නව සම සමාජ පක්ෂය 41 වසරක දක්ෂිනාංශික දේශපාලන ගමන සමරයි
නවීන් දේවගේ විසිනි, 2019 ජනවාරි 28
දෙසැම්බර් 30 වැනි දින කොලඹ නව නගර ශාලාවේ දී “ෆැසිස්ට්වාදයට එරෙහි ප්රජාතන්ත්රවාදී අරගලය” යන මැයෙන් ව්‍යාජ වාම නව සම සමාජ පක්ෂය (නසසප) තම 41 වැනි සංවත්සරය සැමරී ය. වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයේ පිහිටු වීමට පෙල ගැසුනු ව්‍යාජ වාම කන්ඩායම් විවෘතව ම එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව ආරක්ෂා කරන පෙරමුනකට සංවිධානය කර ගන්නේ කෙසේද එයට ධනපති ජනතා විමුක්ති පෙරමුන පංගාත්තු කර ගන්නේ කෙසේ ද යන්න සභාවේ මුඛ්‍ය තේමාවක් විය.
මෙම සංවත්සර රැස්වීම පැවැත්වුනේ පසුගිය ඔක්තෝබර් 26 දා ඉස්මත්තට පුපුරා ආ ලංකාවේ පාලක පන්තියේ කන්ඩායම් අතර දේශපාලන යුද්ධයේදී නසසප නායක කරුනාරත්න අගමැති රනිල් වික්‍රමසිංහගේ එජාප කල්ලියේ ප්‍රධාන කථිකයෙකු ලෙස ක්‍රියාකිරීමෙන් අනතුරුවය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමේ දේශපාලන කුමන්ත්රනය ෆැසිස්ට්වාදීන් බලය අල්ලා ගැනීමක් ලෙස නම්කර වික්‍රමසිංහට ප්රජාතන්ත්රවාදියෙකු ලෙස සලු ඇන්දවීමේ සිය දීර්ඝ කාලීන ප්‍රචාරය උත්සන්න කිරීමේ කටයුත්ත කරුනාරත්න භාරගෙන තිබුනි.
සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයට අයාචනා කරමින් බලයට පැනගැනීමට ක්‍රියා කරන රාජපක්ෂ ප්රමුඛ කල්ලිය හා වික්‍රමසිංහ අතර අතිමූලික දේශපාලන වෙනස්කම් නැතත් ඇමරිකාවේ ගැත්තෙකු ලෙස විවෘතවම ක්‍රියාකරන එජාප නායකයා බලයේ සිටීම පාලක පන්තිය පැත්තෙන් වඩාත් සුදුසුබව කරුනාරත්නගේ ද ගනන් බැලීමයි. ඔහුට ප්රජාතන්ත්රවාදයේ ඔටුනු පැලඳවීම කොතරම් දුරට ගෙන ගියේද යත්, වොෂින්ටනයේ බලපෑම මධ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවක් නිසා වික්‍රමසිංහ අගමැති ධුරයට යලි පත්කෙරුනු විට එය ජනතා නැගිටීමක ප්‍රතිපලයක් යයි කී කරුනාරත්න, ඔහු ඇමරිකානු සිවිල් යුද්ධයට නායකත්වය දුන් ඒබ්‍රහම් ලින්කන්ට ද සමාන කලේය. ( බලන්න: නව සම සමාජ නායකයා අධිරාජ්‍ය ගැත්තෙක් වන රනිල් වික්‍රමසිංහ ඒබ්‍රහම් ලින්කන්ට සම කරයි , 2019 ජනවාරි 09).
සිරිසේන-රාජපක්ෂ සහ වික්‍රමසිංහ කන්ඩායම් අතර දේශපාලන කුලල් කාගැනීමට හේතුභූත වුයේ කම්කරු පන්තියේ හා දුගීන්ගේ නැගී එන සමාජ ප්‍රතිරෝධය තලා දමා අර්බුද ග්රස්ත ධනපති පන්ති පාලනය රැකගැනීමට හොඳම ක්‍රමය කුමක්ද යන්න ගැන උපායික මතභේදය යි.
නසසප නායක කරුනාරත්නගේ වත්මන් දේශපාලන උද්ඝෝෂනය මුලුමනින්ම කැපකර ඇත්තේ වෙසෙසින්ම වික්‍රමසිංහ යටතේ ධනපති පන්ති පාලනය ආරක්ෂා කර ගැනීම සඳහාය. අපකීර්තියට පත්ව ඇති එජාපය කොහොම වුනත් “ලිබරල් ප්රජතතන්ත්රවාදී” තැනකට පැමින ඇතිබව තහවුරු කිරීමට කරුනාරත්න සංවත්සර රැස්වීමේදී මාක්ස්වාදයට පහර දුන්නේය.
තමන් “ලිබරල් ධනපතියන්” සමඟ හවුලේ වැඩ කරන බව නිර්ලජ්ජිතව ප්‍රකාශ කල ඔහු වික්‍රමසිංහගේ පාලනය රැකීමට “සමසමාජයෙන් පැවතෙන වාමාංශිකයන්” හා “විජේවීර සහෝදරයා ගේ විමුක්ති වාම දහරාවේ කන්ඩායම්” සමීප වී වැඩ කටයුතු කිරීම වැදගත් බව අවධාරනය කලේ ය.
මාක්ස්වාදයට පහරදීම
ධනේශ්වර පක්ෂ සමග හවුල කරුනාරත්න සාධාරනීයකරනය කලේ අධිරාජ්‍යවාදී රටවල් ද ඇතුලු සෑම රටකම ධනපති කොටස් ප්රජාතන්ත්රවාදය කරා පැමින ඇතිබවට ප්රලාපයක් ඇදබාමිනි. “ධනවාදීන්ට ප්රජාතන්ත්රවාදය කර ගන්න බෑ කියන එක අද එයාකාරයෙන් ම කියන්න පුලුවන්ද?” යැයි ප්‍රශ්න කල කරුනාරත්න “පරන සුත්‍ර අනුව නිර්ධන පන්ති බලය තමයි අවසානයේ ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කරන්න ඉතුරුවෙන්නෙ කියා” ලෙනින්වාදියෝ හා ට්‍රොට්ස්කිවාදියෝ පවසන බවට ඔහු චෝදනා කලේය.
එම පරන සූත්‍ර අවලංගු වී ඇතිබවට උදාහරන ලෙස “වාමාංශික බලපෑම යටතේ ධනපති කොටසක් අද ප්රජාතන්ත්රවාදය පවත්වා ගෙන යාමට ක්‍රියා කරන බව” කී ඔහු ඇමරිකාවේ හා යුරෝපයේ මාක්ස්වාදය කතා කරන නායකයන් සිටින බව කීවේය. ඔහුට අනුව “ඇමරිකාව එක් පැත්තකින් ෆැසිස්ට්වාදයට යන කොට තව පැත්තකින් හිටපු ජනාධිපති ඇවිල්ලා මහ ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂනයක්” කරමින් සිටි.
ඇමරිකාවේ හා යුරෝපයේ මාක්ස්වාදය ගැන කතාකරන නායකයන් ලෙස කරුනාරත්න හඳුන්වන්නේ ඩිමොක්රටික් පක්ෂ නායකයෙකුවන බර්නි සෑන්ඩර්ස් සහ බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ නායක ජෙරමි කොර්බින් ය. කරුනාරත්න හුවාදක්වන්නේ ඇමරිකාව හා බ්‍රිතාන්‍ය තුල ඩිමොක්රටික් හා ලේබර් පක්ෂවල ප්රතිගාමිත්වය හෙලිදරව්වී අපකීර්තියට පත්ව ඇති තත්වය තුල පෙරලිකාරිවන කම්කරුවන් හා තරුනයන් සමාජවාදය ගැන පූච්චානම් දොඩවමින් එම පක්ෂවල අත යටටම තල්ලුකර ගැනීමට සෑන්ඩර්ස් හා කෝර්බින් වැන්නවුන් දරන වංචනික ප්රයත්නයයි.
ඇමරිකාවේ “ෆැසිස්ට්වාදී හා ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂනයක්” යයි කරුනාරත්න සඳහන් කරන්නේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා හිටපු ජනාධිපති බරක් ඔබාමා ගැනය. පාලන බලයේ සිටි කාලයේ ලෝක ආධිපත්‍යය සඳහා ඇමරිකානු පාලක පන්තියේ හා පෙන්ටගනයේ යුද මැදිහත්වීම් උග්‍ර කල ඔබාමා පසුගිය වසර මැද පැවති කොන්ග්රස් සභා මැතිවරනයේදී එලිබැස්සේ ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය ඩිමොක්රටික් පක්ෂය තුලට ගොනුකර ගැනීමටයි. ඩිමොක්රටික් පක්ෂය ට්‍රම්ප්ට එරහිව කඩා පැන ඇත්තේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට නොව ජනාධිපතිගේ යුද මුලෝපායික පිලිවෙත් ගැන පවතින මතභේද නිසාය. කරුනාරත්නගේ ලේ නෑයන් වන ඇමරිකාවේ ඊනියා වම්මුන් පෙලගැසී සිටින්නේ ඩිමොක්රටික් පක්ෂය වටා ය.
සිදුවී ඇත්තේ මෙම ධනපති කන්ඩායම් වමට ඒමක් නොව වාම හා රැඩිකල් වෙසින් පෙනීසිටි සංවිධාන හා කරුනාරත්න වැන්නවුන්ගේ දකුනට පැදීමයි, ඔවුන් පැරනි වාම සලුපිලි ගලවා දමා අධිරාජ්‍යවාදය විවෘතව වැලඳ ගෙන ඇත.
ලංකාවේ දී කරුනාරත්නගේ ප්රමුඛ ලිබරල් ප්රජාතන්ත්රවාදියා වික්‍රමසිංහ ය. වික්‍රමසිංහගේ වෙනත් එකදු ප්රජාතන්ත්රවාදී ක්‍රියාවක්වත් පෙන්වන්ට නොහැකි නසසප නායකයා උදාහරනයක් ලෙස ප්‍රකාශ කලේ අධ්‍යාපන ඇමති ලෙස තමන් දොට්ටදැමූ වික්‍රමසිංහ හිඟ පඩිය සමග යලි සේවයේ පිහිටුවූ බවයි. කෝටි ගනනක කප්පමක් ලෙස ලැබුනු පසු කරුනාරත්න කොහොමත් කෙලෙහිගුන දැක්වීම උපරිමයට ගෙන යා යුතුම ය.
ඔහු රැස්වීමේදී ප්‍රකාශ කලේ “ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාවක් තනා ගැනීමට”, ලංකාව තුල ඉන්නා “ලිබරල් ධනපතියා” ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා ගත හැකි ද යන්න ගැන තමන්ට “පෙර වාක්‍ය කිව නොහැකි නමුත් ඔහු සමග යා හැකි දුර” ගොස් බලන බවයි.
මෙම දීන ධනපති ගැති දේශපාලනයට න්‍යායික වේශයක් ආරූඪ කිරීමට තැත්කරමින් “පරන සුත්‍ර” ඉවත දැමිය යුතුයයි යෝජනා කල නසසප නායකයා තමන් න්‍යාය පාදා ගන්නේ “මාක්ස් කීවාක් මෙන් භාවිතය තුලින්. පරන සුත්රවලින්ම අපේ ක්‍රියාකාරිත්වය නොකර බලන්න ඕන මොකක්ද කරගන්න පුලුවන්දේ කියා” යයි පැවසීය.
කරුනාරත්නගේ යෝජනාව මාක්ස්වාදයේ පදනම් වලටම විරුද්ධව ව්‍යාජ වාම දක්ෂිනාංශිකයන් හා ඇතැම් ශාස්ත්රාලිකයන් තමන්ගේ ග්‍රාම්‍ය උපයෝගීතාවාදී භාවිතාවන් යුක්තියුක්ත කරගැනීමට දමා ගසන සුත්‍රයකි. ඊට මාක්ස් සමග මොනම සම්බන්ධයක් වත් නැත. මාක්ස් කතාකරන්නේ “විප්ලවකාරක භාවිතය” පිලිබඳවයි. එය අන්ධ භාවිතයක් නොව විද්‍යාත්මක ඥානය මත පදනම්වූ භාවිතයකි. අද දිනයේ ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලයේ ඉදිරිදර්ශන, මූලෝපාය හා උපායන් වර්ධනය කල යුත්තේ මාක්ස්වාදී ව්‍යාපාරය ඓතිහාසික ව උපුටාගත් සමස්ත ඥානය මත පිහිටා පන්ති අරගලයෙන් උකහා ගන්නා නව අත්දැකීම් මත ය.
ලියොන් ට්‍රොට්ස්කි ගේ නොනවතින විප්ලව න්‍යාය
ධනපතියන්ට හේත්තුවූ කරුනාරත්නගේ න්‍යාය හා භාවිතාව සඳහා අත්හැරදමන්ට යෝජනා කරන “පැරනි සුත්‍රය” නම් 1906 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් වර්ධනය කෙරුනු 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයට මඟ පෙන්වූ නොනවතින විප්ලවයේ න්‍යායයි. ඓතිහාසික විප්ලවවාදී අරගලවල මූලෝපායික අත්දැකීම් මත එය වර්ධනය කෙරුනි. එනම්, වෙසෙසින්ම 1789 ප්රන්ස විප්ලවය, 1848 ජර්මනියේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල හා 1905 රුසියානු විප්ලවවාදී නැගිටීම් වල මූලෝපායික අත්දැකීම්වල පදනම මතයි.
ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි:
“පමා වී සිදු වන ධනේශ්වර වර්ධනයෙන් යුත් රටවල් සම්බන්ධයෙන්, විශේෂයෙන් විජිත හා අර්ධ විජිත රටවල් සම්බන්ධයෙන් නොනවතින විප්ලව න්‍යාය ඉස්මතු කරන කරුන වන්නේ, එම රටවල ප්රජාතන්ත්රවාදය හා ජාතික විමුක්තිය දිනාගැනීමේ කර්තව්‍යයන්ට පරිපූර්න වූත්, අව්‍යාජ වූත් විසඳුමක් ඇති විය හැක්කේ යටත් වූ ජාතියේ නායකයා වශයෙන් - අන් සියල්ලටම වැඩියෙන් ගොවි ජනතාවගේ නායකයා වශයෙන් - කම්කරු පන්තිය පිහිටුවන ඒකාධිපතිත්වය තුලින් ම පමනකි යන්නයි.
“කෘෂිකාර්මික ප්රශ්නය විසින් පමනක් නො ව ජාතික ප්රශ්නය විසින් ද පසුගාමී රටවල ජනගහනයෙන් අතිමහත් බහුතරය වන ගොවි ජනතාවට ප්රජාතන්ත්රීය විප්ලවය තුල අසමසම ස්ථානයක් පිරිනමනු ලැබේ. කම්කරු පන්තිය ගොවි ජනතාවත් සමග ඇති කර ගන්නා සන්ධානයකින් තොරව ප්රජාතන්ත්රීය විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කිරීම තබා බැරෑරුම් ලෙස ඉස්මතු කිරීම වත් කල නොහැකි ය. එනමුත් ජාතික ලිබරල් ධනේශ්වරයේ බලපෑමට විරුද්ධව කරන සමහන් කල නොහැකි අරගලයක් තුලින් හැර වෙන කිසි ම විදියකින් මෙම පන්ති දෙක අතර සන්ධානය ගොඩ නැගිය නොහැකි ය.”
එක් රටක් තුල කම්කරු පන්තිය අතට බලය ගත්ත ද එයට ජාතික සීමාවන් තුල සමාජවාදය සම්පූර්න කල නොහැකි බවද ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කල යුතු බවද ට්‍රොට්ස්කි කීවේය. ඔහු මෙලෙස සඳහන් කලේය: “සමාජවාදී විප්ලවය ජාතික තලය මත ඇරඹේ; ජාත්‍යන්තර තලය තුල විකසිතවේ; ලෝකතලය මත පූර්නත්වය ලබයි. මේ අනුව සමාජවාදී විප්ලවය වචනයේ නව හා පුලුල් අර්ථයකින් නොනවතින විප්ලවයක්වෙයි. එය පූර්නත්වය ලබන්නේ අපේ මුලු පෘථිවි තලය මත ම නව සමාජය ලබන අවසාන ජයග්‍රහනය තුලින් පමනි” (නො නවතින විප්ලව න්‍යායට හැඳින්වීමක් , ලියොන් ට්‍රොට්ස්කි, 52 පිටුව).
නොනවතින විප්ලවයේ න්‍යායට එරෙහි ව “තනි රටක සමාජවාදය” පිලිබඳ න්‍යාය ස්ටැලින් හා ස්ටැලින්වාදී නිලධරය විසින් පෙරට දැමුවේ මෙම ලෝක සමාජවාදී විප්ලවයේ මාක්ස්වාදී ඉදිර්දර්ශනයට පයින් ගසමින් ලෝක ධනවාදී පද්ධතියට අනුගත වෙමිනි.
ට්‍රොට්ස්කි විසින් නොනවතින විප්ලවයේ න්‍යාය වර්ධනය කෙරුනේ කරුනාරත්නගේ තකතීරු “භාවිතයෙන් න්‍යාය සොයා ගැනීමේ” තකතිරු විධික්රමයට හාත්පසින්ම වෙනස් ඓතිහාසික භෞතිකවාදී විධික්රමය මත පදනම්ව ය. එදා එය 1917 රුසියාවේ සමාජවාදී විප්ලවයට මාවත පෙන්වා දුන්නාක් මෙන් අදට ද එය වලංගුය.
අධිරාජ්‍යවාදයේ ඒජන්තයන් බවට පත්ව ඇති පැබ්ලෝවාදීන්
කරුනාරත්න ඇතුලු පැබ්ලෝවාදියෝ නිෂ්පාදනයේ ගෝලීයකරනය නිසාවෙන් ලෙනින් හා ට්‍රොට්ස්කි පෙන්වාදුන් ධනවාදයේ අතිමුලික පරස්පරවිරෝධයන් එනම්- එනම්, ලෝක ආර්ථිකය හා යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතරත් සමාජික නිෂ්පාදනය හා නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික අයිතිය අතරත් වන පරස්පරවිරෝධයන්-- අහෝසිවී අන්තර්-අධිරාජ්‍යවාදී ගැටුම් සමනයවී ඇතැයි පවසති.
ඊට විපරීතව- සිදුව ඇත්තේ මෙම පරස්පරවිරෝධයන් හා අන්තර්-අධිරාජ්‍යවාදී ගැටුම් උග්රවන කොන්දේසි වර්ධනය වීමයි. මෙය පාලක පන්තීන් යුද්ධය, කප්පාදුව හා ආඥාදායකත්වය කරා ධාවනය කිරීමට පමනක් නො ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී පුනර්ජීවනය සඳහා ද උත්තේජනය සපයන ගාමකයන් වී තිබේ. ලංකාව, ඉන්දියාව ඇතුලු කල්පසුවී ධනවාදය වර්ධනය වූ රටවල පාලක පන්තින් අධිරාජ්‍ය-විරෝධයේ සලු උනාදමා නග්නව අධිරාජ්‍යවාදි බලයන් වැලඳ ගෙන ඇත. වික්‍රමසිංහ පමනක් නොව සිරිසේන හා රාජපක්ෂ සම්බන්ධයෙන්ද එය එකසේ වලංගුය.
කරුනාරත්නගේ භාවිතයෙන් න්‍යාය සොයා ගැනීමේ විධික්රමය සම්බන්දයෙන් මත් හොඳම උදාහරනය 2015 ජනාධිපතිවරනයයි. රාජපක්ෂ රුදුරු ලෙස යුද්ධය අවසන් කරමින් සිදුකල අපරාධවලට හා පොලිස් පාලනයට එරෙහිව පැනනැගුනු මහජන කෝපය සිරිසේන බලයට ගෙන ඒමට හරවා යැවීමට වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග ඇතුලු ධනපතියන් සමග නසසප ඇතුලු ව්‍යාජ වාම කන්ඩායම් හා ඊනියා සිවිල් සංවිධාන පෙල ගැසුනි. සිරිසේන ජය ගැනීම කරුනාරත්න එදා හැඳින්වූයේ “ප්රජාතන්ත්රවාදී විප්ලවයේ” ජයග්රහනයක් ලෙසයි.
සිරිසේන බලයට ගෙන ඒම සඳහා වොෂින්ටනය පිටුපසින් සිට ක්‍රියාත්මක වූයේ ය. එක්සත් ජනපදය එසේ කලේ රාජපක්ෂගේ පොලිස් පාලනයට විරුද්ධවූ නිසා නොවේ. එය වනාහි, රාජපක්ෂ පාලනය චීනය සමග පවත්වා ගෙන ගිය සම්බන්ධතාවලට විරුද්ධවූ වොෂින්ටනය කුහක ලෙස මානව අයිතීන් පිලිබඳ ප්‍රශ්න මතුකර සිරිසේන බලයට ගෙන ඒමට සිදුකල පාලන තන්ත්ර මාරු මෙහෙයුමකි. කරුනාරත්න මෙය දැනදැනම සිරිසේන බලයට ගෙන ඒමට සම්බන්ධ විය. ඇමරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදීන් ප්රජාතන්ත්රවාදය හා මානව අයිතීන් රකිනබවට ප්‍රචාරය කරමින් පැබ්ලෝවාදියෝ ඇමරිකාවේ යුද්ධවලට සහ පාලන තන්ත්ර මෙහෙයුම්වලට සහයෝගය දෙති. ලිබියාව හා සිරියාව එවැනි දෙතැනකි.
දැන්, සිරිසේන විප්ලවය පාවාදී ඇතැයි කුනුහරුපෙන් බනිමින් වික්‍රමසිංහ පසුපස ගාල්වී සිටින කරුනාරත්න ඇතුලු නඩය, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්රජාතන්ත්ර අයිතීන්ට එල්ල කල සියලු ප්රහාරයන්ට වගකිව යුතුය.
කරුනාරත්න ඇතුලු වම්මුන්ගේ මූලික දේශපාලනික අංගලක්ෂනය වනුයේ කම්කරු පන්තිය ධනපති පන්ති පාලනය පෙරලා දැමීම සඳහා ධනේශ්වරයේ සෑම කොටසකින්ම ස්වාධීනකොට බලමුලු ගැන්වීමට පවත්නා සතුරු කමයි. ධනපති පක්ෂ සමග පෙලගැසී 1960 ගනන් තරම් ඈත සිට අවස්ථාවාදී දේශපාලනයේ යෙදී ධනපති පන්තියට මුලුමනින් මාට්ටු වී කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන මොවුන් අද තැතිගැනී සිටින්නේ කම්කරු පන්තියේ අරගල ජාත්‍යන්තරවම පුනර්ජීවනය වෙමින් විප්ලවවාදී කොන්දේසි නිර්මානය කෙරෙමින් පැවතීම ගැනයි.
හිතනමතන කම්කරුවන් හා තරුනයන් අතර අපකීර්තියට පත්ව ඇති නිසාම නසපයේ සංවත්සර රැස්වීම ඇල් මැරුනු වියපත් එකක් විය. කරුනාරත්න මෙන්ම එජාපය සමග පෙලගැසී සිටින එක්සත් වාමාංශික පෙරමුනේ ලාල් විජේනායක එම රැස්වීමේ ප්‍රධාන කතාවකට අරාධනා ලබා සිටියේය. සුබපැතුම් ඉදිරිපත් කලවුන්ද එවැන්නෝය.
පැබ්ලෝවාදීන්ගේ එක්සත් ලේකම් මන්ඩලයත් එහි පාකිස්ථාන ශාඛාව වන අවාමි ලීගයත් සංවත්සරයට සුභ පැතුම් එක් කරමින් නසසපයේ “ප්‍රතිපත්තිගරුක භාවය” ගැන උදම් ඇනුවේය. 1964 ලසසපය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාගයකට යාම සුදානම් කලේ එක්සත් ලේකම් මන්ඩලයයි. 1950 ගනන් මුල ට්‍රොට්ස්කිවාදය මුලුමනින්ම අත්හැරදැමූවන්ගේ පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය හා එහි ශාඛා අද දින අධිරාජ්‍යවාදී බලයන්ගේ හා ජාතික ධනේශ්වරයේ ඒජන්සි ලෙස ක්‍රියාත්මක වෙයි. නසසපය මේ සියලු පක්ෂවල භූමිකාව පෙන්නුම් කරන කැඩපතකි.
කම්කරුවන් හා තරුනයන් ද ප්රගතිශීලී බුද්ධිමතුන් ද ධනපති ගැති මෙම දේශපාලනයේ ඡායාවකට හෝ ඉඩ නොතබා සටන් කරමින් සමාජවාදී විප්ලවයේ පක්ෂය ගොඩ නැගීමට සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමට එක්වීම තීරනාත්මකය.
Follow us on