උතුරේ කෙප්පපුලාවු ගම්වාසීහු මිලිටරිය අල්ලාගත් ඉඩම් ආපසු ඉල්ලා විරෝධතා යලි අරඹති
සුභාෂ් සෝමචන්ද්‍රන් හා එස්. ජයන්ත් විසිනි, 2019 ජනවාරි 31
යුද්ධයෙන් විනාශයට ලක්වූ උතුරේ මුලතිවු අසල ගුවන් හමුදා කඳවුරක් ඉදි කර ඇති කෙප්පපුලාවු ගම්මානයේ වැසියෝ මිලිටරිය අල්ලාගත් තම ඉඩම් ආපසු ලබාදෙන ඉල්ලා පවත්වන විරෝධතා ජනවාරි 26දා යලි ආරම්භ කල හ. ගම්වාසීන් උද්ඝෝෂනය යලි ඇරඹුවේ, ජනවාරි 25දා වන විට ඉඩම් ලබාදෙන බවට මුලතිවු අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. තනබාලසිංහම් දුන් පොරොන්දුව, කඳවුර ඉදිරිපිට වාඩිලාගෙන මාස 22ක් තිස්සේ ඔවුන් කරගෙන යන විරෝධතාව අවසන් කිරීමට දුන් ව්‍යාජ පොරොන්දුවක් බව හෙලිදරවු වීමත් සමගය.
විරෝධතාව ඇරඹුනු පසු කඳවුර වටා කැරලි මර්දන කන්ඩායමක් ද සමගින් සිය ගනනක් පොලීසිය යොදවා ඇති අතර කටුකම්බි වැටක් ද ඉදිකර ඇත. මහජනයා බියවැද්දීම සඳහා හමුදාව සන්නද්ධ රථ ද නවතා තිබේ. කෝපයට පත් විරෝධතාකරුවෝ තමන්ගේ ඉඩම්වලට බලයෙන් ඇතුලු වන බවට දැනට මත් අනතුරු අඟවා ඇත.
ගුවන් හමුදාව පවුල් 138ක් එලවා දමමින් ඉඩම් අක්කර 482ක් අල්ලාගත්තේ ය. මිලිටරිය 2017 දී මෙම ඉඩම්වලින් අක්කර 133ක් නිදහස් කිරීම සඳහා ආන්ඩුවෙන් රුපියල් මිලියන 148ක් අයකලේ ය. මිලිටරිය ක්‍රියාත්මක වන්නේ හිතුමතේ තීන්දු ගන්නා මර්දනීය ආයතනයක් ලෙස යි.
විරෝධතාකරුවෙක් ලෝසවෙඅ වෙත කීවේ: “අපේ ප්‍රශ්න විසඳන්නේ නැහැ, මිලිටරිය පොල් ගස් ඇතුලු දේපොලෙන් ආදායම් අත්පත් කරගන්නවා, ඒත් අපි හිඟාකන ගානට ජීවත්වෙන්නෙ. අපි ගංවතුරෙන් පීඩා විඳිනවා, ඒත් හමුදාව අපේ නිවාස අත් කරගෙන ඉන්නවා.” මෙම ගම්වාසීන් වනාහි 26 අවුරුදු වාර්ගික යුද්ධයෙන් ව්‍යසනයට පත්වූ උතුරු හා නැගෙනහිර ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ කොටසකි.
රාමියන්කුලම්හි අත්පත් කරගත් ඉඩම් ඉල්ලමින් තවත් විරෝධතාවක් වවුනියාවේ ආන්ඩිය පුලියන්කුලමේ දී ජනවාරි 4දා පැවැත්වුනි. හමුදාව තම ඉඩම්වල වගාකරමින් ඒවායේ නිෂ්පාදන ගම්මුන්ට ම එහි සාප්පුවල තබා විකුනන බව විරෝධතාකරුවෝ දෙස්දෙවොල් තැබූ හ.
මිලිටරිය විසින් අල්ලාගත් ඉඩම් නිදහස් කරන බවට මාධ්‍යවල පිටුබලය සහිත ව ආන්ඩුව හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙන යන විශාල ප්‍රචාරනයක් මධ්‍යයේ ය, මෙම විරෝධතා ඉස්මතු වී ඇත්තේ. පසුගිය වසර අවසන් වීමට ප්‍රථම සියලු ඉඩම් ආපසු ලබාදෙන ලෙස ජනාධිපති නියෝග කල බවට විශාල ප්‍රචාරයක් කලත් එය මහජනයා රැවටීමට කල පූච්චානමක් බව සනාථ වී තිබේ. ඉඩම් නිදහස් කරන කාලය හා කවර ඉඩම් නිදහස් කරන්නේ ද යන්නත් පමනක් නොව ඉඩම්වල නෛතික උරුමකරුවන්ට ඒවා ආපසු ලබාදීමේ දී වනදියක් අයකරන්නේ ද යන්නත් තීරනය කරන්නේ මිලිටරියයි.
2009 මැයි 18දා මිලිටරිය යුද්ධය ජයගත්තේ දෙමල සිවිල් වැසියන් මත යෝධ මරන සංඛ්‍යාවක් පතිත කරමින් හා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමූලඝාතනය කරමිනි. යුද හමුදා සංඛ්‍යාලේඛන උපුටා දමමින් කලම්බුපේජ් වාර්තා කලේ උතුරේ හා නැගෙනහිරේ අක්කර 84,520ක් මිලිටරිය විසින් 2009 පටන් භාවිතා කල බව යි. “ජාතික ආරක්ෂාවට හානි නො වන ආකාරයකින්” රාජ්‍ය හා පුද්ගලික ඉඩම් අක්කර 69,750ක් පසුගිය වසරේ නොවැම්බර් 25දා වන විට නිදහස් කල බව මිලිටරිය කීවේ ය.
මෙම කරුනු නිවැරදිදැයි සොයා ගැනීම අපහසු ය. එහෙත් මෙම ගනන් හිලවු, මෙම පලාත්වල සාමාන්‍ය ජනයා මත පතිත කල යෝධ ව්‍යසනය පෙන්නුම් කරන මිනුමකි. විශාල පරිමාන බෝම්බ දැමීම් හෝ සන්නද්ධ මිලිටරි භටයන්ගේ වටලෑම් මගින් මහජනයා පලවා හැර ඉඩම් හා නිවාස අල්ලා ගන්නා ලදී.
සන්නද්ධ හමුදාවන් පරිත්‍යාග කිරීම් හෝ කැපකිරීම් කරන බවක් නරුම ලෙස මවාපාමින් මෙම ඉඩම් ආපසු ලබාදීමට උත්සව සංවිධානය කෙරේ. මෙහි ඉලක්කය වන්නේ උතුරු නැගෙනහිර පලාත් මිලිටරි වාඩිලාගෙන සිටීම පිලිබඳව රට තුලත් ජාත්‍යන්තර වත් මතුවන විවේචනය අපසරනය කර ආවරනය කිරීම යි.
පවුල් සිය ගනනක් අවතැන් වී සිටි පලාලිහි තයියිට්ටි ගම්මානයේ ඉඩම් පසුගිය වසරේ නිදහස් කරනු ලැබිනි. දශක තුනකට වැඩි කාලයක් ඔවුන් ජීවත් වූයේ යාපනයේ සරනාගත කඳවුරුවල හෝ ඥාතීන් සමගිනි.
1990 දී ප්‍රදේශයෙන් පලායාමට පෙර තයියිට්ටි ගම්මානයේ තම පවුල නිවසක් තැනූ බවත් එහෙත් දැන් එය සමතලා කොට පඳුරුවලින් වට වී ඇති බවත් ටී. රන්ජනාදේවි විස්තර කලා ය. “අවසන් යුද්ධයෙදි මගේ පුතාල දෙන්න අතුරුදන් කලා. සෑම මෝසමක දී ම ගංවතුර ගලන මුඩුක්කු බඳු සරනාගත කඳවුරුවල විශාල දුෂ්කරතා මැද්දෙ අපි දශක ගනනක් ජීවත් වුනා” යයි ඇය කීවා ය.
තම ඉඩම් බලා ආපසු එන සමහර පවුල් තවමත් තාවකාලික කූඩාරම්වල සෙවන ලබන අතර සමහරු නිවාස ගොඩනගා ගැනීමට සමත් ව ඇත. “ගෙයක් හදාගන්න ආන්ඩුව රුපියල් 800,000ක් කොටසින් කොටස දුන්නා. ඉතුරු සල්ලි බැංකුවෙන් නයට අරගෙන දැන් අපි නයකරුවො වෙලා. ලිඳක් කපපු පුද්ගලික ආයතනයකට අපි මාසෙකට රුපියල් 2,000ක් ගෙවන්න ඕන. ඒත් ඒ වතුර බීමට සුදුසු නැහැ” යයි රන්ජනාදේවි විස්තර කලා ය.
තමන්ගේ ඉඩම කැලෑවක් වැනි බවත් එය එලිපෙහෙලි කිරීමට 25,000ක් වියදම් කිරීමට සිදුවූ බවත් එම්. යමුනා කීවා ය. “මෙහේ මූලික පහසුකම් නැහැ. පොලට අපි කිලෝමීටර 10ක් මරුදනාර්මඩම් වෙතත් රෝහලට කිලෝමීටර 5කුත් අපි යන්න ඕන. මං පුංචි කාලෙ ඉඳලම අපේ පවුල ස්ථාන කිහිපයකට අවතැන් වුනා. ඒ කාලෙ ඇතුලත මගේ තාත්ත මැරුන. වකුගඩු රෝගයකින් මගේ අම්ම ලඟදි නැතිවුනා.”
යුද්ධය අවසන් වීමත් සමග තුන් ලක්ෂයක් පමන දෙමල ජනයා වසරක් පමන මිලිටරිය විසින් පවත්වාගෙන ගිය කඳවුරුවල කොටුකෙරුනි. ඉන් අනතුරු ව මෙම පවුල් මූලික පහසුකම්වලින් තොර ව ටකරං තහඩු කිහිපයක් සමග ඔවුන්ගේ ගම්වලට අතහරින ලදී. සමහර පවුල් කැලෑ එලිකිරීමෙන් පසු බලහත්කායෙන් යලි පදිංචි කරන ලදී. එහෙත් මෙම පවුල් ඔවුන්ගේ ඉඩම්වල හා ලිං තුල මරනීය බෝම්බ තිබෙනු සොයාගත් හ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුදුරු යුද්ධයට සහයෝගය දුන් එක්සත් ජනපදය, ඔහුගේ ආන්ඩුවේ යුද අපරාධ ගසාකමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කලේ චීනයෙන් ඈත් වන ලෙසට එය මත පීඩනය යෙදීම පිනිස යි.
2015 ජනාධිපතිවරනයේ දී සිරිසේන බලයට ආ තන්ත්ර-මාරුමෙහෙයුම එක්සත් ජනපදය විසින් ක්‍රියාවට දැමී ය. එහි ඉලක්කය වූයේ බීජිනය සමග කොලඹ ආන්ඩුවට තිබූ සබඳතා කපා හැරීමයි. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) එක්සත් ජනපදයේ භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා සහයෝගය පලකරමින් තන්ත්ර-මාරු මෙහෙයුමට සම්පූර්න සහයෝගය දුන්නේ ය. සිරිසේන මිලිටරිය අල්ලාගත් ඉඩම් ආපසු වාර්ගික වෙනස්කම් අවසන් කිරීම සඳහා විසඳුම් ලබාදෙනු ඇති බව ටීඑන්ඒය ප්‍රකාශ කලේ ජනයා රවට්ටමින් සිරිසේනට ඔවුන්ගේ ඡන්ද ගොනුකර දීමට යි.
මාර්තු මාසයේ යූඑන්එච්ආර්සී සැසියේ දී ශ්‍රී ලංකාවේ තත්ත්වය “සමාලෝචනය” කරනු ඇත. එක්සත් ජනපදය ඇතුලු මහා බලයන් චීනයෙන් නය හා ආයෝජන ලබාගැනීමට කොලඹ ආන්ඩුව කරන ක්‍රියා දෙස විමසිල්ලෙන් බලා සිටී.
එහෙත් තම කඳවුරු හා සංකීර්න ශක්තිමත් කර ඇති ආරක්ෂක හමුදා ගොවිපොල, ව්‍යාපාර, හෝටල් ඇතුලු මිලිටරියට ම අයත් ව්‍යාපාර ස්ථාපනය කර ඇත්තේ පලාත් දෙක තුල බෞද්ධ පන්සල් හා බුද්ධ ප්‍රතිමා ඉදිකරමින් සිංහල වාර්ගික අධිකාරය ගොඩනගා ගනීමටයි. සංස්කෘතික හා ආගමික ක්‍රියාවන්ට සහභාගි වෙමින් හෝ ඒවා සංවිධානය කරමින් සමාජයේ සමහර කොටස් අතර එහි බලපෑම ස්ථාපනය කිරීමට එය සෑම උපක්‍රමයක් ම ගසාකයි.
සොල්දාදුවන් සියදහස් ගනනක් සමගින් මිලිටරි වාඩිලාගැනීම දිගටම පවත්වාගෙන යන්නේ මර්දනය සඳහා පමනක් නො ව කම්කරු පන්තිය බෙදා ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කරගැනීම පිනිස දෙමල-විරෝධී ප්‍රජාගනවාදය අවිස්සීමටයි.
උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය මුලුමනින් ම හා කොන්දේසි විරහිත ව ඉවත් කරගන්නා ලෙස ද සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත සිංහල හා දෙමල කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් වදින ලෙස ද සමාජවාදී සමානතා පක්ෂය කරන ඉල්ලීම හදිසි භාවයකින් මතුව ඇත්තේ මේ තත්වය තුලයි.
Follow us on