ශ්‍රී ලංකාවේ සසප එලඹෙන වතු කම්කරු සමුලුව සඳහා උද්ඝෝෂනය කරයි
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මාර්තු 7
පසුගිය සතිය පුරා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ උද්ඝෝෂකයෝ, මාර්තු 17දා හැටන් නගර ශාලාවේ දී පැවැත්වෙන වතු කම්කරු සමුලුව ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වතු කිහිපයක උද්ඝෝෂනයේ යෙදුනි.
“වතු කම්කරු අරගලයේ පාඩම් සහ ඉහල වැටුප් හා ප්රජාතන්ත්රවාදී අයිතීන් දිනාගැනීම සඳහා ඉදිරි මාවත” සාකච්ඡා කිරීම සඳහා මෙම සමුලුව සසප සහයෝගය සහිත ව ඇබොට්ස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් කැඳවුම් කරන ලදී. පසුගිය දෙසැම්බරයේ එම ක්‍රියාකාරී කමිටුව පිහිටුවන ලද්දේ වතු කම්කරුවන් දින නවයක් පුරා නිරත වූ වැඩ වර්ජනයට සසප කල දේශපාලනික මැදිහත් වීමෙන් පසු ය.
රුපියල් 1,000 ක මූලික දෛනික වැටුපක් ඉල්ලා කරන ලද උද්ඝෝෂනය තීව්ර කිරීම සඳහා පැවැත්වූ වැඩ වර්ජනයට 100,000කට අධික වතු කම්කරුවෝ සහභාගි වූහ. ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්), ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) හා ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) යන අනෙකුත් වෘත්තීය සමිතිවල ද සහයෝගය සහිත ව ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) විසින් එම වර්ජනය අවසානයේ පාවා දුනි.
කම්කරුවන්ගේ විරෝධය නො තකා සීඩබ්ලිව්සී හා එල්ජේඊඩබ්ලිව්යූ සමිති, සමාගම් සමග සාමූහික ගිවිසුමකට ජනවාරි 28දා අත්සන් තැබූ හ. මෙම පාවාදීමේ ගිවිසුම හරහා නාමික වැටුප් වැඩිවීමක් පිලිගත් එම සමිති, සමාගම්වල ඵලදායිතාව වැඩිකිරීමේ පියවරයන් සමග ඒකාබද්ධ ව වැඩකිරීමට පොරොන්දු වූ හ.
පසුගිය දින කිහිපය පුරා සසප/සසජාතශි සාමාජිකයෝ තෙරේසියා, ඔට්ටේරි හා දික්ඔය ඇතුලු වතු කිහිපයක උද්ඝෝෂනයේ යෙදුනාහ.
.මඩොල්සිම වතු සමාගමට අයත් තෙරේසියා වත්ත මෝරා, තෙරේසියා හා කිල්ලේනි යනුවෙන් කොටස් තුනකින් සමන්විත ය. බොගවන්තලාව නගරය ආසන්නයේ හැටන් සිට කිලෝමීටර 17ක් දුරින් පිහිටි එයට 900ක පමන ශ්‍රම බලකායක් ඇත.
වතු කලමනාකාරීත්වය විසින් සතියක වැඩ දින ගනන 6 සිට 4 දක්වා අඩු කිරීමට විරුද්ධ ව මෙම වත්තේ සියලු කොටස්වල කම්කරුවෝ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව පෙබරවාරි 20දා සිට දවස් හතරක් වැඩ වර්ජනයේ යෙදුනාහ.
කම්කරුවෙක් උදඝෝෂකයන්ට මෙසේ කීවේ ය: “වෘත්තීය සමිති, කලමනාකාරීත්වය සමග සහයෝගයෙන් වැඩකරනවා. අප ඉල්ලූ පරිදි අපේ වැටුප වැඩිකිරීම වතු සමාගම් විසින් ප්‍රතික්ෂේප කලා. අපිට ලැබුනෙ රුපියල් 20ක වැඩිකිරීමක් විතරයි. අපි දවස් 9ක් වර්ජනය කලා, ඒත් වෘත්තීය සමිති එය පාවා දුන්නා. දැන් කලමනාකාරීත්වය අපේ වැඩ දින ගනන අඩුකරනවා. සමිතියෙන් ස්වාධීන ව සංවිධානය වෙන්නෙ නැති ව අපිට ඉස්සරහට යන්න බැහැ. කම්කරු සමුලුවට සහභාගි වීමටත් එහි දී කතාකිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”
තමන් කර්මාන්තශාලාවේ රියැදුරෙක් ලෙස වැඩ කල බවත් ආදායම පවුලේ යැපීමට ප්‍රමානවත් නො වූ නිසා රැකියාවෙන් අස්වීමට සිදු වූ බවත් වී. අන්නමලෙයි කීවේ ය. දැන් ඔහු ගොවිතැන් කටයුතුවල නිරත වේ.
“බෙදා වෙන් කල ලයින් කාමරයක් තුල පවුල් දෙකකට වඩා ජීවත් වීම සාමාන්‍ය දෙයක්. සොච්චම් පඩියක් එක්ක අපි ගෙයක් හදාගන්නෙ කොහොම ද? ගෙවල් අලුත්වැඩියා කරගැනීම සඳහා ඊපීඑෆ් ලැබෙනකල් හෝ පවුලේ කෙනෙක් රට රස්සාවකට ගොස් මුදල් එවන තුරු බලාසිටීමට බොහෝ කම්කරුවන්ට සිදු වී තිබෙනවා”යි ඔහු කීවේ ය. නිවාස ප්රශ්නය වතු කම්කරුවන් අතර දැවෙන ගැටලුවක් බව ඔහු තවදුරටත් කීවේ ය.
වෘත්තීය සමිතිවලට පිටස්තර ව කම්කරුවන්ගේ සංවිධාන තැනීමේ හැකියාව හා සමාජවාදය සඳහා සටන් කිරීම පිලිබඳ ව සැක මතු කල තවත් කම්කරුවෙකු සමග අප කල සාකච්ඡාවට ඔහු උපකාර කලේ ය.
අතිශය මූලික පහසුකම් පවා ඔවුන්ට අහිමි කර ඇත්තේ කෙසේදැයි කාන්තා කම්කරුවෙක් අනාවරනය කලා ය.
“අපට බෙහෙත් ශාලාවක් තියනවා ඒත් දොස්තර කෙනෙක් නැහැ. අපට අපේ දරුවන් අරගෙන බොගවන්තලාව රෝහලට යන්න සිද්ධ වෙලා තියනවා. වත්තේ ඉස්කෝලෙ පන්ති තියෙන්නෙ අටේ පන්තියට යනකල් විතරයි. වැඩිදුර ඉගන ගන්න ඕන නම් අටේ පන්තියෙන් පස්සෙ අපේ දරුවො බොගවන්තලාව නගරයෙ තියෙන වෙනත් ඉස්කෝලෙකට යන්න ඕන.”
තවත් තේ වත්තක් වන ඔට්ටේරි වත්ත හැටන් නගරයේ සිට කිලෝමීටර 7ක් දුරින් පිහිටා ඇත. එහි එක කොටසක් කැලනිවැලි වතු සමාගමට අයත් ඉන්වේරි වත්ත සමග ඒකාබද්ධ කොට තිබේ. අනෙක් කොටසට හිමිකම් කියන පුද්ගලයා වත්ත ක්‍රමයෙන් වසා දමමින් සිටී. දැනට මත් වත්තෙන් අක්කර 50ක් තවත් ව්‍යාපාරිකයෙකුට විකුනා ඇති අතර එම ව්‍යාපාරිකයා තේ පඳුරු ඉවත් කරමින් සිටින්නේ අලෙවිය සඳහා නිවාස සංකීර්නයක් ඉදිකිරීමට ය.
1983 වන විට මෙම වත්ත පැවතියේ ජනවසම (ජනතා වතු සංවර්ධන මන්ඩලයේ) පාලනය යටතේ ය. එවිට එහි කම්කරුවෝ 150ක් වැඩ කල හ. වත්ත එලි නො කිරීමට විරුද්ධ ව මාස හතක් තිස්සේ පැවති වැඩ වර්ජන ක්රියාමාර්ගයකින් පසු 1989 දී වත්තේ සමහර කොටස් පුද්ගලික හිමිකරුවන්ට ලබා දුනි. කලමනාකාරීත්වය ශ්‍රම බලකාය 80කට පමන පහත හෙලී ය. තමන්ගේ වැටුපෙන් අරමුදල් කපාගත්ත ද අවුරුදු 4ක පමන ඊපීඑෆ් මුදල් මහ බැංකුවට යවා නැති බව කම්කරුවෝ පැවසූ හ.
ඔට්ටේරිය හන්දියේ වත්තට ඇතුලු වන ප්‍රධාන දොරටුව අභියස 1938 දී ගොඩනගන ලද දැනට අත්හැර දමා ඇති ගොඩනැගිල්ලක් පවතී. එය රෝහලක් ව පැවතී දීර්ඝ කාලයකට පෙර අත්හැර දමන ලද්දක් බව කම්කරුවෝ අනාවරනය කල හ. එය පුද්ගලීකරන ක්‍රියාවලියේ ප්රතිඵලයකි.
දික්ඔය වත්ත හැටන් නගරය ආසන්නයේ මිනිත්තු පහක පාගමන් දුරකින් පිහිටා ඇත.
“අපේ මූලික වැටුප ලබාගැනීමට දැන් අපි දිනකට තේ දලු කිලෝ 20ක ඉලක්කයක් සැපිරිය යුතු යි. අපට කැඩිය හැකි අමතර දලු කිලෝවකට ගෙවන දීමනාව රුපියල් 40 දක්වා වැඩි කර ඇති බව කලමනාකාරීත්වය කියනවා. ඒත් අපට කඩන්න පුලුවන් වෙන්නෙ දලු කිලෝ දෙක තුනක අමතර ප්‍රමානයක් විතර යි. වැස්ස කාලෙට තෙත බරට කිලෝ 3ක් අඩු කරනවා. කූඩැල්ලෝ හා දිවියෝ තවත් තර්ජනයක්” යි වතු කම්කරු ස්ත්‍රියක් පැවසුවාය.
ඇගේ දියනිය වානිජ අංශයෙන් උසස් පෙල හදාරයි. නෝවුඞ්හි පිහිටි පාසලට යාම සඳහා බස් ගාස්තු ලෙස ඇයට දිනකට රුපියල් 70ක් වැය වේ. ඇගේ උපකාරක පන්ති ගාස්තු වසයෙන් මව රුපියල් 2,000ක් වියදම් කරයි.
වර්තමාන ඉන්දු-පකිස්තාන මිලිටරි ආතතීන් පිලිබඳ සාකච්ඡාවට ඔවුන් දෙදෙනා ම උනන්දුවෙන් සහභාගි විය. “ත්‍රස්තවාදී ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර ලෙස ඉන්දියාව පකිස්තානය ඇතුලත ඉලක්ක වෙත පහර දුන් බව මට ගුවන් විදුලියෙන් කියනවා ඇසුනා. අපට දැනෙන්නෙ ආසන්න තර්ජනයක්” යි දියනිය කීවා ය.
පසුගිය මාසයේ ඉන්දියාවේ දෙදින මහා වැඩ වර්ජනයක් පැවති අතර තමිල්නාඩුවේ ගුරුවරු ද වර්ජනයක නිරත වූ හ. ජාමූඅ කප්පාදු පිලිවෙත හේතුවෙන් පකිස්තාන ආන්ඩුව අපකීර්තියට පත්ව සිටී. සමාජ ආතතීන් මර්දනය කිරීම සඳහා ඉන්දියානු ධනේශ්වරය මෙන් ම පකිස්තාන ධනේශ්වරය ද ජාතිකවාදී මනෝගතීන් අවුලුවාලති.
සාකච්ඡාව අවසානයේ ඔවුහු, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ප්‍රකාශයක් වන “සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන” නමැති පොත් පිංච මිල දී ගත් හ.
එන්යූඩබ්ලිව්හි හිටපු ප්‍රාදේශීය සමිති නායකයෙක් වන කේ. ලෙච්චමන් සසප මැදිහත් වීම ඉතසිතින් පිලිගත්තේ ය. ඔහු 2015 ජනාධිපතිවරනයේ සසප ප්‍රකාශය ප්‍රවේශමෙන් ලඟ තබාගෙන ඇත. එය පෙන්වූ ඔහු මෙසේ කීවේ ය: “ඔබලා දිගට ම කම්කරු පන්තියේ සමාජවාදී විසඳුමක් සඳහා සටන් කර තිබෙනවා. ඔබලාගේ ප්‍රකාශයේ මාතෘකාව ‘යුද්ධයට හා සමාජ ප්රතිවිප්ලවයට එරෙහි ව සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කරනු’ යන්න යි. කාලය විසින් එය නිවැරදි බව ඔප්පු වී තිබෙනවා.
“(සීඩබ්ලිව්සී නායක) ආරුමුගම් තොන්ඩමන් වත්තට ජල නල පද්ධතියක් දෙන බවට පම්පෝරි ගැහුවා. අපි අපේ නිවාස ඉදිරියෙන් පයිප්ප එලා කරාම ඉදිකර තිබෙනවා. ඒත් අපි තාම බලාගෙන ඉන්නවා. කම්කරුවන් තවමත් දුරබැහැර තැන්වල සිට වතුර ගෙන එනවා.” ජල මූලාශ්‍රවලින් ජලය එක්රැස් කරගැනීමට පෝලිම් පවතී.
වත්තේ කම්කරුවන්ට වැසිකිලි ඇතුලු මූලික පහසුකම් පවා නැත. ඔහුගේ පියා හා සීයා වතු කම්කරුවන් වූ අතර එක් ලයින් කාමරයක පවුල් පහක් ජීවත් වෙති. එම ලයින් කාමරය ඉතා පැරනි බව ඔහු කීවේ ය. “ජරාවාස වූ කාමරය කඩා වැටේ යයි බියෙන් අපි රාත්‍රීයට නිදාගන්නවා.”
“ආන්ඩු වෙනස් වී තිබුනත් අපේ ප්‍රශ්න එහෙම ම යි. කම්කරුවන් අතර ඔබේ ඉදිරිදර්ශනය සාකච්ඡා කිරීමටත් සමුලුව ගොඩනැගීමටත් සාකච්ඡා සංවිධානය කරන්න මම කැමතියි” යි ඔහු වැඩිදුරටත් කීවේ ය.
සමිතිවල පාවාදීම් හා තම ජීවන කොන්දේසි පිලිබඳ කෝපයෙන් කුමාර් (34) කතා කලේ ය. ඔහුගේ නිවසේ සෑම බිත්තියක ම ඇති ඉරිතැලීම් ඔහු විසින් පෙන්වී ය. රෙගුලාසි උල්ලංඝනය කරමින් වැසිකිලියක් ගොඩනැගීම හේතුවෙන් ඔහුට රුපියල් 5,000ක් දඩ ගසා ඇත.
ඔහු තම වැඩිමහල් සොහොයුරියගේ නිවස පෙන්වී ය. එහි බිත්ති තනා ඇත්තේ ගඩොල්වලින් නො වේ. ඒවා ගෝනිවලින් වට කොට තාවකාලික ව ගොඩනගා ඇත. අනෙක් සමහර ලයින් කාමරවල මෙන් එහි වහලය ද දිරාපත් වෙමින් පවතී. ඇය මෙම නිවසේ දරුවන් තිදෙනෙකු සමග ජීවත්වේ.
කුමාර් මෙසේ කීවේ ය: “සියලු ධනපති නායකයන් ව ප්‍රතික්ෂේප කල යුතු යි. අපට අලුත් නායකත්වයක් අවශ්‍ය යි. අපි තරුනයන්ගේ සහයෝගය දිනාගන්න ඕන.” ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමටත් සමුලුවට පෙර සාකච්ඡාවක් සංවිධානය කිරීමටත් තමන් සහය දෙන බව ඔහු තවදුරටත් කීවේ ය.
Follow us on