ඉන්දියාව පකිස්ථානයට බෝම්බ හෙලයි, ඉස්ලමාබාදය මිලිටරි ප්‍රහාර එල්ල කරන බවට දිව්රයි
India bombs Pakistan, Islamabad vows military retaliation
වසන්ත රූපසිංහ විසිනි, 2019 පෙබරවාරි 27
ඉන්දියාව 26දා උදෑසන පකිස්ථානයේ අභ්‍යන්තර ප්‍රදේශයකට එල්ල කල ගුවන් ප්‍රහාර හමුවේ, පසමිතුරු න්‍යෂ්ටික බලවතුන් දෙදෙන අතර ආතතීන් උත්සන්න වෙමින් ඇත. ඒ 1971 ඉන්දු පකිස්ථාන යුද්ධයෙන් පසු පලමු වතාවටය.
පකිස්ථාන මිලිටරිය ඉන්දියාව “මවිත කරන” බවට ප්‍රතිඥා දීම හමුවේ ඉස්ලමාබාදය තමන්ට එකට එක කිරීමට අයිතිය ඇති බව පැවසීය. එකට එක කිරීමේ ප්‍රහාර පාලනය කරගත නොහැකි විනාශකාරී යුද්ධයක් කරා පැතිර යාමේ දැඩි අනතුර මතු කරයි.
මේ ලිපිය පලකරන අවස්ථාව වන විට, ඉන්දියාවේ හා පකිස්ථානයේ පාලනයට නතු කාෂ්මීර පාලන සීමාව හරහා දරුනු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කෙරෙමින් ඇති බව සඳහන් විය.
ඉන්දියානු ගුවන් හමුදාවේ මිරාජ් ප්‍රහාරක යානා 12ක් කාෂ්මීරයේ ඉන්දියානු පාලනයට එරෙහි ත්‍රස්තවාදී ඉස්ලාමීය කන්ඩායමක් වන ජයිෂ් ඊ මොහමඞ් (JeM) යන කන්ඩායමේ ප්‍රධාන කඳවුර විනාශ කල බව ඉන්දියානු ආන්ඩුව පවසයි. ඒ සඳහා කිලෝග්‍රෑම් 1000ක් බර “ප්රෙසිෂන්” බෝම්බ යොදාගෙන ඇත. හඳුනාගෙන තිබෙන කඳවුර, පාලන සීමාවෙන් කිමී 60ක් පමන ඇතුලත පකිස්ථානයේ කයිබර්-පක්තුන්ක්වා ප්‍රාන්තයේ බලාකොට්හි පිහිටා ඇත.
ප්රමෝදයට පත් මාධ්‍ය සමුලුවකදී ඉන්දියානු විදේශ ලේකම් විජේ ගොක්කාලි 16දා පැවසුවේ, “මේ ප්‍රහාරයෙන් JeM ත්රස්තවාදීන් විශාල පිරිසක්, පුහුනුකරුවන්, ජ්‍යෙෂ්ඨ අනදෙන්නන් හා ෆිඩායින් (මරාගෙන මැරෙන) කටයුතු සඳහා පුහුනු කෙරෙමින් සිටි ජිහාඞ්වරු කන්ඩායමක් විනාශ කල” බවයි.
තමන් මරා දැමූ සංඛ්‍යාව හරියටම පැවසීම ඉන්දියානු ආන්ඩුව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් ඉන්දියානු මාධ්‍ය හින්දු අධිපතිවාදී බීජේපී ආන්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග මත පදනම්ව පැවසුවේ ගනන 200-300 අතර වන බවයි.
ඊට වඩා පකිස්ථානයට එල්ල කල ඉන්දියාවේ ප්‍රහාරය ගැන යමක් හරියටම පැවසිය නොහැක. අගමැති නරේන්ද්‍ර මෝදි හා ආන්ඩුවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨයින් හා මිලිටරි නිලධාරීන්, පෙබරවාරි 14දා ඉන්දියාව පාලනය කරන කාෂ්මීරයේ පුල්වමා ආසන්නයේ පැරාමිලිටරි පොලිසියේ මධ්‍යම සංචිතයට අයත් සෙබලු 40ක් මරා දැමුනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මිලිටරිමය වශයෙන් දඬුවම් කරන බවට යලි යලිත් දිව්රුම් දී තිබුනි. JeM බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුන ද මෝදි, පැවසුවේ වගකීම පකිස්ථානයට පැවරෙන බවයි. එසේම දඬුවම් පැමිනවීමට ඉන්දියානු මිලිටරියේ “දෑත් නිදහස්ව” ඇති බව ද ඔහු පැවසීය.
16දා ප්‍රහාරය සූදානම් කෙරෙමින් තිබියදී බීජේපී ආන්ඩුව, එකට එක කිරීමේ පියවර ගනනාවක් නිවේදනය කලේය. ඒවාට, වඩාත්ම මිත්‍රශීලී වෙලඳ සහකරු තත්වය අවලංඟු කිරීම ද ඇතුලු, ඉන්දු නිම්න ජල ගිවිසුම පිලිබඳ ඉන්දියාවේ අයිතිය දැඩි කරන බව කියා සිටියේය. ඒ අනුව පකිස්ථානයට වාරිමාර්ග හා ජල විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන ජලය අවහිර කිරීමෙන් එරට ආර්ථිකය අඩපන කිරීමේ තර්ජනය ද ඉස්මතු කෙරේ.
26දා ප්‍රහාරය යුක්ති සහගත කිරීමට පුල්වමා ප්‍රහාරය යොදාගැනීමට උත්සාහ නොකිරීම මඟින් නව දිල්ලිය, පකිස්ථානයට එරෙහි තම පලිගැනීමේ ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව වක්‍ර ලෙස පිලිගත්තේය. ඒ වෙනුවට විදේශ ලේකම් පැවසුවේ, ඉස්ලාමීය සංවිධානය තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සමීපව ඇති බවට “ පිලිගත හැකි තොරතුරු” ලැබීම මත පදනම්ව JeM ඉලක්ක කරගත් “මිලිටරි නොවන පෙරලොප් ක්රියාන්විතයකට”එලඹුනු බවයි.
16දා අලුයම කලුවරේ පකිස්ථානය තුල ඉලක්ක වෙත එල්ල කල ප්‍රහාරය ගැන ඉන්දියාවේ ප්‍රකාශ ඉස්ලමාබාදය විසින් ප්‍රතික්ෂේප කලේය. අගමැති ඉම්රාන් ඛාන් මූලාසනය දැරූ පකිස්ථානයේ ජාතික ආරක්ෂක කමිටු රැස්වීමෙන් පසුව නිකුත් කල ප්‍රකාශයකින් ඉන්දියාව “ආත්ම තෘප්ත වගකීම් විරහිත හා ගොතන ලද ප්‍රකාශ නිකුත් කරන බවට චෝදනා නැඟීය. ඉස්ලමාබාදයට අනුව, පකිස්ථාන යුද ගුවන්යානා විසින් ඉන්දියානු ප්‍රහාරක යානා පලවාහැරි බවත් ඒවා එල්ල කල ප්රෙසිෂන් බෝම්බ වනාන්තරයකට වැටීමෙන් එක් සිවිල් වැසියෙක් තුවාල ලැබූ බව සඳහන්ය.
නව දිල්ලියෙන් හා ඉස්ලමාබාදයෙන් නිකුත්වන එකිනෙකට වෙනස් රලු ප්‍රකාශ මඟින් සලකුනු කෙරෙන්නේ තත්වයේ පුපුරන සුලු බවයි. දෙරටේම ප්රතිගාමී පාලක පැලැන්තිය දශක ගනනක් තිස්සේ තම මූලෝපායික එදිරිවාදිකම් යොදාගත්තේ, සමාජ ආතතීන් වෙනතකට හරවා යවන ප්රතිගාමිත්වය ඇවිස්සීමටය. ඔවුහු, ඉතා සුලු හෝ සම්මුතියක් හෝ පරම සතුරා සමඟ පවතින එදිරිවාදිකම් අතහැර දමන සුලු හෝ ඇඟවුමක් වත් නොඉවසීම සිය පාලනයේ මාධ්‍යය බවට පත්කරගෙන සිටිති.
26දා ප්‍රහාරයේ බලපෑම ඉවත දමන අතරම පකිස්ථාන මිලිටරියේ හා ආන්ඩුවේ ප්‍රතිචාරය ද එවැනිම බවට සෑම ඇඟවුමක්ම පවතී.
මිලිටරි ප්‍රකාශක මේජර් ජෙනරාල් අසිෆ් ගෆූර් මෙසේ පැවසීය. “පකිස්ථානය, රාජ්‍යතාන්ත්‍රික, දේශපාලනික හා මිලිටරි පෙරමුනු වලින් ඉන්දියාවේ ක්‍රියාවට ප්‍රති ප්‍රහාර එල්ල කරනු ඇත. අගමැති ඉම්රාන් ඛාන් හමුදාවට හා ජනතාවට පැවසුවේ, ඕනෑම තත්වයකට සූදානම් වන ලෙසයි. අපගේ ප්‍රතිචාරය ලැබෙන තෙක් ඉන්දියාවට බලා සිටින්නට වනවා. අප තීන්දු කර අවසානයි. දැන් එය පැමිනෙන තෙක් බලා සිටින්න.”
26දා ප්‍රහාරයට අන දීමෙන් බීජේපී ආන්ඩුව අරමුනු දෙකක් අපේක්ෂා කරයි. පලමුවැන්න, පකිස්ථානයට එරෙහි සිය රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි ව්‍යායාමය උත්සන්න කිරීමයි. ඉන්දියානු කාෂ්මීරය තුල ත්‍රස්තවාදී ප්රහාරයන්ට පිලිතුරු වශයෙන්, පකිස්ථානයට නීති විරෝධී මිලිටරි ප්‍රහාර එල්ල කිරීමේ ඉන්දියානු ක්‍රියා සාමාන්‍ය දේ බවට පත්කර ගැනීමය.
අම්බානිවරු හා අලුතෙන් බිහිවූ අනෙකුත් ඉන්දියානු බිලියන පතියන්ගේ අනුග්‍රහය ඇතිව 2014 බලයට පත්වීමෙන් සුලු කලකට පසුව මෝදිගේ බීජේපී ආන්ඩුව, පකිස්ථානය සමඟ “ගනුදෙනු කරන ක්‍රමය” වෙනස්කිරීමෙහිලා සිය අධිෂ්ඨානය ඇඟවුම් කලේය. එමගින් පකිස්ථානයට ඉන්දියාවේ කලාපීය ආධිපත්‍යය පිලිගන්නා ලෙසට බල කිරීමත්, කාෂ්මීර ත්රස්තවාදයට දෙන එරට සම්බන්ධීකාරක සහයෝගය කැපී පෙනෙන අයුරු අතහැරීමත් අපේක්ෂිත විය.
2016 පටන් ඉන්දීය පාලනයට එරෙහි ජනතා විරෝධයේ නව රැල්ල, ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් සහිත එකම ප්‍රාන්තය වන ජම්මු හා කාෂ්මීරයේ තත්වය නරක අතට හැරවීය. එයින්, මෝදි, බීජේපීය හා ආර්එස්එස් නායකත්වය දරන හින්දු දක්ෂිනාංශය තුල, පකිස්ථානයට එරෙහිව කරන කඩාපැනීම් දැඩිකිරීමේ ආස්ථානය ශක්තිමත් කලේය.
26දා එල්ල කල ගුවන් ප්රහාරයන්හි, වැදගත් කමෙන් නොදෙවෙනි අනෙක් අරමුන වූයේ, ලබන අප්‍රේල් මැයි මාසවල ඉන්දියාවේ පැවැත්වීමට නියමිත බහු විධ මහ මැතිවරනය වනවිට යුදවාදී හා වර්ගවාදී දේශපාලන වාතාවරනයක් නිර්මානය කර ගැනීමයි. ඉන්දියාවේ කම්කරු හා පීඩිත ජනතාවට බිහිසුනු රැවටීමක් බව සනාථ කෙරී ඇති මෝදි ආන්ඩුවේ රැකියා හා සංවර්ධනය පිලිබඳ පොරොන්දු හමුවේ එය නැගෙන සමාජ විරෝධයකට මුහුනපා සිටී. මෝදි ආන්ඩුවේ කප්පාදු වැඩසටහන් වලට හා “ආයෝජන ගැති ප්රතිසංස්කරනයන්ට” විරුද්ධව පසුගිය මාසයේ මිලියන ගනනක් කම්කරුවන් සම්බන්ධවූ දෙදින මහ වැඩවර්ජනයක් පැවැත්වුනි. පුලුල්ව පැතිරුනු ගොවි විරෝධතා ද පැවැත්වුනි.
බීජේපීය උත්සාහ කරන්නේ, පකිස්ථානය සමඟ ඇති යුද අර්බුදය එහි හින්දු දක්ෂිනාංශික දේශපාලන පදනම මෙහෙයවා ගැනීමටත්, ඉන්දියාවේ සතුරන් මෙල්ලකර ගැනීමට සමත් ප්‍රබලයා මෝදිය යන ව්‍යාජය වගාකර ගැනීමටත් ඔහු හා ඔහුගේ ආන්ඩුව විවේචනය කිරීම ජාතිද්‍රෝහී නොවේ නම් අකෘතඥ කමක් ලෙස පෙන්වා ගැනීමටත් ය.
පුල්වමා ප්‍රහාරයෙන් පසුව හින්දු දක්ෂිනාංශය විසින් අවුලුවාගත් ව්‍යාජ වාතාවරනය නිසා අනෙක් ප්‍රාන්තවල ඉගෙනුම ලබන දහස් ගනන් කාෂ්මීර සිසුන්ට, දැනටමත් සිය පන බේරා ගැනීමට නිවෙස් කරා දිවයන තත්වයක් නිර්මානය කෙරී ඇත.
මෙම දුෂ්ඨ හා විනිවිද පෙනෙන සුලු ව්‍යාජය පිනිස නිපුල්වාමා ප්‍රහාරය ඩැහැ ගැනීමට බීජේපීයට ලැබී ඇති හැකියාව, මුලුමනින්ම බැඳී ඇත්තේ විරුද්ධ පක්ෂවල ප්රතිගාමී දේශපාලනය සමගයි.
කාෂ්මීරයේ රුදුරු මර්දනය පිලිබඳව ඔවුන් කලින් කලට බීජේපී ආන්ඩුව විවේචනය කල ද පකිස්ථානය දන ගස්වා මහ බලවතෙකු වීමේ අභිලාශය ඉටුකර ගැනීමේ ඉන්දියානු ධනේශ්වරයේ ගමන පිටුපස ඔවුන් ද පෙලගැසී සිටියි.
සීපීඑම් හෙවත් ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් (මාක්ස්වාදී) පක්ෂය ද ඇතුලු මුලු විපක්ෂයම 2016දී පකිස්ථානයට එරෙහිව ආන්ඩුව නියෝග කල කොමාන්ඩෝ වර්ගයේ “හදිසි ප්‍රහාරයට” හුරේ දැමූහ. පකිස්ථානයේ ඉන්දියානු පිලිවෙත සම්බන්ධ “මූලෝපායික හික්මීමේ” විලංඟුව ගලවා දැමූ බවට මෙහිදී මෝදි කයිවාරු ගැසීය.
විපක්ෂ නායකයින්ගේ පෙරහැරෙහි නායකත්වය ගනිමින් කොංග්රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි, 26දා ඉන්දියානු ගුවන් ප්‍රහාර වර්නනා කරන ට්වීටර් සටහනකින් පැවසුවේ,” ගුවන් හමුදාවේ නියමුවන්ට මම ආචාර කරන්නෙමි” යනුවෙනි.
සීපීඑම් මහ ලේකම් සීතාරාම් යෙචුරි මිලිටරියේ “බලගතු ප්‍රහාරය” හුවා දක්වමින් ආන්ඩුව කැඳවා තිබූ සියලු පක්ෂවල රැස්වීම සඳහා කඩිමුඩියේම දිවගියේය. රැස්වීම නිමා කරමින් ඉන්දියානු විදේශ ඇමති සුශ්මා ස්වරාජ් කයිවාරු ගැසුවේ, “සියලු පක්ෂ එක හඬින්ම ආරක්ෂක හමුදා හා ආන්ඩුවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වර්නනා කලෝ” යයි පවසමිනි.
පකිස්ථාන ආන්ඩුව හා පාලක පැලැන්තිය, තමන් ඉන්දියානු ආක්රමනයේ ගොදුරු බවට පත්ව ඇතැයි පෙන්වීමට උත්සාහ කලහ. එහෙත් ඔවුන්, උපමහාද්වීපය මුස්ලිම් පකිස්ථානයක් හා හින්දු ඉන්දියාවක් ලෙස වාර්ගිකව බෙදා වෙන් කල 1947 පටන් දකුනු ආසියාව අලලාගත් ප්රතිගාමී මූලෝපායික ගැටුමට නව දිල්ලියට නොදෙවෙනි ලෙසින් වගකිව යුතුය. අද එය න්‍යෂ්ටික ගිනි ජාලාවක් ඇවිලවීමට තර්ජනය කරයි. වඩාත් නරුම වන්නේ, තමන් කාෂ්මීර වැසියන්ගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටීමට දරන ඉස්ලමාබාදයේ උත්සාහයයි. අසාද් හෙවත් පකිස්ථාන කාෂ්මීර වැසියන්ගේ අයිතීන් මත අධිකාරය පවත්වාගෙන යන පකිස්ථානය, කම්කරු පන්ති විරෝධී ඉස්ලාමීය මිලිෂියා කන්ඩායම් නඟාසිටුවීමට සිය දේශපාලන හා සම්බන්ධීකාරක අනුහස යොදාගනිමින්, ජම්මු හා කාෂ්මීරයේ මහජන විරෝධය ගසාකනු ලබයි.
ඉන්දු පකිස්තාන ගැටුම, බෙදා වෙන්කිරීම තුල මුල්බැස තිබුන ද වොෂින්ටනයේ කොල්ලකාරී ක්‍රියාවන් මඟින් එය ඉමහත් ලෙස උග්‍ර කර තිබේ. චීනයට එරෙහි තම මිලිටරි-මූලෝපායික ආක්රමනයේදී ඉන්දියාව පෙරමුනු රාජ්‍යයක් ලෙස යොදාගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින, බලයට පත් ඩිමොක්රටික මෙන්ම රිපබ්ලිකානු පාලන තන්ත්රයන්, ඉන්දියාවට මූලෝපායික වාසි සලසා දුන් අතර එහි කටයුතු කලාපීය බල තුලනය අහෝසි කරනු ඇති බවට ඉස්ලමාබාදය විසින් කරන ලද අනතුරු ඇඟවීම් මුලුමනින්ම නොතකා හැරියේය.
ඉන්දු-ඇමරිකානු “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය” තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඇමරිකාවේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, පකිස්ථානයට පහර දීම සඳහා මෝදි ආන්ඩුවට කොල එලිය දැල්වීය. පුල්වාමා ප්‍රහාරයෙන් පැය 24ක් ඉක්මීමටත් පෙරාතුව හා සිය ඉන්දියානු සහකරුවා වන අජිත් ඩොයල් සමඟ කඩිමුඩියේ කල කථාබහෙන් පසුව බෝල්ටන්, “දේශසීමා හරහා සිදුවන ත්රස්තවාදයට එරෙහිව ඉන්දියාවේ ආත්මාරක්ෂාව සඳහා වන අයිතියට” වොෂින්ටනය සහාය දක්වනු ඇතැයි ප්‍රකාශ කලේය. රටේ නම පමනක් වෙනස් වූ බෝල්ටන්ගේ වචන, පලස්තීනුවන්ට ඊස්රායලය එල්ල කරන ප්‍රහාර වෙනුවෙන් ආශීර්වාද කිරීමට ඇමරිකානු ආන්ඩු දශක ගනනාවක් තිස්සේ යොදාගත් වචනමය.
ඉන්ධන යලි පිරවීම හා ප්‍රති සැපයුම් සඳහා ඉන්දියාවේ මිලිටරි කඳවුරු යොදාගැනීමට දැන් ඇමරිකාව සතු අයිතිය ද ඇතුලු තරවෙන ඉන්දු-ඇමරිකා සන්ධානය ගැන පවතින බිය, චීනය හා පකිස්ථානය සමීප මූලෝපායික බැඳීම් ගොඩනඟා ගැනීමට මෙහෙයවා ඇත. මෙහි ප්‍රතිපල වශයෙන් ඉන්දු-පකිස්ථාන හා ඇමරිකා-චීන ගැටුම් එකට බැඳ දමා ඇත. ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධයක් ලෝක බලවතුන් ද අවදානම් ගැනීම කරා ඇද ගනිමින් ගෝලීය ගිනි ජාලාවක් අවුලුවනු ඇත.
අලුත්ම ඉන්දු පකිස්ථාන යුද අර්බුදය සලකුනු කරන්නේ, යුද්ධයටත් අධිරාජ්‍යවාදයටත් එරෙහිව දකුනු ආසියාවේ ද මුලු මහත් ලෝකයේ ද කම්කරු පන්තිය විසින් නායකත්වය ගනු ලබන ව්‍යාපාරයක් ගොඩනැඟීමේ හදිසි භාවයයි. එකිනෙකාට එරෙහිව ලේ උනුකරවන තර්ජන එල්ල කරගනු ලැබුව ද කප්පාදුවේ හා ධනපති ප්රතිව්යූහහකරනයේ පිලිවෙත් අනුගමනය කරන මෝදි හා ඉම්රාන් ඛාන් යන දෙදෙනාටම එරෙහිව, ඉන්දියානු හා පකිස්ථානු කම්කරුවන් සිය අරගල ඒකාබද්ධ කල යුතු අතර, ධනපති පාලනය ද උප මහාද්වීපයේ ප්රතිගාමී වාර්ගික බෙදීම් අලලාගත් රාජ්‍ය පද්ධතිය ද පෙරලා දමා දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමේ අරගලයට පීඩිත ජනතාව ද තමන් පිටුපස පෙලගස්වා ගත යුතුය.
Follow us on