“දේශපාලනය එපා” යන සටන්පාඨයට නතුවීමෙන් විඳවන සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටිය
වසන්ත රූපසිංහ විසිනි, 2018 ජූලි 9
ජිනීවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා උලෙලේදී හොඳම සිනමාපටයට හිමි සම්මානය ඇතුලු තවත් ජාත්‍යන්තර සම්මාන ගනනාවකට පාත්රවූ, සිනමාවේදී සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි චිත්‍රපටිය වන දැවෙන විහඟුන් මේ දිනවල සිනමාශාලාවල ප්‍රදර්ශනය කෙරෙයි.
පුෂ්පකුමාර ජූලි 1දා රාවයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවට අනුව කතාවට පසුබිම් වන්නේ “1989 භීෂන යුගය අවසන් කාලයේදී එක්තරා නන්නාඳුන අවිගත් කන්ඩායමක් දරුවන් අට දෙනෙකු සිටින පියා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ බිරිඳ කුසුම් (අනෝමා ජනාදරී) හා ඔවුන්ගේ (වැඩිමහල්) දියනියට (සමනලී ෆොන්සේකා) තමන්ගේ පවුල නඩත්තු කිරීම සඳහා කරන්ඩ සිදුවන අප්‍රතිහත දහිරිය පිලිබඳ කතාවයි”. එදිනම සිළුමිණ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී අධ්යක්ෂවරයා කීවේ ඔහුගේ පියා 1989දී ඝාතනයවීමෙන් පසු ලමුන් 8 දෙනෙක්ගෙන් යුතු ඔහුගේ පවුල මුහුනදුන් පෞද්ගලික අත්දැකීම මෙයට පාදක කරගත් බව යි.
චිත්‍රපටිය ආරම්භ වන්නේ, ගෝනිබිල්ලෙකු විසින් “පාවාදෙනුලැබූ” කුසුම්ගේ සැමියා ඝාතක කල්ලියක් විසින් ප්‍රසිද්ධියේ පැහැරගෙන යනු ලැබ වධබන්ධනයට ලක්කොට, ඝාතනය කල ඔහුගේ සිරුර තවත් මලසිරුරු සමග මහා ගින්නක දැවෙන කම්පනකාරී දර්ශනවලිනි.
මාලු වෙලඳාමෙන් පවුල නඩත්තු කල සැමියාගේ අනපේක්ෂිත මරනයෙන් පසු දරුවන් අට දෙනාත් නැන්දනියත් පෝෂනය කිරීමේ භාරදූර කාර්ය කරමත පැටවුනු කුසුම්, ගල්වලක ගල් කඩන කම්කරුවෙකු ලෙස රැකියාවක් ලබා ගනී. එහෙත් කෙටිකලකින්ම, අනෙක් කම්කරුවන්ට මෙන්ම ඇයට ද එම කටුක රැකියාව අහිමි වන්නේ හදිසියේ ගල්වලේ බලපත්‍රය අහෝසිකර එහි වැඩ නැවත්වීම හේතුවෙනි. වෙනත් ජීවිකාවක් සොයායන ඇය ගවඝාතාකාගාරයක පිරිසිදුකරන්නියක් ලෙස රැකියාවක් ලබාගනී. ගවඝාතාකාගාරයේ අයිතිකරුගේ ලිංගික බලාත්කාරය ප්‍රතික්ෂේප කොට රැකියාව අත්හැර යන කුසුම්ට සිදුවන්නේ, ඔහු මෙහෙයවූ දාමරිකයන් විසින් පැහැරගනු ලැබ සමූහ දූෂනයට ලක් වීමට ය.
ඉන් අනතුරුව රැකියාවක් සොයා නගරයට යන කුසුම් වෙනත් රැකියාවක් නොලද තැන සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වා ගෙන යන ස්ථානයක වෛශ්‍යා වෘත්තීයේ යෙදීමට පටන් ගනියි. සම්භාහන මධ්‍යස්ථානය පොලිස් වැටලීමට ලක්වෙන අතර කුසුම් සිරගෙට නියම වෙයි. ඇයගේ වෘත්තීය පාදක කරගනිමින් ගම්මුන් කුසුම්ගේ පවුලට නින්දා අපහාස කිරීම කෙලවර වන්නේ ඇගේ ලමුන් පාසැලෙන්ද නෙරපා හරිමිනි. නැන්දනිය, එල්ලී සියදිවි හානිකරගන්නා අතර නිවසේ තනිවන වැඩිමහල් දියනිය තම බාල සොයුරු සොයුරියන්ද කැටුව ඇඟලුම් කම්හලක සේවය කිරීමට නගරයට යයි.
චිත්‍රපටිය නිම වන්නේ සිරගෙයින් නිදහස්ව පැමිනෙන කුසුම්, සැමියාගේ ඝාතනයට හවුල්වූ විදුහල්පතිට පිහියෙන් ඇන ඝාතනය කොට හිස් නිවසට පැමින එයට ගිනි තැබීමෙනි. ඇයද එම ගින්නටම පැන දිවිතොරකරගෙන ඇති බවක් ඇඟවෙයි.
සැමියාගේ ඛේදනීය වියෝවේ වේදනාව ද බරවැඩ කිරීමෙන් නැගෙන කායික වේදනාව ද යටතේ ප්රචන්ඩ ලිංගික අඩත්තේට්ටම්වලින් සුනුවිසුනු කල සිරුරින් හා ආත්මයෙන් යුත්, එනමුදු සිය දරුවන් කෙරෙහි මෙන්ම නැන්දනිය කෙරෙහි පතල කරුනාවෙන් ඔවුන් ජීවත් කරවීමේ අදිටනින් යුත් නොසැලෙන ගැහැනියකගේ ජීවන අරගලය ජනාදරී විශිෂ්ඨ ලෙස තිරය මතට ගෙන එන්නීය. අශෝක හඳගම අධ්‍යක්ෂනය කල තනිතටුවෙන් පියාඹන්න චිත්‍රපටියේ රංග ප්‍රතිභාව කුසුම්ගේ චරිතය තුල ද ජීවමාන කරවීමට ඇය සමත් වන්නීය.
හැඩි දැඩි පිරිමින් සමග උරෙන්උර ගැටී වැඩකරමින්, මරන ලද ගවයන්ගේ මස්, සම්, අතුනුබහන්, හිස්කබල් හා අවශේෂ සිරුරු කොටස් නිරුවත් දෑතින් ඉවත් කරමින් ලෙයින් පෙඟුන ඝාතක මඩුව සෝදා පිරිසිදු කරන දසුන් ප්‍රේක්ෂකයා දැඩිලෙස කම්පනයට පත් කරයි. නිරාහාරව සිටීම නිසා පාසැලේදී ක්ලාන්තව වැටුන පොඩි දියනියට ඊලඟ දිනයේදී එම අවස්ථාවට මුහුනපෑමට සිදුනොවනු පිනිස, ඇගේ පියයුරෙන් බඳුනකට කිරිදොවා දියනියට පොවන දසුන තවත් එවන් කම්පනකාරී අවස්ථාවකි.
ප්රතිගාමී බෞද්ධ ආගමික දෘෂ්ටියට සියුම් ලෙස පහර එල්ල කරන අවස්ථා කිහිපයක්ද චිත්‍රපටියේදී දැකිය හැක. කුසුම්ගේ සැමියා වෙනුවෙන් ආගමික වතාවත් පවත්වන භික්ෂුව, “මියගිය ප්රානකාරයා හොඳ ආත්මයක ඉපදීමට ප්‍රාර්ථනා කිරීම” එවන් අවස්ථාවකි.
කෙසේවෙතත්, ජනාදරීගේ ප්‍රබල රංගනය හා උක්ත සඳහන් බලගතු දර්ශන තිබියදීම, මෑතකාලයේ ඇතැම් සිනමාකරුවන්ට වැලඳී තිබෙන රෝගයෙන් ගැලවීමට පුෂ්පකුමාර සමත්ව නැත: ඒ නම්, කතාවට අදාල දේශපාලන යථාර්ථය චිත්‍රපටිය තුලදී දැනුවත්වම වලලා දමා තිබීම යි.
පුෂ්පකුමාර සිළුමිණපුවත්පතට පවසන්නේ, ඔහුගේ චිත්‍රපටියෙන් කර ඇත්තේ “අතීත මතකය නූතන සමාජ අවකාශය තුල ප්‍රතිස්ථාපනය කිරීම” බව යි. තවදුරටත්, “තවමත් අප ඉන්නේ ඇස්-කන් පියාගෙන, මුඛවාඩම් දාගත් සමාජයක” බව චෝදනා ස්වරයෙන් ඔහු සඳහන් කරයි. එසේවුවද, සංවේදී ප්‍රේක්ෂකයෙකුට නිතැතින්ම පෙනීයන්නේ, ඒ අතීත මතකය ගෙන ඒමේදී චිත්රපටිකරුවා දැනුවත්වම සමාජ යථාර්ථයේ ප්‍රබල පැතිකඩක් ඉදිරිපත් නොකිරීමට ස්වයංවාරනයක් පනවාගෙන තිබෙන බවයි.
පුෂ්පකුමාරම සඳහන් කරන පරිදි ප්රස්තුත සිද්ධීන් 1989 භීෂන සමයේ සිදුවූ දේවල් නම්, කුසුම් හා ඇගේ දරුවන් ව්‍යසනයට ඇදදැමීම සඳහා මූලික වසයෙන් හේතුවන ඇගේ සැමියා පැහැර ගත් ඝාතක කල්ලිවලට නිසැකවම දේශපාලන අරමුනක් පැවතුනි. එය නොකිව යුතුයැයි කිසිවෙක් කියන්නේ නම්, එය ස්වයං-වංචාවේ නිෂ්පාදිතයකි. මේ චිත්‍රපටිය පිලිබඳව මෙතෙක් පලවූ විචාරවල කතුවරුන් හැමදෙනාම පාහේ මේ වංචාවේ ගිලී සිටින්නවුන් ය.
එයින් එලිදරව් කෙරී ඇත්තේ, චිත්‍රපටි අධ්යක්ෂවරයාද ඇතුලු මේ ඊනියා විචාරකයින් තමන් මුහුනදී සිටින තත්‍ය සමාජ යථාර්ථය කෙරෙහි දක්වන මධ්‍යම පන්තික භීතිය යි.
පීඩිත ජනයාට අතිශයින් සතුරු බංකොලොත් ධනපති පන්තියේ රුදුරුබව ප්‍රදර්ශනය කරමින් එකල රාජ්‍ය පාලනය හෙබවූ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව 1987-1989 සමයේදී රටපුරා රාජ්‍ය භීෂනය මුදා හලේ ය. එහිදී ආරක්ෂක අංශ හා එයට අනුබද්ධ ඝාතක කල්ලි විසින් දේශපාලන විරුද්ධවාදීන් ත්රස්තකිරීමත් දස දහස් ගනන් ගම්බද තරුනයින් අමුඅමුවේ ඝාතනය කිරීමත් සිදුකෙරුනි.
චිත්‍රපටිය ආරම්භයේදී ගුවන් විදුලියෙන් “ජනතා විමුක්ති පෙරමුනේ කැරැලිකරුවන්ට පොලිසියට භාරවෙන ලෙස කෙරෙන නිවේදනයක්” පිලිබඳ පුවත හැරුනු විට කුසුම්ගේ සැමියා ඝාතනය කෙරුනේ කවර දේශපාලන හේතුවක් නිසාද යන්න ඇඟවෙන්නේවත් නැත. භීෂනයේ යථා ස්වභාවය හෙලිකල හැකිව තිබූ එම කාරනය සිතාමතාම යට ගැසීම මගින් එම විනාශකාරී ක්‍රියාව දියත් කල රාජ්‍ය යාන්ත්‍රනයම කොක්කෙන් ගලවා යවා ඇත.
ඒ වෙනුවට ප්‍රේක්ෂකයාගේ වෛරය හරවා යවා ඇත්තේ, නාඳුනන ඝාතක කල්ලියක් හා “ගෝනිබිල්ලෙකු” ලෙස කටයුතු කරන ගමේ විදුහල්පතිවරයා වෙත ය. මෙම පුද්ගලවාදී ප්‍රවේශය කැපී පෙනෙන අවස්ථාවක් වන්නේ, “තමුසෙ අරමිනිහට ඒ අපරාධය කලේ නැත්නම් මේ ගෑනි මෙහෙම දුක් විඳින්නේ නැතයි” කියමින් වරෙක විදුහල්පතිවරයාට එම පාසැලේම ගුරුවරියක වන ඔහුගේ බිරිඳ කුසුම් විඳින දුක ගැන තම සැමියාට චෝදනා කරන අවස්ථාව යි.
කුසුම් විදුහල්පතිට පිහියෙන් ඇන ඝාතනය කිරීම වනාහී භීෂනය දියත් කල විෂකුරු රාජ්‍ය යන්ත්‍රයට එරෙහිව නොව, ඒ කෙරෙහි වන මහජන වෛරය පුද්ගලවාදී ලෙස ඉවත හරවා යැවීමකි. කුසුම්ට මේසා ව්‍යසනයකට හා අසාධාරනකම්වලට මුහුනදීමට සිදුව තිබෙද්දීත් ඇය ගසන පුද්ගලවාදී කැරැල්ල හැරුනු විට අසාධාරනයට හා මර්දනයට එරෙහිව ඉදිරියට එන කිසිවෙකු චිත්‍රපටියේ නැත.
භීෂනයෙන් බැටකෑවේ කුසුම් හා ඇගේ පවුල පමනක් නොවේ. එසේනම් එවන් ඝාතනවලට එරෙහි වචනයක හෝ විරුද්ධත්වයක් නොදක්වා එම යුගයේ සෑම මනුෂ්‍ය ප්රානියෙක්ම වකගසාගෙන මුල්ලකට වී සිටියෝ ද? එවන් ආකල්පයක් එවකදී ඇඹිලිපිටියේ සමූහ සිසුඝාතනවලට එරෙහිව එම සිසුන්ගේ දෙමාපියන් තම දූදරුවන්ට අත්වූ ඉරනම සම්බන්ධයෙන් පරීක්ෂන ඉල්ලමින් වෙහෙස නොතකා උද්ඝෝෂනයේ යෙදීම පිලිබඳ කෙරෙන අපහාසයක් නොවේ ද?
චිත්‍රපටියේ හමුවන සෙසු චරිත ද විරෝධයක් නොදක්වාම දේවල් හුදු ඉරනම්වාදී ලෙස භාරගන්නා මිනිසුන් ය. කුසුම්ගේ නැන්දනිය එල්ලී සියදිවි තොරකර ගැනීම එවන් එක් අවස්ථාවකි. අවලාද හා වේදනාභරිත හැඬුම් හැරුනු විට අඩු ගනනේ ඇයගේ මුවින් තම පුතු ඝාතනය කලේ ඇයිද යන්න ප්‍රශ්න කිරීමේ ඉඟියක් වත් ලැබෙන්නේ නැත.
ගල්වලේ සිදුවූ අනතුරක් මුල්කරගෙන එහි බලපත්‍රය අවලංගු කිරීම මගින් ඔවුන්ගේ රැකියාවලට වින කෙටීම කෙරෙහි කම්කරුවන් දක්වන උදාසීන, පරාජිත ප්‍රතිචාරය චිත්‍රපටියේ ගැබ්වන ඉරනම්වාදය පිලිබඳ එවැනි තවත් නිදර්ශනයකි. වසාදැමූ ගේට්ටුව ඉදිරියේ කම්කරු කාන්තාවක “ඒක උන්ගේ එකෙකුට දෙන්න වෙන්න ඇති” යනුවෙන් කරන බෙලහීන නෝක්කාඩු ප්‍රකාශය හැරුනු කොට කිසිදු විරුද්ධත්වයක් නොදක්වාම රැකියා විරහිතයෝ පෙරලා ආපසු යති. සැබෑ ලෝකයේදී නම්, තමන්ගේ දරුපවුල්වලට අත්වන විනාශය සලකා, එවන් අවස්ථාවක කම්කරුවන් ප්‍රතිචාර දක්වනු ඇත්තේ පුපුරායන කෝපයෙනි.
භීෂනය කෙරෙහි කම්කරු පීඩිත මහජනයා තුල පැවැති විරෝධය ප්‍රකාශිත කරන ඉතා ප්‍රබල අවස්ථාවක් වන්නේ, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා) විසින් 1988 නොවැම්බර්, ගම්බද ඝාතනවලට එරෙහිව සටන් වැදීම සඳහා කම්කරු පන්තික සංවිධානවල එක්සත් පෙරමුනක් කැඳවීම යි. මහජනයාගේ දැනුවත් විප්ලවවාදී හිස වන විප්ලවවාදී පක්ෂය ගත් එම විප්ලවවාදී ආරම්භකත්වය වනාහී මහජනයාගේ විරෝධයේ සවිඤ්ඤානික ප්රකාශනය යි.
සුවිශේෂී සමාජ සංසිද්ධියක් පිලිබඳ කෙරෙන නිර්මානයකින් කලාත්මක ලෙස ඉදිරිපත් කල යුත්තේ, එම සංසිද්ධියට අදාල පොදු සමාජ සත්තාව යි. එය මගහැරුනු කල කලාකෘතියේ ගුනාත්මක බව හීන වෙයි; සමාජ ඓතිහාසික සත්‍යය කලාකෘතියෙන් පලා යයි.
පියාගේ සහ මිත්තනියගේ අකල් වියෝවත් මව සිරගෙට වැටීමත් මගින් තම සොයුරු සොයුරියන් හත් දෙනාද සමග තනිවෙන වැඩිමහල් දියනිය ඇඟලුම් කම්හල් සේවිකාවක ලෙස සේවය කරනු අවසන් ජවනිකාවෙන් දැක්වුන ද, එහි විස්වාසනීත්වය දුබල ය.
සිනමාහලෙන් පිටත ඇදෙන සහෘදයාට කිසිදු සාධනීය බලාපොරොත්තුවක් චිත්‍රපටිය ශේෂ නොකරයි. “සියල්ල දුකට හේතු වේ” යැයි දේශනා කරන බෞද්ධාගමික දෘෂ්ටිය චිත්‍රපටිය තම ආත්මය කොටගෙන ඇති බවක් ප්‍රේක්ෂකයාට හැඟෙයි.
Follow us on