කරදියාන කසල අංගනය අවට නිවැසියන්ට ඉවත් වන ලෙස අනතුරු අඟවති
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අප්‍රේල් 20
ආන්ඩුවේ පැහැදිලි නොතැකීම නිසා, මීතොටමුල්ල ඛේදවාචකයට වසර දෙකකට පසු, කරදියාන කසල අංගනයේ ගැටලුව ද අවට මහජනතාව පලවා හරින තැනට උග්‍ර වී ඇත. අප්‍රේල් 12 වැනි දා කැස්බෑව ප්‍රාදේශීය ලේකම්, පොලිස් නිලධාරින් පිරිසක් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සමග පැමින කසල අංගනය අවට වෙසෙන පවුල් 15කට ආසන්න ගනනකට කසල කන්ද නාය යාමේ අවදානමක් පවතින බැවින් වහා ම ඉවත් ව යන මෙන් දැනුම් දී ඇත.
කොලඹ නගරයට කි.මී. 15ක් පමන දුරකින්, මොරටුව, පිලියන්දල සහ රත්මලාන නගරවලට යාබද ව වේරැස් ගඟ ආශිත ව කරදියාන පිහිටා ඇත.
තමන්ට නිවෙස්වලින් ඉවත්ව අසල පන්සලකට ගොස් නවාතැන් ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම් හදිසියේ දැනුම් දුන් තත්වය තුල නිවැසියන් ඊට එකඟවී නැත. කරදියාන කසල ගොඩගැසීම නිසා ඇතිව තිබෙන ප්රශ්නය බැරෑරුම්ව මතුවුයේ 2017 වසරේ අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කුනු කන්ද නායයාමේ ඛේදවාචකයත් සමග ය. එදාමෙදා තුර අවුරුදු දෙකක් ගතවී ඇතත් ප්රශ්නය විසඳීමට කිසිදු පියවරක් නොගෙන සිටි බලධාරීන් ආරක්ෂාව පිළිබඳව කිසිදු පියවරක් නොගෙන හදිසියේ පිටවී යාමට අනතුරු ඇඟවීම පිලිබඳව නිවැසියෝ කෝපය පල කලහ.
මීතොටමුල්ල කුනු කන්ද නාය යාමෙන් පසු, කොලඹ නගරයේ අපද්‍රව්‍ය කරදියාන කසල බැහැර කරන ස්ථානයට ගෙනැවිත් දැමීමට ගනු ලැබූ තීරනයකට එරෙහි ව ප්‍රදේශවාසීන්ගේ පුලුල් විරෝධත්වයක් මතු විය.
එම වසරේ අගෝස්තු මාසයේ දී ජනාධිපති සිරිසේන ද සහභාගි වූ දැවැන්ත උත්සවයක් පවත්වමින් එම කසල අංගනය “මිහිසර වියමන කසල කලමනාකරන මධ්‍යස්ථානය” යනුවෙන් විදුලි බලය උත්පාදනය කරන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ෆෙයාර්වේ වේස්ට් මැනේජ්මන්ට් සමාගම වෙත භාර දෙනු ලැබුනි.
ෆෙයාර්වේ වේස්ට් මැනේජ්මන්ට් වෙබ් අඩවියේ සඳහන් තොරතුරු අනුව දිනකට කරදියාන කසල අංගනයට පලාත් පාලන ආයතන 8ක ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 500කට වඩා රැගෙන එනු ලැබේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මකවූ විට මෙම දෛනික කසල ස්කන්ධයෙන් භූමියට බැහැර කෙරෙන ප්‍රමානය සියයට අසූවකින් අඩු වනු ඇති බවට අපේක්ෂා කලේ ය. එම ව්‍යාපෘතියට දිනකට මෙට්‍රික් ටොන් 140ක් දිරා පත් වන අපද්‍රව්‍ය පොහොර නිපදවන අංගනයක් ද අයත් විය.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම පියවර මහජන විරෝධතාව අවමංගත කිරීමට ගනු ලැබූ පියවරක් ලෙස “‘මිහිසර වියමන’: කරදියාන කසල රඳවනයට එරෙහි මහජන විරෝධය සමහන් කිරීමේ ප්‍රෝඩාවක්” යන ලිපිය තුලින් පෙන්වා දුන්නේ ය.
2019 වසර මැද දී මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට මුලින් ම අපේක්ෂා කල මුත් මාස හයක් ගත වීමටත් මත්තෙන් අදාල සමාගම එය අත හැර දමා තිබුනි. ඒ උත්පාදනය කෙරෙන විදුලිය ඒකකයකට අය කරන මිල සම්බන්ධයෙන් සමාගම සහ ආන්ඩුව අතර හට ගත් මතභේද හේතුවෙන් යයි ප්‍රකාශවිය.
අවදානමට ලක් ව ඇති ප්‍රදේශයට කුනු බැහැර කිරීමට පටන් ගත්තේ විදුලි උත්පාදන ව්‍යාපෘතිය අරඹන තෙක් තාවකාලිකව ය පමනක් බව ප්‍රදේශවාසීන්ට පොරොන්දු වෙමිනි. නමුත් එම ව්‍යාපෘතිය අත හැර දමා ඇති තත්ත්වයක් යටතේ කුනු කන්ද සීඝ්රයෙන් වැඩෙමින් පවතී. ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය මෑතක දී නිකුත් කල වාර්තාවක් පෙන්වා දෙන්නේ මේ සීඝ්‍රතාවයෙන් ම දිගට ම කසල ගොඩ ගැසුවහොත් කසල කන්ද කඩා වැටීමේ අවදානමක් ඇති බවයි. එමෙන් ම එය වායු එක් රැස්වීමේ සහ පුපුරා යාමේ අවදානමක් ද පෙන්වා දුන්නේය.
2018 අප්‍රේල් 22 දි අයිලන්ඞ් පුවත්පතේ පලකෙරුනු කරදියාන ප්‍රදේශවාසීන් ලියූ ලිපියකින් චෝදනා කර තිබුනේ අදාල කසල කලමනාකරන ව්‍යාපෘතිය උත්සවයට පමනක් සීමා වී ඇති බවයි. ප්‍රදේශවාසීන්ගේ උත්සුකයන් ආන්ඩුවේ නියෝජිතයෙක්, කසල කලමනාකරන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගි වූ ප්‍රගති සමාලෝචන මාසික රැස්වීම්වල දී දිගින් දිගට ම සඳහන් කෙරුනු නමුත් ඒවා නොතකා හැරුනි.
කසල ගොඩගැසීමේ ප්‍රතිඵල වශයෙන් ශ්වසන ආබාධ, චර්ම රෝග, ජලය බැස යාමට ඇති පහත් බිම් අවහිර වීම, ගංවතුර ඇති වීම, රෝග ව්‍යාප්තිය ආදි ප්‍රශ්න ඔවුන් පීඩාවට පත් කරන්නේ කෙසේ දැයි එම ලිපියේ සඳහන් විය. මීට වසරකට පෙර පල වූ එම ලිපියේ ද ප්‍රදේශවාසීන් කුනු කන්දේ බෑවුම් අස්ථාවර බවට වාර්තා ලැබී ඇති බවටත් තව දුර කුනු රැස් කිරීම එම බෑවුම් කඩා වැටීමට හේතු විය හැකි බවටත් පෙන්වා දී ඇත.
ඬේලි මිරර් ජනවාරි 15 වැනි දින වාර්තාවකට අනුව ප්‍රදේශයේ උත්සවයකට පැමින ඇති බස්නාහිර පලාත් මහ අමති ඉසුර දේවප්‍රිය කුනු කන්දේ ගඳ ඉවසා ගත නොහැකි යැයි කියමින් නිලධාරීන්ට දොස් පවරා මාරුවී ගොස් ඇත.
දෙරන රූපවාහිනිය අප්‍රේල් 16 දා කල විමසීමක දී බස්නාහිර පලාත් සභාවේ අපද්‍රව්‍ය කලමනාකරන අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නම්පෙරුම අවදානමක් පවතින බැවින් කසල බැහැර කිරීම නවතා දමා ඇති බව පැවසුවත් එහි ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට දැක ගත හැකිවුයේ පැය කාලෙන් කාලට පමන කුනු පටවා ගත් ට්‍රක් රථ පැමින කසල බැහැර කර යන ආකාරයයි. එම වාර්තාවට අනුව කසල බැහැර කිරීමට නියමිත ව ඇත්තේ අක්කර 12 භූමි භාගයකට වුව ද දැන් එම ප්‍රදේශය අක්කර 25ක් දක්වා පුලුල් කරනු ලැබ ඇත.
මහනුවර ගොහාගොඩ හා විවිධ ප්‍රදේශවල කසල ගොඩ ගසන සෑම තැනකම අනතුරුදායක තත්වයන් මතුවී ඇතත් මහජන ජීවිත පිලිබඳව ආන්ඩුවටත් බලධාරීන්ටත් මොනම තැකීමක්වත් නැත. ආන්ඩුව කැපවී සිටින්නේ මහජන සුභසාධන වියදම් කපා ලාභ පොදිගසා ගැනීමේ ධනපති පද්ධතිය රැකදීම සඳහායි.
ලෝසවෙඅ වාර්තාකරුවෝ කරදියාන කසල අංගනය ආශ්‍රීත ප්‍රදේශයේ සංචාරය කරමින් අවදානමට මුහුන දී ඇති පවුල් සමග සාකච්ඡා කල හ.
“කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඇතුලු නිලධාරීන් පිරිසක් පැමින නාය යාමේ අවදානම ගැන දැනුම් දුන්නා. රෑට තුම්බෝවිල පන්සලට ගිහින් නිදා ගන්න කිවුවා.” යැයි කැස්බෑව නගර සභා සේවකයෙකු වන සුභාත් ධර්මකීර්ති (45) ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසී ය. ඔහු එහි නිවසක් සාදා ගෙන ඇත්තේ මාසිකව රුපියල් 5,000ක් කොටස් වශයෙන් ගෙවීමට ඉඩම මිල දී ගැනීමෙනි. තවත් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවීමට ඉතිරි ව ඇත.
තමන් ගේ ම කියා නිවසක් ගොඩ නගා ගත යුතු බැවින් මෙ තැන පදිංචියට ආ බව ඔහු කීවේ ය. “අපි ඉඩම් මිල දී ගන්නා විට මෙ තැන කුනු කන්දක් තිබ්බේ නෑ” යි ඔහු පැවසී ය. “දවසකට ටොන් සිය ගනනක විතර කුනු මෙතනට එනවා. විරුද්ධත්වය තියෙද්දි ම තමයි දිගින් දිගට ම කුනු ගෙනත් දාන්න ගත්තෙ. දැන් අපිට ඉවත් වෙන්න කියනවා. කුනු කන්දක ගෙවල් හදා ගත්තෙ ඇයි කියලයි ප්‍රශ්න කරන්නෙ.”
කුඩා ලමුන්ට අනතුරු වියහැකි තරම් පහලට ඔහුගේ නිවස අසල ලයිට් කනුවක් පාත්වී ඇත. ධර්මකීර්ති දරුවන් හය දෙනෙකු ගේ පියෙකි. ඔහුගේ සමහර දරුවන් දැන් විවාහ වී ඒ අවටින් ම නිවාස තනා ගෙන ජීවත් වෙති. ඔවුහු ද නගර සභා කම්කරුවෝ වශයෙන් සේවය කරති. එහෙත් ඔවුහු ස්ථිර සේවකයෝ නොවෙති.
ධර්මකීර්තිගේ එක් දරුවෙකු ගේ බිරිඳක් කුනු කන්ද නිසා මුහුන දෙන දුෂ්කරතා මෙ ලෙස විස්තර කලා ය. ඇය මොන්ටිසෝරි යන වයසේ දියනියක ගේ මවකි. “සත්තු කුනු අදිනවා. මස් කඩවලින් බැහැර කල අපද්‍රව්‍ය කුරුල්ලෝ ඇදල ගෙනත් හැම තැන ම හලනවා. එලියෙ කිසි ම දෙයක් දාලා තියන්න බෑ. මැසි උවදුරක් තියෙනවා. දැන් වැස්ස පටන් ගත්තා. ගඳ ඇවිස්සෙනවා. වැසි දෙක තුනක් ආවොත් ඔක්කොම ඉවරයි.”
ඔවුන්ගේ ආර්ථික කොන්දේසි ඇය පැහැදිලි කලා ය: “ඇගේ සැමියා රුපියල් 1000ක වැටුපකට නගර සභාවේ ස්ථිර නොවන කම්කරුවකු ලෙස වැඩ කරයි. මසකට රැකියාවට යා ගත හැකි වන්නේ දින 25ක් වැනි දින ගනනකි. ත්‍රිරෝද රථයේ වාරිකය රුපියල් 4,500ක් ගෙවිය යුතු ය. ඊපීඑෆ්, ඊටීඑෆ් රුපියල් 1,500ක් කැපේ. “අපිට ගෙවල් හරියකට හදා ගන්න විදියක් නෑ. මේවා නාය යයි කියනවා. සල්ලි යට කරන්න බයයි.”
මෙම ඉඩම් විකුනූ තැනැත්තා පසු ව ඒ අවට ඔහු ගේ ඉඩම්වලට කසල බැහැර කිරීමට නගර සභාවට ලබා දී ඇත. අවට නිවැසියන් විරුද්ධ වුව ද ඔහු චන්ඩිකම්වලින් ඒවා මායිම් නොකරන බව ඔවුහු පවසති.
වන්නැයි දැනුම් දී ඇති නිවැසියන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාදැයි ඔවුන්ට නිශ්චිත ව පැහැදිලි කර නොමැත. ඔවුන්ව හොරන ප්‍රදේශයකට පිටත් කර හරිනු ලැබීමට සූදානමක් පවතී යැයි අඩමාන ආරංචියක් පමනි ය, ඔවුන් දන්නේ. මේ සම්බන්ධයෙන් අප්‍රේල් 23 වැනි දා පැවැත් වෙන සාකච්ඡාවකින් තීරන ගන්නා බව තමන්ට ආරංචි වූ බව ප්රදේශවාසියෝ පවසති. නමුත් එම සාකච්ඡාවන්ට සම්බන්ධ වීමට තමන්ට ද අවශ්‍යයැයි පැවසුවත් ඔවුන් එයට සම්බන්ධ කර ගත නොහැකි බව දැනුම් දෙනු ලැබ ඇත.
“අපි ව නියෝජනය කරමින් කුනු කන්දේ කලමනාකරු සහ ග්‍රාම නිලධාරි මහතා 23 වැනි දා පැවැත්වෙන සාකච්ඡාවට සම්බන්ධ වෙන්නෙ. සාකච්ඡා වෙන දේ මොනවා දැයි දැන ගන්න මෙම අනතුරට මුහුන දී සිටින නිවැසියන් කිහිප දෙනෙකු ද සම්බන්ධ කර ගත යුතු යයි අප කල යෝජනාව ඔවුන් ප්‍රතික්ෂේප කලා. ලොකු ලොකු අය විතරක් එම සාකච්ඡාවට සම්බන්ධ වන බැවින් අපට පසු ව සාකච්ඡාවක් දෙන බවක් කිවුවා.” යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පවිත්‍රතා අංශයේ සේවය කරන පී. ආර්. එස්. කුමාරි පැවසුවා ය. පාසල් යන වයසේ ලමුන් 6 දෙනෙක් එම නිවසේ වෙසෙති. අසල පිහිටා ඇති ඇය ගේ දුවගේ නිවස කුනු කන්දට වඩාත් ආසන්න වෙයි. එහි දියනියගේ ලදරුවා ද ජීවත් වෙයි.
“අපි මෙහෙට ආවේ, 2012 දී. අපි ඉඩම් ගන්න කොට මෙතැන කුනු කන්දක් තිබ්බෙ නෑ. අපට මෙහෙන් යන්න පුලුවන් සුදුසු නිවසක් , ඉඩමක් ලැබෙනව නම් ” යි කුමාරිපැවසුවා ය.
එච්. එම්. සංජීව ලසන්ත බන්ඩාර ප්රතිචක්රීයකරනය කල හැකි අපද්‍රව්‍ය රැස් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යයි. ගිය වසරේ කපරාරු කර ඇති ඔහුගේ නිවස දැන් ඉරිතලා ගොස් ඇත. “කුනු අරන් එන ට්‍රක් එකක් යන කොට ගෙවල් දෙදරනවා. බිත්ති පුපුරලා. අපි සඳුදා මධ්‍යම පරිසර අධිකාරියට යන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 15කට විතර කලින් මෙතැනට කුනු ගේන එක නතර කරන්න ලොකු විරෝධතාවක් කලා. ඒ කාලේ දාපු නඩුවක් තවමක් යනවා.” යි ඔහු පැවසී ය.
Follow us on