ලෝක බැංකු ආර්ථික විද්‍යාඥයා ශ්‍රී ලංකාවේ ගැඹුරු වන අර්බුදය ගැන අනතුරු අඟවයි
World Bank economist warns of worsening crisis in Sri Lanka
සමන් ගුනදාස විසිනි, 2019 දෙසැම්බර් 12
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව සුලුතර ආන්ඩුව විසින් පොරොන්දු වූ බදු කප්පාදු ක්‍රියාවට දැමීම, ආර්ථිකය අස්ථාවර කොට දිවයිනේ මූල්‍ය අර්බුදය ගැඹුරු කල හැකි යයි ලෝක බැංකුවේ දකුනු ආසියානු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ හාන්ස් ටිමර් අනතුරු අඟවා ඇත. ඔහු මෙම අදහස් දැක්වූයේ, දෙසැම්බර් 3දා කොලඹ දී පැවති ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කල ප්‍රසිද්ධ දේශනයක දී ය.
එලඹෙන මහ මැතිවරනය සඳහා සූදානම් වෙමින් ආර්ථිකය ඉහල නැංවීමට ආන්ඩුවට සැලසුමක් පවතින බව පිලිගත් ටිමර්, එහෙත් “උත්තේජන පැකේජය” අන්තරායකාරී යයි අනතුරු ඇඟවූයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අනවන “ව්‍යුහාත්මක ප්රතිසංස්කරන” මුලුමනින් ක්‍රියාවට දමන ලෙස අවධාරනය කරමිනි.
“අභිලාෂ සහගත උත්තේජනයක් සඳහා අවශ්‍ය මූල්‍ය අවකාශය ශ්‍රී ලංකාවට නැත” යි ඔහු කීවේ ය. ගෝලීය ඇගයුම් ආයතනයක් වන ෆිච්, නව බදු සහන මගින් අයවැය විනය පීලිපන්නවනු ඇතැයි කලින් අනතුරු අඟවා තිබුනි. “මූල්‍ය විනය” පැනවීම යන්නේ අර්ථය වන්නේ, ජාමූඅ විසින් අනවන පරිදි රටෙහි අයවැය පරතරය කැපීම යි. මේ වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 7කට නැග ඇති අයවැය පරතරය, සියයට 3.5 දක්වා කැපීම ජාමූඅට අවශ්‍ය කරයි.
පුද්ගල ආදායම් බද්ද සියයට 24 සිට 18 දක්වා අඩුකිරීම; ලාභාංශ හා පොලිය මත රඳවාගැනීමේ සියයට 5 බද්ද අහෝසි කිරීම; ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීම; කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත් කර්මාන්තය හා තොරතුරු තාක්ෂන සේවා ආදායම් බද්දෙන් නිදහස් කිරීම හා එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 8 දක්වා අඩුකිරීම සුලුතර ආන්ඩුවේ මෑත සහනවලට ඇතුලත් වේ. ජාමූඅ නියෝග අනුව කලින් පැවති ආන්ඩුව වැට් බද්ද ඉහල දමා තිබුනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රීලපොපෙ) ආන්ඩුව හා මාධ්‍ය, බදු අඩුකිරීම් ව්‍යාපාර හා රෝගාතුර ආර්ථිකය පනගන්වා පරිභෝජනය ඉහල දමනු ඇතැයි අවධාරනය කර ඇත.
බදු කැපීම් නිසා ආන්ඩුවේ ආදායම දදේනියෙන් සියයට 1 සිට 1.5 දක්වා ප්රමානයකින් පහල වැටෙනු ඇතැයි මූඩිස් ආයෝජක සේවාව ගනන් බලා ඇත. රුපියල් බිලියන 500 සිට 550 දක්වා වාර්ෂික ආදායම් අඩුවීමක් සිදුවෙතැයි ආන්ඩුව විසින් තක්සේරු කර තිබේ.
වසර පහක් තිස්සේ ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන කලාපය ලෙස පැවති දකුනු ආසියාව, වර්ධන ප්රක්ෂේපනයන් ගැඹුරින් අඩුවීමක් අත්දකිමින් සිටින බව ටිමර් කීවේ ය. ගෝලීය ආර්ථික වර්ධනයේ යන්ත්රයන්ගෙන් එකක් වූ ඉන්දියාවේ දදේනිය, මේ වසරේ සියයට 5ට අඩු මට්ටමකට පිරිහෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ වර්ධනය සියයට 2.7 දක්වා ඇදවැටෙනු ඇතැයි ප්රක්ෂේපනය කරනු ලැබ ඇත.
“වෙලඳ යුද්ධ, ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවන් (හා) දේශපාලන ආතතීන් හේතුවෙන් වර්ධනය වන වෙලඳපොලවල පවතින යෝධ අවිනිශ්චිතතාවන්” නිසා දකුනු ආසියාවේ ආර්ථික දුෂ්කරතා ඉහල දැමෙනු ඇතැයි ලෝක බැංකුවේ ආර්ථික විද්‍යාඥයා කීවේ ය. “දකුනු ආසියාවේ විශාල ගැටලුව වන්නේ සාර්ව-ආර්ථික පරිසරය මත බලපාන මූල්‍ය නීතියක් නො තිබීම” යි කී ඔහු, “ගජමිතුරු ධනවාදය” කලාපය පුරා පොදු ගැටලුවක් යයි වැඩිදුරටත් සඳහන් කලේය.
දකුනු ආසියාවේ ශ්‍රම බලකායෙන් සියයට 80ක් ම සිටින්නේ අනියම් අංශයේ යයි ද කාන්තා කම්කරුවන් ව “අඩුවෙන් ප්‍රයෝජනයට ගැනෙන්නේ” යයි ද කී ටිමර්, ආර්ථිකය ඉහල මට්ටමකින් “නියමකරනය” සඳහා කැඳවුම් කලේ ය. ලෝක බැංකුවේ අවධානය යොමු වී තිබෙන්නේ, බදු ආදායම ඉහල දැමිය හැකි වන පරිදි අනියම් අංශය නිල අංශයට ගෙන ඒම මත යයි ඔහු කියාගෙන ගියේ ය. වෙනත් වචනවලින් කියතොත්, ඔහු සඳහන් කලේ, එමගින් ව්‍යාපාර හා ආයෝජක බදු අනුපාත වැඩිදුර කපා දැමීම සඳහා කොන්දේසි නිර්මානය කිරීම ගැනයි.
ශ්‍රී ලංකාව ආරක්ෂනවාදය අඩු නො කලහොත් රටෙහි වර්ධන හැකියාවන් සතුටුදායක නො වනු ඇතැයි ටිමර් අනතුරු ඇඟවී ය. බදු පදනම පලල් කිරීම සහ ආන්ඩුවේ වියදම් අඩුකිරීම, එනම්, සෞඛ්‍යය, අධ්‍යාපනය හා ග්‍රාමීය සහනාධාර වැඩිදුර කප්පාදු කිරීම් ඇතුලු ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය බව ඔහු කීවේ ය.
“ආන්ඩුවට අයත් ව්‍යවසායයන්වල පාලනය හා ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට පුද්ගලික ආයෝජන හා වෙලඳාම් කලහැකි අංශයෙන් මූලිකත්වය ලැබෙන වර්ධන මොඩලයක්” හරහා ව්‍යාපාරික පරිසරය වර්ධනය වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේ ය. මෙයින් ගම්‍ය වන්නේ, රජයට අයත් ව්‍යවසායයන්ට යොදන අරමුදල් කපා, ඒවාට ලාභ ඉපයීමට හා පුද්ගලීකරනයට බල කිරීමයි.
“ඌන සේවා නියුක්ත” හෝ “ප්‍රයෝජනයට නො ගන්නා ශ්‍රමය” සම්පූර්නයෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙස ඉල්ලා සිටි ටිමර්, වැඩිහිටි ජනගහනය ආර්ථිකයට බරක් යයි කීවේ ය. නිපුනතා මට්ටම් ඉහල දමා, ඵලදායිතාව වර්ධනය කිරීමට හා “දීර්ඝ කාලයක් වැඩකිරීම” දිරිමත් කිරීමට සැලසුම් අවශ්‍ය බව ඔහු කීවේ ය.
ටිමර් මෙම අදහස් පලකරන ලද්දේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් දදේනියෙන් සියයට 85කට නැග ඇති විදේශ හා දේශීය නය බර නැගීමෙන් හා රටෙහි වර්ධන අනුපාතය පකිස්තානයට හා යුද්ධයෙන් විනාශ කෙරුනු ඇෆ්ගනිස්තානයට සමාන මට්ටම්වලට ඇද වැටීමෙන් දරුනු අර්බුදයකට මුහුන දෙන තත්වයක ය.
මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෑත දී අනතුරු ඇඟවූයේ, නය ආපසු ගෙවීමට අවශ්‍ය අරමුදල් උපයාගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුවහොත් එය ග්‍රීසියේ තත්ත්වයට මුහුන දෙනු ඇති බව යි. 2022 තෙක් නය ගෙවීමට, කොලඹ ආන්ඩුවට දැන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් පමන අවශ්‍ය වේ.
අප්‍රේල් මාසයේ, නියමිත කලට පෙර, මැතිවරනයක් පවත්වා තුනෙන් දෙකක බහුතරයක් හිමි කරගැනීම මගින් තම තන්ත්රය ශක්තිමත් කරගැනීමට ජනාධිපති රාජපක්ෂ අපේක්ෂා කරන්නේ මේ තත්වය තුලයි.
යම් ධනාත්මක ආර්ථික ප්‍රවෘත්තියක් ජනනය කරගැනීමට හා මැතිවරන සහයෝගයක් දිනාගැනීමට රාජපක්ෂ මංමුලා සහගත ලෙස උත්සාහ දරන අතර, ආන්ඩුවේ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මන්ඩල හා ඒජන්සිවලට වෙන්කෙරුනු අරමුදල් කපන ලෙස නියම කරමින් ආන්ඩුව එහි ආරම්භක කප්පාදු නිවේදනය කර ඇත.
2019 සඳහා තක්සේරුගත අයවැය පරතරය දදේනියෙන් සියයට 7ක් වනු ඇති බවත්, “මධ්‍ය කාලීන ව දදේනියෙන් සියයට 4ක පරතර අඩුකිරීම් මාවතක් ඔස්සේ ආන්ඩුව එහි මෙහෙයුම් යලි ක්‍රමාංකනය කිරීමට දෘඪ උත්සාහයක් දරනු ඇති” බවත්, මුදල් අමාත්‍යාංශය දෙසැම්බර් 3දා නිවේදනය කලේ ය. ඊට පසු දින, ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි “සියලු අත්‍යවශ්‍ය නො වන හා ප්රමුඛ නො වන වියදම්” කපා හරින ලෙස සඳහන් චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කලේ ය.
කලින් ආන්ඩුව විසින් ලබාගත් ජාමූඅ ඇප නයෙහි අවසන් වාරිකය අවශ්‍ය බවට ද රාජපක්ෂ ආන්ඩුව ඉඟිකර ඇත. අයවැය පරතරය අඩුකොට එහි කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමන ලෙස ජාමූඅ නව තන්ත්රයට නිසැක ව ම අවධාරනය කරනු ඇත.
නියමිත කලට පෙර මහ මැතිවරනයක් පවත්වා තුනෙන් දෙකක බහුතරයක් දිනාගැනීමට රාජපක්ෂ අපේක්ෂා කරන අතරේ, තම ජීවන හා සමාජ කොන්දේසි මත වැඩිදුර ප්‍රහාර නො ඉවසනු ඇත්තා වූ සටන්කාමී කම්කරු පන්තියකට ඔහුගේ ආන්ඩුව ඉක්මනින් ම මුහුන දෙනු ඇත.
Follow us on