සසප ජනාධිපති අපේක්ෂකයා කැලනිය විශ්ව විද්‍යාලයේ දී
ව්‍යාජ වම්මුන්ගේ ධනපති ගැති වැඩපිලිවෙල එලිදරවු කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 නොවැම්බර් 11

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමන්ඩල‍යේ (අවිශිබම) සංවිධානයෙන්, මෙ වර ජනාධිපතිවරනයේ අපේක්ෂකයන් සහභාගී වූ විවාදයක්, නොවැම්බර් 04 වන දා, කැලනිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වුනි. ”‍ප්‍රතිරූපය ද, ප්‍රතිපත්තිය ද?” යන උද්ධෘතය යටතේ පැවති මෙම විවාදය නැරඹීමට දහසකට ආසන්න සිසුන් සංඛ්‍යාවක් රැස්ව සිටියහ.

එම අවස්ථාවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) නියෝජනය කරමින් පානි විජේසිරිවර්ධන, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නියෝජනය කරමින් එහි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, ජාතික සංවර්ධන පෙරමුන නියෝජනය කරමින් රොහාන් පල්ලෙවත්ත, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන නියෝජනය කරමින් එහි කොලඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන මිලින්ද රාජපක්ෂ, එක්සත් සමාජවාදී පක්ෂය (එසප)නියෝජනය කරමින් ශ්‍රීනාත් පෙරේරා, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නියෝජනය කරමින් එහි අපේක්ෂක දුමින්ද නාගමුව යන අය සහභාගී වී සිටිය හ.

පානි විජේසිරිවර්ධන

විජේසිරිවර්ධන තම මූලික අදහස් දැක්වීමේ වාරයේ දී, “1917 රුසියානු විප්ලවයට නායකත්වය දුන් බොල්ෂෙවික් පක්ෂයේ ප්‍රතිපත්ති මත අපගේ ප්‍රතිපත්ති පදනම් වෙනවා. සියලු‍ ජාතිකවාදයන්ට අවස්ථාවාදයන්ට එරෙහි ව ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය උදෙසා අපි සටන් වදිනවා.” යනුවෙන් තම ප්‍රතිපත්තිවල මූලධර්මාත්මක පදනම පැහැදිලි කලේ ය. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු දෙමල පීඩිත මහජනතාවට එරෙහිව ගෙනගිය යුද්ධයටත් දෙමල බෙදුම්වාදයටත් එරෙහි වෙමින් සිංහල සහ දෙමල කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ එක්සත් කිරීමට, සසප සහ එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ගත් ආස්ථානයන් ඔහු පෙන්වා දුනි.

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උද්ධෘතය වන “අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට හා ආඥාදායකත්වයට එරෙහි ව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක්වන්න”‍ යන්න පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ මහජනතාව මුහුන දී ඇති මෙම අන්තරායන් ධනපති ක්‍රමයේ පද්ධතිමය බිඳ වැටීමකින් ගාමකත්වය ලබා ඇති බවයි. “මෙම බිඳවැටීමට ලොවපුරා පාලක පන්තීන්ගේ පිලිතුර වනුයේ දැවැන්ත කප්පාදු හරහා එහි බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සහ එයට එරෙහිව පැන නැගෙන මහජන විරෝධයන් රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා ආඥාදායක පාලන තන්ත්‍රයන්ට මාරු වීමයි.”‍

අනෙක් අතට, මෙම බිඳවැටීම හේතුවෙන් ම ප්‍රතිමල්ලව ජාතික රාජ්‍යයන් අතර වෙලඳ යුද්ධය තීව්‍ර කෙරී, එහිම උච්ච අවස්ථාවක් වශයෙන් ලෝක යුද්ධයක් ඇවිලෙමින් පවතින බව ඔහු පැහැදිලි කලේ ය.

මෙම අන්තරායන්ගෙන් ගැලවී ගැනීම සඳහා කම්කරු පන්තියට ඇති එකම විසඳුම වන්නේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය යටතේ සටන් වැදීම බවත්, ඒ සඳහා කම්කරු පන්තිය බලමුලු‍ ගැන්වීම ලොවපුරා සමාජවාදී සමානතා පක්ෂවල සහ ඒවාට නායකත්වය දෙන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අරමුන බවත් විජේසිරිවර්ධන පැහැදිලි කලේ ය.

සෙසු සියලු‍ අපේක්ෂකයන් තම තමන්ගේ ජාතිකවාදී වැඩපිලිවෙලවල් තුල මෙම අන්තරායන් පිලිබඳ සත්‍යය සඟවා දමා ඇති බවට චෝදනා කල ඔහු , ඔවුන් “ජාතික ආරක්ෂාව” තොරොම්බල් කරනුයේ කම්කරු පන්තියට එරෙහි ව ෆැසිස්ට් හෝ මිලිටරි පන්නයේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට බව පෙන්වා දුන්නේ ය.

නාගමුව

පෙසප විසින් මෙවර මැතිවරනයේ “සමාජවාදී අපේක්ෂකයා”‍ නමින් හඳුන්වන නාගමුව තමන්ගේ අදහස් දැක්වීමේ දී සමාජවාදය යන වචනය එක ම වරක් හෝ සඳහන් නොකිරීම කැපී පෙනුනි. නිශ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික හිමිකාරිත්වය සහ ලාභය අරමුනු කරගත් ධනපති නිශ්පාදන ආර්ථික ක්‍රමය පෙරලා දමා, මානව අවශ්‍යතාවය මත සමාජ-ආර්ථික ජීවිතය ලෝක පරිමානව ප්‍රතිසංවිධානය කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට විපරීතව නාගමුව කියා සිටියේ ”‍මහජනතාව මත ආන්ඩුවේ ආර්ථික අර්බුදයේ බර නොපටවා දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 86ක් වන කොම්පැනිකාරයන්ගේ පංගුවට අත තැබීමෙන් අවශ්‍ය මුදල් සපයා ගත හැකි”‍ බවයි.

එසප නියෝජිතයා කම්කරු පන්තික ජාත්‍යන්තරවාදය ගැන ව්‍යාකූලත්වයක් නිර්මානය කිරීමට දැනුවත් වෑයමක යෙදුනේ ය. “‍කම්කරු ජාත්‍යන්තරයක් සඳහා වන කමිටුවේ”‍ ලංකා ශාඛාව නියෝජනය කරන බව පැවසූ ඔහු තමන් කම්කරු පන්තිය මත පදනම් වූ පක්ෂයක් ලෙස හඳුන්වා ගත්තේ ය. නමුත් ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන කවර ප්‍රශ්නයක් ගැන හෝ අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක අවදානම ගැන වචනයක් හෝ කතා නොකිරීමට ප්‍රවේසම් විය.

අනතුරුව, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගේ කතාවක් ඇතුලත් වීඩියෝ පටයක අන්තර්ගතය සම්බන්ධයෙන් තම අදහස් ඉදිරිපත් කිරීමට විජේසිරිවර්ධනට අවස්ථාව ලැබුනි. එම වීඩියෝ පටය තුල දිසානායක පවසන්නේ පෞද්ගලික අධ්‍යාපනය පවතිද්දී ම “රාජ්‍ය අධ්‍යාපනය”‍ පුලු‍ල් කරන බවයි.

විජේසිරිවර්ධන පෙන්වා දුන්නේ ධනපති රාජ්‍යය යනු ධනපති පන්තියේ වුවමනාවන් සහ ඔවුනගේ දේපොලවල ආරක්ෂාව වෙනුවෙන් පවත්නා උපකරනයක් බවයි. ධනපති ක්‍රමය මුහුන දී තිබෙන පද්ධතිමය බිඳ වැටීමේ දී එම බර කම්කරු-පීඩිත මහජනතාව මතින් පියවා ගැනීම ධනපති පන්තියේ වුවමනාව වන බැවින් එම රාජ්‍යය යටතේ අධ්‍යාපන අවස්ථා පුලු‍ල් කිරීම මුසාවක් බවයි.

“අපි කතා කරන්නේ, ධනපති ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිඝතිතාවන්ගෙන් පැන නැගුනු පද්ධතිමය බිඳ වැටීමක් ගැනයි. මෙය, කම්කරු පීඩිත මහජනතාවගේ ජීවිත හරහා ගමන් කරන බිඳ වැටීමක්. අධ්‍යාපනය ඇතුලු‍ සමස්ත කප්පාදු පියවර ගලා එන්නේ මෙතැනින්” යයි විජේසිරිවර්ධන යලිත් අවධාරනය කලේ ය.

ජවිපෙ හි මැතිවරන ප්‍රකාශය උපුටා දක්වමින් විජේසිරිවර්ධන පෙන්වා දුන්නේ, අනෙක් ධනපති පක්ෂවල මෙන්ම ජවිපෙ හි ද “ආර්ථිකය වර්ධන”‍ වැඩපිලිවෙලෙහි ප්‍රධාන අංගයක් වනුයේ ජාත්‍යන්තර ප්‍රාග්ධන ආයෝජනය ඉහල දමා ගැනීම බවයි. මේ සඳහා කලාපයේ සෙසු රටවල් සමඟ තරඟ වැදීමේ දී, ලාභ ශ්‍රමය සම්පාදනය කරදෙනුවස් කම්කරු පන්තියට රුදුරුම ගනයේ ප්‍රහාරයක් එල්ල කිරීමට බලයට පත්වන ඕනෑම ධනපති ආන්ඩුවකට බල කෙරෙනු ඇති බවටත් විජේසිරිවර්ධන පෙන්වා දුන්නේ ය.

පලමු ප්‍රශ්න ඇසීමේ වාරයේ දී “පෙසප සහ එසප යන පක්ෂ දෙකින් සසප වෙනස් වන්නේ කෙසේ දැ යි?” එක් ශ්‍රාවකයෙකු විජේසිරිවර්ධනගෙන් අසා සිටියේ ය..

සසප සමාජවාදී වැඩපිලිවෙල, ජාත්‍යන්තරවාදයත්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයත් මත පදනම් වන බවත්, ඒ අනුව ධනපති ක්‍රමය ලෝක පරිමානව පෙරලා දැමීමට සසප සහ එහි ජාත්‍යන්තර සහෝදර සංවිධාන සටන් වදින බවත් විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තරවාදයටත්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයටත් පරම ලෙසින් සතුරු මෙම ව්‍යාජ-වාම පක්ෂ ධනපති ක්‍රමය පෙරලා දැමීමට එරෙහිව එය ප්‍රතිසංස්කරනය කොට පවත්වාගෙන යාහැකි බව තොරොම්බල් කරමින් කම්කරුවන්, සිසුන් සහ අනෙකුත් පීඩිතයන් නොමග යැවීමට කටයුතු කරන බව විජේසිරිවර්ධන පැවසීය: “නාගමුව ලංකාවේ ආර්ථිකයෙන් සියයට 86ක් කොම්පැනිකාරයන් විසින් පාලනය කෙරෙන බවත් එම පංගුවට අත තැබීමෙන් මහජනතාවගේ ප්‍රශ්න විසඳන බවත් ඔහුගේ කතාවේ දී සඳහන් කලා. එසප ‘සුපිරි පාසල්වලට’ යන ධනපතියන්ගේ ලමුන්ගෙන් මුදල් අය කර එය දුප්පත් ලමුන්ගේ අධ්‍යාපනයට වැය කරන බව පවසනවා. මේ දෙකම ධනපති වැඩපිලිවෙලවල්.”

“සමාජවාදය පාවිච්චි කරලා සාර්ථක වූ රටක් තිබේද?” යන ප්‍රශ්නය අසන්නෙක් විසින් යොමු කලේ විජේසිරිවර්ධන, පෙසප සහ එසප “ව්‍යාජ වම”‍ යනුවෙන් කල ගුනාංගීකරනය ගැන ද සඳහන් කරමිනි.

එයට පිලිතුරු දුන් නාගමුව, තමන් තනි රටක සමාජවාදය යන න්‍යායික ආස්ථානය දරන්නේ නැති බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කලද ඔහුගේ ව්‍යාපාරයේ ජාතිකවාදී අවස්ථාවාදී ස්වභාවය ඊලඟ වැකියෙන් එලිමහනට පැමිනුනි. “‍නමුත් මේ කාරනාව ඉන්න ඕනෑ ම තැනක දමලා ගැහුව ම වෙන්නේ වැඩපිලිවෙලට විශ්වාසය ගොඩ නැගීම අපහසු වෙන එක. අපිට සිද්ධ වෙන්නෙ තිබෙන තැනින් පටන් ගන්න. අපිට බෑ හෙට ඉන්දියාවේ විප්ලවයට යන්න. අපි ලාංකීය අනුඛන්ඩය තමයි නියෝජනය කරන්නේ” යැයි පැවසී ය.

පැවති කම්කරු රාජ්‍යයන් බිඳවැටීමට හේතුකාරක වූ ඓතිහාසික මූලයන් කිසිවක් ගැන පැහැදිලි නොකල නාගමුව, එම පාඩම් වලින් සන්නද්ධවීමකින් තොරව, හුදෙක් හරි යන තෙක් උත්සාහ කිරීමේ වැඩපිලිවෙලක් යෝජනා කලේය.

නාගමුව විස්තර කල ‘ජාත්‍යන්තරවාදය’ මාක්ස්-එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි වර්ධනය කල ජාත්‍යන්තරවාදය උඩුයටිකුරු කිරීමක් බව ලියොන් ට්‍රොට්ස්කි උපුටා දක්වමින් විජේසිරිවර්ධන පෙන්වා දුන්නේ ය.

“ජාත්‍යන්තර සමාවාදී වැඩපිලිවෙලක් කිසිසේත් ජාතික ක්‍රියා මාර්ගයන්ගේ එකතුවක් හෝ ඒවායේ පොදු ලක්ෂනවල එකතුවක් නොවෙයි. ජාත්‍යන්තර වැඩපිලිවෙලක ආරම්භය විය යුත්තේ ලෝක ආර්ථිකය සහ සමස්ත දේශපාලන සම්බන්ධතා පද්ධතියේ සියලු‍ සම්බන්ධතා සහ ප්‍රතිවිරෝධතා, එනම්, එහි වෙන් වෙන් කොටස්වල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිරෝධී අන්තර් රඳා පැවැත්ම සමඟ ගත් කොන්දේසිවලිනි. වර්තමාන යුගයේ දී අතීතයට වඩා බොහෝ දුරට නිර්ධන පන්තියේ ජාතික දිශානතිය ගලා යා යුත්තේ සහ ගලා යා හැක්කේ ලෝක දිශානතියකින් මිස අනෙක් අතට නොවේ.” (ලියොන් ට්‍රොට්ස්කි)

”‍නාගමුවගේ ජාත්‍යන්තර සමාජවාදය ජාතික ක්‍රියාමාර්ගයන්ගේ එකතුවක්. ඊට විපරීතව ලංකාවේ සසප ඇතුලු‍ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාතික ශාඛාවන් සියල්ලෙහි ක්‍රියාමාර්ගයන් වර්ධනය කොට ඇත්තේ එක් ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් මත පාදකව”‍ යැයි පැවසූ විජේසිරිවර්ධන, මාක්ස් සහ එංගල්ස් ඇතුලු‍ සම්භාව්‍ය මාක්ස්වාදීන් සියලු‍ දෙනා තම ජාත්‍යන්තර සමාජවාදී වැඩකටයුතු ආරම්භ කලේමත් ලෝක කම්කරු පන්තික පක්ෂයකට පදනම දමමින් ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් මත බව අවධාරනය කලේය.

සසප සහ එසප අතර වෙනස්කම් පැහැදිලි කරන ලෙස තවත් අසන්නෙක් පෙරේරාගෙන් ඉල්ලා සිටියේ ය.

පෙරේරා

පෙරේරා මෙය ජාත්‍යන්තර කමිටුවට සහ සසපට ද්වේශ සහගත ව පහර ගැසීමට අවස්ථාවක් කර ගත්තේ ය. ඇමරිකාවේ සසප එරට ජනාධිපතිවරනයට තරඟ කරන විට එරට උද්ඝෝෂනය නොකර ලංකාවේ ”‍ඇවිදින්නේ”‍ ඇමරිකාව තුල එයට පදනමක් නොමැති බැවින් යැයි ඔහු පැවසීය.

මෙ විට ප්‍රේක්ෂාගාරයේ සිටි සසප ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ආනන්ද වක්කුඹුර “ඇමරිකානු ජනාධිපතිවරනය ලෝක දේශපාලනය කෙරෙහි බලගතු බලපෑමක් කරන සාධකයක්. එයට ඉදිරිපත් වන ට්‍රොට්ස්කිවාදී අපේක්ෂකයා ලෝක කම්කරු පන්තිය සංවිධානය කිරීමට ගනු ලබන තීරනය උපහාසයට ලක් විය යුත්තක් නොව ඉතා ම දීප්තිමත් ජාත්‍යන්තරවාදී තීරනයක්. ලොව පුරා වර්ධනය වන පන්ති අරගල රැල්ල ඒ තීරනයේ නිවරද්‍ය බව සනාථ කරනවා” යැයි පවසා සිටියේ ය.

පෙසප සහ එය නායකත්වය දෙන අවිශිබම, අන්ත දක්ෂිනාංශික සංවිධාන සමග පෙල ගැසෙමින් ගෙනගිය ඊනියා සයිටම්-විරෝධී අරගලයට සසප එක් නොවීම සම්බන්ධයෙන් පෙරේරා සසප ට දොස් නැගීය. සයිට්ම් විරෝධී වේදිකාවට නැග ගත් එසප ඇතුලු‍ ව්‍යාජ වම්මුන් කලේ අධ්‍යාපනයේ පෞද්ගලීකරනය ඇතුලු‍ ප්‍රහාරයන්ට එරෙහි ව පෙරට පැමිනි සිසුන් ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල කොටුකොට එම ප්‍රහාරයන්ට යටත් කිරීමයි.

වැඩෙන පන්ති අරගල රැල්ල තුල, සිංහල සහ දෙමල කතා කරන කම්කරුවන් වාර්ගික රේඛාවන් කපාගෙන වඩවඩාත් ඒකාග්‍රවන තත්වයක් තුල, ධනපති පන්ති පාලනයට එල්ල වෙමින් පවතින අභියෝගය හමුවේ බියපත්ව සිටින සිංහල ධනපතියන් මෙන්ම, දෙමල ධනපතියන් ද කම්කරු පන්ති එකමුතුව බිඳ දැමීමට වර්ගභේදවාදය වඩවඩාත් තීව්‍ර කරමින් සිටී. එහි කොටසක් ලෙස, සී. විග්නේශ්වරන් මූලිකත්වය ගෙන පිහිට වූ එලු‍හ තමිල් ව්‍යාපාරයට, එසප දැක්වූ ”‍ක්‍රියාශීලී සහයෝගය” පෙරේරා උත්කර්ෂයට නැංවීය.

එසපෙ හි මෙම ප්‍රතිගාමී මහජන පෙරමුනු දේශපාලනයේ නිරුවත නිර්ලජ්ජිතව හෙලි කරමින් පෙරේරා මෙසේ පැවසීය: “‍දෙමල ජනතාවගේ වාමාංශික ව්‍යාපාරයක් නැති නිසා දෙමල ධනපති නියෝජිතයන් ජනතාවගේ පැත්තෙන් ඇවිත් යම් අරගලයක් කරනවා නම් අපි ඒකට සම්බන්ධ වෙනවා”‍

ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පෙරේරා ගේ එසප සහ සසප අතර පවත්නා මූලික වෙනස්කම් පැහැදිලි කරමින් එසප සහ ට්‍රොට්ස්කිවාදය අතර කවර හෝ සම්බන්ධයක් නොපවතින බව විජේසිරිවර්ධන පැහැදිලි කලේය.

සසප ට නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1953 දී පිහිට වනු ලැබුවේ එවකට හතර වැනි ජාත්‍යන්තරයේ ප්‍රධාන ලේකම් වූ මයිකල් පැබ්ලෝගේ සංශෝධනවාදී න්‍යායන්ට එරෙහි ව බව විජේසිරිවර්ධන පැහැදිලි කලේ ය. “මානව ඉතිහාසයේ ගාමකය පන්ති අරගලය යන්න මාක්ස්වාදී ආස්ථානයයි. ඒ වෙනුවට එම ගාමකය සෝවියට් නිලධරය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය අතර ගැටුමට පවරමින් පැබ්ලෝ එය සංශෝධනය කලා. ට්‍රොට්ස්කි ස්ටැලින්වාදය හැඳින් වූයේ අධිරාජ්‍යවාදී ඒජන්සියක් වශයෙන්. ස්ටැලින්වාදයට එරෙහි අරගලය ට්‍රොට්ස්කිවාදීන් සලකන්නේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ අතිමූලික අංශයක් වශයෙන්. නමුත් මොවුන් ස්ටැලින්වාදී නිලධරය ඓතිහාසික වශයෙන් ප්‍රගතිශීලි බලවේගයක් ලෙස ඔසවා තැබුවා. මෙම සංශෝධනවාදය දැවැන්ත පාවාදීම් වලට ජාත්‍යන්තරව මග පෑදුවා. පෙරේරා සහ එසප නියෝජනය කරන්නේ ට්‍රටේස්කිවාදයට එරෙහි එම පැබ්ලෝවාදී කඳවුරයි.”

වර්තමානයේ නිශ්පාදන ආර්ථිකය ගෝලීය ව ඒකාග්‍ර වී ඇති තත්ත්වයක් තුල එයත් ජාතික රාජ්‍ය පද්ධතියත් අතර පවතින ඓතිහාසික නොගැලපීම ලෝක යුද්ධයක අන්තරාය මතු කරන බවත් සමාජීය නිශ්පාදනයත් නිශ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතියත් සමාජ ව්‍යසනයන්ගේ මූලය වශයෙන් පවතින බවත් මෙම ඓතිහාසික නොගැලපීම් දෙක සමනය කිරීම ජාත්‍යන්තර සමාජවාදය වන බවත් ඒ උදසා සටන් කිරීමට සසප සමඟ එක් වන ලෙසත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දෛනික පාඨකයෙකු වන ලෙසත් ආරාධනය කරමින් විජේසිරිවර්ධන තම කතාව අවසන් කලේ ය.

Share this article: