පලාත් පාලන මැතිවරනය-2018

සසප උද්ඝෝෂනයට කයිට්ස් ජනතාවගෙන් උනුසුම් ප‍්‍රතිචාර

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ජනවාරි 25

පෙබරවාරි 10 දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනයේ දී, සමාජවාදී සමානතා පක්ෂය ( සසප), යුද්ධයෙන් විනාශ කෙරුනු යාපනය අර්ධද්වීපයේ කයිට්ස් ප‍්‍රාදේශීය සභාවට තරග කරයි. සසප, තම දේශපාලන කමිටු සභික පී. තීරුඥානසම්බන්ධර් ගේ නායකත්වයෙන් තරුන කම්කරුවන්, ධීවරයන් සහ ගෘහනියන් ඇතුලු අපේක්ෂකයන් 16 දෙනෙක් මේ සඳහා ඉදිරිපත් කොට ඇත.

යුද්ධයෙන් විනාශ කෙරුනු නිවාස

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව යුද්ධයෙන් විනාශ කෙරුනු උතුරේ ජනතාවගේ ජීවන තත්වය ඉහල නංවන බවත් වාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුම් ලබා දෙන බවත් පොරොන්දු වෙමින් දෙමල ජාතික සන්ධානයේ සහයෝගය ඇතුව බලයට පැමිනියේ ය. මෙම මැතිවරනය පැවැත්වෙන්නේ එම පොරොන්දු සියල්ල කඩකල තත්ත්වයක් තුල දකුනේ මෙන් ම උතුරේ හා නැගෙනහිර ද මහජනතාව අතර පාලක පන්තියේ සියලු කොටස් සම්බන්ධයෙන් විශාල අතෘප්තියක් වැඩෙමින් පවතින සන්දර්භයක් තුල ය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව කොලඹ ආන්ඩු ගෙන ගිය වර්ගවාදී යුද්ධය අවසන් වී වසර නවයක් ගතව ඇතිමුත් උතුර තවමත් හමුදා පාලනය යටතේ පවති. මිලිටරිය විසින් ආක‍්‍රමනය කර ඇති තමන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් උතුරේ ජනතාව දිගටම අරගලවල යෙදී සිටිති. මේ අතර මහජනතාවගේ ඉඩම් තව තවත් අත්පත් කරගැනීමට මිලිටරිය කටයුතු කරමින් සිටියි.

යුද්ධය සිදුවුනු කාල පරිච්ෙඡ්දය තුල අතුරුදහන් කරනු ලැබූ අය සොයා දෙන ලෙසත්, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් දෙමල ජනතාව දිගටම අරගල වල නිරත වෙති.

පසුගිය ජූලි මාසයේ දී යාපනය තුන්නාලෙයි ප‍්‍රදේශයේ දී පොලිසිය විසින් තරුනයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරුද්ධව උද්ඝෝෂනයේ යෙදුනු ගම්වාසීන්ට එරහිව දිගින් දිගටම පොලිස් මර්දනය මුදා හැරුනි. පසුගිය මාස හය ඇතුලත, පොලිසිය විසින් යාපනයේ තරුනයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙයට අමතරව, උතුරේ 3000 කට අධික උපාධිධාරීහු රැකියා ඉල්ලමින් පසුගිය වසරේ මාස ගනනාවක් පුරා උද්ඝෝෂනයේ යෙදී ගත්හ. රජයේ පත්වීම් බලාපොරොත්තුවෙන් වැටුපක් නොමැතිව වසර 10 කට අධික කාලයක් රජයේ පාසල් වල ඉගැන්වීම් කටයුතුවල යෙදෙන 1,500 ක් පමන ස්වේච්ඡා ගුරුවරු ද උද්ඝෝෂනයේ යෙදුනා හ.

සසප මෙම ප‍්‍රශ්න සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි පලකරමින් ඒවා ජාත්‍යන්තර කම්කරු පන්තිය අතරට ගෙන ගියේ ය. උතුරේ සසප සාමාජිකයෝ සහ හිතවත්තු හමුදා මර්දනයට ද එල්ටීටීඊයේ බෙදුම්වාදයට ද එරෙහිව තම ජීවිතය පවා පරදුවට තබමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල උදෙසා සටන් වැදුනා හ.

1998 දී එල්ටීටීඊ ය විසින් තිරුඥාන සම්බන්ධර් ඇතුලු සසප සාමාජිකයන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියේ ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යයන්තර කමිටුව හා එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ ජාත්‍යන්තරව ගෙනගිය උද්ඝෝෂනයේ ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් නිදහස් කෙරුනි.

2002 දී සසප සාමාජික නාගරාසා කොඩීස්වාරන් ට පරුත්තියඩඊප්පු හි දී එල්ටීටීඊ සාමාජිකයකු එල්ල කල මාරාන්තික ප‍්‍රහාරයෙන් ඔහු බේරුනේ යන්තමිනි.

2007 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධය උග‍්‍ර කල සමයේ දී, කයිට්ස් වේලනයි ප‍්‍රදේශයේ දී නාවික හමුදාව හා ඊපීඩීපීය එක්ව සසප සාමාජික නඩරාසා විමලේස්වරන් සහ ඔහුගේ මිත‍්‍රයෙකු ද පැහැරගෙන ගොස් ඝාතනය කල හ.

නාවික හමුදාව හා යුද හමුදාව සමග එක්ව වැඩ කරන පැරාමිලිටරියක් වන ඊපීඩීපීයේ පාලනය යටතේ යාපනයේ දූපත් සියල්ල දිගු කාලයක් පුරා පැවතුනි. යුද්ධය කාලය පුරාම මෙම දූපත් ප‍්‍රදේශ වල ඝාතනයන්, පැහැරගෙන යාම්, හා ස්ත්‍රී දූෂන වැනි අපරාධ ගනනාවක් සිදු විය.

සසප තම මැතිවරන උද්ඝෝෂනයේ දී කයිට්ස් පලාත් පාලන බල ප‍්‍රදේශය තුල හි පැවැත්වීමට නියමිත රැස්වීම් අතරින් පලමු රැස්වීම ජනවාරි 11 දා පරුත්තියඩඊප්පු හි පැවැත් වී ය. රැස්වීම ගොඩනැගීම සඳහා සසප උද්ඝෝෂකයෝ හා හිතවත්හු කයිට්ස් නගරය හා මෙලින්ජි මුනඊ, පරුත්තියඩඊප්පු වැනි ගම්මානවල උද්ඝෝෂනයේ යෙදුනා හ.

සසප සමග සාකච්ඡා කල බහුතරයක් ආන්ඩුව සහ දෙමල දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් අතෘප්තිය ප‍්‍රකාශ කරමින් ඔවුන් මුහුන දෙන ආර්ථික සහ සමාජයීය ප‍්‍රශ්න ගැන කතා කල හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යුද්ධයෙන් අවතැන් වී, නැවත පැමින, අඩ වශයෙන් නිම කල නිවාසවල පදිංචි වී සිටිති.

සෞඛ්‍ය සේවකයකු වන රාසා මෙසේ පැවසීය: “ජනතාවගේ බලාපොරොත්තු වෙනයි, පක්ෂ වල වැඩ පිලිවෙල වෙනයි. දෙමල ජාතික සන්ධානය පොරොන්දු කඩකල ආන්ඩුව සමග දිගටම සහයෝගිව ක්‍රියා කරනවා. ඔවුන් යුද අපරාධ ගැන ජාත්‍යන්තර විභාගය අතහැරලා. බෞද්ධාගමට මුල් තැන දෙන දේශපාලන යෝජනාවට සහයෝගය දීලා තියෙනවා.”

මෙලින්ජි මුනයි ගමේ තිදරු මවක් වන ඥානසේකරන් අනිතා, උතුරේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන ජල ප‍්‍රශ්නය ගැන කතා කලා ය. “මෙලින්ජි මුනයි ගමට ප‍්‍රධාන ප‍්‍රශ්නය වතුර. දේවාලයේ බවුසර් මගින් ලබාදෙන වතුර වලට අපි මාසෙකට රුපියල් 1,500 බැගින් ගෙවන්න ඕන. ගෙදර මොකක් හරි උත්සවයක් නම් රුපියල් 5000 ක් විතර වියදම් කරන්න වෙනවා. කලින් ප‍්‍රාදේශීය සභාව මගින් වතුර දුන්නා. 2006 දී යුද්ධය නැවත පටන් ගත්තම, ජනතාව ජීවිත බේර ගන්න ගම හැර ගියා. මේ කාලය තුල කැඩුනු කරාම වලින් දිගටම ගැලූ වතුර වලට රුපියල් දහස් ගනනක් ප‍්‍රාදේශීය සභාවට ගෙවිය යුතුයි. ඒ නිසා අපට දැන් වතුර කපලා තියෙන්නේ. මෙම ප‍්‍රාදේශීය සභාව පාලනය කලේ ඊපීඩීපී යයි. ඔවුන්ට සාකච්ඡා කරලා අපිට සහනයක් දෙන්න තිබුනනේ?”

නැවත පදිංචි වී යලි ජීවිත ගොඩනගා ගැනීමට දැරූ ප‍්‍රයත්නයේදී රජයෙන් කවර ආධාරයක් හෝ නොලැබුනු බවත් මව විසින් තනා දුන් නිවසේ ඇය සහ ඇගේ පවුල ජීවත්වන බවත් ඇය පැවසුවාය.

“මගේ ස්වාමියා ධීවර කර්මාන්තයේ යෙදෙනවා. නැවත පදිංචි වූ විට රැකියාව ආරම්භ කරන්න බැරුව අමාරුවෙ වැටුනා. ලංකා බැංකුවෙන් රුපියල් 150,000 ක නයක් ලබාගෙන රැකියාව ආරම්භ කරා. රුපියල් 4,400 ක මාසික වාරිකයක් ගෙවන්න ඕන. පෞද්ගලික ආයතනකින් තවත් රුපියල් 130,000 ක නයක් ලබාගෙන තිබෙනවා. ඒකටත් රුපියල් 2,600 ක් ගෙවිය යුතු යි. යුද්ධ කාලයේදී මගේ ස්වාමියාට එල්ටීටීඊ යෙන් ජීවිත තර්ජන තිබූ නිසා අපි රත්තරන් බඩු සේරම විකුනලා නැවකින් වව්නියාව බලා ගියා.”

කලාපයේද ජාත්‍යන්තරවද වර්ධනය වෙමින් පවත්නා ලෝක යුද තර්ජනය පිලිබඳව පැහැදිලි කරමින් ඊට විසඳුම ලෙස ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කල විට එයට ප‍්‍රතිචාර දක්වමින් අනිතා ප‍්‍රකාශ කලේ: “අප ලෝක යුද්ධය ගැන දැනුවත් නෑ. නමුත් ඇමරිකාවයි කොරියාවයි අතර ප‍්‍රශ්න තිබෙන බව ආරංචියි. සමාජවාදය ගැන පලමුවරට අද තමයි ඇහුවෙ. සියලු දෙනාම සමානව හා පහසුවෙන් ජීවත් වෙන්න පුලූවන් තත්ත්වයක් ආවොත් අපි කැමතියි.”

නිර්දයානි

පරුත්තියඩඊප්පු ගමේ කෝගුලෙස්වරන් නිර්දයානි තරුන මවකි. “මගේ ස්වාමියා මේසන් වැඩ කරනවා. යුද්ධ කාලයේ අපි වන්නි සහ ඉරනමඩු වැනි තැන්වලට අවතැන්වී ඉඳල ආයෙත් මෙහේ ඇවිත් පදිංචි වුනා. මගේ අයියා අවසන් යුද්ධයේදී ඝාතනය කෙරුනා. මේ පර්චස් 10 ක ඉඩම මල්ලි කෙනෙක් අපිට අරන් දුන්නා. තවත් නය වෙලා මේ චූටි කාමරය හදාගෙන අපි ජීවත් වෙනවා. තවත් ලක්ෂ දෙක තුනක් ගෙවන්න ඕන. මීට කලින් අනිත් අයගෙ ගෙවල් වල බැනුම් අහගෙන ජීවත් වුනේ. දැන් මේ පැත්තට නිවාස සැලසුම් ඇවිත් තිබෙනවා නමුත් අපිට තාම ලැබුනේ නැහැ. පසුගිය කාලේ කිසිම දවසක් සතුටින් හිටියා යැයි කියන්න බැහැ. ආදරෙන් පවුල් නඩත්තු කලත් ආර්ථික වශයෙන් අති විශාල ප‍්‍රශ්න වලට මුහුන දෙනවා.”

මේසන් වැඩ කරන වරදරාසාගේ පවුලේ සියලු දෙනාම වෙනත් කෙනෙකුගේ ගෙදරක ජීවත් වෙයි. “මම කලින් කටාර්වල වැඩ කලා. එහෙ හරිම අමාරුයි. රැකියාවට ගැලපෙන පඩි දෙන්නේ නැහැ. ඒ නිසා මම ගෙදර ආවා. ඉතාමත් දරුනු කොන්දේසි යටතේ අපි වැඩ කලේ” යයි ඔහු කීවේ ය. තමාගේ වැඩිමහලු සොහොයුරා ද කටාර්වල සේවයේ යෙදී සිටියදී වැඩපොලේදී ම මරනයට පත්වුනු නමුත් කිසිම වන්දියක් නොලැබුනු බව වරදරාසාගේ බිරිඳ සඳහන් කලා ය.

දෙමල සන්ධානය උතුර පලාත් සභාවේ බලයට පැමිනීමෙන් පසු සිදුවූ වෙනස ගැන ප‍්‍රශ්න කලවිට වරදරාසා මෙසේ පිලිතුරු දුන්නේ ය. “මම බැඳලා අවුරුදු 12ක් වෙනවා. මේ ආන්ඩුව අපිට කිසිම උදව්වක් කලේ නැහැ. අපි වවුනියාවේ ඉන්නකොට ටෙලෝ හා ප්ලොට් වැනි ව්‍යාපාර පොරොන්දු දුන්නා. නමුත් කිසිම උදව්වක් ජනතාවට කලේ නැහැ. අපි 1990දී කයිට්ස් අතහැරලා යුද්ධයෙන් අවතැන් වී වන්නි ප‍්‍රදේශයට ගියා. අවසානයේ වවුනියාවේ ජීවත් වුනේ. දැන් නැවත පදිංචි වෙලත් ඉන්නේ අවතැන් වු අනාතයෝ හැටියටයි. දෙමල කියලා හිතලා දෙමල සන්ධානයට ඡුන්දය දුන්නා නමුත් ඔවුන් ඡන්දය අරගෙන අපිව රැවටුවා.”

45 හැවිරිදි දේවි දෙදරු මවකි. උසස් පෙල සමත් තමන්ගේ දියනියන් දෙදෙනාට රැකියාවක් ලැබුනේ නැති බව ඇය සඳහන් කලාය. ඇය තව දුරටත් කියාසිටියේ: “අවතැන් වෙලා අවුරුදු 20කට පසුව මෙහි ඇවිත් මේ ඉඩම අරගෙන පදිංචි වුනා. නිවාස සැලසුමෙන් ලක්ෂ තුනයි ලැබුනේ. ලක්ෂ පහලොවකට වැඩි මුදලක් නය අරගනයි මේ ගෙදර හදා ගත්තේ. දෙමල සන්ධානය හා ඊපීඞීපී යෙන් කිසිම දෙයක් ලැබුනේ නැහැ. පොල් ගෙඩියක් රුපියල් සීයයි. සහල් ඊට වඩා මිල අධික යි. එහෙනම් යහපාලනය කියන්නේ කෙසේද. සමාජවාදී ක‍්‍රමය යටතේ සියලු දෙනාට සමානව ජීවත් වෙන්න පුලුවන්නම්, තෘප්තිමත් ජීවිතයක් ලැබෙනව නම් ඒ සඳහා අපි වැඩකර යුතුයි.”

සූරියකුමාර්ගේ බිරිඳ

කයිට්ස් හි සූරියකුමාර්ගේ බිරිඳ පැවසුවේ ඇය පවුලේ සයදෙනෙකු සමග ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන බවයි. “අපට ගෙයක් නැහැ. අපි යුද්ධයෙන් අවතැන් වී නැවත පදිංචි උනත් තවමත් අවතැන් වෙලා ජීවත් වෙන්නේ. අපට අපේම ඉඩමක් නැති නිසා ආන්ඩුව අපට ගෙයක් දුන්නේ නැහැ. මේ පොඩි කූඩාරමේ හය දෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද? මගේ සැමියා මේසන් කුලී වැඩ කරනවා. ඔහුගේ ආදායම අපට ජීවත් වෙන්න හොඳටම මදි. මගේ ලොකු දුව උසස් පෙල ඉගන ගන්නවා. නමුත් ටියුෂන් පන්ති වලට යවන්න සල්ලි නැහැ. යහපාලනයයි කියන මේ ආන්ඩුව අපට කිසිම උදව්වක් කරේ නැහැ. මැතිවරන කාලයට විතරයි පක්ෂ අපිව හොයාගෙන එන්නේ.”

කයිට්ස්හි ගොවියකු වන කනගරාසා: “කොයි ආන්ඩුව ආවත් අපට ප‍්‍රශ්න තමයි. අත්‍යවශ්‍ය භාන්ඩ මිල දිගටම වැඩිවෙනවා. රාජපක්ෂ ආන්ඩුව කල දේමයි දැන් ආන්ඩුවත් කරන්නේ. අපි ජීවන වියදම අඩුවීම බලාපොරොත්තු වෙනවා. 1986 කාලයේ දී දවසකට රුපියල් සීයෙන් නැත්තං දෙසීයෙන් ජීවත් වෙන්න පුලුවන්. දැන් 1500 ක් හරි රුපියල් 2000 ක් දවසකට ඕනෑ. කිසිම ආන්ඩුවකට මේක විසඳන්න බැහැ. යුද්ධය අවසන් වී අවුරුදු අටක් වෙලත් හොඳ තත්ත්වයක් ඇතිවෙලා නැහැ. අපි ගොවිතැන් කරන්න යොදන ආයෝජනය නැවත ලබා ගන්න බැරිවෙලා තියෙනවා.”

Share this article: