මීතොටමුල්ල කසල කන්ද නායගොස් වසර දෙකක් ගතවෙයි: මහජනතාව පලවා හරිමින් ඉඩම් ආයෝජකයන්ට පැවරීමේ සූදානමක්

විලානි පීරිස් විසිනි, 2019 අප්‍රේල් 17

අප්‍රේල් 14 වන දිනට මීතොටමුල්ල කසල කන්ද නාය යෑමෙන් වසර දෙකක් සම්පූර්න විය. නිල වාර්තාවන්ට අනුව, 2017 අප්‍රේල් 14 වන දා සිදු වූ එම ව්‍යසනයෙන් ජීවිත 32 ක් හානිවී 11 දෙනෙකු අතුරුදහන් විය. ඒ සමගම නිවාස 146 ක් විනාශවී පවුල් 353 ක් අවතැන් වූහ. ආන්ඩුව දැන් කටයුතු කරන්නේ එම ව්‍යසනය පාවිච්චි කරමින්, මෙතෙකුදු එහි ජීවත් වන මහජනතාව පලවා හැර ඔවුනගේ ඉඩම් ආයෝජකයන් සඳහා පවරා දීමටය.

මීට එරෙහිව මහජනතාව අතර බලගතු විරෝධයක් වැඩෙමින් පවතී. නිශ්චිතව ම ඉදිරි දින වලදී තමන්ට ද මෙම ප්‍රදේශයෙන් ඉවත්ව යායුතු බවට බල කෙරෙනු ඇති බව මෙතෙක් ඉවත්ව නොමැති නිවැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.

කසල කන්දේ පිවිසුම් දොරටුව ආසන්නයේම ඇති නිවාස පෙලෙහි ජීවත් වන ගෘහනියන් තිදෙනෙකු වන මාලනී, රාජේෂ්වරී සහ කලාවතී ලෝසවෙඅවාර්තාකරුවන් ට කියා සිටියේ, කසල කන්ද අවට පාරවල් ඇතුලු යටිතල ව්‍යුහය දියුනු කිරීම සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වුවත්, අවට නිවැසියන්ට සිදුවන්නේ කුමක්ද ගැන ආන්ඩුව හා නිලධාරීන් සම්පූර්නයෙන්ම නිහඬ බවයි.

“පාරවල් මනිනවා, අපේ ගෙවල් ලකුනු කරලා යනවා, කුනු කන්ද තුනී කරනවා අපිට පේනවා, හැබැයි තවම කිසිම දැනුම් දීමක් කරලා නැහැ. මීට මාස කීපයකට කලින් ගෙවල් ලකුනු කරපු දවසේ මිනිස්සු කලබල උනා. ඊට පස්සේ පනිවිඩයක් ආවා හවස යූඩීඒ (නාසඅ) එකේ මහත්තුරු පන්සලට එනවා රැස්වීමකට, අපිටත් එන්න කියල. හවස අපි ගියහම එතනට කවුරුත් ආවේ නැහැ” යැයි මාලනී පැවසුවාය.

ව්‍යසනයෙන් පසුව අවදානම් කලාප ලෙස නම් කර තවත් පවුල් 100 කට අධික ප්‍රමානයක් බලහත්කාරයෙන් ඉවත් කොට ප්‍රමිතියකින් තොරව ගොඩ නැගූ මහල් නිවාස තුලට ගාල් කෙරුනි. නායයෑමෙන් පසු එම ප්‍රදේශයෙන් ඉවත් කල ජනයාට අමතරව ඒ ආශ්‍රිතව මෙතෙක් ජීවත්වන සෙසු ජනයාද ඉවත් කිරීමේ සැලසුම ආන්ඩුව විසින් වේගවත් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) විසින් මිනුම් කටයුතු සිදුකොට ඇති අතර කඩා ඉවත් කෙරෙන නිවෙස් වල නව අංක සලකුනු කොට ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක පසුගිය අප්‍රේල් 14 දින සන්ඬේ ටයිම්ස් පුවත් පතට පවසා ඇත්තේ ආන්ඩුවේ අරමුන විනාශයට පත් වූ භූමිය අලංකාර උද්‍යානයක් බවට පත් කිරීම බවයි. විනාශයට මුහුනදුන් මහජනතාව පිලිබඳව වචනයක් හෝ සඳහන් නොකරන රත්නායක ව්‍යාපෘතියේ පලමු අදියර අවසන් වීමට ආසන්න බවද පවසයි.

නාසඅ හි ව්‍යාපෘති කලමනාකරන අංශයේ බස්නාහිර කොට්ඨාසය භාර අධිකාරී වයි.ඒ.කේ.ජී. ගුනතිලක පසුගිය පෙබරවාරි මාසයේදී ලෝසවෙඅ ට කියා සිටියේ, කසල කන්ද පිහිටා ඇති අක්කර 12 ක භූමිය විවේක උද්‍යානයක් බවට පරිවර්තනය කරන බව සහ ඒ අවට අක්කර 65 ක භූමි භාගයෙන් නිවැසියන් ඉවත් කොට වෙනත් ස්ථානයක පදින්චි කිරීමෙන් පසු, එය සංවර්ධනය කොට දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ලබා දෙන බවයි.

ඉවත් කෙරෙන පවුල් අතරින් පදින්චි ඉඩමේ අයිතිය තහවුරු කරන අයට පමනක් මහල් නිවාස ලබාදෙන බව පවසතත් බොහෝ පවුල් ප්‍රමිතියකින් තොරව ගොඩනගා ඇති මෙම මහල් නිවාස ප්‍රතික්ෂේප කරති. සමහරෙකුට නිවසට හා ඉඩමට වන්දි ලැබී ඇතත් එම මුදල කෙසේ වත් නව නිවසක් මිලදී ගැනීමට ප්‍රමානවත් නොවන බව මහජනයා පවසති.

සෙව්වන්දි

සාලමුල්ල මහල් නිවාස සංකීර්නයෙන් නිවසක් ලැබී එහි ජීවත් වන දෙදරු මවක හා නගරසභා කම්කරුවෙකුගේ බිරිඳ වන සෙව්වන්දි ලෝසවෙඅ ට පැවසුවේ තම පවුලට නිවසක් මෙන්ම ව්‍යසනයෙන් අහිමිවූ නිවසට සහ ඉඩමට වන්දියක් ලැබුනත්, තමන්ගේ ප්‍රශ්න කිසිවක් එයින් විසඳී නැතිබවයි. “මගේ මහත්තයටත් එයාගේ මල්ලිටත් තිබුන එකම ඉඩමට ලැබුනේ ලක්ෂ පනහක වන්දියක්, ඒකියන්නේ එක පවුලකට ලක්ෂ 25 යි. අපිට තිබුනු ඔක්කොම් නැතිවුනාට පස්සේ ඒ ගානෙන් මොනවද කරන්න පුලුවන්? සමහර පවුල් වලට එහෙම වන්දියක්වත් ලැබිල නැහැ.”

සාලමුල්ල නිවාස සංකීර්නය තුල තමන් මුහුන දී ඇති ගැටලු ඇය මෙසේ විස්තර කලාය. “මේකේ ඉන්න අමාරු නිසා හුඟක් මිනිස්සු, මේ ගෙවල් කුලියට දීල වෙනතැන්වල ගෙවල් කුලියට අරගෙන යනවා වැඩි ගානට. මේකේ ලිෆ්ට් තුනෙන් එකක් සම්පූර්නයෙන්ම කැඩිලා අහක් කරලා, ඉතිරි දෙකෙන් එකක් පහල තට්ටුවේ ඉඳලා පස්වෙනි තට්ටුවට විතරයි වැඩ, 11 වෙනි තට්ටුවේ ඉන්න ඔක්කොම පවුල් වලට තියෙන්නේ එක ලිෆ්ට් එකයි, ඒකත් කැඩුනු සමහර දවස් තියනවා.” ගොඩනැගිල්ලේ අවසාන නඩත්තු කටයුතු පසුගිය වසරේ සිදුකල අතර මින්පසුව සියලු නඩත්තු නිවැසියන් විසින් සිදුකල යුතු බවට ඔවුන්ට දැනුම් දී ඇති බවත් ඇය පැවසුවාය.

දරුවන් පාසැල් වලට ඇතුලු කරගැනීම, තට්ටුනිවාස වල නිවැසියන් මුහුන දී ඇති තවත් බරපතල ගැටලුවකි. “මේ ගෙදර ස්ථිර පදිංචියක් කියල කිසිම ඉස්කෝලෙකින් පිලිගන්නේ නැහැ, මගේ දරුවාව මේ ලඟම තියන කොලොන්නාව බාලිකා විද්‍යාලයෙන් ගන්න කොහෙත්ම බැහැ කිව්වා.”

තමන් දශක ගනනාවක් ජීවත් වූ මීතොටමුල්ල ප්‍රදේශයෙන් ඉවත් කිරීම නිසා බොහෝ පවුල්වල අමතර ආදායම් මාර්ග වශයෙන් තිබූ ස්වයං රැකියා ආදිය සම්පූර්නයෙන්ම අහිමි වී ඇති බව ඇය තවදුරටත් පැහැදිලි කලාය.

දනුශී, ඇයගේ මව දයාවතී සමග

මීතොටමුල්ලෙන් සාලමුල්ල නිවාස සංකීර්නයට පැමිනීමට සිදුවූ තරුන මවක වන දනුශී පැවසුවේ තමන් බලා සිටින්නේ මේ නිවාසය අත්හැර දමා යන්නේ කවදාද කියාය.

“අපේ පර්චස් 3.5 ක ඉඩමට හා කාමර 3 ක ගෙට රුපියල් ලක්ෂ 28 යි වන්දි ලැබුනේ. එය අරගෙන අපිට මොනවාද කරන්න පුලුවන්? දැන් මේ පුංචි ගෙදර පවුල් දෙකක් ඉන්නවා, ලොකු හතරයි පොඩි ලමයි දෙන්නයි. මේ තට්ටු ගෙවල් වල තියන ප්‍රශ්න වල හැටියට මේවායේ ඉන්නවාට මිනිස්සුන්ට ගානක් දෙන්න ඕනේ. කොහෙත්ම ජීවත් වෙන්න හොඳ පරිසරයක් නෙමෙයි මේක” දනූෂි ගේ මව දයාවතී කියා සිටියාය.

ලංකාව පුරා කම්කරුවන් සහ පීඩිතයන් මුහුන දී ඇත්තේ මෙවැනිම බරපතල තත්වයන් වලට බව පිලිගත් දයාවතී කියා සිටියේ කඩුවෙල නගර සභාවේ සේවය කරන තම පුතාත්, පුද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන බෑනාත් එක්ව උපයන මුදල තම පවුලේ නඩත්තුව සඳහා කිසිසේත්ම නොසෑහෙන බව දයාවතී පැවසුවාය.

“මේ හින්ද තමයි මිනිස්සු උද්ඝෝෂන කරන්නේ, වතුකරේ මිනිස්සු ඉල්ලන රුපියල් 1000 ක දිනක පඩිය හරිම සාධාරනයි, එන්ඩ එන්ඩම මිනිස්සු මේවාට විරුද්ධව එලියට බහින එක වැඩිවෙයි” ඇය තවදුරටත් සඳහන් කලාය.

“දැන් මේ ගැන අහන්න එන්නේ හරි ලියන්නේ හරි ඔයගොලෝ විතරයි, අනිත් දේශපාලනඥයෝ, මාධ්‍ය මේවා ඔක්කොම සද්දයක් වත් නැහැ” යනුවෙන් ඇය සඳහන් කලේ ලෝසවෙඅ හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) මීතොටමුල්ල වින්දිතයන් සම්බන්ධයෙන් කල දේශපාලන මැදිහත් වීම මතක් කරමිනි.

ඉතා දුර්වල පසක් ඇති තෙත් භූමියක කසල ටොන් මිලියන තුනක් පමන ඒකරාශී කිරීම ව්‍යසනයට මූලික හේතුව බව සසප මූලිකත්වයෙන් 2017 මැයි 9 දින පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව (ස්කපක) ඉතා පැහැදිලි සාක්ෂි සහිතව නිගමනය කලේය.

කසල කන්දට එරෙහිව වර්ධනයවූ මහජන විරෝධතාවන්ට වත්මන් ආන්ඩුව ඇතුලු සියලු ආන්ඩු ප්‍රතිචාර දැක්වූයේ පොලීසිය යොදා ඒවා කුරිරු ලෙස මැඩලමිනි. 2014 සිට 2017 දක්වා විරෝධතා උද්ඝෝෂන 18 ක් පමන සිදු කල බව මහජනයා පවසති.

පරීක්ෂනයේදී තහවුරුවූයේ මෙබඳු සමාජ ව්‍යසනයන්, අර්බුද ග්‍රස්ත ලෝක ධනේශ්වර ක්‍රමයේ නිශ්පාදිතයන් බව සහ එය ජාත්‍යන්තර ප්‍රපංචයක් බවයි. පසුගිය දශකය තුලදී පමනක් පිලිපීනය, ඉන්දුනීසියාව, ඉතියෝපියාව වැනි රටවල මෙවැනිම කසල කඳු බිඳ වැටීමෙන් ජීවිත හානි විශාල ප්‍රමානයක් සිදුවිය.

පාරිසරික සහ අනෙකුත් අහිතකර බලපෑම් නොතකා ලාභය හඹායාමේ ප්‍රතිඵලයක් ලෙස දියුනු ධනපති රටවලද මෙවැනිම විනාශයන් නිරන්තරව සිදුවන බවද ස්කපක පෙන්වාදී ඇත. “2014 සිට 2017 දක්වා කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලින්ට් නගරයේ ජලයට ඊයම් මිශ්‍ර වීමෙන් දහස් ගනනක් රෝගී වූහ. ලන්ඩන් නුවර ධනවතුන් බහුලව වෙසෙන ග්‍රෙන්ෆෙල්හි දුගී මහල් නිවාස සංකීර්නයකින් නගරයේ ශෝභනත්වය කෙලෙසෙන බව පවසමින් එහි මුහුනත මිලෙන් අඩු ගිනි ඇවිලෙන සුලු ආවරන යොදා අලංකරනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 දී ඇති වූ ගින්නෙන් 70 කට අධික ප්‍රරමානයක් මියයාම තවත් උදාහරනයකි.”

කොලඹ කසල ප්‍රශ්නය පුත්තලමේ ඉදිකෙරෙන අරුවක්කාලු කසල අංගනය මගින් විසඳෙන බවට ආන්ඩුව කරන ප්‍රකාශයන් ව්‍යාජය. යලිදු පැහැදිලි වන්නේ දුගී ජනතාව ජීවත්වන අරුවක්කාලු හා ඒ අවට ප්‍රදේශයේ පාරිසරික අවහිරතා නොතකා මෙම අංගනය ගොඩ නැගෙන බවය.

හුනුගල් බහුල මෙවන් ප්‍රදේශයන් කසල අංගනයන් සඳහා තෝරා නොගත යුතු බවට විද්‍යාාත්මකව පිලිගත් මතයක් ඇති බවද, ප්‍රදේශයේ භූ ගත ජලය ඉහල තලයක පැවතීම අනතුර වැඩි කරන බවද පරිසරවේදීහු පෙන්වා දෙති. කසල අතර විදුලි උපකරන සහ රසායනික ද්‍රව්‍ය පවතින බැවින් ඒවා මගින් රසදිය හා ආසනික් වැනි විස පරිසරයට කාන්දු වී ජීවිත විනාශයන්ට බලපාන බවටද ඔවුහු තර්ක කරති.

පුත්තලම නව කසල අංගනය ගොඩනැගීම ආරම්භ කර ඇත්තේ පුත්තලම කලපුව ආසන්නයේ ධීවර ජනතාව ජීවත්වන සේරක්කුලම ගම්මානයේ බැවින් ජලය අපිරිසිදුවීමෙන් එහි නිවැසියන්ට මහත් විනාශයක් සිදුවීමේ අන්තරාය පවතී. ඊට එරෙහිව වර්ධනය වන මහජන විරෝධය මැඩලීම සදහා ආන්ඩුව පොලිස් ප්‍රහාර එල්ල කරමින් සිටී.

පිලියන්දල කරදියාන කසල රැඳවුමේ වැඩකටයුතු නතර කෙරී අති අතර ඒ අවට මහජනයා ඊට බරපතල ලෙස විරෝධය දක්වති. පසුගිය දිනවල කුරුනෑගල සහ මාතර කසල කඳු ගිනිගැනීමෙන් පිටවූ විෂ වායුව හේතුවෙන් එම ප්‍රදේශවාසීන් මහත් දුෂ්කරතාවයන්ට මුහුන දුන්හ. නුවර ගොහාගොඩ කසල කන්ද නාය යෑමේ අනතුරුදායක තත්වයක ඇති බව වාර්තාවේ.

සියලු කරුනු මගින් තහවුරු කෙරී ඇත්තේ ස්කපක කල විශ්ලේෂන හා නිගමන නිවැරදි බවයි.

හුදෙක් ආන්ඩුවලට බලපෑම් දැමීමේ උද්ඝෝෂන මගින් කසල ප්‍රශ්නය විසඳිය නොහැකිය. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වසර ගනනාවක සිට, මීතොටමුල්ල කසල කන්දට එරෙහිව නැගෙන ජනතා වෛරය, අනුප්‍රාප්තික ආන්ඩු වලට කෙරෙන බෙලහීන ආයාචනා තුල ගිල්වා දැමීමට උත්සාහ දැරීය. මෙය, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මතුවීම වැලැක්වීමට වඩාත් පුලුල් ලෙස ඔවුන් ගෙනයන උත්සාහයේම කොටසකි.

සසප පිහිටුවන ලද ස්කපක තහවරු කල පරිදි “සුරක්ෂිත හා යහපත් කොන්දේසි තුල ජීවත් වීමට හා රැකියා කිරීම ද ඇතුලු, කම්කරු පන්තියේ හා පීඩිතයන්ගේ මූලික සමාජ අයිතීන් සහතික කරදීමට දැවැන්ත සම්පත් ප්‍රමානයක් අවශ්‍ය වේ. උපද්‍රවකාරී කසල කඳු වසා දමා, විද්‍යාත්මක අපද්‍රව්‍ය කලමනාකරන ක්‍රමවේදයක් ගොඩනගා ගැනීම ද මෙයට ඇතුලත්ය. මේ සම්පත් මුදා හල හැක්කේ, ධනපති ක්‍රමය පෙරලා දමා, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් මගින්, බැංකු හා මහා සංගත ජනසතුකර කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය පාලනයට නතු කිරීම ඇතුලු, සමාජවාදී ප්‍රතිපත්ති මාලාවක් දියත් කිරීමෙන් පමනි.”

Share this article: