ශ්‍රී ලංකාවේ උතුරේ දිස්ත්‍රික්ක ගංවතුර විනාශයකට ලක්වේ

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 දෙසැම්බර් 28

මෝසම් වැස්සෙන් ඇතිවූ හදිසි ගංවතුර නිසා පසුගිය සතියේ සිට උතුරේ දිස්ත්‍රික්කවල පවුල 30,000ක පමන පුද්ගලයන් 90,000කට වැඩි පිරිසකට බලපා ඇත. ආපදා කලමනාකරන අමාත්‍යාංශයේ තත්ත්ව වාර්තාවට අනුව කිලිනොච්චියේ 55,000ක්, මුලතිවුහි 27,000ක් හා යාපනයේ 13,000ක් පමන මේ අතර සිටිති.

මරන දෙකක් සිදු වී නිවාස 2,600ක් සම්පූර්නයෙන් හෝ අර්ධ වසයෙන් හානියට පත් වී ඇති අතර, ජීවිකාවන්ට සිදු වූ විනාශය අතිමහත් ය. 1983 පටන් අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් අවුරුදු 30 කට ආසන්න කාලයක් ගෙන ගිය වාර්ගික යුද්ධය තුලදී සිදුකල මරාදැමීම් හා තුවාල කිරීම්වලින් ද නිවාස ඇතුලු දේපොල පාහේ බිමට සමතලා කරමින් ද මේ සියලු දිස්ත්‍රික්ක විනාශභාග් වී ඇත.

2009 මැයි මාසයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කරමින් යුද්ධය අවසන් වී දස වසරකට ආසන්න කාලයක් ගතවී ඇතද බහුතරයක් ජනයා තාමත් ජීවත් වන්නේ ප්‍රමානවත් ජලය හා විදුලිය වැනි මූලික පහසුකම් හා සුදුසු නිවාස රහිත ව ය. බොහෝ ජනයා ජීවිකාව උපයා ගන්නේ වී හා අනෙකුත් බෝග වගා කිරීමෙන් හා හරකුන් ඇති කිරීමෙනි.

මේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි පතනය වූ බව වාර්තා විය. ලෝසවෙඅ වෙත කතා කල ජනයා පැවසුවේ අධික ගංවතුර තත්ත්වයට එක් හේතුවක් වූයේ නිසි සැලසුමකින් තොර මහා මාර්ග හා කුඩා මාර්ග ඇතුලු යටිතල ව්‍යූහයන් ඉදිකිරීම බව යි. මහජනයාට දැනුම් දීමක් නො කර කිලිනොච්චියට කිලෝමීටර 21ක් දුරින්පිහිටි මෑත දී නවීකරනය කරන ලද ඉරනමඩු ජලාශයේ වාන් දොරටු ක්ෂනික ව විවෘත කිරීම ගංවතුර මට්ටම් වැඩිවීමට හේතු විය. මේ ප්‍රදේශවල ගංවතුර ස්වාභාවික හේතූන්වලට වඩා යුද්ධයෙන් ඇති කෙරුනු විනාශයන් නිසා මිනිසුන් මුහුන දෙන ව්‍යසනයකි.

පාබල, නාවික හා ගුවන් හමුදාවල සොල්දාදුවන් විශාල වසයෙන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත බව බොහෝ මාධ්‍ය වාර්තා සඳහන් කොට ඇත. මිලිටරිය මිනිසුන් කුඩා ඩිංගි බෝට්ටුවලින් ගෙන යාම පෙන්වන ඡායාරූප හා වීඩියෝ පට පලකර ඇත. විශාල ලෙස ආරක්ෂිත උතුරේ කඳවරුවල පමනක් සන්නද්ධ හමුදා තුනට අයත් භටයන් ලක්ෂයකට වැඩි පිරිසක් රඳවා ඇත.

මෙම මාධ්‍ය ප්‍රචාරය මුදාගැනීමේ මෙහෙයුම් හුවා දක්වා මහජන වෛරයට පාත්‍ර වී උතුර වාඩිලාගෙන සිටීම නිසා වෛරයට ලක්ව සිටින හමුදාවල ප්‍රතිරූපය ගොඩනැගීමේ අභ්‍යාසයකි. මිනිසුන් කිහිප දෙනෙකු මුදාගැනීමේ නිරත වූ සොල්දාදුවන් කන්ඩායමක් ඡායාරූපයකට පෙනී සිට සවස් වීමට පෙර කඳවුරුවලට යායුතු බව කියමින් ප්‍රදේශයෙන් පිට වී යනු අපේ වාර්තාකරුවෝ දුට හ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහජනයාට ආධාර සපයන ලෙස අදාල අමාත්‍යාංශවලට උපදෙස් දුන් බවට වාර්තා පවතී. ව්‍යසන සමයක් තුල මහජන කෝපය අපසරනය කිරීම සඳහා මෙවන් සුපුරුදු නිවේදනයන් කෙරෙතත් ඒවායින් මහජනයාගේ දුක්පීඩා නම් ආමන්ත්‍රනය කෙරන්නේ නැත.

ඌරියන් ප්‍රදේශයෙන් පැමිනි මහලු පුද්ගලයන් හා කුඩා ලමුන් සමග ආසන්න වසයෙන් 700ක් තදබද කොන්දේසි යටතේ නැවතී සිටින මුරසුමෝට්ටෙයි කඳවුරට අපි ගියෙමු. ඌරියන් හා මුරසුමෝට්ටෙයි පලමු කොටස යන ගම්මානවලට ද අපි සංචාරය කලෙමු.

මුරසුමෝට්ටෙයි පාසලේ පිහිටුවා ඇති කඳවුර

මුරසුමෝට්ටෙයි පාසලේ පිහිටුවා ඇති කඳවුරෙහි ජීවත් වන සියල්ලන්ට තිබෙන්නේ එක් වැසිකිලියක් පමනි. ජල පහසුකම් නැති නිසා මහජනයා ඔවුන්ට බෝතල් කල ජලය සපයා ඇත. උයා පිහාගෙන කෑම සඳහා ග්‍රාම නිලධාරීහු ආන්ඩුවේ ආධාර ලෙස වියලි ආහාර සපයා තිබේ. විශේෂයෙන් ම රාත්‍රී කාලයේ අධික ලෙස මදුරුවන් සිටින නිසා නිදාගැනීම අතිශයින් අසීරු ය. මාරක මදුරුවන්ගෙන් වැලකීමට කල හැකි දෙයක් නැති නිසා ජනයා මදුරු දඟර පාවිච්චි කරති. මහජනයා ආපසු නිවෙස්වලට යාමට කාංසා සහිත ව බලාසිටිති. ඔවුන් සියලු දෙනා කුඩා පරිමානයේ ගොවියන් ය.

ඌරියන් ගම්මානයේ ලයිලිතා මේරි මෙසේ කීවා ය:

ලයිලිතා මේරි

“ගේ වටේට ගංවතුර තිබුනා. මගේ පුංචි ඉඩමේ මම කඩල හා කව්පි වවා තිබෙනවා. මම වී ත් වගා කලා. වැස්සට ඒ ඔක්කොම හේදිලා ගියා. මං ජීවත් වෙන්නෙ තනියම, මං රැකිල හිටියෙ මේ වත්තෙන්. දැං මම මේ පාඩුව දරාගන්නෙ කොහොම ද?”

එම ගම්මානයේ ම ඉන්දුමතී පැවසුවේ සෑම වසරක ම මහජනයා මෙම ව්‍යසනයට ගොදුරු වන බව යි: “ආන්ඩුව කානු හා අපවහන පද්ධති ප්‍රතිසංස්කරනය කල යුතු යි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිසංස්කරනය කරපු ඉරනමඩු බැම්ම උජාරුවෙන් විවෘත කලා. ඒත් අනතුරුදායක වෙලාවෙ අපට කල්තියා දැනුම් දීමක් කලේ නැහැ. ගංවතුර මගේ ගේ ඇතුලට ආව. අපි වගාකලේ නය අරගන. ඒ ඔක්කොම ගහගෙන ගියාට පස්සෙ අපි ජීවත් වෙන්නෙ කොහොම ද? අපි අපිට ම වෙන් කරගත්ත වීත් හේදිලා ගියා.

“මෙවර ව්‍යසනය හටගත්තේ ගිය අවුරුද්දේ හානිවලින් පසුව බව ඇය කීවා ය. “මේ වතාවේ බලපෑම ඇති වූයේ ධාන්‍ය වැඩීම පටන්ගත් විට යි. ඒ නිසා වගාව සම්පූර්නයෙන් නැති වී යනවා. ගොවීන් සියල්ලන් ම වගාකරන්නේ නය අරගෙන. යුද්ධය කාලයේ අපේ සියලු මිනිසුන්ට හානි වුනා, තාමත් ඒගොල්ලො සාමාන්‍ය තත්ත්වෙට ඇවිල්ල නෑ.”

ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති වීරසිංහම් ද මුරසුමෝට්ටෙයි විපතට ගොදුරු වූවන් අතර සිටී. ක්ෂනික ව ජල මට්ටම වැඩිකරමින් නිසි පරිදි අනතුරු ඇඟවීමකින් තොර ව ඉරනමඩු වාන් දොරටු විවෘත කිරීම ගැන ඔහු ද බලධාරීන්ට දොස් කීවේ ය. බද්දට ගත් අක්කර 12ක් වගාකරමින් සිටින ඔහුගේ සියලු දේ විනාශ වී ඇත.

අලහුමලෙයි

එලෙස ම මුරසුමෝට්ටෙයිහි 72 හැවිරිදි කදිර්වේල් අලහුමලෙයි අක්කර දහයක් වගා කල අතර එලදෙනුන් 10ක් ද ඔහුට අයත් ව තිබුනි. ඔහුට කුඩා කුකුල් ගොවිපොලක් ද තිබේ. මේ සියල්ල ගංවතුර හේතුවෙන් විනාශ විය. පොහොර කිලෝ 2,000ක් පමන හේදී ගියේ ය.

“අපි බීජ, පොහොර, රසායනික ද්‍රව්‍ය කඩවලින් ගත්තෙ නයට. අපිට වී විකුනල නය ගෙවන්න ඕන. දැන් අපිට නය ආපහු ගෙවන්න බැහැ.”

“උදේ පාන්දර ගංවතුර එකපාරට ම වැඩි වුනා. ගංවතුරත් එක්ක අපි පැය ගානක් ඔට්ටු වුනා. සීතල වැඩි වුන හින්ද ඇඳන් හිටපු ඇඳුම පිටින් අපි ගෙවල් අතෑරල ආව. ගංවතුරට අපි යට වෙන්නයි ගියේ. කඹයක් ගැටගහල අනිත් අයගෙ උදවුවෙන් අපි බේරිලා ආව” යයි ඔහු වැඩිදුරටත් කීවේ ය.

අනතුරු අඟවා නො සිටීම ගැන ඔහු බලධාරීන්ට දොස් පැවරුවේ ය. “ආන්ඩුවෙ බලධාරියො අපි ව බේරගන්න කිසිම දෙයක් කලේ නැහැ. ආන්ඩුව අපේ ජීවිත ගැන තකන්නෙ නැහැ.

“ආන්ඩුව අපිට ජීවත් වෙන්න හොඳ ඉඩමක් දුන්නෙ නැහැ. යුද්ධය අපිට බලපෑව. ස්වාභාවික විපත් හේතුවෙන් අපි දුක් වින්ද. අපි විනාශවලට මුහුන පානකොට කිසිම වන්දියක් ලැබෙන්නෙ නැහැ.”

වාර්ගික ප්‍රචන්ඩතා හේතුවෙන් ඔහු 1968 දී මහනුවරින් ඉවත්ව මෙහි පැමින සිටියි: “අපි මෙහේ අවුරුදු 50ක් ජීවත් වෙනව. යුද්ධයෙන් පස්සෙ ආයෙ පදිංචි වුනා ම ගෙවල් හදාගන්න ආන්ඩුව රුපියල් 300,000ක සොච්චමක් දුන්න. ඒක මදි. ගේ තාම හදන්න තියනව. ඒ එක්කම අපි දැන් නය යි.”

යුද්ධය සමයේ වගාව හා හරක් ඇතුලු ඔහුගේ දේපොල විනාශ විය. ඔහුගේ බෑනා අතුරුදන් ව ඇත. වාහන විනාශ විය. “ඒත් ආන්ඩුව අපි වෙනුවෙන් මොකුත් කරන්නෙ නැහැ.”

එල්ටීටීඊය නඩත්තු කල බැංකුවකට මිනිසුන් රත්තරන් බඩු උකස් තැබී ය. ආන්ඩුව ඒවා සොයාගත්ත ද ඒවා මිනිසුන්ට ආපසු නො දුන් බව ඔහු පැමිනිලි කලේ ය.

සින්නයියා රාමචන්ද්‍රන්ට

පෙරියන්කුලම්හි හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන සින්නයියා රාමචන්ද්‍රන්ට පරිභෝජනය සඳහා තබාගෙන තිබූ වී අහිමි විය. කුඹුරු අක්කර හයක් විනාශ විය. පශු සම්පත් අතුරුදන් වුනි. වගා කිරීම සඳහා ඔහු කොමර්ෂල් බැංකුවෙන් රුපියල් විසි ලක්ෂයක නයක් ගෙන තිබුනි. දැන් ඔහුට නය ආපසු ගෙවීමේ ක්‍රමයක් නැත. ඔහු දැන් ඔහුගේ ඥාතියෙකු සමග ජීවත් වෙයි.

ඔහු මෙසේ කීවේ ය: “හිටපු සටන්කරුවෙක් නිසා මාව අවුරුද්දක් රඳවාගෙන ඉඳල නිදහස් කලා. ඒකෙන් පස්සෙ මම නය අරගෙන වගා කරන්න පටන් ගත්ත. මාව රඳවාගෙන ඉන්නකොට මගේ බිරිඳයි දරුවො දෙන්නයි පීඩාවට පත්වුනා. රැඳවියන්ට උදවු කරනව කියල ආන්ඩුව කිවුවත් මං වගේ මිනිස්සුන්ට ප්‍රමානවත් උපකාරයක් නැහැ. මගේ සහෝදරය යුද්දෙ කාලෙ අතුරුදන් කලා. ඡන්දෙ කාලෙ අපි ගාවට එන ටීඑන්ඒ මන්ත්‍රීවරු කරදර කාලෙට එන්නෙ නැහැ.

“ආන්ඩුව අමුනු ප්‍රතිසංස්කරනය කලත් වාන් දොරටුයි පාලමුයි හදන්නෙ නැති හින්ද ගංවතුරට ගලාගන යන්න තැනක් නැහැ. මේ ව්‍යසනයෙ වගකීම ආන්ඩුව බාරගත යුතු යි.”

Share this article: