බංග්ලාදේශයේ තවත් විනාශකාරී ගින්නකින් අඩු තරමින් 80ක් මරනයට පත්වේ
Another devastating fire kills at least 80 in Bangladesh capital
සුජීව අමරනාත් විසිනි, 2019 පෙබරවාරි 22
බංග්ලාදේශයේ ධකා අගනුවර චවුක්බසාර් ප්‍රදේශයේ පෙබරවාරි 20දා තට්ටු හතරක ගොඩනැගිල්ලක හටගෙන තවත් ගොඩනැගිලි තුනකට පැතිරී ගිය ගින්නකින් අවම වසයෙන් 80ක් මරනයට පත්ව තවත් 50කට තුවාල සිදුවිය. පොලීසිය හා ගිනි නිවන ඒකකයට ගින්න මැඩපැවැත්වීමට පැය 12කටත් අධික කාලයක් ගත විය.
මරනයට පත් වූ බොහෝ දෙනාගේ සිරුරු හඳුනාගත නො හැකි තරමට පිලිස්සී ඇතැයි මාධ්‍ය වාර්තා කලේය. පැය 14කින් පසු සිරුරු සොයා කරන මෙහෙයුම් අත්හිටුවනු ලැබී ය. ධකා වෛද්‍ය විද්‍යාල රෝහල ඇතුලු රෝහල් කිහිපයක සමහර තුවාල ලැබූවන් අවදානම් තත්ත්වයන් යටතේ ප්‍රතිකාර ලබන තතු යටතේ මරන සංඛ්‍යාව ඉහල යා හැකි ය.
සැබෑ මරන සංඛ්‍යාව ගැන සැක පවතී. ගිනි ජාලාව අඩු ම වසයෙන් ජීවිත 110ක් බිලිගත් බව නිව් යෝක් ටයිම්ස් වාර්තා කලේ ය. ධකා වෛද්‍ය විද්‍යාල රෝහලේ පිලිස්සුම් අංශයේ ප්‍රධානී සමන්ත ලාල් සෙන් ඇසෝෂියේටඞ් ප්‍රෙස් වෙත කියා සිටියේ ඔහුගේ ඒකකය තුල අවම වසයෙන් අවදානම් සහගත ලෙස තුවාල ලැබූ නව දෙනෙක් වත් ප්‍රතිකාර ලබන බව යි.
ගින්නට හේතුව තවමත් නිල වසයෙන් නීර්නය කර නැතත්, මෙවැනි විනාශයන්ගෙන් පසුව ගොඩනැගිලි සම්මතයන් උල්ලංඝනය කිරීම් මර්දනය කරන බවට ආන්ඩුව යලි යලිත් දෙන පොරොන්දු නො තකා ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍යයන් ගබඩා කිරීම හේතුවෙන් පැහැදිලි ලෙස ගින්න ගිනි ජාලාවක් බවට පැතිරී ගියේ ය.
“ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම නිසා ගින්න පටන් ගත් බව මූලික විමර්ශනයෙන් සොයා ගත්තා. අපේ කන්ඩායම තවමත් විමර්ශනය කරමින් සිටිනවා. දැනට අපට කිසිදු නිගමනයක් ඉදිරිපත් කරන්න බැහැ” යි පුපුරන ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් වන ෂැම්සුල් අලාම් අල් ජසීරා ප්රවෘත්ති සේවයට කීවේ ය.
චවුක්බසාර්හි බොහෝ ගොඩනැගිලිවල බිම් මහලවල් ගබඩාවන් හා සාප්පු භාවිතා කරනු ලබන අතර ඉහල මාලයන් සමන්විත වන්නේ නිවස්නයන්ගෙනි. මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට පහත මාලයේ ගබඩා කර තිබූ අතිශයින් දහනශීලී රසායන ද්‍රව්‍ය හා ප්ලාස්ටික් භාන්ඩ ක්ෂනික ව ගිනිගත්තේ ය. සිද්ධිය ඇසින් දුටුවන් හා පොලීසිය පැවසුවේ නිවාසවල ගෑස් සිලින්ඩර පුපුරා යාම් ගින්න අවිලීයාමට හේතු වූ බව යි.
වසර 400ක් පමන පැරනි යයි කියන චවුක්බසාර් දිස්ත්‍රික්කයේ වීදි පටුය. එකිකෙට ඉතා සමීප ව ගොඩනැගිලි ඉදිකර ඇත. රාත්‍රී 11:00ට පමන ගින්න හටගන්නා අවස්ථාවේ බොහෝ නිවැසියන් නින්දේ පසු වූ හ. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, ක්ෂනික ගින්න හා පුපුරා යාම් වාහන හා රික්ෂෝ රථ ඇතුලු ගමනාගමනය නතර කලේ, ඒවායේ සිටි තැනැත්තන් හා රාත්‍රී කාලයේ සාප්පුවලට පැමිනෙන්නන් මරා දමමිනි.
හජී අබ්දුල් කදීර් ඒඑෆ්පී පුවත් සේවයට මෙසේ කීවේ ය: “මට එක පාරට මහා පිපිරුමක් ඇසුනා. ආපසු හැරී බලනකොට සම්පූර්න වීදිය ම ගිනිදලුවලින් වැසී තිබුනා. හැමතැන ම ගිනිදලු තිබුනා.”
අවහන්හල් කලමනාකරුවෙක් වන මොහොමඞ් රකීබ්, තමන් රික්ෂෝ රියැදුරෙක් ගිනිදලුවලින් වැලකීමට උත්සාහ කරන අයුරුත් පන පිටින් පිලිස්සෙන අයුරුත් දුටු බව නිව් යෝක් ටයිම්ස් වෙත කීවේ ය. “බොහෝ ජනයා ගින්නෙන් මිදීමට උත්සාහ කලා” යි ඔහු කීවේ ය. “මම හොඳට ම බය වුනා. සල්ලි ඔක්කොම දාල මම අවන්හලෙන් පිටතට දිවුවා.”
අතුරුදන් වූ ඥාතීන් පිලිබඳ තොරතුරු සොයමින් ජනයා තැවුලින් යුතු ව සැරිසරන හා ගිනිගත් වාහන වීදිය පුරා විසිරී පවතින තතු යටතේ මෙම සිද්ධිය භයංකර හා ඛේදජනක දර්ශනයක් නිර්මානය කලේ ය.
මීට ගොදුරු වූ සමහරු අසල අවන්හලක රාත්‍රී ආහාරය ගනිමින් සිටි අතර තවත් සමහරු මගුල් ගෙදරක සිටි බව කියනු ලැබේ. බිලි වූ බොහෝ දෙනා ගොඩනැගිලි තුල හිර වී සිටි බව ධකා ගිනි නිවීම් සේවා නිලධාරියෙක් කීවේ ය. එක් කාන්තාවක් ගමන් ගනිමින් සිටි රික්ෂෝ රථය ගින්නට හසුවෙද්දී ඇය සිටියේ එක් අතකින් තම කුඩා දියනිය අල්ලාගෙන ය.
පෙබරවාරි 21ට යෙදුනු ජාතික නිවාඩු දිනයක් හේතුවෙන් අසල මාර්ග වසා දමා තිබීම හා වීදිවල මාර්ග තදබදය නිසා ගිනි නිවීමේ ට්‍රක් රථවලට ගින්න හටගත් ස්ථානයට යා නො හැකි වූ බව නිලධාරීහු මාධ්‍ය වෙත කී හ.
මෙවැනි සෑම විනාශයකට ම පසුව කරන පරිදි මුහුන බේරාගැනීමේ වතාවතක යෙදෙමින් බංග්ලාදේශ ජනාධිපති අබ්දූල් හමීඞ් හා අගමැතිනි ෂීක් හසීනා වජේඞ් සිද්ධිය පිලිබඳ කම්පනයත් මරනයට පත්වූවන්ගේ පවුල්වලට ශෝකයත් පල කල හ.
මෙම ඛේදජනක සිද්ධිය කෙරෙහි පවතින මහජන කෝපය අපසරනය කිරීම පිනිස කම්කරු හා රැකියා අමාත්‍යාංශය මරනයට පත්වූවන්ගේ පවුල්වලට සොච්චම් මුදලක් වූ ටකා 100,000ක් ද තුවාල ලැබූවන්ගේ පවුල්වලට ටකා 50,000ක් ද වසයෙන් ගෙවන බව නිවේදනය කලේ ය.
ප්‍රදේශයේ සංචාරය කල ස්වදේශ ඇමති අසාදුසමාන් කාන් කමල් ගින්න පිලිබඳ ව විමර්ශනය කොට දින හතක් ඇතුලත වාර්තා කිරීම සඳහා කමිටුවක් පත්කරන බව කීවේ ය. කර්මාන්ත අමාත්‍යාංශය සහ ගිනි නිවීම් හා සිවිල් ආරක්ෂක අංශය (එෆ්එස්සීඩී) ද විමර්ශන පවත්වන බව නිවේදනය කල හ.
ධකා දකුනු නගර සංස්ථා නගරාධිපති සයීඞ් කොකොන් ප්‍රකාශ කලේ නගරය තුල රසායනික ගබඩාවන් පවත්වාගෙන යාමට තවදුරටත් නම් ඉඩ නො දෙන බව යි. එවැනි නිල ප්‍රතිචාර හා හිස් පොරොන්දු අතීතයේ දී ද පුනරුච්ඡාරනය කොට තිබේ.
2010 දී හටගත් මාරාන්තික ගින්නකින් අනතුරු ව කාර්මික ප්‍රදේශවල රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම තහනම් කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගත්ත ද කිසිවක් වෙනස් වී නැත. නිම්තොලි දිස්ත්‍රික්කයේ හටගත් එම ගින්න ජීවිත 124ක් බිලිගත් අතර නීති-විරෝධී ගබඩාවක් පැවතීම හේතුවෙන් වඩාත් දරුනු අතට හැරුනි.
බීබීසී පුවත් සේවය වාර්තා කල පරිදි: “එම සිද්ධියෙන් පසුව නේවාසික ප්‍රදේශවලින් සියලු රසායනික ගබඩාවන් ඉවත් කිරීමට කමිටුවකින් නිර්දේශ කල ද විවේචකයන් සඳහන් කරන ආකාරයට කිසිදු අර්ථභාරී පියවරක් ගෙන නැත.”
ආන්ඩුවේ සීමිත ගොඩනැගිලි කලාප නීති පවා බලාත්මක කිරීමේ ලිහිල් භාවය හෝ දූෂනය හේතුවෙන් බොහෝ විට නො සලකා හැරේ. ධනවත් ව්‍යාපාර හිමියන් නිලධාරීන්ට හෝ බලධාරීන්ට පුරුද්දක් ලෙස පගාගසන අතර ඔවුන් පොහොසත් ව්‍යාපාරවලට මැදිහත් නො වී ඒවා නොදැක්කා සේ සිටියි.
2010 ගින්නෙන් පසුව එෆ්එස්සීඩී හා පොලිසියේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කල ද ගබඩාවන් ඉවත් කර නැති බව එෆ්එස්සීඩී නිලධාරියෙක් අල් ජසීරා වෙත කීවේ ය.
පුපුරන ද්‍රව්‍ය දෙපාර්තමේන්තුව රැස්කරන ලද දත්තවලට අනුව චවුක්බසාර් ප්‍රදේශයේ පමනක් ගිනි ගන්නාසුලු රසායන ද්‍රව්‍ය ආනයනය හා අපනයනය කිරීමට සමාගම් 46කට බලපත්‍ර ඇති අතර, තවත් ඒකක 70කට මෙම රසායන ද්‍රව්‍ය සුවඳ විලවුන් වැනි දෑ නිෂ්පාදනය කිරීමට යොදා ගැනීම සඳහා අවසර ඇත. එහෙත් නම් සඳහන් නො කල දෙපාර්තමේන්තු නිලධාරියෙක් අල් ජසීරා වෙත කීවේ මෙම සමාගම් 116ට අමතර ව ප්‍රදේශය තුල නීති-විරෝධී රසායන ද්‍රව්‍ය ගබඩාවන් 2,000ක් පමන පවත්වාගෙන යනු ලබයි.
මෑත වසර කිහිපයේ දී ගොඩනැගිලි ගිනිගැනීම් හා කඩාවැටීම්වලින් බංග්ලාදේශයේ සිය ගනනක් මිය ගොස් ඇත. 2012 දී ධකා නගරයට ආසන්න අෂුලියා දිස්ත්‍රික්කයේ මහල් කිහිපයකින් යුත් තස්රීන් විලාසිතා කර්මාන්තශාලාවේ හටගත් ගින්නකින් ඇඟලුම් කම්කරුවන් 112ක් පිලිස්සී මිය ගිය හ.
2013 දී ඇඟලුම් කම්හල් පහකින් සමන්විත මහල් අටකින් යුතු රනා ප්ලාසා ගොඩනැගිල්ල කඩා වැටුනි. බොහෝ ඇඟලුම් කම්කරුවන් ඇතුලු 1,200ට වැඩි පිරිසක් මරා දැමුනේ තවත් දහස් ගනනකට තුවාල සිදුකරමිනි; එය ලෝකයේ බිහිසුනු ම කාර්මික ව්‍යසනයන්ගෙන් එකක් විය.
ඒ සමයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූ පරිදි:
“විනාශයෙන් ඉක්බිත්තේ එක් හෝ තවත් ක්‍රමයකින් මොනවා හෝ කල යුතු බව ප්‍රකාශ කරන ආන්ඩු, මාධ්‍ය, වෘත්තීය සමිති හා විවිධ රාජ්‍ය නො වන සංවිධාන ඇඟලුම් කම්කරුවන්ගේ ආරක්ෂාව හා ජීවන තත්ත්වයන් වැඩි දියුනු කිරීමට ගෝලීය සංගතයන් හා බංග්ලාදේශ ආන්ඩුව මත පීඩනය යෙදිය හැකි ය යන මිථ්‍යාව වගා කරති. යථාර්ථය වන්නේ අපනයන හෝ ලාබ උවදුරේ හෙලන කිසිවක් ආන්ඩුව නොකරනු ඇති බව යි. ගෝලීය ධනවාදයේ ගැඹුරු වන බිඳවැටීම හමුවේ ආරක්ෂක ප්රමිතීන් වඩාත් නරක් වනවා මිස වර්ධනය නො වනු ඇත.”
අගමැතිනි ෂීක් හසීනාගේ අවාමි ලීගය නායකත්වය දෙන ආන්ඩුව මේ ජනවාරියේ තුන්වන වතාවට බලයට පත්වූයේ ඉහල ආර්ථික වර්ධනයක් පිලිබඳ ව පාරම්බාමිනි. එහෙත් යථාර්ථය වන්නේ අනෙකුත් දුප්පත් රටවල් මෙන් බංග්ලාදේශය ද දරුනු කම්හල් කොන්දේසි යටතේ ගෝලීය සංගත විසින් කම්කරුවන් සූරාකෑම සඳහා පහසුකම් සපයන ලාබ ශ්‍රම වේදිකාවක් බවට හරවා ඇති බව යි. හසීනාගේ පාලනය හා ධනපති පන්තිය මහජනයාගේ එකදු දැවෙන සමාජ ප්‍රශ්නයකට වත් ආමන්ත්රනය කිරීමට අසමත් ය.
අවාමි ලීග ආන්ඩුව, පොලිස් බියවැද්දීම් හා මහා පරිමානයෙන් දොට්ට දමන කල තර්ජන මධ්‍යයේ ඉහල වැටුප් ඉල්ලා දින අටක අරගලය අවසන් කරමින් ආපසු වැඩට පැමිනි කම්කරුවන් 7,000කට අධික පිරිසක් සේවයෙන් පහකිරීමට විශාල ඇඟලුම් සමාගම්වලට පිටුබලය දුන්නේ හරියට ම පසුගිය මාසයේ ය.
අනෙකුත් අඩු වැටුප් සහිත රටවලින් ජාත්‍යන්තර ආයෝජන අද්දාගැනීමට දරන ප්රයත්නයේ දී, හසීනාගේ ආන්ඩුව දේශීය මහ ව්‍යාපාරිකයේ අවශ්‍යතාවන්ට මෙන් ම රටෙහි කම්කරු පන්තිය අනුකම්පා විරහිත ලෙස සූරාකෑම මත යැපෙන ගෝලීය ආයෝජකයන්ගේ හා යෝධ සිල්ලර වෙලඳ සංගතයන්ගේ අවශ්‍යතාවන්ට ද මංමුලා සහගත ලෙස සේවය කරයි.
ලෝසවෙඅ 2013 දී අවධාරනය කල පරිදි: “මෙම විනාශයන් වනාහි අවසානයේ ලාබ පද්ධතිය තුල ම මුල් බැසුනු අපරාධයන් ය. ග්‍රහලෝකයේ සෑමදෙනාට ම ශිෂ්ට සම්පන්න ජීවන තත්ත්වයක් සම්පාදනය කිරීමේ විභවය සහිත භූගෝලකෘත නිෂ්පාදනය, ධනවාදය යටතේ ධනවතුන් සඳහා සුපිරි ලාබ කඳුගසා ගැනීමටත් ලොව පුරා වැඩකරන ජනයාගේ දුක්ඛිතභාවය ගැඹුරු කිරීමටත් මෙහෙය වේ.
“මෙයට එකම විසඳුම ලෙස පවත්නේ, මෙම යල්පිනූ හා ප්රතිගාමී සමාජ පර්යාය අහෝසි කොට සමස්තයක් ලෙස මානව වර්ගයාගේ දැවෙන සමාජ අවශ්‍යතා ඉටුකිරීම පිනිස තාර්කික ව සැලසුම් කල සමාජවාදී ලෝක ආර්ථිකයක් ස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය ගෙන යන ඒකාබද්ධ අරගලයක් තුල යි.”
කතුවරයා මෙම ලිපි දෙකට ද අවධානය යොමුකරයි:
Follow us on