යුදෙව්-විරෝධය හා රුසියානු විප්ලවය: දෙවන කොටස
Anti-Semitism and the Russian Revolution: Part two
ක්ලාරා වයිස් විසිනි, 2014 අපේ‍්‍රල් 30
මෙම ලිපිය සාර් පාලන තන්ත‍්‍රයේ සිට සිවිල් යුද්ධය අවසන් වූ 1922 දක්වා රුසියාව තුල යුදෙව් විරෝධයේ ඉතිහාසය පිලිබඳව උල්ර්ච් හර්බෙක් කරන ලද ඓතිහාසික අධ්‍යයනයක් පිලිබඳ කොටස් තුනකින් යුත් විමර්ශනයක දෙවන කොටසයි. පලමුවන කොටස ජූනි 25 දින පලවිය.
“යුදෙව් බොල්ශෙවිකයන්ට” එරෙහි අරගලය හා ධවලයන්ගේ සංහාර
නැගෙනහිර යුරෝපයේ යුදෙව්වන් සඳහා 1917 පෙබරවාරි විප්ලවයේ අර්ථය 1789 ප්‍රන්ස විප්ලවය බටහිර යුරෝපයේ යුදෙව්වන්ට තිබුනු අර්ථ භාරයම දැරීය. සාර්වාදී තන්ත්‍රය පෙරලා දැමීම තුලින් ඔවුහු පලමු වතාවට පූර්න ප්‍රජාතාන්ත්‍රිය අයිතීන් දිනා ගත්හ.
එහෙත් පෙබරවාරියේ බලයට පැමිනි ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් තාවකාලික ආන්ඩුව, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ අවශ්‍යතා පිලිබඳ කිසිදු මූලික වෙනසක් ඇති කිරීම ප්‍රතික්ෂේප කලේ ය. යුද්ධය නො නවත්වා පවත්වාගෙන ගිය ආන්ඩුව, රුසියානු ධනවාදයේ පදනම් ආරක්ෂා කලේ ය. යුදෙව්-විරෝධී අන්ත දක්ෂිනාංශය කෙරෙහි එහි පිලිවෙත තුලින් ද මෙය පිලිබිඹු විය.
යුදෙව්-විරෝධයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පත්කල ආන්ඩුවේ කොමිසම එය කිරීමට උත්සාහ කලේ අතීත සංහාරවලට ව්‍යාජ නෛතික ආවරනයක්ව තිබූ සාර්වාදී නීතියේ රාමුව යටතේ ය. අධිකරනයේ තනතුරුවලට නො කඩවා අන්ත-දක්ෂිනාංශික රුසියානු ජනතා සංගමයේ (එස්ආර්එන්) දේශපාලනඥයන් පත් කරනු ලැබිනි. එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු එස්ආර්එන් නායක ඇලෙක්සැන්ඩර් දුබ්රොවින්ට (1855-1921) චෝදනා නැගීම අසාර්ථක විය.
ප්‍රන්ස විප්ලවයෙන් ඉක්බිත්තේ යුදෙව්වන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් පුලුල් කිරීමේදී මෙන් ම, 1917 රුසියාවේ යුදෙව්වන්ගේ දේශපාලන විමුක්තිය සඳහා දැරූ ප්‍රයත්නයන් ද ප්‍රති-විප්ලවවාදී කවවල ඉලක්කයක් බවට පත් විය. පසුව ඇති වුනු සිවිල් යුද්ධයේ දී බොල්ශෙවිකයන්ට එරෙහි ධවලයන්ගේ අරගලය තුල යුදෙව්-විරෝධී ප්‍රචන්ඩත්වය මූලික භූමිකාවක් ඉටු කලේ ය.
ඊට පෙර ද 1917 අසාර්ථක වූ ජූලි නැගිටීමෙන් ඉක්බිත්තේ විප්ලව-විරෝධී කන්ඩායම් විසින් පතුරවන ලද “බොල්ශෙවිකයන් සඳහා ජර්මන් මුදල්” යන කටකතාව රුසියාවට විරුද්ධ යුදෙව් කුමන්ත්‍රනයක් ගැන අඟවමින් නිරන්තර යුදෙව් -විරෝධී තානයක් දරා සිටියේ ය. චෝදනා එල්ලවූ රහස්‍ය මුදල් සැපයීම් පිලිබඳ “අනාවරනය,” නිරන්තරයෙන්ම යුදෙව් විප්ලවවාදීන්ගේ ආරූඪ නාමයන් “හෙලිදරවු කිරීම” සමඟ සම්බන්ධ කරන ලදී.
1917න් පසුව “යුදෙව් බොල්ශෙවිකයන්” පිලිබඳ සතුරු ඡායාරූපය ප්‍රති-විප්ලවවාදී ප්‍රචාරනයට කේන්ද්‍රය ලෙස ඉස්මතු විය. සෑම රුසියානු නමකට ම පිටුපසින් යුදෙව් විප්ලවවාදියෙකු ගැන යමෙක්ට සමපේක්ෂනය කල හැකි වුනු තතු යටතේ “විප්ලවවාදීන්ගේ ආරූඪ නාම මගින්” ප්‍රති-විප්ලවවාදීන් “ආහ්ලාදයට” පත් වී යයි හර්බෙක් විස්තර කරයි. “යුදෙව් කපටිකම, දෙපිටකාට්ටු කම හෝ සත්‍යයට ඇති කෘතිම සම්බන්ධය පිලිබඳ සකලාකාර යුදෙව්-විරෝධී අගතීන් රුසියානු ආරූඪ නාමයන් මගින් සනාථ කරනු ලැබිය හැකි” යයි ඔහු සඳහන් කරයි (1). ඒ අනුව, යුදෙව්වන් සමගින් චීනුන්, ලැට්වියානුවන් හා ඇමරිකානුවන් වගකිව යුතු “විදේශීය” බලවේගයන්ගේ කාර්යයක් ලෙස විප්ලවය නිරූපනය කරනු ලැබිය හැකි විය.
උදාහරනයක් ලෙස සාර්වාදී ජෙනරාල් යුදෙනිච්ගේ හමුදාව තුල බෙදා හරින ලද පත්‍රිකාවක මෙසේ සඳහන් විය: “රුසියාවේ කටයුතුවල නායකත්වය දරන්නේ හා ඒවාට මග පෙන්වන්නේ කවුද? ඒ ගැන කීම අසීරු මෙන්ම ලජ්ජාවට ද කරුනකි. ට්‍රොට්ස්කි මහතා (යථාර්ථයේ දී ලෙව් දවිදවිච් බ්‍රොන්ස්ටයින්), සිනොවීව් මහතා (යථාර්ථයේ දී ස්රුල් මොර්ඩුචේවිච් අප්ෆල්බෝම්), ස්ටෙක්ලොව් මහතා (යථාර්ථයේ දී මොස්කා මර්කොවිච් නකම්කිස්) හා ඒ වර්ගයේ සියල්ලන් ය [...] ලේ පිපාසිත යුදෙව් පාලකයෝ, එනම් බ්‍රොන්ස්ටයින්වරු හා අප්ෆල්බෝම්වරු දීර්ඝ-කාලයක් විඳවන රුසියානු ජනයා වන ඔබට ලබා දෙන්නේ සාමය, සාමකාමී ජීවිතය හා ලාබ බඩු නො වේ [...]” (2).
ආරම්භයේ පටන් ම යුදෙව්-විරෝධය නාභිගත වූයේ ලෙනින් සමග විප්ලවයේ වඩාත් ම වැදගත් නායකයා වූ ද ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය සමඟ අන් කවරෙකුටත් වඩා අනන්‍ය ව සිටි ලියොන් ට්‍රොට්ස්කි මත ය. “ආක්‍රමනිකයෝ සෑම සංහාරයක දී ම ‘මෙය ඔබට සිදුවන්නේ ට්‍රොට්ස්කි නිසා” යයි පුනරුච්චාරනය කලහ. ට්‍රොට්ස්කි පිලිබඳ සඳහනකින් තොරව යුදෙව්-විරෝධී ප්‍රකාශනයක් නො වූ තරම් ය (3).
බටහිර යුරෝපයේ හා එක්සත් ජනපදයේ ප්‍රති-විප්ලවවාදී ප්‍රචාරනය තුල ද මෙම ප්‍රති-කොමියුනිස්ට්වාදී යුදෙව්-විරෝධය මූලික භූමිකාවක් ඉටු කලේ ය. ධවලයෝ යුදෙව්වන් තොග පිටින් මරා දමද්දී පවා සිවිල් යුද්ධය පුරාවට අධිරාජ්‍යවාදී බලවත්තු බොල්ශෙවිකයන්ට විරුද්ධව ධවල හමුදාවන් සන්නද්ධ කලහ.
1918 හා 1920 අතර යුදෙව්-විරෝධී සංහාරයන්ගේ වඩාත් ම වැදගත් අඩවිය වූයේ හොලෝකෝස්ටයට පෙර “දරුනුතම නූතන කාලීන යුදෙව් මහා ඝාතනය” සිදු වූ යුක්‍රේනය යි (4). මිලියන 2.5ක මුලු රුසියානු යුදෙව් ජනගහනයෙන් විශාල කොටසක් වන මිලියන 1.5ක් පලමු ලෝක යුද්ධයෙන් පසුව වාසය කලේ යුක්‍රේනයේ ය (විශාල යුදෙව් ජනගහනයන් සහිත බෙලරුසියාව, පෝලන්තය හා ගැලීෂියාව ඒ සමයේ රුසියාවට සම්බන්ධව තිබුනේ නැත).
යුක්‍රේනය ග්‍රාමීය ජනයා අතර යුදෙව්-විරෝධී අගතීන් ශතවර්ෂ ගනනාවක් පුරා පුලුල් ව පැතිර පැවතුනි. යුදෙව්වන්ගේ සමාජ තත්ත්වය නිසා ගොවීන් යුදෙව්වන් දැක ගත්තේ තමන් සූරාකන මං පහරන්නන් ලෙස ය. ඊට අමතරව යුක්‍රේන ජාතිකයන්ගෙන් සැදුම්ලත් ග්‍රාමීය ජනගහනයට වෙනස් ආකාරයට නාගරික ජනගහනය, රුසියානු, ජර්මානු හා යුදෙව්වන්ගෙන් සමන්විත විය. ඒ අනුව ග්‍රාමීය යුදෙව්-විරෝධය නගරය හා ගම අතර පරස්පරය ද පිලිබිඹු කලේ ය.
යුක්‍රේන ජාතිකවාදීන් මෙන් ම ධවලයන් ද “යුදෙව්” බොල්ශෙවිකයන්ට විරුද්ධව ගොවීන් බලමුලුගැන්වීමට පදනම් කර ගත්තේ ග්‍රාමීය ප්‍රදේශවල යුදෙව්වන් කෙරෙහි පැවති මෙම විරෝධය යයි.
තරුන සෝවියට් ආන්ඩුවට යුක්‍රේනය, පෝලන්තය හා බෝල්ටික් රාජ්‍යයන් අධිරාජ්‍යවාදී බලයන්ට පවරා දීමට සිදු වූ 1918 මාර්තුවේ බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් සාම ගිවිසුම මධ්‍යයේ ජර්මානුවෝ, අප්‍රේල් මාසයේ දී හිටපු සාර්වාදී ජෙනරාල් පාව්ලෝ ස්කොරොපැඩ්ස්කි මිලිටරි කුමන්ත්‍රනයක් මගින් යුක්‍රේනය තුල බලයට ගෙන ආහ. ඔහු බොල්ශෙවිකයන්ගේ ආධාරකරුවන් කුරිරු ලෙස ලුහුබැන්දේය.
“ඔහුගේ ආන්ඩුව යටතේ කීයෙව් නගරය දක්ෂිනාංශික රැඩිකලුන්, යුදෙව්-විරෝධී දේශපාලනඥයන් හා රුසියාවේ සෑම පෙදෙසකින් ම පැමිනි හමුදා සාමාජිකයින්ගේ තිප්පොලක් වී” යයි හර්බෙක් සඳහන් කරයි (5). දක්ෂිනාංශි රාජාන්ඩුවාදීන්ට ජර්මානු මිලිටරියේ හා ආන්ඩුවේ මූල්‍ය හා දේශපාලන ආධාර මත විශ්වාසය තැබිය හැකි විය.
ජර්මනිය විසින් අටවන ලද ආන්ඩුව පෙරලා දැමීමෙන් පසු එහි සාමාජිකයෝ බොහෝ දෙනා ජර්මනියට පිටුවහල් වූහ. ස්කොරොපැඩ්ස්කි ඇතුලු ඔවුන්ගෙන් කිහිප දෙනෙක් දශක දෙකකට පසුව සෝවියට් සංගමයට හා නැගෙනහිර යුරෝපයේ යුදෙව්වන්ට එරෙහි නාසි සමූලඝාතක යුද්ධයට සහභාගි වූහ.
ස්කොරොපැඩ්ස්කි යටතේ යම් කාලයකට සංහාර අඩු වී යයි හර්බෙක් ලියයි. ඊට ප්‍රධාන හේතුව වූයේ ජනගහනය තුල ප්‍රචන්ඩ ගැටුමක් පුපුරා යාම ක්ෂනිකව තමන්ට එරෙහිව ද යොමුවිය හැකි යයි ජර්මන් ආක්‍රමනික හමුදාවන්ට පැවති භීතිය යි. ඒ අතර ම ආක්‍රමනික හමුදා හා ඔවුන්ගේ රූකඩ ආන්ඩුව තම පාලනය යටතේ පැවති ප්‍රදේශ තුල යුදෙව්-විරෝධය උද්යෝගිමත්ව දිරිමත් කලහ (6).
යුක්‍රේන ජාතිකවාදීන් විසින් ස්කොරොපැඩ්ස්කි බලයෙන් පහ කරනු ලැබ, 1918 ජර්මනිය තුල නොවැම්බර් විප්ලවය පුපුරා යාමෙන් පසුව, ජර්මානු හමුදා බල ඇනි පසුබා ගිය පසු, යුක්‍රේනය මහජන සමූහාන්ඩුවේ ඊනියා අධ්‍යක්ෂ මන්ඩලයක් බලය සියතට ගත්තේ ය. 1919 දී අධ්‍යක්ෂ මන්ඩලයේ ජාතිකවාදීහු, ජෙනරාල් ඩෙනිකින්ගේ ස්වේච්ඡා හමුදාව (7) හා රතු හමුදාව යුක්‍රේනයේ පාලනය අරබයා සටන් වැදුනාහ.
අධ්‍යක්ෂ මන්ඩලයේ ආනුභාවය යටතේ පැවති ප්‍රදේශයේ යුක්‍රේනය ජාතිකවාදීහු සංහාර ගනනාවක් සිදු කලහ. උදාහරනයක් ලෙස 1919 පෙබරවාරි 15දා ප්රොස්කුරොව්හි දී අවම වසයෙන් යුදෙව්වන් 1,200ක් මරා දැමුනි. අාසන්නයේ පිහිටි නගරවල තවත් 560ක් ඝාතනය කෙරුනි. සංහාර සඳහා ව්‍යාජ නිමිත්ත වූයේ යුක්‍රේන ජාතිකවාදීන් විසින් යුදෙව්වන් මත වරද පැටවූ සෝවියට්-හිතවාදී නැගිටීම් ය.
යුක්‍රේන ජාතික හමුදාවේ ප්‍රධානියා හා අධ්‍යක්ෂ මන්ඩලයේ සාමාජිකයෙක් වූ සයිමන් පෙට්ලියුරා (8) 1920 අප්‍රේල් මාසයේ පෝලන්තය සමග පෙල ගැසීමෙන් පසුව ද සංහාරයන් දිගට ම පැවතුනි.
වඩාත්ම කුරිරු යුදෙව්-විරෝධී සංහාර “සමූලඝාතන පරිමානයෙන්” සිදු කරන ලද්දේ 1919 ගිම්හානය හා 1920 ආරම්භය අතර කාලයේ ජෙනරාල් ඩෙනිකින්ගේ ස්වේච්ඡා හමුදාව විසින් ය. 1918 දී රතු හමුදාව විසින් ඩෙනිකින්ගේ හමුදාව මොස්කෝව බලා ඉදිරියට ඒම නතර කිරීමෙන් පසු දකුනු ප්‍රදේශය බලා පසු බැසීමට ඔවුන්ට බල කෙරුනු අතර එහි දී ඔවුහු එක්තරා කාලයකට කීයෙව් හා කාකොව් යන වැදගත් යුක්‍රේන නගර පාලනය කලහ.
යුක්‍රේනය සිසාරා සිදුවූ ඔවුන්ගේ ඉදිරි ගමනේ දී හමුදාව සිවිල් වැසියන් ට එරෙහි මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂන හා සංහාර සිදු කලේ ය. වඩාත් ම දරුනු තත්ත්වයන්ට මුහුන දුන්නේ යුදෙව් ජනයා ය. මිලිටරි මෙහෙයුම් ආකාරයට සැලසුම් කොට සිදු කරන ලද යුදෙව්-විරෝධී සංහාරවල දී “සමූහ දූෂන, පරපීඩාකාමී වධබන්ධන හා කිසිදු හේතුවක් නොමැති ඝාතන” සිදු කරන ලදී (9). ධවලයෝ තමන් අල්ලා ගත් අය එල්ලීම, ඔවුන්ට වෙඩි තැබීම හෝ පිහියෙන් ඇනීම සිදු කලහ. බොහෝ දෙනා පනපිටින් වැලලූ අතර අනෙකුන්ට මැරෙන තුරු වධ හිංසා කරන ලදී. තවත් දහස් ගනනක් බඩගින්න, රෝගාබාධ හෝ සීතල නිසා මැරුනි. 1919 ගිම්හානයේ සිට 1920 ආරම්භය දක්වා වන මාස හයේ පමනක් ධවලයන් විසින්, යුදෙව්වන් 50,000ක් පමන ඝාතනය කරන ලද බවට ඇස්තමේන්තු ගත කර ඇත.
රුසියාවේ අනෙක් කොටස්වල ද ලේවැකි සංහාර සිදු විය. “කුරිරු බැරන්” යනුවෙන් ද හැඳින්වෙන බැරන් රෝමන් වොන් උන්ගර්න් ස්ටර්න්බර්ග්ගේ පාලනය යටතේ පැවති හමුදාව, 1921 පසුබසින කාලය තුල වර්තමාන මොන්ගෝලියාවේ කොටසක් වන උලාන් බතුර්හි මුලු යුදෙව් ජනගහනය ම මරා දැමීය.
1920 සිට බොහෝ ගොවීන් ද සම්බන්ධවී සිදු කල සංහාර කිහිපයක් බෙලරුස්හි සිදු විය. සංහාරයන්ගෙන් බේරීම පිනිස යුදෙව්වන් දහස් ගනනක් ගම්වල සිට නගරවලට පලා ආහ. එහෙත් නගරවල සැපයුම් කටයුතු කොතරම් නරක තත්වයේ වී ද යත් එක්කෝ ඔවුන්ට බඩගින්නේ සිටීමට හෝ නැතහොත් ආපසු ගමට යාමට බල කෙරුනි. 1988 ඇස්තමේන්තුවලට අනුව බෙලරුස් සංහාරවල දී යුදෙව්වන් 30,000ක් පමන මරා දැමුනි.
අධිරාජ්‍යවාදී බලවතුන් මෙන් ම රුසියානු ලිබරල්ලු, දක්ෂිනාංශික සමාජ විප්ලවවාදියෝ හා මෙන්ෂෙවික කොටස් ද මෙම රුධිර ස්නානයට නිහඬතාවෙන් යුතුව සහයෝගය දුන්හ. සාර්වාදී පාලන කාලයේ මෙන් ම දුෂ්ට යුදෙව්-විරෝධී ප්‍රචාරනය පැතිරවීමේ දී පල්ලිය වැදගත් භූමිකාවක් ඉටු කලේ ය.
සංහාරවලට ගොදුරුවූවන් පිලිබඳ නිරවද්‍ය ගනන් හිලවු ලබාගැනීම සැබවින්ම දුෂ්කර ය. සංහාරයන් කොතෙක් පරිපූර්න ද යත් පවුල් පිටින් ඝාතනය කරන ලද්දේ යුදෙව් ජනාවාස ප්‍රායෝගිකව සිතියමෙන් මකා දමමිනි. සාමාන්‍යයෙන් ගොදුරු වූවන් ගනන 200,000ක් යයි තක්සේරු කරනු ලැබේ. රුසියානු ඉතිහාසඥ බුඩ්නිට්ස්කිට අනුව තවත් යුදෙව්වන් 200,000ක් සංහාරවල දී තුවාල ලදහ. ගැහැනුන් දහස් ගනනක් දූෂනය කරනු ලැබිනි (10). යමෙක් මරුමුවට පත්වූවන්, තුවාල ලැබූවන්, දූෂනයට ලක්වුනු කාන්තාවන් හා අනාථ වූ දරුවන් ඇතුලු සංහාරයට ගොදුරු වූ අය ගනන් ගන්නේ නම් සංඛ්‍යාව මිලියනකට ආසන්න වේ (11).
මෙම යුදෙව් සංහාරය අවසන් වුනේ, 1922 දී සිවිල් යුද්ධයෙන් බොල්ශෙවිකයන් ලද ජයග්‍රහනයෙන් පසුව පමනි.
මතු සම්බන්ධයි
සටහන්
1. උල්ර්ච් හර්බෙක්:Das Feindbild vom „jüdischen Bolschewiken “: Zur Geschichte des russischen Antisemitismus vor und während der Russischen Revolution,“යුදෙව් බොල්ශෙවිකයන්ගේ” අමාරුකාරයා: රුසියානු විප්ලව සමය හා ඉන් පසුව රුසියානු යුදෙව්-විරෝධයේ ඉතිහාසය ගැන, බර්ලින්, 2009, 196 පිටුව
2. එම, 309 පිටුව
3. එම, 180 පිටුව
4. පීටර් කෙනෙස්: Civil War in South Russia 1919-1920, දකුනු රුසියාවේ සිවිල් යුද්ධය 1919-1920, බර්ක්ලි, 1977, 166 පිටුව
5. හර්බෙක්, 2009, 234 පිටුව
6. එම, 269 පිටුව
7. සාර්වාදී ජෙනරාල්වරයෙක් වූ ඇන්ටන් ඉවානොවිච් ඩෙනිකින් (1872-1947), 1917 අගෝස්තුවේ දී කෙරෙන්ස්කිගේ තාවකාලික ආන්ඩුවට එරෙහිව සිදු කල අසාර්ථක කුමන්ත්‍රනයේ දී කොර්නිලොව්ගේ සම සැලසුම්කරුවා විය. ඒ ආසන්න කාලයේදීම මියගිය කොර්නිලොව් හා අනෙකුත් සාර්වාදී ජෙනරාල්වරු සමගින් ඔක්තෝබර් විප්ලවයෙන් පසුව ඔහු ප්‍රති-විප්ලවවාදී ස්වේච්ඡා හමුදාව ආරම්භ කලේ ය. රැන්ගල් විසින් පලවා හරින තෙක් ඔහු, 1918 අප්‍රේල් සිට 1920 දක්වා, ස්වේච්ඡා හමුදාවේ අනදෙන නිලධාරියා විය. 1919 ගිම්හානයේ දී ඔහු මොස්කෝවට එරෙහිව අසාර්ථක ධවල ප්‍රහාරයකට නායකත්වය දුන් අතර ස්වේච්ඡා හමුදාවට දකුනට හා යුක්‍රේනයට පසුබැසීමට බල කෙරුනි. ස්වේච්ඡා හමුදාව යටතේ පැවති ප්‍රදේශ සිවිල් වැසියන්ට එරෙහි ධවලයන්ගේ දරුනු ත්‍රස්ත ක්‍රියාවන්ට සාක්ෂි දැරීය. අවසානයේ 1920 මුල් කාලයේ රතු හමුදාව විසින් ස්වේච්ඡා හමුදාව පරාජය කරනු ලැබීය.
8. සයිමන් වැසිලියෝවිච් පෙට්ලියුරා (1879-1926) යනු, 1918-1920 සමයේ පෙට්‍රොග්‍රෑඩ්හි සෝවියට් ආන්ඩුවෙන් යුක්‍රේනයට ජාතික නිදහස ලබාගැනීම සඳහා ගෙන ගිය අරගලයට නායකත්වය දුන් හා ධවල හමුදාවට එරෙහිව අරගල කල යුක්‍රේන ජාතිකවාදියෙකි. 1920 දී සෝවියට් රුසියාවට එරෙහි මිලිටරි සන්ධානයක් සඳහා හෙතෙම පිල්සුඩ්ස්කිගේ පෝලන්තය සමග ගිවිසුමකට එලැඹුනි. නොවැම්බරයේ පසු භාගයේ රතු හමුදාව පෙට්ලියුරාගේ යුක්‍රේන මිලිටරිය පරාජය කලේ ය.
9. හර්බෙක්, 2009, 303 පිටුව
10. ඔලෙග් බුඩ්නිට්ස්කි: Russian Jews Between the Reds and the Whites, 1917-1920, රක්තයන් හා ධවලයන් අතර රුසියානු යුදෙව්වෝ, 1917-1920; ප්‍රින්ස්ටන්, නිව් ජර්සි, 2012, 216 – 217 පිටු
11. පීටර් කෙනෙස්: Civil War in South Russia 1919-1920, දකුනු රුසියාවේ සිවිල් යුද්ධය 1919-1920, බර්ක්ලි, 1977, 170 පිටුව
Follow us on