ජනාධිපතිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන කැපවෙයි
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 දෙසැම්බර් 16
එලඹෙන මහ මැතිවරනයේ දී “නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) කැපවී ක්‍රියා කලයුතු” බව පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙසැම්බර් 11 වෙනිදා පැවති පක්ෂ සංවිධායකයන්ගේ රැස්වීමක දී ප්‍රකාශකර ඇත. ඔහු අවධාරනය කර ඇත්තේ රට “සංවර්ධනය” කිරීමටත් “සෞභාග්‍යමත්” රටක් ගොඩ නැගීමටත් “නව ආන්ඩුවක් නිර්මානය” කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතු බවයි.
සිරිසේනගේ කැඳවුම ජනාධිපති රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාදෙන ලෙස කල ඉල්ලීමකට ඉදිරියට පැනගෙන සහයෝගය දීමකි. සිය ඉන්දියානු සංචාරය අතර තුර ද හින්දු පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී රාජපක්ෂ මෙසේ සඳහන් කලේය: “19 වන ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථකයි. අපට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබුනහොත් අපි එය ව්‍යවස්ථාවෙන් ඉවත් කරමු. රටක් සාර්ථකව පාලනය කිරීම සඳහා ස්ථාවරත්වයක් අවශ්‍යයි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ මෙය සිදු නො වී ය. ඔවුන් නිතරම කාකොටා ගනිමින් සිටි අතර කිසිදු සංවර්ධනයක් සිදු නොවීය. ස්ථාවරත්වයක් නොමැති කල ආයෝජකයින් පැමිනෙන්නේ නැත.”
පසුගිය ආන්ඩුවේ 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ ඇතැම් ඒකාධිපති බලතල සීමා කෙරුනි. ජනාධිපති ධුර කාලය දෙවරකට සීමා කිරීම; ඇමති පදවි දැරීම අහෝසි කිරීම; ඇමතියන් පත්කිරීම අගමැතිගේ උපදෙස් මත කලයුතුවීම; ඉහල අධිකරන හා රාජ්‍ය නිලධාරින් පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවකට පැවරීම හා එමගින් පත් කෙරෙන ස්වාධීන කොමිෂන් සභාවලට පැවරීම යනාදිය එම සංශෝධනයෙන් සිදුවිය. මෙම ව්‍යවස්ථා සංශෝධනය, මහජන වෛරයට පාත්රව පැවති විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට දුන් පොරොන්දුව කුනු කූඩයට දමා සිදුකල සීමිත බලතල කප්පාදුවකි.
රාජපක්ෂගේ ඉල්ලීම ඉතා පැහැදිලිය. ඔහුට අවශ්‍ය වී ඇත්තේ මේ සීමා ඉවත්කර “ස්ථාවර” පාලනයක් ඇතිකොට ජාත්‍යන්තර ආයෝජකයින් ට අවශ්‍ය කොන්දේසි සාදාදීමයි. ඔහුගේ අනෙකුත් ප්‍රකාශ හා ක්‍රියාවන් සමග ගත්කල මෙය වනාහි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ද සහිතව ආඥාදායක පාලනයක් තහවුරු කරගැනීමේ ප්රයත්නයේ කොටසකි.
පසුගිය වසර කිහිපයක් තිස්සේ ආඥාදායක පාලනයකට මාරුවීමේ ප්රයත්න දැරු සිරිසේන, දේශපාලනිකව කුජීතව සිටින තත්වය තුල රාජපක්ෂගේ වැඩපිලිවෙලට එක්ව සිටියි. ජනාධිපතිවරනයේ දී ඔහු රාජපක්ෂට සහයෝගය දීමට තමන් නායකත්වය දෙන ශ්‍රීලනිප පතුර මෙහෙය වූයේය.
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කල 2015 අප්‍රේල් මාසයේ පටන් කෙටි කලක් සිරිසේන එය ඔජවැඩුවේ සිය නිලයේ බලතල කප්පාදු කරගත් ලෝකයේ එකම ජගතා තමන් බවට කයිවාරු ගසමිනි. එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමකදී ද ඔහු මේ කයිවාරුව ඇදබෑවේ ය. දැන් ඔහු විලිලැජ්ජා නැතිව 19 සංශෝධනය අහෝසි කිරීමට රාජපක්ෂගේ අත් ශක්තිමත් කිරීමට වැඩට බැස ඇත.
රාජපක්ෂ මෙන්ම සිරිසේන ද ලංකාවේ ධනපති පන්තිය මුහුන දී සිටින ඉමහත් දේශපාලන අර්බුදය ගැන දැනුවත් ය. විශේෂයෙන් ජාත්‍යන්තර පන්ති අරගල ප්රවාහයේ කොටසක් ලෙස ලංකාවේ වැඩෙන කම්කරු පෙරලිකාරිත්වය ගැන පාලක පන්තියේ සියලු කොටස් භීතියට පත්ව සිටිති.
කම්කරුවන් හා දුගීන් අතර අපකීර්තියට පත්වීම නිසා ශ්රීලනිපය හා එක්සත් ජාතික පක්ෂය (එජාප) 2018 පෙබරවාරි මාසයේ පැවැත්වූ පලාත්පාලන මැතිවරනයෙන් පරාජයට පත්වීමෙන් පසු “ජාතික සමගි ආන්ඩුවෙන්” තම පක්ෂය ඉවත් කරගත් සිරිසේන එම අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ දේශපාලන කුමන්ත්රනයකින් රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ එතැනට පත්කලේ “ශක්තිමත් ආන්ඩුවක්” පිහිටුවීම සඳහා ය. ඔවුන්ගේ ඉලක්කය වූයේ කම්කරු පන්තිය මැඩලිය හැකි ආන්ඩුවක් තහවුරු කිරීමයි.
චීන හිතවාදියෙකු ලෙස සැලකු රාජපක්ෂ ආපසු බලයට ඒම ගැන වොෂින්ටනය විරුද්ධවීමත්, සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව ව්‍යවස්ථා විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරනය විසින් තීන්දු කිරීමත් නිසා කුමන්ත්රනය ගැස්සී ගියේය.
ඉන්පසු, කල්තියා අනතුරු ඇඟවීම් තිබියේ වුවත් ඒවා නොතකා බුද්ධි අංශ නිලධාරින් මෙන්ම සිරිසේන ඇතුලු දේශපාලන නායකයින් අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර එල්ලවීමට ඉඩහැරියේය. අනෙක් සියලු පක්ෂවල ද සහයෝගය ලබාගනිමින් එම කුරිරු ප්‍රහාර සිරිසේන යොදා ගත්තේ හදිසි නීතිය පනවා ත්‍රිවිධ හමුදා රටපුරා මහා මෙහෙයුමකට යොදවමින් මුස්ලිම් විරෝධී උසිගැන්වීම සඳහා ය. කම්කරු පන්ති අරගල යටපත් කිරීම එම පියවරවල එල්ලය විය.
දැන් සිරිසේන තවත් අඩියක් ගනිමින් රාජපක්ෂට ඒකාධිපති ආන්ඩුවක් තහවුරු කරදීම සඳහා තමන්ගේ දායකත්වය ද ලබා දීමට යයි.
දෙසැම්බර් 12 දා සිරිසේන උතුරු-නැගෙනහිර පලාත්වල ශ්‍රීලනිප සංවිධායකයින් කැඳවා දෙමල චන්ද රාජපක්ෂ ලබාදීමට ක්‍රියාකරන ලෙස ඉල්ලුවේය. ශ්‍රීලනිප සංවිධායකයින්ගේ වගකීම වන්නේ “අලුත් ආන්ඩුවට උතුරු-නැගෙනහිර පලාත්වල මහ ජනයාගේ විශ්වාසය දිනාදීම” බව සිරිසේන එහිදී කියා ඇත. ඔහුගේ කයිවාරුව කෙසේවෙතත්, 2015 දුන් පොරොන්දු බිඳීම නිසා දෙමල ජනයා අතර සිරිසේන පිලිකුලට ලක්ව සිටියි.
යුද්ධයේ දී සිදුකල රුදුරු විනාශයන් නිසා දෙමල කම්කරුවන් හා දුගීන් අතර ඉමහත් වෛරයට පාත්රවී සිටින රාජපක්ෂ ජනාධිපතිවරනයේ දී උතුරු-නැගෙනහිර පලාත්වල බරපතල ප්‍රතික්ෂේප කිරීමකට මුහුන දුන්නේය. රුදුරු ලෙස තිස් අවුරුදු යුද්ධයක් ගෙනගිය එජාපය මෙන්ම ශ්රීලනිපය ද උතුරු -නැගෙනහිර ජනයාගේ වෛරයට ලක්ව ඇත. ජනාධිපතිවරනයේදී සජිත් ප්‍රේමදාසට මෙම පලාත්වල චන්ද බහුතරයක් ලැබුනේ රාජපක්ෂට විරුද්ධත්වය පලකිරීමට දෙමල ජනයා චන්දය ප්‍රකාශ කල නිසා ය. එක්සත් ජනපද ගැති දෙමල ජාතික සන්ධානය (දෙජාස) එජාපයේ හා ප්‍රේමදාසගේ උගුලට දෙමල ජනයා කොටු කිරීමේ ව්‍යාපාරය ගෙන ගියේය.
රාජපක්ෂගේ අත් ශක්තිමත් කිරීමට සිරිසේන විවෘතව ඉදිරිපත්වීමේ තවත් පැත්තක් ඇත. එනම්, සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපයේ කුනුවීමයි.
1951 පිහිටුවූ ශ්රීලනිපය පසු දශකවල ලංකාවේ ධනපති පන්ති පාලනය කම්කරු පන්තියෙන් ආරක්ෂා කිරීමේ තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටුකලේය. එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බන්ඩාරනායක ඇතුලු කන්ඩායමක් එවක පාලක එජාපයෙන් කැඩී මෙම පක්ෂය පිහිටුවූයේ එහි අධිරාජ්‍ය ගැති දක්ෂිනාංශික වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ හා දුගීන්ගේ බරපතල විරෝධයක් මතුවන තත්වය තුල තමන් විකල්පයක් ලෙස හුවා දක්වා ගනිමින් ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කොටසක් ලෙස පැවති ලංකා සම සමාජ පක්ෂ (ලසසප) වෙත කම්කරු පන්තිය ආකර්ශනය වී සිටීම ගැන පාලක පන්තිය බියපත්වී සිටියේය.
ශ්රීලනිපය ධනපති පන්තියේ සැලකිය යුතු සහයෝගයක් දිනා ගත්තේ 1953 දුගීන්ගේ ද සහාය ලත් කම්කරුවන්ගේ අර්ධ නැගිටීමෙන් යුඇන්පී පාලනය අර්බුදයට පත්වූ තතු තුලය. සිංහල ජනතාවාදය සමග කලතා අධිරාජ්‍ය විරෝධී වාචාල කතා ඇදබාමින් බන්ඩාරනායක සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීමේ නමින් සුලුධනේශ්වර කොටස් මෙහෙයවා ගත් ව්‍යාපාරයක් මුදා හැරියේ, 1956 ශ්‍රීලනිප ප්රමුඛ ආන්ඩුවක් පිහිටුවා ගත්තේය. ඔහුගේ ව්‍යාපාරයේ ඉලක්කය වූයේ කම්කරු පන්තිය ජනවාර්ගික පදනමින් භේදකොට පන්ති පලනය ආරක්ෂා කිරීමයි. මෙය වනාහි 1948 යූඇන්පී ආන්ඩුව දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසිකරමින් ඇරඹු කම්කරු පන්තිය වර්ගවාදී භේද කිරීම සදහා ගනන් බලා ක්‍රියාවට දැමූ පිලිවෙත් ධනපති පන්තියේ අර්බුදය මධ්‍යයේ තවත් ඉහලට නැංවීමකි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු නිදහස ලැබූ බොහෝ රටවල බලයට ආ මෙවන් පක්ෂ මෙන්ම ඇමරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදී රටවල් සහ සෝවියට් සංගමය අතර ගැටුම මත වාරුවී ගත් ශ්රීලනිපය ජාතිකවාදී වැඩපිලිවෙලක් තොරම්බල් කලේය. ට්‍රොට්ස්කිවාදයෙන් පල්ලම් බසිමින් සිටි ලසසප ඊට අනුගතවීම සහ 1964 මහා පාවාදීම නිසා ශ්‍රීලනිපයට පමනක් නොවේ ධනපති පන්තියට සිය පැවැත්ම දික්කර ගැනීමට හැකියාව ලැබුනි. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය මුලසිට කල පාවාදීම් ඊට එකතුවී තිබුනි.
නිෂ්පාදනයේ ගෝලීයකරනය වැඩෙද්දී, 1977 බලයට පැමිනි එජාප ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය ප්රාග්ධනය කැඳවමින් “විවෘත ආර්ථික පිලිවෙත්” ලංකාව තුල මුදා හැරීමෙන් පසු ශ්රීලනිපය ද පැරනි ජාතිකවාදී ප්‍රතිපත්ති වල දැමුවේය. විවෘත ආර්ථික වැඩපිලිවෙල යටතේ සමාජ අයිතීන් උදුරා ගැනීමට එරෙහිව නැගුනු පන්ති අරගල මැඩීමට එජාප ආන්ඩුව ක්‍රියා කලේ වර්ගවාදී ප්රකෝපකිරීම් මාලාවක් මගින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අරඹා මර්දනය උසිගන්වමිනි.
මෙම යුද්ධයට සහයෝගය දුන් ශ්රීලනිපය, චන්ද්‍රිකා කුමරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතින් යටතේ බලයට ඒමෙන් පසු එය කුරිරු ලෙස පෙරට ගෙන ගියේය. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් කෙරුනේ දෙමල ජනයා මත ඉමහත් ව්‍යසනයක් පටවමිනි.
සිරිසේන මේ සියල්ලට මුලුමනින්ම සහයෝගය දෙමින් සිට, 2014 අග කුමාරතුංගගේ මෙහෙයුමෙන් ශ්‍රීලනිපයෙන් එලියට බැස්සේ නව දිල්ලියේ ද සහයෝගය ඇතිව වොෂින්ටනය ජනාධිපති මහින්ද ඉවත්කිරීමට ක්‍රියාවට දැමූ තන්ත්ර මාරුමෙහෙයුමේ “පොදු ජනාධිපති අපේක්ෂකයා” ලෙස ඉදිරිපත්වීමට ය. එක්සත් ජනපදයට අවශ්‍යවූයේ බෙයිජිනයට නැඹුරුවී සිටි මහින්ද බලයෙන් ඉවත්කර චීනයට එරෙහි සිය යුද සූදානමට බැඳ ගැනීමටයි. බලයට ආ පසුව සිරිසේන, වික්‍රමසිංහ සමග එකතුවී ඇමරිකාවේ මිලිටරි යන්ත්‍රයට ලංකාව සම්බන්ධ කිරීමට සැහෙන වැඩ කොටසක් කලේය.
සිරිසේනගේ මෙම ප්රතිගාමී මාරුවත් සමග ශ්රීලනිපය දෙදරීම ඇරඹුනි. පරාජයෙන් කුජීතව සිටි මහින්ද අතින් පක්ෂ නායකත්වය අල්ලා ගත්ත ද සිරිසේනට එක්වූයේ මන්ත්‍රීන් ගෙන් කොටසකි. වැඩිකල් යන්නට පෙර සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව අපකීර්තියට පත්වීම ගසාකමින් මහින්ද රාජපක්ෂ ප්රමුඛ කන්ඩායම ශ්‍රිලපොපෙ පිහිටුවාගෙන සිංහල-බෞද්ධ වර්ගවාදී කන්ඩායම් ගොනුකරගනිමින් හා මිලිටරියට ආයාචනා කරමින් ආන්ඩුවට අභියෝග කිරීමට ඉදිරිපත්විය. සිරිසේන සිය කන්ඩායම දියවෙද්දී ශ්‍රිලපොපෙ සමග සන්ධානයකට පැමින ඇති අතර එහි නායකයින් රාජපක්ෂ අතින් ඇමතිකම් ලබාගෙන ඇත.
ශ්රීලනිපය මුලුමනින්ම නැතහොත් නොවැදගත් මට්ටමකට දියවී ගොස් ඇත. රාජපක්ෂ මිලිටරිය හා වර්ගවාදීන් මත වාරුවී ආඥාදායක පාලනයක් තහවුරු කරගැනීමේ ප්රයත්නය සමග සිරිසේන එක්වී ඇත්තේ මේ තතු තුලය.
Follow us on