සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 9 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 9

By the Socialist Equality Party (Sri Lanka), 29 May 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි. එය කොටස් 12කින් පල කෙරෙනු ඇත. මෙහි 1, 2, 3, 4, 5,6 , 7 හා 8 වන කොටස් පිලිවෙලින් මැයි 3, 5, 9, 10, 12, 15, 19 හා 23 දිනවල පල කෙරින.

20. දෙවන හවුල් ආන්ඩුවේ බිඳ වැටීම

20-1 1971 ජවිපෙ නැගිටීමෙන් ඉක්බිත්තේ ශ‍්‍රීලනිප-ලසසප-කොප ආන්ඩුව නැගී එන ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන පෑ අතර ඊට ප‍්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය මර්දනය පුලූල් කිරීමෙන් හා සිංහල වර්ගවාදය ඇවිස්සීමෙනි. 1956 දී ”සිංහල පමනක්” ප‍්‍රතිපත්තියට විරුද්ධ වූ කොල්වින් ආර්. ද සිල්වා, 1972 දී ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ඇමති වශයෙන් බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් ද සිංහල එකම රාජ්‍ය භාෂාව වශයෙන් ද නිල වසයෙන් ස්ථාපිත කල නව ව්‍යවස්ථාවක් සැකසීමේ මුඛ්‍ය කි‍්‍රයාකලාපය ඉටු කලේය. රාජ්‍ය අංශයේ රැකියා දීමේදී හා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ දී දෙමල ජනතාවට වෙනස්කම් කිරීමේ පියවර කි‍්‍රයාවට නගන ලදී. ෆෙඩරල් පක්ෂය, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය හා වතු කම්කරුවන්ගේ ප‍්‍රධාන සංවිධානය වූ ලංකා වතු කම්කරු සංගමය (සීඩබ්ලිව්සී) යන දෙමල පක්ෂ, නව ව්‍යවස්ථාවට දැඩි විරෝධය පලකරමින් 1975 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන (ටීයූඑල්එෆ්) බවට පරිවර්තනය වූ ද්‍රවිඩ එක්සත් පෙරමුන හෙවත් ටීයූඑෆ් පිහිටුවා ගත්හ.

20-2 1973-74 තෙල් කම්පන හා ගෝලීය ආර්ථික පසුබෑම ශ‍්‍රී ලංකාවට තදින් බලපෑවේය. විශේෂයෙන්ම තෙල් හා ආහාර ද්‍රව්‍ය ආනයන ඇතුලූ පිම්මේ ඉහල නැගි භාන්ඩ මිල, දරුනු විදේශ විනිමය අර්බුදයක් නිර්මානය කලේය. මුදල් ඇමති එන්.එම්. පෙරේරා, ආහාර ආනයන මත දැඩි සීමාවන් පැනවීම, සහල් ප‍්‍රවාහනයේ දී රාජ්‍ය ඒකාධිකාරය ඇති කිරීම හා වැටුප් කැටි කිරීමක් ඇතුලූ ජාතික ආර්ථික නියාමනය තව තවත් දැඩි කරමින් ඊට ප‍්‍රතිචාර දැක්විය. මෙම ප‍්‍රතිපත්ති කම්කරු පන්තිය හා ගම්බද ජනතාව අතර දරුනු ආර්ථික අහේනියක් නිර්මානය කලේය. වතුකරයේ විරැුකියාව, අර්ධ විරැුකියාව හා ඉහල නගින මිල ගනන් අන්ත දුප්පත් කමටත් සිය ගනන් සාගතයෙන් මිය යාමටත් තුඩු දුන්නේය. බන්ඩාරනායක, 1974 ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග ඇති කර ගත් ගිවිසුමක් මගින් වතු කම්කරුවන් බලහත්කාරයෙන් පිටමං කිරීම වේගවත් කරමින් ප‍්‍රතිචාර දැක්වූවාය. හවුල් ආන්ඩුව කෙරේ පලවූ පැතිර ගිය විරුද්ධත්වය කම්කරු පන්තියේ නැගී ආ සටන්කාමී රැල්ලක් නිර්මානය කලේය.

20-3 1970 දී විකොස දේශපාලන පිලිවෙත සම්බන්ධයෙන් ඇති කර ගත් පැහැදිලිකම, වර්ධනය වන ජනතා ව්‍යාපාරය තුල පක්ෂයේ මැදිහත් වීමේදී තීරනාත්මක වූ බව සනාථ කෙරුනි. ලසසප-කොප ශ‍්‍රීලනිපයෙන් කැඞී කම්කරු-ගොවි ආන්ඩුවකට හා සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා සටන් වැදිය යුතුය යන පක්ෂයේ ඉල්ලීම, හවුල් ආන්ඩුව කෙරෙහි ගැඹුරින්ම සතුරුව සිටි කම්කරුවන් සැලකිය යුතු ස්ථරයකගේ මනෝගතීන් සමග අන්තර්ෙඡ්දනය විය. රත්මලාන දුම්රිය වැඩ බිම්, මහ බැංකුව හා රජය සතුව තිබුනු තුල්හිරිය රෙදි කම්හල යන තැන්වල ද සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමට විකොස ගෙන ගිය අරගලය පිලිබිඹු කරමින් යාපනය අර්ධද්වීපයේ සීනොර් කම්හලෙහි ද සැලකිය යුතු වෘත්තීය සමිති කන්ඩායම් ගොඩනැගීමට පක්ෂයට හැකිවිය.

20-4 ආන්ඩුවේ අර්බුදය උත්සන්න වෙත්ම, බන්ඩාරනායක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධික‍්‍රමයන් වෙත නැඹුරු වූවාය. ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුක්ත ආන්ඩුව, 1972 ව්‍යවස්ථාදායක සභාව තුල එය සතුවූ අති මහත් බහුතර බලය ගසා කමින් අත්තනෝමතික ලෙස සිය නිල කාලය 1977 දක්වා දෙවසරකින් දීර්ග කර ගති. එය ජවිපෙ නැගිටීම අවධියේ පනවන ලද හදිසි නීතිය දිගටම තබාගනිමින් මාධ්‍ය හා දේශපාලන විරුද්ධවාදීන් මැඞීම පිනිස එම රෙගුලාසි යොදාගත්තේය. ආර්ථික පිලිවෙත මුල් කරගෙන වර්ධනය වුනු මතභේද හමුවේ බන්ඩාරනායක, 1975 දී ලසසප ඇමතිවරු නෙරපා හැර දිවයින ප‍්‍රථම වතාවට විදේශ ආයෝජන සඳහා විවෘත කිරීමේ දිසාවට පලමු පියවර තැබීම ඇරඹුවාය.

20-5 1975 සැප්තැම්බරයේ දී ලසසප ආන්ඩුවෙන් නෙරපා හැරිය තැන් පටන් 1977 ජූලියේ දී එය මුහුනදුන් ව්‍යසනකාරී පරාජය දක්වා වූ කාලය සටහන් වන්නේ ශ‍්‍රී ලංකාවේ ධනේශ්වරය මුහුන දුන් තියුනු දේශපාලන අර්බුදයේ අවධියක් ලෙසය. එය 1968 පටන් ජාත්‍යන්තරව දිගහැරුනු විප්ලවවාදී නැගිටීම්වල කාලපරිච්ෙඡ්දයේ එක් කොටසක් විය. බන්ඩාරනායකගේ කප්පාදු පිලිවෙත් වැඩෙන වැඩවර්ජන රැල්ලකට තුඩු දුන් අතර විකොස එය තුල වඩවඩා ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටු කලේය. පක්ෂයේ වැඩෙන බලපෑම ගැන උත්සුක වූ ආන්ඩුව පාර්ලිමේන්තුවේ දී ප‍්‍රසිද්ධියේ ම එයට පහර එල්ල කලේය. අරගලයන්ගේ උච්චම අවස්ථාව එලඹියේ 1976 පසු භාගයේදී ය. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී ශිෂ්‍යයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය මුල් කර ගෙන නොවැම්බරයේ පැනනැගි පුලූල් ශිෂ්‍ය පෙලපාලිවලට දස දහස් ගනන් කම්කරුවෝ ද සහභාගී වූහ. 1976 දෙසැම්බරයේ දී රත්මලාන දුම්රිය වැඩපලේ වැඩ නතර කිරීමකින් ආරම්භ වී දුම්රිය සේවය පුරා වේගයෙන් පැතිර ගිය මහා වැඩවර්ජන ව්‍යාපාරයක් පැන නැංගේය. ආන්ඩුව වැඩ වර්ජනය තහනම් කල නමුත් එය, අනෙකුත් රජයේ සේවකයින් ද වැඩවර්ජනයට එක්වීම වේගවත් කලේය. සති ගනනක් යන තෙක්ම බන්ඩාරනායක ආන්ඩුවේ ඉරනම අවිනිශ්චිත විය.

20-6 කම්කරු පන්තියේ මෙම අධිෂ්ඨානශීලී ප‍්‍රහාරය හමුවේ ධනේශ්වර පාලනයේ පන බේරුනේ මහජන ව්‍යාපාරය, බලය අල්ලා ගැනීමේ අරගලයක් බවට පරිවර්තනය වීම වැලැක්වූ ලසසප, කොප හා ලසසප(වි) නායකයින්ට පින්සිදු වන්නටය. කොමියුනිස්ට් පක්ෂය, වැඩවර්ජකයින්ට එරෙහි පොලිස් රාජ්‍ය මර්දන පියවරයන්ට සහයෝගය දෙමින් ආන්ඩුව තුල රැඳී සිටි අතර, එය පාලක සභාගයෙන් ඉවත් වූයේ, වැඩවර්ජන තලා දැමීමෙන් පසුව 1977 පෙබරවාරියේදී ය. වැඩවර්ජන ව්‍යාපාරය ”අදේශපාලනික” බව ප‍්‍රකාශ කරමින් ලසසප නායකයෝ වැඩ වර්ජක කම්කරුවන්ට සහාය දීම හෝ බන්ඩාරනායක ආන්ඩුව හෙලීමේ කිසිදු කැඳවුමක් කිරීම ප‍්‍රතික්ෂේප කලහ. ලසසප(වි) නායක බාලා තම්පෝ යටතේ වූ සීඑම්යූව, වැඩ වර්ජනයට සම්බන්ධ වීම පවා ප‍්‍රතික්ෂේප කල අතර සීඑම්යූ සාමාජිකයින් බලමුලූ ගැන්වීමේ විකොස උත්සාහයන්ට විරුද්ධ විය.

20-7 ලසසප හා කොප, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකටත් සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහාත් සටන් කල යුතුය යන විකොස ඉල්ලීමට පහර දීමේදී ලසසප(වි) හා ඉන් කැඞී ගිය විවිධ කන්ඬායම් තීරනාත්මක කි‍්‍රයාකලාපය ඉටු කලේය. ලසසප හා කොප යන ප‍්‍රතිසංස්කරනවාදී පක්ෂ බලය ගතයුතු යයි ඉල්ලා සිටීම මගින් ඔවුන් පිලිබඳව මිත්‍යාවන් ගොඩනගන්නේ යයි අන්ද්‍රාදි විකොස විවේචනය කලේය. කෙසේ වෙතත් විකොස ඉල්ලීම එල්ල කලේ එම පක්ෂ නගා සිටුවීමට නොව, අකැමැත්තෙන් වුවත් තවමත් නායකත්වය සඳහා එම පක්ෂ දෙස නෙත් යොමුකර සිටි කම්කරු පන්තියේ සමාජවාදී-හිතැති කොටස් මත පවත්නා එම පක්ෂවල ග‍්‍රහනය බිඳීම සඳහා ය. වාම හඬක් සහිත අන්ද්‍රාදිගේ හෙලා දැකීම්, සැබවින්ම නම්, ලසසප හා කොප හෙලිදරව් කිරීමේ අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යය පැහැර හැරීම මගින් කම්කරුවන් එම පක්ෂවල අත යටටම තල්ලූ කිරීමක් විය. ලසසප, කොප හා ලසසප(වි) මෙම මහජන ව්‍යාපාරය පාවාදීම එජාපයට යලි බලයට පැන ගැනීමට පාර කැපීය. 1977 ජූලි මැතිවරනයෙන් සභාග ආන්ඩුව අන්ත පරාජයක් ලැබීය. එජාපය මුලූ ආසන 168න් 140ක් දිනාගත් අතර ශ‍්‍රීලනිප ආසන 8ට වැටුනි. ලසසප, කොප ඔවුන්ගේ සියලූ ආසන අහිමිකර ගත්හ.

20-8 විකොස ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුල පැරනි නායකත්වයන්ට එරෙහි සිය දේශපාලන අරගලය ගැඹුරු කරන අතර තුර කවිප, බි‍්‍රතාන්‍යය තුල එවන් සටනකින් ඉවතට ගමන් කරමින් සිටියේය. 1974දී බි‍්‍රතාන්‍යයේ හීත් ආන්ඩුව පතල් කම්කරුවන්ගේ අධිෂ්ඨානවත් වැඩ වර්ජනයක ප‍්‍රතිපලයක් වශයෙන් බිඳ වැටීමෙන් පසුව සුලූතර ලේබර් ආන්ඩුවක් බලයට පත් විය. ටෝරි විරෝධය යන්තම් ඉක්ම වූ පදනමක ඊට පෙර වසරේ පිහිටුවා තිබූ කවිපය, සාමාජිකයින් සිය ගනනක් අහිමිවීමට ද ප‍්‍රමුඛ වෘත්තීය සාංගාමිකයකු හා පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ද වූ ඇලන් තෝනට් විසින් නායකත්වය දුන් ප‍්‍රතිපත්ති විරහිත දක්ෂිනාංශික කන්ඩායමකට ද මුහුන පෑවේය. ලේබර්වාදයේ පන්ති ස්වභාවය සාමාජිකයන්ට පැහැදිලි කරන අරගලයකට පිවිසෙනු වෙනුවට කවිපය, කිසිදු දේශපාලන සාකච්ඡුාවකින් තොරව තෝනට් කන්ඩායම නෙරපා හැරියේය. කවිප කම්කරුවන් දේශපාලනිකව උගන්වා ගැනීමේ ඉවසිලි සහගත අරගලය අතහැර දැමීම, 1975 ජූලි මාසයේ දී ලේබර් ආන්ඩුව හෙලීම සඳහා කැඳවුම් කිරීමෙන් සලකුනු කලේය. එවන් කැඳවුමක් කලේ, බොහෝ කම්කරුවන් තවමත් ලේබර් පක්ෂයට පක්ෂපාතිත්වයක් දක්වන කොන්දේසි තුල හා විප්ලවවාදී පක්ෂය විකල්පයක් ඉදිරිපත් කිරීමට තරම් තත්වයක නොසිටිය දී ය. වාම හඬක් සහිත මෙම අවසන් නිවේදන පිටුපසින් පැවතියේ, කවිප ලේබර් නායකත්වයට එරෙහි දේශපාලන අරගලය අතහැර දමා වෘත්තීය සමිති නිලධරයේ කොටස්වලට අනුගත වීමයි.

20-9 කවිප එයට සමාන ආස්ථානයක් විකොස මත පැටවීමට ද උත්සාහ කලේය. 1975 සැප්තැම්බරයේ බාලසූරිය වෙත යොමුකල ලිපියකින් මයික් බන්ඩා මෙසේ ප‍්‍රකාශ කලේය: ”යලි වතාවක් ප‍්‍රචාරකවාදී වලිගය මාක්ස්වාදී බල්ලා වැනීම ගැන මම කනස්සල්ලට පත්ව සිටිමි. ඔබගේ පුවත්පත්, සංශෝධනවාදීන් හෙලිදරව් කිරීමට (නිවැරදි ලෙස) බොහෝ ඉඩක් වෙන්කර ඇතත්, බලය සඳහා අරගලයක් හරහා වියුක්තයන් සංයුක්ත කර වර්ධනය කිරීමට සෑහෙන ඉඩක් වෙන් නොකිරීමෙන් පිලිබිඹු වන්නේ එයයි.” පක්ෂය ”මාධ්‍යමිකවාදීන්ට යටත්වීමෙන් අවසන්වනු” ඇතැයි අනතුරු අඟවමින් බන්ඩා විකොසට යෝජනා කලේ, ලසසප හා කොපට ඉල්ලීම් ඉදිරිපත් කිරීම අතහැර දමා, ශ‍්‍රීලනිප ආන්ඩුව හෙලීම සඳහා කැඳවුම් කරන ලෙසයි. ලසසප හා කොප හෙලිදරව් කිරීමේ සිය අරගලය විකොස අප‍්‍රතිහත ලෙස ගෙන ගියේ ඔවුන් කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා මාවත ගතයුතු බව කියා සිටිමිනි. තවද පක්ෂයේ ඊනියා ”ප‍්‍රචාරකවාදය”, එනම්, බාලසූරිය 1975 දී අන්ද්‍රාදිට ලියන ලද, පොතක් තරම් දිග හතරවන ජාත්‍යන්තරයේ ආරක්ෂාව සඳහා: ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී වංචාකාරකයෙකුට පිලිතුරක් ද ඇතුලත් විවිධ පැබ්ලෝවාදී කන්ඩායම්වලට එරෙහි ඔහුගේ විවාද, කම්කරු පන්තිය තුල පක්ෂයේ මැදිහත්වීම් සඳහා අත්‍යවශ්‍ය සූදානම ඇති කලේය.

20-10 1975-77 නැගිටීම් තීරනාත්මක දේශපාලන පරික්ෂනයක් බව සනාථ විය. සිය දේශපාලන පිලිවෙත පිලිබඳව 1970 පැහැදිලි කිරීම් මත පදනම් වූ විකොස, පන්ති විඥාත කම්කරුවන් අතර තම තත්වය බෙහෙවින් වැඩි දියුනු කර ගත්තේය. සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත බන්ඩාරනායක ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය බලමුලූ ගැන්වීම සඳහා සටන්කලේ එම පක්ෂය පමනි. බාලා තම්පෝ, සමරක්කොඩි හා අන්ද්‍රාදි විසින් මෙහෙය වන ලද ලසසප(වි) සියලූ කැබලි කිසිදු කි‍්‍රයාකාරිත්වයකින් තොරව පැවති අතර ඒවා ඊලඟ වසර කිහිපය තුල ශ‍්‍රී ලංකාවේ දේශපාලනයෙන් අතුරුදහන් වී ගිය තරම්ය. ඔවුන්ගේ තැන ගනු ලැබුවේ හිටපු ලසසප සාමාජිකයින්ගෙන් සැදුම් ලත් 1978 පිහිටුවන ලද නව සමසමාජ පක්ෂය (නසසප) යි. නසසප ආරම්භකයෝ 1964 පාවාදීමට ද දෙවන සභාග ආන්ඩුවට හා එහි වර්ගවාදී ප‍්‍රතිපත්තිවලට ද සහයෝගය දී තිබුනි. ඔවුන් වැඩවර්ජන රැල්ල පුරාවට ම ලසසපයේ ලැග සිටි අතර එය හැර ගියේ 1977 මැතිවරන වින්නැහියෙන් පසුව පමනි. එහි නමෙන්ම පෙන්වන පරිදි නසසප හුදෙක් පැරනි අවස්ථාවාදී සමසමාජවාදයේ ම අලූත් මුහුනක් පමනි. එය ලසසපයේ පන්ති සහයෝගිතා දේශපාලනය හා සභාගවාදය අඛන්ඩව ගෙන යමින් ඊට හරියට ම ගැලපෙන පරිදි 1991 දී පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව බවට පත් විය.

20-11 ශ‍්‍රී ලංකාවේ බන්ඩාරනායක ආන්ඩුවෙහි නැගීම හා වැටීම, දකුනු ආසියාවේ වෙනත් තැන්වලට ද කැපී පෙනෙන සමාන්තරයක් පෙන්වීය. 1970 ගනන්වල ආර්ථික අර්බුදය මධ්‍යයේ පකිස්ථානයේ සුල්ෆිකාර් අලි බූටෝගේ හා ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිගේ ආන්ඩු, කම්කරු පන්තිය හා පීඩිත ජනතාව ධනේශ්වරයට බැඳ තබාගැනීමට උත්සාහ කලේ ව්‍යාජ සමාජවාදී පූච්චානම් හා ජනතාවාදී ජාතිකවාදය තුලින් ය. ආන්ඩු දෙකම ආරම්භයේදී ඉතා සීමිත ප‍්‍රතිසංස්කරන කි‍්‍රයාත්මක කල අතර පසුව කම්කරු පන්තිය සමග මුහුනට මුහන ගැටුමට පැමිනි කල, විරුද්ධත්වය මැඬීම සඳහා ඒකාධිපති ක‍්‍රමවේදයන් කරා හැරුනහ. පකිස්ථානයේ හා ඉන්දියාවේ දී, විවිධ ස්ටැලින්වාදී පක්ෂ, මෙම වාම යයි කියන ලද තන්ත‍්‍රයන්ට අභියෝග කිරීමෙන් කම්කරු පන්තිය වැලැක්වීමේ දී ද එමගින් ධනේශ්වරයට යලිත් ආරම්භකත්වය ගැනීමට ඉඩ සැලසීමේ දී ද තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉෂ්ඨ කලහ. 1977 මාස පහක කාල පරාසය ඇතුලත භූටෝ, ගාන්ධි හා බන්ඩාරනායක යන සියල්ලෝම බලයෙන් ඇද වැටුනි. ධනේශ්වර දේශපාලනය ඉන්පසු තියුනු ලෙස දකුනට මාරු විය. එහෙත් ඉන්දිරා ගාන්ධි සම්බන්ධ ප‍්‍රශ්නයේ දී, 1980 දී යලි බලයට පත්වීමත් සමග, ඇය ම මෙම මාරුව මූර්තිමත් කලාය. පකිස්ථානයේ දී, වොෂින්ටනයේ දිරිගැන්වීම් මත ජෙනරාල් මොහමඞ් සියා උල් හක් විසින් මෙහෙයවූ හමුදා කුමන්ත‍්‍රනයකින් භූටෝ බලයෙන් පහ කරන ලදී. මෙම ආන්ඩු කල් පවත්නා ප‍්‍රතිගාමී උරුමයක් ඉතිරිකර ගියේය. එය වනාහි, ස්වෝත්තමවාදයෙන් පිරුනු ඔවුන්ගේ ”වාම” ජනතාවාදය සහ 1980 ගනන්වල දකුනු ආසියාව පුරා ජන වාර්ගික-වර්ගෝත්තමවාදී දේශපාලනය ගුනාත්මකව උත්සන්න කිරීමක් සඳහා බීජ වැපිර වූ, ජාතික හා ආගමික-වාර්ගික අනන්‍යතාවන්ට ඔවුන් කරන ලද ආමන්ත‍්‍රනයන්ය.

21. එජාප ආන්ඩුව හා රට යුද්ධයට ඇද දැමීම

21-1 ශ‍්‍රී ලංකාව තුල එජාප ආන්ඩුවේ බලයට පැමිනීම, වඩා පුලූල් ගෝලීය ආර්ථික හා දේශපාලන කි‍්‍රයාවලියක කොටසක් විය. 1968-75 අවධියේ විප්ලවවාදී අරගල රැල්ල පරාජය වීමෙන් පසුව, 1979 දී බි‍්‍රතාන්‍යය තුල තැචර් ආන්ඩුවත් 1980 දී එක්සත් ජනපදය තුල රේගන් පරිපාලනයත් බලයට පත්වීමෙන් දේශපාලනිකව සලකුනු කල, ලෝක පරිමාන ප‍්‍රතිප‍්‍රහාරයක් පාලක පන්තීන් විසින් කම්කරු පන්තියට එරෙහිව දියත් කරන ලදී. ඉන් පසු වසරේදී රේගන්, ඒඑෆ්එල්-සීඅයි ඕ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහයෝගය ද ඇතිව ගුවන් ගමන් පරිපාලකයින් 11,000ක් රැුකියාවලින් නෙරපා හරිමින් පැට්කෝ වැඩ වර්ජනය තලා දැමීය. ලෝකය පුරාම ආන්ඩු කේන්සියානු ආර්ථික නියාමනය අතහැර නව සම්මතය ලෙස , මූල්‍යවාදී වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති වැලඳගත් හ. ලාභ ශ‍්‍රම වේදිකා නැගෙනහිර හා ගිනිකොන දිග ආසියාවෙන් පටන් ගන්නා ලදි. 1980 ගනන්වල ආසියානු ”ව්‍යාග‍්‍රයින්” බවට පත්වූ සිගප්පූරුව, හොංකොං, තායිවානය හා දකුනු කොරියාව යන සියල්ලෝම, සිය ලාභ වැටුප් ශ‍්‍රමයේ වාසිය ගැනීම සඳහා විදේශ ආයෝජකයින්ට දිරිගැන්වීම් ලබා දුන්හ. 1978 දී, චීනය තුල, ඩෙං ෂියා ඕ පිං, විවෘතව ම වෙලඳ පොල-ගැති වැඩපිලිවෙලක් නිවේදනය කොට, මා ඕ යටතේ ඇරඹී තිබූ විදේශ ආයෝජන කි‍්‍රයාවලිය, වේගවත් කලේය.

21-2 ශ‍්‍රී ලංකාව තුල එජාප ආන්ඩුව මෙම ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැගීමේ දී, සිරිමාවෝ බන්ඩාරනායක නිදහස් වෙලඳපොල න්‍යාය පත‍්‍රයක් කරා දෙගිඩියා සහගත ලෙස හැරීමෙන් පැන නැගුනු 1975-77 නැගිටීමෙන් නිශ්චිත පාඩම් උකහා ගත්තේය. අගමැති ජේ.ආර්. ජයවර්ධන විදේශ ආයෝජන දිරිමත් කිරීම, සමාජ වියදම් කප්පාදුව හා පුද්ගලීකරනය කි‍්‍රයාත්මක කිරීම ඇරඹීමත් සමග ම, රාජ්‍ය යන්ත‍්‍රය ශක්තිමත් කොට තමන්ගේ ම සමාජ පදනම ශක්තිමත් කර ගැනීම හා කම්කරු පන්තිය භේද කිරීම සඳහා වාර්ගික ආතතීන් ගිනි ගන්නා සුුලූ මට්ටමකට උත්සන්න කිරීම මගින් කම්කරු පන්තියට එරෙහිව යුද්ධයට සූදානම් විය. 1978 දී එජාපය, තම අති මහත් පාර්ලිමේන්තු බහුතරය යොදාගනිමින් පුලූල් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලතල සහිත විධායක ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපනය කරන නව ව්‍යවස්ථාවක් සකස්කල අතර ජයවර්ධන ජනාධිපති ලෙස පිහිටුවීය. 1979 ජුලි මස, ආන්ඩුව නඩු නොමැතිව මිනිසුන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමේ පුලූල් බලතල පොලිසියට ලබාදෙන ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගෙන ආවේය.

21-3 තමන් දෙමල ජනතාවගේ දුක්ගැනවිලිවල විසඳන බවට එජාපය මැතිවරන ව්‍යාපාරය තුලදී පොරොන්දු වුවත්, වේගයෙන් දෙමල-විරෝධී වර්ගෝත්තමවාදය කරා යොමුවිය. 1976 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන ”ටීයූඑල්එෆ්” දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් ඇතුලත් වෙනම දෙමල ඊලම් රාජ්‍යයක් ඉල්ලන වඩුකොඩෙයි යෝජනාව සම්මත කොට තිබුනි. තමන්ට මුහුනපෑමට සිදුවූ වෙනස්කම් කිරීම් පිලිබඳව දෙමල තරුනයින් අතර පැවති කෝපය, විවිධ කුඩා සන්නද්ධ කන්ඩායම් ගොඩනැගීම කරා තුඩු දී තිබුනි. 1977 අගෝස්තුවේ දී පොලිසියට එල්ල වු සුලූ ප‍්‍රහාරයක් අල්ලා ගත් ජයවර්ධන යාපනයට හමුදාව යෙදවීමට අන දුන් අතර වෙනත් තැන්වල දරුනු ප‍්‍රචන්ඩ කි‍්‍රයාවන්ට අනුබල දුන්නේය. ආන්ඩුව තම මැතිවරන ජයග‍්‍රහනයෙන් වෙනම ඊලමක් පිලිබඳව සාකච්ඡුා කිරීමට තමන්ට ජනවරමක් ලැබී ඇතැයි අවධාරනය කල ටීයූඑල්එෆ් හෙලා දුටුවේය. ”ඔබට සටනක් අවශ්‍ය නම් එය ඔබට ලැබෙනු ඇති යි අගමැති පාර්ලිමේන්තුවේදී ප‍්‍රකෝපකාරී ලෙස පැවසීය. ජයවර්ධන වේගයෙන් රට සිවිල් යුද්ධයට තල්ලූ කල රටාව සකස් කලේය. සෑම අදියරයක දී ම එජාපය, පොලීසිවලට එල්ල වූ හුදෙකලා ප‍්‍රහාර, දැවැන්ත රාජ්‍ය මර්දනය හා දෙමල සුලූතරයට එරෙහිව ප‍්‍රචන්ඩත්වය මගින් ප‍්‍රතිචාර දැක්වීම සඳහා උපයෝගී කර ගත්තේ ය.

21-4 විකොස උතුරෙන් හා නැගෙනහිරෙන් ආරක්ෂක හමුදා ඉවත් කිරීම හා කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා ස්ථිරසාරව සටන් වැදුනි. නොවිසඳී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉෂ්ඨ කිරීමේත් වේගයෙන් සිවිල් යුද්ධයට තල්ලූවී යෑම වැලැක්වීමේත් හැකියාව සහිත එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය බව පක්ෂය අවධාරනය කලේය. ශ‍්‍රීලනිප, ලසසප හා කොප සහයෝගය ඇතිව එජාප විසින් නිර්මානය කල වාර්ගික ප‍්‍රතිගාමිත්වයේ වාතාවරනය තුල විකොස එම ආස්ථානය ගැනීම සැලකිය යුතු ධෛර්යමත් ක‍්‍රියාවක් වීය. ප‍්‍රමුඛ විකොස සාමාජිකයකු වූ ආර්.පී. පියදාස ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධ වීම නිසා, පොලිසිය සමග එක්ව වැඩ කල එජාපය මගින් සංවිධානය කරන ලද මැරයින් විසින් 1979 දී ම්ලේච්ඡු ලෙස මරාදමන ලදී.

21-5 1980 ජුලි මස වැඩි වැටුප් ඉල්ලා පුලූල් වැඩවර්ජන ව්‍යාපාරය සමග එජාප ආන්ඩුවේ පුද්ගලීකරන හා ප‍්‍රතිව්‍යුහකරන වැඩ පිලිවෙල කෙරෙහි විරුද්ධත්වය, උපරිමය ට උත්සන්න වීය. ජනාධිපති ජයවර්ධන වැඩ වර්ජනය නීති විරෝධී බව වහාම ප‍්‍රකාශ කරමින් ඊට සහභාගී වන සෑම අයෙක්ම දොට්ට දමන බවට තර්ජනය කලේය. වැඩ වර්ජනය ”දේශපාලනික නොවන” බව කියා සිටි ලසසප හා කොප ආන්ඩුවේ හදිසි නීති බලතලවලට අභියෝග කිරීම හෝ එය පෙරලා දැමීම සඳහා කැඳවුම් කිරීම ප‍්‍රතික්ෂේප කලහ. ලසසප(වි* නායක බාලා තම්පෝ ඔහුගේ සීඑම්යූව වැඩ වර්ජනය ට මෙහෙයවූයේ නැත. වැඩ වර්ජනය හුදෙක් වැටුප් ආරවුලක් පමනක් බව කියා සිටි නසසපය, එය ආන්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ විකොස උද්ඝෝෂනයට දරුනු ලෙස පහර දුන්නේය. මෙම නායකත්වයන්ගේ ද්‍රෝහීත්වයට පින්සිදු වන්නට, කිසිදු විරුද්ධත්වයකින් තොරව ම පාහේ රාජ්‍ය අංශයේ ලක්ෂයක් දෙනා දොට්ට දැමීමට ද එමගින් කම්කරු පන්තියට විනාශකාරී පරාජයක් අත්කර දීමට ද එජාප ආන්ඩුවට හැකියාව ලැබුනි.

21-6 ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අවසාන මහා වර්ජනය වූ 1980 වැඩ වර්ජනයේ පරාජය, පූර්න පරිමානයේ සිවිල් යුද්ධයට දොර හැර දුනි. ඕනෑම දේශපාලන අභියෝගයකට හෝ අර්බුදයකට එජාප ප‍්‍රතිචාරය වූයේ, 1983 ජුලියේ බිහිසුනු ප‍්‍රචන්ඩත්වයකින් කුලූගැන්වුන දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන්ට බැසගැනීම යි. දෙමල සටන් කරුවන් සෙබලූන් 13 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසුව මල සිරුරු කොලඹට ගෙන ඒම මගින් එජාපය හිතා මතාම වාර්ගික මනෝගතීන් ඇවිලවීය. පසු දින එජාප මැරයින් මූලිකත්වය ගත් දෙමල විරෝධී ප‍්‍රචන්ඩ කි‍්‍රයා දිවයිනේ බොහෝ ප‍්‍රදේශ පුරා පෙර නොවූ විරූ පරිමානයකින් පැනනැගුනි. දෙමල වැසියන්ගේ කඩ සාප්පු හා ගෙවල් ගිනිබත් කර සිය ගනනක් මරා දැමුනි. දින හතරක් පුරා ප‍්‍රචන්ඩ කි‍්‍රයා බාධාවකින් තොරව කර ගෙන යාමට ඉඩ සැලසූ ආන්ඩුව හා පොලිසිය කිසිදු ප‍්‍රවෘත්තියක් පලවීම වැලැක් වීමට කුරිරු මාධ්‍ය වාරනයක් පැනවීය.

21-7 ඊලඟ වසර 25 පුරා රට විනාශයට ඇද දැමූ මහා පරිමාන සිවිල් යුද්ධයේ ආරම්භය මෙම මිනීමරු ජන හිංසනය යි. අගෝස්තු 04 දා, යුද්ධ ප‍්‍රකාශයක් බඳු පියවරක් තබමින්, එජාප ආන්ඩුව, වෙනම ඊලමක් වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරන හා සියලූ රජයේ සේවකයින් රාජ්‍යයට පක්ෂපාතිත්වය දිවුරුම් දීම අනිවාර්ය කරන නව ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගත්තේය. මෙම දිවුරුම් දීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා සියලූ ටීයූඑල්එෆ් මන්ත‍්‍රීන්ට සිය ආසන අහිමි විය. 1983 දෙසැම්බර් වන විට යාපන අර්ධද්වීපය ”යුද කලාපයක්” ලෙස ප‍්‍රකාශ කෙරින. එජාප ආන්ඩුවේ කටයුතු නිසා දැඩි කෝපයට පත් දෙමල තරුනයෝ දහස් ගනනින් විවිධ සන්නද්ධ දෙමල කන්ඩායම් වලට බැඳීම සඳහා රැස් වූහ.

21-8 ජන හිංසනයේ කි‍්‍රයාදාමය තුල විකොස, විශේෂිත ප‍්‍රහාරයක ඉලක්කය බවට පත්කරගන්නා ලදී. කම්කරු මාවත කර්තෘ කේ. රත්නායකගේ නිවස ගිනි තබා විනාශ කරන ලද අතර පක්ෂ මුද්‍රනාලය වැනසීමේ උත්සාහයක් යන්තම් වලක්වා ගන්නා ලදී. ආන්ඩුවේ ප‍්‍රවෘත්ති වාරනය නොතකා විකොස, ආන්ඩුවට මෙන්ම විරුද්ධ පක්ෂවලට ද චෝදනා එල්ල කරමින් හා දෙමල වැසියන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත්වන ලෙස කම්කරු පන්තියට කැඳවුම් කරමින් දිගු ප‍්‍රකාශයක් නිකුත් කලේය. යුද්ධයට විරුද්ධවූ විකොස, ලසසප, කොප හා ඉන්දියානු ආන්ඩුව එයට දැක්වූ සහයෝගිතාව හෙලිදරව් කරමින් උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත් කරන ලෙස කියා සිටියේය. 1984 මැයි මාසයේ දී විකොස පුවත්පත්වල නෛතික වගකීම දරන ආනන්ද වක්කුඹුර 6 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කලේය යන චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සති දෙකක් රඳවා තබා ගැනුනි. විකොස ගෙන ගිය දැඩි උද්ඝෝෂනයක් හමුවේ වක්කුඹුරට එරෙහිව චෝදනා ගොනු කිරීම ආන්ඩුව විසින් අත්හැර දමන ලදි.

22. විකොස, කවිප හා ජාතික ප‍්‍රශ්නය

22-1 ජාතික ප‍්‍රශ්නය පිලිබඳව විකොස ආස්ථානය ආරම්භයේ පටන් ම පදනම්ව තිබුනේ, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය තුලින් වර්ධනය කරන ලද කම්කරු පන්ති ජාත්‍යන්තරවාදයේ මූලධර්ම මතය. පන්ති පදනමක් මත කම්කරුවන් එක්සත් කිරීමේ විධික‍්‍රමයක් ලෙස, සියලූ වර්ගයේ ජාතිකවාදයට, වර්ගවාදයට හා ජාතිභේදවාදයට එරෙහිව පක්ෂය ස්ථිරසාරව සටන් වැදුනේය. එන්ට එන්ටම විවෘත රූපයෙන් කි‍්‍රයාත්මක වූ දෙමල ජනතාවට එරෙහි ආන්ඩුවේ නිල වාර්ගික වෙනස්කම් කිරීම්වලට ධෛර්්‍ය සම්පන්න ලෙස විරුද්ධත්වය දැක්වූ පක්ෂය, දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කලේය. 1970 තරම් මුල් කාලයේ දී විකොස, දිවයිනේ උතුරට යවා තිබුන හමුදා ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටි අතර යුද්ධයේ අවධිය පුරාම එම ඉල්ලීම අඛන්ඩව පෙරට ගෙන ගියේය. දෙමල ධනපති පක්ෂ හැර 1972 ව්‍යවස්ථාවට විරුද්ධ වූයේ විකොස පමනි. රජයේ මුද්‍රනාල වෘත්තීය සමිතියේ විකොස කන්ඩායම, ව්‍යවස්ථාවට එරෙහිව සමිතිය හමුවේ යෝජනාවක් ඉදිරිපත්කර සම්මත කල විට ලසසප නිලධරයෝ පක්ෂ ආධාරකරුවන්ට විරුද්ධව දඩයමක් දියත් කලහ.

22-2 දෙමල තරුනයින් අතර වැඩෙන පෙරලිකාරිත්වය මධ්‍යයේ විකොස, 1972 ජූනි මාසයේදී මෙසේ ප‍්‍රකාශ කලේය. ”මාක්ස්වාදීන් වන අපි, දෙමල ජාතියේ ස්වයංනීර්න අයිතිය පිලිගන්නෙමු. ඒ සමග ම, මෙම අයිතිය දිනාගත හැක්කේ එම අයිතිය පිලිගන්නා හා සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා සිංහල හා දෙමල කම්කරුවන් බලමුලූ ගැන්වීමෙන් පමනක් බව ද අපි අවධාරනය කරමු." [51] ජාතික ප‍්‍රශ්නය පිලිබඳ ලෙනින්ගේ ලේඛන අනුව යමින්, විකොස, වෙනම දෙමල රාජ්‍යයක් වෙනුවෙන් පෙනී නොසිටි නමුත් ඒ සඳහා දෙමල ජනතාවට පවතින අයිතිය ආරක්ෂා කලේය. එම ප‍්‍රතිපත්තියෙන් අපේක්ෂා කලේ දෙමල ධනපති දේශපාලඥයින්ගේ දෙපිටකාට්ටුකම හෙලිදරව් කරමින් ශ‍්‍රී ලංකාව හා සමස්ත ඉන්දු උපමහාද්වීපය සඳහා සමාජවාදී ඉදිරි දර්ශනයකට දෙමල කම්කරුවන් හා තරුනයින් දිනාගැනීමය.

22-3 කෙසේ වුවත් 1972 ජාත්‍යන්තර කමිටු රැස්වීමක දී එස්එල්එල් නායකත්වය, විකොස ආස්ථානයට එකහෙලා විරුද්ධ විය. ස්වයං නීර්නය සඳහා දෙමල ජනතාවට ඇති අයිතියට සහාය දීම මගින් දිවයින කපා වෙන් කිරීමේ අධිරාජ්‍යවාදී සැලසුම්වලට උදව් කෙරෙන බවට බන්ඩා තර්ක කලේය. 1971 නැගෙනහිර පකිස්ථානයේ ඉන්දීය හමුදා මැදිහත් වීමට ඔහු සහාය පලකල අයුරින්ම විකොස ආස්ථානය කෙරෙහි බන්ඩාගේ විරුද්ධත්වය පදනම් වූයේ, 1947-48 කාලයේ දකුනු ආසියාව තුල අධිරාජ්‍යවාදීන් විසින් ඇටවූ ඊනියා නිදහස් ජාතික රාජ්‍යයන්ගේ සුජාත භාවය පිලිගැනීම මතය. බාලසූරිය පසුව පැහැදිලි කල අයුරු: ”කවිප ආස්ථානය අනිවාර්යයෙන්ම ගමන් කරන්නේ, ජාතික ධනේශ්වරයට හා ඒ තුලින් අධිරාජ්‍යවාදයට මුලූමනින් ම යටත්වීම කරාය. මක්නිසා ද යත්, එහි න්‍යාය මුලූමනින්ම පදනම්ව ඇත්තේ මෙම ධනේශ්වර රාජ්‍ය එලෙසින්ම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත නිසාය. මෙම රාජ්‍ය ව්‍යුහයන්, කිසිදු ව්‍යතිරේකයකින් තොරව, එක් ජාතිකත්වයක ආධිපත්‍යය මත පදනම් වන බැවින් -- ඒවායේ ධනේශ්වරය අධිරාජ්‍යවාදය සමග සන්ධානගතව සිටින, අනෙකුත් ජාතිකත්වයන් යටත් කොට තබාගැනීම සඳහා රුදුරු ලෙස බලය යොදාගන්නා තතු යටතේ -- මෙම රාජ්‍ය ව්‍යුහයන් ආරක්ෂා කිරීම වනාහි අධිරාජ්‍යවාදය ම ආරක්ෂා කිරීම වන්නේය.” [52]

22-4 එම අදියරේදී දෙමල අරගලය ආරම්භක රූපයෙන් පැවතුනු තත්වය හමුවේ, විකොස, අකැමැත්තෙන් වුවත් එස්එල්එල් නායකත්වයේ අත්දැකීම්වලට හා දේශපාලන අධිකාරයට හිස නැමීය. විකොස ස්ථිරසාර ලෙස දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් අරක්ෂා කිරීමටත් සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමටත් එක දිගට සටන් වැදුනු අතර එහෙත් 1970 ගනන්වල වැඩි හරියක් පුරා එය වැඩ කලේ වැදගත් උපායික අවියකින් තොරව ය යන කාරනය එයට විශාල බාධාවක් විය. මා ඕවාදීන්ගේ වැඩෙන ආනුභාවයට එරෙහිව සටන් කිරීමට පක්ෂයට සිදු විය. ”සන්නද්ධ අරගලය” දිරිගන්වමින් මා ඕවාදීන් කල ප‍්‍රකාශ, පෙරලිකාරී වූ දෙමල තරුනයින් ටීයූඑල්එෆ්හි ගාන්ධිවාදී ක‍්‍රමෝපායන් කෙරෙහි දැක්වූ සතුරු භාවය සමග අන්තර්ෙඡ්දනය විය. ජවිපෙ මෙන්ම මා ඕවාදීහු ද ට්‍රොට්ස්කිවාදය හෙලා දැකීම සඳහා, බන්ඩාරනායක ආන්ඩුව තුල ලැග සිටි ලසසප ඇමතිවරුන්ගේ ද්‍රෝහිත්වයට ඇඟිල්ල දිගු කලහ. කෙසේවෙතත් 1977ට පෙරාතුව, මෙම කන්ඩායම් ඉතා අඩු දේශපාලන වැදගත්කමක් දැරූ අතර පන්ති පදනමකින් සිංහල හා දෙමල කම්කරුවන්ගේ සහයෝගය දිනාගනිමින් ඉදිරියට ගිය කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය තුල මුලූමනින්ම පසෙකට තල්ලූවී තිබුනි.

22-5 1979 දී දෙමල ජාතික විමුක්ති අරගලය ජාත්‍යන්තර ප‍්‍රමුඛත්වයක් අත්කර ගනිද්දී, කවිපය අංශක 180ක කරනමක් ගැසීය. කවිපය ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නයේ වැදගත්කම නොතකාහල බව පිලිගනිමින් බන්ඩා, විකොසෙන් සමාව අයැදින ලිපියක් පක්ෂය වෙත එවීය. එහෙත් කවිපය, ප‍්‍රමාද වී දෙමල ජනතාවගේ ස්වයංනීර්න අයිතිය පිලිගැනීමට හේතුව එම ලිපියෙන් හෝ ඉන් පසුව හෝ පැහැදිලි කලේ නැත. ශ‍්‍රී ලංකාව පිලිබඳ නව පිලිවෙත කවිපයේ පූර්ව පිලිවෙතට වඩා නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම් වූයේ ද නොවේ. දෙමල ජාතික විමුක්ති අරගලයට දැක්වූ විරුද්ධත්වයක සිට කවිපය, එය අවිවේචනාත්මකව බදා ගැනීම කරා මාරු විය. කවිපයේ හදිසි වෙනස, 1974 දී තෝනට් සමග භේද වීමෙන් පසුව එහි පන්ති අක්ෂයේ සිදු වූ මාරුව සමග ගැට ගැසී තිබුනි. ධනේශ්වරයේ නව ජාත්‍යන්තර ප‍්‍රති ප‍්‍රහාරය සමග බැඳුනු නව දේශපාලන ගැටලූවලට කවිපය මුහුන දුන් කල, 1976 පටන් එය සහාය පතා හැරුනේ අනෙකුත් පන්ති බලවේගයන් වෙතය. එනම්, බි‍්‍රතාන්‍යයේ ලේබර් හා වෘත්තීය සමිති නිලධරය ද මැද පෙරදිග අරාබි ධනේශ්වර තන්ත‍්‍රයන් ද වෙත ය.

22-6 අරාබි ධනේශ්වරය සමග එහි මූලධර්ම විරහිත සම්බන්ධතාවන්ට සමාන්තරව කවිප, වඩා ප‍්‍රමුඛ සන්නද්ධ දෙමල කන්ඬායම් අතරින් එකක් වූ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සමග සබඳතා ගොඩනගා ගත්තේය. අනෙක් සංවිධාන අතර, දෙමල ඊලම් විමුක්ති සංවිධානය (ටෙලෝ), දෙමල මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුන (ඊපීආර්එල්එෆ්*, හා ඊලම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානය (ඊරෝස්* විය. එක් අංශයකින් හෝ තවෙකකින්, මේ සියලූ සංවිධාන, ස්ටැලින්වාදයේ හා මා ඕවාදයේ ආනුභාවයට ලක්ව තිබූ අතර, ටීයූඑල්එෆ් මෙන්ම, ඔවුන් ප‍්‍රකාශ කලේ, තමන්ගේ අරමුන සමාජවාදී දෙමල ඊලමක් බවය. කවිප එල්ටීටීඊයේ ඊනියා න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් හරහා එයට සහයෝගය දෙමින්, ”ජාතික විමුක්තිය” පිලිබඳ ධනේශ්වර කි‍්‍රයාමාර්ගයකට වඩාත් බරසාර ”සමාජවාදී” වහන්තරාවක් සම්පාදනය කලේය.

22-7 කවිප බාලසිංහම්ගේ ”දෙමල ජාතික ප‍්‍රශ්නය පිලිබඳව” යන ලියවිල්ල ලේබර් රිවීව්හි පල කරමින් විකොස ද එයම කල යුතු යයි අවධාරනය කලේය. 1913 වසරේ ලෙනින්ගේ ජාතික ප‍්‍රශ්නය පිලිබඳ ලියවිලි බාලසිංහම්ගේ අතේදී කනපිට හැරිනි. කම්කරු පන්තිය සමාජවාදී ඉදිරිදර්ශනයක් වටා එක්සත් කිරීමේ උපායික මාධ්‍යයක් ලෙස සලකනවා වෙනුවට බාලසිංහම් තර්ක කලේ, ලෙනින්ට අනුව මාක්ස්වාදීන් දෙමල ධනේශ්වරයේ බෙදුම්වාදී අභිලාෂයන්හි අවිවේචනාත්මක ආධාර කරුවන් විය යුතු බවයි. නිර්ධන පන්ති විප්ලවවාදියෙකුගේ කර්තව්‍යය ”එයට නායකත්වය දෙන්නේ ධනේශ්වරය වුවත් (දෙමල* අරගලයට සහාය දෙමින්, අරගලය ජාතික විමුක්තිය හා සමාජවාදී විප්ලවය කරා මෙහෙයවන මූලෝපායක් පිලිගැනීම” යයි ඔහු පැහැදිලි කලේය. කම්කරුවන් එක්සත් කිරීමේ හා ඔවුන් ධනේශ්වරයෙන් ස්වාධීනව බලමුලූ ගැන්වීමේ කුමන අරගලයකින් හෝ තොර, බාලසිංහම්ගේ ”සමාජවාදී විප්ලවය” පිලිබඳ සඳහන මුලූමනින් ම ආටෝපයක් පමනි. ”සමාජවාදී දෙමල ඊලමක් කරා” යන හිසින් 1980 දී පල කල විවාදාත්මක ලිපියක් තුල එල්ටීටීඊය, කම්කරු පන්තිය වෙත කුමන හැරීමක් හෝ පැහැදිලි ලෙසම ප‍්‍රතික්ෂේප කලේ, මෙසේ ප‍්‍රකාශ කරමිනි: ”කම්කරු පන්තියේ එක්සත්කම පිලිබඳ හා සමස්ත ශ‍්‍රී ලංකා විප්ලවයක් පිලිබඳ කුනුවූ දෘෂ්ටිවාදයෙන් දෙමල ජනතාව හෙම්බත්ව සිටියි. බහුතරයේ පීඩාකාරී ග‍්‍රහනය යටතේ සිටින ජාතික සුලූතරයක් පලමුව තමන්ගේ විමුක්තිය සඳහා සටන් වැදිය යුතුය.”

22-8 සිංහල හා දෙමල කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතාවන් වටා එක්සත් කිරීමට විකොස සම්මුති විරහිතව එක දිගට සටන් වැදුනි. පක්ෂය දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකීම සඳහා ද 1983 ජන හිංසනයන්ට එජාපයේ ඇති සම්බන්ධය හෙලිදරව් කිරීම සඳහා ද පුලූල් උද්ඝෝෂනවල නිරත විය. එහෙත් එල්ටීටීඊයට දුන් කවිපයේ අවිවේචනාත්මක සහයෝගය, එල්ටීටීඊයේ හා අනෙකුත් දෙමල සන්නද්ධ කන්ඩායම්වල දේශපාලනය විමසා බැලීමෙන් පක්ෂය වලක්වා ලූ අතර එමගින් එය දෙමල තරුනයි`න් අතර ඔවුන්ගේ බලපෑම ශක්තිමත් වීමට උදව්කාරක විය. විකොසට හා ජාත්‍යන්තර කමිටුවට, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අත්දැකීම්වලට සම්බන්ධව, ජාතික ප‍්‍රශ්නය යලි විමසීම සඳහා අවස්ථාවක් සැලසුනේ කවිප සමග 1985-87 ඇතිවූ භේදයෙන් පසුව පමනි.

22-9 1983 දෙමල විරෝධී ජන හිංසනය ඉන්දියාව තුල, විශේෂයෙන්ම දකුනේ තමිල්නාඩු ප‍්‍රාන්තය තුල, ප‍්‍රතිකි‍්‍රියා මාලාවක්ම ජනනය කලේය. ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සාම සාකච්ඡා සඳහා කපුකම කිරීමට ඉදිරිපත් විය. ඒ සමග ම, ශ‍්‍රී ලංකා ආන්ඩුව සමග ගෙන ගිය සිය ගනුදෙනුවල දී කේවල් කිරීමේ ඉත්තන් ලෙස යොදා ගැනීමත් ඒවායේ වැඩ කටයුතු මත පාලනයක් තබා ගැනීමත් පිනිස, ඉන්දියාවේ ආන්ඩුව, විවිධ සන්නද්ධ දෙමල සංවිධානවලට, මිලිටරි පුහුනුව සඳහා රහසිගතව අවසර දුන්නේය. සියලූ දෙමල කන්ඬායම්, දෙමල ජනතාවගේ ආරක්ෂකයින් ලෙස ඉන්දියානු ධනේශ්වරය පිලිබඳ මිත්‍යාවන් වැපිරූ අතර, බංග්ලාදේශයේ කලාක් මෙන් වඩාත් සෘජු ඉන්දියානු මැදිහත්වීමක් දිරිමත් කලහ. ඉන්දියානු බුද්ධි අංශයේ නිරීක්ෂනය යටතේ දෙමල තරුනයින්ට ”දේශපාලන පුහුනුව” ලබා දෙමින්, ස්ටැලින්වාදී පක්ෂ -- සීපීඅයි හා සීපීඑම් -- ඉන්දීය ආන්ඩුවේ කුටෝපායන්ට සෘජුව ම සම්බන්ධ විය. එකම විශේෂත්වය වූයේ එල්ටීටීඊය යි. එය වඩාත් සෘජු ලෙස දෙමල ධනේශ්වරයේ කඳවුර වෙත මාරු විය. එල්ටීටීඊය තමිල්නාඩුවේ මහ ඇමති එම්.ජී. රාමචන්ද්‍රන් හා ඔහුගේ ධනපති සමස්ත ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුනේත‍්‍ර කලහම් (ඒඅයිඒඞීඑම්කේ* පක්ෂය සමග සමීප සබඳතා පවත්වා ගෙන ගියේය. ඔහු තමන්ගේ ම දේශපාලන ප‍්‍රතිරූපය නගා සිටුවීම පිනිස එල්ටීටීඊ සම්බන්ධතාවය ප‍්‍රයෝජනයට ගත්තේය. එල්ටීටීඊ සමග සිය සම්බන්ධතාවන්ට සිදු විය හැකි බාධාව පිලිබඳව උත්සුක වූ කවිප, තමිල්නාඩුවේ හා ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයක් වර්ධනය කිරීමේ විකොස ව්‍යායාමයට විරුද්ධ විය.

22-10 1983-85 කාලයේ දී කවිප, විකොස බලාත්කාරයෙන් හුදෙකලා කිරීමේ සිට, ජාත්‍යන්තර කමිටුවට එරෙහි එහි වඩා පුලූල් ප‍්‍රහාරයේ කොටසක් ලෙස, ශ‍්‍රී ලංකා ශාඛාව දේශපාලනිකව විනාශ කිරීමේ ප‍්‍රයත්නයන් වෙත හැරී ගත්තේය. 1983 ජූලි මාසයේ දෙමල විරෝධී ජන හිංසනයේ හිනිපෙත්තේදී නිව්ස් ලයින් පත‍්‍රය, බන්ඩා විසින් ලියන ලද ප‍්‍රකාශයක් පලකලේය. එහි මෙසේ සඳහන් විය. ”පොලීසිය හා හමුදාව, අපගේ සහෝදරවරුන් මරා දැමීමටත් අපගේ මුද්‍රනාලය විනාශ කිරීමටත්, හදිසි නීතිය යටතේ ඔවුන්ට ලැබී ඇති අත්තනෝමතික හා අසීමිත බලතල පාවිච්චි කර තිබිය හැකිය, නැත්නම් එසේ කිරීමට ඉඩ ඇත.” පසුව ඒ ගැන ලිවූ කීර්ති බාලසූරිය, කවිප සාහසික නොතැකීම හෙලා දකිමින් මෙසේ පැහැදිලි කලේය. ”අපගේ ආරක්ෂාව වෙනුවෙන් උද්ඝෝෂනයක් ගෙන යාමට ඔබ කිසිවක් ම කලේ නැත. ඒ අනුව එජාප ආන්ඩුවට ඔබ කල්තියා දුන් පනිවිඩය නම් අපගේ පක්ෂය කායිකව විනාශ කලත් ඔබ අප වෙනුවෙන් ඇඟිල්ලක්වත් ඔසවන්නේ නැති බවයි. එම කාලය පුරාම විකොස, තම ආරක්ෂාව සලසා ගනිමින් කම්කරු පන්තියේ ද තරුනයන්ගේ ද බොහෝ කොටස්වල ගෞරවය දිනා ගත්තේය. ඒ අප, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික හා දේශපාලන පදනම්වලින් කිසි විටෙකත් පසු නොබැස්ස බැවිනි. හීලි, බන්ඩා හා ස්ලෝටර්ගේ දේශපාලන ප‍්‍රකෝපකරනයන්හි නිරන්තර ඉලක්කයක් බවට අප පක්ෂය පත්වූයේ හරියට ම ඒ කාරනය නිසා ය.” [53]

22-11 එල්ටීටීඊය කෙරෙහි තම අවිවේචනාත්මක සහයෝගය පුද කරන අතර ම, විකොසෙන් කැඞී ගොස් සිංහල වර්ගවාදයේ පදනම් මත එයට පහර ගසන කන්ඬායමකගේ සේවය කවිප කිසිදු මනස්තාපයකින් තොරව ලබාගත්තේ ය. මෙම භ‍්‍රෂ්ඨයින් සමග සම්මුතියක් ඇති කර ගන්නා ලෙස කවිප, විකොසට බල කල අතර, එය සාර්ථක නොවීය. එහෙත් එම කන්ඩායමේ විසකුරු ඕපා¥ප විකොසට වල කැපීම සඳහා දිගට ම යොදාගනු ලැබින. එවැනි ”වාර්තා” මත පදනම් වෙමින් හීලි සහ බන්ඩා, 1985 පැවති ජාත්‍යන්තර කමිටුවේ 10 වන සමුලූවේදී විකොස ජාත්‍යන්තර කමිටුවෙන් නෙරපා හැරීමට යෝජනාවක් ගෙන ආවෝය. කවිප නායකයෝ ජාත්‍යන්තර කමිටුව විනාශ කිරීම දෙසට පැහැදිලිව ම හැරී සිටියහ.

මතු සම්බන්ධයි

සටහන්:

[51] Fourth International (හතරවන ජාත්‍යන්තරය), වෙලුම 14, අංක 1, 1987 මාර්තු 54 පි.

[52] එම., 54-5 පි.

[53] Fourth International (හතරවන ජාත්‍යන්තරය), වෙලුම 14, අංක 2, 1987 ජූනි 111 පි.

Share this article: