කිලිනොච්චි ඇඟලුම් කම්කරුවෝ දුෂ්කර වැඩ කොන්දේසි ගැන කතා කරති
ආර්. සුදර්ශන් සහ විමල් රාසේන්ද්‍රන් විසිනි, 2018 මැයි 17
ලංකාවේ යුද්ධයෙන් ව්‍යසනයට ලක්වූ උතුරේ කිලිනොච්චියේ සිට කිලෝමීටර හතක් දුරින් අර්වියාල් නගර්හි පිහිටි ඇඟලුම් කම්හල් දෙකක් වන මාස් ඇක්ටිව් වානවිල් හා මාස් ඉන්ටිමේට්ස් විදියල් යන කම්හල් දෙකේ කම්කරුවෝ මෑත දී තම දුෂ්කර සේවා කොන්දේසි ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට විස්තර කල හ.
මෙම කම්හල් අයත් වන්නේ ශ්‍රී ලංකාවේ පදනම් වන බහුජාතික සංගතයක් වන මාස් හෝල්ඩිංස් සමාගමට යි. එයට රටවල් 17ක් තුල 95,000ක ශ්‍රම බලකායක් සිටී. වාර්තා වන ආකාරයට මාස් සමාගමට ශ්‍රී ලංකාව තුල කම්හල් 40ක් තිබෙන අතර ඒවායේ කම්කරුවන් 70,000ක් පමන සේවයේ යොදවා තිබේ.
මෙම කම්හල් ආරම්භ කරන ලද්දේ ලංකාවේ ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව ගෙන ගිය කෲර යුද්ධය අවසන් වී වසර තුනක් ගෙවුනු 2012 දී ය. මාස් සංගතයට අමතර ව තවත් දේශීය හා විදේශීය ආයෝජකයන් කිහිප දෙනෙක් උතුරේ වව්නියාව, පුදුකුඩිඉරිප්පු, මන්නාරම හා යාපනයේ ද නැගෙනහිර පලාතේ ද ඇඟලුම් කම්හල් විවෘත කර ඇත.
යුද්ධයේ බලපෑමට ලක් වූ ප්‍රදේශ තෝරාගනු ලැබ ඇත්තේ ඉන් වැන්දඹු බවට පත්වූවන් ද ඇතුලු තරුන ජනයාගේ ලාබ ශ්‍රමය සූරාකෑම සඳහා ය. යුද්ධයෙන් විනාශභාග කෙරුනු බොහෝ තරුනයන් රැකියා විරහිත ව ආන්තික දරිද්‍රතාවේ ගිලී දිවිගෙවමින් සිටී.
උතුරේ යාපනය, කිලිනොච්චි හා මුලතිවු දිස්ත්‍රික්කවලට අයත් වයස 18-30 අතර කම්කරු කාන්තාවන් හා පිරිමි න් 4,000ක් පමන වානවිල් හා විදියල් කම්හල්වල සේවයේ යොදවනු ලැබ සිටිති.
කම්හල් අසල නවාතැන් පහසුකම් නොමැති නිසා ඔවුන් ජීවත් වන ගම්මානවල සිට බස්රථවලින් ප්‍රවාහනය කරනු ලැබේ. උදේ 7.30 සිට සවස 5.30 දක්වා සේවය කිරීමට උදෑසන 5.30 නිවෙස්වලින් පිටත් වීමට ඔවුන්ට සිදු වී තිබේ.
නිෂ්පාදන කටයුතුවලින් බොහෝ කොටසක් වැඩකරන වේලාවේ යන්ත්‍ර අසල මුලු දවසේ ම සිටගෙන සිදුකරන්නේ කාන්තා කම්කරුවන් විසිනි. එක් අංශයක කලින් පැවති කමිස අත් 60ක ඉලක්කය දැන් 120 දක්වා ඉහල දමා ඇති අතර, ඊට අමතර ව කොලර් මසා නිම කිරීම ද කලයුතු ව තිබේ.
සමාගමේ අවශ්‍යතා අනුව අතිකාල වැඩ කිරීම අත්‍යවශ්‍ය වේ. කම්කරුවන් තම නිවෙස්වලට ලඟා වන්නේ රාත්‍රී 11 පසු වී ය. විෂාදය, විලුඹ ඉදිමීම, කොඳුඇට පේලියේ හා සන්ධිවල වේදනාව හා නහර ඉදිමීම යන රෝගවලින් කම්කරුවන් පෙලීම සාමාන්‍ය දෙයකි. තම සහෝදර සේවිකාවන් ගබ්සා වීම්වලින් පෙලෙන බව සමහර කාන්තා කම්කරුවෝ පැමිනිලි කරති. එසේ වන්නේ දීර්ඝ කාලයක් අධික රස්නය මධ්‍යයේ හිටගෙන වැඩ කිරීම නිසා යයි ඔවුහු සැක කරති.
රෝගවලින් පෙලෙන බව දැනෙන කම්කරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටව යාමට අවසර නො ලැබේ. සමාගම කම්හල් භූමියේ ඩිස්පෙන්සරියක් පවත්වාගෙන ගියත් එහි තිබෙන්නේ පැරසිටමෝල් හා ඇමොක්සිලීන් පමනි. යම් අයෙක් අධික රෝගී තත්ත්වයකින් පෙලෙන්නේ නම් කම්හල තුල ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් කැඳවාගෙන එන්නේ මහජනයා ඒ ගැන දැනගැනීමෙන් වැලැක්වීමට ය.
කම්කරු කාන්තාවන්ට පලමු හා දෙවන දරු උපත් සඳහා මාස තුනක් මාතෘ නිවාඩු ලබා දෙන අතර තුන්වන දරු උපතට ලැබෙන්නේ දින 45ක් පමනි. කම්හලේ දී ලාබ මිලට ලබා දෙන ආහාර හොඳ තත්ත්වයේ නැති බවට කම්කරුවෝ පැමිනිලි කරති.
2012 දී මෙම කම්හල් පටන් ගත් සමයේ කම්කරුවෙකුට රුපියල් 9.500ක මාසික වැටුපක් ගෙවනු ලැබී ය. පඩි වැඩිකිරීම් කිහිපයකට පසු සියලු දීමනා සහිත ව දැන් ඔවුන්ට රුපියල් 21,000ක් ගෙවනු ලබයි. එහෙත් සියලු කම්කරුවන්ට එම දීමනාව කරා ලඟා විය නො හැකි බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල පිම්මේ ඉහල යන නිසා තමන්ගේ මාසික වියදම් සඳහා වැටුප නොසෑහෙන බවත් කම්කරුවෝ කීහ.
සේවා කොන්දේසි හා ජීවන තත්ත්වයන් ගැන විස්තර කරමින් 22 හැවිරිදි කම්කරු කාන්තාවක් මෙසේ කීවා ය: “මම මේ කම්හලේ අවුරුද්දක් වැඩ කරනවා. එක කකුලකින් හිටගන මම වැඩ කරන්නේ අනෙක් කකුලෙන් මැෂිම මෙහෙයවන ගමන්. මට විලුඹ ඉදිමීම, පපුවේ හා කොන්දේ අමාරුව තියනවා. දවසෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ කම්හලේ. අතිකාලත් එක්ක මගේ මාසික ආදායම රුපියල් 18,000 යි. අපි ලෙඩ වුනත් නිවාඩු ගන්න බැහැ. අපි නිවාඩු ගත්තොත් පඩියෙන් රුපියල් 2,000ක පැමිනීමේ දීමනාව අඩුකරනවා. මැෂින්වල අසාමාන්‍ය රස්නය නිසා මුද්‍රන අංශයේ වැඩකරන කාන්තාවන් ගබ්සාවලට ගොදුරු වෙනවා.
“අපේ කම්හලේ නිෂ්පාදන ඇමරිකාවටයි යුරෝපයටයි අපනයනය කරනවා. ඉලක්කය දෙන්න බැරි වුනොත් අපිට කුනුහරුපෙන් බනිනවා. කලමනාකාරීත්වයේ මේ හැසිරීම නිසා සමහරු රස්සාව දාල යනවා. අපේ අංශයේ ඉන්නෙ කම්කරුවන් 16ක් පමනක් වුනත් දවසකට ඇඳුම් 1,500-1,800ක් ඉවර කරන්න ඕන.”
ඇයගේ අංශයේ වායු සමීකරන යන්ත්‍ර දෙකකින් ක්‍රියාත්මක වන්නේ එකක් පමනි. කම්කරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා හා නොනවතින පීනස තිබේ. ඇයට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලැබුන ද කාර්යාලය කොලඹට කිට්ටුව පිහිටා තිබීම නිසා ආරක්ෂක ගැටලු හේතුවෙන් එම රැකියාවට නොගිය බව ඇය කීවා ය.
වානවිල් කම්හල අසල ජීවත් වන ගම්වැසියෙක් පරිසර දූෂනය ගැන විස්තර කලේ ය: “අවුරුදු හතරකට කලින් සමාගම මානව අපද්‍රව්‍ය හා ජලාපවහන ඒකකය ප්රතිචක්රීකරනය කිරීම ස්ථාපනය කලා. දැන් ඒක අත්හැර දාල. අපජලය විශාල ලිඳකට එකතු කරගන්න හින්ද පරිසරය අධික ලෙස දූෂනය වෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකටයි ග්‍රාම සේවකටයි අපි කීප වතාවක් පැමිනිලි කලත් වැඩක් වුනේ නැහැ.”
දූවිල්ලේ බලපෑමට ලක්වූ 25 හැවිරිදි තවත් කම්කරු කාන්තාවක් ප්‍රතිකාර ලබමින් පසුවේ. සාමාජිකයන් හත්දෙනෙකුගෙන් යුත් ඇයගේ පවුල ජීවත් වන්නේ ඉන්දියානු නිවාස ආධාර ව්‍යාපෘතියක් යටතේ ලබාදුන් කාමර දෙකක නිවසක ය.
ඇය මෙසේ කීවා ය: “මැෂිමටත් වඩා වේගයෙන් අපිට කම්හලේ වැඩකරන්න සිද්ධ වෙලා. එහෙම නො වුනොත් අපිට ප්‍රශ්නවලට මුහුන දෙන්න වෙනවා. මේ සියලු පීඩනයන් යටතේ කීයක් හරි හොයාගන්න අපි වැඩ කරන්නෙ බැංකු නයයි කල්බදුයි ගෙවල දාන්න.”
ඇයගේ සහෝදරිය ද එම කම්හලේ ම වැඩකරන අතර දීර්ඝ වේලාවක් හිටගන වැඩකිරීම නිසා කකුල ඉදිමීමෙන් පෙලේ.
“මගේ මහත්තය දුවවයි මාවයි දාල ගියා. ආන්ඩුවෙන් මට කිසිම සහනයක් ලැබුනෙ නැහැ. ටවුන් එකට කිලෝමීටර 9කුත් ඉස්පිරිතාලෙට කිලෝමීටර 6කුත් අපි යන්න ඕන. කම්කරුවන්ට විවේක කාලයක් හම්බ වෙන්නෙ නැහැ. සමහර වෙලාවට අපි දවස් තුනක් උනෙන් පෙලුනොත් අපිට ඒක සෑහෙන්න බලපානවා. අවුරුද්දට ම දෙන්නෙ නිවාඩු දවස් 14යි. මරනෙකට නිවාඩු දෙන්නෙ මැරුන කෙනා පවුලේ කෙනෙක්නම් විතරයි.” අවසර නො ලබා නිවාඩු ගතහොත් ඔවුන්ට රැකියාව හා කලින් වැටුප් අහිමි වීමට මුහුන දීමට සිදු වේ.
23 හැවිරිදි කම්කරු කාන්තාවක් තමන් සේවයට බැඳුනේ වයස 20 දී බවත් මාස හතක් ඇතුලත කොඳුඇට පේලියේ වේදනාව දැනුනු බවත් කීවා ය. වෛද්‍යවරු ඇයට රස්සාව අත්හැර යන ලෙස උපදෙස් දුන් අතර ඇය තවමත් ප්‍රතිකාර ගනී.
එක්දරු කම්කරු මවක් තමන් සාමාජිකත්වය දරන ලංකා වෙලඳ, කාර්මික හා පොදු කම්කරු සමිතිය (සීඑම්යූ) වෙත තම දුෂ්කරතා ගැන පැමිනිලි කල බව කීවා ය. නම් ද සමගින් විස්තර සපයන ලෙස සමිතිය කී විට එම තොරතුරු කලමනාකාරීත්වය වෙත යා හැකි නිසා ඔවුහු එසේ කිරීම ප්‍රතික්ෂේප කල හ. “අපි සමිතියෙන් අස්වුනා. අඩුගානෙ ඕගොල්ලො හරහා වත් අපේ වේදනාව එලිදරවු වෙන්න ඕන” යයි ඇය කීවා ය.
කම්කරු අරගල දියබත් කිරීම ගැනත් සමාගම් කලමනාකාරීත්වයන් සමග තිබෙන සමීප සබඳතා ගැනත් සීඑම්යූව කුප්‍රකට ය.
යාපනය, කිලිනොච්චිය හා මුලතිවු සිට කම්කරුවන් ප්‍රවාහනය කිරීමට තිබෙන්නේ බස් 23ක් පමනක් බව බස්රථ රියැදුරෙක් අපේ වාර්තාකරුවන්ට කීවේ ය. ඇතිතරම් බස්රථ නැති නිසා කම්කරුවන් 100-110කට එක් බසයක ගමන් කිරීමට බලකෙරී තිබේ.
වානවිල් කම්හල පිහිටා ඇති පොන්නලායි ගම්මානයේ ග්‍රාම සංවර්ධන සමිතියේ සාමාජිකයෙක් මෙසේ කීවේ ය: “සමාගමේ රස්සාවල් අතහැරල ගොඩක් අය යද්දි රස්සාවල් බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් රැකියා පෝලිම්වල ඉන්නව. කෙටි කාලයක් ඇතුලත වැඩි නිෂ්පාදනයක් කරගන්න විශාල පීඩනයක් දානව.
“මෙහේට කම්හල් ආවහම අපේ ජීවිත දියුනු වෙයි කියල අපි හිතුව. ඒත් දැන් මිනිස්සු ලෙඩ්ඩු බවට පත්වෙනව. යුද්ධයේ ව්‍යසනයෙන් පස්සෙ දැන් තියෙන්නෙ ලාබ සඳහා හඹා යාමක්. යුද්දෙ කාලෙ සියල්ල විනාශ කෙරුවට පස්සෙ දැන් දුගීන් රෝගාබාධවලටයි දුප්පත් කමටයි මුහුන දෙනව.”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලනය ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට බදු සහන හා අනෙකුත් සහන ලබාදෙමින් ආයාචනා කරති. අර්බුද ග්රස්ත ධනපති පන්තිය විදේශ විනිමය උපයා ගැනීමට පමනක් උත්සුක වෙයි. ඔවුන්ගේ එක් ප්‍රධාන අපනයන ආදායම් උපයන අංශයක් වන්නේ රෙදිපිලි කර්මාන්තය යි. සමස්ත අපනයන ආදායමෙන් සියයට 42ක් උපයා දෙන එම කර්මාන්තය තවත් ඉහල දමා ගැනීමට පාලක පන්තිය හා සමාගම් තරඟයේ යෙදී සිටී.
Follow us on