ජවිපෙ ෆැසිස්ට් මැරයන් ග්‍රේෂන් ගීකියනගේ ඝාතනය කිරීමෙන් තිස් වසරක්
කපිල ප්‍රනාන්දු විසිනි, 2019 ජූනි 25
ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ෆැසිස්ට් තුවක්කුකරුවන් විසින් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජික ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ඝාතනය කිරීමෙන් තිස් වසරක් ගතවීම ජුනි මස 24 දිනට යෙදී තිබුනි.
ඝාතනයට ලක්වන විට 28 වියේ පසු වූ ග්‍රේෂන් ගීකියනගේ දශකයක පමන කාලපරිච්ඡේදයක් පුරා ඔහු වාසය කල ප්‍රදේශයේ කම්කරුවන්, ධීවරයන් සහ තරුනයන් විකොස ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයෙන් සන්නද්ධ කිරීමට ධෛර්යමත්ව සටන් වැද සිටියේ ය.
ග්‍රේෂන් ගීකියනගේ ඝාතනය, 1987-90 කාලපරිච්ඡේදය තුල විකොස ඇතුලු දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් හා කලාකරුවන් මත ජවිපෙ විසින් ගෙනගිය පලල් ප්‍රහාරයක කොටසකි. විකොස තවත් සමාජිකයන් දෙදෙනෙකු වූ ආර්.ඒ. පිටවෙල සහ පී. ගුනපාල, ජවිපෙ මැර කන්ඩායම් විසින් 1988 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල දී ඝාතනය කරන ලදී. විකොස සාමාජිකයන් ඝාතනය කිරීම මගින් ජවිපෙ පෙන්නුම් කලේ කම්කරු පන්තියට හා සමාජවාදය සඳහා අරගලයට සිය සතුරුකමයි.
විකොස මධ්‍යම කාරක සභිකයෙකු වූ ග්‍රේෂන්ගේ වැඩිමහල් සොහොයුරා වන නිහාල් ගීකියනගේ ඝාතනය කිරීම ජවිපෙ ඉලක්කය විය. 1989 ජුනි 23 දා සවස හලාවත, තොඩුවාවේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිනි තුවක්කුකරුවන් දෙදෙනෙක් නිහල් ගීකියනගේ හට ලියුමක් දීමට ඇති බව පවසා ඔහු සිටී දැයි ග්‍රේෂන්ගෙන් ප්‍රශ්න කලේ ය. නිහල් නිවසේ නොමැති බව පැවසූ ග්‍රේෂන් ලියුම තමාට දෙන මෙන් ඉල්ලමින් වැඩදුරටත් ප්‍රශ්න කල විට තුවක්කුකරුවන් ඔහුට වෙඩි තැබී ය. ග්‍රේෂන් උදරයට හා මුහුන ප්‍රදේශයට ඉලක්ක කල වෙඩි ප්‍රහාර තුනකට ලක්විය. යතුරු පැදියකින් පැමිනි වෙඩික්කරුවන් දෙසට ගිය ග්‍රේෂන්ගේ මව දෙසට ද වෙඩි තැබූ මැරයෝ පලා ගියහ.
මරනීය තුවාල ලබා නොසිටි ග්‍රේෂන් 24 දා සවස අවසන් හුස්ම හෙලුවේ රෝහල් බලධාරීන් විසින් අවශ්‍ය හදිසි ශල්‍යකර්ම ප්‍රමාද කිරීම හේතුවෙනි.
ග්‍රේෂන් සහෝදරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා කිහිප දහසක ජනයා ඔහුගේ අවමංගල්‍යයට සහභාගීවීම ජවිපෙ මැර තර්ජන කෙරෙහි පැවති මහජන විරෝධය ද විකොසට පැවති මහජන සහයෝගය පෙන්නුම් කලේ ය.
දැන් ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී සිටින ජවිපෙ හා ඉන් 2012 දී සංවිධානාත්මක භේද වී පිහිටුවා ගත් ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), 1987-90 කාලපරිච්ඡේදයේ ජවිපෙ ගෙන ගිය ඉන්දියානු විරෝධී සිංහල වර්ගවාදී ප්‍රතිගාමී ව්‍යාපාරය “විප්ලවවාදී” හා “විරෝදාර” අරගල ලෙස උත්කර්ෂයට නංවති. එහෙත්, එම ප්‍රතිගාමී ව්‍යාපාරයෙන් සලකුනු වූයේ ජවිපෙ දක්ෂිනාංශික දේශපාලන පරිහානියේ තවත් සන්ධිස්ථානයකි.
1960 ගනන්වල ජවිපෙ පිහිටුවූයේ ලංකා සමසමාජ පක්ෂය (ලසසපය) ධනපති පන්ති පාලනය බේරා ගැනීම 1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග ධනේශ්වර සභාග ආන්ඩුවකට හවුල්වෙමින් සිදුකල මහා පාවාදීම නිසා කම්කරු පන්තිය තුල ඇති කෙරුනු ව්‍යාකූලත්වයන් ගසාකමිනි. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ (කොප අනුයමින් සිටි රෝහන විජේවීර ඇතුලු කන්ඩායම වැඩ ඇරඹුවේ ස්ටැලින්වාදයේ ප්‍රභේදයක් වූ මාඕවාදය ද සුලුධනපති කස්ත්‍රෝවාදය ද සිංහල දේශප්‍රේමිත්වය සමග කලතා ගත් ජාතිකවාදී දෘෂ්ටියක් මත පදනම්වයි.
මීට විපරීත ලෙස, 1968 දී විකොස පිහිටුවනු ලැබූවේ, ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම කෙලෙසාලමින් ලසසප සිදුකල මහා පාවාදීමට එරෙහිව අරගලය කල හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙසයි. විකොස සිය අරගලය පදනම් කලේ ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද නොනවතින විප්ලව න්‍යාය මතයි. “ධනේශ්වර සංවර්ධනය පමා වී සිදුවුනු විජිත හා අර්ධ විජිත රටවල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්, ජාතික විමුක්තිය හා ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ප‍්‍රශ්න විසඳා ගත හැක්කේ කම්කරු පන්තියේ රාජ්‍ය බලය පිහිටුවා සමාජවාදී වැඩපිලවෙල ක්‍රියාවට නැගීමෙන් පමනකි” යන්න එම න්‍යායේ මූලික හරයයි.
විකොස ජවිපෙ රැඩිකල් සුලුධනේශ්වර දේශපාලනයට එරෙහිව කල අරගලයේ වැදගත් ප්‍රතිපදානයක් වුයේ 1970 දී එවකට විකොස ප්‍රධාන ලේකම් වූ කීර්ති බාලසූරිය විසින් ලියන ලද ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය නම් කෘතිය යි. ඤබලන්න: ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), පිහිටුවනු ලැබීමේ 50වැනි සංවත්සරය, සුලු ධනේශ්වර රැඩිකල්වාදයට එරෙහි විකොස / සසප දේශපාලන අරගලය%.
එම කෘතිය, ජවිපෙ එල්ලය සමාජවාදය ගොඩනැගීම නොව කම්කරු පන්තිය භේද කරමින් සිංහල ගොවියන්, සිංහල පීඩිතයන්, ශිෂ්‍යන් පමනක් නොව ජාතික ධනේශ්වර පන්තියේ කොටස් ද “දේශප්‍රේමීත්වයේ” පදනම මත එක් කර “දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍රයක් තැනීම” බව පෙන්වා දුන්නේ ය. එපමනක් නොව සිංහල ගොවියන්ට වැඩි “වරප්‍රසාදිත” තත්වයක් වතු කම්කරුවන් භුක්තිවිදින බවත් එය “ඉන්දියානු ව්‍යාප්තවාදයේ” කොටසක් බවත් පවසමින් ගෙන ගිය කම්කරු පන්තික විරෝධය අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයක අන්තරාය ගැබ්කර ගන්නා බව පෙරදැක්කේ ය.
1970 දී ශ්‍රීලනිප-ලසසප- ස්ටලින්වාදී කොප බලයට එන ඒමට සහාය දීම දක්වා ගිය ජවිපෙ මෙම දේශපාලනය 1971 අප්‍රේල් අතිධාවනකාරී කැරැල්ලකට තරුනයන් මෙහෙයවීමට ද තුඩුදුනි. ජවිපෙ නායකයින් සිරගතකර එහි සාමාජිකයන්ද ඇතුලු 15,000ක් පමන තරුනයන් ඝාතනය කල සභාග ආන්ඩුව ඒ සඳහා පැනවූ මර්දන නීති පෙරලා යොදා ගත්තේ සිය අයිතීන් සඳහා අරගලයට ඇදෙන කම්කරුවන් මැඩීමට ය.
දකුනට ගිය ජවිපෙ 1977 ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව බලයට ගෙන ඒමට රහසේ උදවු කලේය. ලංකාව ජාත්‍යන්තර ප්‍රාග්ධනයට විවෘත කරමින් ගෙන ගිය ප්‍රතිව්‍යුහගත කිරීම්වලට එරෙහි කම්කරු පන්තියේ සටන් ඇවිලි ගියේ ය. රජයේ සේවකයන් ලක්ෂයක් රැකියාවලින් දොට්ට දමා 1980 ජූලි වැඩවර්ජනය තලා දැමූ එජාප ආන්ඩුව එතැනින් නො නැවතී, කම්කරු පන්තික සටන් බෙදා අවමංගත කිරීම සඳහා දෙමල විරෝධී වර්ගවාදය අවුලුවාලු අතර එය 1983 දී දෙමල ජනතාවට එරෙහි විවෘත යුද්ධයක් දක්වා තීව්‍ර කලේ ය.
මෙම සුලුධනපති පක්ෂය 1980 ජුලි වැඩ වර්ජනයට මුලුමනින්ම විරුද්ධවූ අතර දෙමල විරෝධී යුද්ධයේ ප්‍රධාන කසකරුවා ලෙස ඊලඟ දශකවල යුද්ධය අවසන් වනතුරුම ක්‍රියාකලේය.
රට තුල සමාජ පිපිරීම් සහගත තත්වය තුල ජයවර්ධන, 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊය) නිරායුද කිරීම ඉලක්ක කොට ගත් ලක්ෂයක ඉන්දීය හමුදා උතුරු නැගෙනහිරට ගොඩබස්සා ගත්තේ ය. ජයවර්ධන ආන්ඩුව උතුරේ රඳවා සිටි හමුදා දකුනට කැඳවා ගෙන ගම්බද පෙරලිකාරිවෙමින් සිටි තරුනයන්ට එරෙහිව මුදා හැරියේය.
1988-90 වකවානුව තුල ගම්බද පෙරලිකාරිත්වය අවමංගත කිරීමට ජවිපෙ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව “මව්බිම නැත්නම් මරනය” යන සටන්පාඨය ඔජවඩවමින් සිංහල ස්වෝත්මවාදී ව්‍යාපාරයක් දියත් කලේය. එය හරහා, ජයවර්ධනට පසු බලයට පැමිනි ජනාධිපති ආර්. ප්‍රේමදාස ආන්ඩුව සමග කේවලයකට යමින් දේශපාලන විරුද්ධවාදීන්ට හා වෙසෙසින්ම කම්කරුවන්ට විරුද්ධව, අර්බූද ග්‍රස්ත ධනපති පන්තිය වෙනුවෙන් සේවය කරන ෆැසිස්ට් මුගුරක් මෙම පක්ෂය ලෙස වැඩට බැස්සේය.
ජවිපෙ සමග උපාමරු අවසානයකට පත්කල ජනාධිපති ප්‍රේමදාස ප්‍රමුඛ එජාප තන්ත්‍රය ඊට එරෙහිව හැරුනු අතර හැට දහසකට අධික ගම්බද තරුනයන් ඝාතනයට රාජ්‍ය හමුදා, පොලිසි හා විවිධ මැර නඩ මුදා හරින ලදී. එවක ජවිපෙ නායකයන් සියල්ලම මෙන්ම, දිවිගලවා ගෙන පලාගිය කොටසක් හැර බහුතර සාමාජිකත්වය මෙම මිනීමරු දඩයමට ගොදුරු විය.
විකොස සාමාජිකයින් මරා දැමීමට ජවිපෙ ක්‍රියා කලේ මෙම ව්‍යාපාරය මධ්‍යයේ ය. අප පක්ෂය වෙසෙසින්ම ජවිපෙ ඉලක්කයක් වූයේ උතුරු-නැගෙනහිර වර්ගවාදී යුද්ධයට හා ඉන්දියානු හමුදා ආක්‍රමනයට එරෙහිව සිංහල-දෙමල කම්කරුවන්ගේ හා ඉන්දියනු හා දකුනු ආසියාවේ කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුවට සටන් කිරීමයි. මෙම සටනේ ක්‍රියාමාර්ගය වූයේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවකට ද දකුනු ආසියාවේ සමාජවාදී සමුහාන්ඩු සංගමයකට සටන් වැදීමයි.
ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාරයන්ට හා රාජ්‍ය භීෂනය යන දෙකටම එරෙහිව විකොස කම්කරු පන්තික සංවිධානවල එක්සත් පෙරමුනු වැඩපිවෙලක් ඉදිරිපත් කලේය. ලසසප, කොප හා නව සමසමාජ (නසසප) එම යෝජනාව ප්‍රතික්ෂේප කොට ජවිපෙ තුවක්කුකරුවන්ගෙන් ආරක්ෂා වීම යන කඩතුරාව යටතේ එජාපය හා රාජ්‍ය ආරක්ෂක භටකායන් සමග විවෘතව පෙල ගැසී ආන්ඩුවේ භීෂනයට හවුල්විය.
කම්කරු වැඩබිම්, විශ්වවිද්‍යාල තුල දී රටපුරා විකොස ගෙන ගිය සටනේ කොටසක් ලෙස තොඩුවාව ලිවර් බ්‍රදර්ස්හි, මාදම්පේ හේකාබ්හි හා තවත් වැඩබිම්වල කම්කරුවන් අතර විකොස එක්සත් පෙරමුනු වැඩපිලිවෙල සඳහා සටන් වැදුනි. කම්කරුවන්ගෙන් ඊට ලැබූනේ බලගතු සහයෝගයකි. ලිවර් බ්‍රදර්ස්හි සියයක පමන කොන්ත්‍රාත් කම්කරුවන්ගේ රැකියා ස්ථීර කර ගැනීමේ අරගලයට නිහල්, ග්‍රේෂන්, අයිවන්, ක්වින්ටස් වැනි විකොස සාමාජිකයන් මූලිකත්වය ගත්තේ ය. ග්‍රේෂන් ඝාතනය කල සතියේ දී කම්කරුවන්ගේ ආරාධනයෙන් නිහාල් ගීකියනගේ කොන්ත්‍රාත් කම්කරුවන්ගේ ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතී ය. ප්‍රදේශයේ ධීවරයන් අතර විකොස ගොඩනැගූ සමිතිය නවතා දමන්නැයි දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයෙන් මරන තර්ජන කර තිබුන ද පක්ෂයේ අරගලය ඉන් නතර කල නොහැකිවිය.
විකොස හා සසප අරගලය හැමවිටම පාදක වූයේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයට කම්කරු පන්තියේ ධනේශ්වරයේ සියලු කොටස්වලින් ස්වාධීන කර මෙහෙයවීමත් ඒ සඳහා අවශ්‍ය විපල්වවාදී පක්ෂය ගොඩනැගීම මතය.
1971 ජවිපෙ මැඩීමට සභාග ආන්ඩුව දියත්කල මර්දනයට එරෙහිව “සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” යි සප්‍රතිපත්තික ප්‍රබල උද්ඝෝෂනයක යෙදුනු විකොස දැන් “ගම්බද ඝාතන නරත කරනු!” යි පුලුල් දේශපාලන උද්ඝෝෂනයක් රටපුරා ගෙන ගියේය.
1994 දී ජවිපෙ ඉතිරිවී සිටි කොටස්වලට යලි කාන්ඩ ගැසී දේශපාලන කරලියට ඒමට ඉඩ සැලසුවේ හිටපු ජනාධිපතින් වූ ඩී. බී. විජේතුංග සහ චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. ඒ, ධනපති පන්තියට අවශ්‍ය දේශපාලන ආරක්ෂක ඉපියාවක් ලෙස සේවය කිරීමට ය. වඩාත් දකුනට ගිය සංවිධානයක් ලෙස ජවිපෙ ධනපති සංස්තාපිතයට එකාග්‍ර වී කම්කරුවන්, තරුනයන් හා සිසුන් මුලාවට පත් කරමින් පසුගිය ශත වර්ෂ කාල තුල ඉටුකල කුප්‍රකට ක්‍රියා කලාපය තම නායකයන් මර්දනයට හා ඝාතනයට ලක්කල ධනපති ශ්‍රීලනිප හා එජාප සමගත්, සරත් ෆොන්සේකා වැනි මිලිටරි නායකයන් සමගත් එකට වැඩට කිරීමෙන් ප්‍රකට කර ඇත.
2015 දී චීනය සමග සමීප සම්බන්ධතා තහවුරු කරගෙන සිටි නිසා පමනක්ම මහින්ද රාජපක්ෂට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිදුකල තන්ත්‍රමාරු මෙහෙයුමට ගාල් වූ ජවිපෙ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ඒ පසුපසින් අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව බලයට ගෙන ඒමට හවුල් විය.
කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල තලා දැමීම සඳහා ආන්ඩුව පසුගිය අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාර ඩැහැගනිමින් පොලිස් රාජ්‍යයක කොන්දේසි නිර්මානය කර තිබේ. ආන්ඩුව මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය හා සිංහල-බෞද්ධ අන්තවාදී නඩ ඒකාබද්ධව ගෙන යන “අන්තවාදය” පරාජය කිරීමේ උද්ඝෝෂනයේ ජවිපෙද පෙරමුන ගෙන ඇත; ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ නමින් පොලිස් රාජ්‍යයක් ඇටවීම කරා පාලක පන්තිය ගෙන යන වැඩපිලිවෙලේ හවුල්කරුවෙක් වී ඇත.
ආරම්භයේ දී රැඩිකල් සුලු ධනේශ්වර සංවිධානයක් වූ ජවිපෙ දක්ෂිනාංශික හැරීගැනීම යටින් පැවතියේ ලොවපුරා ජාතිකවාදී පක්ෂ හා සංවිධානවල පදනම් ව සිටි ජාතික ආර්ථික අඩිතාලමට වල කපමින් නිෂ්පාදනයේ භූගෝලීයකරනය විසින් ලෝක ආර්ථිකයේ හා දේශපාලනයේ ඇති කරන ලද ගැඹුරු වෙනස්කම් ය.
ග්‍රේෂන් ඝාතනයේ සිට වසර තිහක් ගත වන තැන ලෝක දේශපාලන තත්වය යලි සංලක්ෂිතව පවතින්නේ ලෝක ධනවාදය බිඳවැටීමක් තුලට යලි ගමන් කිරීමෙන්, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් යලි මානව වර්ගයා ලෝක යුද්ධයක් කරා තල්ලු කිරීමේ තර්ජනය මතු වීමෙන් —එක්සත් ජනපදය එහි ප්‍රමුඛත්වය ගෙන සිටි — සහ අන් සියල්ලටමත් වඩා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයේ යලි පුපුරා යෑමෙනි.
විප්ලවවාදී නායකත්වය පිලිබඳ අර්බුදය විසඳමින් කම්කරු පන්තිය ජාත්‍යන්තරව මෙහෙයවීම මත ලෝක යුද්ධයේ තර්ජනය නතර කිරීම හා ලෝක සමාජවාදී විප්ලවය ජයග්‍රහනය කිරීම රඳා පවතී. හජාජාක සහ එහි සමාජවාදී සමානතා පක්ෂ සටන්වැද සිටින්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීමටයි. ජවිපෙ මැරයන් විසින් ඝාතනය කෙරුනු ග්‍රේෂන් සහෝදරයා සහ විකොස සහෝදරවරුන්ගේ අරගලය සාක්ෂාත් වන්නේ මෙම සටන තුල ය.
කියවන්න:
Follow us on