බලන්න: ඩේවිඩ් නෝර්ත් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය කෙරෙන උදෑසන රූපවාහිනී චැනල් අයි සේවයේ සාකච්ඡාව

Watch: David North interviewed on Sri Lanka’s English-language Channel Eye TV

2018 ඔක්තෝබර් 10

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ සභාපති හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් පසුගිය සතිය තුල කොලඹ හා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී ප්‍රසිද්ධ රැස්වීම් ඇමතීය. ඉහල සහභාගීත්වයකින් යුතු වූ මෙම රැස්වීම් සංවිධානය කරනු ලැබුවේ, හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීමේ 80 වන සංවත්සරය හා, පසුව ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය බවට පත් වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවීමේ 50 වන සංවත්සරය ද සැමරීම පිනිසය.

නෝර්ත් ඔක්තෝබර් 8 වන දින, ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය කෙරෙන උදෑසන රූපවාහිනී වැඩසටහන් අතර වඩාත්ම ජනප්‍රිය “Rise and Shine˜” වැඩසටහනට සහභාගී වෙමින් හතරවැනි ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය පිලිබඳව සාකච්ඡා කලේය. නෝර්ත් සමඟ සාකච්ඡාවේ යෙදුනේ ෂැරෝන් මස්කරීනස් හා වරුන සෝලංගආරච්චි යන දෙදෙනාය.

ඩේවිඩ් නෝර්ත් සමඟ ශ්‍රී ලංකාවේ රූපවාහිනී චැනල් අයි සේවයේ සාකච්ඡාව

 

R&S: යලිත් වැඩසටහනට. අපි දැන් අපේ අවසාන කොටසට යොමු වෙමු. ඔබ ඉතිහාසය කෙරේ ලැදිකම් දක්වන්නෙකු නම්, මේ ඔබ අවධානයට - වැඩිදුර අවධානයට - ලක් කිරීමට කැමති විෂය ක්ෂේත්‍රයන් අතරින් එකක් වනු ඇති. රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට ලෙනින් සමඟ සම නායකත්වය සැපයූ ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද හතරවැනි ජාත්‍යන්තරයේ අසූවන සංවත්සරය හා සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවීමේ පනස්වන සංවත්සරය සැමරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ ආරාධනයෙන්, ඉතිහාසයේ පාඩම් හා සමාජවාදය සඳහා අද දින අරගලය පිලිබඳව සාකච්ඡා කිරීමට කථිකයෙක් පැමින සිටිනවා. අප සමඟ එක්ව සිටින ඒ මහතා මෙහි පැමින සිටින්නේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය තුල දශක හතරක් පුරා නායක කාර්යභාරයක් ඉටු කිරීමේ අත්දැකීම් සම්භාරයක් සමඟයි. ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල වැදගත් තැනක් දරන ඔහු The Heritage We Defend (අප රක්නා උරුමය), In Defence of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා), Russian Revolution and the Unfinished Twentieth Century (රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස) හා තවත් බොහෝ කෘතීන් නිසා ප්‍රකට පුද්ගලයෙක්. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපතිවරයායි. පේරාදෙනියේ හා කොලඹ පැවැති රැස්වීම් හා සාකච්ඡාවලින් පසුව ඩේවිඩ් නෝර්ත් මහතා අප සමඟ මැදිරියේ සිටිනවා. අප වෙනුවෙන් කාලය වෙන් කිරීම පිලිබඳව ඔබට බොහොම ස්තුතියි.

DN: මට ආරාධනා කිරීම පිලිබඳව ඔබට ස්තුතියි.

R&S: ඔබ අප සමඟ මෙහි සිටීම සතුටක්. ස්තුතියි. මේ දක්වා ඔබේ සංචාරය කෙසේද?

DN: එය අතිශයින් සිත්ගන්නා සුලුයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේත්, ඊයේ කොලඹ දීත් පැවැති රැස්වීම් දෙකක දී දේශනා දෙකක් පැවැත්වීමට මට ආරාධනා කර තිබුනා. මේවාට ඉතා ඉහල සහභාගීත්වයක් පැවැති අතර පැමින සිටි අය අතර මහත් උනන්දුවක් හා උද්‍යෝගයක් පැවතුනා. ඒ නිසා එම දේශන පැවැත්වීම ඉතා ප්‍රියජනක වුනා.

R&S: හොඳයි. එසේනම්, සමාජවාදය සඳහා අද දින අරගලය හා 80 වන සංවත්සරය යෙදී ඇති සිදුවීම සිදු වූ ඒ අතීතයේ දිනය දෙස බැලූ විට, එම කාල පරිච්ඡේදය තුල සිදු වී ඇති මෙම සම්පූර්න පරිනාමය ඔබ දකින්නේ කෙසේද?

DN:ඔව්. නිසැකවම එය අතිශය සංකීර්නයි. ට්‍රොට්ස්කි 1938 දී හතරවැනි ජාත්‍යන්තරය පිහිටවූවා. ඔහු එසේ කලේ, ස්ටැලින් යටතේ සෝවියට් සංගමයේ පරිහානියට හා සෝවියට් ස්ටැලින්වාදී නිලධරය මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ මූලික මූලධර්ම පාවාදීමට එරෙහිව ඔහු විසින් දියත් කොට තිබුනු අරගලයේ කුලුගැන්වීම ලෙසයි. ස්ටැලින් යනු විප්ලවයේ මිනී වල කනින්නා බව සහ අවසානයේ නිලධරය සෝවියට් සංගමයේම විනාශයට හේතු වන බව ඔහුගේ මූලික සංකල්ප අතර පැවතුනා. මෙය සුලුතරයක ආස්ථානය වූ අතර, ඔහු දැවැන්ත මර්දනයක කොන්දේසි යටතේ ඒ වෙනුවෙන් සටන් වැදුනා. අවසානයේ ඔහුමත් නිලධරය අතින් ඝාතනය වුනා. හතරවැනි ජාත්‍යන්තරය පිහිටවූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කලේ, මානව වර්ගයා මුහුන දෙන මූලික ගැටලුව කම්කරු පන්ති විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවයි. මේ රටේ පවා පැවැති ආකාරයේ - දැවැන්ත සමාජවාදී ව්‍යාපාර පැවතීම නොතකා සමාජවාදී ව්‍යාපාරය මුහුන දුන් ඉරනමෙන් මෙය යථා කාලයේදී සනාථ වුනා. ඒවා අවසානයේ පරාජයට පත් වූයේ ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් සටන් වැදුනු විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම අතහැර දැමීමේ ප්‍රතිවිපාකයක් ලෙසයි. අද දවසේ අප එලැඹ සිටින්නේ 1930 ගනන් සමඟ බොහෝ ආකාරයන්ගෙන් සැසඳෙන කාල පරිච්ඡේදයකටයි. 1938 යනු ෆැසිස්ට්වාදය නැඟීමේ හා සමීපව එලැඹෙමින් පැවැති යුද්ධයේ, ඒකාධිපතිවාදයේ, ආර්ථික අර්බුදයේ කාල පරිච්ඡේදයක් වුනා. අද තතු විමසා බැලූ විට අපට පෙනෙන්නේ, ඇත්ත වශයෙන්ම ලෝකයේ වෙනස් වූ බොහෝ දේ ඇතත්, අප නිසැකවම ජීවත් වන්නේ වැඩකරන ජනයාගේ වැඩි කොටසක ජීවන මට්ටම් පිරිහී යාම තුලින් ප්‍රකාශයට පත් වන ගෝලීය ආර්ථික අර්බුදයක් මධ්‍යයේ බවයි. යුද්ධයේ අනතුර මතු කරන ජාත්‍යන්තර භූ දේශපාලන ගැටුම්වල තීව්‍රතාවයේ උත්සන්න වීමකට අප මුහුන පා සිටින අතර, එක්සත් ජනපදය තුල ට්‍රම්ප් බලයට පත්වීම, ජර්මනියේ පවා නව නාසි ව්‍යාපාරවල පිබිදීම ආදී වශයෙන් ලෝකය පුරාම අප දකින්නේ අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර මතු වී ඒමයි.

ඒකාධිපතිවාදය යලි හිස එසවීම පිලිබඳව බොහෝ සාකච්ඡා පැවැත්වෙනවා. එහෙත් ඊට පාදක හේතුව පවතින්නේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය, සමාජ අසමානතාවයේ දැවැන්ත වර්ධනය සහ කම්කරු පන්තියේ උත්සුකයන් පිලිබඳව කථා කරන බව කියා සිටි පැරනි සංවිධාන සැබෑ සමාජවාදී වැඩ පිලිවෙලක් ඉදිරිපත් කිරීමට අසමත්වීම තුලයි. මට ආරාධනය කර ඇත්තේ ඇත්තෙන්ම ඉතිහාසයේ පාඩම් පිලිබඳව කථා කිරීමටයි. එවැනි කාල පරිච්ඡේදයක් පිලිබඳව අතීතයෙන් ඉගෙන ගත හැකි දේ සම්බන්ධයෙන් ඉතිහාසය අපට කියන්නේ කුමක්ද? දේශපාලනය යනු හුදු තත්කාර්යවාදී (උපයෝගීතාවාදී) කටයුත්තක් හෙයින් කුමට කරදර වෙමුදැයි අසන්නෝ බොහෝයි. එහෙත් අපේ දැක්ම වන්නේ, සමාජවාදය සඳහා අරගලය වර්ධනය කිරීමේ බැරෑරුම් දේශපාලනයක නිරත වන්නේ නම් ඔබ ඉතිහාසයේ පාඩම් හැදෑරිය යුතු බවයි. ඔබ ඉතිහාසයේ පාඩම් මත පදනම් විය යුතුයි. සමාජවාදය කෙරේ ලෝකය පුරාම, විශේෂයෙන්ම තරුනයන් අතර, විශාල යලි පිබිදීමක් අප දකින අතරතුරම, ඒ සා වැදගත් වන පසුගිය සියවසේ ඓතිහාසික අත්දැකීම් පිලිබඳ මූලික දැනුම බොහෝ හේතූන් නිසා ඔවුන්ට අහිමි වී තිබෙනවා. මේ රටේ පවා, මා අදහස් කලේ ඔබට බලගතු සමාජවාදී ව්‍යාපාරයක් තිබූ නමුත් බොහෝ රටවල සේම මෙහිදී පවා, විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දී ඇති වෙලඳපොල නිදහස් ආර්ථික ප්‍රතිපත්තිවල ආධිපත්‍යය පවතිනවා. ඉහත කී පරිදි සමාජවාදයේ පුනරුත්ථානයක් ඇති වී තිබෙන අතර, මගේ දේශනවල අරමුන වූයේ ඇතැම් මහා ඓතිහාසික අත්දැකීම් විමර්ශනය කිරීම සහ ඒ පදනම මත හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මඟින් නියෝජනය වන ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය යලි ගොඩ නැඟීමයි.

R&S: පෙනී යන හැටියට, වෙනත් වාර්තාවලින් ද කියවෙන පරිදි - විශේෂයෙන්ම එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ - ඇතැම් වෘත්තීය සමිතිවලට තරුනයන් අතර බලපෑම අහිමි වී ගොස් ඇති බවක් පෙනෙනවා. ඒවායේ බලපෑම හීන වී ඇති අතර, ඔවුන්ගේ ජීවිතවලට දිනා ගැනීමට අවශ්‍ය දේ වලදී නිසි හඬක් නැඟීමට නොහැකි වී තිබෙනවා. මා නිවැරදියි, නේද? ඉතින්, ඔබ සිතන පරිදි, විශේෂයෙන්ම පෙර කී රටවල, දේශපාලන උගුල් ගැන කථා කිරීමේදී, ඔබ සිතන දේ හා ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි මඟ පෙන්වීම කුමක්ද?

DN:ඔව්. එය වඩාත් පුලුල් අර්ථයකින් ගත් කල මා සිතන්නේ, 20 වන සියවසේ මතු වූ කම්කරු පන්ති සංවිධාන - වෘත්තීය සමිති, විවිධ සමාජවාදී පක්ෂ - මේ සියල්ල ඒ හෝ මේ ආකාරයෙන් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක රාමුව තුල ක්‍රියාත්මක වූ ඒවායි. අප ජීවත් වන්නේ ගෝලීය ආර්ථිකයක් තුල, ගෝලීය සමාජයකයි. ඉතින් ජාතික රාජ්‍යයේ රාමුව තුල ප්‍රතිසංස්කරන දිනා ගැනීමට ඔවුන් තැත් කරන විට -ඇත්තෙන්ම එසේ කීමත් වැරදියි - හරි හැටි කිවහොත් ඉහත කාල පරිච්ඡේදයක ඒ සඳහා තැත් කල විට - ඔවුන් තැත් කලේ ඒ වනවිටත් අවලංගු වී කලක් ගත වී තිබූ ජාතික රාජ්‍යයක රාමුව තුල ප්‍රතිසංස්කරන දිනා ගැනීමටයි. ගෝලීය මූලෝපායයකින් තොරව ඔබට කම්කරු පන්තියේ උත්සුකයන් සඳහා සටන් කල නොහැකියි. ජාත්‍යන්තර වශයෙන් ඒකාග්‍ර ආර්ථිකයක් තුල ඔබ ලෝකය පුරා සිටින කම්කරුවන් එක්සත් කරන්නේ කෙසේද? ඒ ආකාරයෙන්, හතරවැනි ජාත්‍යන්තරයේ මූලික දේශපාලන පදනම වන්නේ, හරියටම, එය කම්කරු පන්තියට ජාත්‍යන්තරවාදී මූලෝපායක් ගෙන එන්නේය යන කාරනාවමයි. සමාජවාදය සඳහා සටන ජාතික නොව ජාත්‍යන්තර සටනක්. ජාතික මාවත් නැහැ. ජාතික මාවත කිසිදු බුරුලකින් තොරව මඟ පෙන්වන්නේ දක්ෂිනාංශික දේශපාලනය, වෙලඳ යුද්ධ, කරායි; එය කම්කරුවන් තමන්ගේම පාලක ප්‍රභූවට බැඳ තබන අතර එය යුද්ධයේ මාවතයි. ඒ නිසා අද විකල්පය වන්නේ, එක්කෝ අපට ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්තියක් පැවතිය යුතුයි, එසේ නැතිනම් ඇත්තේ ජාතික රාජ්‍ය අතර අරගලයේ හා යුද්ධයේ ධනේශ්වර ප්‍රතිපත්තියයි.

R&S: හොඳයි. කම්කරු පන්තිය තමන්ගේ මුල් නායකයන්ගෙන් වෙනස්, අලුතින් ගොඩනැගෙන නායකත්වයන් කරා හැරෙනු ඇතැයි ඔබ කියන්නේ මන්ද? එසේ වීමට හේතු මොනවාද? පුද්ගල විශේෂත්වයන් ද? නැතිනම් වෙන යමක්ද?

DN: අවසානයේදී ගත් කල, මාක්ස්වාදීන් වශයෙන් අප සෑමවිටම සැලකිලිමත් වන්නේ වෛෂයික හේතූන් මොනවාද යන්න පිලිබඳවයි. ඔබට පුද්ගල විශේෂත්වයන් කෙරේ යොමු විය හැකියි. මේ පුද්ගලයා හොඳය, අර පුද්ගලයා නරකය ආදී වශයෙන් ඔබට කිව හැකියි. එහෙත් අවසානයේ සැබෑ කරුනු හමුවන්නේ ආර්ථික සංවිධානයේ අවශ්‍යතා තුල මතු වන පන්ති අවශ්‍යතා ඇතුලතයි. එක් කාල පරිච්ඡේදයකදී පාලක ප්‍රභූව වඩාත් ප්‍රගතිශීලී අය පෙරට ගෙන ආ හැකියි. කම්කරු පන්තියේ නැඟිටීමකට දක්වන බිය නිසා ඔවුන් සමාජ ප්‍රතිසංස්කරනයේ වකවානුවක් ඇති කල හැකියි. එහෙත් ධනේශ්වර ක්‍රමය යටතේ ඉදිරිපත් කල හැකි ප්‍රගතිශීලී විකල්ප නොපවතින ආර්ථික අර්බුදයේ කාල පරිච්ඡේදයක දී ඔවුන් පෙරමුනට ගන්නේ ට්‍රම්ප් වැනි අය හා නව නාසි ව්‍යාපාරයි. මෙය පසුගිය ශත වර්ෂයේ අප ලැබූ ඓතිහාසික අත්දැකීම්වල පාඩමක්. ඒ අනුව, මෙවර අපට එම අත්දැකීම නැවත වරක් සිදුවීමට ඉඩ හැරිය නොහැකියි. කවර හෙයින් ද යත්, මෙවර එහි ප්‍රතිවිපාක අත්‍යන්තයෙන්ම විනාශකාරී වනු ඇති නිසාය. අද දින ඇති වන ලෝක යුද්ධයක් යනු න්‍යෂ්ඨික අවි භාවිතා කෙරෙන ලෝක යුද්ධයක්. යුද්ධයට එරෙහිව සටනක් සිදුවන්නේ නම්, ඒ සඳහා ලෝකය පුරා කම්කරුවන් එක්සත් කිරීම අවශ්‍යයි.

R&S: [රුසියානු විප්ලවය හා] නොනිමි විසිවන සියවස ඔබේ කෘතිය ගැන. පෞද්ගලිකව මට දැනෙන අයුරින් කිවහොත් සියල්ල අද වනවිට අවසාන වී ඇති බවයි. එහෙත් චීනය වැනි රටක් ගත් විට, නය දීමේදී ඔවුන් අඩු වර්ධනයක් සහිත රටවල ආයෝජනය කිරීමට හෝ ඒවාට ආධාර කිරීමට ඉදිරිපත් වෙනවා. ඊලඟට ඔබට පෙනී යන්නේ එම මූල්‍ය යම් ආකාරයක උගුලක් බවයි. මෙය සම්පූර්න වටයකට ගෙන ආ විට චීනය අධිරාජ්‍යවාදී රාජ්‍යයක් ලෙස පෙනී යනවා. ඔබ මෙය දකින්නේ කොහොමද?

DN:ඔව්. මා හිතන්නේ, ඉතිහාසය සම්බන්ධ කාරනා ඒ තරම් වැදගත් වන්නේ මක්නිසාද යන්නට මෙම ප්‍රශ්නයම එක හේතුවක් සපයනවා. චීන සමාජවාදී ව්‍යාපාරයේ දීර්ඝ ඉතිහාසයේ රාමුව තුල බහා ලීමෙන් තොරව චීනයේ පවතින තත්වය කෙනෙකුට හරිහැටි අවබෝධ කර ගත හැකියැයි මා සිතන්නේ නෑ. චීන විප්ලවයේ ප්‍රතිවිරෝධතා, හරියටම කිවහොත් චීන විප්ලවයේ මූලෝපායය සම්බන්ධ ප්‍රශ්නය, හතරවැනි ජාත්‍යන්තරය වර්ධනය කිරීමට හේතුභූත වූ ප්‍රධාන කරුනක් වුනා. පන්ති හතරක පෙරමුනක් පිලිබඳ හා තනි රටේ සමාජවාදය පිලිබඳ ස්ටැලින්වාදී න්‍යායයන් පාර කැපුවේ චීන කොමියුනිස්ට් පක්ෂය ගැඹුරින්ම මංමුලාවට හෙලමින්, ව්‍යසනකාරී පරාජයන් මාලාවකට ඇද දමා, එය ගොවි ජනයා මත යලි දිශානුගත කිරීම කරායි. දිග කතාවක් කෙටියෙන් කිවහොත්, මාඕවාදී රාජ්‍ය තන්ත්‍රය ධනපති ආර්ථිකය කරා හැරවීම නිසැකවම, නිශ්චිත තතු යටතේ, මහත් ආර්ථික වර්ධනයක් අත්පත් කර දුන් නමුත්, දැන් එය මුහුන දෙන්නේ අවුරුදු 80ක් හෝ 90 කට ඉහත චීන ජනයාට මුහුන දීමට සිදු වූ එම මූලික ඓතිහාසික ගැටලුවලටමයි. එය අධිරාජ්‍යවාදයේ යතාර්ථය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද? මා හිතන්නේ, අතිශයින් සංකීර්න ඓතිහාසික අත්දැකීමක් සරල වාක්‍යාංශවලට ලඝු කිරීමට යමෙකු තැත් නොකල යුතුය කියායි. පැහැදිලිවම චීනය එහි ගෝලීය ආනුභාවය ප්‍රසාරනය කිරීමේ උත්සාහයක යෙදෙනවා. එහෙත් එම මාවත නොවැලැක්විය හැකි ලෙස පාර කපන්නේ චීනයේ නැගීම පිලිගැනීමට සූදානම් නැති එක්සත් ජනපදය සමඟ ගැටුමක් කරායි. මා වටහා ගෙන ඇති පරිදි, චීනය ශ්‍රී ලංකාවට විශාල නයක් මේ දිනවල ලබා දී තිබෙනවා. මෙය එක්සත් ජනපදයේ කෝපයට හේතුවන බව මට විශ්වාසයි. ශ්‍රී ලංකාව වැනි රටක් මෙම එකිනෙක හා තරඟ වදින භූ දේශපාලන උත්සුකයන්ගේ සුලියට හසුවී තිබෙනවා. මා දකින අන්දමට එමඟින් අවධාරනය කෙරෙන්නේ, මෙකි ප්‍රශ්න ධනවාදී පදනමක් මත විසඳීමේ යහපත් ප්‍රගතිශීලි රාමුවක් නොපවතින බවයි. තව දුරටත් කිව යුත්තේ, ඔබ පෙන්වා දුන් පරිදිම, නය කාගෙන් ලැබුනත්, ඒ සමඟ කොන්දේසි ද පැනවෙන බවයි. ධනවාදී පදනමක ක්‍රියාත්මක වන මොනම රටක්වත් පරහිතකාමී හේතු මත ක්‍රියාත්මක වන්නේ නැහැ.

චීන පාලක ප්‍රභූවට මාක්ස්වාදය හෝ සමාජවාදය සමඟ තවදුරටත් කිසිම සම්බන්ධයක් නැහැ. චීන ජනයා මුහුන දෙන ගැටලු මඟින් ලෝක පරිමානව පවා පවතින ගැටලු තියුනු ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා. අවසානයේ ගත් කල, ධනේශ්වර වර්ධනයේ මාවතට එහි ඓතිහාසික ගැටලු විසඳන්න බැහැ. මා හිතන හැටියට, චීනය තුල සමාජවාදයේ පුනරුත්ථානයක් දැක ගැනීමට අපට හැකි වේවි. මා සිතන්නේ එම වර්ධනය තුල ට්‍රොට්ස්කිවාදය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරාවි.

R&S: නෝර්ත් මහත්මයා, පසුගාමී රටවල් පිලිබඳව කථා කිරීමේදී, ඔබ සඳහන් කලා සංක්‍රමනීය ක්‍රියා මාර්ගය පිලිබඳව. ඔබ පැවසූවේ ලියොන් ට්‍රොට්ස්කි විසින් 1938 දී ලියන ලද ධනවාදයේ මරලතෝනිය සහ හතරවැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ නම් ලේඛනය අදට ද වලංගු බවයි. තව ද, එම වැඩ පිලිවෙල පසුගාමී රටවලට අදාල බවයි. මේ පිලිබඳව ඔබ සිතන්නේ කෙසේද?

DN: අප එම රටවල් සම්බන්ධයෙන් පසුගාමී යන යෙදුම යොදා ගන්නේ නැහැ. පසුගාමී යන්න සංස්කෘතිකව සමානකම පිලිබඳව යොදා ගැනෙන්නක් නොවේ. මෙය ධනපති ක්‍රමයේ වර්ධනයෙහි ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්නයක්. ධනේශ්වර වර්ධනය කල් පමා වූ රටවල් සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල මූලික සංකල්පයට අනුව අධිරාජ්‍යවාදය සමඟ පැවැති යටත් විජිත හෝ නව යටත් විජිත සම්බන්ධතාවයෙන් නිදහස් වීමට ප්‍රයත්න දරන රටවල් පිලිබඳව ට්‍රොට්ස්කි සඳහන් කලේ. ඒ අනුව ජාතික ධනේශ්වරයට එකී සටනට නායකත්වය දිය නොහැකි බවයි ඔහු අදහස් කලේ. ඒ, ඔවුන් ලෝක ප්‍රාග්ධනයේ අවශ්‍යතාවට, අධිරාජ්‍යවාදී උත්සුකයන්ට ගැට ගැසී සිටින නිසයි. අධිරාජ්‍යවාදයට එරෙහි සටන මෙහෙයවමින්, අද දවසේ වචනයෙන් කිවහොත්, ඌන සංවර්ධිත රටවල් ලෝක බැංකුවේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්‍රහනයෙන් මුදා ගත හැකි එකම සැබෑ විප්ලවවාදී බලවේගය වනුයේ කම්කරු පන්තියයි. කම්කරු පන්තිය ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ගැට ගැසී නොමැති අතර, නොනවතින විප්ලව න්‍යායයේ මූලික සංකල්පය විසින් යලියලිත් සනාථ කෙරී ඇති පරිදි එය ලෝක ආර්ථිකය සාධාරන, ප්‍රජාතන්ත්‍රවාදී, විද්‍යාත්මකව සැලසුම්ගත පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමේ ගෝලීය අරගලයක කොටස්කරුවෙකු විය යුතුයි. මා කියන්නට අදහස් කලේ මෙයයි. අප්‍රිකාව හා ආසියාව පුරා බොහෝ රටවල් තමන් සංවර්ධනය සඳහා ජාතික මාවතක් සොයා ගත් බව කියා සිටියා. එහෙත් ඔවුන් සියල්ලන් සිටින්නේ එකම අර්බුදය තුලයි: විදේශ නය මත යැපෙමින් හා අඩු-මිල ශ්‍රමය මත යැපෙමින්. ඒ අනුව, එය නිසැකවම සංවර්ධනයේ මාවතක් නොවේ. කම්කරු පන්තිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී අරගලයේ නායකයා විය යුතු බවට නොනවතින විප්ලවය තුල 20 වන සියවසේදී ට්‍රොට්ස්කි මතු කල එම මූලික ප්‍රශ්නය අද දිනයේ ද සත්‍ය වනවා.

R&S: සමාජවාදී සමානතා පක්ෂයට තරුන ව්‍යාපාරයක් තිබෙනවා, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (IYSSE) යන නමින්. තරුනයන් සඳහා වැඩ පිලිවෙල සකස් කොට ඇත්තේ අධ්‍යාපනය, පෞද්ගලීකරනය, සුභසාධක වියදම් කැපීම, විරැකියාව, සමාජ පිරිවැය කැපීම ආදිය තරුනයන් හමුවේ ඉදිරිපත් කරමිනුයි. මෙහි ප්‍රගතිය ඔබ දකින්නේ කෙසේද? මන්ද යත් එය මෙහි උද්‍යෝගිමත් මාතෘකාවක් වන බැවිනි.

DN: එය මුලු ලෝකය පුරාම අතිශය උද්‍යෝගිමත් කාරනයක්. ඔබ එය දැක ඇති බව මට නිසැකයි. එක්සත් ජනපදය තුල එය වඩාත් කැපී පෙනෙනසුලු වන්නේ ඇමරිකාවේ තරම් සමාජවාදයට එරෙහි ප්‍රචාර පතුරුවා හැර ඇති අන් රටක් නොමැති නිසායි. එසේ වුවත්, ධනපති ක්‍රමයේ යථාර්ථයන් පිලිබඳ මේ නව පරපුරේ තරුනයන්ගේ අත්දැකීම වන්නේ ඉඩ ප්‍රස්තා නොපැවතීමයි; යෝග්‍ය රැකියා නොමැතිවීමයි. ඇමරිකාව ගැන කථා කිරීමේදී සත්‍ය තත්වය නම්, පාසල් යන තරුනයන් දැවැන්ත නය කන්දරාවක් ද සමඟ විශ්ව විද්‍යාලවලින් පිට වීමයි. ඒ අනුව ඔවුන්ට පවුලක් ආරම්භ කිරීමට අවශ්‍ය සම්පත් නැහැ. මේ සියලු දේ සහ අපේ සමාජයේ පවතින සදාකාලික ප්‍රචන්ඩත්වය, නිරතුරුව දියත් කෙරෙන ඉවරයක් නැති යුද්ධ, මේවා විසින් තරුනයන් අතර නිර්මානය කෙරී ඇත්තේ පවතින ක්‍රමයෙන් - එනම්, නැවතත් එක්සත් ජනපදය තුල හා තවත් බොහෝ රටවල අසභ්‍ය වචනයක් බවට පත් වී ඇති ධනේශ්වර ක්‍රමයෙන් - බරපතල ලෙස පරත්වාරෝපනයවීමක්. තවදුරටත් කිවහොත්, සමාජවාදය කෙරේ අතිශය ප්‍රගතිශීලී හා සෞඛ්‍ය සම්පන්න උනන්දුවක් නිර්මානය වී තිබෙනවා. ප්‍රශ්නය වන්නේ සමාජවාදය යනු කුමක්ද, එහි ඉතිහාසය කවරාකාරද යන දේ පිලිබඳ පවතින දැනුම ඉතා සීමාසහිත වීමයි. එම තතු තුල විස්තීර්න අධ්‍යාපනයක් ලබා දීම අවශ්‍ය වෙනවා. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය එම සටනෙහි නියැලී සිටිනවා. එය තම ව්‍යාපාරය ලෝකය පුරාම ගොඩ නඟනවා. එය තරුනයින්ට සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම උගන්වමින්, ස්ටැලින්වාදයට එරෙහි අරගලයේ ඉතිහාසය ඔවුන්ට හඳුන්වා දෙනවා. සත්තකින්ම බොහෝ තරුනයින්ට ඇති ප්‍රශ්නය වන්නේ ඔවුන්ට සමාජවාදය අවශ්‍ය නමුත් ඒකාධිපතිවාදයක්, ස්ටැලින්ගේ පාලන තන්ත්‍රය වැන්නක් ඔවුන්ට අවශ්‍ය නොවීමයි. එබැවින්, ස්ටැලින්වාදයේ අපරාධවලට එරෙහි සටනක් පැවැති බවත්, සැබෑ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය හා ජාත්‍යන්තරවාදය සඳහා අරගලයක් පැවැති බවත් ඔවුන් ඉගෙන ගත් කල එය අතිශය ආකර්ශනීයයි. එය IYSSEය ශ්‍රී ලංකාව තුලත්, ලෝකය පුරාත් කරගෙන යන අරගලයක්. අපේ ව්‍යාපාරය ජනයා ඔවුන්ගේ ජාතිය, වාර්ගික පසුබිම්, ආගමික පසුබිම්, ලිංගික අභිරුචීන් නොතකා ඔවුන් එක්සත් කරන ජාත්‍යන්තර ව්‍යාපාරයක් වීම පිලිබඳව අප ඉතාමත් අභිමානයට පත් වෙනවා. මේවා ප්‍රධාන දේ නොවෙයි. අද දවසේ ප්‍රධාන දේ වන්නේ ලෝක ආර්ථිකයට මහජනයාගේ ඇති සම්බන්ධතාවයයි. වැඩකරන ජනයා ලෙස ඔවුන්ගේ පොදු බව සහ, ප්‍රගතිය සඳහාත් සමාජවාදය සඳහාත් ඔවුන් එක්සත් කිරීමේ අවශ්‍යතාවයි.

R&S: මම ඉක්මනින් අසන්නම්. ඔබ කොලඹ සහ පේරාදෙනියේ සහභාගී වූ රැස්වීම් කවරාකාරද? සහභාගී වූ අයගේ ප්‍රතිචාර කෙබඳුද? ඔවුන් සිතන්නේ කෙසේද? ඔවුන් ඔබෙන් ඇසූ ප්‍රශ්න කවරාකාරද?

DN: එය දැවැන්ත ප්‍රතිචාරයක්. ට්‍රොට්ස්කිවාදියෙකු වන කවරෙකු වුවත්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට සමීප කවරෙකු වුවත් ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදයට විශාල ඉතිහාසයක් ඇති බව දන්නවා. ඉහතදී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සමඟ දශක ගනනාවක් සමීපව වැඩ කිරීම මට මහත් අභිමානයක්. ජාත්‍යන්තරව සුපතල තැනැත්තෙකු වන සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් හමුවීමේ සහෝදරාත්මක සතුට මා ප්‍රිය කරන්නක්. මේ රට තුල මහත් දුක් පීඩා ජනිත කිරීමට හේතුභූත වූ බිහිසුනු සිවිල් යුද්ධ සමයේ සිංහල හා දෙමල ජනයා අතර එක්සත්භාවය සඳහා අපේ පක්ෂය සටන් වැදුනු බව අප සැම දන්නා කරුනක්. ඒ ආකාරයෙන් ජාත්‍යන්තරවාදයේ මූලධර්ම යොදා ගැනීමට ශ්‍රී ලංකාව තුල අපේ සහෝදරවරුන් ක්‍රියා කර තිබෙනවා. ඔවුන් මෙම වැදගත් සංවත්සරය ඇමතීමට මට ආරාධනය කිරීම මා ගෞරවයක් ලෙස සලකනවා. එය ඔවුන් දැන් සසපය බවට පත් වී ඇති විකොස පිහිටුවා ගැනීමේ පනස් වැනි සංවත්සරය ද වෙනවා. විකොස පිහිටුවා ගැනුනේ 1968 දීයි.

R&S: ඔබ සම්මන්ත්‍රන ඇමතීමට රට මැදට ගොස් ඇති බව මා දන්නවා. සමාජවාදය පිලිබඳව සැලකිල්ලට ගත් කල කෙසේ හෝ වේවා - සමාජ ප්‍රතිසංස්කරන සැලකිල්ලට ගත් කල, ඔබ සිතන අයුරින් ශ්‍රී ලංකාවට නැත්තේ මොනවාද? එය ලබා ගත යුතු දේ මොනවාද?

DN: ශ්‍රී ලංකාව පිලිබඳ මා සිතන හැටියට, ඔබට ඇත්තේ ඇත්ත වශයෙන්ම රමනීය රටක්. අතිමහත් දේශපාලන සංස්කෘතියක් හා ඉතිහාසයක් ඇති සුන්දර රටක ඡායාරූප ගැනීම් සඳහා පැය කිහිපයක් ගත කිරීමට අවසානයේ මට කාලවේලා ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. එහෙත් කුඩා රටක් ලෙස, යටත්විජිත අතීතයක් ඇති රටක් ලෙස, අධිරාජ්‍යවාදය විසින් පාගා දමන ලද එවැනි අන් හැම රටකට මෙන්ම එය සතු සම්පත් ප්‍රමානවත් නැහැ. මෙම රටේ මහජනයා මර්දනය කිරීමේ ක්‍රමයන් වන ලාභ ශ්‍රමය, අධි සූරාකෑම සහ නිදහස් වෙලඳ කලාප ඒ වෙනුවෙන් සම්පාදනය කිරීමට සිදුවීමේ තතුවලින් තොරව, ලෝක ආර්ථිකයේ සම්පත් ලබා ගැනීමට එයට අවශ්‍යයි. මේ සියල්ල ලබා ගත හැක්කේ ලෝක ආර්ථිකයේ ප්‍රතිසංවිධානයකින් පමනයි. ඊට වඩා සරල උත්තරයක් පැවතුනා නම් මා කැමතියි. මක්නිසාදයත්, මෙය ඇත්තෙන්ම බැරෑරුම් කාර්යභාරයක්. එහෙත් මීට වඩා බෙහෙවින් විශාල ඉන්දියාව දෙස බැලුවත්, ඔවුන් ද සමාන ආකාරයේ ගැටලුවලට මුහුන පා සිටිනවා. ඒ අනුව අප මුහුන දෙන දැවැන්ත ගැටලුවලට දිය හැකි එකම ශක්‍ය විසඳුම වන්නේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩ පිලිවෙලයි. එනම්, ඇත්ත වශයෙන්ම ඒ පැරනි පාඨය වන ‘ලෝකයේ කම්කරුවනි, එක්වව්!’ යන්න භාවිතයට ගනිමින් ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය ගොඩ නැඟීමයි. අවශ්‍ය වන්නේ එයයි. ඉතිහාසය තුල මහා ඓතිහාසික ගැටලුවලට සරල පිලිතුරු නැහැ. ඇත්තේ සංකීර්න පිලිතුරු හා අසීරු පිලිතුරු පමනයි. එහෙත් අප සතුව මහා අත්දැකීම් සම්භාරයක් පවතින අතර අප දැන් පිවිස සිටින්නේ නව ශත වර්ෂයකටයි. එය ඉතිහාසයේ අවසානය නොවන බව අප දැනටමත් දන්නවා. අප එහි හරි මැදට පිවිස සිටිනවා. මෙවර අප එය නිවැරදි කර ගත යුතුයි. අතීතයේ පාඩම් උකහා ගෙන, කම්කරු පන්තිය බලයට ගෙන එමින් නව ලෝකයක් නිර්මානය කල හැකි ව්‍යාපාරයක් ගොඩ නැංවිය යුතුයි.

R&S: ඔබට බෙහෙවින් ස්තුතියි, ඬේවිඞ්. අප සමඟ එක්වීම පිලිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. විප්ලවය ගැන - එනම්, සිදුවෙමින් පවත්නා වෙනස්කම් හා බලපෑම් පිලිබඳ - බොහෝ දේ ඇත්තෙන්ම ඉගෙන ගැනීමට අපට අවස්ථාවක් සැලසුනා. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපතිවරයායි. ඔබ නැවතත් මෙහි සිටිනු දැකීමට අප ඉතාම කැමතියි.

Share this article: