ආන්ඩුවේ සහ සමාගම්වල ප්‍රහාර හේතුවෙන් වතු කම්කරුවන්ගේ ජීවන තත්වයන් පහලටම ඇද වැටෙයි
එම්. දේවරාජා විසිනි, 2018 මැයි 29
වතු සමාගම් විසින් ක්‍රියාවට දමන වියදම් කප්පාදුව සහ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන තත්වයන් ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් වතු කම්කරුවන්ගේ සමාජයීය සහ ජීවන තත්වයන් තව තවත් පහලට ඇද වැටෙමින් පවතී.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ 19 වන සියවසේ මුල් භාගයේ වහල් ශ්‍රමිකයන් ලෙස දකුනු ඉන්දියාවෙන් දිවයිනට ගෙනෙන ලද වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුල වඩාත් පරිපීඩිත කොටස අතරට ගැනෙයි. ශත වර්ෂයකටත් අධික කාලයක් ගතව ඇති නමුදු ඔවුන්ගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික ජීවිතයේ සැලකිය යුතු වෙනසක් සිදු වී නොමැත.
ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නිකුත් කල මෑත සමීක්ෂන වාර්තාවකට අනුව වතු කම්කරුවන්ගෙන් සියයට 60 ක් තවමත් ජීවත් වන්නේ වසර සියයකට වඩා පැරනි ලයින් කාමරවලය. වාර්තාව නිර්දේශ කරන පරිදි, සම්මත ප්‍රමිතීන්ට අනුව, අවම පහසුකම් සහිත නිවසක සිමෙන්ති ගෙබිමක්, සිමෙන්ති බ්ලොක් ගල් සහිත බිත්ති, ජලය කාන්දු නොවන තහඩු සෙවිලි කල වහලක්, සිවිලිමක්, අවම වශයෙන් නිදන කාමර දෙකක්, සාලයක්, එකකට වැඩි ජනෙල් කවුලු, නිවස ඇතුලත හෝ ඊට ආසන්නව නල ජලය, නිවස තුල හා ඒ ආසන්නයේ ජල මුද්‍රාව (water sealed) සහිත වැසිකිලියක්, විදුලිය සහ ජනෙල් කවුලු හෝ චිමිනියක් සහිත මුලුතැන් ගෙයක් තිබිය යුතුය. නිවසහි වපසරිය අවම වශයෙන් වර්ග මීටර් 50ක් විය යුතුය.
එහෙත් වතු කම්කරුවන්ගේ ලයින් නිවාස, එක කාමරයක්, කුඩා ඉස්තෝප්පුවක් හා නිසි වාතාශ්‍රයක් නොමැති වර්ග අඩි 200 ක තරමේ කුඩා ඒවාය. 1992 වතු පුද්ගලීකරනයෙන් පසු වියදම් කප්පාදුවේ කොටසක් ලෙස වතු සමාගම් විසින් නිවාස ප්රතිසංස්කරනය මුලුමනින් ම අතහැර දමා ඇත. පානීය ජල පහසුකම් ඇත්තේ සියට 67 ට පමනි.
ලමුන්ගෙන් සියයට 93.1 ක් පලමු වසරේ සිට 5 වසර දක්වා අධ්‍යාපනය ලබන නමුත් දරිද්‍රතාවය නිසා බහුතරයක් වයස අවුරුදු 15 හෝ 16 දී පාසල් ගමන අත්හිටුවයි. සාමාන්‍ය පෙල සහ උසස්පෙල දක්වා අධ්‍යාපනය ලබන්නේ පිලිවෙලින් සියයට 53.8 ක් සහ සියයට 12.8 ක් පමනි.
උපතේ දී මියයන ලදරු මරන අනුපාතය දහසකට 29 ක් වන අතර වයස අවුරුදු 5 අඩු ලදරු මරන සංඛ්‍යාව දහසකට 33 කි. මෙඩිසින්ස් ඩු මොන්ඩ් (ලෝකයේ වෛද්‍යවරු) සහ මානව සංවර්ධන සංවිධානය 2017 දෙසැම්බර් මාසයේ නිකුත් කල තවත් වාර්තාවකට අනුව වතු කම්කරු ජනයාගෙන් සියයට 25 ට වැසිකිලි පහසුකම් කොහෙත් ම නැත. අඩු බර දරු උපත් අනුපාතය දහසකට 35.9 කි. නිසි සෞඛ්‍යය සහ ප්‍රවාහන පහසුකම් නොමැති නිසා දරු උපත්වලින් සියයට 2.2 ක් සිදුවන්නේ නිවෙස් තුලය. දිවයිනේ නිල දරිද්‍රතාවය නගරයේ සියයට 2.1 ක් සහ ගම්බද සියයට 7.6 ක් නමුත් වතුකරයේ එය සියයට 10.9 කි.
ආරම්භයේ සිටම දරිද්‍රතා මට්ටමේ වැටුපකට යටත් කර ඇති ඔවුන්ගේ වර්තමාන මූලික දෛනික වැටුප රුපියල් 500 කි. සියලු දීමනා සහිත දල දෛනික වැටුප රුපියල් 730 ක් වන නමුත් බොහෝ විට එම දීමනාවන් රැඳී පවතින්නේ කාල ගුනය, නිෂ්පාදන ඵලදායිතාවය හා මාසයේ වැඩ දින ගනන මත හෙයින් මූලික වැටුප හැර එම දීමනාවන් ලබා ගැනීම දුෂ්කරය. අර්ථ සාධක අරමුදල, (ඊපීඑෆ්) සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්), වෘත්තීය සමිති සාමාජික මුදල් සහ නය ආදිය සඳහා අඩු කිරීමෙන් පසු වතු කම්කරුවෙකුගේ සාමාන්‍ය මාසික ආදයාම රුපියල් 9,000 ට අඩුය.
ඔවුන් ව නියෝජනය කරනවායි කියනු ලබන ලංකා කම්කරු කොන්ග්රසය (සීඩබ්ලිව්සී), ජාතික වතු කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුලු සියලු වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ ආන්ඩුවේ සහ වතු සමාගම්වල ප්රහාරයන් වතු කම්කරුවන් මත පැටවීමට ය. 2016 වැටුප් අරගලය පාවා දුන් වෘත්තීය සමිති රුපියල් 50 ක සොච්චම් දෛනික වැටුප් වැඩිවීමකට වතු කම්කරුවන් යටත් කල අතර වතු සමාගම් විසින් යෝජිත ආදායම් බෙදීමේ ක්‍රමය හෙවත් කම්කරුවන්ගේ පවතින සුලු සමාජ අයිතීන් පවා කප්පාදු කරමින් වතු සමාගම් වල ලාභ ඉහල දමා ගැනීමේ අඳ ගොවි ක්‍රමය ක්‍රියාවට දැමීමට එකඟ වූහ.
ලෝක වෙලඳ පොල තුල තීව්ර වන තරගය මැද්දේ ලාභ අනුපාතිකයේ තියුනු පහත වැටීමකට මුහුන දී සිටින වතු සමාගම් දැන් ක්‍රමානුකුලව මෙම ක්‍රමය ක්‍රියාවට දැමීමට පටන් ගෙන ඇත. එමෙන් ම මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් වතු විදේශ ආයෝජකයන් වෙත පැවරීමට හා වතු ඉඩම් වෙනත් වානිජ භෝග වගාවන් සහ සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.
මෙම තතු තුල තමන් මුහුන දී සිටින දුෂ්කර සමාජ හා ආර්ථික කොන්දේසි ගැන වතු කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) විස්තර කලහ.
බොගවන්තලාවේ ටීන්ස්ටින් වත්තේ 53 හැවිරිදි ඒ. තිරුසෙල්වම් පවතින දුෂ්කර සමාජ කොන්දේසි යටතේ අනාගතය ගැන හිතා ගැනීමට වත් නොහැකි බව පැවසුවේ ය. ඔහුගේ මාසික දල වැටුප රුපියල් 15,000 බවත් ඉන් නය, ඊපීඑෆ් සහ උත්සව අත්තිකාරම්, වෘත්තීය සමිති සාමාජික මුදල් හා අනෙකුත් දේවල් සඳහා අඩු කිරීමෙන් පසු අතට ලැබෙන්නේ රුපියල් 8,000 පමන මුදලකි.
“මගේ බිරිඳට හෘද සැත්කමක් කල නිසා රැකියාවක් කරන්න බැහැ. සැත්කමට රුපියල් ලක්ෂ තුනක් වැයවුනා. ඒ මුදල සොයා ගත්තේ රන් ආභරන, එලදෙනුන් සහ විකුනන්න පුලුවන් හැම දෙයක් ම විකුනලා.” විවාහක දරුවනුත් සමග පවුල් තුනක් ජීවත් වෙන්නේ ඔවුන් සතු කුඩා ලයින් නිවාසය තුලය. කලින් කිසිවෙකු විවාහ වූ විට වත්තෙන් ඔහුට නිවසක් දුන් නමුත් දැන් එය නතර කර ඇති බව ද ඔහු කීවේ ය.
ආන්ඩුවේ ඇමතියෙකු වන එන්යූඩබ්ලිව් නායක පී. දිගම්බරම් වතු කම්කරුවන් සඳහා නිවාස තනා දෙන බවට ප්‍රචාරය කලත් එවැනි ව්‍යාපෘතියක් තම වත්තේ ආරම්භ කර නැති බව ද, බලයට එන කිසිම ආන්ඩුවක් වතු කම්කරුවන් ගැන තැකීමක් නැති බව ද ඔහු පැවසුවේ ය.
“අපේ වැටුප ආහාර මිල දී ගැනීමට වත් ප්‍රමානවත් නැහැ. සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්නේ පාන් පිටි සහ සහල්. ඒවයෙ මිල ඉහල ගිහිල්ල. මාලු, මස් හෝ බිත්තර ආහාරයට ගන්න පුලුවන්කමක් නැහැ. කලින් පඩි දවසට මස් මාලු ටිකක් ගෙනාවත් දැන් මිලත් එක්ක එහෙමවත් කරන්න බැහැ” යි තිරුසෙල්වම් කීවේ ය.
කලින් ටීන්ස්ටින් වත්තේ කම්කරුවන් 250 ක් සිටි නමුත් දැන් එම ගනන 150 ට අඩු වී ඇති බවත් වත්තේ රක්ෂාව කරලා ජීවත් වෙන්න බැරි නිසා වතු තරුනයන් වැඩ සොයාගෙන නගරවලට යන බව ද ඔහු පැවසුවේ ය.
වල් පැලෑටි වැවී තිබීම සහ සර්පයින්, කූඩැල්ලන් වැනි විෂ සහිත සතුන් නිසා වත්තේ වැඩකිරීම අපහසු බව ද තිරුසෙල්වම් කීවේ ය. දලු කැඩීම හෝ වෙනත් වැඩ ආරම්භ කිරීමට පෙර පිරිමි සහ ගැහුනු කම්කරුවන් දෙගොල්ලම පැයක් වල් පැලෑටි සුද්ද කල යුතු යයි වතු පාලකයන් නියම කර ඇත.
කැලනිවැලි සමාගමට අයත් දික්ඔය බත්තල්ගල්ල වත්තේ සැලකිය යුතු කොටසක ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දමා ඇත. එහි සේවයේ නියුතු කම්කරු කාන්තාවක් හා තිදරු මවක් වන යමුනා මෙසේ කීවාය: “වත්තේ වැඩ තියෙන්නේ සතියකට දින 5 යි. අනෙක් දවස්වල ආදායම් බෙදීමේ ක්‍රමයට බෙදාදීලා තියෙන තේ ගස් 1000 ක වැඩ කරන්න ඕන. මගේ සැමියා වත්තේ වැඩ නොකරන නිසා තනියම පඳුරු 1000 ක වැඩ කරන්න බැහැ. ඉඩම අතහැරලා දානවා හැර වෙනත් විකල්පයක් මට නැහැ. අලුත් ක්‍රමයට අපිව පෙලඹවීම සඳහා පාලනාධිකාරිය ටිකෙන් ටික සතියේ වැඩ දින ගනන අඩු කරනව. ඒ නිසා මාසෙට ලැබෙන ආදායම අඩුවෙනවා” යැයි ඇය පැවසුවාය.
වෘත්තීය සමිති නව සූරාකෑමේ ක්‍රමය කම්කරුවන් මත පැටවීමට සමාගම් වලට සහයෝගය දෙන බවත් කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන නොතකන බවත් ඇය සඳහන් කලාය. ඇය යූපීඑෆ් සමිතියේ සාමාජිකාවකි. එහෙත් සමිතිය සාමාජිකයන්ගේ ප්‍රශ්න ගැන නොතකන හෙයින් එහි මැයි දින රැස්වීමට මෙවර නොගිය බව ඇය කීවාය. ආදායම් බෙදීමේ ක්‍රමයෙන් කම්කරුවන්ගේ සේවා කොන්දේසි සහ රැකියාවන්ට පහර එල්ලවීම සම්බන්ධව සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල පත්‍රිකාව වත්තේ කම්කරුවන් අතර බෙදීම නිසා වතු පාලකයන් ඇයට තර්ජනය කල බව ද ඇය පැවසුවාය.
වත්තේ වැසිකිලි පහසුකම් ප්‍රමානවත් නොවන බවත්, තිබෙන ඒවා අබලන් වී ඇති හෙයින් ඒවා උතුරා යාමෙන් කම්කරුවන් බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුහුන දෙන බවත් කම්කරුවෙකු වන සුන්දර්රාජ් පැවසුවේය. පානීය ජලය ලබා ගත යුත්තේ දුරින් ඇති ජල මූලාශ්‍ර වලින් නිසා ඒ සඳහා අවම වශයෙන් රුපියල් 30,000 පමන ජල නල වෙනුවෙන් කම්කරුවන් වැය කල යුතු ය. අබලන් වී ඇති ජල ටැංකිය අලුත් වැඩියා කිරීම පාලකයන් ප්‍රතික්ෂේප කර ඇත.
අත්‍යවශ්‍ය භාන්ඩ මිල අධික ලෙස ඉහලයාම නිසා ජීවත්වීම වඩාත් අසීරු බවත් වෙනසක් අපේක්ෂාවෙන් වර්තමාන ආන්ඩුවට චන්දය දුන් නමුත් පලක් නොවුන බව ද ඔහු කීවේ ය. “ඒ නිසා අයිතීන් සඳහා වීදිවලට බැස සටන් කිරීම හැර වෙනත් මගක් නැහැ” යයි ඔහු පැවසුවේ ය.
එස්. පීටර් බත්තල්ගල්ල වත්තේ ජීවත් වන 62 හැවිරිදි විශ්‍රාමික කම්කරුවෙකි. ඔහු මෙසේ පැවසීය:
“මම අවුරුදු 40 කුත් බිරිඳ අවුරුදු 30 කුත් වත්තේ වැඩ කලා. අපි දෙන්නම දැන් විශ්‍රාමිකයි. අපට ජීවත් වෙන්න සුදුසු නිවසක් නැහැ. විවාහක පුතාල දෙන්නගේ පවුලුත් සමග මේ කුඩා ලයින් කාමරේ ජීවත් වෙන්නේ. කුස්සියක් නැහැ. උයා ගන්නේ රබර් ෂීට් වලින් හදා ගත්තු තාවකාලික මඩුවක. වෘත්තීය සමිති කලින් යම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටියත් දැන් කම්කරුවන් වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ”
Follow us on