ට්‍රොට්ස්කිවාදී අවි ගබඩාවෙන්

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට 1984 පෙබරවාරි 11දා ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන වාර්තාව

The Political Report by David North to the International Committee of the Fourth International—February 11, 1984

2019 පෙබරවාරි 12

වසර 35ට පෙර මේ සතියේ, එනම් 1984 පෙබරවාරි 11 දින, සමාජවාදී සමානතා පක්ෂයේ පුර්වගාමියාවූ වර්කර්ස් ලීගයේ, ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත් විසින් බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) ට්‍රොට්ස්කිවාදයේ මූලික න්‍යායික සංකල්ප හා ක්‍රියාමාර්ගික මූලධර්ම අතහැර දැමීම පිලිබඳව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) රැස්වීමට පහත පලවන වාර්තාව ඉදිරිපත් කරන ලදී.

දෙපැයකටත් වැඩි කාලයක් කථාකල නෝර්ත්, එවක හජාජාක බ්‍රිතාන්‍ය ශාඛාව වූ කවිප, දේශපාලන පරිහානිය පිලිබඳ සංගෘහිත විශ්ලේෂනයක් සම්පාදනය කලේය. එහිදී 1950 ගනන්වල මුල පලමුවෙන් හතරවන ජාත්‍යන්තරය තුල හිස එසවූ පැබ්ලෝවාදය නමැති දියකර හැරීමේ ප්‍රවනතාවයට එරෙහිව හජාජාක දශක ගනනාවක් තිස්සේ ගෙන ගිය අරගලයේ සන්දර්භය තුල බහා කවිපය මැදපෙරදිග ජාතිකවාදී ව්‍යාපාරයන්ට අනුගතවීම විමසා බැලීය. එම වාර්තාව, බ්‍රිතාන්‍යයේ සංශෝධනවාදී ප්‍රවනතා සමඟ කවිප පැවැත්වූ අවස්ථාවාදී සම්බන්ධතා ගැන ද විමසා බලුවේ ය.

වසර බොහෝ ගනනක් තිස්සේ ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම ආරක්ෂා කිරීමට මූලිකත්වය ගත්තේ, බ්‍රිතාන්‍ය සෝෂලිස්ට් ලේබර් ලීගය ද එය විසින් 1973 දී පිහිටුවාගත් කවිප හා එහි පමුඛ නායකයින් වූ ජෙරී හීලි, මයිකල් බන්ඩා හා ක්ලිෆ් ස්ලෝටර් විසිනි. කෙසේ නමුදු 1970 හා 1980 ගනන්වල, එස්එල්එල්/කවිප වඩ වඩාත් ජාතික අවස්ථාවාදී නැඹුරුවක් හා භාවිතයක් වර්ධනය කර ගත්තේය.

ජෙරී හීලි

වර්කර්ස් ලීගය හා කවිප අතර මතභේද ප්‍රථමයෙන් එලිමහනට ආවේ 1982 ඔක්තෝබරයේදීය. හීලි විසින් රචනා කරන ලද අපෝහක භෞතිකවාදී අධ්‍යයනය නමැති පොත් පිංච පිලිබඳව නෝර්ත් සවිස්තාරාත්මක විවේචනයක් කවිප වෙත ඉදිරිපත් කලේය. මේ විවේචනය, මූලිකවම හීලිගේ දර්ශනවාදී විධික්‍රමය, භෞතිකවාදය නිෂ්ප්‍රභා කිරීමක් බවත් මාක්ස්වාදයට සතුරු ආත්මීය විඥානවාදී රූපාකාරයක් කරා හැරීමක් බවත් තහවුරු කලේය. හීලිගේ අපෝහකය පිලිබඳ ආත්මීය ගූඪකරනය ගැන කල විවේචනය, මැද පෙරදිග ධනපති ජාතිකවාදී තන්ත්‍රයන් සමඟ කවිප පැවැත්වූ සම්බන්ධතා පිලිබඳ විශ්ලේශනයකට සම්බන්ධ කෙරුනි.

ක්ලිෆ් ස්ලෝටර්

මුලදී නෝර්ත්ගේ විවේචන සමඟ එකඟත්වය පලකරමින්, ඔහුගේ ලිඛිත විවේචන පිලිබඳව ජාත්‍යන්තර කමිටුව තුල පූර්න සාකච්ඡාවක් ගෙනයාමට පොරොන්දුවූ මයිකල් බන්ඩා හා ක්ලිෆ් ස්ලෝටර් යන කවිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙන, සති කිහිපයකින්ම එය හකුලා ගත්හ. ජාත්‍යන්තර කමිටුවේ ඊලඟ රැස්වීම පැවැත්වූ 1982 දෙසැම්බරයේදී බන්ඩා හා ස්ලෝටර්, නෝර්ත්ගේ ආත්මීය විඥානවාදය ගැන විවේචන පිලිබඳ සාකච්ඡාවකට විරුද්ධ වූහ. නෝර්ත් තවදුරටත් සිය විවේචනයහි එල්බ සිටින්නේ නම් ජාත්‍යන්තර කමිටුව තුල භේදයක් ඇතිකරමින් වර්කර්ස් ලීගය සමඟ සම්බන්ධය බිඳ දමන බවට කල හීලිගේ තර්ජනයට ඔවුහු සහාය දැක්වූහ. මෙම අවාසිදායක කොන්දේසි හමුවේ භේදයක් වලක්වා ගැනීමට පියවර ගනිමින් නොර්ත්, සිය විවේචන ඉවත්කර ගත්තේය.

කෙසේ වෙතත් කවිප දේශපාලන පිලිවෙත අන් කවරදාකටත් වඩා වැඩියෙන් හා විවෘතව අවස්ථාවාදී ස්වරූපයක් ගත්තේය. 1983 නොවැම්බරයේදී නෝර්ත්, වර්කර්ස් ලීගය කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය මත “දැඩි අවධාරනයක්” යොදන්නේය යන ස්ලෝටර්ගේ විවේචන ප්‍රතික්ෂේප කලේය.

බන්ඩා වෙත 1984 ජනවාරි 23දා යැවූ තවත් දීර්ග ලිපියකින් නෝර්ත් පැවසුවේ, වර්කර්ස් ලීගය, “නිගමනයන් හා විධික්‍රමය යන දෙකෙන්ම, අප ඓතිහාසිකව පැබ්ලෝවාදය සමඟ අනන්‍ය කරන, ඒවාට බොහෝ සෙයින් සමාන දේශපාලන ආස්ථානයන් කරා කවිප දේශපාලනිකව තල්ලුවීම පිලිබඳ වැඩෙන සලකුනු වලින්” කනස්සල්ලට පත්ව ඇති බවයි.

“සවිස්තරාත්මක ජාත්‍යන්තර යෝජනාවක් කෙටුම්පත් කිරීම අරමුනු කරගෙන, ජාත්‍යන්තර ඉදිරිදර්ශනය මත පූර්න සාකච්ඡාවක් සඳහා පදනම සැකසීමට ජාක විසින් පැවැත්වීමට නියමිත රැස්වීමෙන් සැලසෙන ඉඩ ප්‍රස්ථාව” ප්‍රයෝජනයට ගත යුතු බව ජාත්‍යන්තර කමිටුවෙන් ඉල්ලා සිටිමින් නෝර්ත් සිය ලිපිය නිමා කලේය. එසේම හජාජාක, නොනවතින විප්ලවයේ න්‍යාය “සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැඟීමේ අනිවාර්ය විද්‍යාත්මක පදනම ලෙස පවතින” බවට වන සිය ඒත්තු ගැනීම අවධාරනය කල යුතුය.

එහෙත් මේ මතභේද පිලිබඳ සාකච්ඡාවකට එලඹීම කවිප විසින් ප්‍රතික්ෂේප කරන ලදී. කවිප, හිතුවක්කාරී ලෙස හජාජාක ප්‍රමුඛ ශාඛා ගනනාවක්ම 1984 පෙබරවාරි 11 දින ආරම්භවූ එහි රැස්වීමට සහභාගිවීම වලක්වාලූයේය. වාර්තාවට අතුලත් කිසිදු ප්‍රශ්නයකට පිලිතුරු නොදී කවිප නායකයෝ මූලධර්ම විරහිත ලෙස වර්කර්ස් ලීගය හෙලාදකිමින් නෝර්ත්ට ප්‍රතිචාර දැක්වූහ. ග්‍රීක ශාඛාවේ නායක සවාස් මයිකල්ගේ ටෙහෙරාන් සංචාරය හා ඉරාන තන්ත්‍රය වාමාංශික පක්ෂ මර්දනය කිරීම ප්‍රසිද්ධයේ අනුමත කිරීම, නෝර්ත් විසින් විශේෂයෙන්ම විවේචනය කරන ලද කල්හි ආත්ම සංයමය ද නැතිව ගිය ඔහු කොපාවිෂ්ට හෙලා දැකීමක යෙදුනේය.

යලි වතාවක් කවිප වහා භේදවීමකට තර්ජනය කලේය. නෝර්ත්ගේ විවේචනවල අන්තර් ගත දෑ පිලිබඳව ජාත්‍යන්තර කමිටුවේ බොහොමයක් ශාඛා තවමත් නොදැන සිටීමත්, එමෙන් ම කවිප පසුපෙල සාමාජිකයන් අතර පවා අවබෝධයක් නොතිබුන තතු හමුවේ වර්කර්ස් ලීග නියෝජිත පිරිස, දීර්ඝ සාකච්ඡාවකින් පසුව කාලය එලඹෙන තෙක් විවේචන ඉවත් කර ගත්තේය.

නෝර්ත් 1984 ජනවාරි 23 දින යැවූ ලිපියෙන් අවධාරනය කලේ, කවිප විසින් ජාත්‍යන්තර කමිටුව මත පටවන ලද දේශපාලන පිලිවෙත, පරීක්ෂා කර නිවැරදි කලේ නැත්නම්, ශාඛා තුල දේශපාලන ව්‍යසනයක් නිර්මානය කරනු ඇති බවයි”.

දේශපාලන වින්නැහිය වසරකට මඳක් වැඩි කාලයකට පසුව කම්කරු විප්ලවවාදී පක්ෂයට කඩා වැදුනි. ඒ 1985 ග්‍රීෂ්ම හා වසන්ත සෘතු වලය. එකදු නායකයෙකුට හෝ විශ්වාසනීය පැහැදිලි කිරීමක් කල නොහැකිවූ සංවිධානාත්මක අර්බුදයකින් කවිපය බිඳ වැටුනි. කවිපය කන්ඬායමික සිවිල් යුද්ධයක් තුලට ඇද වැටෙද්දී, නෝර්ත් විසින් 1982-1984 අතර කාලයේ ලියන ලද ලියවිලි ජාත්‍යන්තර කමිටුව පුරා හා එහි බි්‍රතාන්‍ය ශාඛාවේ සාමාජිකයින් අතර වේගයෙන් බෙදාහැරීමට පටන් ගැනුනි.

ජාත්‍යන්තර කමිටුවේ තීරනාත්මක බහුතරයක් හා බ්‍රිතාන්‍ය ශාඛාවේ පසුපෙල සාමාජිකයින් සැලකිය යුතු කන්ඬායමක්, කවිප අවස්ථාවාදී ප්‍රතිපත්ති හා භාවිතාවන් තරයේ විමසා බැලිය යුතු බව අවධාරනය කලහ. පක්ෂ අර්බුදයට යටින් පැවති න්‍යායික හා දේශපාලන ප්‍රශ්න පිලිබඳ පරීක්ෂනයක් මඟහැරීමට වෑයම් කරමින් බන්ඩා හා ස්ලෝටර්, එය ලිංඟික සෝලියක් ලෙස පෙන්වමින්, කවිපයේ වඩාත්ම අවමන්ගත්වූ, දක්ෂිනාංශික සාමාජිකයින් අතර හිස්ටීරියාවක් ඇතිකිරීමට එය යොදාගත්තේය.

ස්ලෝටර් ඉතා වංචනික ලෙස බොරුවක් ගොතමින්, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා “සම පරිහානියකට” ගොදුරු වී ඇතැයි පැවසීය. එහෙත් වර්කර්ස් ලීගය විසින් 1982-1984 අතර කාලයේ පිලියෙල කරන ලද ලිපිලේඛන මගින් තහවුරු කෙරුනේ, 1985ට පෙර කවිපට හා හීලිට එරෙහිවූ මූලධර්මාත්මක විපාර්ශවයක් පැවතුනු බවයි. තව ද වර්කර්ස් ලීගය විසින් පිලියෙල කල එම ලේඛන, ජාත්‍යන්තර කමිටුව තුල ට්‍රොට්ස්කිවාදී මූලධර්ම පුනර්ජීවනය කරන හා ජයග්‍රාහී කරන න්‍යායික හා ක්‍රියාමාර්ගික පදනම සම්පාදනය කලේය.

ධනපති ජාතික ආන්ඩු හා සංවිධාන සමඟ කවිප විසින් පිටුටුවාගනු ලැබූ දූෂිත සම්බන්කම් ලේඛන ගත කල වාර්තාව නිම කිරීමෙන් පසුව 1985 දෙසැම්බර් 16දා ජාත්‍යන්තර කමිටුව, කවිප සාමාජිකත්වය තහනම් කලේය. එම යෝජනාව අවධාරනය කලේ, කවිප හජාජාක තුලට යලි ඇතුලත්කර ගැනීම රඳාපවත්නේ, හතරවන ජාත්‍යන්තරය ඓතිහාසිකව වර්ධනය කල මූලධර්ම කොන්දේසි විරහිතව පිලිගැනීම මත පමනක් බවය. ඒ වන විටත් හීලිගේ කන්ඬායම ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී ගොස් තිබුනි. බන්ඩා හා ස්ලෝටර් ගේ කන්ඬායම, කවිප යලි ඇතුලත් කර ගන්නේ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම පිලිගැනීමේ පදනම යටතේය යන හජාජාක ආස්ථානයට විරුද්ධව ඡන්දය දුන්හ. කෙසේ නමුත් කවිප තුල ජාත්‍යන්තරවාදී ප්‍රවනතාව නියෝජනය කල fඬ්ව් හයිලන්ඞ් ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කල යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය. මෙම ප්‍රවනතාව හජාජාක ශාඛාව ලෙස 1986 පෙබරවාරියේදී, බි්‍රතාන්‍ය යේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමීයාවූ ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්තේය. හජාජාක බිඳී ගිය කවිප වේගයෙන් කොටස් වලට කැඩී ගියේය. හතරවන ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසයටම රුදුරු ප්‍රහාරයක් එල්ල කරමින් ලිපියක් ලිවූ බන්ඩා, තමා ස්ටැලින්ගේ අනුචරයෙක් යයි පැවසීය. 1990 ගනන් මුල වෙද්දී කවිපයේ සුන්බුන් ට්‍රොට්ස්කිවාදය සමඟ වූ සියලු සම්බන්ධකම් කඩාගත්තේය. ස්ලෝටර් ලෙනින්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂය ප්‍රතික්ෂේප කරන බව පැවසීය.

කවිප දේශපාලන පරිහානිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් එය කැඩී යාම පිලිබඳ සවිස්තරාත්මක විමසුමක් හජාජාක විසින් පලකරන ලද කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේ ද යන කෘතිය තුල අන්තර්ගතය. (1986 ග්‍රීස්මයේ ඉංග්‍රීසි බසින් පලවු මෙම කෘතියේ සිංහල පරිවර්තනයක් ද ඇත.) 1984 පෙබරවාරි 11දා හජාජාක රැස්වීම ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල වාර්තාව ද ඇතුලු භේදයේ ලියවිලි හජාජාක ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කරයි: 1982-1986 යන වෙලුමක් තුල අන්තර්ගතය.

බන්ඩා ට්‍රොට්ස්කිවාදයට පහර දීමට පිලිතුරු වශයෙන් ඩේවිඩ් නෝර්ත් අප රක්නා උරුමය කෘතිය ලිවීය. එහි සඳහන් ලිපි 1986-87 කාලයේ ජාත්‍යන්තර කමිටුව විසින් පෙලගස්වා මේ පොත 1988 දී ප්‍රකාශයට පත්කරන ලදී මෙහි නව සංස්කරනය 2018දී ජාත්‍යන්තර කමිටුවෙහි ප්‍රකාශන මධ්‍යස්ථානය වන මේරිං පොත් විසින් පල කෙරුනි.

ජාත්‍යන්තර කමිටුව තුල 1982-1986 අතර කාලයේ දිග හැරුන අරගලයෙහි දැවැන්ත ඓතිහාසික හා සමකාලීන වැදගත් කමක් ගැබ්කර ගනී. එය, ඉන් පසු සමස්ත අවධියේ හජාජාකහි න්‍යායික දේශපාලනික හා ප්‍රායෝගික වර්ධනය සඳහා පදනම දැමීය.

1984 පෙබරවාරි 11 වාර්තාව ද හජාජාක තුල 1982-86 කාලය තුල සිදුවූ අරගලයේ සම්පූර්න වාර්තාව ද නියෝජනය කරන්නේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අත්‍යවශ්‍ය පදනම ලෙසින් අද දක්වාමත් පවතින න්‍යාය හා මූලධර්ම පිලිබඳ අවධාරනාත්මක සංංක්ෂිප්තයකි.

ජෝසෆ් කිෂෝර්

____

හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරනු ලැබූ දේශපාලන වාර්තාව

1984 පෙබරවාරි 11

1. හතර වෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ 30ස් වසරක ඉතිහාසය වූ කලි ලෝක ට්‍රොට්ස්කිවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා ගෙන ගියා වූ නිරන්තර අරගලයක වාර්තාවකි. මෙය කම්කරු පන්තිය ධනපති පන්තියට යටත් කොට තබන්නාවූ ස්ටැලින්වාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා පැබ්ලෝවාදී බලවේගයන් සියල්ලටම එරෙහි වූ අරගලයක ඉතිහාසයකි. ජාත්‍යන්තර කමිටුව පදනම් වී ඇත්තේ සියලු අතීත මාක්ස්වාදී පරම්පරාවල - දේශපාලන න්‍යායික සහ සංවිධානාත්මක අරගලයන් මගින් තහවුරු කරන ලද්දා වූ සම්ප්‍රදාය සහ මූලධර්ම මත වන අතර - එම අතීත පරම්පරා සමග ජාත්‍යන්තර කමිටුවේ මෙම අඛන්ඩතාවය වර්ධනය කරනු ලැබුවේ කම්කරු ව්‍යාපාරය තුල විශේෂයෙන්ම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඇතුලතම, පැන නැංගාවූ සෑම වර්ගයකම ප්‍රතිමාක්ස්වාදයන්ට එරෙහි අරගලයක් මගිනි. මෙම අරගලයන් එකිනෙකක් විසින් අත්පත් කරගනු ලැබූ ආකෘතිය සෑම විටම නිර්නය කරනු ලැබ ඇත්තේ ජාත්‍යන්තර පන්ති අරගලයේ සැබෑ අන්තර්ගතය විසිනි. අපෝහක භෞතික විධික්‍රමය සහ ඓතිහාසික භෞතිකවාදය මත පදනම් වූ ජාත්‍යන්තර කමිටුව මෙම එක් එක් අරගලයක් තුල ක්‍රියාත්මකව පැවැත්තා වූ පන්ති බලවේගයන් අනාවරනය කරලීමට ද සංශෝධනවාදයේ එක් එක් නව ප්‍රකාශයනක් තුල අධිරාජ්‍යවාදය විසින් මාක්ස්වාදය විනාශ කිරීමට යොදාගන්නා වූ මතවාදී ආකෘතීන් එලිදරව් කරලීමට ද සටන් වැද තිබේ.

මයිකල් පැබ්ලෝ

2. විප්ලවවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පුරාම මාක්ස්වාදය මතට එල්ල කැරුනු එබඳු මතවාදී ප්‍රහාරයන් ඉස්මත්තට පැමින ඇත්තේ හරියටම පන්ති අරගලය වේගවත් වර්ධනයක් අත් පත් කර ගනිමින් ධනේශ්වර පන්තියේ පාලනයට සෘජු තර්ජනයක් එල්ල කලා වූ අවස්ථාවලමය. බර්න්ස්ටයින්වාදය පැන නැංගේ අධිරාජ්‍යවාදයේ වර්ධනයත් සමාජවාදී විප්ලවය මතුකර ලන්නා වූ යුගයක ආරම්භයත් සමග ය. (මෙය ඒ වනවිටමත් පැනනැගී තිබුනා වූ 1905 රුසියානු විප්ලවයෙන් පැහැදිලි වී තිබුනේය.) ස්ටැලින්වාදය ලෝක ධනේශ්වර පාලනයට එල්ල කරන ලද දරුනුම තර්ජනය වූ ප්‍රථම කම්කරු රාජ්‍යය මත අධිරාජ්‍යවාදයේ පීඩනයෙහි දේශපාලන හා න්‍යායික ප්‍රකාශනය වූයේ ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සංශෝධනවාදයේ වර්ධනයත් අධිරාජ්‍යවාදයේ හදිසි අවශ්‍යතාවයනුත් අතර සම්බන්ධතාවය ඊටත් වඩා තියුනු ය. අධිරාජ්‍යවාදයේ ඉමහත් ම අර්බුදයේ ලක්ෂ්‍යය වූ දෙවන ලෝක යුද්ධයේ ආරම්භයේදී ම බර්න්හැම් හා ෂැට්මන් පැනනැගීම කිසිසේත් ම අහම්බ සංසිද්ධියක් වූයේ නැත. ලෝක අධිරාජ්‍යවාදයේ සමස්ත අර්බුදය පිලිබිඹු කලා වූ ස්ටැලින්වාදී නිලධරයේ මහා පශ්චාත් යුද කාලීන අර්බුදය සන්දර්භය තුල ම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලින් පැන නැංගා වූ පැබ්ලෝවාදයේ ඓතිහාසික වැදගත් කම අපි බොහෝ වතාවක් අවධාරනය කර ඇත්තෙමු. අධිරාජ්‍යවාදී පරස්පර විරෝධයන් අති මහත් ලෙස තීව්‍ර වූ මොහොතේ දී පක්ෂ කේඩරය පන්ති පීඩනයන්ට ගොදුරු වීමේ තර්ජනය බැඳී ඇත්තේ විධික්‍රමය පිලිබඳ ආමූලක ගැටලු සමග ය. පැබ්ලෝද ඔහුගේ ඇමරිකානු ප්‍රතිබිම්බය වූ ක්ලාක් ද වැනි සිය මතුපිට ආවේගයන් බදාගෙන අපෝහක භෞතික විධික්‍රමය ද ඓතිහාසික භෞතිකවාදය ද මත පදනම් වූ පන්ති සම්බන්ධතාවන්ගේ විද්‍යානුකූල අධ්‍යයනයක් හැරදමන්නවුන්ට, ට්‍රොට්ස්කිවාදය සංශෝධනය කිරීම පිලිබඳ අවශ්‍යතාවය සහ ‘ජීවමාන සිද්ධීන්ගේ යථාර්ථයට ගැලපෙන පරිදි’ මූලධර්මාත්මක ආස්ථානයක් අතහැර දැමීම උද්වේගකර අවශ්‍යතාවයක් බවට පත්වෙයි.

මූලධර්මයන් ආරක්ෂා කරන්නන් මොවුන් විසින් සිරිත් පරිදි “අතිවාම හෝ කට්ටිවාදී” යයි හෙලා දකිනු ලැබේ. පැබ්ලෝවාදයට විරුද්ධ අරගලයේ එක්එක් අවස්ථාවකදී මෙම “නව යථාර්ථය” වනාහි අධිරාජ්‍යවාදයේ රැවටිලිකාරී ස්ථාවරත්වයට ද කම්කරු ව්‍යාපාරය තුල හා ජාතික විමුක්ති අරගල තුල තාවකාලික ආධිපත්‍යය දරන්නා වූ දේශපාලන බලවේගයන්ට ද අවිවේචනාත්මකව අනුගතවීමකට වැඩි දෙයක් නොවන බව පෙන්නුම් කරන ලදී.

3. 1961 සහ 1964 අතර සෝෂලිස්ට් ලේබර් ලීගය සමාජවාදී කම්කරු පක්ෂයට එරෙහිව ගෙන ගියා වූ අරගලය පැබ්ලෝවාදයට එරෙහි අරගලයේදී ප්‍රස්තුත වූ සියලුම ආමූලක දේශපාලන හා න්‍යායික ගැටලු ඉස්මත්තට ගෙන ආවේ ය. ඒවා නම්: ධනවාදයේ මිනීවල හාරන්නා ලෙස ද නව සමාජය තනන්නා ලෙස ද කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප්‍රතික්ෂේප කිරීම; කම්කරු පන්තියේ ඒකාධිපතිත්වය ප්‍රතික්ෂේප කිරීම, ස්වාභාවිකත්වයට එරෙහි අරගලය ද මාක්ස්වාදී න්‍යාය සඳහා දැනුවත් අරගලයක අවශ්‍යතාවය ද ප්‍රතික්ෂේප කිරීම; හතරවෙනි ජාත්‍යන්තරයේ ඓතිහාසික කාර්යභාරය ප්‍රතික්ෂේප කිරීම යන ආස්ථානයන් ය. සමාජවාදී කම්කරු පක්ෂයට ලියූ සිය ප්‍රථම ලිපියේදීම සෝෂලිස්ට් ලේබර් ලීගය පහත සඳහන් අනතුරු හැඟවීම කලේය.

“විප්ලවවාදී ව්‍යාපාරයට මුහුන දීමට සිදුවී තිබෙන්නා වූ ඉමහත්ම අන්තරාය නම්, අධිරාජ්‍යවාදයේ හෝ කම්කරු ව්‍යාපාරය තුල නිලධාරි තන්ත්‍රයෙන් හෝ මේ දෙකේම ශක්තිය ඉදි්රියේ යටත් වීමක් තුලින් ගලා එන දිය කර හැරීම් වාදයයි. අද, 1953 ටත් වඩා පැහැදිලිව පැබ්ලෝවාදය නියෝජනය කරන්නේ ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරය තුල දියකර හැරීමේ ප්‍රවනතාවය යි. පැබ්ලෝවාදයේ දී දියුනු කම්කරු පන්තිය තව දුරටත් ඉතිහාසයේ පෙරටු බල ඇනිය නොවේ, අධිරාජ්‍යවාදී යුගයේ සියලු මාක්ස්වාදී න්‍යායේ ද මූලෝපායේ ද කේන්ද්‍රය නොවේ, ‘ලෝක ඓතිහාසික සාධකයන්ගේ’ කෙලිබඩුවකි, වියුක්ත ලෙස සමාලෝචනය කොට තක්සේරු කරනු ලබන්නකි... මෙහිදී විප්ලවවාදී ව්‍යාපාරයේ ඓතිහාසික වගකීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කෙරේ, සියල්ල දෘෂ්‍යමාන පෘථුල බලවේගයන්ට යටත් කරනු ලැබේ, සෝවියට් නිලධරයේ සහ යටත්විජිත විප්ලවයේ පන්ති බලවේගයන්ගේ කාර්යභාරය පිලිබඳ ගැටලු නොවිසඳා අත් හරිනු ලැබේ. මෙය ස්වාභාවික ය, මන්ද මෙම ගැටලුවලට යතුර දියුනු ධනපති රටවල කම්කරු පන්තියේ කාර්යභාරයත් ඒ රටවල කම්කරු ව්‍යාපාරයන්ගේ නායකත්වයේ අර්බුදයත් වන නිසා ය.

“කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයෙන් හා විප්ලවවාදී පක්ෂයන් ගොඩනැගීමෙන් බැහැරව කෙරෙන්නා වූ සෑම පලායාමක් ම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අතින් සිදුවන ලෝක ඓතිහාසික වැරැද්දක තත්වයට පත්වනු ඇත.” ( Trotskyism Versus Revisionism, සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය, තුන්වන වෙලුම, 48-49 පිටු.)

කස්ත්‍රෝ විසින් අධිරාජ්‍යවාදය භාජනය කරනු ලැබූ පරාජයන් උඩ ට්‍රොට්ස්කිවාදය සංශෝධනය කිරීමට සමාජවාදී කම්කරු පක්ෂය දැරූ ප්‍රයත්නයන්ට එරෙහිව සෝෂලිස්ට් ලේබර් ලීගය 1961 මැයි මාසයේ දී මෙසේ ලිවීය:

“මෙම යුගයේ විප්ලවවාදී මාක්ස්වාදයේ සාරභූතයක් නම් ඌන සංවර්ධිත රටවල ජාතික ධනපති පන්තිය අධිරාජ්‍යවාදය පරාජය කිරීමට අපෝසත් බවත් ස්වාධීන ජාතික රාජ්‍යයක් පිහිටුවීමට අසමත් බවත් ය. මෙම පන්තියට අධිරාජ්‍යවාදය සමග බැඳුම් ඇත, සත්තකින්ම ස්වාධීන ධනේශ්වර සංවර්ධනයක් අත් පත්කර ගැනීමට අසමත් ය. ජාතික විමුක්ති ව්‍යාපාර තුල දී කම්කරුවන්ගේ සංවිධාන ලෙනින්ගේ පහත සඳහන් පාඨ අනුගමනය කල යුතුය: විදේශීය අධිරාජ්‍යවාදීන්ට ද ඔවුන්ගේ ආසන්න සහකරුවන්ට එරෙහිව වෙන්ව ගමන් කරනු, එක්ව පහර දෙනු! මාක්ස් අනුව යමින් අපි මෙසේ කියමු. ධනපති හා සුලුධනපති පක්ෂ අපේ සතුරාට එරෙහිව පොදු පහරවල් එල්ල කරන තාක් දුරට ඒවාට සහයෝගය දෙනු, තමන්ගේ පැවැත්මේ හා පාලනයේ සාධක ස්ථායී කර ගැනීම සඳහා ඔවුන් උත්සාහ කරන සෑම ප්‍රශ්නයකදීම ඔවුන්ට විරුද්ධ වෙනු.... මෙබඳු ජාතිකවාදී පාලකයන්ගේ කාර්යභාරය හුවා දැක්වීම ට්‍රොට්ස්කිවාදීන්ගේ කර්තව්‍යය නොවේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ විශේෂයෙන්ම ස්ටැලින්වාදය විසින් කරනු ලබන පාවාදීම් නිසා පමනක්ම ඔව්හු ජනතාවගේ සහාය ලබාගැනීමට සමත් වෙති. මේ අන්දමින් ඔව්හු අධිරාජ්‍යයවාදය සහ කම්කරු ගොවි ජනකාය අතර ‘බෆර්’ බවට පත්වෙති. (එම, තුන්වන වෙලුම., 64-65 පිටු.)

4. 1982 දෙසැම්බර් 31 දින ජැක් බාන්ස් විසින් ලියනු ලැබ නිව් ඉන්ටර්නැෂනල් ප්‍රථම කලාපයේ පල කරන ලද කථාව ජාත්‍යන්තර කමිටුව විසින් ගෙනයනු ලැබූ අරගලයේ බලගතු ස්ථාපනයකි. භේදයෙන් අවුරුදු 20කට පසු සමාජවාදී කම්කරු පක්ෂය දැන් නිශ්චයවම ප්‍රකාශ කර සිටින්නේ තමන් නොනවතින විප්ලව න්‍යායත් 1938 සංක්‍රමනීය ක්‍රියාමාර්ගය තුල විස්තාරනය කරනු ලැබූ ආකාර හතර වෙනි ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගික අත්තිවාරමත් ප්‍රතික්ෂේප කරන බවය.

බාර්න්ස් ලියා තිබෙන දෙයට අප කිසියම් අවධාරනයක් දිය යුතු ය, මන්ද? පසුගිය ගිම්හානයේ වර්කර්ස් ලීගය විසින් නිකුත් කල ප්‍රකාශයේ එල්ලය වූ සංක්ෂිප්ත පිටපතට වඩා බෙහෙවින් පොහොසත් චිත්‍රයක් මුද්‍රනද්වාරයෙන් පිටකරනු ලැබූ ලියවිල්ල අපට ලබා දෙන හෙයිනි.

5. ස්ටැලින් විසින් බලය දුෂ් භාවිතයට ලක් කරනු ලැබීමට එරෙහි අරගලයේ දී ට්‍රොට්ස්කි විසින් ඉටු කරනු ලැබූ වැදගත් කාර්යභාරය ඔහු විසින් ප්‍රතික්ෂේප නොකෙරෙන අතර ලෝක විප්ලවය වර්ධනය වී යත්ම ට්‍රොට්ස්කිගේ ප්‍රදානයන් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ දේශපාලන අවි ගබඩාව තුල ඒවාට අයිති තැන දිනාගනු ඇතැයි යන්නට ඔහු ඉඩ තබයි. (83 වන පිටුව) එහෙත් මේ ප්‍රදානයන් ට්‍රොට්ස්කිගේ ‘නොනවතින විප්ලව න්‍යායේ’ වැරැද්දෙන් වෙන් කොට ගත යුතුය.

“මෙම පදය යෙදීම අපට ඉමහත්ම දේශපාලන ගැටලුවක් ඉස්මතු කරයි. මන්ද? එය ට්‍රොට්ස්කිගේ සාවද්‍ය 1917ට පෙර න්‍යාය සමග බැඳුනා වූ දුබලකම් අපේ ව්‍යාපාරය තුලට ගෙන එන හෙයිනි. මෙය අන් සියල්ලටමත් වඩා ග්‍රාමීය සූරාකන්නන්ට එරෙහිව, කෘෂිකාර්මික කම්කරුවන් හා දුප්පත් ගොවීන් සමග කම්කරු පන්තියේ සන්ධානය කෙරෙහි තනිකරම සංකේන්ද්‍රනය වෙයි; (එම සන්ධානය) නිසැකවම ග්‍රාමීය ප්‍රදේශවල කේන්ද්‍රීය කර්තව්‍යයක් වන නමුදු අධිරාජ්‍යවාදයට ද යටත් විජිත රටවල ඉඩම්හිමි ධනේශ්වර පාලකයන්ට ද එරෙහිව අරගලය තුල දී කම්කරු පන්තිය පලල්ම ග්‍රාමීය නිෂ්පාදක ස්ථරයන් සමග සන්ධානයකට එලඹීමේ කේන්ද්‍රීය බව වටහා ගැනීම අතහැර දැමීමකට මග පාදන්නේ ද වෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක පන්ති අරගලය, විශේෂයෙන් 1959න් පසු මෙම (බටහිර) අර්ධගෝලයේ පන්ති අරගලය විසින් අපට ඒත්තුගැන්වෙන කරුනක් නම් ට්‍රොට්ස්කිවාදීන් ලෙස අනන්‍යවන්නන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ මෙම දුබලකම් මත පදනම්වනතාක් දුරට වාම නැඹුරුවලට හා කට්ටිවාදී දේශපාලන වැරදිවලට දොර හැරෙන බවයි.

“කම්කරු පන්තිය හා එහි මිත්‍රයන් බලය ගැනීම කරාත් එම බලය ලෝක සමාජවාදී විප්ලවය සංවර්ධනය කිරීම සඳහා යෙදීම කරාත්, මෙහෙයවීමට අපට ද සෙසු විප්ලවවාදීන් ද සන්නද්ධ කර ලීම කෙරේ නොනවතින විප්ලවයෙන් ආධාරයක් නොලැබෙයි. විශේෂ හෝ ඒකමාත්‍ර ආශ්‍රයරාමුවක් ලෙස එය, මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රථම සම්මේලන හතර සමග අපේ අඛන්ඩතාවය යලි ගොඩනගාගැනීමට බාධාවකි. එය අපේ ව්‍යාපාරය තුල මාක්ස්වාදයේ ගුරුවරුන්ගේ කෘතීන් විශේෂයෙන්ම ලෙනින්ගේ කෘතීන් වෛෂයිකව කියවීමෙහි බාධාවක් බවට පත්ව තිබී ඇත.

“අද ලෝකය තුල කම්කරු පන්තික විප්ලවවාදීන් අතර සිදු වෙමින් පවත්නා දේශපාලන සමාගමයෙන් අපට උගතහැකි දේ අපි උගනිමු නම්, එම ක්‍රියාදාමය තුලට ට්‍රොට්ස්කිගේ දැවැන්ත දේශපාලන ප්‍රදානයන් එක් කරන්නෙමු නම්, අප විසින් නොනවතින විප්ලව න්‍යාය අතහැර දැමිය යුතුව ඇත.” (New International නිව් ඉන්ටර්නැෂනල් ,වෙලුම1, නො.1,. 12-13 පිටු)

බාන්ස් කියා සිටින්නේ ට්‍රොට්ස්කි කම්කරු පන්තිය සහ ගොවි ජනයාගේ සියලුම කොටස් ඒකාබද්ධ කරන්නා වූ අධිරාජ්‍ය විරෝධී අරගලය පිලිබඳ නිවැරදි අගය කිරීමක් නොකර කම්කරු පන්තියේ පන්ති අරගලය ඒකපාක්ෂිකව අවධාරනය කල බවයි. බාන්ස්ට අනුව, පශ්චාත් යුදකාලීන වර්ධනයන්, විශේෂයෙන්ම කස්ත්‍රෝගේ ජයග්‍රහනයේ පටන් 1959 සිට ඇරඹෙන සියලුම වර්ධන විසින් පහත සඳහන් දෙය ඔප්පු කල බවයි, එනම්: අරගල ආකෘතියක් ලෙස අධිරාජ්‍ය විරෝධී අරගලය විසින් ජනගහනයේ සියලුම කොටස් ඒකාබද්ධ කරන ලද පරිමාව ට්‍රොට්ස්කි ද හතරවෙනි ජාත්‍යන්තරය ද මෙබඳු ව්‍යාපාරයන් සමග සබඳතා පැවැත්වීමේ දී ගනන් ගනු ලැබූ ප්‍රමානයට වඩා බෙහෙවින්ම වැඩි බවත්; සියලුම අධිරාජ්‍ය විරෝධී බලවේගයන්ගේ එබඳු “සංගමයක්” පිලිබඳ හැකියාව, නොනවතින විප්ලව න්‍යාය විසින් කම්කරු පන්තියේ සහ පන්ති අරගලයේ ස්වාධීන කාර්යභාරය මත තබන ලද්දා වූ අවධාරනය නිසා සීමා කර දමනු ලැබූ බවත් ය.

6. අපි බාන්ස් කියන දේ තව දුරටත් පරීක්ෂා කර බලමු.

“ප්‍රජාතන්ත්‍ර, අධිරාජ්‍ය විරෝධී, කෘෂිකාර්මික විප්ලවය ද සමාජවාදී විප්ලවය ද පීඩිත ජාතීන් තුල ඒකාබද්ධව පවතින බව කොමින්ටර්නය අපට උගැන්වී ය. අධිරාජ්‍ය විරෝධී එක්සත් පෙරමුනු ගොඩනැගීම කරා ද ඒවායේ කම්කරු පන්තික නායකත්වය උදෙසා සටන් වැදීම කරා ද යොමු වූ මාවතක් එය විසින් සැලසුම් කරන ලදී. කොයි තරම් සීමිත වුව ද කුමන නායකත්වයක් යටතේ වුව ද අධිරාජ්‍යවාදයට එරෙහි සෑම සංයුක්ත අරගලයකටම ආධාර කරන්නා වූ කොමියුනිස්ට්වාදීන් විසින් කම්කරුවන් හා ගොවීන් මත පදනම් වූ විප්ලවීය ජාතික ව්‍යාපාරයන් ද පීඩිතයන්ගේ ජාතික විමුක්ති අරගලයට බාධාවක් වූ ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයන් ද අතර වෙනස දැක්ක යුතු යයි ද එය අපට උගැන්වී ය.” (33 පිටුව)

“ට්‍රොට්ස්කි ගැමි දුප්පතුන් සමග කම්කරු පන්ති සන්ධානය, සමස්තයක් වශයෙන් ගොවි ජනයා සමග කම්කරු පන්තියේ සන්ධානයට එරෙහිව පිහිටුවී ය. අනෙක් අතට ලෙනින් කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍ර විප්ලවය මෙහෙයවිය හැකි කරන්නා වූ ද එතැනින් සූරා කන්නන් අස්වාමික කිරීම කරා ඉදිරියට යාමට පහසුම වූ ආස්ථානයක පිහිටීම හැකි කරන්නා වූ ද මාවතක් දිගේ ඉදිරියට ගමන් කිරීම කරා යොමු විය. ට්‍රොට්ස්කිට අසමානව ලෙනින් ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ සිට සමාජවාදී විප්ලවය කරා සංක්‍රමනය සඳහා වූ මූලෝපායක් ඉදිරිපත් කලේ ය. මෙම මූලෝපාය මෙම යෝධ දේශපාලන, සමාජ සහ ආර්ථික පරිවර්තනයේ එක් එක් අවධියකදී වෙනස් වන්නා වූ පන්ති සන්ධානයන් සංයුක්තව වටහා ගැනීමක් මත පදනම් විය.” (44 පිටුව)

7. කම්කරු පන්තියේ ඒකාධිපතිත්වයට පෙරාතු හා එයින් වෙන් වූ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුව යයි ඔහු විසින් නම් කරන ලද පැහැදිලි සංක්‍රමනීය අවධියක් ලෙස බාන්ස් ප්‍රජාතන්ත්‍ර විප්ලවය මත මෙම ඉමහත් අවධාරනය තැබීමේ දී, ඔහුගේ ප්‍රතිවිප්ලවවාදී පිලිවෙත පරම වශයෙන්ම හඳුනාගත හැකි වේ.

මෙහි දී අදාලව ඇත්තේ බාන්ස් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කිසියම් න්‍යායික සුරුවමකට අභියෝග කරන්නේ ය යන කරුන නොවේ. මෙහි ඉතා නිශ්චිත දේශපාලන අනුෂංගික ඇත. සාරභූත වශයෙන් බාන්ස් ඉටු කරන දෙය නම් ප්‍රජාතන්ත්‍ර විප්ලවය ජයග්‍රහනය කරන්නා වූ උපකරනය ලෙස කම්කරු පන්තියේ ඒකාධිපතිත්වය ප්‍රතික්ෂේප කිරීමය.

ඔහු ගොවි ජනතාවගේ පන්ති ස්වභාවය ප්‍රතික්ෂේප කරයි. (මෙය ලෙනින්ගේ උගැන්වීම් ආමූලික ලෙස ම ප්‍රතික්ෂේප කර දැමීමකි; ඊලඟ පියවර වන්නේ 1917ට පෙර ප්‍රජාතන්ත්‍ර ඒකාධිපතිත්වය පිලිබඳ සංකල්ප ප්‍රතිගාමී ග්‍රාම්‍යකරනයකට ගොදුරු කිරීම ය.) ඔහු ‘අධිරාජ්‍ය විරෝධී’ ව්‍යාපාරය තුල සියලු පන්ති වෙනස්කම් නොතකා හරී, නැතහොත් ඒවා සාපේක්ෂක වශයෙන් නොවැදගත් යයි කියා සිටී.

කම්කරු පන්තියේ ඒකාධිපතිත්වය කල් තබා නොපිහිටුවා සිදු කරන්නා වූ විප්ලවයේ ප්‍රජාතන්ත්‍ර අවධියේ සිට සමාජවාදී අවධියට වන සංක්‍රමනය සාමකාමී විය හැකි යැයි ද ක්‍රමානුකූල විය හැක්කකැයි ද ඔහු අනුෂංග කරයි. එහෙත් එක් පන්තියක සිට තවත් පන්තියක පාලනය කරා සාමකාමී ‘වැඩී යාමක්’ තිබිය නොහැකි ය.

ලෙනින්ගේ ප්‍රජාතන්ත්‍ර ඒකාධිපතිත්වය පිලිබඳ 1917ට පෙර න්‍යායේ ට්‍රොට්ස්කි දුටු පාදක වැරැද්ද මෙයයි. යුගයේ ස්වභාවය පිලිබඳ විග්‍රහයක් මත පදනම්වූ ට්‍රොට්ස්කි ගොවිජන විප්ලවයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍ර කර්තව්‍යයන් වර්ධනය විය හැක්කේ කම්කරු පන්ති විප්ලවය මගින් හා එහි නායකත්වය යටතේ පමනක් යයි පෙර දැක්කේ ය.

ට්‍රොට්ස්කි පිලිබඳ සිය විවේචනයේ දී බාර්න්ස් විසින් මේ සියල්ල පිලිකෙව් කෙරේ.

“1928 ස්ටැලින්ගේ දක්ෂිනාංශික වැරදිවලට එරෙහිව සටන් කිරීමේ දී, ට්‍රොට්ස්කි යම් වාම වැරදි සමූහයක් කා වැද්දී ය. රුසියාව සම්බන්ධව බෝල්ශෙවික්වරුන්ගේ 1917ට පෙර මූලෝපායට කෙලින්ම අභියෝග නොකරන අතරම ඔහු තමාගේ ම 1917ට පෙර පැවති ආස්ථානය යලි පන ගැන්වීය. ඔහු මෙහිදී ප්‍රජාතන්ත්‍ර විප්ලවය තුල සමස්ත ගොවි ජනතාව සමග සන්ධානයක් ඇති කිරීම ප්‍රතික්ෂේප කලේ ය. මීලඟට ඔහු මෙය චීනයට ද ආනුෂංගික වශයෙන් යටත් විජිත ලෝකයේ අනෙකුත් රටවලට ද යෙදීය. 1928 ට්‍රොට්ස්කිගේ ලියවිල්ලට සංක්‍රමනීය පාලන තන්ත්‍රයක් හෝ කාලපරිච්ඡේදයක් පිලිබඳ සංකල්පයක් තිබුනේ නැත. චීනුන්ට අත්දැකීම් ලැබ තමන්ගේ අතිශය ස්ථිරසාර වූ මිත්‍රයන් වන කෘෂිකාර්මික වැටුප් ශ්‍රමිකයන් හා දුප්පත් ගොවියන්, සූරා කන්නන් අස්වාමික කිරීමේ දී ද රාජ්‍ය දේපල හා සැලසුම් කිරීම පිලිබඳ නව සබඳතා පිහිටුවීමේ දී ද මෙහෙයවා ගැනීම සඳහා මූලෝපායක් ලබා දුන්නේ නැත. (53 පිටුව)

8. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය පිලිබඳ සිය විවේචනයෙන් ඔහු උකහා ගන්නා නිගමනයන් බාන්ස් විසින් අවසානයේ දී මෙසේ සාරාංශ කරනු ලැබේ.

“අපේ යුගයේ දී සාර්ථක ප්‍රතිධනේශ්වර විප්ලවයක් තුලින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පැන නගින බව ඉතිහාසය විසින් පෙන්නුම් කරනු ලැබ ඇත. එය වනාහී ධනේශ්වර පන්තියට එරෙහිව පැන නගින්නාවූ ජයග්‍රාහී නැගිටීමකින් පසු පහල වන ප්‍රථම ආන්ඩු ආකෘතියයි. එබඳු ආන්ඩුවක් බලය ධනේශ්වරයින් අතට ආපසු නොදෙනු ඇත. ඒ වෙනුවට ඔවුන්ගෙන් බලය උදුරා ගෙන කම්කරුවන් හා ගොවීන් බලමුලු ගැන්වීම ගැඹුරු කිරීමට ද සූරාකන්නන් අස්වාමික කිරීමට ද එම බලය පාවිච්චි කරනු ඇත.

“එහෙත් මෙය ක්‍රියාදාමයකි. යටත් විජිත හා අර්ධ යටත්විජිත රටවල නව විප්ලවවාදී ආන්ඩුවේ ආරම්භක කර්තව්‍යය වන්නේ ප්‍රාථමික වශයෙන්ම ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ කර්තව්‍යයන් ය. එනම් ජාතික විමුක්තිය, කෘෂිකාර්මික ප්‍රතිසංස්කරන කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ තත්වය වර්ධනය කොට අයිතිවාසිකම් ප්‍රසාරනය කිරීමට අවශ්‍ය පියවරයන් ය....මේ තීරනාත්මකව වැදගත් සංක්‍රමනීය අවධිය මෙන් ම පන්ති අරගලයේ ද සංක්‍රමනීය අවස්ථාවේදී කම්කරු පන්තිය සිය මිතුරන්ට නායකත්වය දීමේ පොහොසත් සංයුක්ත බව, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුව ප්‍රතික්ෂේප කරන කල අමතක කර දමනු ලැබේ.

අපට තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුව මිස [කම්කරු පන්තියේ ඒකාධිපතිත්වය නොවේ-DN].” (79 පිටුව)

9. බාන්ස්ගේ ආස්ථානය සැබැවින්ම මුල් වතාවට සිදුවන දෙයක් නොවේ; එය යුක්ති සහගත කිරීමට ධනේශ්වර ජාතිකවාදී පාලනයන් සමග සිය ප්‍රතිපත්ති විරහිත සන්ධානයන් “ධනවාදී නොවන මාවත” යන සටන්පාඨය යටතේ නිලධරය දැන් ඉදිරිපත් කරන්නා වූ ස්ටැලින්වාදය පිලිබඳ පැරනි සංකල්පයන් මත එය පදනම් වී ඇත. ස්ටැලින්වාදියෝ බෙහෙවින්ම විවෘතයහ; “ඌන සංවර්ධිත රටවලට ප්‍රජාතන්ත්‍ර විප්ලවය අවසන් කොට කම්කරු පන්ති ඒකාධිපතිත්වයෙන් තොරව සමාජවාදී නිර්මානය පිලිබඳ කර්තව්‍යයන් කරා පියවර ගැනීම සඳහා ‘ධනේශ්වර නොවන මාර්ගයක්’ තිබේ.

“කොමියුනිස්ට්වරුන්ගේ උපාය හා මූලෝපාය නොවරදවාම ජාතික-විප්ලවවාදීන් හා විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදීන් සමග සහයෝගී විය යුතුය; මෙය වනාහී ධනවාදය, ආදිකාලීන පසුගාමිත්වයට එරෙහි පිලියමක් යයි නොසිතන්නා වූ සියලු අධිරාජ්‍ය විරෝධී බලවේගයන්ගේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කොන්දේසියකි. මෙම තත්වයන් යටතේ ධනවාදී නොවන්නා වූ මාවතකට සංක්‍රමනය වීම ඉල්ලුම් කරන සටන් පාඨය වනාහී සැබැවින්ම ස්ථිරසාර ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් බලයට පත් කරන වාමාංශික පන්ති නැම්මක් වෙයි. ‘සමාජවාදය දෙසට පියවර’ නොගෙන තම කර්තව්‍යයන් ඉටු කිරීමට ඔවුන් අසමත් වනු ඇත. එහෙත් ඔවුන් මෙම පියවරයන් ගැනීමට සමත් වනු ඇත්තේ ‘වාමාංශික පෙරමුනු’ උපායයන් යටතේ ය. භාවිතයේ දී, මෙය බොහෝ විට එලඹෙන්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රය මත ජනතා බලපෑම සංවිධානය කොට එමගින් සිය ප්‍රගතිශීලී හැකියාවන් දිනා ගැනීමට ආධාර කිරීමක් කරාය. ඒ සමගම විප්ලවීය-ප්‍රජාතන්ත්‍ර වූ හෝ එම මට්ටමට නැගිය හැකි වූ ස්ථිරසාරම කොටසට ඉටු කර දිය හැකි වූ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙනි...“මේ නිසා ධනවාදී නොවන මාවත ගැනීම අවස්ථා තුලින් සිදුවන ක්‍රියාදාමයක් වන අතර, අන් සියලු දෙනාටම වඩා මේ ගැන උනන්දු වන කොමියුනිස්ට්වාදීන්ට මෙබඳු මාරුවක් තනි කැමැත්තට ඉටු කල නොහැකි ය.... පහත සඳහන් දෙය සිත තබා ගැනීම අවශ්‍යය. ධනවාදී නොවන මාවත පිලිගැනීම ඉල්ලා සිටින සටන් පාඨය වර්ධනය කිරීම, එය මගින් සමාජවාදී විප්ලවයක් ඉල්ලා සිටින බවවත්, මහජන ප්‍රජාතන්ත්‍රයක් පිහිටුවීම ඉල්ලා සිටින බවවත්, කොමියුනිස්ට්වාදීන් විසින් බලය සියතට ගත යුතුය යන බවවත් කිසිසේත් අදහස් නොකරයි. එසේ වන්නේ, ප්‍රජාතන්ත්‍ර විප්ලවයක් පිලිබඳ ප්‍රශ්න විසඳිය හැක්කේ කම්කරු පන්තිය බලය පිහිටුවීමෙන් පමනක් බව ස්ථාපිත කිරීම ඉන් සිදුවන බැවනි. ධනවාදී නොවන මාවත පිලිගන්නා ලෙස ඉල්ලන සටන්පාඨය ඉදිරිපත් කිරීම මගින් කොමියුනිස්ට්වාදීන්ට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වූ ද අධිරාජ්‍ය විරෝධී වූ ද සංක්‍රමනයන් ගැඹුරු කිරීමට ද ඒ සමගම ඔවුන් සමාජවාදයට දිශාවනත කිරීමට ද වේ.” (උල්යානොව්ස්කි, ජාතික විමුක්තිය, ප්‍රෝග්‍රෙස් 51-53 පිටු අවධාරනය එකතු කරන ලදී.)

10. සංශෝධනවාදයේ විකාශනය මගින් 1972 පැවැත්වුනු ජාත්‍යන්තර කමිටුවේ සිවුවන ලෝක සම්මේලනයේ දී ඉදිරිපත් කරනු ලැබූ ඉදිරිදර්ශන සාකච්ඡාව විසින් කරන ලද තක්සේරුව මුලුමනින්ම තහවුරු කරයි.

“යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල් තුල සංශෝධනවාදය ස්ටැලින්වාදයට හා ජාතිකවාදී නායකයන්ට ජනතාවගේ ජාතික විප්ලවවාදී නායකයන් ලෙස කෙලින්ම ආධාර විය. ලෙනින්ගේ ආස්ථානයේ ද නොනවතින විප්ලවයේ න්‍යායේ ද පහත දැක්වෙන් සාරය ඔවුන් විසින් මුලුමනින් ප්‍රතික්ෂේප කරන ලදී. ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ කර්තව්‍යය විසඳීමට සමත් වූ එකම බලවේගය ලෙස ද ඉන් ඔබ්බට ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස කම්කරු බලය කරා ගමන් කිරීමට ද සමත් එකම බලය ලෙස ද කම්කරු පන්තිය පීඩිත ගොවි ජනතාවගේ නායකත්වයෙහි පිහිටුවා මෙහෙයවන ස්වාධීන විප්ලවවාදී කම්කරු පක්ෂ ගොඩනැගීම.” (සංශෝධනවාදයට එරෙහි ට්‍රොට්ස්කිවාදය, 1වෙලුම 32 පිටුව)

11. බාර්න්ස්ගේ ආස්ථානයේ බංකොලොත් බව: “කම්කරු ගොවි ආන්ඩුවල” උදාහරන හැටියට ද ‘කොමියුනිස්ට්’ වරුන්ගේ නව පෙල ගැසීම ඉස්මතුවන බලවේගයන් හැටියට ද උදාහරන ලෙස ඔහු දක්වන ‘ආදර්ශ’ නම් නිව් ජුවෙල් ව්‍යාපාරය, සන්දිනිස්තා ව්‍යාපාරය, පරබුන්දෝ මාර්ටි ව්‍යාපාරය සහ කස්ත්‍රෝවාදයයි. මේ එක් එක් උදාහරනයකදී ලෝක අධිරාජ්‍යවාදී අර්බුදයේ වර්ධනය විනාශකාරී බලපෑමක් ඇති කොට තිබේ. මෙය බාන්ස්ගේ ආස්ථානයන් විසින් මග පාදනු ලබන පාවා දීම් එලි කර දෙයි.

කෙසේ වෙතත්, අපේ ආස්ථානය එක් රටක බලවේගයන්ගේ පිහිටීම උඩ පදනම් වී නැත. සන්නද්ධ බලවේගයන්ගේ ජයග්‍රහනයන්ට ක්ෂනික තත්වයන් ආධාරකාරී ද යන්න -අපේ ආස්ථානය පදනම් වී ඇත්තේ ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයන් මතය. නායකත්වයේ අර්බුදය විසඳීමට අප ආරම්භ කරන පදනම මෙයයි. ක්ෂනිකව ප්‍රමුඛත්වය ගත්තා වූ ජාතික ව්‍යාපාරය තුල ඇති ප්‍රවනතාවයන්ට අපි කිසි විටෙකත් අපව ම අනුගත කර නොගන්නේ මේ පදනම උඩය.

යටත් විජිත රටක රූකඩ පාලනයක් පෙරලා දැමීම ම පමනක් ඒ හැටියටම ප්‍රශ්නය නොවිසඳන බව අප විසින් අමතක කල යුතු නැත. ලෙනින් හා ට්‍රොට්ස්කි පෙන්නුම් කල පරිදි එබඳු රටවල සාර්ථක විප්ලවයෙන් පසු බලය අල්ලා ගැනීමට වඩා අතිමහත් ප්‍රශ්න පැන නගී. මෙය සහතිකෙන්ම නිකරගුවාවේ හා කියුබාවේ ද සිම්බාබ්වේ හා මොසැම්බික්, ඇන්ගෝලා, කෙන්යා, හා නයිජීරියා යන රටවල ද පෙන්නුම් කර තිබේ.

12. ජාත්‍යන්තර කමිටුවේ වර්ධනය සිදුවී ඇත්තේ සංශෝධනවාදයට එරෙහි අරගලය මගිනි. 1970 ගනන්වල පල කරන ලද වෙලුම් හතේ වාර්තාගත කර ඇති අරගලය අපේ කේඩරය පුහුනු කිරීමේ න්‍යායික පදනම වන්නේ 1920 ගනන්වල ට්‍රොට්ස්කිගේ ලේඛන 4වෙනි ජාත්‍යන්තරයේ මුල් බලවේගයන් අධ්‍යාපනය කිරීමේ පදනම බවට පත්වූ ආකාරයට ම ය.

බාන්ස් විසින් ට්‍රොට්ස්කිවාදයට එල්ල කර ඇති අලුත්ම ප්‍රහාරය විසින් මෙම මුලු ඉතිහාසයම ඉදිරියට ගතයුතු කොට ඇත; එය එසේ වන්නේ ජාත්‍යන්තර කමිටුව සෑම විටම තේරුම්ගෙන ඇති පරිද්දෙන් සංශෝධනවාදී කන්ඩායම් අතර ඇතිවන්නාවූ මෙබඳු තීරනාත්මක වර්ධනයන් ලෝක සමාජවාදී විප්ලවයේ නව මහා පරිච්ඡේදයන්ගේ එලඹීම අනිවාර්යයෙන්ම කල්තබා සලකුනු කරන නිසාය.

එපමනක් නොව, අප සංශෝධනවාදය දකින්නේ පරීක්ෂන නලයක් තුල ආරක්ෂිතව තබා ඇති කිසියම් බැක්ටීරියාවක් දෙස බලන අන්දමින් සරලාකාරව නොවේ. අපේ ව්‍යාපාරයම කොටසක් හැටියට පවතින්නා වූ පන්ති අරගලය තුල සංශෝධනවාදයේ මූලයන් පවතින නිසාම ද, ය. කම්කරු පන්තිය හා එහි පෙරටු බලඇනි මත සතුරු පන්ති බලවේගයන්ගේ පීඩනය පෙන්නුම් කරන හෙයින් ද සංශෝධනවාදයට අප දක්වන ප්‍රතිචාරයේ ඉහලම ප්‍රකාශනය වන්නේ අපේම දේශපාලන වර්ධනය විග්‍රහ කිරීමයි.

මයිකල් බන්ඩා

13. පසුගිය දශකය තුල ජාත්‍යන්තර කමිටුවේ සම්පූර්න වර්ධනය පරීක්ෂා කිරීමට කාලය එලඹ ඇතැයි අපට හැඟෙන්නේ මේ කාරනය නිසා ය. පැබ්ලෝගෙන් ප්‍රථමයෙන්ම වෙන් වීමෙන් පසුව අවුරුදු 20ක් තිස්සේ දෘඪව සටන්කලාවූ ආස්ථානයන්ගෙන් අප නිරන්තරවම ඉවතට තල්ලු වී ගොස් ඇතැයි යන අදහස අපි දැඩි සේ දරන්නෙමු.

1984 ජනවාරි 23වන දින බන්ඩා සහෝදරයාට යැවූ ලිපියක ජාතික විමුක්ති ව්‍යාපාරයන් සම්බන්ධව ජාත්‍යන්තර කමිටුමේ මුලුමහත් අත්දැකීමේම ශේෂ පත්‍රයක් සකස් කිරීමට කාලය එලඹ තිබේ යැයි මම යෝජනා කලෙමි. මා එබඳු ශේෂ පත්‍රයක් අවශ්‍යයැයි හඟින්නේ ලෝක පක්ෂයක් ලෙස අප විසින් සම්බන්ධතා ඇති කරගෙන ඇත්තා වූ ජාතික ධනේශ්වර පාලනයන්ද, විමුක්ති ව්‍යාපාරයන්ද පිලිබඳ අපේ කිසිදු වෛෂයික පරීක්ෂනයක් කෙරී නැති හෙයිනි.

මෙම වාර්තාව ජාත්‍යන්තර කමිටුවේ අඛන්ඩතා ආරක්ෂා කිරීම සඳහා ද එක්එක් ශාඛාවල කේඩර් පුහුනු කිරීම සඳහා ද විවේචනයට ලක් කිරීමට අත්‍යවශ්‍ය යයි අපි හඟිමු. අප මෙහි සිටින්නේ දොස් පැවරීමට නොවේ. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස වර්ධනය සඳහා වැඩ කිරීමට ය.

14.1976 ගිම්හානයේ දී ජාත්‍යන්තර කමිටුව ජාතික විමුක්ති ව්‍යාපාරයක් සමග විශේෂයෙන්ම පීඑල්ඕ සංවිධානය සමග වඩාත් ක්‍රියාශීලී සබඳතාවක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කලේය. ඒ අවස්ථාවේ දී එබඳු වැඩ කටයුතු තුල ආවේනිකව පවතින අන්තරායයන් ද අවධාරනය කරන ලදි -එබඳු ව්‍යාපාර විවිධාකාර කොටස්වලින් සමන්විත වේ, ඒ තුල අධිරාජ්‍යවාදීහු ද ස්ටැලින්වාදීහු ද ක්‍රියාශීලීව වැඩ කරති. මෙම ප්‍රවිෂ්ටය නිවැරදි හා ප්‍රතිපත්තික විය.

1977 මැයි මස පවත්වන ලද ජාත්‍යන්තර කමිටුවේ හත්වන සම්මේලනයේදී තව දුරටත් සාකච්ඡා කිරීමේ දී එම සාකච්ඡාව, ඒ වන විට අලුතින් ප්‍රසිද්ධ කර තිබුනු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවන සම්මේලනයේ කෙටුම්පත් නිර්දේශයන් විසින් හැඩගස්වන ලදී. කොන්ග්‍රසයෙන් පසු ජාත්‍යන්තර කමිටුව ලෙබනනයට නියෝජිත මන්ඩලයක් යැවීය. 1977 ජූලි මාසයේ දී කවිපය ලිබියානු ජමාහිරියාව සමග සන්ධානයක් අත්සන් කලේ ය; මීලඟට ඉරාකයේ අරාබි බාත් සමාජවාදී පක්ෂය සමග සම්බන්ධතා වර්ධනය කරන ලදී.

1978 මැද භාගය වන විට ජාතිකවාදී පාලන තන්ත්‍රයන් දෙසටත් විමුක්ති ව්‍යාපාරයන් දෙසටත් පොදු අවනතියක් වර්ධනය වෙමින් පැවති බවත් එය හා සමග යන පරිදි කම්කරු පන්තිය තුල අපේම බලවේගයන් ගොඩනගා ගැනීමේ ඉදිරිදර්ශනයන් නොපැවැති බවත් පැහැදිලිය.

මෙම ධනේශ්වර ජාතිකවාදීන් ‘අධිරාජ්‍ය විරෝධී’ නායකයන් යයි ඔවුන්ට දේශපාලන සහාය දියයුතු යයි පාක්ෂිකයන්ට ද කම්කරු පන්තියට ද අනවන්නා වූ මුලුමනින්ම සාවද්‍ය හා අවිවේචනාත්මක ඇගයීමක් අපගේ පුවත්පත් තුල වඩවඩාත් විවෘතව ඉස්මතු වීමට පටන්ගති.

15. ඉරාක සද්දාම් හුසේන්ගේ පාලනය එරට කොමියුනිස්ට් පාක්ෂිකයන් 21 දෙනෙකු මරන දඬුවමට පත් කිරීම ද ඇතුලුව, එම පක්ෂයට එරෙහිව ගෙනයන අරගලයට දේශපාලන සහයෝගය දුන් අපි එන්න එන්නම වැඩිවන්නාවූ අවිවේචනාත්මක ආකල්පයක් එම පාලනය කෙරෙහි ගත්තෙමු.

“සත්‍යය නම් ඉරාක කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් මරනයට පත් කරනු ලැබුවේ ඉරාක කොමියුනිස්ට් පක්ෂය සාකච්ඡා කොට, අනුමත කොට ක්‍රියාත්මක කිරීමට එකඟ වූ යුදමය නීතිරීති අනුව බවය. අද දක්වාත් ඉරාක කොමියුනිස්ට් පක්ෂය එරට හමුදා තුල රහස් කන්ඩායම් ගොඩනැගීම තහනම් කරන යුද නීති ඉවත් කරන ලෙස ඉල්ලා නැත. සිරභාරයට ගනු ලැබූ නිලධාරීන්ට විරුද්ධව ඉදිරිපත් කරනු ලැබූ චෝදනා වලට ඔවුන් වැරදි කරුවන් ය. යන කරුනට එම පක්ෂය අද දක්වාත් අභියෝග කොට නැත.

“මේ වනාහි ඉරාක පාලනයට යටින් වල කැපීම සඳහා මොස්කව් (පාලනය) ඉරාක සන්නද්ධ හමුදා තුල ඒකකයක් ගොඩනැගීමට යත්න දැරීමේ සෘජු උදාහරනයකි. ඒනිසා වගකීම් භාර ගත යුත්තේ එය (මොස්කව්-)ය--- ස්ටැලින්වාදී වේවා සමාජ ප්‍රජාතන්තත්‍රවාදී වේවා සංශෝධනවාදී වේවා, මේ කුමන වර්ගයක වුව ද කම්කරුවන් ධනේශ්වර රාජ්‍යයේ ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම ට්‍රොට්ස්කිවාදීන් වන අපේ මූලධර්මයකි. සත්‍ය කරුනු වලින් පෙනෙන මෙය හා ඉරාකයේ සිද්ධීන් අතර මොනයම් සම්බන්ධයක් හෝ නැත. (News Line නිව්ස් ලියින්, 1979 මාර්තු8)

මෙම ආස්ථානයට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල මොනම පූර්වාදර්ශයක් හෝ නොතිබුන නමුත් ඒ කිසිත් කවරදාකවත් නිවැරදි කර නොගන්නා ලදි. අඩුවෙන් දියුනුවූ රටවල වෘත්තීය සමිති පිලිබඳව ට්‍රොට්ස්කි ලියා තිබූ දෙය අප විසින් සරලවම අමතක කර දමනු ලැබ තිබුනි.- හුසේන්ගේ විවේචනයට ලක්ව තිබුනේ මෙම සංවිධානවල නායකයින් ය.

හුසේන් කෙරේ අපේ ප්‍රශංසාව නොඅඩුව පැවතුනි. 1980 මේ ගිම්හානයේ කොටස් 6කින් යුතු ලිපි මාලාව කින් අපි බාත් සමාජවාදී පක්ෂයත් සදාම් හුසේන් වත් නිර්ලෝබී ප්‍රශංසාවකට භාජනය කලෙමු. මෙම ලිපි කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නොකරන ලද අතර කුඩා පොත් පිංචක් ලෙස නිශ්පාදනය කරන ලදී.

මෙම ලිපි එලිදුටුවේ ඉරාකය ඉරානය ආක්‍රමනය කිරීමේ අද්දරදී ය. මෙම වර්ධනයට අප දැක්වූ ප්‍රතික්‍රියාව සලකුනු කර ගැනීම වටී. ඉරාකීන් සමග අපේ සම්බන්ධතාවය කෙතරම් ප්‍රකට වුයේද යත් අපේම ප්‍රකාශයෝ අපේ ආස්ථානය තුල පැවති දෙගිඩියාව පිලිබිඹු කලහ. අප නිවැරදිව යුද්ධය හෙලා දුටු නමුත්, ඉරාකය ක්‍රියා කරන්නේ අධිරාජ්‍යවාදය වෙනුවෙන් යන්න උඩ අපි ඉරාකය හෙලානුදුටුවෙමු. එසේ කරනු තබා කවිප දේශපාලන කමිටුව මෙසේ ප්‍රකාශ කලේ ය.

“අපි අරාබි බාත් සමාජවාදී පක්ෂය ද ඉරාන විප්ලවය ද ඇතුලු ජාතික විප්ලවවාදී ව්‍යාපාරයන් අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙනයන අරගලයේ දී ඒවාට මුලුමනින්ම සහාය දෙමු” (1982 සැප්තැප්තැම්බර් 22 News Lineනිවුස්ලයින් පත්‍රය)

16. දිගින්දිගටම යුද්ධයට විරුද්ධ වූයෙමු ගැටුම් නතර කිරීමට ඉල්ලා සිටියෙමු. මීලඟට ඉරාකය තුලට කඩා වැදුනු ඉරාන ප්‍රහාරයට පසුව 1982 ජූලි 16 දා නිව්ස්ලයින් පත්‍රය මෙම ප්‍රකාශය අන්තර්ගත කතුවැකියක් පල කලේ ය.

“ඉරානයන් ඉරාකය ආක්‍රමනය කිරීම බීරූට්හි වටලනු ලැබ සිටින පලස්තීන විමුක්ති හා ලෙබනන සටන් කරුවන්ට ද ඉරාන විප්ලවයටද හතුරු කමක් වන අතර හෙලා දැකිය යුතු වේ.

17. 1985 දෙසැම්බර් වන විට අපි අපේ පිලිවෙත මුලුමනින් වෙනස් කරන තැනට පැමින සිටියෙමු. අපි කිසියම් බරපතල විග්‍රහයක් හෝ තේරුම් කිරීමකින් තොරව ඉරාකයට එරෙහි ඉරාන මිලිටරි ජයග්‍රහනයකට පක්ෂපාතී ආස්ථානයක් ගත්තෙමු. ඉරාකයට එක්සෝසෙට් මිසයිල විකිනීමට ප්‍රතිචාර දක්වමින් නිව්ස්ලයින් පත්‍රය මෙසේ ප්‍රකාශ කලේය.

“ඉරාකී පාලනය යුද්ධමය වශයෙන් පරාජය ද අධිරාජ්‍යවාදයේ අත්ගෙඩියක් ලෙස මුලුමනින්ම එලිදරව් කරනු ලැබ ද ඇත. එය ඉරාකී ජනතාව විසින් කල් නොයවාම පෙරලා දැමිය යුතුව ඇත. එය දිගින්දිගටම පැවතීම අධිරාජ්‍යවාදයට මිල්ටේරි පදනමක් ද සිය යුද සැලසුම් සඳහා අපදේශයක්ද ලබාදෙයි.”

18. මෙය, දිගින්දිගටම අපේ පිලිවෙත බවට පත්ව ඇත. එය වනාහී ඉස්ලාමීය සමූහාන්ඩුව කෙරේ අවිවේචනික ආකල්පයක් ද, අවුරුදු 5කට පෙර ජාත්‍යන්තර කමිටුව ඉරාන විප්ලවය පිලිබඳව එකම නිවැරදි විවේචනයට කෙලින්ම ප්‍රතිපක්ෂ වූ ආස්ථානයක් ද වෙයි. 1979 පෙබරවාරි 12 දින දරන ජාත්‍යන්තර කමිටු ප්‍රකාශය 1979 පෙබරවාරි 17 වන දින නිව්ස් ලයින් පත්‍රයේ පලවිය. එය පැහැදිලි හා නොපෑහෙන සුලු ප්‍රකාශයක් විය.

“සත්‍යය නම් ජනතාව චලනය කරනු ලැබුවේ පන්ති ප්‍රශ්නයන්ගෙන් මිස ආගමික ප්‍රශ්නයන්ගෙන් නොවන බවය.”

“කෙසේ වෙතත්, සංවිධිත විප්ලවවාදී නායකත්වයක් නැති තැන, තුඬේ පක්ෂයේ ස්ටැලින්වාදීන්ගේ බියසුලු පන්ති සහයෝගිතාවාදී ප්‍රතිපත්ති හේතු කොට ගෙන, අයතුල්ලා කොමෙයිනි ද, ෂියාවාදී ලබ්ධියේ සෙසු ආගමික නායකයෝ ද, විරුද්ධවාදී පක්ෂ මත ද සම්පූර්නයෙන් මෙන් දේශපාලන අධිකාරයක් ස්ථාපිත කර ගැනීමට සමත්ව සිටිති. “කොමෙයිනිගේ ප්‍රතිපත්ති බසාර් වෙලෙන්දන්ගේ ද ඉරාන දේශීය ධනේශ්වරයේ හා සුලු ධනේශ්වරයේ සෙසු කොටස්වල ද දෙගිඩියාව වැනෙන සුලු ස්වාභාවය පිලිබිඹු කරයි... ”

“එහෙත් ඔවුන් ඉරානයේ ධනේශ්වර රාජ්‍යයේ බලයට අභියෝග නොකරනවා පමනක් නොව එසේ කිරීමට අසමත් ද වෙති. ... ඉරානය සමාජවාදී විප්ලවය කරා ඉදිරියට යාමේ මූලෝපායට ස්ටැලින්වාදීන් ද සියලුම වර්ගවල මාධ්‍යමිකයින් ද විරුද්ධ වනු ඇත. ඔවුන් එසේ කරනවා ඇත්තේ එරට විප්ලවය සියල්ලටමත් ප්‍රථමයෙන් ධනේශ්වර විප්ලවයක් එනම්, වැඩවසම් හා අර්ධ වැඩවසම් පීඩනය භංග කර දැමීම සඳහා ද දේශීය ධනේශ්වර ක්‍රමය සහ ප්‍රජාතන්ත්‍රයේ ස්වාධීන වර්ධනයට ඉඩ සලසන්නා වූ ද විප්ලවයක්ය යන පදනම උඩය. ධනේශ්වරයෙන් ස්වාධීන වූ ද ඊට එරෙහි වූ ද ප්‍රතිපත්තික කම්කරු පන්තිය සඳහා යෝජනා කිරීම ‘කට්ටිවාදී’ යයි ඔවුන් කියනු ඇත.”

රුහුල්ලා කොමේනි

19. ඉරාන විප්ලවයේ වර්ධනය ගැන මේ හැර වෙනත් පන්ති විශ්ලේශනයක් නොකරන ලදී. අපේ පිලිවෙත සරලවම කොමෙයිනි ට කොන්දේසි විරහිත ලෙස සහාය දීමක් බවට පත්විය; මෙය මෙසේ කරන ලද්දේ ඉරාකය තුල සෑම වාමාංශික සංවිධානයක් ම වැඩිවැඩියෙන් පීඩනයට (මර්දනයට) ලක් කිරීම නොතකා ය.

මෙම විප්ලවය පිලිබඳ කිීම මාක්ස්වාදී විශ්ලේනයක් නැති තැන අපේ ජාත්‍යන්තර පුවත්පත් තුලට පැහැදිලිවම ට්‍රොට්ස්කිවාදී නොවූ ද සංශෝධනවාදී පිලිවෙතක් රිංගන්නට පටන් ගත්තේ ය. තුඬේ පක්ෂ නායකයින් සිරභාරයට ගෙන නඩු ඇසූ සමයේ ඉරානයට ගිය ගමනින් පසු සවාස් සහෝදරයා ලියූ ලිපි මේ අතර කැපී පෙනේ. මෙම ලිපි මාලාවේ ස්වභාවය ඔහු ලියූ පලමු ලිපියෙන් ම තීන්දු විය. එහි මාතෘකාව වූයේ “නැත්තන්ගේ පාලනය” යන්නයි. එහි මුලින්ම ඉදිරිපත් කරනු ලැබූ කරුනු අතර මෙය ද විය:

“බටහිර සිට, විශේෂයෙන් ම ග්‍රීසිය වැනි දශක ගනනාවක් තිස්සේ දක්ෂිනාංශික පොලිස් රාජ්‍යය සහ ඒකාධිපතිත්වය තුලින් ගමන් කර ඇති තැනැත්තෙකුට එක් දෙයක් කැපී පෙනෙයි: එනම් කොතැනක හෝ පොලිස් කාරයෙකු දකින්නට නැති කමය.”

මෙහිදී අප සිත්වලට තදින්ම වැදුනේ මීට සමානම යැයි කිවහැකි නිරීක්ෂනයක් නිකරගුවාවේ සිට ආපසු පැමිනි සමාජවාදී කම්කරු පක්ෂයේ මේරි ඇලිස් වෝටර්ස් විසින් කරනු ලැබ තිබීමයි.

“පලමුවෙන්ම ඔබට වැටහී යන කරුන නම් ඔබ පොලීසියට බිය නැති බවයි. හමුදාව, මිලිෂියාව, (සන්නද්ධ පුරවැසි කන්ඩායම) පොලීසිය, මොවුහු සෑම තැනකම සිටිති. එහෙත් ඔබට එය හොඳ දෙයක් සේ දැනේ, අනෙක් සෑම දෙනාටමත් එසේ ය; අනෙක් හැම දෙනාම පාහේ එසේ හඟිති. අවට රැස්කන සියගනන් සාමාන්‍ය වැඩ කරන ජනතාව මැද ‘මර්දනයේ බලවේගයෝ’ සිනාසෙමින්, මඳහස පාමින්, විහිලුකරමින් සිටිති.” (සමාජවාදීන් සඳහා අධ්‍යාපනය- 1980 දෙසැම්බර් පස්වන පිටුව)

පොලීසිය නැතිකම තුලින් පීඩනය ද නැතැයි උපකල්පනය කරන ලිපිය පහත සඳහන් ප්‍රකාශය කරයි:

“පාලන තන්ත්‍රයක දේශපාලන ස්ථාවරත්වය තක්සේරු කිරීම සඳහා මූලික නිර්නායකයක් ලෙස එයට ඇති මහජන සහායේ තරම අපි විසින් ගනන් ගනු ලැබේ නම්, නිසැකවම ටෙහෙරානයේ ඉස්ලාමීය පාලනය අතිශයින්ම ස්ථාවර යැයි සැලකිය යුතු ය. එහි අත්තිවාරම ජනතාව යි. ජනතාවද නායකත්වය ද, මෙසෙයින්ම කොමෙයිනි ද, අතර දැවැන්ත බැම්මක් ඇත්තේ ය, ඒවා විප්ලවයේදී වාත්තු කරනු ලැබූ ඒවාය.

“මෙහි ඇති ගැඹුරු බැමි වාත්තු කිරීමේ දී ජනතාව මත ඉස්ලාමීය දෘෂ්ටිවාදයේ බලපෑම මගින් ඉමහත් කාර්යභාරයක් ඉටු කරන ලද්දේ ය. මේ නිසා බටහිර අධිරාජ්‍යවාදී සහ ස්ටැලින්වාදී ප්‍රචාරය මෙයට දැඩි ලෙස විරුද්ධවීම පුදුමයක් නොවේ.”

20. මෙම ලිපිය ජාත්‍යන්තර කමිටුවට සුවිශේෂව වැදගත් ය. සෑම ශාඛාවක් තුල ම ඉතාම ආසන්න හා නිර්දය විශ්ලේෂයකට මෙම ලිපිය භාජන කල යුතුව ඇත. එපමනක් නොව, පලල් අත් අඩංගුවට ගැනීම් මැද්දේ රූපවාහිනියෙහිද පෙනී සිටිමින් සවාස් සහෝදරයා (ඉරානයට) ගිය ගමන ද කම්කරු පන්තියේ ඇස් ඉදිරියේ ජාත්‍යන්තර කමිටුව බරපතල ලෙස පාච්චල් කලේ ය.

මෙම ලිපි වල එලිදරව් කෙරී ඇත්තේ ජාත්‍යන්තර කමිටුව ද එහි නායකත්වය තුල සැබෑ පරාවනතිය පැහැදිලිවම පෙන්නුම් කරන විධික්‍රමයකි. අපට මෙහි දී දකින්නට ලැබී ඇත්තේ මාක්ස්වාදය වෙනුවට ආවේගවාදය පරිපූර්නව හා නිර්ලජ්ජීව ආදේශ කිරීමයි. පන්ති බලවේගයෝ තව දුරටත් නොපවතී. සියල්ලම ‘ජනතාව’ - බවට පත්ව ඇත. ඒ වනාහි ඉරානය තුල පන්ති ගතිකයන් හා ප්‍රතිපක්ෂයන් ගැන කිසිවක් පැහැදිලි නොකරන සංකල්පයකි. විශ්ලේෂනය වෙනුවට සාමාන්‍ය නිරීක්ෂනය යොදා ගෙන ඇත. “මට පොලිසිය දක්නට නොලැබේ. එහෙයින් රාජ්‍යය තවදුරටත් නොපවතී.”

සියලු දේශපාලන වර්ධනයන්ගේ ද්‍රව්‍යමය පදනම් අනාවරනය කිරීමට උත්සාහ දරන්නා වූ ඓතිහාසිකව භෞතිකවාදයේ විධික්‍රමය පුවත්පත්කලාවේදියාගේ අක්ෂිය මගින් විස්ථාපනය කරනු ලැබ ඇත. ට්‍රොට්ස්කි වරෙක ලියූ පරිදි, “අනුභූතිවාදය ද එහි හදාවඩා ගත් සොහොයුරා වන ආවේගවාදය ද උඩ සිට පහලට ආධිපත්‍යය දරයි.”

21. මෙය හුදෙක් සවාස් සහෝදරයාගේ වැරැද්ද නොවේ. නිවැරදි නොකරන ලද එක් වැරැද්දක් අනිවාර්යයෙන්ම තවෙකකට මග පාදයි. මෙය ලිබියානු ජමාහිරියාව ගැන 1977 සිට 1983 දක්වා නිව්ස් ලයින් පත්‍රයේ පලවූ ලිපි දුසිම් ගනන් වලින් සාරභූතව වෙනස් නැත. එම ලිපිවල ලිබියාවේ පන්ති සබඳතා ගැන එකද පන්ති ඇගයීමක් වත් දක්නට නොලැබුනි. ගඩාෆි පාලනය සමග අප ගෙන ගිය සබඳතා වල ඉහලම ලක්ෂ්‍යයේදී කම්කරු විප්ලවවාදී පක්ෂයේ දේශපාලන කමිටු ප්‍රකාශයක මෙය දක්නට ලැබුනි. දිනය 1981, දෙසැම්බර් 12 දා ය.

“1969දී ගඩාෆි ද නිදහස් සංගම්වාදී නිලධාරීන් ද (ජනප්‍රිය) බලය අල්ලාගැනීමක යෙදුනු අවස්ථාවේ ඔවුහු ලිබියාව සමාජවාදී වර්ධනයේ ද ප්‍රසාරනයේ ද මාවතෙහි දියත් කලහ. ... ගඩාෆි දේශපාලන වශයෙන් විප්ලවවාදී සමාජවාදයේ දිශාවට වර්ධනය වී ඇති අතර අනෙකුත් අරාබි නායකයන් මෙන් නොව මාලිගා හා අන්තඃපුරවලින් ඔහු වැලකී සිටී.”

ඊස්රායලය විසින් ලෙබනනය ආක්‍රමනය කරනු ලැබීමෙන් පසුව අප ගඩාෆි කෙරේ කලින් දැක්වූ උනන්දුවේ උනුසුම බැස ගොස් ඇත. එහෙත් මෑතදී (ලෙබනනයේ) ට්‍රිපොලි නගරයේ සටන් සිදුවෙද්දී අරෆත්ට විරුද්ධ කුමන්ත්‍රනය තුල ගඩාෆි ඉටුකල කාර්යය ගැන සඳහන් කිරීම අපි ඉතා පරිස්සමින් මග හැරියෙමු.

22. දැන් (අරෆත්) ඊජිප්තුවට ගිය මෙම ගමන ගැන කථා කරමු. මෙය හුවා දක්වනු ලැබ ඇත්තේ කිසිදු විග්‍රහයකින් හෝ කලින් කරන ලද ප්‍රකාශයන් පිලබඳ මොනම සඳැහුමකින් හෝ තොරව ය. මේ මගින් අපි අපේ කේඩරය ද කම්කරු පන්තිය ද පරාවනත කර ඇත්තෙමු. අප කරන්නේ අපේ දේශපාලන පිලිවෙත කෙරේ නරුමත්වයක් ඇති කිරීමයි. නව නිගමනයක්, එය විසින් විස්ථාපනය කරනු ලැබූ පැරනි නිගමනය සමග සම්බන්ධ කොට ප්‍රතිෂේධනය කරන විශ්ලේෂනයකින් තොර වූ, නිරන්තර පැනීම්වලින් යුතු අපේ දේශපාලන පිලිවෙත තත්කාර්යවාදයේ අඩයාලම දරයි.

ට්‍රොට්ස්කි බර්න්හැම් හා ෂැට්මන් ගැන කී පරිදි:

“විපක්ෂ නායකයෝ සමාජ විද්‍යාව අපෝහක භෞතිවාදයෙන් බෙදා ලති. ඔවුහු දේශපාලනය සමාජ විද්‍යාවෙන් බෙදා ලති. දේශපාලන පිලිබඳ ක්ෂේත්‍රයේ දී ඔවුහු පෝලන්තය පිලිබඳ අපේ කාර්යයන් ස්පාඤ්ඤය පිලිබඳ අපේ අත්දැකීමෙන් වෙන් කර දමති -පින්ලන්තය පිලිබඳ අපේ කර්තව්‍යයන් පෝලන්තය පිලිබඳ අපේ ආස්ථානයෙන් බෙදා ලති. ඉතිහාසය සුවිශේෂ සිද්ධීන් මාලාවකට පරිවර්තනය කෙරේ; දේශපාලනය උපාමාරු මාලාවකට පරිවර්තනය කෙරේ. මෙහි දී අපට දක්නට ලැබෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මාක්ස්වාදය බිඳීවිසිරී යාමයි, න්‍යායික චින්තනය බිඳී විසිරී යාමයි, දේශපාලනය එහි අන්තර්ගත මූල සාධකයන් දක්වා බිඳී විසිරී යාමයි.” ( In Defense of Marxismමාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා, 114-15 පිටු)

23. අප මේ ප්‍රශ්නයන් ඉස්මතු කරන්නේ අප කිසියම් ලිපියක ඒ හෝ මේ සාවද්‍ය සූත්‍රනයක් දුටු නිසා නොවේ, සෑම ශාඛාවක්ම වැරදි කරයි. එහෙත් වැරදි නිවැරදි නොකර දීර්ඝ කාලයක් ගත වූ පසු ඒවා ප්‍රවනතාවයක් බවට පත් වෙයි; මෙම ප්‍රවනතාවය අපේ දේශපාලන වැඩ වල සෑම අංශයකම ප්‍රකාශිත වෙයි.

සමාජවාදී කම්කරු පක්ෂයේ පැබ්ලෝවාදය දෙසට පසුබෑම, එක්සත් ජනපදය තුල මාධ්‍යමික හා මධ්‍යම පන්තික රැඩිකල් කොටස් දෙසට වඩවඩාත් විවෘත අවනතියක් තුල, සිය ප්‍රකාශනය අත්කර ගත්තේ යම් සේ ද, එම ප්‍රවනතාවයම බි්‍රතාන්‍ය තුල කවිපයේ වැඩ කටයුතුවල දක්නට ලැබීම ගැන අපි සැලකිලිමත් වෙමු.

24. මැල්විනාස් යුද්ධයේ දී පක්ෂයේ වාර්තාව - ආරම්භයේ දී අප ගත් පිලිවෙත මුලුමනින්ම වැරදිය; “මෙය අපේ යුද්ධය නොවේ.” එහෙත් මෙම ආස්ථානය පිලිබඳ විග්‍රහයක් ජාත්‍යන්තර කමිටුව තුල කිසි විටෙකත් නොගන්නා ලදී.

25. ලිවිංග්ස්ටන්, නයිට් හා පොදුවේ ජීඑල්සී (මහ ලන්ඩන් නාගරිකය) සමග අප ගෙන යන සබඳකම් පිලිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය ය. මේ බලවේගයන් පිලිබඳ අපේ දේශපාලන තක්සේරුව කුමක් ද? ජීඑල්සීය මෙහෙයවන ලේබර් කන්ඩායම කෙරේ නිව්ස් ලයින් පත්‍රය විසින් දක්වා ඇති සීමා රහිත දේශපාලන විශ්වාසය ඇත්ත වශයෙන් ම ඔවුන්ට දීම වටී ද?

මෙම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කරන්නට යන වැඩ වලින් කම්කරු විප්ලවවාදී පක්ෂය ද බරපතල ලෙස මූලධර්ම බිඳ ගැනීමකට ඇද හෙලනු ලැබීම ආසන්න යයි අපි බෙහෙවින් තැවුලට පත්ව සිටිමු. 1926 දී මහා වැඩ වර්ජනය පාවාදීමට මග පෑදූ වැරදීම දැන් යලිත් අප විසින් කරනු ලබමින් තිබේ. යයි අපි සිත් කරදරයට පත්ව සිටිමු.

ලිවිංග්ස්ටන්ට ස්තුති කිරීමට, ඔහු සෙසු ලේබර් පාක්ෂිකයන්ගෙන් බෙහෙවින් ම වෙනස් යයි සැලකීමට ගිය අපි, අපේ මාවතෙන් බොහෝ දුර බැහැරව සිටිමු. අපේ අදහස වන්නේ ටෝරින්ට එරෙහිව පලාත්පාලන ආයතන ආරක්ෂා කිරීම නිවැරදි වන අතර අප ලිවිංග්ස්ටන් කෙරේ මොනම විශ්වාසයක් වත් නො තැබිය යුතුය යන්නයි.

ලේබර් රිවීව් සඟරාව හෝ නිව්ස් ලයින් පත්‍රය 1983 නිව් ලෙෆ්ට් රිවීව් සඟරාවේ පලවූ ලිවිංග්ස්ටන් සමග සම්මුඛ සාකච්ඡාව ගැන කිසිම සඳහනක් කර නැත. මෙම සම්මුඛ සාකච්ඡාව කරන ලද්දේ තාරික් අලි මිස අන් කිසිවෙකු නොවේ.

ලිවිංග්ස්ටන්ගේ ‘සමාජවාදය’ සුලුධනේශ්වර විරෝධතා දේශපාලනය, සාම වාදය, වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ මාක්ස්වාදී වාංමාලාවෙන් අහුලා ගත් කැබලිවල පූට්ටුවකට වැඩි යමක් නොවන බව මෙම ලිපියෙන් පැහැදිලි නොකෙරේ. ඔහු සහතිකෙන්ම ට්‍රොට්ස්කිවාදියෙකු නොවේ. ලේබර් ද්‍රෝහීන් කෙරේ ඔහු දක්වන ආකල්පය මුලුමනින්ම ක්ෂමාකාරීය.

“කිසියම් කෙනෙකුට කාමරය පුරා පා පහර දෙන්නට පටන් ගන්නට පෙර ඒ තැනැත්තා හුදු ගෝත්‍රවාදී දේශපාලනයට මුලුමනින්ම සේන්දු වී ඇතැයි අප සෑහෙන්නට සහතික කර ගත යුතුය. මෙබඳු ක්‍රියා වාමාංශයේ උපන්ගෙයි දුර්වලකමකි. එක් ලේබර් නායකයෙකු පස්සේ තවකෙකු විසින් පාවාදෙනු ලැබීමෙන් පසුව මීලඟට අනෙක් පැත්තට යන එකා කවුදැයි සොයමින් මිනිසුන් බෝහෝ කාලයක් ගත කිරීම තේරුම් ගත හැකි කරුනකි. අසහෝදරාත්මක හෙලා දැකීම් වෙනුවට සහෝදරාත්මක විවාදයන් හි යෙදීමට තරම් අප කල්පනාකාරී වූවෝ නම් අප වෙත රඳවා ගත හැකිව තිබුනු අය අපට නැති වූ අවස්ථා බොහෝ ඇත.

“ඔබේ ප්‍රධාන කටයුත්ත තම සාමාජිකත්වය වර්ධනය කර ගැනීම නම්, අනෙකුත් වාම කන්ඩායම්වලට එරෙහිව නිමක් නැති පහර දීම්වල යෙදීම වැලැක්විය නොහැකිය. එක් කන්ඩායමක් අනෙක් කන්ඩායම ට එල්ල කර ඇති පහරවල් කියවමින් උන්මාදයට පත්ව කැරකෙමින්, වාමාංශික ක්‍රියාකාරීන් කා දමන කාලය ගැන මම සෑම විටම පුදුමයට පත්ව ඇත්තෙමි. මෙම සංවිධාන විධිය අතහැර දැමුවේ නැත්නම් වාමාංශය එක්සත් කිරීම දුෂ්කර වනු ඇත.”

ලිවිංග්ස්ටන් ම පිලිගන්නා පරිදි ඔහුගේ වර්ධනය කෙරේ ප්‍රධාන බලපෑමක් කර ඇති ‘ස්ත්‍රී විමුක්ති’ ප්‍රශ්නය පිලිබඳව ඔහු ප්‍රකාශ කරන විඤ්ඤානවාදී අදහස් අපි මෙහිදී විග්‍රහ නොකරන්නෙමු. (ලේබර් පක්ෂය රැකියා නියුක්ත පිරිමි සුදු කම්කරු පන්තිය කෙරේ මුලුමනින්ම සංකේන්ද්‍රනය වීම දුර්වල කමක් යයි මට සෑම විටම හැඟී ඇත.) පන්ති සමාජය පිලිබඳව ඔහු දරන්නා වූ ග්‍රාම්‍ය අදහස් ගැන ද මම යමක් නොකියමි. (මම වාමාංශික ව්‍යාපාරය තුලට පැමිනියේ මාක්ස්වාදී න්‍යාය හැදෑරීමෙන් නොව සත්ව හැසිරීම හා විකාශනය හැදෑරීම තුලිනි.) තාරික් අලි මොහුව සම්මුඛ පරීක්ෂනයට භාජන කිරීම පුදුමයක් නොවේ. නමුත් පුදුමය නම් කම්කරු විප්ලවවාදී පක්ෂය විසින් මේ පුද්ගලයා ලන්ඩන් නුවර කම්කරු පන්තියේ නායකයෙකු ලෙස අවිවේචනාත්මකව හා කොන්දේසි රහිතව හුවා දැක්වනු ලැබීමය. අපි ඔහුටත් නයිට්ටත් වේදිකාවක් සපයා ඇත්තෙමු. මේ දෙදෙනාම වමෙන් එන විවේචන වලින් ආරක්ෂා කරමු.

මීට අවුරුදු දෙකකට පෙර කාලය දක්වා නයිට් ගැන අසන්නට ලැබී තිබුනේ ඔහු පක්ෂය අතහැර ලේබර් පක්ෂයට එක් වූවෙකු බවයි. අපි මීට වැඩි දෙයක් ගැන නොදන්නෙමු. එහෙත් දැන් පතුරුවා හරිනු ලබන ආවේගය නම් ඔහු අපේ මිනිහා බවයි. එහෙත් මෙය සත්යයකැයි මම නොසිතමි. 1963 දී ඔහු අප හැර යාම අහම්බයක් විය නොහැකිය.

26. කම්කරු විප්ලවවාදී පක්ෂය මෑතදී පැවති එන්ජීඒ වැඩ වර්ජනයේ දී ඉටු කල කාර්යභාරය සලකා බලන කල ලිවිංග්ස්ටන් හා නයිට් ද ජීඑල්සීය ද සමග සබඳතාවන් ගැන අපේ කනස්සල්ල උත්සන්න වෙයි. කම්කරු විප්ලවවාදී පක්ෂය එන්ජීඒ නායකත්වය පසුපස ඇද්දී ගොස්. ඔවුන්ගේ කටයුතු ආවරනය කර, ස්වාධීන ඉල්ලීම් ඉදිරිපත් නොකර අවසානයේ දී ඔවුන් දඩය ගෙවීමත් ටොරිංග්ටන් පෙලපාලිය නැවැත් වීමත් නිසා පක්ෂය ද එම ක්‍රියාවල හවුල්කරුවන් වී අපකීර්තියට පත්විය.

එන්ජීඒ සංවිධානය විවේචනය කරන්නන්ට පහර දී කවිපය නිකුත් කල ප්‍රකාශය බ්‍රිතාන්‍ය ශාඛාවේ ඉතිහාසයේ පෙර නුවූ විරූ එකකි.

“එන්ජීඒ සංවිධානය අධිෂ්ඨාන සහගත ලෙස මූලධර්ම සඳහා ගෙන යන සටන තුලින්, රාජ්‍ය මර්දනය හා නීති විරෝධී තත්වයන් තුල ස්වාධීන වෘත්තීය සමිති ගොඩ නැගීමට සටන් කලා වූ පුරෝගාමීන්ගේ පිය සටහන් ඔස්සේ ගමන් කරමින් සිටී.

“මෙම තීරනාත්මක ආකාරයෙන් කම්කරු පන්තියේ දේශපාලන මට්ටම ඉහල දැමූ ඒන්ජීඒ සංවිධානය දැන් ටීයූසීයේ පන්ති සහයෝගිතාවාදීන්ගේ පාලනයට යටත් වීම ප්‍රතික්ෂේප කරයි. එය කම්කරු පන්තියේ අපරාජිත ශක්තිය මත පදනම්ව සටන් වදී.

“කවිප ප්‍රතිපත්තිය ඒකාර්ථය - එන්ජීඒ සංවිධානය ගෙන යන ධෛර්යමත් අරගලයට ආචාර කරන අපි ටෝරින්ගේ නීතිමය කුමන්ත්‍රනයට එරෙහිව වෘත්තීය සමිතිය රැක ගැනීමට ඔවුන් ගෙනයන අරගලයේ දී එය සමග මුලුමනින්ම සහයෝගීව නැගී සිටිමු.

“එන්ජීඒ සංවිධානය නිවැරදිව අරගලය ටීයූසීය තුලට ගෙනගොස් ඇති අතර වෘත්තීය සමිති අයිතිවාසිකම් වහල් භාවයට විකුනා දමන්නේ කවුදැයි පෙන්වා දී ඇත. එය දේශපාලන වශයෙන් මධ්‍යස්ථ මතධාරී ශිල්පීය වෘත්තීය සමිතියකි. මාධ්‍යමිකයින් සිතන පරිදි විප්ලවවාදී පක්ෂයක් නොවේ. රාජ්‍ය මර්දනයේ සුවිශේෂ තත්වයන් යටතේ ඔවුන් ඉතා මැනවින් තම කටයුත්ත ඉටු කරන බව අපි විශ්වාස කරමු.”

එන්ජීඒ නායකයන්ගේ දේශපාලන වශයෙන් මධ්‍යස්ථ අදහස් මොනවා ද? ඔවුන’තර ස්ටැලින්වාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් නැත් ද? මෙම නායකයන් කම්කරු පන්තියේ වීරයන් ලෙස තරුන සමාජවාදියෝ සංවිධානයේ වාර්ෂික මහා රැස්වීම ඉදිරියට ගෙන එනු ලැබෙති. තරුන ට්‍රොට්ස්කිවාදීන් පුහුනු කලයුතුව ඇත්තේ මේ අන්දමින් ද?

27. වැඩ වර්ජනය ඔස්සේ කවිපය සමිති විරෝධී නීති සම්බන්ධයෙන් සැබවින්ම විශ්වාස කල නොහැකි පිලිවෙතක් විස්තාරනය කලේ ය. බන්ඩා සහෝදරයා විසින් කරන ලද කථාව 1983 දෙසැම්බර් 7 නිව්ස්ලයින් පත්‍රයෙන් අප මෙහි උපුටා දක්වමු.

“එහෙත් මේ නීතිය කුමක් ද? යි බන්ඩා ඇසීය. ‘සාමාන්‍යයෙන් සියලුම නීති සකස් කරනු ලබන්නේ පුද්ගලයන්ගේ අයිතීන් රැකීමට ය. (!) නැතහොත් මහජන අවශ්‍යතා (පබ්ලික් ඉන්ටරස්ට්) (!!) වලට සම්බන්ධව පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිලිබඳමය. එහෙත් ටෝරි රැකියා පනත් සුවිශේෂ ය. ඒවා හුදෙක් නීති (!) නොවූහ; ආමූලික ව්‍යවස්ථා වෙනස්කම් වූහ. මන්ද? ඒවා පන්තීන් අතර සම්බන්ධතාවය (!!) පිලිබඳව වෙති... “ඓතිහාසික දෘෂ්ටිකෝනයෙන් ගත් කල ද දේශපාලන දෘෂ්ටිකෝනයෙන් ගත් කල ද මෙම පනත් මුලුමනින් ම යුක්ති රහිත ය. ඒවා කම්කරු පන්තියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමකි.”...

මේ අනුව අපි පන්තීන්ගේ කටයුතු පාලනය කරන ‘නරක’ නීතිවලට විරුද්ධ වෙමු. පුද්ගලයන්ගේ අයිතිවාසිකම් රකින ‘හොඳ නීති’ වලට පක්ෂ වෙමු. මෙම රැස්වීමේදී කරන ලද කථා වලින් වෙන කිසි ද උපුටා ගැනීමක් නොතිබුනේ වී නමුත් මෙම කොටස පමනක්ම වුව ද කවිපයේ දේශපාලන පිලිවෙත පිලිබඳ ඉතාමත්ම සුපරීක්ෂ විශ්ලේෂනයක් කිරීම යුක්ති සහගත කරනු ඇත.

කවිපයේ දේශපාලන පිලිවෙත ප්‍රශ්න ගනනාවක් මතු කරයි. අපි දැන් සමාජ විප්ලවයේ වර්ධනය කෙසේ පෙර දකිමු ද? ලේබර් පක්ෂය හෝ එහි වෘත්තීය සමිතිවලට දේශපාලන ඉල්ලීම් කිසිවක් ඉදිරිපත් කල යුතු ද?

පසුව කී සංවිධාන (වෘත්තීය සමිති) සම්බන්ධයෙන් මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටීම අපි හැකි තාක් කල් පසු කලෙමු. අලුත් මැතිවරනයක් හෝ ලේබර් පක්ෂය යලි බලයට පත් කිරීමක් අපි නොඉල්ලුවෙමු. කම්කරු පන්තියේ කිසියම් වැදගත් කොටසක නායකත්වය තවමත් අත්පත් කරගෙන නැති තත්වයක් තුල කම්කරුවන්ගේ විප්ලවවාදී ආන්ඩුවක් සඳහා අප කරන ඉල්ලීම අතිශයින් ම වියුක්තය. එය බෙහෙවින්ම ‘වාම’ එකක් ලෙස පෙනේ; එහෙත් එය ඈඳා ඇත්තේ දක්ෂිනාංශික ‘දේශපාලන වශයෙන් මධ්‍යස්ථ’ වෘත්තීය සමිත් නිලධාරින් සමග අවිවේචනාත්මක සම්බන්ධයක් සමග ය. අපි ලේබර් පක්ෂයට කිසිම ඉල්ලීමක් ඉදිරිපත් නො කරමු. - ඇත්තටම ඔවුන් එලිදරව් කිරීමේ කටයුත්ත දැනටම ඉටු කර හමාර වූවාක් මෙනි.

28. මෙය එක රැයින් උද්ගතවූ තත්වයක් නොවේ. - එය සුලුධනේශ්වර බලවේගයන්ට අනුගත වීමේ දීර්ග ක්‍රියා දාමයකි. මෙයට නිශ්චිත න්‍යායික මූලයන් ඇත. - එය වනාහි හෙගේලියානු වචන මාලාවකින් අලංකරනය වූ අනුභූතික විධික්‍රමයකි. එයට මාක්ස්වාදය සමග මොනම සමානත්වයක් හෝ නැත.

එය ඉන්ද්‍රීය සංජානනය සිහසුනට නංවා ඓතිහාසික භෞතිකවාදය පලවාහැරීමකි. ජී. හීලිගේ “අපෝහකය පිලිබඳ අධ්‍යයනයන්” යන ලිපිය ගැන බැරෑරුම් අධ්‍යයනයක් කල යුතුව ඇත.

29. ස්ලෝටර්ගේ ලිපිය අතිශය බරපතල අනතුරු හැඟවීමක් ලෙස වර්කර්ස් ලීගයේ නායකත්වය විසින් ගන්නා ලදී. දේශපාලන හා දෘෂ්ටිවාදී වෙනස්කම්වල ගැඹුර අප සිත් තැවුලට පත් කර ඇත. එහෙත් බරපතල හා අවංක සාකච්ඡාවක් තුලින් මෙම ගැටලු ජයගත හැකැයි අපි විශ්වාස කරමු.

අවශ්‍ය වී ඇත්තේ ජාත්‍යන්තර කමිටුවේ ද ජාතික ශාඛාවන්ගේ ද නායකත්වයන් තුල සැබෑ සාකච්ඡාවකි. ලියවිලි සකසා බෙදාහැරිය යුතුය. ඉදිරියට යා යුතු මේ මගෙහි ය. එබඳු සාකච්ඡාවකින් ජාත්‍යන්තර කමිටුව නැගී සිටිනු ඇත්තේ වඩාත් ශක්තිමත්ව ය.

මෙම සාකච්ඡාවට සහභාගිවී ඉන් උගෙනීමට වර්කර්ස් ලීගය අතිශයින්ම උනන්දු ය. අපි බ්‍රිතාන්‍ය සහෝදරවරුන් ද ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් සහෝදරවරුන් ද සමග අපේ සහක්‍රියාකාරිත්වය අගය කොට සලකන්නෙමු. මෙම සාකච්ඡාව සඳහා නිශ්චිත කාල සටහනක් අපි තැබිය යුත්තෙමු. මෙම පදනම උඩ ජාත්‍යන්තර කමිටු සාකච්ඡාවක් සඳහා වැඩ කරමු.

Share this article: