සමාජවාදය සඳහා අරගලය සහ ඉතිහාසයේ වැදගත්කම: ඩේවිඩ් නෝර්ත් රේඩියෝ ශී‍්‍ර ලංකා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව

The struggle for socialism and the importance of history: David North interviewed on Radio Sri Lanka

2018 ඔක්තෝබර් 12

“කොෆී විත් ඩෑන්” වැඩ සටහන මෙහෙයවන ලද්දේ සුප‍්‍රකට නීති විශාරදයෙකු හා නීතිඥවරයෙකු වන ආචාර්ය ඩෑන් මලික ගුනසේකර විසිනි. ගුනසේකරගේ විමර්ශනාත්මක ප‍්‍රශ්න කිරීම් හමුවේ නෝර්ත්ට; ලෝක ධනවාදයේ අර්බුදය ද, එක්සත් ජනපදයේ ට‍්‍රම්ප් පාලනයේ ස්වභාවය ද, චීනයේ ආර්ථික උන්නතියේ වැදගත්කම ද, අධිරාජ්‍යවාදී යුද්ධයේ අනතුර ද, සමාජවාදය කෙරේ වැඩිවැඩියෙන් උනන්දු වෙමින් සිටින කම්කරුවන් හා තරුනයින් හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය හැදෑරීමේ අත්‍යවශ්‍යතාව ද පිලිබඳව සාකච්ඡා කිරීමේ අවස්ථාව හිමිවිය.

ඩේවිඩ් නෝර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඔක්තෝබර් 8 වන දින රේඩියෝ ශී‍්‍ර ලංකාහි “කොෆී විත් ඩෑන්” වැඩ සටහන

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඔක්තෝබර් 8 වන දින රේඩියෝ ශී‍්‍ර ලංකාහි “කොෆී විත් ඩෑන්” වැඩ සටහන තුල විනාඩි 30 කට වැඩි කාලයක් විකාශනය විය. මෙය ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සන්නිවේදන ජාලයේ කොටසකි.

සෑම සතියේ දිනකම පෙරවරු 8 සිට රේඩියෝ ශී‍්‍ර ලංකා තුලින් කොෆී විත් ඩෑන් විකාශනය වෙයි. දිවයින පුරා 97.4 හා 97.6 තරංග මාලා ඔස්සේ විකාශනය කෙරෙන රේඩියෝ ශී‍්‍රි ලංකාහි කොෆී විත් ඩෑන් වැඩ සටහනට සවන් දිය හැකියි. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ රේඩියෝ ශී‍්‍ර ලංකා ගුවන් විදුලියටයි. දැන් කාලය එලැඹී ඇත්තේ කොෆී විත් ඩෑන් වැඩසටහන සඳහායි. ඩෑන්, මයික‍්‍රෆෝනය ඔබට බාරයි.

***

ඩෑන්: සුබ උදෑසනක්. කොෆී විත් ඩෑන් වැඩ සටහනට ඔබ සාදරයෙන් පිලිගන්නවා. මේ උදෑසන මා සමඟ මෙහි සිටිනවා ඬේවිඞ් නෝර්ත් මහතා. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති. වැඩි විස්තරවලට පලමුව මා ඬේවිඞ් නෝර්ත් මහතා සාදරයෙන් පිලිගනිමින් ඔහුට සුබ උදෑසනක් ප‍්‍රාර්ථනා කිරීමට කැමතියි.

ඩීඑන්: මෙහි පැමිනීම සතුටක් ඩෑන්, මට ආරාධනය කිරීම පිලිබඳව ස්තුතියි.

ඩෑන්: ඬේවිඞ් මෙහි පැමින සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටයි. මා පැවැසූ පරිදි, ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපතිවරයායි. ඔහු ශී‍්‍ර ලංකාවට පැමින සිටින්නේ වැදගත් අවස්ථාවන් කිහිපයක් ඇමතීමටයි. ඔක්තෝබර් 1 වන දින කොලඹදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු හතරවැනි ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරයත්, ශී‍්‍ර ලංකාවේ සසප ලෙස හඳුන්වනු ලබන සමාජවාදී සමානතා පක්ෂයේ 50 වන සංවත්සරයත් සැමරීම සඳහා පැවැත්වීමට නියමිත වූ ප‍්‍රසිද්ධ රැස්වීම් පිලිබඳව සඳහන් කලා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දී ද, පසුගිය සති අන්තයේ ඔක්තෝබර් 7 වන දා නව නගර ශාලාවේදී ද ඔහු දේශන පැවැත්වූවා. හොඳයි, මම පලමුවෙන්ම ඔබෙන් මෙය අසන්නම් ඬේවිඞ්. මේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය කුමක්ද? එය කුමක් සඳහා පවතින්නක් ද?

ඩීඑන්: ලෝක සමාජවාදී වෙබ් අඩවිය යනු හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අන්තර්ජාල ප‍්‍රකාශනයයි. එය ලොව පුරා භාෂා 15 කින් පමන ප‍්‍රකාශයට පත් කෙරෙන අන්තර්ජාල ප‍්‍රකාශනයක්. එය ලෝකයේ වඩාත්ම පුලූල් ලෙස කියවනු ලබන මාක්ස්වාදී සමාජවාදී වෙබ් අඩවියයි. එය සතියකට දින හයක් වශයෙන් පල කෙරෙන අතර මේ වර්ෂයේ අප එය අඛන්ඩව ප‍්‍රකාශයට පත් වීමේ 20 වන සංවත්සරය සනිටුහන් කලා. එය පුලූල් පරාසයක දේශපාලන, සාමාජයීය, ආර්ථික, ඓතිහාසික, න්‍යායික, සංස්කෘතික ප‍්‍රයුක්තීන් පිලිබඳව සාකච්ඡුා කරන අතර, ඊට ලෝකය පුරා පැතිරුනු සැලකිය යුතු පාඨක ජනකායක් ඇතැයි මා විශ්වාස කරනවා.

ඩෑන්: හොඳයි, ඔබ ශී‍්‍ර ලංකාවට පැමිනියේ කුමක් සඳහා ද?

ඩීඑන්: හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව වන ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මට ආරාධනය කලා. ශී‍්‍ර ලංකාවේ සසපය එහි පනස්වැනි සංවත්සරය සමරනවා. ඇත්තෙන්ම ට්‍රොට්ස්කිවාදියෙකු වන සෑම අයෙක්ම දන්නවා ශී‍්‍ර ලංකාවේ මාක්ස්වාදයට දීර්ඝ හා ප්‍රෞඪ ඉතිහාසයක් ඇති බව. මෙය නියෝජනය වූයේ 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නමින් ආරම්භ වී 1990 ගනන්වල සමාජවාදී සමානතා පක්ෂය බවට පත් වූ සංවිධානය විසින්. සසපය හා එහි ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් ශී‍්‍ර ලංකාවට පැමින හතරවැනි ජාත්‍යන්තරයේ 80 වසරක ඓතිහාසික පාඩම් පිලිබඳව දේශන පවත්වන්නැයි මට ආරාධනා කලා.

ඩෑන්: සමාජවාදී සමානතා පක්ෂය, නැතිනම් ඔබ කියන පරිදි සසපය, තරයේ කියා සිටිනවා කම්කරු පන්තිය හතරවැනි ජාත්‍යන්තරයේත්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේත් ඉතිහාසය හැදෑරිය යුතු බව. මෙය ප‍්‍රගාඪ වැදගත්කමකින් යුතු බව ඔබේ දේශනවලදීත් ඔබ අවධාරනය කලා. ගෝලීය පර්යාය විප්ලවවාදී ලෙස පරිවර්තනය කිරීම සඳහා ඔබේ ව්‍යාපාරයේ ඉතිහාසය ඒ සා වැදගත්කමක් දරන්නේ මක්නිසාදැයි ඔබට පැහැදිලි කල හැකිද?

ඩීඑන්: ඔව්. සියල්ලටම පලමුව, අතීතය වටහා ගැනීම සඳහා අපට ඓතිහාසික සමුද්දේශ ලක්ෂ්‍යයක් අවශ්‍ය වෙනවා. අප මේ කරා සම්ප‍්‍රාප්ත වූයේ කෙසේදැයි වටහා ගැනීමෙන් තොරව අප අපේ කාලයේ පවතින සංකීර්න ප‍්‍රශ්න රාශියක් වටහා ගන්නේ කොහොමද? 20 වන සියවසේ සමාජවාදය සඳහා අරගලය අනුස්මරනිය පරිමානයන් අත්පත් කර ගත්තා. 1917 රුසියානු විප්ලවය ඉතිහාසයේ ප‍්‍රථම කම්කරු රාජ්‍යය ගොඩ නැඟීමට සමත් වුනා. එහෙත් සෝවියට් සංගමය ගොඩ නැඟූ එම විප්ලවය ස්ටැලින් යටතේ බිහිසුනු පරිහානියකට මුහුන දුන්නා. විප්ලවය පදනම් කර ගැනුනු සියලූ මූලික මූලධර්ම, අන් සියල්ලමටත් වඩා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම, සැබෑ සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමානාත්මතාවය සඳහා අරගලය, මේ සියල්ල ස්ටැලින් විසින් පාවා දෙනු ලැබුවා. එහි ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක අවසානයේ සෝවියට් සංගමයම විසුරුවා හැරීමෙන් කුලූ ගැන්වුනා. දැන්, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, අප ඉතිහාසයේ අවසානයට එලැඹී ඇති බවටත්, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව ඉතිහාසයේ අවසන් අදියර බවටත්, ධනවාදය විජයග‍්‍රහනය ලබා ඇති බවටත් කියාපෑ කෘතියක් පල වුනා. ඇත්තෙන්ම සුප‍්‍රකට පොතක් වූ එය ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා විසින් ලියන ලද ‘ඉතිහාසයේ අවසානය‘ (The End of History) නම් පොතයි. අපට කියා සිටියේ අප සාමයේ, සෞභාග්‍යයේ හා සමානාත්මතාවයේ නව යුගයකට ප‍්‍රවේශ වෙමින් සිටි බවයි. පසුගිය අවුරුදු 30 ක කාලය තුල සිදු වූ වර්ධනයන් දෙස බලනවිට පෙනී යන්නේ එලැඹ ඇති යුගය එහි හාත්පසින් ප‍්‍රතිවිරුද්ධය බවයි. අප ජීවත් වන්නේ අසමානතාවයෙන් යුතු, ආර්ථික අර්බුදයෙන් ඔද්දල් වූ, ෆැසිස්ට්වාදයේ අනතුර හා යුද්ධයේ සමීපස්ථ තර්ජනය හිස මත ලඹ දෙන ලෝකයකයි. එක්සත් ජනපදය සහ චීනය, රුසියාව අතර ගැටුම, ලෝකය පුරා රටවල්වල අප දකින වර්ධනය වෙමින් පවත්නා යුදවාදය, මේවා අතිශය ඛේදජනක හා ව්‍යසනකාරී විභවයකින් යුත් දිශාවකට ගමන් කරමින් තිබෙන බව පිලිබඳව ලෝක දේශපාලනය බැ?රුම්ව නිරීක්ෂනය කරන කවරෙකුට හෝ සැකයක් පැවතිය නොහැකියි. දැන් එක්සත් ජනපදයේ පවා, විශේෂයෙන්ම තරුනයන්ගේ පුලුල් කොටස් අතරත්, දිනෙන්දින වර්ධනය වෙමින් පවත්නා කම්කරු ජනකායක් අතරත් සමාජවාදය කෙරේ අලූත් උනන්දුවක් ඇති වී තිබෙනවා. එක්සත් ජනපදය යනු ධනේශ්වර ක‍්‍රමයේ බලකොටුව ලෙස පමනක් දැන සිටි අයට මෙය විශ්මයජනක දෙයක් ලෙස පෙනී යා හැකියි.

පවතින කොන්දේසි ඒ පරිදියි. විකල්පයක් සඳහා සැබෑ අභිරුචියක් පවතිනවා. ධනවාදය යනු අශිෂ්ඨ වචනයක් බවට යලිත් පත්වෙලා. ඒ අනුව විකල්පයක් සඳහා මහත් උද්‍යෝගයක් තිබෙනවා. එහෙත් එකෙනෙහිම එලඹෙන ප‍්‍රශ්නය වන්නේ තරුන පරපුර - ඇත්තෙන්ම කියතොත් අද බොහෝ ජනයා - තුල, සමාජවාදයේ ඉරනම නිර්නය කල සමාජවාදී ව්‍යාපාරයේ මහා අරගලවල ඉතිහාසය පිලිබඳව දැනුමක් නොපැවතීමයි. එසේ සමාජවාදය පිලිබඳ ප‍්‍රශ්නය වියුක්තයක්ව පවතින නිසා ඔවුන්ට අධ්‍යාපනය දීම හා පැහැදිලි කිරීම සැබැවින්ම අත්‍යවශ්‍ය වෙනවා. ඔබට අද දින ලෝකය වටහා ගැනීමට අවශ්‍ය නම්, ඔබ කම්කරු පන්තිය පසු කොට ආ මහා අරගල, සමාජවාදී ව්‍යාපාරය හැඩ ගැස්වූ මහා අරගල - මෙහි දී ස්ටැලින්වාදයට හා මා ඕවාදයත් ඇතුලූව එහි සියලූ ප‍්‍රභේදයන්ට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දියත් කල අරගලයට වඩා වැදගත් අන් අරගලයක් නැහැ - මේ මහා අත්දැකීම්වල පි‍්‍රස්මය තුලින් ඒවා අධ්‍යයනය කල යුතුයි. විසිවන සියවසේ විශිෂ්ඨතම දේශපාලන චින්තකයා වූයේ ලියොන් ට්‍රොට්ස්කියි. අන් සියලු අයට වඩා වැඩියෙන් අපවාදයන්ට හා නින්දා ගැරහීම්වලට පාත‍්‍ර වූ තැනැත්තා ද ඔහුයි. එහෙත් මෙම ඉතිහාසය අතිමහත් වැදගත්කමකින් යුතුයි. ඒ අනුව, පසුගිය ශත වර්ෂයේ ප‍්‍රධාන අත්දැකීම් විමර්ශනය කිරීමටත්, අද යුගයට එහි පවත්නා අදාලත්වය පැහැදිලි කිරීමටත් මට ආරාධනා ලැබී තිබෙනවා.

ඩෑන්: සමාජවාදී සමානතා පක්ෂය හා ඔබේ ලෝක පක්ෂය වන ජාත්‍යන්තර කමිටුව ලේඛන ගනනාවකින් ගුනාංගීකරනය කලේ පශ්චාත් යුදකාලීන උත්පාත සමය 1960 ගනන්වලදී නිමා වීමෙන් පසු හා නිෂ්පාදනය වඩවඩාත් ගෝලීයකරනය වූ කල, වෘත්තීය සමිති ප‍්‍රතිගාමී කාර්යභාරයක් ඉටු කරන බවයි. එමෙන්ම වාර්තා වන පරිදි ලෝක පරිමානවම හා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ වෘත්තීය සමිතිවල සාමාජිකත්වය අඩු වෙමින් පවතිනවා. ඒ අතරම අප දකිනවා කම්කරු පන්තියේ සාම්ප‍්‍රදායික නියෝජිතයන් වෙනුවට නව ආකෘතීන්හි ජනතාවාදී ව්‍යාපාර බිහි කර ගැනීම. විරෝධයේ නව ආකෘතීන් ඇති කර ගැනීම. ශී‍්‍ර ලංකාවේ දී ද අප දකිනවා ඇතැම්විට වෘත්තීය සමිති කි‍්‍රයාකාරීත්වයන් සාමාන්‍ය මහජනයාට ද ඉමහත් දුෂ්කරතා ඇති කරන ආකාරය. ෆුකුයාමා සහ චීනය සම්බන්ධ කාරනා ද සැලකිල්ලට ගැනීමේ දී, ඔබ දන්නවා ලොසවෙඅ පෙන්වා දී තිබෙනවා, ව්‍යාජ වම මේ විරෝධතා දේශපාලනයේ නායකත්වය ගෙන ඇති බව. මා ඔබට ඉදිරිපත් කරන්නට කැමති ප‍්‍රශ්නය වන්නේ, ඔබ හා හජාජාක මෙම දේශපාලන ආකෘතීන් කම්කරු පන්තියට ඇටවූ දේශපාලන උගුල් ලෙස ගුනාංගීකරනය කරන්නේ ඇයි?

ඩීඑන්: ඔබේ ප‍්‍රශ්නයෙන් කරුනු ගනනාවක් මතු කෙරෙනවා. ඉන් ඇතැම් දේ පිලිබඳව පැහැදිලි කිරීමට මම උත්සාහ ගන්නම්. මුලින්ම වෘත්තීය සමිති පිලිබඳ ප‍්‍රශ්නය. මෙම සංවිධාන පසුගිය අඩ සියවස තුල අතිවිශාල පරිහානියකට භාජනය වී තිබෙනවා. වෘත්තීය සමිති සාම්ප‍්‍රදායිකව සම්බන්ධ වී සිටි කෘත්‍යයන්; එනම්, වැටුප් වැඩි කර ගැනීමට, සේවා කොන්දේසි ඉහල දමා ගැනීමට, කම්කරු රැකියා සුරක්ෂිත කර දීමට තැත් කිරීම - මේ මූලික කර්තව්‍යයන් කිසිවක් හෝ පවා අද දිනයේ වෘත්තීය සමිති ඉටු කරන්නේ නැහැ. ඔවුන් ඒ සා පරිපූර්නව සංස්ථාපිත පාලන ව්‍යූහයට ගැට ගැසී සිටිනවා. මීට මූලික හේතුව පවතින්නේ මේවාට නායකත්වය දෙන්නන්ගේ අසත්පුරුෂ චරිත ස්වභාවය තුල නොව, අවසාන විග‍්‍රහයේ දී මෙකී සංවිධාන සාරාත්මකව ජාතික වැඩපිලිවෙලක් මත - ජාතික මූලෝපායයක් මත - තමා පදනම් කොට ගෙන තිබීමේ කරුන තුලයි.

කෙසේවෙතත් එම මූලෝපායට අනුව ඔවුන් තමන්ගේම පාලක ප‍්‍රභූන්ගේ පිලිවෙත්වලට තමා යටත් කර ගැනීම අවශ්‍ය කෙරෙනවා. ඔබ අත්දැකීම්වලින් පිරිපුන් ආර්ථික විද්‍යාඥයෙකු බව කලින් මා සමඟ පැවසුවා. අද දවසේ ලෝකයේ ආධිපත්‍යය දරන සාධක ජාත්‍යන්තර ඒවා බව ඔබ දන්නවා. අප ජීවත්වන්නේ ලෝක ගෝලීය වශයෙන් ගැට ගැසුනු ආර්ථිකයක් තුලයි. සෑම ධනපති පන්තියක් හා රාජ්‍යයක්ම ආධිපත්‍යය සඳහා වූ රුදුරු තරඟයක පැටලී සිටිනවා. ඉන් කෲරතම එක වන්නේ එක්සත් ජනපදයයි. ඒ අනුව, මෙම රාමුව තුල, ජාතික ප‍්‍රතිපත්තියක් සහමුලින්ම අප‍්‍රමානවත් වෙනවා. ඔවුන් දියත් කරන වෙලඳ යුද්ධවල අවශ්‍යතාවලට කම්කරුවන් වඩවඩාත් යටත් විය යුතුයැයි පාලක ප‍්‍රභූ තන්ත‍්‍රයන් ඉල්ලා සිටිනවා.

තමන්ගේ භාන්ඩ තරඟකාරී වීමට ඔවුන් ලාභ ශ‍්‍රමය යොදා ගන්නවා. ඒ ආකාරයෙන් වෘත්තීය සමිතිවල - හා සියලූ පෙර ප‍්‍රතිසංස්කරනවාදීව පැවැති පක්ෂවල - අසාර්ථකත්වය වන්නේ ඔවුන්ට මෙම ජාත්‍යන්තර අර්බුදයට පිලිතුරක් ජාතික පිලිවෙත් තුල නොපැවතීමයි. ධනවාදීන් මෙම ගැටලූව විසඳීමට තැත් කලේ යුද්ධය හරහායි. වෙලඳ යුද්ධ, ආර්ථික යුදකරනය, අවසානයේ යුදමය ගැටුම් හරහා. කම්කරු පන්තිය මෙයට ජාතික රාජ්‍යය ඉක්මවා යන අතිශය වෙනස් ප‍්‍රවිෂ්ටයක් ඉදිරිපත් කල යුතුයි. දැන් අපි මෙම ව්‍යාජ වම යන ප‍්‍රශ්නය සලකා බලමු. අප මෙම ව්‍යාජ වම යන යෙදුම යොදන්නේ අතිශයෝක්තියක් ලෙස නොවෙයි. එය තථ්‍ය ලෙසම සත්‍ය කරුනක්. තමන් වමේයැයි කියාගන්නා මෙම සංවිධාන කිසිදු අයුරකින් මාක්ස්වාදය හා සම්බන්ධ කිසිවක්ම හෝ දරා සිටින ඒවා නොවෙයි. මම එක් මූලික ප‍්‍රශ්නයක් කරා පමනක් යොමු වෙන්නම්. මාක්ස්වාදයේ ප‍්‍රධාන මූලෝපායාත්මක පදනම වෙන්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය හා එම පන්තියේ ජාත්‍යන්තර ස්වභාවය හඳුනාගැනීමයි. මාක්ස් හා එංගල්ස්ගේ සියලූ විශිෂ්ඨ කෘතීන් කැප වුනේ එය තහවුරු කිරීමට සහ ඉතිහාසයේ පදනම වන්නේ පන්ති අරගලය බව පෙන්නුම් කිරීමටයි. එය අනන්‍යතා දේශපාලනය නම් යමකින් විස්ථාපනය කරන ව්‍යාජ වම, පන්ති යනු මූලික බෙදීම බව ප‍්‍රතික්ෂේප කරමින් සියලූ ආකාරයේ ද්වීතීයික ගැටලූවලට - ලිංග භේදය, ලිංගිකත්වය, ජාතිය, ජනවර්ගය ආදියට - අනුග‍්‍රහය ලබා දෙනවා. මේ සියල්ල ඉදිරිපත් කෙරෙන්නේ කම්කරු පන්තියේ එක්සත්කමට විකල්පයක් ලෙසයි. ඔවුන් එය සිදු කරන්නේ ආන්තික ලෙසම විනාශකාරී ආකාරයකට. අවංකවම කිවහොත් එයින් පිලිබිඹු වන්නේ කම්කරු පන්තියේ උත්සුකයන් නොව, සමාජයේ ඉහල ස්ථරය භුක්ති විඳින සම්පත්වල වැඩි පංගුවක් දිනා ගැනීම සඳහා අනන්‍යතාවය සඳහා කෙරෙන සටන් ඉවහල් කර ගන්නා ඉහල මධ්‍යම පන්තියේ කිසියම් කොටසක උත්සුකයන්.

එනම්, මට කිසියම් අනන්‍යතාවයක් ඇත්නම් මා සඳහා වරප‍්‍රසාදී ස්ථානයක් ලබා ගැනීමට තැත් කිරීම. සමාජවාදය කිසිවෙකුට හෝ වරප‍්‍රසාද ලබා ගැනීමට තැත් කරන්නේ නැහැ. සමාජවාදය ලබා ගැනීමට තැත් කරන්නේ සමානාත්මතාවයි. එය ලබා ගැනීමට තැත් කරන්නේ කම්කරු ජනයා අතර සමානාත්මතාවයි. තවදුරටත් එය ලබා ගැනීමට තැත් කරන්නේ කම්කරු පන්තියේ එක්සත්භාවයයි. ඒ නිසා අප ව්‍යාජ වමේ මේ ආකාරයේ දේශපාලනයට විරුද්ධයි. එම දේශපාලනයට විශ්ව විද්‍යාල තුල මෙන්ම ධනපති රාජ්‍යයේ කොටස් අතර ද ඉහල ප‍්‍රචාරයක් ලබා දෙනවා. එක්සත් ජනපදය තුල එය අතිශය දක්ෂිනාංශික පදනමක් මත ජනයා සංවිධානය කිරීමේ යාන්ත‍්‍රනයක් බවට පත්වී තිබෙනවා.

ඩෑන්: සමාවෙන්න. ඔබ ඉහත දී කියා සිටියා ලියොන් ට්‍රොට්ස්කි විසින් 1938 දී ලියන ලද ‘ධනවාදයේ මර ලතෝනිය හා හතරවැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ‘ නම් ලේඛනය අද දක්වාම වලංගු බව. ඔබට එය පැහැදිලි කල හැකිද?

ඩීඑන්: ට්‍රොට්ස්කි මෙම ධනවාදයේ මර ලතෝනිය යන යෙදුම භාවිතා කලේ ලෝකය පසු කරමින් සිටින කාල පරිච්ඡෙදය විස්තර කිරීමටයි. ඔහු කතා කලේ පැය 24 වයිරසය පිලිබදව නොව, සමාජ පර්යායේ දේහයේ පවතින බලගතු හා මාරාන්තික රෝගයක් පිලිබඳවයි. ඔහු එය ලිව්වේ දෙවැනි ලෝක යුද්ධය අද්දර, ෆැසිස්ට්වාදය තිරය පසුපස වැඞී එමින් පැවැති, ලෝකය පුරා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳවැටෙමින් පැවති හා බුර බුරා ඇවිලුනු ආර්ථික අර්බුදයක තත්ත්වයන් යටතේයි. හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවා ගැනීමත් සමග, ඒ වහාම පැමිනියේ කුමක්ද? දෙවැනි ලෝක යුද්ධය ඇවිලී යාමයි. අවුරුද්දක ඇවෑමෙන් සිදු වූ භයංකාර ජන ඝාතනය නිසැක ලෙසම සනාථ කලේ ලෝක තත්ත්වය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයේ සත්‍යතාවයයි.

යුද්ධයෙන් පසුව එලඹුනු දිග ඇදී ගිය කි‍්‍රයාදාමයක් ගැනයි අප මෙහිදී කතා කරන්නේ. ධනපති ක‍්‍රමය ස්ටැලින්වාදයේ ආධාරයෙන් සහ සෝවියට් නිලධරයේ ද්‍රෝහී පිලිවෙත්වල ආධාරයෙන් ස්ථාවරභාවයට පත්වීමට සමත් වුනා. ඒ තත්ත්වය මත, ධනපති ක‍්‍රමය පිලිබඳ ට්‍රොට්ස්කිගේ තක්සේරුව පමනට වඩා වැඩි කොට දැක්වූ එකක් ලෙස විශ්වාස කිරීමට බොහෝ අය පෙලඹුනා. එහෙත් ඔබ ඔහුගේ ලේඛන ප‍්‍රවේශමෙන් පරීක්ෂා කර බැලූවහොත් ඔබට පෙනේවි, ඔහු කතා කරමින් සිටි අර්බුදය යුගකාරක ස්වභාවයේ එකක් ය යන කරුන එම ලේඛනවලින් මතු කෙරෙන බව. ප‍්‍රතිසාධනයේ, සාපේක්ෂ සාමයේ කාල පරිච්ෙඡ්ද පවතින්නට පුලූවන්. එහෙත් ඔහු කීවේ ඒවා තාවකාලික වනු ඇති බවයි. එය හරියටම රෝගයක් යටපත්වීම වගෙයි. කෙනෙකුට පිලිකාවක් වැලඳුනාම එය යටපත් වී තිබෙන කොට, හිත යටින් දන්නවා නැවත මෙම රෝගය මතු වී එන බව. අප අද මුහුන දී සිටින තත්ත්වය එවැන්නක්. 20 වන සියවස තුල විසඳනු නොලැබූ සියලූ මූලික ප‍්‍රතිවිරෝධයන් - ජාතික රාජ්‍යය හා ලෝක ආර්ථිකය අතර ගැටලූව, පෞද්ගලික අයිතිය නිෂ්පාදන බලවේගවල වර්ධනයට එරෙහිව පිහිටීම ආදී වශයෙන් - මේ ප‍්‍රශ්න කිසිවක් විසඳා නොතිබුනු අතර ඒවා දැන් අතිශය විෂකුරු ආකාරයෙන් යලි මතුවෙනවා. ඒ අනුව, මර ලතෝනිය ලෙස ට්‍රොට්ස්කි දැක්වූ රූපකය අපේ කාලයට අතිශය ප‍්‍රගාඪ ලෙස උචිත බව පෙනී යනු ඇති. මෑතකදී මා ජර්මනියට ගියා. එහි නව නාසිවාදී පිලිවෙත්වල බැ?රුම් පුනරුත්ථානයක් ඇතිවී තිබෙනවා. ලෝක මාධ්‍ය මෙය ප‍්‍රමානවත් ලෙස වාර්තා කලේ නැහැ. නාසීන්ට ජර්මනියේ සෑහෙන ආනුභාවයක් පවතින නිසා එය අතිශයින් භයානක තත්ත්වයක්.

අවසානයේ ලෝක මාධ්‍යය මේ තත්ත්වය පිලිගෙන තිබෙනවා. ජර්මානු ශාස්ත‍්‍රාලීය ප‍්‍රජාව තුල හිට්ලර්වාදයට ක්ෂමාදානය කරමින් හා එය සාධාරනීකරනය කරමින් ඉතිහාසය සංශෝධනය කිරීමක් සිදුවෙමින් පවතින බව අප පසුගිය පස් වසර පුරාම පෙන්වා දී තිබෙනවා.

නව නාසි පෙලපාලිවල පුනරුත්ථානයක් දැන් දැකිය හැකියි. දෙවැනි ලෝක යුද්ධයේ අවසානයෙන් වසර 72 - 73 කට පසු ජර්මනියේ නාසිවාදයේ තර්ජනයේ යථා තත්ත්වය ගැන කතා කිරීම! මේ තත්ත්වය පැහැදිලි කල හැක්කේ කොහොමද? එහි තේරුම වනු ඇත්තේ, වල දමා ඇතැයි සිතූ භූතයන් ඇත්තෙන්ම අතිශයින් ජීවමානව සිටින බවයි. ඔවුන් යලි මතුවෙමින් සිටිනවා. ඒ අනුව අපට දේශපාලනය දෙස බැලීම සඳහා, හුදෙක් දෛනික සිදුවීම්වල සිට නොව, ඉතිහාසයේ අප ඉන්නේ කොතැනකද යන වශයෙන් වඩාත් පුලුල් යුග වකවානුවක් තුල අප බහා ලමින් කෙරෙන වඩාත් බැරෑරුම් තක්සේරුවක් කරා හැරීමට සිදු වෙනවා. ඒ අනුව අප සම්පාදනය කරන පිලිතුර ධනේශ්වර ක‍්‍රමයේ මර ලතෝනියේ මෙම ඉතා ඉහල අවධියේ ඓතිහාසික තත්ත්වයන් මත පදනම් වූ පිලිතුරක්. මේ අර්බුදයට සමාජවාදී විසඳුමක් සොයා ගැනීමට කම්කරු පන්තිය අසමත් වූවොත් ධනපති පන්තියේ විසඳුම වනු ඇත්තේ ඒකාධිපතිත්වය හා යුද්ධයයි.

ප‍්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ එයයි. මා හිතනවා ඒ සම්බන්ධයෙන් විශාල උද්‍යෝගයක් පවතින බව. මා නැවතත් මෙය කියනවා. අද පවතින ප‍්‍රශ්නය වන්නේ සමාජවාදය ගැන උනන්දුවක් නොමැතිවීම නොවෙයි. තත්ත්වය ඊට බෙහෙවින් වෙනස්. කොමියුනිස්ට් විරෝධයේ භූමිය වන හා සමාජවාදී විරෝධය කිසියම් ආකාරයක රාජ්‍යය ආගමක් බවට පත්වී ඇති ඇමරිකාවේ එකී විරෝධයන්ගේ විශ්වාසනීයත්වය බිඳවැටෙමින් පවතිනවා.

යථාර්ථය වඩාත් සුචිති‍්‍රතයි. තරුනයන් මුහුන දෙන්නේ විරැකියාවට, පවුලක් ආරම්භ කිරීමට පවා අසීරු තත්ත්වයන්ට, ශිෂ්‍යයින්ට; ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි සත්වයෙක් ජනාධිපති පදවියට නැග ගන්නවා; ඊනියා විරුද්ධ පක්ෂය කිසිදු ප‍්‍රගතිශීලී විකල්පයක් ඉදිරිපත් කිරීමට අසමත් වෙනවා. ඇමරිකානු දේශපාලනයේ විෂයය කරා කෙටි කාලයකට හැරෙන්නට මට අවසර දෙන්න. නිරතුරුව ජනයා මගෙන් අහන ප‍්‍රශ්නයක් තමයි එක්සත් ජනපදයට සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද යන්න. ඇත්තෙන්ම ඉතා නිවැරදි ලෙසම, ලෝකය පුරා ජනයා ට‍්‍රම්ප් පෙනී සිටින සියල්ලට සලකන්නේ අවමන් සහගත ලෙසයි. ජාතීන්ට හා ජනයාට එරෙහි ඔහුගේ ඔලමොට්ටල තර්ජන හේතුවෙන් ඔහුව දකිනු ලබන්නේ සැබැවින්ම මෘග දුෂ්ටයෙකු ලෙසයි. එහෙත් මා ඔවුන්ට කියා සිටින්නේ ට‍්‍රම්ප් යනු වඩාත් ගැඹුරු ව්‍යාධියක රෝග ලක්ෂනයක් පමනක් බවයි. යම් හෙයකින් ඩිමොක‍්‍රටික් පක්ෂය බලයට පත් වූවා නම් කරුනු මීට වඩා මූලිකව වෙනස් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරන්නේ නම් ඔවුන්ට බරපතල ලෙස වැරදී තිබෙනවා. ට‍්‍රම්ප් යනු හුදෙක් ඇමරිකානු දේශපාලන ජීවිතයේ වඩාත් ගැඹුරු ප‍්‍රවනතාවල ආන්තික ලෙස කෲර ප‍්‍රකාශනයක් පමනයි. අවාසනාවට මෙන් දේශපාලනයේදී ජනයාට කෙටි මතකයක් පැවතීමේ ප‍්‍රවනතාවක් පවතිනවා. ඇමරිකාව පලමුවෙන් ඉරාකය ආක‍්‍රමනය කල 1990 සිට මේ දක්වා අඛන්ඩවම පාහේ යුද්ධයේ යෙදී සිටින බව අප සිහි තබා ගත යුතුයි. ඊලඟට ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අප දැනට අවුරුදු 17 ක් පුරා යෙදී සිටිනවා. මෙම ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අරමුන ඇමරිකානු භූ දේශපාලන ආධිපත්‍යය සහතික කිරීම බව දැන් හමුදාව පවා පිලිගන්නවා. එය යොමු වී ඇත්තේ චීනයට එරෙහිවයි, එය එල්ල වී ඇත්තේ රුසියාවට එරෙහිවයි. අවසාන විග‍්‍රහයේ දී ගත් විට ඇමරිකානු දේශපාලනය තුල ප‍්‍රකාශයට පත් වන ඩිමොක‍්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය අතර භේදයන් උපායාත්මක කාරනා සම්බන්ධයෙන් ඇති වන ඒවායි. පෙනී යන පරිදි ට‍්‍රම්ප් ඉතා ආක‍්‍රමනශීලී ලෙස ඔහුගේ චීන විරෝධී දේශපාලනය ප‍්‍රවර්ධනය කරන අතර ඩිමොක‍්‍රටික් පක්ෂය වඩාත් යොමු වී ඇත්තේ රුසියානු විරෝධී දේශපාලනය වෙතටයි.

පුටින් හා ඔහු විසින් ෆෙස්බුක් අඩවිය තුල වැය කල ඩොලර් ටිකක් - මා හිතන්නේ සියල්ල එකතු කල විට ඩොලර් ලක්ෂයක් - ඇමරිකානු මැතිවරනයේ අවසාන ප‍්‍රතිඵලය නිර්නය කරන්නට ඇතැයි විශ්වාස කිරීමට ඔවුන් සියලූ දෙනා පොලඹවා තිබෙනවා. මා කියන්නේ මෙය නිසැකවම අභූතයක්. ඔවුන් අතර ඇති වෙනස්කම් යුද්ධයම පිලිබඳ ගැටලූව සම්බන්ධ ඒවා නොව එක්සත් ජනපදයේ ආධිපත්‍යය පිලිබඳ ගැටලූව හා බැඳුනු ඒවායි; එක්සත් ජනපද ධනපති පන්තියේ උත්සුකයන් පසුපස හඹා යාම පැත්තකින් තැබුවත්, එම වෙනස්කම් අඩු තරමින් එක්සත් ජනපදයේ ආක‍්‍රමනකාරී ගෝලීය පතිපත්ති සම්බන්ධයෙන් හෝ නොවෙයි. මේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් අතර ඇති වෙනස්කම් තනිකරම උපායාත්මක වෙනස්කම්. එහෙත් ඔවුන් ඇත්තෙන්ම භූ දේශපාලන මූලෝපායය සම්බන්ධයෙන් සටනක යෙදී සිටිනවා. ඒ ඔවුන් යුද වැදිය යුත්තේ කුමකට - කාට එරෙහිව ද යන්න පිලිබඳවයි. පලමුවෙන්ම මෙම තථ්‍ය ලෙස ප‍්‍රතිගාමී හා ඇත්තෙන්ම අපරාධකාරී පවා වන අභිලාෂයන් හඹා යාමට කම්කරු පන්තියට කිසිදු උනන්දුවක් ඇත්තේ නැහැ. කිසිදු රටක් තවත් කිසිදු රටකට ආධිපත්‍යය නොපෑ යුතුයි. පිලිතුර සොයා ගත හැක්කේ ප‍්‍රබන්ධකාරී ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධ තුල නොව, යුදවාදයට එරෙහිව කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයේ වර්ධනය තුලයි.

ඩෑන්: මේ උදෑසන කොෆී විත් ඩෑන් වැඩ සටහනේ මා සමග සිටිනවා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඬේවිඞ් නෝර්ත් මහතා. අප කතා කරමින් සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂය හා මෙම සුවිශේෂී ආකාරයේ සමාජවාදී ව්‍යාපාරයට නායකත්වය දෙන ලෝක පක්ෂය පිලිබඳවයි. ඬේවිඞ්, අපි දැන් නැවත සාකච්ඡාවට යොමු වෙමු. ඔබ දන්නවා චීනය, දෙවැනි විශාලතම ආර්ථිකය වශයෙන් ආසියානු හා අපි‍්‍රකානු කලාපයේ එහි ආනුභාවය ශීඝ‍්‍රයෙන් වර්ධනය කරමින් සිටිනවා. එය අඩු වර්ධනයකින් යුත් රටවලට දැවැන්ත සංවර්ධන නය පවා ලබා දෙනවා. මෙහිදී ශී‍්‍ර ලාංකීය ප‍්‍රජාව තුලත් චීනය පිලිබඳව සෑහෙන වික්ෂිප්තභාවයක් පවතිනවා. මෙම රටවල්වලට ගැඹුරු උගුල් මානා එමඟින් එම රටවල ආන්ඩු තම පාලනයට ගැනීම සම්බන්ධයෙන් චීනයට දොස් පැවරෙනවා. වොෂින්ටන් පෝස්ට් පුවත්පත- මා හිතන හැටියට එහි අගෝස්තු 27 වන දින කලාපය- චීනයේ නය මුලු ලෝකයම උගුලක අසු කර ගන්නා බවට දොස් පවරමින්, එය එහි අධිරාජ්‍යවාදී අභිලාෂයන්ගේ වෙලඳ ලකුන ලෙස නම් කලා. චීනය වැදගත් රාජ්‍යයක් ද?

ඩීඑන්: ඒ ප‍්‍රශ්නයට පිලිතුරු දීමට පෙර එක් මොහොතක් ලබා ගනිමින් මා කිව යුතු දෙයක් තිබෙනවා. ඇමරිකානුවෙකු ලෙස මා කතා කරනවා නම්, මට හැෙඟන්නේ එක්සත් ජනපදය අන් කිසිවෙකුට අධිරාජ්‍යවාදී අභිලාෂයන් පිලිබඳව චෝදනා නැඟීම අභූතරූපී නොවේ නම් කුහක වන බවයි.

මා කියන්නේ මෙයයි. “තුන්වැනි ලෝකය” ලෙස හඳුන්වා දෙනු ලබන රටවල් කෙරේ ඇමරිකානු ආර්ථික ප‍්‍රතිපත්තිය හොඳින් දන්නා කවරෙකු හෝ එක්සත් ජනපදය පරහිතකාමී න්‍යාය පත‍්‍රයක් අනුගමනය කල බව කියනු ඇතැයි මා සිතන්නේ නැහැ. ඇමරිකාව මුදල් දී ඇති අවස්ථාවලදී එය සෑම විටම එසේ කර ඇත්තේ එහි අරමුනු සාක්ෂාත් කර කරගැනීමේ ආස්ථානයක සිටයි. එය මුලූ ලෝකය පුරා මැතිවරනවලට අත පොවනවා. එය ආන්ඩුවලට බලපෑම් කරනවා - ආන්ඩුවලට බලපෑම් කරනවා පමනක් නොව ඔවුන් අනුගමනය කරන ප‍්‍රතිපත්ති පිලිබඳව අසතුටට පත් වූ විට ඒවා පෙරලා දැමීමට කි‍්‍රයා කරනවා. උදාහරනයක් ලෙස, මා සැක කරන පරිදි චීනය පසුගිය දින කිහිපය තුල නිවේදනය කල නය සම්බන්ධයෙන් චීනය කෙරේ එක්සත් ජනපදය කෝපයට පත් වීම: මේ කෝපයට හේතුව වන්නේ ඇමරිකාව ශී‍්‍ර ලංකා වාසී ජනයාගේ ඉරනම පිලිබඳව බියෙන් වෙව්ලා යාම නොවෙයි. එය බියපත්ව සිටින්නේ ශී‍්‍ර ලංකාව කෙරේ අධිරාජ්‍යවාදී ආනුභාවය පෑමේ ඉදිරි දර්ශනයෙහි ඉරනම පිලිබඳවයි.

ඔවුන් ඇත්තෙන්ම සැලකිලිමත් වන්නේ ශී‍්‍ර ලංකාව භූ මූලෝපායාත්මක වශයෙන් අතිශයින්ම වැදගත් වීමේ කරුන පිලිබඳවයි. යම් හෙයකින් ආසියානු පැසිෆික් කලාපය කරා වූ චීනයේ වෙලඳ නෞකා මාර්ගවලට චීනය ප‍්‍රවිෂ්ටවීමේ මාර්ග අවහිර කිරීමට එක්සත් ජනපදය තීරනය කලහොත් ශ්‍රී ලංකාවේ පිහිටීමටමත් දැවැන්ත යුදමය වැදගත්කමක විභවයක් අත්වෙනවා. ඇත්තෙන්ම දකුනු ඉන්දියානු සාගර කලාපය අද දිනයේ වෙලඳ කටයුතුවල වඩාත්ම තීරනාත්මක ස්ථාන අතරින් එකක් වෙනවා. ශී‍්‍ර ලංකාව තුල චීනයේ ආනුභාවය එම මූලෝපායයට හානිකර විභවයකින් යුතුයැයි ඔවුන් දකිනවා. එම පැහැදිලි කිරීමෙන් පසුව මා කිව යුත්තේ, චීනය විසින් අනුගමනය කරනු ලබන පිලිවෙත් වුවද මෙහෙයවනු ලබන්නේ එහි ජාතික උත්සුකයන් ලෙස ඔවුන් විසින් වටහා ගැනෙනු ලබන දේ මත බවයි, එහෙත් ඒ හුදෙක් ජාතික උත්සුකයන් නොව එහි පාලක ප‍්‍රභූවේ උත්සුකයන්. චීනය මුහුන දී සිටින බෙදජනක තත්ත්වය වන්නේ, එය නිසැකවම දැවැන්ත ආර්ථික ප‍්‍රගතියක් අත්පත් කර ගෙන සිටින අතරම - කිසිවෙකුට එය නොතකා හැරිය නොහැකියි - ඒ ප‍්‍රගතිය තිබියදීම දැන් ඔවුන් මුහුන දෙමින් සිටින්නේ තමන් මෙම ගෝලීය භූදේශපාලනයේ අවකාශය තුලට පමා වී ඇතුලත් වූවන් වීමේ සත්‍යයටයි. එක්සත් ජනපදය ඔවුන්ගේ වර්ධනය අවහිර කිරීමට තමන් සතු සියලු සම්පත් යොදවනු ඇති. දේවල් පසුගිය වසර 10, 15 හෝ 20 තුල සිදු වී ඇති පරිදි ඉදිරි වසර 10-15-20 තුල දිගටම සිදු වුවහොත් චීනය අධිපති බලය වනු ඇති බවට කියැවෙන ලේඛන මා කොතෙකුත් කියවා තිබෙනවා - මට විශ්වාසයි ඔබටත් ඒවා හුරුපුරුදු ඇති. එක්සත් ජනපදය මෙය නැවැත්වීමට අධිෂ්ඨාන කොට ගෙන සිටිනවා. එය මඟ පාදන්නේ යුද්ධයටයි. චීනය සමාජවාදී දිශානුගතවීම අතහැර දමා ධනපති පිලිවෙත් වැලඳ ගෙන ඇති නිසා, චීනය දැන් පත් වී සිටින්නේ අතිශයින්ම අනතුරුදායක තත්ත්වයකටයි. එහි නිසැක ආර්ථික දියුනුව තිබියදීම, එයට ධනේශ්වර වර්ධනයේ පදනම මත මේ තත්ත්වයට ශක්‍ය විසඳුමක් සොයා ගන්නට බැහැ. මන්දයත්, ධනේශ්වර මාවත ඔස්සේ ඇති මාර්ගය වැටී ඇත්තේ යුද්ධය කරායි. ඒ අනුව චීනයේ මහජනයාට ප‍්‍රශ්නය ඉදිරිපත් වන්නේ ධනේශ්වර ප‍්‍රතිපත්තීන්ට එරෙහි අරගලයක් ලෙසයි.

සැබෑ අන්තරායයක් වන අධිරාජ්‍යවාදයෙන් චීනය ආරක්ෂා කිරීමට ඔවුන්ට වැඩ පිලිවෙලක් තිබිය යුතුයි. උදාහරනයක් ලෙස, අධිරාජ්‍යවාදය ලෝකයේ සෑම තැනකම සිදු කල පරිදි, චීනය තුල වාර්ගික හා භාෂාමය වෙනස්කම්වලට ගිනි ඇවිලවීමට කි‍්‍රයා කල හැකියි. එයට මුහුන දිය හැක්කේ විප්ලවවාදී සමාජවාදී පිලිවෙතක පදනම මත පමනයි. නැහැ. චීනය අධිරාජ්‍යවාදී රටක් ලෙස හැඳින්වෙන අර්ථ විග‍්‍රහය මා පිලිගන්නේ නැහැ. මා හිතන්නේ එය අතිශය සංකීර්න ඓතිහාසික කි‍්‍රයාදාමයක් අති සරල කිරීමක් ලෙසයි. මා හිතන්නේ චීනය නිසැකවම ධනපති රටක් බවට පත්ව තිබෙනවා. එහෙත් ගෝලීය අධිරාජ්‍යවාදී පිලිවෙත්වල යම් ආකාරයක රාමුවක් තුලට එය වැටී තිබෙන අතර, එම තත්ත්වය එකී රාමුව තුල සිට අභිබවා යා නොහැකියි. වෙනත් වචනවලින් කිවහොත්, චීන කම්කරු පන්තියට සමාජවාදය කරා පෙරලා යාමේ මාවත සොයා ගන්න වෙනවා.

එහෙත් එයට එසේ කල හැකිවන්නේ මා ඕවාදී තන්ත‍්‍රය පිලිබඳ ක්ෂමාරහිත විවේචනයක් මඟින් පමනයි. මා ඕවාදය ස්ටැලින්වාදයේ එක් ආකාරයක්. චීනයේ ධනවාදය නැවත පිහිටුවීම සිදු කෙරුනේ නිලධාරී තන්ත‍්‍රයක් මඟින්. මා හිතන්නේ තියැන්නාම් චතුරස‍්‍රයේදී කම්කරු පන්තියේ හා ශිෂ්‍යයන්ගේ විරෝධය මර්දනය කිරීමෙන් පසුව එලඹුනු කාල සීමාවේ මේ කි‍්‍රයාවලියේ වේගය වැඩි කෙරුනා. අප මේ ප‍්‍රශ්නයට; එනම් චීන විප්ලවය සම්බන්ධ ප‍්‍රශ්නවලට; පිවිසීමේදී කෙටි කාලීන වාර්තාකරනරූපී ප‍්‍රවිෂ්ටයක් නොව වඩාත් ඓතිහාසික ප‍්‍රවේශයක් ගත යුතුයි: එහි මහජනයා අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීම සඳහා එක්සත් කිරීම - මෙය අද මීට වඩා බෙහෙවින් ඉහල ආකාරයන්ගෙන් ඉදිරිපත් වෙනවා - ආසියාවේ හා ලෝකයේ ජන සමූහයා එක්සත් කිරීම. එය ඉටුකර ගත හැකි රාමුව කුමක්ද? මා අදහස් කරන්නේ, ආතනින් මෙතනින් හා හැමතැනින්ම අනුචරයන් මිල දී ගැනීමේ චීනයේ ප‍්‍රයත්නය මාර්ගයෙන් එහි ඓතිහාසික ගැටලුව විසඳිය නොහැකියි.

ඩෑන්: අප දන්නවා චීනය කොමියුනිස්ට්වාදී රටක් බව..

ඩීඑන්: ඉහතදී ...

අනිත් අතින් එය කවදාවත් සැබෑ සමාජවාදී රටක් නොවූ අතර කවදාවත් කොමියුනිස්ට්වාදී වුනේ නැහැ. එය ස්ටැලින්වාදී රාජ්‍යයක් වූ අතර එහි ප‍්‍රතිඵලය වූයේ සමාජවාදී පිලිවෙත් කෙරෙන් බලගතු ලෙස අපවර්තනය වීමයි.

ඩෑන්: එහෙත් පසුව එය වෙලඳපොලවල් විවෘත කොට නව-ධනේශ්වර රටක් බවට පත් වුනා. ඇතැමෙක් මෙය, ඔබ නිවැරදිව සඳහන් කල පරිදි, සැබැවින්ම කිසියම් අධිරාජ්‍යවාදී ප‍්‍රවිෂ්ටයක් නොවන ලෙස දැකිය හැකියි. එහෙත් කෙසේ වෙතත්, එහි ලෝක ගෝලීය ස්වභාවය අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල්වලින් වෙනස් වන්නේ කෙසේද?

ඩීඑන්: නැවත කිව යුත්තේ ඊට බෙහෙවින් වෙනස් ඉතිහාසයක් ඇති බවයි. රටක් පිලිබඳව විමර්ශනය කිරීමේදී යමෙකුට එහි ඓතිහාසික වර්ධනය පරීක්ෂා නොකර එසේ කල හැකියැයි මා සිතන්නේ නෑ. ඓතිහාසික ප‍්‍රවිෂ්ටය නොමැති විට යමෙකු කිසියම් ආකාරයේ නොගැඹුරු සංසන්දනයන් කිරීමට පෙලඹෙනවා. එක්සත් ජනපදය අධිරාජ්‍යවාදී රටක් ලෙස මතුව ආවේ 19 වන සියවස අග භාගයේ හා 20 වන සියවසේ මුල් කාලයේයි. එය ඒ කාලයේ ආර්ථික විද්‍යාඥයන් විසින් වැඩිවැඩියෙන් සඳහන් කරන ලද දෙයක් වූ අතර එය බැඳී තිබුනේ යටත්විජිතකරන කි‍්‍රයාවලියත්, ප‍්‍රමුඛ බැංකුකරුවන්ගේ උත්සුකයන් අතර යුද්ධයත් සමඟයි. රාජ්‍යය මූල්‍ය ප‍්‍රාග්ධනයේ ඒකාධිකාරයෙහි උපකරනය ලෙස කි‍්‍රයාත්මක වීම. නිසැකවම චීනය එහි ආර්ථික ආනුභාවය ප‍්‍රසාරනය කිරීමේ ඇතැම් ලක්ෂනයන් ප‍්‍රකට කරන බව ඔබට කිව හැකියි. එහෙත් ඔබට හුදෙක් පසුගිය 25 වසරේ අත්දැකීම්වල පදනම මත පමනක් පිහිටා මෙම ප‍්‍රපංචයන් පැහැදිලි කල නොහැකියි. අධිරාජ්‍යවාදී යන යෙදුම චීනයට එරෙහිව භාවිතා කරනු ඇසෙන විට - මා චීනයේ විදේශ ප‍්‍රතිපත්තියේ ආරක්ෂකයෙකු වශයෙන් කතා නොකරන බව මෙහිදී මා යලිත් තරයේ කිව යුතුයි. මගේ මතය ඊට සහමුලින් පටහැනියි - එම යෙදුම විශේෂයෙන්ම භාවිතා කෙරෙන්නේ ව්‍යාජ වමේ සංවිධාන අතරයි. ඔවුන් පවසනවා චීනය අධිරාජ්‍යවාදී බව. එමෙන්ම ඔවුන් රුසියාව ද අධිරාජ්‍යවාදීයැයි කියනවා. රුසියාව හෝ, ඉරානය හෝ අධිරාජ්‍යවාදීයැයි පැවසීම පොදුවේ බැඳී ඇත්තේ එක්සත් ජනපදයේ විදේශ පිලිවෙතට දැක්වෙන ඔවුන්ගේ සහයෝගය සමඟයි. චීනයේ විදේශ ප‍්‍රතිපත්තියට විරුද්ධ බව මා දැනටමත් කියා තිබෙනවා. එහෙත් චීනය අධිරාජ්‍යවාදීය යන මේ අර්ථකථනයට මා එකඟ වෙතොත් - මා සෑම විටම මේ ප‍්‍රශ්නය අසනවා - මා ඊට එකඟ වෙතොත් එහි ගම්‍යයන් මොනවාද? පොදුවේ ඉන් කියවෙන්නේ, මෙම ආස්ථානය භාරගන්නා අයෙක් චීනය තුල වාසය කරන සෑම ආකාරයේම වාර්ගික භාෂාමය සුලු ජන කොටස්වල ස්වයං නිර්නය අයිතිය පිලිගත යුතු බවයි. වෙනත් වචනවලින් කිවහොත් එය චීනය බිඳ විසුරුවා දැමීමේ උපකරනයක් බවට පත් වෙනවා. එවැන්නක් බරපතල ලෙසම ප‍්‍රතිගාමී කි‍්‍රයාදාමයක් වනු ඇති.

ඒ අනුව - මා දන්නවා මෙය ඉතා සංකීර්න ලෙස හැඟී යා හැකියි. ඊට හේතුව ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවක කෙටි කාල සීමාවක් ඇතුලත අප බොහෝ කරුනු සාකච්ඡා කිරීමට තැත් කිරීම - මා නැවතත් සිතන්නේ සරල අර්ථකථනවලින් යථාර්ථයට සාධාරනය ඉටු නොවන බවයි. මෙසේ කීම මඟින් අප කිසිසේත්ම චීනයේ විදේශ ප‍්‍රතිපත්තිය සමඟ එකඟ වන්නේ හෝ ඊට සහාය දෙන්නේ හෝ නැහැ. අවසාන විග‍්‍රහයේදී, චීනයේ විදේශ ප‍්‍රතිපත්තිය කැප වී ඇත්තේ ඉස්මතුවෙමින් පවත්නා ධනපති පන්තියේ උත්සුකයන් වෙනුවෙනුයි. චීනය ශීඝ‍්‍රයෙන් කෝටිපතියන් බිහි කරමින් සිටිනවා. එහිම තාර්කික නිගමනය වන්නේ ජපානය සමඟ, එක්සත් ජනපදය සමඟ, හා ඉන්දියාව සමඟ ගැටුමකට මඟ පාදන චීන විදේශ ප‍්‍රතිපත්තියයි. එය කම්කරුවන්ගේ උත්සුකයන්ට සේවය කරන්නක් නොවෙයි. මේ සියල්ල ඉතා විනාශකාරී ප‍්‍රතිවිපාක දනවන සුලුයි. ඒ නිසා සමාජවාදීන්ට අවශ්‍ය ජාතික රාජ්‍ය තරඟයේ මේ නපුරු සිහිනවල තර්කනයෙන් පිටතට යන මාවතක් සොයා ගැනීමටයි. එය සොයා ගත හැක්කේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත ගෝලීය කම්කරු පන්තියේ උත්සුකයන් මත පදනම් වූ විදේශ පිලිවෙතක් ගොඩ නැඟීමෙනුයි. මම දන්නවා, බොහෝ විට එය වටහා ගැනීමට අසීරු බව හා එය යථාරූපී නොවන ලෙස පෙනී යා හැකි බව. එහෙත් යථාරූපී වන එකම විදේශ ප‍්‍රතිපත්තිය වන්නේ මේ ග‍්‍රහලෝකය විනාශ නොවී රැක ගැනීමේ විදේශ ප‍්‍රතිපත්තියයි.

මෙම සාකච්ඡාවේ සමාප්තිය සටහන් කරමින් මට මේ ප‍්‍රශ්නය නඟන්නට අවසර දෙන්න. සමාජවාදී සමානතා පක්ෂයට තරුන සංවිධානයක් තිබෙනවා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ නමින්. අයිවයිඑස්එස්ඊ ලෙස ඔබ එය හඳුන්වනවා. එහි වැඩ පිලිවෙල කුමක්ද? අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීම, සුභසාධන කප්පාදු හා විරැකියාවට එරෙහිව ඔබේ පක්ෂය තරුනයන්ට ඉදිරිපත් කරන වැඩ පිලිවෙල කුමක්ද? මා එය අසන්නේ ශී‍්‍ර ලංකාව තුල මේ සම්බන්ධයෙන් අපට ඉතාම, ඉතාම බරපතල ප‍්‍රශ්න පවතින අතර, මෙම “කොෆී විත් ඩෑන්” වැඩ සටහන ආරම්භයේ මා ඔබට සඳහන් කල පරිදි එය ඇතැම්විට රටේ මහජන පීඩාවක් බවට පත් වෙන අවස්ථා තිබෙනවා.

ඩීඑන්: මා හිතන්නේ ලෝකය පුරාම තරුනයන් මුහුන පාන ප‍්‍රශ්න ඉතා උග‍්‍රයි. එය වඩාත්ම අවධාරනයෙන් කිව යුතු දෙයක්. පසුගිය දශක තුනේ ශී‍්‍ර ලංකාවට පැමිනීමේ භාග්‍යය මට ලැබුනා. පලමුවරට මා ශී‍්‍ර ලංකාවට පැමිනියේ යන්තම් අවුරුදු 30 කට ඉහතදීයි. පැහැදිලිවම පෙනී යන පරිදි විශාල වෙනස්වීම් ඇති වී තිබෙනවා. සමාජමය වෙනස්වීම්, සංස්කෘතික වෙනස්වීම්.

ඔබ සිවිල් යුද්ධයක ඉතා බෙදජනක අත්දැකීම් තුලින් ගමන් කොට තිබෙනවා. මෙහිදී මා කිව යුතුයි, සිංහල වේවා, දෙමල වේවා, සියලු ආකාරයන්ගේ වාර්ගික උන්මාදයට එරෙහි වෙමින් ශී‍්‍ර ලංකාවේ සියලු ජාතික හා වාර්ගික කන්ඩායම්වලත්, ආගමික කන්ඩායම්වලත් සමඟිය සඳහා සටන් කල පක්ෂය සමඟ සම්බන්ධකම් පැවැත්වීම ගැන මා ඉතා ආඩම්බර වන බව. එහෙත් ඔබේ ප‍්‍රශ්නයට පිලිතුරු ලෙස මට අවධාරනය කිරීමට අවශ්‍යම වූ කරුන වන්නේ තරුනයන්ගේ ප‍්‍රශ්න ජාත්‍යන්තර ප‍්‍රශ්න වන බවයි. ධනපති ක‍්‍රමයේ ගෝලීය අර්බුදය ජාත්‍යන්තර එකක්. අධ්‍යාපනයට පිවිසෙන මං ඇහිරීම, යෝග්‍ය රැකියා අවස්ථා නොලැබීම, ජීවත් විය හැකි වැටුපක් නොලැබීම, අනාගතයක් නොමැතිවීම, යුද්ධයක ලෝක පරිමාන තර්ජනය, මේවා මුලූ ලෝකය පුරාම තරුනයන් මුහුන දෙන ප‍්‍රශ්න. IYSSE යට, සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සංවිධානයට, තරුනයන් සමාජවාදී වැඩ පිලිවෙලක් මත එක්සත් කිරීමේ ඉදිරි දර්ශනයක් තිබෙනවා. සමාජවාදී සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ලෙස එම සංවිධානය නම් කොට තිබෙන්නේ සමාජවාදයේ මූලික මූලධර්මය සමානතාවය වන නිසායි. තරුනයන් අද දකින්නේ තමන් උපන් පවුල මත තමාගේ තත්ත්වය නිර්නය වන ලෝකයක්. ඔබේ පවුල පොහොසත් නම් එමඟින් ඔබේ ආර්ථික ප‍්‍රශ්න අවශ්‍යයෙන්ම විසඳෙනු ඇති. එය ඔබට වෙනත් ප‍්‍රශ්න නිර්මානය කල හැකියි: සදාචාරාත්මක ප‍්‍රශ්න, සංස්කෘතික ප‍්‍රශ්න.. එහෙත් සත්‍යය නම් ශක්‍යයතා හා අවස්ථා පැවරීම නිර්නය වන්නේ අන් හැම දේටත් වඩා ඔබේ පවුල සතු ධන සම්පත් මත වීමයි. තරුනයින් වැඩි දෙනා, ලෝකයේ තරුනයන් අතර අතිමහත් ජනකායක්, දරිද්‍රතාවයට මුහුන දී සිටිනවා. දරිද්‍රතාවයේ තර්ජනයට මුහුන දෙමින් අවස්ථාවන්ට අහිමිව සිටිනවා. ඔබ කතා කරන්නේ ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, ජර්මනිය, එක්සත් ජනපදය, ලතින් ඇමරිකාව- මේ කවර ප‍්‍රදේශයක් ගැන වුවත්; මේ තත්ත්වය සත්‍යයක් වෙනවා. අප ඔවුන්ට විප්ලවවාදී වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරනවා. මා හිතන හැටියට ඉහත හේතූන් නිසාම, තරුනයින් මහත් සංඛ්‍යාවන්ගෙන් සමාජවාදය කෙරෙහි උනන්දුව පල කර සිටිනවා. ඔවුන්ට සමාජවාදී න්‍යාය හා ඉතිහාසය පිලිබඳ අධ්‍යාපනයක් ලබාදීම අතිමහත් වැදගත් කමකින් යුතු වෙනවා. මා මගේ කාලයෙන් සැලකිය යුතු කොටසක් ගත කරන්නේ ඉතිහාසය සම්බන්ධ දේශන සඳහායි. එය දේශපාලනයෙන් ව්‍යවර්තනයක් ලෙස මා දකින්නේ නැහැ. දේශපාලනය ඉතිහාසය තුල මුල් බැසගත යුතුයි. මා හිතන්නේ අද දවසේ දේශපාලනයේ සාරය එයයි. තමන් ප‍්‍රායෝගික දේශපාලනය ගැන විනා ඉතිහාසය ගැන උනන්දු නැතැයි මිනිසුන් කියන විට මා කියන්නේ එවැන්නන් කිසිසේත්ම බැරෑරුම් දේශපාලනයක යෙදී නොමැති බවයි.

ඩෑන්: අද උදෑසන “කොෆී විත් ඩෑන්” වැඩ සටහන සඳහා මා සමඟ මෙහි සිටින්නේ ඩේවිඩ් නෝර්ත්. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති. ඔහු ශී‍්‍ර ලංකාවට පැමින සිටින්නේ ඉතා වැදගත් අවස්ථාවකට සහභාගී වීමටයි. ඒ, හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීමේ 80 වැනි සංවත්සරය හා ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ හෙවත් සසපයේ 50 වන සංවත්සරය ද සමරමින් පැවැත්වෙන ප‍්‍රසිද්ධ රැස්වීම් අමතා කථා කිරීමට යි. “කොෆී විත් ඩෑන්” වැඩ සටහන තුල අප සමාජවාදී සමානතා පක්ෂය පිලිබඳව මෙන්ම සමාජවාදී ව්‍යාපාරයක් තුල කම්කරු පන්තිය ගැන ද කතාබහ කලා. අද උදෑසන “කොෆී විත් ඩෑන්” සමඟ එක් වීම පිලිබඳව මෙන්ම විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවට පැමිනීම පිලිබඳව ද ඔබට බෙහෙවින් ස්තුතියි, ඩේවිඩ්!

ඩීඑන්: මා මෙහි කැඳවීම පිලිබඳව ඔබට ස්තුතියි, ආචාර්ය ඩෑන්. මෙහි පැමිනීම මට මහත් සතුටක්.

Share this article: