟිටීම සඳහා දින නියම කර නොගත්තේ වුව ද, ලෙනින්ට පෙන්නුම් කල හැකි වූ මුලුමහත් හදිසි භාවය ද, එකී තීන්දුව ගනු ලැබූ දේශපාලන පදනම පිලිබඳ විස්තාරනයක් ද යෝජනාවට අන්තර්ගතව තිබුනි.

එය ඇරඹුනේ රුසියානු විප්ලවයේ ජාත්‍යන්තර තත්වය මෙසේ පෙලගස්වමිනි:

  • ජර්මානු නාවික හමුදා කැරැල්ල, යුරෝපය පුරා ලෝක සමාජවාදී විප්ලවයේ දිග හැරීම පිලිබඳ ආන්තික ප්‍රකාශනයක් ලෙස; රුසියානු විප්ලවයේ ගෙල සිරකිරීමට අධිරාජ්‍යවාදීන්ට ඇති අභිලාශය

එය ඉන් පසුව රුසියාවේ තත්වය විභාග කරයි:

  • පෙට්‍රොග්‍රෑඩය ජර්මානුන්ට යටත් කිරීමට රුසියානු ධනේශ්වරය හා තාවකාලික ආන්ඩුව ගත් තීරනය හා දෙවන මිලිටරි කුමන්ත්‍රනයක සැලසුම් සකස් කිරීම, සෝවියට් සභා තුල බොල්ශෙවික් බහුතරය තහවුරුවීම, ගොවිජන කැරැල්ල.

යෝජනාවේ නිශ්චය මෙසේ විය:

එබැවින් සන්නද්ධ නැඟිටීමේ නොවැලැක්විය හැකි භාවය ද ඒ සඳහා කාලය මුලුමනින්ම මෝරා ඇතැයි යන්න ද සැලකිල්ලට ගනිමින් මධ්‍යම කාරක සභාව, ඒ අනුව කටයුතු කරන ලෙසත්, සියලු ප්‍රායෝගික ප්‍රශ්න (උතුරු කලාපයේ සෝවියට් සභා සම්මේලනය, පෙට්‍රොග්‍රෑඩයෙන් හමුදාව ඉවත් කිරීම, මොස්කෝවේ හා මින්ස්ක්හි අපගේ ජනයාගේ කටයුතු ආදිය) මේ දෘෂ්ටි ආස්ථානයේ සිට සාකච්ඡා කර තීරනවලට එලැඹෙන ලෙසටත්, සියලු පක්ෂ සංවිධාන වලට උපදෙස් දුන්නේය, 7

මෙය සැබැවින්ම ඓතිහාසික සිදුවීමක් විය. කිසිදාක හෝ සිදු නොවූ පරිදි පලමු වතාවට, කම්කරු පන්තිය නියෝජනය කරන පක්ෂයක්, එහි පොදු අරමුන ධනවාදය සමාජවාදයෙන් විස්ථාපනය කිරීම ලෙස පිහිටුවා ගැනීමෙන් නොනැවතී විප්ලවයක් සිදුකිරීම ද තම උර මතට ගෙන තිබින.

ට්‍රොට්ස්කි සටහන් කරන පරිදි, කෙසේ වුව දැන් පවා, විප්ලවය කල යුත්තේ කවර දිනවල කවර අධිකාරයක් යටතේ ද යන ප්‍රශ්න ගැන මහත් ප්‍රවේදිතාවයන් ද තියුනු සාකච්ඡා ද පැවැතියේය. ඔහු දිගටම තර්ක කලේ, නැඟිටීමේ දිනය, සෝවියට් සභාවල දෙවන සම්මේලනය පැවැත්වීමට සැලසුම් කර ඇති දිනට - මුලදී එය ඔක්තෝබර් 20ට යෙදී තිබුනි - දින කිහිපයකට පෙර සිදුවිය යුතු බවටය. එවිට එම සභාවට එයට සහාය දැක්විය හැකි වන පරිද්දෙනි. ඔහුගේ ආස්ථානය නිවැරදි වූ බැවින් එය ජයගත්තේය.

නැඟිටීමේ නියමු මූලෝපායඥයා ට්‍රොට්ස්කි බව සනාථ වී ඇත්තේ කෙබඳු ද යත්, ඔක්තෝබරයේ ප්‍රථම සංවත්සරය නිමිතිකරගෙන මෙසේ ලියන්නේ ජෝසෆ් ස්ටැලින්මය:

නැඟිටීමේ සියලු ප්‍රායෝගික වැඩකටයුතු ගෙන ගියේ පෙට්‍රොග්‍රෑඞ් සෝවියට් සභාපති වූ ට්‍රොට්ස්කිගේ සමීප නායකත්වය යටතේය. ආරක්ෂක බලකොටුව යුහුසුලුව සෝවියට් සභාවේ පැත්තට මාරුවීමත්, මිලිටරි විප්ලවවාදී කමිටුවේ වැඩකටයුතු එක එල්ලේ ක්‍රියාත්මක කිරීමත් පිලිබඳව පක්ෂය ප්‍රධානකොටම හා අන් සියල්ලටත් වැඩියෙන් ට්‍රොට්ස්කි සහෝදරයාට නය ගැති බව නිශ්චිතවම කිව හැකිය. 8

‘ඔක්තෝබරයේ පාඩම්‘හි ට්‍රොට්ස්කි පැහැදිලි කරන පරිදි, කැරැල්ලේ කාල නිශ්චය, එලැඹෙමින් පැවැති දෙවැනි සම්මේලනය සමඟ සම්පාත කිරීම අවසර නොදිය හැකි ප්‍රමාදයක් ලෙස බිය වීමට ලෙනින්ට අවශ්‍යතාවයක් නොවීය. මෙම ආවරනය යටතේ කැරැල්ල සූදානම් කිරීම දේශපාලනිකව බෝල්ශෙවිකයන්ට ”තක්සේරු කල නොහැකි තරම් වාසියක්” අත්පත් කර දුන්නේය. තවද, ට්‍රොට්ස්කි කලේ ප්‍රමාද කිරීමක් නොවේ, සූදානම් කිරීමයි:

බලකොටු සේනාංකයෙන් තුනෙන් දෙකක් පෙරමුනට මාරු කර යැවීමට කෙරන්ස්කි ගත් තීන්දුව, පෙට්‍රොග්‍රෑඞ් සෝවියට් සභාව ලෙස අප විසින් අවලංගු කෙරුනු මොහොතේ සිට, අපි සැබවින් ම සන්නද්ධ නැගිටීමකට අවතීර්නව සිටියෙමු. ඒ වන විට පෙට්‍රොග්‍රෑඞ්හි නො සිටි ලෙනින්ට මෙම කාරනයේ පූර්න අර්ථ භාරය තක්සේරු කල නො හැකි විය.... එතෙකුදු, පෙට්‍රොග්‍රෑඞ් බලකෙටු සේනාංකය නගරයෙන් පිටතට මාරු කර යැවීමට අප විරුද්ධ වී; මිලිටරි විප්ලවවාදී කමිටුව නිර්මානය කොට (ඔක්තෝබර් 16); සියලු හමුදා අංශ හා ආයතනවලට අපගේ කොමිසාර්වරුන් පත් කල පසු, එමගින් පෙට්‍රොග්‍රෑඞ් හමුදාවේ අන දෙන නිලධාරි මඩුල්ල පමනක් නො ව, මුලු ආන්ඩුව ම ද හුදෙකලා කර දැමුනු කල්හි, ඔක්තෝබර් 25 දා නැගිටීමේ ප්‍රතිඵලය, අඩු ගනනේ තුන් කාලක් ම - වැඩිමනත් නො වේ නම් - තීන්දු වී තිබුනි. 9

ඊලඟ දිනවලදී, නැඟිටීමේ ජයග්‍රහනයට එරෙහිව පක්ෂ නායකත්වය තුලින්ම මතුවේ යයි ලෙනින් බියවූ තර්ජනය, විවෘත කැරැල්ලක රූපය ගත්තේය.

ඔක්තෝබර් 10දා ඔවුන් සිය ඡන්දයෙන් ප්‍රකාශ කල පරිද්දෙන්ම, සිනොවියෙව් හා කමනෙව් දැඩි ලෙස නැඟිටීමට එරෙහිව සිටියහ. ලෙනින් තවත් මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉල්ලා සිටියේය. එය ඔක්තෝබර් 16දා රැස්විය. ඔක්තෝබර් යෝජනාව ඡන්ද 20ට 2ක් ලෙස සම්මත විය. මේ වතාවේ සිව් දෙනෙක් පැමින නොසිටි අතර කමනෙව් මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස්වෙමින් ප්‍රතිචාර දැක්විය.

සිය විරුද්ධත්වය බෝල්ශෙවික් පුවත්පත් හරහා දැක්වීමට ඔවුන් ඉදිරිපත් කල ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමෙන් පසු, සිනොවියෙව්ගේ ද ආධාරය ලද කමනෙව් පක්ෂ අන නොතකා හරිමින් මැක්සිම් ගෝර්කිගේ නොවායා ශිස්න් පුවත්පත කරා ගියේය. ඔක්තෝබර් 18 වන දින එහි පිටු තුල කමනෙව්, පැහැදිලි හේතූන් මත එතෙක් ප්‍රසිද්ධියට පත් කොට නොතිබූ කැරැල්ලක් සඳහා වන සැලසුම්වලට ප්‍රසිද්ධියේ පහර දුන්නේය. ඔහු මෙසේ ලිවීය: “මේ තත්පරයේදී සන්නද්ධ නැඟිටීමක් ප්‍රකාශයට පත් කිරීම යනු හුදු අපේ පක්ෂයේ ඉරනම පමනක් නොව, රුසියානු හා ජාත්‍යන්තර විප්ලවයේ ඉරනම ද පරදුවට තැබීමකැයි අපි ගැඹුරුතම ලෙස ඒත්තු ගෙන සිටින්නෙමු.”

කැරැල්ලට එරෙහිව කමනෙව් යෝජනා කලේ සෝවියට් සභා තුල ද හමුදාව හා කම්කරුවන් අතර ද බෝල්ශෙවිකයන්ට ඇති ආනුභාවය පාවිච්චි කරමින් ධනපති පන්තියට ”ව්‍යවස්ථාදායක සභාව කඩාකප්පල් කිරීමට” නොහැකි තත්වයක් නිර්මානය කිරීමට ඉවසිලිවන්තව ක්‍රියා කල යුතු බවයි. ව්‍යවස්ථාදායක සභාව කඩාකප්පල් කිරීමට දැන් දැරෙන ඕනෑම ප්‍රයත්නයක් “යලිත් සුලු ධනපති පක්ෂ අප දෙසට තල්ලු කර දමනු ඇත. ... නිවැරදි උපක්‍රම භාවිතයෙන් අපට ව්‍යවස්ථාදායක සභාවේ ආසනවලින් තුනෙන් පංගුවක් හෝ ඊට වඩා වුව දිනා ගත හැකිය.”

තත්වය මෝරා නැති ඔහු තරයේ පැවසීය. කම්කරුවන් ද සෙබලුන් ද බෝල්ශෙවිකයන් වෙනුවෙන් සිටින බව සැබෑය. එහෙත් ඒ සාමවාදී, යුද-විරෝධී මනෝභාවයන් නිසාය:

අප දැන් තනිවම බලය ගෙන (සමස්ත ලෝක තත්වයේ ප්‍රතිඵලයක් ලෙස පැන නඟින) විප්ලවවාදී යුද්ධයක් දියත් කිරීමේ අත්‍යවශ්‍යතාවයට මුහුන දුනහොත්, සෙබල ජනයා අපෙන් ඉවතට ඇදී යනු ඇත. ... තව ද මෙහිදී අපි දෙවැනි ප්‍රනිශ්චය කරා - එනම්, ජාත්‍යන්තර නිර්ධන පන්තියේ බහුතරයක් අප සමඟ දැනටමත් සිටිතැයි කියනු ලබන්න කරා - එලැඹෙමු. අවාසනාවකට එය තවමත් එසේ නොවේ. 10

මෙම සන්ත්‍රාසයෝ පදනමකින් තොර වූහු ද? ඇත්තෙන්ම නැත. බෝල්ශෙවිකයන් මුහුන දී සිටියේ අප්‍රමාන අවදානම්වලටය - තව ද බලය ගැනීමෙන් පසුව පවා ඔවුන් මුහුන දුන් තතු වූයේ, සිවිල් යුද්ධයක් ඇවිල යාම හා අධිරාජ්‍යවාදී ආක්‍රමනයයි.

එහෙත් කමනෙව් හා සිනොවියෙව් දුටුවේ ප්‍රතිගාමිත්වයේ පෙනෙන්නට ඇති ශක්තිය හේතු කොට ගෙන ඉදිරියේ එලඹෙන ව්‍යසනය පමනෙකි. ලෙනින්, ජයග්‍රහනයේ ශක්‍යතාවය දරා සිටින විප්ලවවාදී අවස්ථාවලින් ගැබ්බර වී ඇති තත්වයක් දුටුවේය. අනෙක් විශිෂ්ඨ විප්ලවවාදියා වූ ඒබ්‍රහම් ලින්කන් මෙන්ම ඔහු ද මෙසේ නිගමනය කලේය: ”කැලැඹිලිකාරී වර්තමානය සඳහා සන්සුන් අතීතයේ ආධානග්‍රාහයන් ප්‍රමානවත් නොවේ. ප්‍රස්තාව මත දුෂ්කරතාවයන් කඳු ගැසී පවතී. අපි ප්‍රස්තාව සමඟ නැඟී සිටිය යුත්තෙමු.”

ඔක්තෝබරයේ පාඩම් කෘතිය තුල සිනොවියෙව් හා කමනොව්ගේ දේශපාලන මනෝවිඥානය පිලිබඳ ගනුදෙනු කෙරෙන, අද දක්වාමත් මැදිහත් පාඩමක් ලෙස ඉස්මතුව සිටින එක් ප්‍රධානතම ඡේදයක් ඇත. බරපතලම අන්තරායය වනු ඇත්තේ විප්ලවවාදී බලවේගවල ශක්තිය අධිතක්සේරු කිරීම හා ප්‍රතිගාමී බලවේග අවතක්සේරු කිරීම බවට ඔවුන්ගේ ලිපියෙන් අනතුරු හැඟවෙන අයුරු ට්‍රොට්ස්කි සටහන් කරයි. ඔවුහු මෙසේ ලිවූහ:

සතුරාගේ බලවේග පෙනෙනවාට වඩා විශාල ය. පෙට්‍රොග්‍රෑඩය (අරගලයේ ප්‍රතිඵලය- පරිවර්තක) තීන්දු කරනු ඇති බව සැබවි - එහෙත් කම්කරු පන්තික පක්ෂයේ සතුරන් එම නගරය තුල සැලකිය යුතු බලකායක් ඒකරාශී කර ගෙන සිටිති: අනර්ඝ ලෙස සන්නද්ධ කෙරුනා වූ ද සංවිධානය කරනු ලැබුවා වූ ද සිය පන්ති තත්වය නිසා සටන් කිරීමට ආසක්ත වූ හා සූදානම් වූ ද ජුන්කරයන් ඤකැඩෙට් නිලධාරින්% 5,000ක් ඒ අතර වෙති; ඒ මතු නො ව හමුදා මූලස්ථානය; හදිසි කඩාවදින හමුදා; කොසැක්වරු; බලකොටුවේ හමුදාවෙන් සෑහෙන කොටසක්; ඒමදිවාට කාලතුවක්කු හමුදාවෙන් ඉතා ශක්තිමත් කොටසක් පෙට්‍රොග්‍රෑඞ් නගරය වටා අවානක් මෙන් යොදා ඇත. 11

1923 දී ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩී) කැරැල්ලක් අත්හැර දැමීමට මෙම ආස්ථානය විසින්ම මඟ පෑදූ අයුරු “ප්‍රතිවිප්ලවයේ පෙනී යන ශක්තිය විසින් යටපත් කර දමනු ලැබූ පක්ෂ නායකත්වය ‘ජර්මන් විප්ලවයේ කාර්යසාධක බලකායයන්’; එනම්, අතිශය බලගතු ජර්මානු නිර්ධන පන්තිය; අවතක්සේරු කල අයුරු” ට්‍රොට්ස්කි පැහැදිලි කරයි:

මෙහි ලා අපගේ රුසියානු අත්දැකීම අතිශය වැදගත් ය. පෙට්‍රොග්‍රෑඞ්හි දී අප ලේ නො සොල්වා අත් කර ගත් ජයග්‍රහනයට දෙසතියකට පෙර - එම ජයග්‍රහනය දෙසතියකට පෙර වුව ද අත් කර ගත හැකිව තිබිනි - පක්ෂයේ අත්දැකීම් සහිත දේශපාලනඥයෝ සටන් කිරීමට සූදානම් හා සමත් වූ ජුන්කරයන් ද හදිසි ප්‍රහාරක හමුදා ද කොසැක්වරුන් ද අවානක් සේ මෙහෙයවා සිටි බලකොටු හමුදාවේ සහ කාලතුවක්කු භටකායෙන් විශාල කොටසක් ද යුද පෙරමුනෙන් නගරයට එලඹෙමින් සිටි හමුදා ද අපට එරෙහිව පෙල ගැසී සිටින අයුරු දුටුවහ. එහෙත් යථාර්ථය තුල මේ සියල්ල පුස්සක් බවට - රවුම් ගනනකින් කිවහොත් ශූන්‍යයක් බවට - පත්විය. ... මෙය වනාහි සෑම විප්ලවවාදියෙකුගේ ම විඤ්ඤානය තුලට ගිනියම්ව කා වැද්දිය යුතු පාඩම යි! 12

දැන් ඉදිරිපත් වී ඇති විප්ලවවාදී ගැටුම හමුවට පමුනුවා සිටින සමාජ බලවේගවල සමතුලනය පිලිබඳව සිනොවියෙව් හා කමනෙව් හුදු සාවද්‍ය කියැවීමක් සිදු කලෝ පමනක් නොවූහ. ඔවුහු සුලු-ධනපති පක්ෂ සම්බන්ධයෙන් ද වැරදි තක්සේරුවක් කලෝය.

දෙවැනි ජාත්‍යන්තරය තුල අවස්ථාවාදය වර්ධනය වීමේ හා සමාජ ජාත්‍යෝන්මාදවාදය විදාරනය වීමේ මූලයන් පැවතුනේ, අධිරාජ්‍යවාදය විසින් ශක්‍යතාවයක් බවට පත් කෙරුනු සමාජ සම්බන්ධතා තුල බව - එනම්, දෙවැනි ජාත්‍යන්තරයේ ප්‍රධාන සමාජ පදනම ලෙස ක්‍රියා කල කම්කරු ප්‍රභූ පැලැන්තිය ද ඇතුලු වරප්‍රසාදිත සුලු ධනපති ස්ථරයක පක්ෂපාතිත්වය මිල දී ගැනීම සඳහා පාලක පන්තියට පැවැති හැකියාව තුල බව- ලෙනින් 1914 දී පෙන්වා දී තිබින.

මෙන්ෂේවිකයන් ආදීන් බෝල්ශේවිකයන් කරා තල්ලු කෙරෙනු ඇති බවටත්, ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන් ක්‍රියාවට නැංවීම සඳහා ධනේශ්වරයට බලපෑම් කිරීමේ අරගලය පෙරට ගෙන යාමට ඔවුන් ආධාර කරනු ඇති බවටත් සිනොවියෙව් හා කමනෙව් ගනන් බැලූහ. තම විශ්ලේෂනය මඟින් ලෙනින් නිගමනය කලේ, එකී සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් “කම්කරු පන්ති ව්‍යාපාරය තුල සිටිනා ධනේශ්වරයේ සැබෑ නියෝජිතයන්” හා “ධනපති පන්තියේ කම්කරු ලුතිනන්වරුන්” බවයි. ... “නිර්ධන පන්තිය හා ධනේශ්වරය අතර සිවිල් යුද්ධයේ දී ඔවුන් නිසැක ලෙස ම, සහ කිසිසේත් සුලුපටු නොවන සංඛ්‍යාවන්ගෙන්, ධනේශ්වරයේ පැත්ත ගනිමින් ‘කොමියුනාර්ඞ්වරුන්ට‘ එරෙහි ‘වර්සායිවරුන්‘ ලෙස ක්‍රියා කරනු ඇත.” 13

“හරියටම මෙම ප්‍රශ්නයේ දී ම කම්කරුවන්ගේ පක්ෂයට එරෙහිව ධනේශ්වරය සමඟ අත්වැල් බැඳ සිටි පුවත්පතක්” තුල එල්ල කරන ලද සිනොවියෙව්ගේ හා කමනෙව්ගේ ප්‍රහාරයේ ද්‍රෝහිත්වය පිලිබඳව කෝපාවිෂ්ඨව සිටි ලෙනින් ඔවුන් “වර්ජන බිඳින්නන්” හා “හොරිකඩයන්” ලෙස හෙලා දුටුවේය.14

මහජනයා බොල්ශෙවිකයන් සමඟ නොසිටිතැයි යන කියා සිටීම ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙසේ නිවේදනය කලේය:

.. අද දිනයේ රුසියානු ජීවිතයේ වඩාත්ම කැපී පෙනෙන කරුන වනුයේ ගොවි ජනයාගේ කැරැල්ලයි. මෙය වෛෂයිකව පෙන්වා දෙන්නේ - කියුම්වලින් නොව ක්‍රියාවෙන් - ජනයා බොල්ශෙවිකයන්ගේ පැත්තට එමින් සිටින බවයි. ... වර්ධනය වෙන ආර්ථික ව්‍යසනය ද එලැඹෙමින් පවත්නා සාගතය ද දකිමින්, එතෙකුදු කම්කරුවන් නැඟී සිටීමෙන් වලක්වා ලීමේ ඛේදජනක “ධෛර්යය” සතු අයවලුන්ට අපේ පිලිතුර වන්නේ මෙයයි: “කැරලි ගැසීමේ දී ප්‍රමාදය මාරාන්තිකය.” 15

කමනෙව්ගේ ප්‍රහාරය පල වූ දිනයේ පෙට්‍රොග්‍රෑඞ් හමුදා ඒකකවල නියෝජිතයෝ රැස්වූහ. තාවකාලික ආන්ඩුවට එරෙහිව කැරැල්ලක් ගැසීම සම්බන්ධයෙන් ඔවුහු දෙකට බෙදී සිටියහ. ට්‍රොට්ස්කිගේ ආස්ථානය තහවුරු කරමින් ඔවුන් කියාසිටියේ තමන් ඊට සහයෝගය දෙන්නේ එය සෝවියට් සභා වෙනුවෙන් කෙරෙන්නක් නම් පමනක් බවයි.

අනපේක්ෂිත ලෙස, බොල්ශෙවිකයන්ගේ වැඩී එන ආනුභාවයෙන් තැති ගත් බොල්ශෙවික් - නොවන පක්ෂ, තමන්ගේම ආධාරකරුවන් වඩාත් හොඳින් බලමුලු ගන්වා ගනු වස් සෝවියට් සභාවල සම්මේලනය ඔක්තෝබර් 25 වන දිනට කල් දැමීමට තීරනය කලෝය. අපේක්ෂිත අරමුන වෙනුවට එම අතිරේක දින පහ බොල්ශෙවිකයන්ට හා, සමස්ත ක්‍රියාදාමයේ වගකීම් දැරූ ට්‍රොට්ස්කිට කැරැල්ල සඳහා සූදානම් වීමට හා එය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කාලය ලබා දුන්නේය.

ඒ හා බැඳුනු තීව්‍රතර දේශපාලන හා සංවිධානාත්මක සූදානමට ස්තුතිවන්නට බරපතල ජීවිත හානියකින් තොරව එය සිදුවිය.

ස්මොල්නියේ පැවැති සෝවියට් මූලස්ථානය බොල්ශෙවිකයන්ගේ පාලනය යටතේ මැෂින් තුවක්කුවලින් රැකවල් ලූ බලකොටුවක් බවට පෙරැලී තිබින.

ඔක්තෝබර් 24 උදෑසන රජය බොල්ශෙවික් පක්ෂයේ ප්‍රධාන පුවත්පත හා පෙට්‍රොග්‍රෑඞ් සෝවියටයේ පුවත්පත වසා දමා මුද්‍රනාලවලට මුද්‍රා තැබීය.

“අපට මේ මුද්‍රා කැඩිය නොහැකිදැ”යි එක් මුද්‍රන ශිල්පිනියක් ට්‍රොට්ස්කිගෙන් විමසුවාය. “ඒවා කඩන්න” යනුවෙන් පිලිතුරු දුන් ඔහු එය සිදුවන බව සහතික කිරීමට ලිටොව්ස්කි රෙජිමේන්තුව හා රාජකීය ඉංජිනේරු හමුදාවේ හයවන අතිරේක බල ඇනිය එහි පිටත් කර යැවීය.

සෝවියට් සන්නිවේදනයන් වැලැක්වීමේ අටියෙන් හමුදා ශිෂ්‍යයන් ක්‍රියාත්මක වූ අතර නාවුකයන් කන්ඩායමක් විසින් දුරකථන හුවමාරුව ඔවුන් කෙරෙන් නිදහස් කර ගන්නා ලදී.

එම රාත්‍රියේ මිලිටරි විප්ලවවාදී කමිටුවේ සාමාජිකයන් නගරයේ සෑම ප්‍රදේශයකටම පිටත් කර යවන ලදී.

අවුරෝරා නෞකාවට පෙට්‍රොග්‍රෑඩයෙන් ඉවත්ව නේවා කරා යාත්‍රා කරන ලෙස ආන්ඩුව නියෝග කලේය. එහෙත් බොල්ශෙවික් නාවුකයෝ මිලිටරි විප්ලවවාදී කමිටුවට පක්ෂපාතී වෙමින් දිගටම එහි රැඳී සිටියෝය.

කෙරන්ස්කි හා තාවකාලික ආන්ඩුව විසින් කාලතුවක්කු භට කන්ඩායමක් ද, ප්‍රහාරක හමුදාවේ බලකායයක් ද, පිටර්හොෆ් හමුදා පාසලේ ශිෂ්‍ය නිලධාරීන් සහ කාන්තා බලකාය ද බලමුලු ගන්වනු ලැබ ඇතැයි ට්‍රොට්ස්කිට වාර්තා විය. නගරයට පිවිසෙන සියලු මාර්ගවල හමුදා ආරක්ෂක බාධක යොදන ලෙස ඔහු අන කලේය.

කටයුතු සිදු වී තුබූ ආකාරයට අනුව, වීථි සියල්ල බොල්ශෙවිකයන් සතු වූ අතර, මිලිටරි ශිෂ්‍යයන් ඇතැමෙකු හැරුනු විට කෙරන්ස්කිගේ අන පිලිපදින්නෝ විරල වූහ. බොල්ශෙවික් නායකත්වයෙන් යුත් සන්නද්ධ භට පිරිස් පෙට්‍රොග්‍රෑඞ්හි ආයතන එකින්එක තම පාලනය යටතට ගනිමින් නගරයේ සියලු වැදගත් ස්ථාන අත්පත් කර ගත්හ.

ඊලඟ උදයේ; එනම්, ඔක්තෝබර් 25 වන දින; ආන්ඩුව තවමත් ගිම්හාන මාලිගාවේ රැස් වී සිටියේය. එහෙත් දුබල ආරක්ෂක සංවිධානවලින් යුතු වූ මාලිගය හාත්පසින් වටලනු ලැබ තිබින. දහවල් එකට ට්‍රොට්ස්කි ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කලේය:

තාවකාලික ආන්ඩුව තවදුරටත් නොපවතින බව මිලිටරි විප්ලවකාරී කමිටුව වෙනුවෙන් මම නිවේදනය කර සිටිමි. ඇතැම් ඇමතිවරුන් අත්අඩංගුවට ගෙන ඇත. අන්‍යයෝ ඉදිරි දින කිහිපය හෝ පැය කිහිපය තුල අත්අඩංගුවට ගැනෙනු ඇත්තාහ. ... ගිම්හාන මාලිගය තවමත් අත්පත් කර ගෙන නැති මුත්, එහි ඉරනම ඉදිරි විනාඩි කිහිපය තුල නිර්නය කෙරෙනු ඇත. 16

මාලිගාව සටනකින් තොරව අල්ලා ගන්නා ලදී.

ට්‍රොට්ස්කිට අනුව, මිලිටරි විප්ලවකාරී කමිටුවේ ප්‍රාරම්භක සූදානම් කටයුතුවලට ස්තුතිවන්ත වන්නට, “ඔක්තෝබර් 25 වන දින කැරැල්ල හුදු පරිපූරක ස්වභාවයේ එකක් විය. එය වේදනා රහිත එකක් වූයේ නිරවද්‍යවම මේ නිසාය.”

දිනා ගනු ලැබ තුබුනේ කුමක්ද යන්න පිලිබඳව ඇති හොඳම විස්තර කිරීම විය හැකි එක, සහ වඩාත්ම ප්‍රසිද්ධ විස්තාරනය ඉදිරිපත් වන්නේ, එදින සන්ධ්‍යාවේ සෝවියට් සම්මේලන සැසියේ දී මෙන්ෂෙවික් නායක ෆියදෝර් ඩෑන්හට ට්‍රොට්ස්කි පිලිතුරු දෙන විටය.

කුමන්ත්‍රනකාරීන්ට එරෙහි ඩෑන්ගේ ගැරහුම්වලට ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා මෙන්ෂෙවිකයන් සමඟ බොල්ශෙවිකයන් සභාගයකට එලැඹිය යුතුයැයි ඔහුගේ බලකිරීම්වලට ද පිලිතුරු දෙමින් ට්‍රොට්ස්කි මෙසේ පැවසීය:

සිදු වී ඇත්තේ නැඟිටීමක් විනා කුමන්ත්‍රනයක් නොවේ. මහජන නැඟිටීමකට සාධාරනීකරනයක් අවශ්‍ය නොවේ. අපි කම්කරුවන්ගේ ද සෙබලුන්ගේ ද විප්ලවවාදී ශක්තිය වැර ගන්වමින් සිටියෙමු. නැඟිටීමක් සඳහා මහජනතාවගේ ඇති අභිලාශය අපි එලිපිටම හැඩතල ගන්වමින් සිටියෙමු. අපේ නැඟිටීම ජයග්‍රහනය කර ඇත. අපේ ජයග්‍රහනය අත් හැර දමන ලෙසත්, එකඟතාවයකට පැමිනෙන ලෙසත් දැන් අපට කියනු ලැබේ. කවුරුන් සමඟ ද? ඔබ හැම නීච, සමගියකින් තොර තනි තනි පුද්ගලයෝ වෙති; ඔබ බංකොලොත් වී ඇත; ඔබේ කොටස අවසානය. මෙතැන් පටන් ඔබට හිමි ස්ථානයට - එනම්, ඉතිහාසයේ කුනු කූඩයට - ඔබ යා යුතුය!17

බලය අල්ලා ගැනීමෙන් පසුව පවා, නොවැම්බර් 4 වන දින, මධ්‍යම කාරක සභා සාමාජිකයෝ සිව් දෙනෙක් - කමනෙව්, සිනොවියෙව්, රිකොව් හා නොගින් - මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස් වූ අතර, ඔවුහු තවත් දෙදෙනෙකු ද සමඟ මහජන කොමිසාර් මඬුල්ලෙන් ද ඉල්ලා අස්වූහ. ලෙනින් හා ට්‍රොට්ස්කිගේ “විනාශකාරී පිලිවෙත්” හෙලා දකිමින් ඔවුහු, නව ව්‍යවස්ථාදායක සභාවක් තුල සියලු සෝවියට් පක්ෂවලින් සැදුම් ලත් සභාග ආන්ඩුවක් පිහිටුවන මෙන් ඉල්ලා සිටියෝය.

ට්‍රොට්ස්කිගේ ‘ඔක්තෝබරයේ පාඩම්‘ 1924 ඔක්තෝබරයේ පල කෙරුනු කල්හි, ඔහු මෙකී ඓතිහාසික කාරනා සිය කෘතිය තුල ඉස්මතු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ විරුද්ධවාදීන් කෙසේ ප්‍රතිචාර දක්වන්නට ඇත්දැයි මෙම දේශනයට සවන් දෙන ඔබට සිතා ගත හැකිය.

ඔහුගේ නිබන්ධය ලියැවුනේ, ට්‍රොට්ස්කිගේ එකතු කල කෘතීන් පල කිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස, රුසියානු විප්ලවයේ ප්‍රථම වසර පිලිබඳ ට්‍රොට්ස්කිගේ ලේඛන අඩංගු කොට ගනිමින් “1917” මැයෙන් යුතුව පල කෙරුනු වෙලුම් දෙකකින් යුත් ලේඛන එකතුවකට ලියූ හැඳින්වීම ලෙසය. සංඛ්‍යාවෙන් හැටකට වැඩි වූ එහි පිටු තුල, යුද්ධ හා සමාජ විප්ලවයෙන් සමන්විත අධිරාජ්‍යවාදී යුගය තුල පෙරටු බලඇනිය ලෙස මාක්ස්වාදී පක්ෂය විසින් ඉටු කෙරුනු කාර්යභාරය පරීක්ෂාවට ලක් කෙරින.

එය කවදාක හෝ ලියැවී ඇති වඩාත්ම වැදගත් හා උද්දීපනාත්මක පුස්තිකා අතරින් එකක් වේ.

බලය අල්ලා ගැනීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගන්වා ගැනීමට බොල්ශෙවික් පක්ෂය විසින් දියත් කෙරුනු අරගලය පිලිබඳ සංයුක්ත සංවර්නනයකින් ආරම්භ කරමින් එය, ධනේශ්වර ක්‍රමයට එරෙහිව සාර්ථක විප්ලවවාදී අරගලයක් දියත් කිරීමේ අතිමූලික දේශපාලන අවශ්‍යතාවයන් විස්තරාත්මකව ගෙන හැර දක්වයි.

ඔක්තෝබරයේ පාඩම් පල වූයේ, කොමින්ටර්නය හා ඊට අනුබද්ධ කොමියුනිස්ට් පක්ෂ විසින් අනුයන ලද පිලිවෙත්වල විනාශකාරී ස්වභාවය සනාථ කරමින් ඊට ඉහත වර්ෂයේ බල්ගේරියාවේ හා,- වඩාත් වැදගත් ලෙස - ජර්මනියේ ද ව්‍යවර්ථ වූ විප්ලවකාරී නැඟිටීම්වලින් ඉක්බිතිවය.

ජූනි 9 දා බල්ගේරියාවේ සිදු වූ කුමන්ත්‍රනය විසින් ගොවි ජන නායක ඇලෙක්සැන්ඩර් ස්ටැම්බොලිස්කිගේ නායකත්වයෙන් පැවැති බල්ගේරියානු ගොවිජන ජාතික සංගමයේ ආන්ඩුව පෙරලා දමනු ලැබ යුද්ධයට පෙර බල්ගේරියානු ෆැසිස්ට්වාදයේ නායකයා වූ ඇලෙක්සැන්ඩර් ට්සැන්කොව් බලයට ගෙන එන ලදී.

ගොවිජන ජාතික සංගමය හා තනි තනි කොමියුනිස්ට්වාදී ස්වේච්ඡයන් කුමන්ත්‍රනයට එරෙහිව නැඟී සිටි නමුදු, කුමන්ත්‍රනය “නාගරික හා ග්‍රාමීය ධනේශ්වරයන් අතර ගැටුමකැ”යි නිවේදනය කරමින් ඊට එරෙහිව නැඟී සිටීමෙන් වැලැකී සිටි බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකලාපය හේතු කොට ගෙන එය තලා දමන ලදී.

කොමින්ටර්නය කල් පමාවී, අගෝස්තුවේ දී - යන්තම් මසක ඇවෑමෙන්! - නැඟී සිටීමක් කරලියට ගෙන එන මෙන් කොමියුනිස්ට් පක්ෂයට බල කර සිටියේය. කම්කරුවන් හා ගොවිජනයා බලමුලු ගන්වා ගැනීමට කිසිත් කාලයක් ලබා නොදෙන ලදී. කොයිහැටිවෙතත් කොමියුනිස්ට් පක්ෂය කොමින්ටර්නයේ උපදෙස් ක්‍රියාවට ලමින් සැප්තැම්බර් 23 වන දින නැඟී සිටීමක් සංවිධානය කල අතර එය අතිශය කෲර ආකාරයෙන් මැඬ පවත්වන ලදී.

මේ ව්‍යසනය පිලිබඳව ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

සියලු සහානුභූතීන් වාමාවර්තව යමින් කොමියුනිස්ට් පක්ෂය කරා මාරු වෙමින් පැවැත්තේය. සතුරාගේ සන්නද්ධ හමුදා අල්පමාත්‍ර විය. එතෙකුදු අපි පරාජයට පත්වීමු. එහි නොපැවැතුනේ පැහැදිලි, අතැඹුලක් සේ දත් ක්‍රියාකාරී සැලසුමක් හා නියම කර ගත් මොහොතක නියම කර ගත් ස්ථානයකට එල්ල කෙරෙන තීරනාත්මක ප්‍රහාරයකි. ... මෙය වූ අත්‍යවශ්‍යයෙන්ම යුද-විප්ලවවාදී කර්තව්‍යයකි. මේ සඳහා සතුරා පසුබස්වා ලිය යුතුය, මූලාරම්භය ඔහුගෙන් උදුරා ගත යුතුය, බලය පොර බදා ඔහුගෙන් පැහැර ගත යුතුය. 18

තවමත් වඩා වැදගත් අභිප්‍රාය පැවතියේ ජර්මනිය පිලිබඳවයි.

ජර්මනියේ විප්ලවය යුරෝපා හා ලෝක විප්ලවයේ සාර්ථකත්වයේ දොර විවර කරන යතුර වූ අතර, එහි සාර්ථකත්වය මත සෝවියට් සංගමය නොවැටී ආරක්ෂාවීම රඳා පැවැත්තේය. යුරෝපයේ ආර්ථික වශයෙන් වඩාත්ම වර්ධනය වී පැවැති ධනපති බල කඳවුර වූ ඊට, පලමුවන ලෝක යුද්ධයේ විජයග්‍රාහී මිත්‍ර පාර්ශ්වයේ බලවතුන් වෙත හානිපූරන වන්දි ගෙවන ලෙස වර්සේල්ස් ගිවිසුම විසින් කොන්දේසි පනවනු ලැබ තිබින. මෙම වන්දි දිගටම ගෙවීම ජර්මානු අධිරාජ්‍යවාදීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, ජනවාරියේදී රූර් ප්‍රදේශය අල්ලා ගනිමින් ප්‍රන්සය එයට ප්‍රතිචාර දැක්වීය.

ප්‍රතිරෝධයේ පිලිවෙතක පිරිවැය දැරීමට ජර්මානු පාලකයන් දැවැන්ත පරිමානයකින් මුදල් නෝට්ටු අච්චු ගැසූ අතර, එමඟින් උද්ධමනය අතිශය ඉහල මට්ටම්වලට නැගෙමින් පන්ති ආතතීන් උත්සන්න කෙරින.

ප්‍රන්සය රූර් ප්‍රදේශය අල්ලා ගැනීමත් සමඟ, දිගදුර යන ප්‍රතිඵල දනවනු සමත් ආර්ථික හා දේශපාලන අර්බුදයක් හට ගැනින. මෙය, දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ සහාය ලබා සිටි කොමියුනිස්ට් පක්ෂයේ විශ්මයජනක වර්ධනයකට මඟ පෑදීය.

සමාජ විප්ලවය පිලිබඳ කාරනාව දැන් එකඑල්ලේ මුහුනට මුන ගස්වා තිබින. කෙසේවෙතත්, විප්ලවවාදී පිලිවෙතක් අනුයනු වෙනුවට කේපීඩීය, බලය ගැනීමට කාලය මෝරා ඇත්දැයි යන්න පිලිබඳ බෙදීම්වලින් ඉරී ගොස් තිබින. පක්ෂය සැක්සේන් හා තුරින්ජියාහි වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ සන්ධානයක් ගොඩ නඟා ගෙන තුබුනේය. පක්ෂ නායකත්වය අවසානයේ කැරලි ගැසීම සඳහා දින නියම කරගත් විට, ඊට වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සහාය නොලැබෙන නිසා එහි නායක හෙන්රිච් බ්රැන්ඞ්ලර් නැඟිටීම අවලංගු කලේය.

තීරනය ගන්නා ලද්දේ ඔක්තෝබර් 21 වන දා සැක්සේන් ප්‍රාන්තයේ කෙම්නිට්ස්හි මුලු දුන් කම්හල් සභා සම්මේලනයක දීය. ක්ලාරා සෙට්කින්ට යවන ලද ලිපියක බ්රැන්ඞ්ලර් විසින් පිලිගන්නා ලද පරිදි, මෙම සම්මේලනයේ දී මහා වැඩ වර්ජනයක් කැඳවීම මඟින් කැරැල්ල සඳහා සංඥාව ලබා දීමට නියමිතව තිබින. එහෙත්, ඔහු පැහැදිලි කල පරිදි;

මහා වැඩ වර්ජනයක් සඳහා වූ තීරනයට අත්සන් තැබීමට වාම එස්පීඩීය එකඟ කර ගැනීමට අප අසමත් වූ කල්හි, කවර හෝ තත්ත්වයක් යටතේ හෝ අපට තීරනාත්මක අරගලයට ඇතුලු විය නොහැකි බව මම පසක් කර ගතිමි. ... දැවැන්ත ප්‍රතිරෝධයකට මුහුන දෙමින් මම යොදාගත් පිලිවෙල වෙනස් කොට, අප - කොමියුනිස්ට්වරුන්- පමනක් අරගලයට පිවිසීම වලක්වා ලීමි. 19

විප්ලවය අවලංගු කිරීමට ගත් තීරනය නිසි කල්හි හැම්බර්ග් කරා ලඟා නොවීය. කැරැල්ලක් සංවිධානය කෙරුනු අතර එය හුදෙකලා එකක්ව පැවතින. කැරැල්ල තෙදිනක් තුල ලේ විලක ගිල්වා පරාජය කරන ලදී.

මේ පිලිබඳ කොමින්ටර්නයේ ප්‍රතිචාරය වූයේ සමස්ත සිදුවීමේ වරද බ්රැන්ඞ්ලර් මත පැටවීමය. එහෙත් මෙම ව්‍යසනයේ අවසාන දේශපාලන වගකීම රඳා තිබුනේ සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂ නායකත්වය හා කොමින්ටර්නය මතය; අන් හැමටත් වඩා, ඒ වනවිට ට්‍රොට්ස්කි සමඟ කන්ඩායම් අරගලයක පැටලී සිටි කොමින්ටර්න් නායකත්වය වූ සිනොවියෙව්, කමනෙව් හා ස්ටැලින් මතය.

මාස ගනනක් තුල නොව සති ගනනක් තුල ජර්මන් පක්ෂය - 1917 ඔක්තෝබරයේ බොල්ශෙවිකයන් විසින් සිදු කොට තුබූ පරිද්දෙන් - කැරැල්ලකට නායකත්වය දිය යුතුයැයි ට්‍රොට්ස්කි උද්ඝෝෂනය කර තිබින. ඔක්තෝබර් 21 වන දින, සැලසුම් කර තිබූ කැරැල්ල බ්රැන්ඞ්ලර් විසින් අවලංගු කෙරුනු දිනයේ ම, රතු හමුදාව හා රතු නාවුක හමුදාව අමතා කල දේශනයක දී ට්‍රොට්ස්කි මෙසේ ප්‍රකාශ කලේය: “විප්ලවයක යුදමය සාර්ථකත්වය සඳහා කෙනෙකුට, කවර හෝ මිලක් ගෙවා එම සාර්ථකත්වය අත්පත් කර ගැනීමේ උවමනාව තිබිය යුතුය; ඒ සඳහා තම ගමන් මඟේ හමුවන සියලු බාධක සුන් කොට දමා ක්‍රියාශීලි පරිශ්‍රමයක් දැරිය යුතුය.” 20

මීට පටහැනි ලෙස, කම්කරුවන් තවමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කෙරේ විශ්වාසය තබා සිටිතැයි අවධාරනය කරමින් සහ, “ෆැසිස්ට්වාදීන් මුලින්ම පහර දුනහොත් එය අපට වාසියක් වනු ඇතැ”21යි යනුවෙන් පවා ප්‍රකාශ කරමින් ස්ටැලින් බල කර සිටියේ ඉක්මන් නොවන ලෙසයි.

ට්‍රොට්ස්කි බලගතු ලෙස රෝගාතුරව සිටි ලෙනින් සමඟ, ස්ටැලින්ගේ රුසියානු ජාතිකවාදී පිලිවෙත්වලට එරෙහිව 1922 සිටම සන්ධානගතව කටයුතු කර තිබින. එකී ගැටුම අවසානයේ ස්ටැලින් ප්‍රධාන ලේකම් ධුරයෙන් පහ කල යුතුයැයි ලෙනින් විසින් බල කරනු ලැබීම දක්වා වර්ධනය වූ එකක් විය. 1923 දී ට්‍රොට්ස්කි වාම විපක්ෂය පිහිටුවා ගෙන තිබින.

ඔක්තෝබරයේ පාඩම් කෘතිය ඔහුගේ විරුද්ධවාදීන්ට අතිශය ප්‍රබල දේශපාලනික අතුල් පහරක් විය. එහෙත් එය හුදෙක් ව්‍යක්ත ප්‍රතිවාදයක් නොවීය. ට්‍රොට්ස්කිගේ සැලකිල්ලට පාත්‍ර වූයේ ලෝක සමාජවාදී විප්ලවයේ ඉරනම විනා ඉන් මෙපිට කිසිවක් හෝ නොවේ. එහි ප්‍රථම පරිච්ඡේදය වූ “අපි රුසියානු විප්ලවය හැදෑරිය යුත්තෙමු” තුල ට්‍රොට්ස්කි මෙසේ අවධාරනය කරයි:

කම්කරු පන්තික විප්ලවයේ නීති සහ විධික්‍රමය හැදෑරීමට, මේ දක්වා, අපගේ ඔක්තෝබර් අත්දැකීමට වඩා ප්‍රගාඪ වූ ද වැදගත් වූ ද මූලාශ්‍රයක් වෙන ඇත්තේ නැත. ඔක්තෝබරයේ ඉතිහාසය විමර්ශනාත්මක හා සමීපව සවිස්තර වූ අධ්‍යයනයක් මඟින් උකහා ගැනීමට අසමත් වන යුරෝපීය කොමියුනිස්ට් පක්ෂවල නායකයන්, සැසඳෙනු ඇත්තේ නූතන තත්වයන් යටතේ අලුත් යුද්ධවලට සැරසීමේ දී පසුගිය අධිරාජ්‍ය යුද්ධයේ මූලෝපායික, උපායික හා තාක්ෂනික අත්දැකීම් හැදෑරීමට අසමත් වන හමුදාපතියෙකුට ය. එබඳු හමුදාපතියෙක් තම හමුදාවන් අනාගතයේ දී නොවරදවා ම පරාජයට ඇද දමනු ඇත. 22

“ලෝක-ඓතිහාසික වැදගත්කමකින් යුත් සාකල්‍යයෙන්ම සුවිශේෂී වූ විප්ලවවාදී තත්වයක් වරද්දා ගත හැක්කේ කෙසේද යන්න පිලිබඳ සම්භාව්‍ය නිරූපනයක් අප ජර්මනිය තුල දුටු” 23 අයුරු ට්‍රොට්ස්කි පැහැදිලි කලේය.

කොමින්ටර්නයේ දෝෂයන් 1917 ලෙනින් යටතේ ක්‍රියාත්මක වූ බොල්ශෙවික් පක්ෂය විසින් අනුයන ලද ප්‍රවිෂ්ටය සමඟ සංසන්දනය කරමින් ඔහු කොමින්ටර්නයේ සාවද්‍යතාවයන්ට විරුද්ධත්වය දැක්වීය. එසේ කිරීමේදී ඔහු, 1917 පුරා බොල්ශෙවික් පක්ෂය ඒකාශ්මික ප්‍රපංචයක් ලෙස ක්‍රියා කොට තුබූ බවටත්, අලුත් බලපුලුවන්කාරයකු හා උඩින් පාත්වූවෙකු වන ට්‍රොට්ස්කි පිටස්තර ප්‍රවනතාවයක් වූ බවටත් සිය විරුද්ධවාදීන් විසින් කෙරුනු කියාපෑම්වල යථා තතු හෙලිදරව් කලේය.

සිනොවියෙව් හා කමනෙව්ගේ අධිෂ්ඨානසහගත හා විවෘත විරුද්ධත්වයට ද නිරන්තරව වැනෙනසුලු වූ ස්ටැලින්ගේ ආස්ථානයට ද මුහුන දෙමින් ඔක්තෝබර් කැරැල්ල වෙනුවෙන් ලෙනින් සටන් කලේය යන අපහසුතාවයට ලක් කරන සුලු සත්‍යය ට්‍රොට්ස්කි ඉස්මතු කලේය.

තවද, ඔක්තෝබර් කැරැල්ලට එරෙහි මෙම විරුද්ධත්වය මුල් බැස තිබුනේ ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාදවලට එරෙහි පරසතුරුභාවය තුලය යන කරුන මත ඔහු සිය ප්‍රමුඛ අවධාරනය රැඳවිය.

එලැඹෙන විප්ලවයේ සමාජවාදී ස්වභාවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ තක්සේරුව සමඟ ලෙනින්ගේ එකඟතාවය ආරම්භ වූයේ, අනාගත “රජතුන්කට්ටුව”ට එරෙහි අභ්‍යන්තර පක්ෂ අරගලය පැවැති මාසවලය. එකී අභ්‍යන්තර අරගලයේ ඇරඹුම සනිටුහන් කෙරුනේ ඔවුන් ධනපති තාවකාලික ආන්ඩුවට සහාය දැක්වීමට හා, යුද්ධය දිගටම පවත්වා ගෙන යාම සඳහා ඉදිරිපත් කෙරුනු ආරක්ෂනවාදී සාධාරනීකරනයන්ට දේශපාලනිකව අනුගතවීමට කටයුතු කල කල්හිය.

එසේ වුව, ට්‍රොට්ස්කි සිය හැඳින්වීම තුල පැහැදිලිව සඳහන් කලේ මෙසේය:

“1917 දී පැනනැගුනු මතභේද සැබැවින්ම අතිශය ප්‍රගාඨ විය; කිසි සේත් ම අහම්බ ද නො වී ය. එම සිද්ධීන් නොමග ගිය අයට විරුද්ධව ප්‍රහාරක අවි බවට හරවා ගැනීමට ඒවා සිදුවී අවුරුදු ගනනාවකට පසු දැන් යමෙක් උත්සාහ කරන්නේ නම් එතරම් තුච්ඡ තවත් දෙයක් තිබිය නො හැකි ය.”24

සිනොවියෙව්, කමනෙව් හා ස්ටැලින්ට එවැනි පසුතැවිල්ලක් නොවීය. අනාගතය සනිටුහන් කරමින් ඔවුහු “ට්‍රොට්ස්කිවාදයට” එරෙහිව ඒකරාශී වූහ. ලෙනින්ගේ කාර්යභාරය ලුහු කර දැක්වීයැයි ද, ලෙනින්වාදය සංශෝධනය කලේයැයි ද, 1917 වෙලුම මධ්‍යම කාරකසභාවට නොදන්වා හොර රහසේ පල කලේයැයි ද ඔවුහු ට්‍රොට්ස්කිට චෝදනා කලෝය. සිනොවියෙව් ඔහු පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයැයි ඉල්ලා සිටින තරම් දුර ගිය අතර, එමඟින් යුද හමුදා හා නාවුක කටයුතු පිලිබඳ මහජන කොමිසාර් ධුරයෙන් ද විප්ලවවාදී මිලිටරි සභාවේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස් විය යුතුයැයි හැඟෙන තැනට ට්‍රොට්ස්කි පොලඹවනු ලැබීය.

රටාව සකසනු ලැබ තිබුනේ, සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය (සීපීඑස්යූව) හා කොමියුනිස්ට් ජාත්‍යන්තරය යලි දේශපාලනිකව දිශාභිමුඛ කිරීමට ට්‍රොට්ස්කි විසින් දැරෙන සෑම ප්‍රයත්නයක්ම හමුවේ රුදුරු හා ප්‍රතිපත්ති විරහිත ප්‍රතිරෝධයක් නැගෙන පරිදිය.

ඔක්තෝබර් සිදුවීම්වලින් ට්‍රොට්ස්කි උකහා ගත් සාර්වභෞමික නිගමනවල දේශපාලන පදනම වඩාත් හොඳින් වටහා ගැනීම සඳහා මා විසින් සම්පාදනය කරන ලද ලුහුඬු ඓතිහාසික වෘත්තාන්තය ආධාරකාරී වෙතැයි මම අපේක්ෂා කරමි.

ඔක්තෝබරයේ පාඩම් කෘතියේ එන මූලිකතම ඡේදයන් නැවත නැවතත් යොමු කෙරෙන්නේ සමාජවාදී විප්ලවය තුල පක්ෂයේ අත්‍යවශ්‍ය කාර්යභාරය වෙතය. ට්‍රොට්ස්කි මෙසේ උදක්ම කියා සිටී:

පක්ෂයකින් තොරව, පක්ෂයකින් පිටස්තරව, පක්ෂයක හිසට උඩින් හෝ පක්ෂයක් වෙනුවට ආදේශකයක් යොදා ගෙන ජයග්‍රහනය කිරීමට කම්කරු පන්ති විප්ලවයට නො හැකි ය. එය පසුගිය දශකයේ මුඛ්‍ය පාඩම යි. 25

ඔහු සිය හැඳින්වීම තුල මෙසේ ලියයි:

සිද්ධීන් විසින් ඔප්පු කරනු ලැබුවේ කම්කරු පන්ති විප්ලවය මෙහෙයවීමට සමත් පක්ෂයකින් තොරව විප්ලවය කල නොහැකි බවයි. ස්වයංසිද්ධ නැගිටීමක් මගින් කම්කරු පන්තියට බලය අල්ලා ගත නො හැකි ය. ... එක් දේපල හිමි පන්තියක් තවත් දේපල හිමි පන්තියකින් බලය උදුරා ගැනීමට සමත් වන්නේ අවශ්‍ය ධන සම්පත් ද සංස්කෘතික මට්ටම ද පැරනි රාජ්‍ය යන්ත්‍රය සමග අසංඛ්‍ය සබඳතා ද මත පදනම් වී ගැනීමට ඔවුන්ට හැකි වන නිසා ය. එහෙත් කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමේදී , තමාන්ගේම පක්ෂය මිස, ඒ සඳහා යොදා ගත හැකි වෙනත් ආදේශකයක් නොමැත. 26

ට්‍රොට්ස්කි ඉනික්බිති සිය අවධානය යොමු කරන්නේ විප්ලවයක් සූදානම් කිරීමේ ක්‍රියාවලිය තුල දී වර්ධනය වන අභ්‍යන්තර පක්ෂ අරගලයේ වැදගත්කම පිලිබඳවය. දේශපාලන ප්‍රවනතා හා කන්ඩායම් අතර අරගලයෙන් ප්‍රකාශයට පත්වන්නේ පන්තිවල හෝ නො එසේනම් පන්ති කොටස්වල, එකිනෙකට පරසතුරු සමාජ උත්සුකතාවයන්යැයි අවධාරනය කරමින්, එවැනි මතභේද පිලිබඳ හුදු ආත්මීය පැහැදිලි කිරීම් ඔහු බැහැර කරයි.

විප්ලවයේ කටාහය තුල, පන්ති ගැටුම් තීව්‍රතාවයේ මුදුනටම නැඟී පක්ෂය හා එහි කාර්යධරයන් (කේඩර) මත පීඩනය යොදන කල්හි කන්ඩායම් අතර ගැටුම් නොවැලැක්විය හැකිය. ඔහු මෙසේ ලියයි:

කම්කරු පන්ති විප්ලවයේ අතිමූලික උපකරනය වනාහි පක්ෂයයි. අපේ අත්දැකීම්වල පදනම් උඩ - 1917 පෙබරවාරි සිට 1918 පෙබරවාරි දක්වා තනි එක් අවුරුද්දක් ගත්තත් -, සහ පින්ලන්තයේ, හංගේරියාවේ, ඉතාලියේ, බල්ගේරියාවේ හා ජර්මනියේ අමතර අත්දැකීම්වල ද පදනම උඩ වෙනස් කල නොහැකි න්‍යායක් තරමට ම අපට සහතික කල රීතියක් තිබේ. එනම්, විප්ලවවාදී සූදානම ඇති කර ගැනීමේ ක්‍රියාකාරිත්වයේ සිට බලය සඳහා ක්ෂනික අරගලයට පරිවර්තනය වීමේ දී පක්ෂ අර්බුදයක් පැන නැගීම අනිවාර්ය ය යන්න යි. 27

මෙය එසේ වන්නේ මන්දැයි පැහැදිලි කරමින් ඔහු තවදුරටත් මෙසේ ලියයි:

පක්ෂයක වර්ධනයේ සෑම කාල පරිච්ඡේදයක දී ම පක්ෂයකට තමන්ගේ ම විශේෂ ලක්ෂන පවතින අතර, එහි සෑම කාල පරිච්ඡේදයකට සුවිශේෂ පුරුදු හා වැඩ විධි අවශ්‍ය ය. උපායික වෙනසක් මෙම වැඩ විධිවල වැඩි හෝ අඩු බිඳීමක් අති කරයි. උපායාත්මක හැරීමක් යන්නෙන් හැඟවෙන්නේ මෙකී පරිචයන් හා විධික්‍රමවලින් විශාලතර ලෙස හෝ අල්පතර ලෙස බිඳී වෙන්වීමකි. අභ්‍යන්තර පක්ෂ ඝර්ෂනයේ හා අර්බුදවල ඉතා ම සමීප හා සෘජු මූලය පවත්නේ මෙහිය. .... වෙනස බෙහෙවින් ආකාස්මික ද හදිසි ද වුව හොත්, කලින් කාල පරිච්ඡේදයේදී පක්ෂයේ ප්‍රධාන අංශයන් තුල උදාසීනතාවේ සහ තත්වාරක්ෂකතාවේ අංග බෙහෙවින් ගොනු වී පැවතුන හොත්, වසර හෝ දශක ගනනාවක් තිස්සේ තමන් සූදානම් වෙමින් සිටි උත්තම හා තීරනාත්මක මොහොත එලඹී සිටි කල්හි පක්ෂය සිය නායකත්වය කර්තව්‍යය ඉටු කිරීමට අසමර්ථ වීමේ අන්තරාය පැන නගී. පක්ෂය අර්බුදයකින් දැදුරු වී යයි; දී ව්‍යාපාරය පක්ෂය පසු කර යමින් පරාජය කරා ඇද වැටෙයි. 28

මේ අන්තරායන් කැටිකර දක්වමින් ඔහු මෙසේ අනතුරු අඟවයි:

වඩාත් සරලව ඉදිරිපත් කරතොත්: තමන්ගේ ම පන්තියේ ඓතිහාසික කර්තව්‍යයන්ට අනුව පා තබා නො යන පක්ෂය, අනෙකුත් පන්තිවල වක්‍ර උපකරනයක් බවට පත් වේ, හෝ පත්වීමේ අවදානමට හසු වේ. 29

බලය අත්පත් කර ගැනීමට ගන්නා හැරීම අන් හැමෙකකටම වඩා අතිමූලික හැරීමකි. ට්‍රොට්ස්කි මෙය උපායාත්මක හැරීමකට වඩා මූලෝපායික එකකැ‘යි අර්ථ දක්වන්නේ, එවැනි විලක්ෂනයක් සඳහා ඇති අවශ්‍යතාවයම වුව අධිරාජ්‍යවාදයේ යුද්ධ හා විප්ලවයන්හි යුගයේ නිෂ්පාදනයකි යන ආවශ්‍යක කරුන ගෙන හැර දක්වමිනි.

පලමුවන ලෝක යුද්ධයට පෙරාතුව කැරැල්ලක් ගැසීමේ හෝ බලය ගැනීමේ කර්තව්‍යය - 1905 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට හැර - දෙවැනි ජාත්‍යන්තරයේ පක්ෂ ඉදිරියට පමුනුවනු ලැබුනේ නැත.

විප්ලවවාදී මූලෝපායය පිලිබඳ තීව්‍ර සාකච්ඡාවක් පුබුදුවාලීම් වශයෙන් 1905 විප්ලවය රුසියානු මාක්ස්වාදීන්ට මහත් වාසියක් අත්පත් කර දුන්නේය. රුසියාව වැනි ධනේශ්වර වර්ධනය කල් පමා වූ රටවල ප්‍රජාතන්ත්‍රවාදී හා ජාතික කර්තව්‍යයන් විසඳිය හැක්කේ සමාජවාදී විප්ලවයකින් බලයට එන කම්කරු පන්තිය මඟින් පමනෙකිය යනුවෙන් අවධාරනය කල නොනවතින විප්ලවයේ න්‍යාය එහි අග්‍ර ඵලය විය.

මීට පටහැනි ලෙස, දෙවැනි ජාත්‍යන්තරයේ පැතිර පැවැති බුද්ධිමය වාතාවරනය තුල දිගටම ආධිපත්‍යය දැරුවේ පාර්ලිමේන්තුවාදී උපායයන් ක්‍රියාවට දැමීම, වෘත්තීය සමිති උපාය මාර්ග, රාෂ්ටී්‍රය උපාය මාර්ග, සහයෝගී උපායයන් ආදියයි. 1893 දෙසැම්බරයේ නොයෙර් සියෙට් (භැමැ ’ැසඑ) හි පලකෙරුනු ලිපියක කාල් කෞට්ස්කි මෙම දෘෂ්ටිය පහත දැක්වෙන ලෙස පිඬු කොට දැක්වීය:

සමාජවාදී පක්ෂය යනු විප්ලවවාදී පක්ෂයකි, එහෙත් එය විප්ලව නිර්මානය කරන පක්ෂයක් නොවේ. අපේ එල්ලය ජය ගත හැක්කේ විප්ලවයක් තුලින් පමනක් බැව් අපි දනිමු. එමෙන්ම මෙම විප්ලවය නිර්මානය කිරීමට අපට ඇති බලය, එය වැලක්වීමට අපේ විරුද්ධවාදීන්ට ඇති බලය මෙන්ම, අල්ප එකක් බැව් ද අපි දනිමු. විප්ලවයක් උසි ගැන්වීම හෝ ඊට මඟ සකසා දීම අපේ කාර්යයන්හි කොටසක් නොවේ. 30

උපුටා දැක්වීම අවසන් කෙරෙන්නේ පහත දැක්වෙන ප්‍රකාශයෙනි:

සමාජ සංග්‍රාමයේ තීරනාත්මක සටන් පිලිබඳව අප කිසිවක් හෝ නොදන්නා බැවින්; ඒවා ලේ හලන සටන් හෝ එසේ නොමැති වේ ද, ද්‍රව්‍යමය බලය එහි තීරනාත්මක කොටසක් ඉටු කරනු ඇත් ද හෝ නො එසේ නම් ඒවා විශේෂිතව ආර්ථික, නෛතික හා සදාචාරාත්මක පීඩනයන් මඟින් පොරබදනු ලැබේ ද යන මේ දේ සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ ලෙස ප්‍රකාශ කරන්නට අපි අසමත් වෙමු. 31

විශේෂයෙන් අවධාරනය කල යුතු වන්නේ, එම කාලයේ කවර හෝ මාක්ස්වාදියෙකු කෞට්ස්කිගේ සූත්‍රකරනයට එකඟ නොවී නොසිටිනු ඇති බවයි. දෙවැනි ජාත්‍යන්තරයේ වඩාත්ම බලගතු පක්ෂය වූ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් පැවතුනේ පොදුවේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රසාරනයේ තතු යටතේ වූ අතර, එයට කිසියම් ඇස් බැන්දුමක් මඟින් නිර්ධන පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් මවා පෙන්වීමේ හැකියාවක් තිබුනේ නැත.

එහෙත් මෙකී වෛෂයික තතුවල දේශපාලන බලපෑම, කාලය ගතවීමත් සමඟ, ව්‍යාපාරය මත බල පැවැත්වීය. යුද්ධය හා ජාත්‍යන්තරය කෘතිය තුල ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි,

න්‍යායිකව ජර්මන් කම්කරු ව්‍යාපාරයේ ප්‍රයානය සිදු කෙරුනේ මාක්ස්වාදයේ ධජය යටතේය. එතෙකුදු වුව, එය එම යුගයේ පැවැති තතු මත රඳා පැවතීමේ දී ජර්මානු නිර්ධන පන්තියට මාක්ස්වාදය යනු, එහි ආරම්භයේ පැවැති පරිද්දෙන් වූ විප්ලවයේ වීජීය සමීකරනය නොව, පෘසියානු ශිරස්කය (හෙල්මටය) පැලඳ ගත් ජාතික-ධනේශ්වර රාජ්‍යයට අනුහුරු වීමේ න්‍යායික ක්‍රමවේදය බවට පත් විය. ....

වසර හතලිස් පහක් පුරා, කෝලාහලකාරී ප්‍රහාරයකින් බාධකයක් ඉවත් කිරීමේ වේවා, නැතහොත් විප්ලවවාදී ප්‍රගමනයක් තුල කිසියම් එදිරිවාදී ආස්ථානයක් ග්‍රහනය කිරීමේ වේවා, එකදු අවස්ථාවක් හෝ ඉතිහාසය විසින් ජර්මානු නිර්ධන පන්තියට දෙනු ලැබ නොතිබින. සමාජ බලවේග සමඟ අන්‍යොන්‍ය සබඳතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස, බාධක මඟ හැර යාමට හෝ ඒවාට අනුහුරු වීමට ඊට බල කෙරින. මෙහිදී, න්‍යායක් ලෙස මාක්ස්වාදය දේශපාලන මඟ පෙන්වීමෙහි ලා අගනා මෙවලමක් වුව, පන්ති ව්‍යාපාරයේ අවස්ථාවාදී ස්වභාවය වෙනස් කිරීමට ඊට හැකියාවක් නොවීය. සාරය වශයෙන් ගත් කල එකී කාල පරිච්ඡේදයේ එංගලන්තයේ, ප්‍රන්සයේ හා ජර්මනියේ එකාකාරවම පැවැති තතු එපරිද්දෙන් විය. 32

යුද්ධය ඇවිල යාමත් සමඟ තීරනාත්මක වූයේ දෙවැනි ජාත්‍යන්තරයේ පක්ෂවල නිල මාක්ස්වාදී ආස්ථානය නොව ඒවායේ භාවිතයේ වූ ප්‍රතිසංස්කරනවාදී ස්වභාවය හා, එ‘විසින් උපත දෙන ලද දේශපාලන අවස්ථාවාදයත්, ධනපති පර්යායතුලට සමෝධානය වීමත්ය.

සිය සමස්ත ඉතිහාසයම අවස්ථාවාදයට එරෙහි අනවරත අරගලයක ඉතිහාසයක් වන බොල්ශෙවික් පක්ෂය ලෝකය මෙතෙක් දැක ඇති වඩාත්ම විප්ලවවාදී පක්ෂය වෙයි. ට්‍රොට්ස්කි පැහැදිලි කරන පරිදි:

සාර්වාදී රාජාන්ඩුවට එරෙහි වීරෝදාර අරගලයේ සම්ප්‍රදායයන්; රහස් ක්‍රියාකාරකම් හා බැඳුනු විප්ලවවාදී ස්වයං පරිත්‍යාගයේ පරිචය; මානව වර්ගයාගේ විප්ලවවාදී අත්දැකීම් පුලල්ව න්‍යායිකව අධ්‍යයනය කිරීම හා උකහාගැනීම; මෙන්ෂෙවික්වාදයට, නරෝද්නික්වාදයට (අරාජකවාදයට) සහ සම්මුතිවාදයට ද එරෙහි අරගලය; 1905 විප්ලවයේ අතිමහත් අත්දැකීම්; ප්‍රතිවිප්ලවයේ වසර ගනනාව තුල දී මෙකී අත්දැකීම් න්‍යායිකව හැදෑරීම හා උකහා ගැනීම; 1905 විප්ලවාදී පාඩම්වල ආලෝකයෙන් ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ ගැටලු පරික්ෂා කිරීම- යන මේ දේවල් ඒවායේ සමස්තයක් වශයෙන්, අපේ පක්ෂයට සුවිශේෂී විප්ලවවාදී පන්නරයක් ද, ශ්‍රේෂ්ඨ න්‍යායික තීක්ෂ්න භාවයක් ද, අතුල්‍ය විප්ලවවාදී පිරිසැරියක් ද ලබා දෙන ලද්දේ, සමස්තය ලෙස ගත් කල, මේ සියල්ල විසිනි. 33

කෙසේවෙතත්, මෙම පක්ෂය තුල පවා කැරැල්ලට එරෙහි විරුද්ධත්වය බලගතු විය. එය, ලෝක විප්ලවය කරා පරිශ්‍රම දැරූ නිර්ධන පන්ති ප්‍රවනතාවක් හා, තමන්ගේ දේශපාලනය විසින් නිර්ධන පන්තිය ධනපති පර්යායට යටත් කිරීම කරා මෙහෙයවන ලද සුලු ධනේශ්වර ප්‍රවනතාවයක් අතර ගැටුමක් ඉස්මත්තට ගෙන ආවේය.

එදා මෙන්ම ඉන් පසු එලැඹෙන විප්ලවවාදී අවස්ථාවන්හි දී ද මෙවන් අභ්‍යන්තර අරගලයෝ අහඹු සිදුවීම් නොව නොවැලැක්විය හැකි ඒවා වෙත්:

බොල්ශෙවික්වාදය යනුවෙන් - මෙහිදී අවධාරනය කරන්නේ එහි සාරභූත අංශයයි. - අප වටහා ගන්නේ කම්කරු පන්තියේ පෙරටු බලඇනියට අවි අතැතිව බලය අල්ලා ගැනීමට හැකි කරන්නා වූ පුහුනුවක්, පන්නර ගැන්වීමක්, සහ සංවිධානයක් ලබා දීම නම්; අනෙක් අතට සමාජ ප්‍රජාතන්ත්‍රය යනුවෙන් අප අදහස් කරන්නේ ධනේශ්වර සමාජයේ රාමුව තුල ප්‍රතිසංස්කරනවාදී විපක්ෂ ක්‍රියාකාරිත්වයන් පිලිගැනීම සහ ධනේශ්වර සමාජයේ නීතියුක්ත භාවයට අනුගත වීම නම් - එනම්, ධනේශ්වර රාජ්‍යයේ අනුල්ලංඝනීය භාවය කාවැද්දීමට ජනතාව සැබවින්ම පුහුනු කිරීම නම්; එවිට, සත්තකින්ම, පරම වශයෙන්ම, පහත සඳහන් දෙය පැහැදිලි වෙයි; ඉතිහාසයේ කෝව තුලින් පූර්න ලෙස වාත්තු වී පැන නොනගින කොමියුනිස්ට් පක්ෂය තුල පවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවනතාවයන් හා බොල්ශෙවික්වාදය අතර අරගලය අතිශයින්ම පැහැදිලි, විවෘත හා වෙස් නොවැසූ ස්වරූපයෙන් එලියට එන්නේ බලය පිලිබඳ ප්‍රශ්නය මුහුනට මුහුන ලා ඉස්මතු වන ආසන්න විප්ලවවාදී කාල පරිච්ඡේදය තුල දී ය. 34

මට අවධාරනය කිරීමට අවශ්‍ය අවසාන කාරනය වන්නේ විප්ලවය තුල ලෙනින්ගේ කාර්යභාරය ට්‍රොට්ස්කි තක්සේරු කලේ කෙසේද යන්නයි. ඔව්, කැරලි ගැසීමේ අරගලය පක්ෂයේ ධජය යටතේ දියත් කිරීම හෝ, නොඑසේනම් සෝවියට් සභාවල ධජය යටතේ එසේ කිරීම පිලිබඳ උපායාත්මක ඵලදායීතාවය සම්බන්ධ කරුනෙහි දී ඔහු ලෙනින් හා එකඟ වූයේ නැත. එහෙත් කැරලි ගැසීමේ මාවත ඔස්සේ පක්ෂ නායකත්වය පෙරට ගෙන යාමෙහි ලා ලෙනින් ඉටු කල අත්‍යවශ්‍ය ඓතිහාසික කාර්යභාරය පිලිබඳව ඔහු තරම් විශිෂ්ඨ ලෙස දැනුවත්ව සිටි අනෙකෙකු නැත:

ඔහු ඒත්තු ගන්වන සුලු වාක්පටුත්වයකින් යුතුව මෙසේ අසයි:

එබඳු ඓතිහාසික සිද්ධියක් පැය 24 ක් තරම් කෙටි කාලයක් තුලතීන්දු වීම සැබැවින්ම සත්‍යයක් විය හැකි ද? ඔව්. එසේ ය. .. ලෙනින් අනතුරු කාහලය නාද නො කලේ නම්, ඔහුගේ තීව්‍ර හා උද්වේගකර විප්ලවවාදී අවිශ්වාසය නොපැවතුනි නම් පක්ෂය තීරනාත්මක මොහොතේදී තම පෙරමුන එකාග්‍ර කර ගැනීමට අසමත් වීමට ඉඩ තිබුනි. මන්ද යත්, පක්ෂ මුදුනන් අතර විරුද්ධතාව බෙහෙවින් ශක්තිමත් වූ නිසා ය. සිවිල් යුද්ධ ද ඇතුලු සියලු යුද්ධ තුල දී කාර්ය මන්ඩලය වැදගත් ක්‍රියා කලාපයක් ඉටු කරයි. 35

කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් මුහුන දෙනු ලබන දේශපාලන කර්තව්‍යයන් සාරාංශගත කරන සංක්ෂිප්ත වූත් ප්‍රගාඪ වූත් ඡේදයකින් ඔහු මෙසේ සමාප්ත කරයි:

කොමියුනිස්ට් පක්ෂ බෝල්ශෙවිකරනය කිරීම යන්නේ අර්ථය කුමක්ද? එය වනාහි, එම පක්ෂවලට ඔවුන්ගේ ඔක්තෝබරයේ හෝරාව එලඹෙන විට නායක මන්ඩල “පාවෙන” තත්වයකට පත් නොවන පරිද්දෙන් එම නායකත්වයන් තෝරා පුහුනු කිරීමයි. “හේගල්ගේ සමස්ත ඥානයේ ද, පොත්වල ඇතුලත් සියලු ඥානයේ ද සියලු දර්ශනවාදයේ අර්ථය ද එය ම වන්නේ යි.” 36

ට්‍රොට්ස්කි විසින් ලියන ලද ස්ටැලින්ගේ චරිතාපදානයෙහි එන එක් ප්‍රධාන ඡේදයක් ලෙනින් වන් සුධීමත් නායකයෙකු හා විප්ලවවාදී පක්ෂය අතර පවත්නා සම්බන්ධතාවය විමසා බලයි.

මතුපිටින් ගත් කල, විප්ලවය තුලදී, සුධීමත් නායකයෙකු ලෙස ලෙනින්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් යෙදෙන අවධාරනය හා පෙරටු බලඇනි පක්ෂයේ අත්‍යවශ්‍ය කාර්යභාරය අතර ප්‍රතිවිරෝධයක් ඇති බවක් පෙනී යයි. එහෙත් ඒ වූ කලී, මේ දෙක අතර සම්බන්ධතාවය නිසි සේ නොවටහා ගැනීමේ ප්‍රතිඵලයකි.

ට්‍රොට්ස්කි මෙසේ අසයි:

එහෙත් සති කිහිපයක කෙටි කාලයක් තුල පක්ෂයේ ගමන්මඟ නව මාවතකට හරවා ගැනීමට ලෙනින් සමත් වූයේ කවර ප්‍රාතිහාර්යයකින් ද? මීට පිලිතුර සොයා යාමේදී දිශා දෙකක් - එනම්, ලෙනින්ගේ පෞද්ගලික ගුනාංගයන් හා වෛෂයික තත්වය - එකවිට විමසා බැලිය යුතුව ඇත. ලෙනින් ශක්තිමත්ව හුන්නේ හුදෙක් ඔහු පන්ති අරගලයේ නියාමයන් වටහා ගෙන සිටි නිසාම පමනක් නොව, චලනයේ පවතින මහජනතාවගේ ආලෝලනයන්ට ඔහුගේ ශ්‍රවනේන්ද්‍රිය නිරවද්‍ය ලෙස සුසර කර තිබීම ද නිසාය. නිර්ධන පන්තියේ පෙරටු බලඇනිය ලෙස පක්ෂ යාන්ත්‍රනය ඔහු විසින් එපමනකටම නියෝජනය නොකෙරින. ... ලෙනින් ආනුභාවය පැවැත්වූයේ එපමනකටම තනි පුද්ගලයෙකු වශයෙන් නොව, ඔහු පක්ෂය මත පන්තියේ ආනුභාවය ද, පක්ෂ යාන්ත්‍රනය මත පක්ෂයේ ආනුභාවය ද මූර්තිමත් කල නිසාය. 37

ඔහු තවදුරටත් ප්‍රශ්න කරන්නේ; “ලෙනින් බොල්ශෙවික් පක්ෂය තුල සියල්ල වූ බවත්, අන් සියල්ලන් හුදු ශුන්‍යයක් බවත් මින් අදහස් කෙරේ ද?” යනුවෙනි. එවැනි තක්සේරුවක් ඔහු බැහැර කරයි:

සුධීමත්හු හුදු තමා තුලින්ම විද්‍යාව නිර්මානය නොකරති; ඔවුන් හුදු සාමූහික චින්තනයේ ක්‍රියාවලියේ වේගය වැඩි කරනු පමනෙකි. බොල්ශෙවික් පක්ෂයට සුධීමත් නායකයෙක් සිටියේය. එය අහඹුවක් නොවේ. ලෙනින්ගේ සා සැකැස්මකින් හා පෘථුලතාවයකින් යුත් විප්ලවවාදියෙකු නායකයා වනු ඇත්තේ තම සංකල්ප හා ක්‍රියාමාර්ග ඒවායේ තාර්කික නිගමනය කරා දරා ගෙන යාමේ ධාරිතාවයකින් යුත් නිර්භයතම පක්ෂයට පමනෙකි. ... සාමූහික විද්‍යාත්මක කාර්යයන්ගෙන් තොර වූ කල නිව්ටන් හා ඩාවින් යම් තාක් අසරන අඩියකට වැටෙත් ද, පක්ෂය නොතිබෙන්නට ලෙනින් ද එතරම්ම අසරන තත්ත්වයකට පත් වනු ඇත. 38

විප්ලවවාදී සිද්ධීන්වල රශ්මිය තුල ලෙනින් සඳහන් කලේ, මෙන්ෂෙවිකයන් සමඟ සංවිධානාත්මක එක්සත්භාවයක් පැවැත්විය නොහැකි බැව් ට්‍රොට්ස්කි විසින් වටහා ගැනුනු පසු, “ඔහුට වඩා හොඳ බොල්ශෙවිකයෙක් නොවූ” බවයි.

ඔක්තෝබරයේ පාඩම් කෘතිය අවබෝධ කොට ගත යුත්තේ ට්‍රොට්ස්කි විසින් බොල්ශෙවික්වාදයේ සාරය සමීකරනය කර ගනු ලැබීමේ බුද්ධිමය ඵලය ලෙසය.

1982 දී ඩේවිඩ් නෝර්ත්, ‘ලියොන් ට්‍රොට්ස්කි හා මාක්ස්වාදයේ වර්ධනය‘ යන සාමූහික මාතෘකාව යටතේ රචනාවන් හතරක් ලිවීය.

නෝර්ත් මෙසේ ලියයි:

මාක්ස්වාදී පක්ෂයක නායකත්වය විසින් දින කිහිපයක කාල සීමාවක් තුල ගනු ලබන තීරන මත, වර්ෂ ගනනාවකට - සහ ඇතැම් විට දශක ගනනාවකට - සමාජවාදී විප්ලවයේ ඉරනම රඳා පවතින්නේය යන සංකල්පය, රුසියාව තුල හා ජාත්‍යන්තර පරිමානයකින් කම්කරු පන්තිය ලද සංයුක්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම්ව ට්‍රොට්ස්කි විස්තාරනය කලේ ය.

කේඩර පුහුනු කිරීමේ හා ජාත්‍යන්තරයේ කාර්යභාරය පිලිබඳ සංකල්ප නව ඓතිහාසික අන්තර්ගතයකින් පොහොසත් කෙරින. ... කොමින්ටර්නයේ ඓතිහාසික කාර්යභාරය වූයේ එහි ශාඛාවන්හි නායකත්වය තුල මෙම කර්තව්‍යය සපුරාලීමට සමත් ජාත්‍යන්තර කේඩරයක් පුහුනු කර ගැනීම යි. 39

විප්ලවය සඳහා සූදානම්වීම හා එහි සාර්ථකත්වය සහතික කර ගැනීම යනු පක්ෂ කේඩරය හා, සියල්ලමටත් වඩා එහි නායකයන්, ඔක්තෝබරයේ පාඩම් කෘතියෙහි ට්‍රොට්ස්කි ලියූ පරිදි “තමන්ගේ ඔක්තෝබරයේ හෝරාවට මුහුන දුන් කල්හි අවිනිශ්චිත ලෙස ගසා ගෙන යාමෙන් ඔවුන් වලකා ලනු ඇති වර්ගයේ පුහුනුවක් ලබා දෙමින් හා එසේ වලකනු ඇති වර්ගයේ නායක නිලධාරී මන්ඩලයක් තෝරා ගැනීම් කරා මඟ පෙන්වමින්”, ඔවුන් මාක්ස්වාදීන් වශයෙන් වර්ධනය කිරීමයි.

පක්ෂය “විප්ලවයේ මූලෝපායය උගන්වන පාසලක්” ලෙස ට්‍රොට්ස්කි වර්ධනය කල සංකල්පයේ අර්ථය වන්නේ ද, “හේගල්ගේ, පොතපතෙන් ලැබෙන ප්‍රඥාවේ හා සියලු දර්ශනවාදයන්ගේ අර්ථයෙහි සමස්තය වන්නේ” ඊලඟ ඔක්තෝබරය සඳහා සූදානම්වීමයැයි ඔහු පැවසීමේ හේතුව වන්නේ ද, “තීක්ෂන, ස්ථිරසාර හා ධෛර්ය සම්පන්න පක්ෂ නායකත්වයකින් තොරව නිර්ධන පන්ති විප්ලවයේ ජයග්‍රහනය ලබා ගත නොහැකි”යැයි ඔහුගේ අවධාරනයේ හේතුව වන්නේ ද එයයි.

අද දින, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනක්ම, ඔක්තෝබර් විප්ලවයේ පාඩම් උගත යුතු බවට වන ට්‍රොට්ස්කිගේ අවධාරනය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගනී.

ඔක්තෝබර් විප්ලවය ලෝක ඉතිහාසය තුල ඇති වූ වඩාත්ම බීජභූත සිදුවීම වෙයි. එහිදී සමස්ත ඉතිහාසයේ ප්‍රථමවරට කම්කරු පන්තිය ධනේශ්වර පර්යාය පෙරලා දමා ලෝක සමාජවාදී විප්ලවයේ මාවතේ ප්‍රථම වීරෝදාර පියවර තැබීය.

විප්ලවය පසු කර යමින් වර්ධනය වූ දරුනු සිදුවීම්වලට - ස්ටැලින් යටතේ නිලධාරිවාදී පරිහානියට හා එමඟින් සිදු කල බිහිසුනු අපරාධවලට - මෙම ඓතිහාසික ජයග්‍රහනයේ දීප්තිය හීන කිරීමට හෝ, ඉන් උගත හැකි සියල්ල උගැනීමෙන් කම්කරු පන්තිය වලකා ලීමට ඉඩ දිය හැකි නොවේ.

මෙම දේශන මාලාව ශ්‍රවනය කල අය, ට්‍රොට්ස්කි විසින් - යුද්ධයට හා ආරක්ෂනවාදයට එරෙහි අරගලය, නොනවතින විප්ලවයේ න්‍යාය හා ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාද, ජූලි දවස්, ඔක්තෝබරය සඳහා සූදානම්වීම, ආදී වශයෙන් වූ - ගැටලු සමඟ පොර බදන ලද්දේ කෙසේද යන්න අපේම ඉදිරිපත් කිරීම්වල ආවශ්‍යක විෂය කරුනුව පැවැති බව හඳුනා ගනු ඇත.

අප සමාජවාදී විප්ලවය සඳහා මාවත සකසන්නේ එපරිද්දෙනි, එනම්, කම්කරු පන්තියේ හා තරුන ජනයා අතර හොඳම හා වඩාත්ම දුරදිග දක්නා කොටස්වලට දේශපාලන අධ්‍යාපනය ලබාදීම මඟිනි.

ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල වන සංක්‍රමන ක්‍රියාමාර්ගයෙහි මෙසේ ලිවීය:

සමාජවාදය සඳහා තව මත් ඓතිහාසික තත්වයන් “මෝරා” නැතැයි කරන සියලු දෙඩවිලි අඥත්වයේ නැත හොත් දැනුවත් වංචාවේ නිෂ්පාදිත යි. නිර්ධන පන්ති විප්ලවය සඳහා වෛෂයික පූර්වාවශ්‍යතා “මෝරා” ඇතුවා පමණක් නො ව, තරමක් දුරට කුණු වන්ට ද පටන් ගෙන ඇත. යටත් පිරිසෙයින් මීලඟ ඓතිහාසික යුගයේ දී සමාජවාදී විප්ලවයක් නො සිදු වුව හොත් මානව වර්ගයාගේ මුළු මහත් සංස්කෘතියට ම මහා විනාශයක් එල්ල වන්නේ ය. දන් වාරය නිර්ධන පන්තියට යි; එනම්, ප්‍රධාන වසයෙන් ම එහි විප්ලවවාදී පෙරඇණියට යි. මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇත්තේ ය. 40

මෙම අර්බුදය විසඳීම යන්නෙහි අර්ථය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට බැඳෙමින් එය ගොඩ නැගීමයි. ලෝක ධනේශ්වර ක්‍රමය යුද්ධ හා විප්ලවයන්හි නව කාල පරිච්ඡේදයකට බැස ගන්නා කල්හි, එහි සාමාජිකත්වය තුල වැඩි දියුනු කම්කරුවන් හා තරුන තරුනියන්, ඒ සා හදිසි අවශ්‍යතාවයක්ව ඇති විප්ලවවාදී දේශපාලන නායකත්වය ලෙස පන්නරය ලබනු ඇත.

සටහන්

1.ඩේවිඩ් නෝර්ත්, රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? වෙලුම 1, (කම්කරු මාවත ප්‍රකාශන, 2017 සැප්තැම්බර්) 25-26 පිටු

*දේශනය පැවැත්වුනේ 2017 ඔක්තෝබර් 28.

2. ලියොන් ට්‍රොට්ස්කි, ඔක්තෝබරයේ පාඩම්, (කම්කරු මාවත ප්‍රකාශන), 47-48-49 පිටු

3. වී. අයි. ලෙනින් “බොල්ශෙවිකයින් බලය ගත යුතුය”Collected Works එකතුකල කෘති, 26 වෙලුම, ප්‍රගති ප්‍රකාශකයෝ, 1977, 19 පිට.

4. ලෙනින්, “අර්බුදය මෝරා ඇත” Collected Worksඑකතුකල කෘති 26 වෙලුම, 84 පිට.

5. එම., “උතුරු පලාතේ සෝවියට් සමුලුවට සහභාගී වන බොල්ශෙවික් සහෝදරවරුන් වෙත ලිපියක්” 182 පිට.

6. එම., 182-83 පිටු.

7. එම, “රුසප්‍රකප(බො) මධ්‍යම කාරක සභා රැස්වීම, 1917 ඔක්තෝබර් 10 (23)” 190 පිට.

8. ජෝසෆ් ස්ටැලින්, “අතිශයින්ම කීර්තිමත් පක්ෂ නායකයින්ගේ භූමිකාව” 1918 නොවැම්බර් ප්‍රව්දා පුවත්පත, ලියොන් ට්‍රොට්ස්කි, ඔයැ ීඒකසබ ීජයදදක දf ත්‍්කිසසෙජ්එසදබ මුසාකරනයේ ස්ටැලින් ගුරුකුලය, (ලන්ඩන්, නිව්පාක් පබ්ලිකේෂන් 1974), 10. පිට.

9. ලියොන් ට්‍රොට්ස්කි, ඔක්තෝබරයේ පාඩම්, (කම්කරු මාවත ප්‍රකාශන), 69-70 පිටු

10. ඉහතින් උපුටා දැක්වූ සියල්ල: ග්‍රිගෝරි සිනවියෙව් (ලෙව් කමනෙව් සමඟ) “මූලික බොල්ශෙවික් පක්ෂ සංවිධාන වෙත යවන ප්‍රකාශනය, 1917 ඔක්තෝබර් 11 (24), උපුටාගත්තේ රොබට් ඩැනියෙල්ගේ පරිවර්තනය සහිත රුසියානු කොමියුනිස්ට්වාදයේ වාර්තාගත ඉතිහාසය නිව් ඉන්ග්ලන්ඞ් යුනිවසිටි ප්‍රෙස්, 56 පිට

11. ලියොන් ට්‍රොට්ස්කි, ඔක්තෝබරයේ පාඩම්, (කම්කරු මාවත ප්‍රකාශන), 57 පිට

12. එම., 58-59 පිටු

13. ලෙනින්, අධිරාජ්‍යවාදය ධනවාදයේ උසස් අවධිය ය, “පන්ස සහ ජර්මන් සංස්කරනයන්ට ලියූ හැඳින්වීම” තුල (ප්‍රගති ප්‍රකාශකයෝ ) 17 පිට.

14. ලෙනින්, Collected Works එකතුකල කෘති හි “බොල්ශෙවික් පක්ෂ සහෝදරවරුන් වෙත ලිපියක්” 26 වෙලුම, 217 පිට.

15. එම, සහෝදරවරුන්ට ලිපියක්, 206-07 පිටු

16. ලියොන් ට්‍රොට්ස්කි, My Life, මගේ ජීවිතය (නිව් යෝර්ක්: පාත්ෆයින්ඩර් ප්‍රෙස් 1970) 326-27 පිටු

17. එම, 328 පිට

18. ලියොන් ට්‍රොට්ස්කි, Military Writings and Speeches, Vol. 5 මිලිටරි රයිටිංග්ස් ඇන්ඞ් ස්පීචස්, වෙලුම 5 (ලන්ඩන්: නිව් පාර්ක් පබ්ලිකේෂන්ස්, 1981), 224-25 පිටු

19. පීටර් ෂ්වාස් ගෙන් උපුටාගත්, “The German October: The missed revolution of 1923, Part 2,” “ජර්මානු ඔක්තෝබරය: අහිමිවූ විප්ලවය 1923, දෙවන කොටස, http://www.wsws.org/en/articles/2008/10/1923-o31.html

20. ට්‍රොට්ස්කි, මිලිටරි රයිටිංග්ස්, 133 පිට

21. ෂ්වාස් ගෙන් උපුටාගත් https://www.wsws.org/en/articles/2008/10/1923-o31.html

22. ලියොන් ට්‍රොට්ස්කි, ඔක්තෝබරයේ පාඩම්, (කම්කරු මාවත ප්‍රකාශන) 21 පිට.

23. එම., 18 පිට.

24. එම., 18 පිට.

25. එම., 84 පිට.

26. එම., 19 පිට.

27. එම., 21 පිට.

28. එම., 21-22 පිටු.

29. එම., 22 පිට.

30. කාල් කෞට්ස්කි, The Road to Power බලය කරා මාවත. (නිව් යෝර්ක්: ප්‍රිස්ම් කී ප්‍රෙස්, 2013) 47-48 පිටු.

31. එම., 48 පිට.

32. ලියොන් ට්‍රොට්ස්කි, The War and the International යුද්ධය හා ජාත්‍යන්තරය (ඕක් පාර්ක්, එම්අයි: මේරිංග් බුක්ස්, 2017), 65-66 පිටු.

33. ලියොන් ට්‍රොට්ස්කි, ඔක්තෝබරයේ පාඩම්, (කම්කරු මාවත ප්‍රකාශන) 86 පිට.

34. එම., 31-32 පිටු.

35. එම., 69 පිට.

36. එම., 89 පිට.

37. ට්‍රොට්ස්කි,Stalin ස්ටැලින්, (ලන්ඩන්: වෙල්රෙඞ් බුක්ස්, 2016) 258 පිට.

38. එම 259-60 පිටු

39. ඩේවිඩ් නෝර්ත්, ටොම් හෙනහන් (1951-1977) ලියොන් ට්‍රොට්ස්කි හා මාක්ස්වාදයේ වර්ධනය, (කම්කරු මාවත ප්‍රකාශන, 2015), 77-78 පිටු.

40. ධනවාදයේ මරලතෝනිය හා හතර වන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේදී සම්මත කෙරුන සංක්‍රමණ ක්‍රියා මාර්ගය හා හතරවන ජාථ්‍යන්තරයේ ව්‍යවස්ථා, (කම්කරු මාවත ප්‍රකාශන, 1988), 2 පිටුව.

Share this article: