ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආන්ඩුවට කප්පාදු වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස අවධාරනය කරයි
සංජය ජයසේකර විසිනි, 2018 ජනවාරි 28
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) 2018 වසර තුල හා ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව විසින් ක්‍රියාවට දැමිය යුතු කප්පාදු වැඩපිලිවෙල කැටිකර දක්වන කාර්ය සාධන වාර්තාවක් නිකුත්කර ඇත.
2016 ජුනි මාසයේ සිට ලංකාව පවතින්නේ ජාමූඅ විසින් විස්තාරනය කරන ලද අරමුදලින් ඇපයට නය දීමේදී පොරොන්දුවූ වැඩපිලිවෙල යටතේ බව එම වාර්තාව යලි මතක් කර දෙයි. මුල්‍ය හිඟයකින් පෙලෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ගෙවුම් ශේෂ හිඟය මධ්‍යයේ ජාමූඅ වෙතින් ඩොලර් බිලියන 1.5ක නය මුදලක් ලබාගත් තතු තුල ශ්‍රීලංකාව සිටින්නේ ජාමූඅහි දැඩි අධීක්ෂනයක් යටතේ ය.
ශ්‍රී ලංකාව මත පනවා ඇති කොන්දේසි, යුරෝපා ස්ථාවරත්ව යාන්ත්‍රනය යටතේ ජාමූඅ, යුරෝපා කොමිසම හා යුරෝපා මහ බැංකුව යන “ත්‍රිත්වය” විසින් ග්‍රීසිය හා ස්පාඤ්ඤය මත පනවන ලද කොන්දේසි සිහියට නංවයි.
ජාමූඅ විසින් ශ්‍රී ලංකාව මත පනවන කොන්දේසි, වැඩකරන ජනයාගෙන් බදු මිරිකා ගනිමින් ආන්ඩුවේ වියදම් කැපීමකට ගැටගසනු ලැබ තිබේ. 2015 දී දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 7.2ක් වූ අයවැය පරතරය 2020 වනවිට සියයට 3.5ක් දක්වා අඩු කිරීම පිනිස දැවැන්ත ලෙස ආන්ඩුවේ වියදම් කප්පාදුවක් සිදු කිරීම මෙයට ඇතුලත් ය.
මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම -එනම් අයවැය පරතරය කැපීම-, ආදායම් රැස්කර ගැනීම -එනම් බදු ඉහල දැමීම හා ආදායම් සමුච්ඡය කරගැනීම අඩංගු කප්පාදු “වැඩපිලිවෙල යටතේ වන ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින් නිවැරදි මාවතේ පවතින” බව ජනවාරි 12දා නිකුත් කල ජාමූඅ වාර්තාව සඳහන් කරයි. එහෙත් ”ප්රතිසංස්කරන ගාමකය අඛන්ඩ ව පවත්වා ගැනීමේ අභියෝගය” තව දුරටත් පවත්නා බව එම වාර්තාව කියා සිටී. “ආර්ථිකය කම්පනයන්ට ගොදුරු වීමේ අන්තරායකාරී කාලයක සිටියදීම, 2018 වසරේ පටන් ආන්ඩුව අධික නය ආපසු ගෙවීමක අභියෝගයට ද මුහුන දී සිටින” බව එය කීවේ ය.
රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීමේ පවතින මන්දගාමීත්වය හා ආදායම් පරතය අඩු කිරීමේ අවශ්‍යතාව ගැන වාර්තාව සිය උත්සුකය පල කර ඇත. සිය වැඩපිලිවෙලට බලපාන අනෙක් අංශය ලෙස ජාමූඅ සඳහන් කර ඇත්තේ “2020 ජාතික මැතිවරනය වනවිට සභාග ආන්ඩුවේ දේශපාලන එකමුතුකම වික්‍රිය විය හැකිවීම” යි.
ජාමූඅට පවතින උත්සුකයන් වනාහි අන් කිසිවක් නොව පුද්ගලීකරනය, කම්කරුවන් හා දුගීන්ගේ සුභසාධන සහනාධාර කප්පාදුව හා බදු ඉහල දැමීම වහවහාම ක්‍රියාවට දමාගැනීමයි.
ආන්ඩුව ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවය විකුනා දැමීම සඳහා පුද්ගලික ගැනුම්කරුවෙකු සොයමින් සිටී. ලංකා බැංකුව හා මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙක කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තු කරන බවත් ඒවායේ වගකීමෙන් ආන්ඩුව නිදහස් වීම අපේක්ෂා කරන බවත් 2018 අයවැය කතාවේ දී මුදල් ඇමති මංගල සමරවීර නිවේදනය කලේ ය. ආන්ඩුව සූදානම් කරන ප්‍රහාරය ගැන බැංකු දෙකෙහි සේවය කරන 40,000කට ආසන්න සේවකයන් අතර කැලඹිල්ලක් වර්ධනය වෙමින් තිබේ.
ලංකා විදුලිබල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ගුවන් තොටුපොල හා ගුවන් සේවා දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැනි සියලු ම ප්‍රධාන පෙලේ රාජ්‍ය ව්‍යවසායයන් දැනට මත් වානිජකරන “සංගත අභිප්රායන්” සඳහා ලැයිස්තුගත කරනු ලැබ තිබේ. ආන්ඩුවේ මූල්‍ය සම්පාදනය මත රඳා නො පවතින ලෙස ඒවාට උපදෙස් ලබා දී ඇත. මෙම සංස්ථාවන්හි ඒකාබද්ධ පාඩුව රුපියල් බිලියන 52ක් බව වාර්තාව සඳහන් කලේ ය.
වානිජකරනය යටතේ මෙම ආයතන විසින් සම්පාදනය කරන විදුලිබලය, ජලය, තැපැල්, දුම්රිය හා අනෙකුත් සේවාවන්වල ගාස්තු තියුනු ලෙස ඉහල දැමීමක් ජාමූඅ බලාපොරොත්තු වේ. “...2018 මාර්තු වනවිට ඉන්ධන ද සැප්තැම්බර් වනවිට විදුලිබලය ද සඳහා ස්වයංක්‍රීයව මිල තීන්දු වන යාන්ත්රනයක් කැබිනට් මන්ඩලය විසින් අනුමත කරනු ඇති” බව ජාමූඅ විමර්ශනය කීවේ ය. යෝජනා කරනු ලබන්නේ මිලගනන් දාම ප්‍රතික්‍රියාවක් ලෙස ඉහල යාමට හේතුවන පරිදි ඉන්ධන හා විදුලිබලය සඳහා අයකරන ගාස්තු වැඩිකිරීම යි.
මෙම කප්පාදු පියවරයන් රැකියා, සේවා හා ජීවන කොන්දේසි මත බලපාමින් ආර්ථික වර්ධනය පහල දැමීමට ද තුඩුදී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව දෙමල විරෝධී යුද්ධය ගෙනයමින් හා මර්දන පියවරයන් යොදාගනිමින් 2006 සිට වැටුප් කැටිකිරීමක් පවත්වාගෙන ගියේ ය. රාජපක්ෂ තන්ත්රය 2009 පටන් ජාමූඅ විසින් නියෝග කරන ලද කප්පාදු පියවරයන් ද පැටවීය. 2015 මුල ජනාධිපති සිරිසේන බලයට පැමිනි පසු කම්කරුවන් හා දුගීන් අතර කෝපය අපසරනය කිරීම සඳහා සීමිත වැටුප් වැඩිකිරීම් හා මතුපිට වෙනස්කම් කිහිපයක් ආන්ඩුව විසින් සිදුකලේ ය.
එහෙත් අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල යාම නිසා දුගීන්ගේ ජීවන කොන්දේසි ඛාදනයවී ඇත. 2017 දෙසැම්බරය වනවිට, 2016 දෙසැම්බරයේ සියයට 4.2ක් වූ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 7.3ක් දක්වා ඉහල ගියේ ය. එම මාසයේ ම, කලින් වසරේ තිබූ සියයට 2.3ට සාපේක්ෂව, ආහාර ද්‍රව්‍යවල මිල උද්ධමනය දැවැන්තව සියයට 12.8ක මට්ටමකට නැග්ගේ ය.
ජීවන තත්වයන් මෙලෙස ඛාදනය වීම තුඩු දී ඇත්තේ සෞඛ්‍ය, දුම්රිය, තැපැල්, ඛනිජ තෙල්, විදුලි සංදේශ හා විදුලිබල සහ වතුකම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ සෑම කොටසක් අතර ම වැඩි වැටුප් ඉල්ලමින් විරෝධතා නැගී ඒමටයි. මෙම අරගල මැඩීමට පොලීසිය හා සන්නද්ධ හමුදාවන් මුදා හරින ආන්ඩුව කම්කරුවන්ගේ ඉල්ලීම් යටපත් කිරීම සඳහා වෘත්තීය සමිති නායකයන් පාවිච්චි කලේ ය. සුභසාධන සේවා ඉල්ලන ගම්බද දුගීන්ගේ අරගල දෛනික දෙයක් බවට පත්වී තිබේ.
2017 තුන්වන කාර්තුවේ රටෙහි දදේනියේ වර්ධනය සියයට 3.3ක් විය. 2017 වර්ෂය සඳහා සමස්ත වර්ධන අනුපාතය කලින් පැවති සියයට 5 සිට සියයට 4.2 තෙක් පහල යනු ඇතැයි තක්සේරු කෙරේ.
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානී දුෂ්නි වීරකෝන් “ස්ථාවරත්වය පැවතුනත් ශ්‍රී ලංකාව දම්වැලෙන් බැඳී සිටියි” යන මාතෘකාවකින් ලියූ ලිපියක් තුල, ජාමූඅ කප්පාදු කොන්දේසි ආර්ථික වර්ධනයට සංකෝචනාත්මකව බලපාන ආකාරය අවධානයට ලක්කලා ය. කර්කශ කාලගුනයට අමතර ව “වර්ධනය පහල යාමට හේතු වන අනෙක් කාරනය වන්නේ ජාමූඅ වැඩපිලිවෙල යටතේ සංකෝචනාත්මක මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමේ ප්රයත්නයන්ය”. පරිභෝජනය හා නිෂ්පාදනය මත ඉහල බදු පැනවීම වියදම් කලහැකි ගෘහීය ආදායම් හා සංගත ලාභ යන දෙක ම සීමාකල බව ඇය සඳහන් කලා ය.
අනෙක් රටවල මෙන් මෙහි දී ද “ආර්ථික ප්‍රකෘතිය” සඳහා වන ජාමූඅ බෙහෙත් වට්ටෝරුව ව්‍යාජයකි. යථාර්ථයේ දී එය, කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් හැකිතාක් මිරිකාගෙන ජාත්‍යන්තර බැංකුකරුවන් හා මූල්‍ය ආයෝජකයන් ඇතලු ධනවතුන් වෙත ධනය මාරු කරන ක්රියාමාර්ගයකි.
ස්ථාවරත්වය ගැන ආන්ඩුවේ පුච්චානම් කෙසේ වෙතත්, “රාජ්‍ය නය ඉහල මට්ටමක පවතින තතු තුල [ආර්ථික වර්ධනය] පහලයාමේ අවදානම සෑහෙන ඉහල මට්ටමක පවතී” යයි ජාමුඅ විමර්ශනය සඳහන් කරයි. මේ වසර සඳහා සමස්ත නය ආපසු ගෙවීම ඩොලර් බිලියන 2.9ක් වනු ඇති බව තක්සේරු කෙරෙන අතර ලබන වසර සඳහා එය ඩොලර් බිලියන 4.2ක් වන්නේ ගිය වසරේ අගය වූ ඩොලර් බිලියන 2.2 මෙන් දෙගුනයකට ලං වෙමිනි. 2020 සිට 2022 දක්වා නය ආපසු ගෙවීම ඩොලර් බිලියන 3.6ක් යයි තක්සේරු කෙරේ.
එවැනි විශාල නය ගෙවීමක් සඳහා කම්කරුවන් හා දුගීන්ගේ ජීවන හා සමාජ අයිතීන් මත ප්‍රහාර උත්සන්න කිරීම හැර ආන්ඩුවට අන් මාවතක් නැත.
සමාජ පිපිරීමේ කැකෑරෙනසුලු ස්වභාවය ගැන දන්නා ජනාධිපති සිරිසේන, ඔහු ද මුලුමනින් වගකිව යුතු ආන්ඩුවේ ක්‍රියාමාර්ගවලින් ඈත්ව සිටින බව පෙන්වීමට වියරු ලෙස උත්සාහ කරයි. පසුගිය සති අන්තයේ පැවති පලාත් පාලන මැතිවරන රැලියක දී සිරිසේන මෙසේ කීවේ ය: “පසුගිය අවුරුදු තුනේ දී මම (සභාගයේ ප්‍රධාන සහකරු වන එක්සත් ජාතික පක්) එජාපයට ආර්ථිකය කලමනාකරනය කරන්නට ඉඩ දුන්නා. ඒත් තවමත් ජනතාව ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දී සිටිනවා.” මෙතැන් පටන් “ජනතාවට සහන සැලසීම සඳහා” ආර්ථිකය තමන්ගේ පාලනය යටතට ගන්නා බව ඔහු කීවේ ය.
ජනතාවට “සහන” සැලසීම යන්න අමු කෙප්පයකි. ආර්ථික අර්බුදය අරගල සඳහා වේදිකාව සකසද්දී ආන්ඩුව සූදානම් කරමින් සිටින්නේ පොලිස් රාජ්‍යයක වැඩපිලිවලයි.
Follow us on