ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය මධ්‍යයේ එසප කම්කරු පන්තියට “වාම” උගුලක් අටවයි
Amid Sri Lanka’s political crisis, the USP sets “left” trap for the working class
විලානි පීරිස් හා කේ. රත්නායක විසිනි, 2018 නොවැම්බර් 27
ශ්‍රී ලංකාවේ වැඩෙන දේශපාලන අර්බුදය මධ්‍යයේ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) විසින් “වාම සන්ධානයක්” සඳහා කැඳවුම් කර ඇත. මෙය, ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් මත එල්ල කරන ප්රහාරයන්ට විරුද්ධ ව සමාජවාදී විසඳුමක් සඳහා සටන් කිරීමට ස්වාධීන කම්කරු පන්තික ආරම්භකත්වයක් වර්ධනය කිරීම වැලැක්වීමට ව්‍යාජ-වාම කන්ඩායම් විසින් වපුරන ව්‍යාකූලත්වයේ කොටසකි.
වික්‍රමබාහු කරුනාරත්න නායකත්වය දෙන ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය (නසසප), දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨ ප්රජාතන්ත්රවාදියෙක් යයි උත්කර්ෂයට නංවමින් සෘජු ව ඔහු සමග පෙලගැසී සිටියි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි අනෙකුත් සමාන කන්ඩායම් සමගින් වෙනස් මාවතක් ගෙන ඇති එසප, ප්‍රධාන කන්ඩායම් දෙකෙන් ම දුරස්ථ බව පෙන්නුම් කලත් සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරුවන් බලමුලුගැන්වීමට එරෙහි ව සිටී.
කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල රුදුරු අභ්‍යන්තර ගැටුම පුපුරා ගියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ව්‍යවස්ථා-විරෝධී ලෙස වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා, එම ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමත් සමග ය. එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සිරිසේනගේ කන්ඩායම අතර “සමගි” ආන්ඩුව බිඳවැටුනි. තවත් ව්‍යවස්ථා-විරෝධී පියවරක් ගනිමින් සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරනයක් කැඳවීමට උත්සාහ කල අතර, එම පියවර ශ්‍රේෂ්ඨාධිකරනය විසින් තාවකාලික ව අත්හිටුවා ඇත.
දෙපාර්ශවය ම ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන බව ව්‍යාජ ව කියාපාද්දී රාජ්‍ය බලය ගැනීම සඳහා මංමුලා සහගත ව සිටින පාලක පන්තියේ කන්ඩායම් දෙක අතර ගැටුම, වඩ වඩා ප්රචන්ඩ රූපයන් ගනිමින් තිබේ.
එසප ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරියගේ අත්සනින් යුතු ව නොවැම්බර් 16දා ඉංග්‍රීසි බසින් නිකුත් කල ප්‍රකාශයක මෙසේ සඳහන් විය: “පසුගිය සති දෙකහමාර පුරා, ලංකාවේ [ජනතාවට]දකින්නට ලැබුනේ මංමුලාසහගත බල තන්හාවෙන් ධනපති පාලකයන් විසින් අවුලුවන ලද පෙර නුවූ විරූ දේශපාලන අර්බුදයකි.” ගැටුම පවතින්නේ “පාලක පන්තියේ ඉහලින් සිටින කන්ඩායම් කිහිපයක්” අතර වුවත්, එය, “සාමාන්‍ය වැඩකරන ජනයාගේ හා පීඩිත සුලු ජාතීන්ගේ ජීවිතවලට” බලපායි.
“මේ රටේ ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ පදනමටම තර්ජනය කරන” ජනාධිපතිවරයා හා තෝරා පත්කරගත් ව්‍යවස්ථාදායකය අතර ගැටුම, “හා වීදිවල ප්රචන්ඩ ක්‍රියා හා ලේ හැලීම් දක්වා යොමුවිය හැකි ය.”
පුලුල් ව පැතිරුනු මහජන අතෘප්තියට හා පරත්වාරෝපනයට ආයාචනා කරන එසප, පාලක ප්රභූව තුල ගැටුම “ධනේශ්වර පාලකයන් බල තන්හාවෙන්” කරන ක්‍රියාවන් බවට සිඳුවන්නේ සරල ආත්මීය ආශාවන් මගින් අර්බුදය උද්ගත කලාක් මෙනි. එසපයේ තත්‍ය සහයෝගය ද සහිත ව වසර තුනක් රට පාලනය කල “ආන්ඩුවේ” සිරිසේන හා වික්‍රමසිංහ අතර විරසකය පිලිබඳ ව එය කිසිදු විග්‍රහයක් ඉදිරිපත් නො කරයි. 2015 දී එක්සත් ජනපදය ක්‍රියාවට දැමූ තන්ත්ර-මාරු මෙහෙයුමේ දී සිරිසේන විසින් පරාජය කෙරුනු ඔහුගේ පරම සතුරා වූ රාජපක්ෂ සමග දැන් ඔහු පෙලගැසී සිටින්නේ මන් ද යන්නත් එසප විග්රහ නො කරයි.
වර්තමාන අර්බුදය තනි පුද්ගලයන්ගේ උපාමාරු හා අභිප්රායන්ගේ ගැටුමක් බවට සිඳවීම, ඔවුන් නියෝජනය කරන පන්ති අවශ්‍යතා හිතාමතා ම සැඟවීමේ දී නිශ්චිත අරමුනකට සේවය කරයි. සමස්තයක් ලෙස පාලක පන්තියේ දේශපාලන අර්බුදයේ ගැඹුර ආවරනය කරමින් සිටින එසප, ඒ හරහා කම්කරු පන්තිය මුහුන දී සිටින අන්තරායන් හා දේශපාලන කර්තව්‍යයන් වහංගු කරයි.
එසප විසින් වාම සන්ධානයක් සඳහා කරන කැඳවුමෙහි ඉලක්කය වන්නේ, වැඩකරන ජනයාගේ අයිතීන් රැකීමට ඒ හෝ මේ පාලක කන්ඩායම මත පීඩනය යෙදිය හැක යන මාරාන්තික මිථ්‍යාව දිරිමත් කිරීම යි. යන්තම් වසර තුනකට පෙර රාජපක්ෂ ඉවත් කිරීම සඳහා එසප සිරිසේන හා වික්‍රමසිංහ පිටුපස පෙලගැසුනි. එය “අඩු නපුර” යයි ප්‍රකාශ කරන ලද්දේ “පොදු සතුරාට මුහුන දීමේ දී යකා සමග වුවත් එකතු වීමට නිර්භය විය යුතු” යයි ප්‍රකාශ කරමිනි. (බලන්න: ශ්‍රී ලංකාවේ සසප, එක්සත් සමාජවාදී පක්ෂයට පිලිතුරු දෙයි ,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩසටහන වසර තුනක් තිස්සේ ක්‍රියාවට දැමීමෙන් එජාපය තරයේම අපකීර්තියට පත් ව සිටින තතු තුල, එසපය තරමක් වෙනස් තානයක් ගායනා කරයි. එජාපය වෙත වූ එහි පැරනි දිශානතිය විස්තර නො කරන එසප එහි දේශපාලන මාවත මූලික ව වෙනස් කර නැත.
වාම සන්ධානයක් සඳහා වන එසප ආයාචනයට, එහි බංකොලොත් දේශපාලන දිශාවනතිය බෙදාහදා ගන්නා පෙසප, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, නව ප්රජාතන්ත්රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය, වාම හඬ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය හා පශ්චාත් නූතනවාදී ප්‍රැක්සිස් සාමූහිකය ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම් රොත්තක් සහයෝගය දෙති. අර්ථභාරී ලෙස, එජාපයට විවෘත ව සහයෝගය දෙන සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සන්ධානය හා එක්වන්නැයි පෙසප ආයාචනා කර තිබේ.
කොලඹ පාලනයේ වර්තමාන දේශපාලන අර්බුදයට සැබෑ හේතුව වන්නේ, තම ජීවන කොන්දේසි මත ප්රහාරයන්ට එරෙහි ව සටන් කිරීම අරඹා ඇති කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුන ජනයාගේ පන්ති අරගල ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තර වත් පුනර්ජීවනය වීම යි. වැඩෙන ගෝලීය ආර්ථික අර්බුදයක් හා විදේශ නය මධ්‍යයේ, වැඩකරන ජනයාගේ විරෝධය තලා දමන්නේ කෙසේ ද යන්න අරබයා වූ ගැටුමක් විසින් පාලක පන්තිය ප්රතිමල්ල කන්ඩායම්වලට ඉරා දමමින් තිබේ.
කන්ඩායමික ගැටුම “ප්රජාතන්ත්රවාදයේ පදනමටම තර්ජනය කරමින් තිබේ” යයි එසප නායක ජයසූරිය අඳෝනා නගන්නේ හරියට ශ්‍රී ලංකාව තුල මල් ඵල දරන පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී පාලනයක් තිබෙන්නාක් මෙනි. යථාර්ථය වන්නේ, සිරිසේන-වික්‍රමසිංහ “සමගි” ආන්ඩුව මෙන් ම පූර්ව රාජපක්ෂ ආන්ඩුව ද වර්ජිත කම්කරුවන්ට හා අනෙකුත් විරෝධතාවන්ට එරෙහි ව පොලිස් රාජ්‍ය පියවරයන් ගැනීමට පැකිලුනේ නැති බව යි.
කම්කරු පන්තියට සත්‍යය ප්‍රකාශ කිරීමට එසප ඓන්ද්‍රීය ව ම නොසමත් ය: එනම්, මූලික ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් රැකගැනීමේ එකම මාවත වන්නේ එය තමන්ගේ ම ස්වාධීන ශක්තිය මත විශ්වාසය තබමින්, විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත පීඩිත ජනයා දෙසට හැරීම බව යි.
අනෙක් සියලු ව්‍යාජ-වාම කන්ඩායම් මෙන් එසප ද ධනේශ්වර සමාජය තුල එකම සංගතික විප්ලවවාදී පන්තිය කම්කරු පන්තිය ය යන මූලික මාක්ස්වාදී ආස්ථානය ප්‍රතික්ෂේප කරයි. සැබවින්ම නම් පසුගිය වසර තුන තිස්සේ ආන්ඩුවට බලපෑම් දැමීම පිනිස කම්කරුවන් යොමු කරමින් ඔවුන්ගේ අරගල පීලිපැන්නවීම සඳහා සෑම දෙයක් ම කිරීමට මෙම පක්ෂය අනෙකුත් “වාම” කන්ඩායම් හා වෘත්තීය සමිති සමග ක්‍රියා කලේය.
විශේෂයෙන් ම චීනය සමග ට්‍රම්ප් පරිපාලනයේ ආක්රමනශීලී ගැටුම ඇතුලු තීව්ර වන භූ-දේශපාලනික ආතතීන් සමග ද වර්තමාන දේශපාලන අර්බුදය බැඳී තිබේ. රාජපක්ෂ ආන්ඩුවට චීනය සමග තිබූ සමීප සබඳතා හේතුවෙන් 2015 දී එක්සත් ජනපදය විසින් ඔහු ඉවත් කිරීම සමග පෙලගැසුනේ මන් ද යන අසීරු ප්රශ්නය මතු වන නිසා මේ සම්බන්ධයෙන් එසප මුලුමනින් ම නිහඬ ය.
වර්තමානයේ දී වික්‍රමසිංහට පිටුබලය දෙමින් සිටින එක්සත් ජනපදය, “සමගි” ආන්ඩුව යටතේ ගොඩනගා ගත් දේශපාලන හා මිලිටරි සබඳතා පවත්වාගෙන යාම හා ගැඹුරු කිරීම අවශ්‍ය බව පැහැදිලි කොට ඇත. එහෙත්, රාජපක්ෂ කන්ඩායමේ නායකයෝ ද එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය හා බි්රතාන්යය ඇතුලු රටවල කොලඹ රාජ්‍යතාන්ත්‍රිකයන් ව පසුගිය සතියේ මුනගැසුනේ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ය.
“වාම” මුහුනක් දමාගන්නා එසප ප්‍රකාශය, “අර්බුදයට තමන්ගේ ම විසඳුමක් සොයාගැනීම සඳහා තමන්ගේ ම ඉල්ලීම් සමග දේශපාලන දර්ශන පථයේ පෙනී සිටිමින් ධනපති-විරෝධී වැඩපිලිවෙලකට සූදානම් වන” ලෙස කම්කරුවන්, තරුනයන් හා පීඩිත ජනයාට ආයාචනා කරයි.
කොතරම් නරුම උපාමාරුවක් ද! “ධනපති-විරෝධී වැඩපිලිවෙලක්” සඳහා කරන ආයාචනය කිසිදු සමාජවාදී හෝ විප්ලවවාදී අන්තර්ගතයකින් තොර ය. එසප ඉදිරිපත් කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය හා රජයට අයත් ව්‍යාපාර පුද්ගලීකරනයට විරුද්ධ වීම, ගොවීන්ට වඩා සහනාධාර හා සහතික මිල සහ අත්අඩංගුවේ සිටින්නන්ගේ හා “අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහනාධාර යනාදී ආන්ඩුව වගකිව යුතු ප්‍රහාර සඳහා ආන්ඩුව එල්ල කරගත් සීමිත ඉල්ලීම්වල ලැයිස්තුවකි.
“බංකොලොත් ධනේශ්වර පද්ධතිය තුල ශ්‍රී ලංකාවේ දුගී ජනයාට එලියට මාවතක් නැති නිසා, කම්කරුවන්ගේ ආන්ඩුවක් ගොඩනැගීමේ දීර්ඝ-කාලීන මූලෝපායට සූදානම් පුලුල් මහජන කම්කරු පන්තික පක්ෂයක් ගොඩනැගීමට සටන් කිරීමේ දැවෙන අවශ්‍යතාවක් තිබේ” යයි කියමින් එසප සමාජවාදී පියවරයන් ඈත අනාගතයට කල්දමයි.
විප්ලවවාදී තත්ත්වයක් මතුවන බවට භීතියෙන් සිටින එසප, එම භව්‍යතාව හුදෙක්ම ගසබසා දමයි. ජයසූරිය මෙසේ ප්‍රකාශ කරයි: “1917 රුසියානු විප්ලවයට පෙර පැවති තත්ත්වය සමග යාන්ත්‍රික සන්සන්දනයක් තිබිය නො හැකි බව මාක්ස්වාදීන් ලෙස අපි දනිමු.” ඔහු මෙසේ කියාගෙන යයි: “අපි එම තත්ත්වයට ලංවී වත් නැති බව හඳුනාගනිමු. එහෙත් අරාජික තත්ත්වයක් උද්ගත වුවහොත් එය පූර්ව-විප්ලවවාදී තත්ත්වයක් බවට වර්ධනය විය හැකි ය.”
පැහැදිලි ව ම සමාන සමාන්තරයන් ඇඳිය නො හැකි වුවත්, රුසියානු විප්ලවය කම්කරු පන්තියට අතිශය වැදගත් පාඩම් ගැබ් කර ගනී. ධනේශ්වර තාවකාලික ආන්ඩුවට පිටුබලය දුන් සම්මුතිවාදීන්, අවස්ථාවාදීන් හා ව්‍යාජ-වම්මුන් ව හෙලිදරවු කිරීමට වෙහෙස නො තකන දේශපාලන අරගලයක් දියත් කල ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් නායකත්වය දුන් බොල්ශෙවික් පක්ෂය, පලමු කම්කරු රාජ්‍යය ස්ථාපිත කල 1917 විප්ලවවාදී අරගලයන් වර්ධනය කොට ඊට නායකත්වය දුන්නේ ය.
ලෝක ධනවාදයේ බිඳවැටීම හා සාර්වාදී අධිරාජ්‍යය ද සම්බන්ධ වූ පලමු ලෝක යුද්ධයේ පුපුරා යාම මගින් නිර්මිත ඉවසිය නො හැකි කොන්දේසි හා පීඩනය යටතේ 1917 පෙබරවාරි විප්ලවය පුපුරා ගියේ ය. නව හා වඩා රුදුරු ගැටුමක් දෙසට තල්ලු වෙමින් ක්ෂනික ව තියුනු වන භූ-දේශපාලනික ප්රතිමල්ලවතා විසින් යලිත් අරක්ගත් ලෝකය, ජාත්‍යන්තර පරිමාන ව පන්ති අරගලයේ පුනර්ජීවනයක් ද ජනනය කරමින් තිබේ.
කම්කරු පන්තිය ධනේශ්වර සංස්ථාපිතයට කරන නිෂ්ඵල ආයාචනාවන්ට සීමා කිරීම ඉලක්ක කරගත් එසපයේ හා එහි සගයන්ගේ නවතම “වාම” උපාමාරුව, කම්කරුවන්, තරුනයන් හා ප්රගතිශීලී බුද්ධිමතුන් විසින් අවඥාවෙන් බැහැර කල යුතු ය. තම මූලික ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමට කම්කරුවන් තමන්ගේ අරගලවල හරි මැද සමාජවාදයේ ධජය සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන ස්ථානගත කල යුතු ය. එලඹෙන අරගලයන් සූදානම් කරමින් ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව තම අරගල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස කම්කරු පන්තිය විසින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගොඩනගනු අවශ්‍ය ය. සසප යනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව යි.
Follow us on