කොක්කු ඉගිලෙති චිත්‍රපටය පිලිබඳ තවත් අදහසක්
A further comment on The Cranes Are Flying
වොල්ෆ්ගෑන්ග් වෙබර් විසිනි , 2014 ජූනි 19
මේ සමග පහත පල කරන ලෝසවෙඅ වොල්ෆ්ගෑන්ග් වෙබර්ගේ ප්‍රකාශය 1957දී තිරගතවූ The Cranes Are Flying The Cranes Are Flying (1957)(කොක්කු ඉගිලෙති) චිත්‍රපටය පිලිබඳ විමර්ශනයෙන් ඇතිකල බලපෑම මත එම විමසුමේ කතුවරයා අමතන ලද්දකි.
දයාබර ඩොරෝටා,
කොක්කු ඉගිලෙති චිත්‍රපටය පිලිබඳ ඔබේ විචාරය සත්තකින් ම මගේ හදවතේ සියුම් තතක් නින්නාද කරවීමට සමත් විය. යන්තම් මීට දින කිහිපයකට ඉහත දී මම, මීට වසර 50කට පමන ඉහත දී මා දුටු මෙම විස්මය දනවන සුලු චිත්‍රපටය පිලිබඳව ඩේවිඩ් වොල්ෂ් සහෝදරයා සමඟ කථා කරමින් සිටියෙමි. එය මා නැරඹූ ප්‍රථම චිත්‍රපටයයි!
චිත්‍රපටයේ රූප රාමු රැසක් අඩ සිය වසක කාල පරිච්ඡෙදයක් පුරා මා මනසේ තවමත් ජීවමානව පවතී. සෝවියට් සෙබල බෝරිස් හා ඔහු අයත් ඒකකය වගුරු බිමක සතුරන් විසින් වටලනු ලදුව, ගොහොරු මඩ හා බර්ච් රුක් ගොන්න ඔස්සේ එලියට පැන ගත හැකි මඟක් සොයා ගමන් කරන දර්ශනය හා - අන් සියලු දර්ශනයන්ට ද වඩා - හදිසි අනපේක්ෂිත එකම වෙඩි පහරකින් මරනීය තුවාල ලබා වගුරට ඇද වැටෙන බෝරිස් වටා ඉහල අහසේ තුරු මුදුන් වෘත්තාකාරව භ්‍රමනය වන අයුරු දැක්වෙන, ඔහුගේ මරනයේ ඇති කුරිරු අතාර්කික ස්වභාවය සංකේතවත් කරන දසුන ද එසේ ජීවමානව පවතින රූපරාමු අතර වේ.
චිත්‍රපටය මුදා හැරුනු එම වසරවලදී කොක්කු ඉගිලෙති සෝවියට් සංගමය තුල මෙන්ම නැඟෙනහිර හා බටහිර ජර්මනිය තුල ද අතිමහත් සාර්ථකත්වයක් අත් කර ගත්තේය. බටහිර පාලක කවයන්ගේ මෙන්ම නැඟෙනහිර ස්ටැලින්වාදී නිලධරයන්ගේ ද ත්‍රාසයටත් ද්වේශයටත් හේතු වන පරිදි, දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායයක් විසින් එය නරඹන ලදී! ඊට යන්තම් වසර කිහිපයකට ඉහත දී ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයන් ජර්මනිය යලි සන්නද්ධ කිරීමට එරෙහිව වීදි බැස, පල නොදැරූ පෙලපාලි දක්වා තිබූ තතු යටතේ හා ෆ්‍රැන්ක්ෆර්ට් හි ඖෂ්විට්ස් නඩු විභාග එකල තොරතුරු ලබා ගැනීමට අපට තුබූ ප්‍රධානතම ප්‍රභවය වූ ගුවන් විදුලිය ඔස්සේ වාර්තා කිරීම ඉන් ටික දිනකට පෙර ඇරඹී තිබූ තතු තුල, මෙම චිත්‍රපටය මගේ විඥානය තුල ගැඹුරු සටහන් තැබීය.
එහි ලා මම කිසිසේත් හුදෙකලා සුවිශේෂයක් නොවීමි.
එවකට යෞවනයකු වූ මා, සම්භාව්‍ය සාහිත්‍යයේ පරිශීලනයෙන් උකහා ගනිමින් සිටි මානව චර්යාවන්ගේ හා සමාජ සංවිධානයේ ඉහල පරමාදර්ශයන් සමඟ මා වටා වූ සමාජය සසඳා බලමින් එම සමාජය දෙස යම් ආකාරයක විවේචනාත්මක දෘෂ්ටියකින් බැලීම ආරම්භ කලා පමනි. මෙම චිත්‍රපටය ද මා මනසේ බරපතල ප්‍රශ්න ගනනාවක් පුබුදුවා ලීය: චිත්‍රපටයෙන් දැකිය හැකි වූ පරිදි ප්‍රහාරයකට පාත්‍ර වීමට කිසිසේත් සූදානම් ව නොසිටි හා මහා බෝම්බ ප්‍රහාරයන්හි නිර්දෝෂී ගොදුරු බවට පත් වූ මිනිසුන් වාසය කල සෝවියට් සංගමයට ජර්මනිය පහර දුන්නේ මන්ද? එම කාලය වන විට ද ජර්මන් නඟරවල හොඳින්ම දැකිය හැකි වූ නටබුන් ද, මහ මාවතේ යාචකයන් ලෙස පාසැලේ ගුරුවරුන් ලෙස හා නිවසේ දී පවුල තුලමත් නිරතුරුව හමු වූ ආබාධිතයන් ද නිර්මානය කලා වූ යුද්ධයට හේතුපාදක වූයේ කුමක් ද? මගේ දෙමාපියන් ඇතැම්විට නිවසේ දී සාකච්ඡා කල පරිදි, තවමත් බටහිර ජර්මන් සමාජයේ, හමුදාවේ, එහි දේශපාලන හා ශාස්ත්‍රාලීය ජීවිතයේ, ඉහල තනතුරු හොබවන හෝ එම තනතුරුවලට යලි පත් වූ හිට්ලර්ගේ රජයේ ජනරාල්වරුන්, විනිසුරුවන්, වධකයන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් හා දේශපාලන නායකයන් ගැන කිව හැක්කේ කුමක් ද?
තව ද, බෝරිස්, ඔහුගේ පියා, මව හා සොහොයුරිය, ඔහුගේ පෙම්වතිය වන වෙරෝනිකා වැනි සාමාන්‍ය මිනිසුන් - සිය දුෂ්කර දෛනික ජීවිතය තුල අතිශයින් ම මානුෂිකවූත්, උසස් මූලධර්ම හා සමාජ පරමාදර්ශයන් පරාර්ථකාමී ලෙස අනුයන්නාවූත් මිනිසුන් - ඒ සා මහත් සංඛ්‍යාවක් ගැබ් කොට ගත් සමාජ ජීවිතය පිලිබඳව කොක්කු ඉගිලෙතිහි මැවෙන චිත්‍රය "අපේ" මාධ්‍ය මඟින් දිනපතා සෝවියට් සංගමය පිලිබඳව මවන බියකරු චිත්‍රයට කෙසේ නම් සැසඳිය හැකි ද? "නිදහස් බටහිර" මාධ්‍ය, ගුවන් විදුලිය, ගුරුවරුන් හා දේශපාලනඥයන් විසින් වෛරයෙන් ඌරල් වූ හා අපේ ගෙලට පැන පහර දීමට නිසි මොහොත එලැඹෙන තුරු බලා සිටින්නා වූ අන්තරායකර ආක්‍රමනික දේශයක් පිලිබඳව මවා ඇති චිත්‍රය සමඟ එම චිත්‍රපටය කෙසේ නම් ගැලපේ ද?
එම ප්‍රශ්නවලට මට පිලිතුරු ලැබුනේ තවත් දස වසරක ඇවෑමෙනි. ඒ, ලෝක යුද්ධ දෙකට හේතු සාධක ලෙස ජර්මානු හා ලෝක ධනවාදයේ ඓතිහාසික අර්බුදය ගෙන හැර දැක්වූ, එම අර්බුදයට ධනේශ්වරයේ "විසඳුම" ලෙස හිට්ලර්ගේ නාසි ආඥාදායකත්වය හා හමුදා ප්‍රචන්ඩත්වය ගෙන හැර දැක්වූ, කම්කරු පන්තියේ ගෙල සිර කොට ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමෙන් ඔවුන් වලක්වා ලන තීරනාත්මක බලවේග ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ටැලින්වාදය ගෙන හැර දැක්වූ ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය තුලිනි.
මේ සතියේ චිත්‍රපටය යලි නැරඹු මට එය අග්‍රගන්‍ය කෘතියක් ලෙස ඊට ද වැඩියෙන් අගය කල හැකිය. කැපී පෙනෙන සුලු සිනමා කාව්‍යයක් ලෙස එය සැමදා සලකනු ලැබිය. කෑන්ස්හි තිරගත කිරීමට සහභාගී වීමෙන් පසු පැබ්ලෝ පිකාසෝ, "මෙවැනි කාව්‍යමය කලා කෘතියක් මම වසර සියයක් තුල දැක නැත්තෙමැ"යි පැවසූ බව ප්‍රසිද්ධය. එහෙත් හුදු කොක්කු ඉගිලෙති නිර්මානය කිරීමම වුව තිරරචකයාගේ, අධ්‍යක්‍ෂකගේ හා සමස්ත නලුනිලි කැලගේ කලාත්මක හා දේශපාලන ධෛර්යයේ පුදුම එලවන සුලු ක්‍රියාකාරිත්වයකි.
ඔවුහු සියල්ලෝම පෞද්ගලිකවම ලෝක යුද්ධයේ ගොරතර අත්දැකීම් මෙන්ම ස්ටැලින්වාදී විමෝචනයන් ද සමූහ ඝාතනයන් ද පසු කර පැමිනියෝ වූහ.
වෙරෝනිකා ලෙස රංග පෑ තත්‍යානා සමෝයිලෝවා, බිහිසුනු ලෙනින්ග්‍රාද් වැටලීමට පවා සත් අවුරුදු වියැති දැරියක ලෙස සිය පවුලේ අයවලුන් සමඟින් මුහුන දුන් තැනැත්තියක වූවාය. වාසනාවට මෙන් ඇය ලඩොගා විල හරහා මුදවා ගැනුනු හෙයින්, එම ඔක්තෝබර් විප්ලවයේ පුරවරයෙහි විසූ ලක්ෂ 15කට ආසන්න පුරවැසියන් මෙන් ශීතලෙන් හා කුසගින්නෙන් මිය නොයා ලෙනා මුඛිනා (ලෝසවෙඅහි බලන්න: //review of her diary) මෙන් ජිවත් වීමට සමත් වූවාය.
ඔබ සඳහන් කරන පරිදි ම චිත්‍රපටයේ නිර්මාපකයෝ, ස්ටැලින්ගේ පාලනය සාටෝපාකාරයෙන් උත්කර්ෂයට නැංවීමෙන් හා ප්‍රාදේශීය ස්ටැලින්වාදී නිලධාරීන් දේශමාමක වීරයන් ලෙස හුවා දක්වන සියලු මුසාවාදයන්ගෙන් වැලකී සිටිති. ඊට ඉහත යුද්ධය පිලිබඳව තැනුනු සෝවියට් චිත්‍රපටවල එකී සියල්ල අත්‍යවශ්‍යවූත්, සමස්ත කෘතීන් අලලා ගත්තාවූත් අංග විය. ස්ටැලින්වාදී නිලධරයේ පාලනයට එරෙහිව මෙම චිත්‍රපටය යුද්ධ ප්‍රකාශ කරන්නේ, "පීතෘ භූමිය" වෙනුවෙන් වඩවඩාත් වෙහෙස දරා වැඩ කරන ලෙස සාමාන්‍ය පක්ෂ සාමාජිකයන්ට නිලධරය වෙතින් කෙරෙන චාරිත්‍රානුකූල පෙලඹවීම් පිලිබඳ බොරිස්ගේ පියාගේ උපහාසාත්මක කාවදින සුලු අනාවරනයන් මඟින් පමනක් නොවේ; තමාගේම පුත්‍රයෙකුගේ අපරාධකාරී මමායනය හා ඉහල නිලයක් උසුලන ප්‍රාදේශීය පක්ෂ නිලධරයෙකු සමඟ ඔහුගේ තුබූ දුෂිත සන්ධානය හෙලි වූ කල බොරිස්ගේ පියා ගත් සප්‍රතිපත්තික ආස්ථානය මඟින් පමනක් ද නොවේ.... චිත්‍රපටයේ සමස්ත ලෝක දෘෂ්ටියම, (මහජන) වෛරයට පාත්‍ර වූ ස්ටැලින්වාදී නිලධරයේ පාලනයට එරෙහිව කෙරෙන යුද්ධ ප්‍රකාශයකි. විශේෂයෙන්ම, මාක් බඳු මිනිසුන් ස්ත්‍රීන් කෙරේ දක්වන මර්දනකාරී හා අරුචිකර සැලකිල්ල, ස්ටැලින්වාදය විසින් වගාදිගා කෙරුනු එදිනෙදා ජීවිතයේ පසුගාමී සමාජ සම්බන්ධතා හා සංස්කෘතිය මත යැපෙමින්, ඔක්තෝබර් විප්ලවයෙන් 40 අවුරුද්දකට පසු අද දින ද බහුල ව පවතී.
යන්තමකින්වත් දේශපාලන දේශන පැවැත්වීමක් හෝ බන දෙසීමක් නොකොට, චිත්‍රපටය මේ සියල්ල සාක්ෂාත් කර ගනී.
නියම ස්ටැලින්වාදී "කලාකරුවෙකු" හුවා දැක්වෙන ආකාරයේ දසුනකට ආසන්න එකකැයි වරදවා සලකා ගැනීමට ලක්විය හැකි එකම දර්ශනය වන්නේ, යුද්ධය අවසානයේ ස්ටෙෆාන් විසින් පවත්වනු ලබන, ඔබේ විචාරය අවසන් කරමින් ඔබ උපුටා දක්වා ඇති කථාවයි. කෙසේවෙතත්, යමෙකු විසින් සිහියේ තබා ගත යුතු කරුනක් වන්නේ, නාසි යුද්ධය හා ස්ටැලින්වාදී භිෂනය සමයේ දශ ලක්ෂ සංඛ්‍යාත සෝවියට් ජනයා ලද මහත් ව්‍යසනකාරී වූ අත්දැකීම් නිසා නිපන් කම්පනය අද පවා රුසියානු පවුල් තුල ජීවමානව පවතින බවයි. එමෙන්ම සැලකිල්ලට භාජනය කල යුතු කරුනක් වන්නේ, 1953 ස්ටැලීන්ගේ මරනයෙන් පසු හා 1956 කෘෂෙව් විසින් ස්ටැලින්ගේ අපරාධ හෙලිදරව් කරනු ලැබීමෙන් පසු විවෘතවම එලිමහනට ආ නිලධරයේ ගැඹුරු අර්බුදය, හුදු සෝවියට් ජන සමාජය පමනක් නොව, ලෝ පුරා ස්ටැලින්වාදී පක්ෂ සියල්ල ද සසල කරවූ බවයි.
මේ සියල්ල සිත්හි තබා ගතහොත්, එවිට ස්ටේෆාන්ගේ කථාව, විශේෂයෙන්ම එහි අවසන් දෙපේලිය - "අපි ජය ලැබීමු. අප ජීවත්වන්නේ කිසිවිටෙකත් විනාශ කිරීම සඳහා නොව, නව ජීවිතයක් ගොඩනැඟීම සඳහා ය" යන්න - අද දින සෝවියට් (?) කම්කරුවන් හා තරුනයන් විසින් අන් කිසිවක් ලෙස නොව, යුද්ධය කෙරේ ඇති වෛරයේ තථ්‍ය ප්‍රකාශනයක් ලෙස වටහා ගැනෙනු ඇත. ඒ, පොදුවේ ගත් කල වියුක්ත යුද්ධයකට එරෙහිව නොව, ධනවාදය හා ෆැසිස්ට්වාදය හේතු කොට උත්පාද වන සංයුක්ත යුද්ධවලට එරෙහි වෛරයේ ප්‍රකාශනයක් ලෙස ය. තව ද, නිසැකවම මෙම කථනය වටහා ගත හැකි වූයේ හා වටහා ගැනුනේ ස්ටැලින්වාදය යටතේ වූ "පැරනි ජීවිතයට" එරෙහිව කෙරුනු නොසැඟැවූ යුද්ධ ප්‍රකාශ කිරීමක් ලෙස ය. ඒ වූ කලී "ත්සෝ කාල පරිච්ඡෙදයේ" (1950 ගනන්වල මැද භාගයේ සිට 1960 ගනන්වල මුල් භාගය දක්වා) ආවේනික ගුනාංගයක් වූ සර්වශුභවාදයේ හා විපර්යාසයේ ජීව ගුනය සපිරි ප්‍රකාශනයකි.
එතෙකුදු වුව, වඩාත් යහපත් වෙනසක් සඳහා වූ එම සියලු අපේක්ෂාවන් හා මායාවන්, නිකිටා කෘෂෙව් වැන්නන් හෝ පාලක ස්ටැලින්වාදී නිලධරයේ මුලුමහත් ඒකක මත ආයෝජනය කෙරුනු තාක් දුරට ඒවා ඛේදජනක අයුරින් ඉක්මනින් ම සිඳී බිඳී ගියේය. අවසානයේ එකී ස්ටැලින්වාදී නිලධරයම ගොර්බචොෆ් හා යෙල්ට්සින් යටතේ මහත් ව්‍යසනකාරී සමාජ හා දේශපාලන ප්‍රතිවිපාක දනවමින් සෝවියට් සංගමය බිඳ හෙලීමට ක්‍රියා කල කල්හි එම පරපුරේ අපේක්ෂා සුනුවිසුනුව ගියේය. උක්ත ව්‍යසනකාරී ප්‍රතිවිපාක අද දින මස්තකප්‍රාප්තියට පත් වී ඇත්තේ එක්සත් ජනපදයේ හා යුරෝපයේ, යලිත් වරක් ජර්මනියේමත්, අධිරාජ්‍යවාදී බලවතුන් රුසියානු ජනතාවට හා සමස්ත ලෝකයටම නව අධිරාජ්‍යවාදී යුද්ධයක තර්ජනය ගෙන එමිනි.
කොක්කු ඉගිලෙති යලිත්වරක් ලෝ පුරා තරුනයන්ගේ අවධානයට පාත්‍ර වනු ඇත යන ඔබේ ප්‍රාර්ථනාවට මම ද කොටස්කරුවෙකු වෙමි!
මගේ උනුසුම් ශුභාශිංසන පිලිගන්න!
වොල්ෆ්ගෑන්ග් වෙබර්
Follow us on