ආකෘතියෙන් පාර්ලිමේන්තු අර්බුදයක් වුවත් අන්තර්ගතයෙන් ධනපති පාලනයේ අර්බුදයක්
විජේ ඩයස් විසිනි, 2018 දෙසැම්බර් 19
පහත පලවන්නේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාඨකයන් අතර ප්රමුඛ මාධ්‍යවේදියෙකු සේ සලකනු ලබන ගිහාන් ඩි චිකේරා සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් සමඟ පැවැත්වූ සාකච්ඡාවකි. මෙය 2018-12-06 දින ඬේලි මිරර් පුවත්පතේ අන්තර්ජාල ප්රකාශනයෙහි හා මුද්‍රිත ප්රකාශනයෙහි පල කෙරින. මෙතැන් සිට පල කෙරෙන්නේ එම වාර්තාවෙහි සිංහල පරිවර්තනයකි.
මේ වසර 1968 දී ශ්‍රී ලංකාවේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවා ගැනීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කරයි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව ලෙස ක්‍රියාත්මක වන විකොස 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලෙස නම් කරන ලදී.
ඬේලි මිරර් පුවත්පත සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් සමඟ කරුනු ගනනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කලේය. විකොසෙහි හා සසපයේ පදනම් හා ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ දැන් පවත්නා දේශපාලන අර්බුදය හා, වර්තමාන ධනේශ්වර ක්‍රමයට සමාජවාදී විකල්පයක් ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර දේශසීමා හරහා කම්කරු පන්තිය එක්සත් කිරීමේ අභියෝගයන් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුනුවලට ඇතුලත් විය.
ප්රශ්නය: 1968 දී පිහිටුවා ගනු ලැබූ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) බවට පසුව පත් කෙරුනු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ආරම්භ කිරීමේ 50 වැනි සංවත්සරය මේ වසරට යෙදී තිබෙනවා. විකොස හා සසප පිහිටුවීමට හේතුකාරක වූයේ කුමක්ද?
පිලිතුර: මා 1968 දී පිහිටුවා ගත් විකොසහි ආරම්භක සාමාජිකයෙක්. මුලදී අප ලසසප තරුන සමිති සාමාජිකයන්ව සිටියා. ලසසපය 1964 දී සිරිමාවෝ බන්ඩාරනායකගේ සභාගයට සම්බන්ධ වන විට අප එම සමිතිවල සාමාජිකයින්. අප ධනපති ක්‍රමයට එරෙහිව දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, පරිපාලනමය හා සංස්කෘතික වශයෙන් සටන් කිරීමට උද්යෝගයෙන් පසු වුනා. එහෙත් සභාගයට සම්බන්ධ වීම මඟින් ලසසපය මෙම ජරපත් ක්‍රමය පවත්වා ගෙන යාමට කැප වුනා.
එඞ්මන්ඞ් සමරක්කොඩි විසින් නායකත්වය දෙන ලද ලසසප (වි) නොහොත් විප්ලවවාදී කන්ඩායම මෙම සභාගයට එරෙහි වුනා. අපේ හිතපක්ෂපාතීභාවය ඔවුන් වෙත මාරු කිරීමට අප ක්‍රියා කලා. එහෙත් අපට ඉක්මනින්ම ප්රත්යක්ෂ වූයේ ඔවුන් ද ලසසපය සේම පන්ති සහයෝගිතාවයේ මාවත අනුගමනය කරන බවයි.
පේරාදෙනිය සරසවියේ පුස්තකාලයේදී අපට ජෙරී හීලි විසින් නායකත්වය දෙනු ලැබූ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) බ්‍රිතාන්‍ය ශාඛාවේ News Letter පුවත්පත කියැවීමට ලැබුනා. ජෙරී හීලිගේ “ලංකාව - මහා පාවාදීම” නම් පුස්තිකාව අප විසින් කියවන්නට යෙදුනු අතර එහි එන එක් සැලකිය යුතු වාක්‍යයක් වූයේ, “සභාගයේ ප්‍රභවයන් කොලඹින් සොයා ගැනීමට නොලැබෙනු ඇති අතර, එය හමුවනු ඇත්තේ පැරීසියෙනි”, යන්නයි. පැරිසිය යනු පැබ්ලෝවාදීන් විසින් ආධිපත්‍යය දැරුනු හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ මධ්‍යස්ථානය පිහිටි නගරයයි. සභාගයට එලඹීම කරා ලසසපයට මඟ පෙන්වනු ලැබුනේ ඔවුන්ගේ දේශපාලනයෙන්. එහෙත් ලසසප(වි)යේ නායකයන්ට ද එම පැබ්ලෝවාදී මාවතම අනුගමනය කිරීමට උවමනා වූ නිසා ඔවුන් මෙම කරුන සාකච්ඡා කිරීමට විරුද්ධ වුනා.
එවිට අප ලසසප(වි)යෙන් වෙන් වී ‘ශක්ති‘ කන්ඩායම පිහිටුවා ගත්තා. 1966-67 කාලයේ විල්ෆ්රඞ් ‘ස්පයික්‘ පෙරේරා සහෝදරයා අපට හඳුන්වා දෙනු ලැබුවා. දිගටම හජාජාකට අනුකූල මාවතක ක්‍රියාත්මක වීමට ඔහු අපට ධෛර්යය දුන්නා. අප හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය උගත යුතුයැයි ඔහු බල කර සිටියා. ඒ අනුව, 1961-63 කාල පරිච්ඡේදයේ භේදයක් සිදු වූ බවත්, හජාජාකයේ ආරම්භක නායකයාත්, එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ජෝසෆ් හැන්සනුත් පැබ්ලෝවාදීන් සමඟ එක් වී තුබූ බවත් අප දැනගත්තා. එවැනි භේද හා බැඳුනු දේශපාලන ප්රයුක්තීන් වටහා ගැනීමට අප බොහෝ ලේඛන කියවූවා. අප 1968 දී විකොස පිහිටුවා ගත්තේ එම පදනම මතයි.
එමෙන්ම මෙම කාල පරිච්ඡේදය ලෝක ගෝලයේ පන්ති අරගලයේ වක්කඩ බිඳී ගිය කාල වකවානුවක් ද වුනා. 1968 ප්‍රංශයේ මහා වැඩ වර්ජනය ඩිගෝල් බලයෙන් පහ කර දැමුවා. එක්සත් රාජධානිය තුල අගමැති එඞ්වඞ් හීත්ගේ කොන්සර්වේටිව් ආන්ඩුව පෙරලා දැමුනා. පෘතුගාලයේ කයිතානෝ හා ස්පාඤ්ඤයේ ෆ්රැන්කෝ ආඥාදායකත්වයන් බිඳ දැමුනා. මෙහි කූටප්‍රාප්තිය එලැඹුනේ 1975 වසරේ වියට්නාමය තුල දී බලගතුම අධිරාජ්‍යවාදී හමුදාව පරාජයට පත් කෙරුනු අවස්ථාවේදීයි.
ප්‍ර: ඔබ පැබ්ලෝවාදී සංශෝධනවාදය ගැන සඳහන් කලා. සසපය ට්‍රොට්ස්කිවාදී පක්ෂයක්. ට්‍රොට්ස්කිවාදය හා පැබ්ලෝවාදය අතර වෙනස කුමක්ද?
පි: පැබ්ලෝවාදය උපත ලැබුවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලයි. ඒ දෙවැනි ලෝක යුද්ධයේ අවසානයෙන් පසුවයි. යුද්ධයෙන් පසුව ලෝක ධනේශ්වර ක්‍රමය එජ ආර්ථිකයේ ශක්තිය මත ප්‍රකෘතිමත් කල යුතු වුනා. මාෂල් සැලැස්ම වැනි ව්‍යාපෘතීන් යුරෝපය යලි ගොඩ නැඟීමට ආධාර කලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) හා ලෝක බැංකුව ධනේශ්වර රටවලට පහසු නය ලබා දුන් අතර කම්කරුවන් වඩාත් හොඳ සමාජ කොන්දේසි ඉල්ලා අරගල කරන කවර අවස්ථාවලදී වුව එමඟින් ඔවුන්ට සහන සලසනු ලැබුවා.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ආකෘතියෙන් යුත් ආන්ඩුවක් යටතේ නිදහස ලැබුවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බුරුමය ද ඇතුලත්ව ක්‍රියාත්මක වූ ඉන්දියානු බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) කොටස් තුනකට කැඩී යමින් පාර්ලිමේන්තු ක්‍රමය පිලිගත්තා. හතරවැනි ජාත්‍යන්තරයේ විප්ලවවාදී දේශපාලනයෙන් පසුබැස ගිය ඔවුන් සංශෝධනවාදී මාවතකට අනුහුරු වූ අතර, පැබ්ලෝවාදය ඊට උදව් කලා.
ප්‍ර: මෙකී සංශෝධනවාදී මාවත ජාතික මායිම් තුලට සීමා වූවක් ද, නැතහොත් ඊට ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් පැවතුනාද?
පි: ඔවුන් ජාත්‍යන්තර ඉදිරි දර්ශනය ජාතික මායිම් ඇතුලත කොටුකර සංශෝධනය කලා. ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය පිහිටවූයේ ස්ටැලින්වාදයට හා සමාජ ප්රජාතන්ත්රයට එරෙහිව ලෝක කම්කරු පන්තියේ විකල්ප විප්ලවවාදී නායකත්වයක් වර්ධනය කිරීමටයි. පැබ්ලෝවාදීන් ස්ටැලින්වාදීන් සම්බන්ධයෙන් මෙය සංශෝධනය කලා.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපය දෙකට බෙදී ගියා. නැගෙනහිර යුරෝපය තුල ස්ටැලින්වාදී රාජ්‍ය ආධිපත්‍යය දරන ලද අතර, බටහිර යුරෝපයේ ආධිපත්‍යය දැරුවේ එක්සත් ජනපදය යි.
කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් පැවතිය නොහැකි බවට පැබ්ලෝවාදීන් තර්ක කලා. ඔවුන් පැවසුවේ, ප්‍රධාන ප්රතිවිරෝධය පවතින්නේ, අධිරාජ්‍යවාදය හා ලෝක කම්කරු පන්තිය අතර නොව අධිරාජ්‍යවාදය හා ස්ටැලින්වාදය අතර බවයි.
ඒ අනුව, පැබ්ලෝවාදය යනු අධිරාජ්‍යවාදය හා ස්ටැලින්වාදය අතර පශ්චාත් යුද එකඟතාවයට අනුවර්තනය වීමක් හා, ජාතිකවාදී ව්‍යාපාරවල පැන නැඟීමට අවකාශ සැලසෙන පරිදි යටත්විජිත රටවල පාර්ලිමේන්තු ක්‍රමයට අනුවර්තනය වීමක්.
ප්‍ර: මේ වෙනස්කම් ශ්‍රී ලංකාවට බලපෑවේ කොහොමද?
පි: බීඑල්පීඅයිය මුලදී පාර්ලිමේන්තු දේශපාලනයට එරෙහි වෙමින් එය “මහජනයාට එරෙහි කුමන්ත්‍රණයක්” ලෙස ගුනාංගීකරනය කලා. ඔවුන් නිදහසට එරෙහි වෙමින් එය “රැවටිල්ල”කැයි හඳුන්වා දුන්නා. සැබෑ නිදහස සඳහා කම්කරු පන්තිය එක්සත් වී ධනේශ්වර පාලනය පෙරලා දැමිය යුතුයැයි ඔවුන් කියා සිටියා. එහෙත් ඔවුන් ක්‍රමානුකූලව පශ්චාත් යුදකාලීන නිදහසේ එකඟතාවයට අනුවර්තනය වුනා.
ප්‍ර: විකොස පලමු ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සන්දර්භය තුල, සංවිධානයට ජාත්‍යන්තරවාදී විප්ලවවාදී ඉදිරි දර්ශනයක් වර්ධනය කර ගැනීමට ආධාර කලේ කෙසේද?
පි: කීර්ති බාලසූරිය අප අතර සිටි ලාබාලම තැනැත්තා වූ අතර, ඔහු ‘ශක්ති‘ කන්ඩායමට බැඳෙන විට තවමත් ඔහු සිටියේ පාසල් ශිෂ්‍යයෙකු ලෙසයි. අප අතරින් හතරවැනි ජාත්‍යන්තරයේ න්‍යායික හා දේශපාලනික අරගලවල පාඩම් හොඳින්ම ග්රහනය කර ගත්තේ ඔහුයි. ඒ නිසා අප විකොස පිහිටුවා ගන්නා විට ඔහු ප්‍රධාන ලේකම් ලෙස තෝරා ගැනුනා. ඔහු ලසසප(වි)යේ හා වෘත්තීය සමිතිවල සින්ඩිකල්වාදී ප්රවනතාවල සංශෝධනවාදයට එරෙහිව අරගලයක් දියත් කලා. දේශපාලනය පිලිබඳ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ ඔහු, 1987 දී සිදුවූ ඔහුගේ අකල් මරනය දක්වා පක්ෂයට මඟ පෙන්වූවා.
ප්‍ර: වෘත්තීය සමිති පිලිබඳව කථා කිරීමේදී, සසපය වෘත්තීය සමිතිවාදයේ බලගතු විවේචකයෙක්?
පි: ඔව්
ප්‍ර: වෘත්තීය සමිති බොහෝ අවස්ථාවන්හිදී දේශපාලනීකරනය වීම හා දූෂිත වීම සිදුවිය හැකියි. වෘත්තීය සමිතිවාදය හා විප්ලවවාදී දේශපාලනය එකට එක්වීම සම්බන්ධව ඔබට හැඟෙන්නේ කෙසේද?
පි: වෘත්තීය සමිතිවාදය යනු සුලු ධනපති දේශපාලනයක්. එය ධනේශ්වර දේශපාලනයක්. එය ධනේශ්වර ක්රමයේ රාමුව තුල කම්කරු අයිතීන් සඳහා සටන් කරනවා. ලෙනින්ගේ 1902 ‘කල යුත්තේ කුමක්ද’ පුස්තිකාව ‘ආර්ථිකවාදයේ’ - එනම්, වෘත්තීය සමිතිවාදයේ - ධාරාවට එරෙහිව සටන් වදිනවා. ඔහු පවසන්නේ වෘත්තීය සමිතිවාදය විසින් සිදු කෙරෙන්නේ කම්කරු පන්තිය තුල සුලු ධනපති චින්තනය හෝ ධනේශ්වර චින්තනය වර්ධනය කිරීම පමනක් බවයි. එබැවින් විප්ලවවාදී මාක්ස්වාදී දේශපාලනය විප්ලවවාදී පක්ෂයක් හරහා කම්කරු පන්තිය තුලට ගෙන ආ යුතුයි.
ප්‍ර: එහෙනම් එයින් අදහස් වන්නේ කම්කරු පන්තිය නෛසර්ගිකවම විප්ලවවාදී නොවන බවද?
පි: වෛෂයිකව එය තමයි විප්ලවවාදී පන්තිය. එහෙත් විප්ලවවාදී විඥානය හා විප්ලවවාදී පන්ති ක්රියාකාරිත්වයන් අතර පරතරයක් පවතිනවා. වෛෂයිකව විප්ලවවාදී පන්තිය තුලට විප්ලවවාදී විඥානය හඳුන්වා දිය යුතුයි. මාක්ස්වාදයට අනුව විප්ලවවාදී විඥානය කම්කරු පන්තිය තුලින් ඉබේ පැමිනෙන්නේ නැහැ. කම්කරු පන්තියටම පමනක් ස්වයංසිද්ධ ලෙස වර්ධනය කල හැක්කේ වෘත්තීය සමිතිවාදයේ ධනපති විඥානය සහ තමන්ගේ හාම්පුතුන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමනයි.
ප්‍ර: කම්කරු පන්තියට ආර්ථික ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට යා හැක්කේ කෙසේද?
පි: වෘත්තීය සමිතිවාදය වර්ධනය වුනේ ධනපති රාජ්‍යය යටතේ උද්ඝෝෂනය කිරීමේ යම් පාලනයක් සහිත ආකෘතියක් පැවතීම සඳහායි. හාම්පුතුන් කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන විට කම්කරුවන් රාජ්‍යයට ආයාචනා කරනවා. වෘත්තීය සමිති හාම්පුතුන් හා කම්කරු පන්තිය අතර ගැටලුවලට පිලිතුරු දෙන ලෙස ධනේශ්වර ආන්ඩු මත පීඩනය යොදනවා. ඔවුන්ට ධනපති රාජ්‍යය පෙරලා දැමීමට උවමනා නැහැ. ඒ වෙනුවට ඔවුන් තම ඉල්ලීම් දිනා ගැනීමට ආධාර උපකාර ඉල්ලා ආයාචනය කරනවා.
විප්ලවවාදී දේශපාලනය ආරම්භ වන්නේ ධනේශ්වර ආන්ඩුව පෙරලා දමා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් තහවුරු කිරීමේ ඉදිරි දර්ශනය මතයි. මෙම දේශපාලන ඉදිරි දර්ශනයන් හඳුන්වා දිය හැක්කේ විප්ලවවාදී මාක්ස්වාදී ව්‍යාපාරයකට පමනයි. එය කම්කරු අරගලවලින් ඉබේ හා ස්වයංසිද්ධ ලෙස පැන නඟින්නේ නැහැ.
ප්‍ර: කම්කරු පන්තිය සංවිධානය කිරීමට එල්ල වෙන බොහෝ අභියෝග පවතිනවා. ශ්‍රී ලංකාව තුල කම්කරුවන් අතරින් තුනෙන් දෙකක්ම පාහේ අයත් වන්නේ අවිධිමත් අංශයටයි. එබඳු කම්කරු ජනකායක් සංවිධානය කල හැක්කේ කෙසේද? ඔබ එම අභියෝගයට ප්‍රවිෂ්ට වන්නේ කෙසේද?
පි: උදාහරනයක් ලෙස ගොවියන් ගනිමු. එය ආර්ථික ක්රියාදාමයේ අවිධිමත් අංශයක්. ඔවුන් වෙලඳපොල සඳහා නිෂ්පාදනය කරමින්, තමන්ම වැඩෙහි යෙදෙමින්, නිෂ්පාදන උපකරන මිල දී ගනිමින්, තම නිෂ්පාදන මුදල්වලට හරවමින්, තවතවත් කෘෂිකාර්මික නිෂ්පාදන නිපදවනවා. මෙම අවිධිමත් ක්‍රමය පසුව විධිමත් අංශයක් වෙමින්, ඇතම්විට ධනපති ව්‍යාපාරයක් බවට පත්වී කම්කරුවන් යොදවා ගැනීමට පවා යොමුවෙනවා.
හෝටල් කම්කරුවන් සංවිධාන සාදා ගන්නවා. වෘත්තිකයිනුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඇම්ඕඒ) වැනි සංවිධාන තනා ගන්නවා. තොරතුරු තාක්ෂන (අයිටී) අංශය වැඩෙමින් පවතින අවිධිමත් අංශයක්. එහෙත් මූලිකාංග වෙනස් වී නැහැ. කම්කරුවන් තමතමන්ගේ අංශ තුල මූල්‍ය ආයෝජකයන් විසින් සූරාකනු ලැබෙමින් තිබෙනවා.
ප්‍ර:එහෙත් ඔවුන් වඩාත් වරප්රසාදිත කම්කරුවන්. මා කථා කරන්නේ ගෘහ කම්කරුවන් හා සංක්‍රමික කම්කරුවන් වැනි වඩාත් අනතුරුදායක තත්වයේ සිටිනා කන්ඩායම් පිලිබඳවයි.
පි: වතු කම්කරුවන් පටන් ගත්තේ සංක්රමනික කම්කරුවන් ලෙසයි. එහෙත් ඔවුන් වෘත්තීය සමිති ගොඩ නඟා ගෙන, සංවිධිත කම්කරු පන්තියේ වඩාත්ම බලගතු අංශ අතරින් එකක් බවට පත් වුනා. මෙවැනි දේ ඉබේම සිදු වෙනවා.
එහෙත් අද වනවිට වෘත්තීය සමිති කෙතෙක් අපකීර්තියට පත්ව ඇත්ද කියතොත් කම්රුවන් ඒවාට බැඳීමට කැමති නැහැ. තම නායකත්වය හාම්පුතුන් වෙනුවෙන් හා වෘත්තීය සමිති නිලධරය වෙනුවෙන් වැඩ කරන බව ඔවුන් හඳුනා ගෙන තිබෙනවා. වතුකරයේ පවා සමිතිවල සාමාජිකත්වය ගැනීම අඩුවෙමින් පවතිනවා.
1990 ගනන්වල දී අප ජාතික ප්රශ්නය සහ වෘත්තීය සමිති සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කලා. සෝවියට් සංගමය විසුරුවා හැරීම විසින් ජාතිකවාදී වැඩ පිලිවෙලවල්වල බංකොලොත්භාවය හා ප්රතිගාමී ස්වභාවය හෙලිදරව් කෙරුනා.
1917 විප්ලවයේ නායකයන්ට ජාත්‍යන්තරවාදී සමාජවාදී ඉදිරි දර්ශනයක් තිබුනා. එහෙත් ස්ටැලින් 1923-24 කාලයේ නායකත්වය ගත් කල, ඔහු තනි රටේ සමාජවාදය පිලිබඳ න්‍යාය වර්ධනය කලා. ට්‍රොට්ස්කි මීට විරුද්ධ වුනා. එහෙත් ස්ටැලින්වාදය, කම්කරු පන්තිය තුල ප්‍රධාන ජාතිකවාදී ප්රවනතාවය ලෙස වර්ධනය වුනා.
තම ජාතික-සමාජවාදී ඉදිරි දර්ශනය තවදුරටත් වර්ධනය කල නොහැකි බව සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ ස්ටැලින්වාදී නිලධරය පිලිගත්තා. සෝවියට් සංගමය වැනි අතිවිශාල රටකටත් ජාතිකවාදී වැඩ පිලිවෙලක් මත නොනැසී පැවතිය නොහැකි නම්, කුඩා ජාතිකවාදී බෙදුම්වාදීන් කෙසේනම් තමන් රැකගන්නද?
ඒ නිසා අප ස්වයං-නිර්නයේ අයිතිය පිලිබඳ සාම්ප්‍රදායික මාක්ස්වාදී ඉල්ලීම අතහැර දැමුවා. පීඩිත සුලුතරයන්ගේ සෑම ප්රජාතන්ත්රවාදී ඉල්ලීමකටම අප සහයෝගය දෙන අතරම, අප බල කර සිටින්නේ පීඩිත ජනයාගේ හා පීඩක ජනයාගේ කම්කරු පන්තියේ එක්සත්කම සඳහායි. පීඩිත ජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් අහිමි කිරීමේ ප්රශ්නය විසඳීම පිනිස සමාජවාදී විසඳුමක් සඳහා අප සටන් කරනවා. අප වර්ධනය කරන වැඩ පිලිවෙල එයයි.
වෘත්තීය සමිති සම්බන්ධයෙන් ගත් කල, අප ඉහතදී සටන් වැදුනේ ඒවායේ නායකත්වය මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂයට දිනා ගැනීමටයි. එහෙත් දැන් අප යෝජනා කරන්නේ කම්කරු ක්‍රියාකාරී කමිටු ලෙස හැඳින්වෙන සංවිධාන වෘත්තීය සමිතිවලට විකල්ප ලෙස ගොඩ නැගීමටයි. මෙකී ක්‍රියාකාරී කමිටු සෝවියට් සභා ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇති. ඉහලම සෝවියට් සභාව ව්‍යවස්ථාදායක මන්ඩලය වන අතර, විධායකය පත් කෙරෙන්නේ එය විසිනුයි. ලෙනින් හා ට්‍රොට්ස්කි යටතේ සෝවියට් සංගමය තුල මෙම සංවිධානාත්මක ව්‍යහුය ව්‍යුහය තිබුනා. ක්‍රියාකාරී කමිටු තහවුරු කිරීමටත්, ධනපතියන්ගේ අතින් බලය උදුරා ගැනීමට විකල්ප දේශපාලන ඉදිරි දර්ශනයක් වර්ධනය කිරීමටත් අපට අවශ්‍යයි.
ප්‍ර: ස්වයංනිර්නය සම්බන්ධයෙන් ගත් කල, දෙමල ජාතිකවාදී කන්ඩායම් ඓතිහාසික, සංස්කෘතික හා භාෂාමය අයිතිවාසිකම් පිලිබඳ තර්කය ගෙන එනවා. මේවා වලංගු තර්ක නොවේද?
පි: ඉල්ලීම් වශයෙන් ගත් කල ඒවා වලංගුයි. ඔවුන්ගේ භාෂා හා සංස්කෘතික අයිතීන් මැඩ ලා තිබෙනවා. දෙමල භාෂාව මැඩලීම සඳහා සිංහල රාජ්‍ය භාෂාව කෙරුනා. බුද්ධාගමට දී ඇති වරප්රසාදිත තත්වය හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම්වලට එරෙහිව යනවා. මාක්ස්වාදීන් හා භෞතිකවාදීන් ලෙස අප ආගම විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ආගම් විශ්වාස කරන්නන්ට ඒවා ඇදහීමේ අයිතිය තිබිය යුතුයි. අප එම අයිතිය ආරක්ෂා කරනවා.
අප සියලු ආකාරයේ මර්දනයට එරෙහිව සටන් කරනවා. එහෙත් අප තරයේම කියා සිටින්නේ මෙම අයිතීන් දිනා ගත හැක්කේ හා භාවිතයට යොදා ගත හැක්කේ සමාජයේ සමාජවාදී පරිවර්තනයක් මඟින් බවයි. ඒ සඳහා ජාතික, වාර්ගික, භාෂාමය හා ආගමික බෙදීම් ඉක්මවා යමින් අප එකට එක් විය යුතුයි.
ප්‍ර: සසපයට අනුව, ශ්‍රී ලංකාවේ දැන් පවතින දේශපාලන අර්බුදයට දායක වී ඇති ලෝක ගෝලීය සාධක මොනවාද?
පි: ජාත්‍යන්තර වෙනස්කම්වල බලපෑම් මෙම අර්බුදය තුල පිලිබිඹු වෙනවා. ලෝක ධනේශ්වර ආර්ථිකය 1929 වෝල් වීදියේ කඩා වැටීමට වඩා වැඩි අර්බුදයකට මුහුන පා සිටිනවා. රුසියාව හා චීනය ධනේශ්වර රටවල් ලෙස වර්ධනය වීම පිලිබඳව ස්ථාපිත අධිරාජ්‍යවාදී රටවල් එදිරි වී තිබෙනවා. ලෝක ආධිපත්‍යය පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය රුසියාවට හා චීනයට එරෙහිව ආක්රමනශීලි යුදමය පිලිවෙතක් සඳහා මාන බලනවා. මූලෝපායාත්මකව වැදගත් පිහිටුමක් වන ශ්‍රී ලංකාව මෙම වියවුල්වලට බෙහෙවින්ම ගැලී වෙලී සිටිනවා.
මහින්ද රාජපක්ෂට යුද්ධය සඳහා මුදල් හා යුද උපකරන අවශ්‍ය වුනා. බටහිර රටවල්වලට ඊට ප්‍රතිචාර දැක්විය නොහැකි වුනා. එහෙත් චීනය අත පුරවා නය ලබා දුන්නා. යුද්ධයෙන් පසු චීනය ඊනියා සංවර්ධන ව්‍යාපෘති සඳහා තවත් නය සම්පාදනය කලා. මෙය එක්සත් ජනපදයේ අමනාපයට හේතු වුනා. ඔවුන්ට තන්ත්රමාරුවක් අවශ්‍ය වූ අතර, රාජපක්ෂ ජනාධිපතිවරනය කල් තබා පැවැත්වීම නිවේදනය කල විට ඔවුන්ට සොයමින් සිටි අවස්ථාව ලැබුනා. රාජපක්ෂගේ පක්ෂයේ ලේකම් පොදු අපේක්ෂකයෙකු ලෙස ගෙන ඒමට ඔවුන් චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග හා ක්ලින්ටන් පදනම හරහා ලහිලහියේ සංවිධානය කලා.
එහෙත් නව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට සීමා පැවතුනා. මක්නිසාදයත්, ඔවුන්ට රාජපක්ෂ කල පරිදි චීනය වෙත සමීප විය නොහැකි වුනා. ආයෝජන හා තදබල කොන්දේසි සමඟ ගැට ගැසුනු ආධාරවල අර්බුදයක් සමඟ මහජනයා නොසන්සුන් හා කැරලිකාරී වුනා.
රාජපක්ෂ තන්ත්රයේ අගභාගයේදී පන්ති අරගලය වර්ධනය වෙමින් පැවතුනා. තමන්ගේ අර්ථසාකක අරමුදල් (EPF) අයිතීන් ඉවත් කිරීමේ පනතට එරෙහිව නිදහස් වෙලඳ කලාප කම්කරුවන් විරෝධය දැක්වූ අවස්ථාවේ රොෂාන් චානක කම්කරුවා පොලිසිය විසින් මරා දැමුනා. ඊලඟ වසරේ ඉහල යන ඉන්ධන මිලට එරෙහිව ධීවරයන් විරෝධය දැක්වූ අතර ඇන්ටනි වර්නකුලසූරිය එහිදී මරා දැමුනා. 2013 දී රතුපස්වල ජනයා හා කම්කරුවන් පානීය ජලය ඉල්ලා සිටි විට හමුදාව පුද්ගලයන් තිදෙනෙකු මරා දැමුවා.
පන්ති අරගලයේ මේ වර්ධනය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පිහිටවූ පසු ද අඩු වූයේ නැහැ. රටේ කොතැනක හෝ, ඒ හෝ මේ උද්ඝෝෂනවලින් තොරව ගත වූ දින ගනන අතලොස්සක්. රුපියල අවප්රමාන වෙමින් පැවැති අතර අපනයනය බිඳ වැටෙමින් ද, ආධාර වියැකී යමින් ද පැවතුනා. සිරිසේනට හා වික්‍රමසිංහට තමන් සැලසුම් කල පරිදි කර ගෙන යා නොහැකි වුනා. එවිට සිරිසේන රාජපක්ෂ නඩයේ සහාය ලබා ගත් අතර වික්‍රමසිංහ ට්‍රම්ප්, තෙරේසා මේ, මැක්රෝන්, මර්කල් හා මෝඩිගේ සහයෝගය මත බලාපොරොත්තු රැඳවූවා.
සසපය මෙය දකින්නේ ධනේශ්වර පන්තියේ දෙපිලක් අතර අර්බුදයක් ලෙස නොව පාර්ලිමේන්තු ක්රමයේම අර්බුදයක් ලෙසයි. එය ආකෘතියෙන් පාර්ලිමේන්තු අර්බුදයක් වුවත් එහි අන්තර්ගතය ධනපති පාලනයේ අර්බුදයයි. ඕනෑම දෙයක ආකෘතිය හා අන්තර්ගතය අතර වෙනස්කම් තිබෙනවා. 2008 බිඳවැටීම මූල්‍ය අර්බුදයක රූපය අත්කර ගත් නමුත් එහි අන්තර්ගතයව පැවතුනේ සමස්ත ධනපති ආර්ථිකයයි.
ප්‍ර: කම්කරු පන්තිය වාර්ගික, ආගමික, භාෂාමය හා ජාතික සීමා රේඛා හරහා එක්සත් කිරීම මඟින් ජාත්‍යන්තර සමාජවාදය අත්පත් කර ගැනීම ප්‍රායෝගික නොවන බවට කියැවෙන පොදු ධ්‍රැවපදය අපට අසන්නට ලැබෙනවා. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ සංක්‍රාන්ති කාල පරිච්ඡේද, නැතහොත් කම්කරු පන්ති නොවන ආන්ඩුවලට විවේචනාත්මක සහයෝගය දීම වශයෙන් කියවෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
පි: ”විවේචනාත්මක සහාය” යන වචන දෙකමත් ප්‍රෝඩාවක්. (සිනාසෙයි) ඔබ එක්කෝ සහයෝගය දෙනවා, නැතිනම් විරුද්ධ වෙනවා. ඔබ කොයිතරම් ආන්ඩුව විවේචනය කලත් එය අහන්න කිසිවෙක් නෑ. සිරිසේන දැන් ඔය හැසිරෙමින් සිටින ආකාරයට හැසිරෙන්නේ ඔහු පිලිබඳ විවේචනවල හිඟයක් නිසා නොවෙයි. ඔහු පත්තර කියවුයේ නැතත්, කාටූන් පමනක් බැලුවත්, මහජනයා තමන්ට කැමති නැති බව ඔහු වටහා ගන්නවා ඇති. සිරිසේන විකල්පයක් සොයා ගත යුතුයි. එහෙත් ඔහු එසේ කරන්නේ අප සිතන ආකාරයට නොවෙයි. ඔහු එය කරන්නේ ධනපති පාලකයෙකු සිතන ආකාරයටයි. ඔහු අපේක්ෂා කරන වෙනස ඇත්තේ මේ ක්‍රමය තුලයි. ඒ නිසා ඔහු රාජපක්ෂ මඟින් වික්‍රමසිංහ විස්ථාපනය කලා.
ප්‍ර:එහෙත් මගේ ප්රශ්නය, බෙදුම් රේඛා හරහා ලෝක කම්කරු පන්තිය එක්සත් කිරීම ප්‍රායෝගික නොවේය යන අදහසට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසද යන්නයි.
පි: එය අලස මනස්වල ප්‍රතිචාරයක්. (සිනාසෙයි). එය ප්‍රායෝගික නොවේයැයි පැවසීමට විද්‍යාත්මක මාක්ස්වාදී පරීක්ෂනයක් පවත්වා ඇත්තේ කොහේද?
ප්‍ර: ඒ පරීක්ෂනය 1917 දී රුසියාවේදී සිදු කෙරුනේ නැද්ද?
පි: එය සිදු කෙරුනා. එහෙත් එය පැවතුනේ කෙටි කාලයක් පමනයි. ට්‍රොට්ස්කි බෝල්ෂෙවික් පක්ෂය තුල වාම විපක්ෂයක් ගොඩ නැඟීමට මූලිකත්වය ගත්තේ එම හේතුව නිසායි. ස්ටැලින්වාදී නිලධරයෙන් මිදී ගැනීමටත්, බෝල්ෂෙවික් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය ප්රතිසංස්කරනය කිරීමටත් ඔහුට අවශ්‍ය වුනා. 1933 වන තුරු දස වසරක් පුරා ඔහු එම ප්රයත්නය දැරුවා.
අධිරාජ්‍යවාදය දිරා යාමේ තතු තුල ධනපති පන්තියට ප්රගතිශීලි කර්තව්‍යයන් ඉටු කල නොහැකි බව ඔහු පැහැදිලි කලා. එබැවින් විප්ලවවාදී පන්තියට ස්වාධීනව කටයුතු කිරීමට සිදු වෙනවා. විප්ලවවාදී පන්තිය ධනපතියන් සමඟ පෙල ගැසුනොත් එම ක්‍රියාව විප්ලවවාදී පන්තියේ අවි මොට කර දමමින් එහි අභිලාෂයන් නිහඬ කරවනවා.
අවසාන මුෂ්ටි ප්‍රහාරය වූයේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ අත්දැකීමයි. ට්‍රොට්ස්කි ඉදිරිපත් කලේ හිට්ලර් බලයට පත්වීම වැලැක්වීමට ජර්මානු සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය අතර එක්සත් පෙරමුනක් ඇති කර ගත යුතු බවයි. එම කැඳවීම නොතකා හැරුනු අතර හිට්ලර් 1933 දී බලයට පත් වුනා. දැන් මෙම පක්ෂ ප්රතිසංස්කරනය කිරීමට එරෙහිව ට්‍රොට්ස්කි තීරනයක් ගත්තා. ඒ, විප්ලවය සම්බන්ධයෙන් ගත් කල, ඒවා ඒ වන විටත් මිය ගොස් තිබූ නිසායි. ඒ නිසා ඔහු විකල්ප ජාත්‍යන්තරයක් ගොඩ නඟමින්, 1938 දී හතරවැනි ජාත්‍යන්තරය පිහිටවූවා. සසපය ශ්‍රී ලංකාව තුල මෙහි නියෝජිතයායි.
ප්‍ර: වඩාත් පුලුල් ජාත්‍යන්තර සන්දර්භයක ලා සැලකූ විට කම්කරු පන්තිය උත්තේජනය කිරීමෙහි ලා සසපයේ කාර්යභාරය කුමක්ද? කුඩා රටක කුඩා කම්කරු පන්තියකට ලෝක ගෝලීය සිදුවීම් මත එතරම් බලපෑමක් සිදු කල හැකිද?
පි: හජාජාකය තමන්ගේ දේශපාලන මාවත හඳුනා ගැනීමේදී රටක ප්‍රමානය සැලකිල්ලට ගන්නේ නැහැ. අප, කවර හෝ භාෂාවක් කතා කරන, කවර සංස්කෘතියකට හෝ ජාතිකත්වයකට අයත් වුවත් ලෝක කම්කරු පන්තියේ සියලු කොටස්වල සහෝදර සංවිධානයක්. අප සහෝදරත්වයෙන් එක්සත් වී සිටිනවා. අප හැම සමානයන් වන අතර අප සමාජ සමානතාවය සඳහා සටන් වදිනවා. අප පොඩි රටක ජීවත් වන නමුත් අපත්, එක්සත් ජනපදයට නොඅඩු ලෙස, ලෝකයේ කොටසක්. අප හැම දෙනා ජීවත් වන ලෝක කොන්දේසි තිබෙනවා. ලෝක යුද්ධයක් වර්ධනය වෙමින් පවතින, ලොව පුරාම දක්ෂිනාංශික ව්‍යාපාර හා ඒකාධිපතිත්වයන් වැඩී එමින් පවතින මේ අතිශය අන්තරායකර තත්වයෙන් ගොඩ ඒමට නම් කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී එක්සත්කම දිනා ගත යුතුයි.
Follow us on