ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), පිහිටුවනු ලැබීමේ 50වැනි සංවත්සරය
සුලු ධනේශ්වර රැඩිකල්වාදයට එරෙහි විකොස / සසප දේශපාලන අරගලය

The RCL/SEP’s political struggle against petty-bourgeois radicalism

කපිල ප්‍රනාන්දු විසිනි , 2018 සැප්තැම්බර් 28

මෙම ලිපිය, 1968 ජූනියේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භ කිරීමෙහි 50 වන සංවත්සරය සැමරීම සඳහා පල කෙරෙන ලිපි මාලාවක තුන් වැන්නයි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) නමින් පිහිටුවනු ලැබූ එය 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලෙස යලි නම් කෙරින. 1968 ජූනි 16-17 දිනවල පැවැත්වූ විකොස ආරම්භක සම්මේලනය සමරමින් ප්‍රකාශයක් දැනටමත් නිකුත් කෙරී ඇත.

මෙම ලිපිවල අරමුන වන්නේ විකොස පිහිටුවා ගැනුනු මූලධර්මාත්මක පදනම් විස්තාරනය කිරීම හා එකී මූලධර්ම වෙනුවෙන් පසුගිය පනස් වසර තුල සිදු කල අරගලයේ සාරාත්මක දේශපාලන පාඩම් උකහා ගැනීමයි. විකොස පිහිටුවා ගනු ලැබූයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස තමන් හඳුන්වා ගත් ලසසපය 1964 දී සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ධනපති ආන්ඩුවට ඇතුලු වීම මඟින් පාවා දෙනු ලැබ තුබූ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙල හා ඉදිරි දර්ශනය මතය.

සසපයේ කටයුතු අතර ප්‍රමුඛත්වය ගනු ලැබූයේ, ධනේශ්වර වර්ධනය කල් පමා වූ රටවල කම්කරුවන්ගේ හා ග්‍රාමීය වැඩකරන ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රීය හා සමාජයීය අයිතිවාසිකම් සඳහා අරගලයට නායකත්වය සැපයිය හැක්කේ කම්කරු පන්තියට පමනක් බවත්, ඒ, සමාජවාදය සඳහා ඔවුන් ජාත්‍යන්තර පරිමානව ගෙන යන අරගලයේ කොටසක් ලෙස බවත් තහවුරු කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය වෙනුවෙන් සටන් වැදීමයි. මෙම පාඩම් ශ්‍රී ලංකාව තුල පමනක් නොව ආසියාව පුරාම හා ජාත්‍යන්තර පරිමානව ද කම්කරු පන්තියේ මතුවෙමින් පවත්නා අරගල සඳහා තීරනාත්මකය.

සුලු ධනේශ්වර රැඩිකල්වාදයට එරෙහි න්‍යායික හා දේශපාලනික අරගලය විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ / සමාජවාදී සමානතා පක්ෂයේ (විකොස/සසප) වසර 50 ක ඉතිහාසයේ ප්‍රමුඛ ලක්ෂනයක් වූ අතර, විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමේ නියුක්ත කම්කරුවන් හා තරුනයන් සඳහා තීරනාත්මක පාඩම් රැසක් එහි අඩංගු වේ.

විකොස 1968 දී පිහිටුවා ගනු ලැබුවේ, 1964 දී බන්ඩාරනායක මැතිනියගේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආන්ඩුවට එක් වූ ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) මහා පාවාදීමට එරෙහිව සටන් වැදීම සඳහා ය. නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය අතහැර දැමීම හා ශ්‍රීලනිපයේ සිංහල අධිපතිවාදය වැලඳගැනීම මඟින් ලසසපය ශ්‍රී ලංකාවේ වර්ගවාදී දේශපාලනයේ නිර්බාධිත වර්ධනය සඳහා දොර විවර කලේය.

එහි ප්‍රතිඵලය ලෙස ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය ගසාකමින් රැඩිකලීකෘත තරුනයන් අතර තමන්ට ඇහුම්කන් දෙන්නන් ඇති කර ගැනීම සඳහා විවිධ සුලු ධනපති ජාතිකවාදී කන්ඩායම් මතුව ආහ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ගොඩ නංවන ලද්දේ ලසසපයේ පාවාදීමෙන් යන්තම් වසරක ඇවෑමෙන් 1965 දී ය. මෙම කන්ඩායම් හැමෙකක්ම වාගේ ජවිපෙ ද තමන්ව පදනම් කලේ “සන්නද්ධ අරගලය” උත්කර්ෂයට නැංවීම හා එකල ලොව පුරා පැතිර පැවැති විලාසිතාකාරී න්‍යායයන් වූ මාඕවාදයේ, කස්ත්‍රෝවාදයේ හා චේ ගුවේරාවාදයේ සාරසංග්‍රාහක මිශ්‍රනයක් මතය. මේ සියල්ලෝම, මාක්ස්වාදයට පටහැනිව යමින්, කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප්‍රතික්ෂේප කලෝය.

ලසසපයේ පාවාදීමෙන් පසු ලසසප(වි)ය ඉන් බිඳී ගිය නමුදු, ඊට ඉහත දශකයේ ලසසපයේ දේශපාලනික පරිහානියට මඟ පෑදූ එක්සත් ලේකම් මන්ඩලය (එලේම) තුලින් මූර්තිමත් වූ පැබ්ලෝවාදී අවස්ථාවාදයෙන් එය බිඳී වෙන් වූයේ නැත. එක්සත් ලේකම් මන්ඩලය, විශේෂයෙන්ම ලතින් ඇමරිකාව තුල ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දුන් ගරිල්ලාවාදය ද ඇතුලු සියලු ආකාරයන්හි සුලු ධනේශ්වර රැඩිකල්වාදය ප්‍රවර්ධනය කිරීමෙහි ලා උපකාරීව ක්‍රියා කලේය.

බන්ඩාරනායක ආන්ඩුව 1965 දී ඇද වැටීමෙන් පසුව ද ලසසපය ශ්‍රීලනිපය සමඟ වූ සිය සමගි සන්ධානය පවත්වා ගෙන ගිය අතර ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) ද ඇතුලත් කර ගැනීම කරා එය දීර්ඝ කෙරින. එක්සත් ජාතික පක්ෂ (යූඇන්පී) ආන්ඩුව කෙරේ කම්කරු පන්තිය හා ග්‍රාමීය දුගීන් අතර වර්ධනය වෙමින් පැවැති කලකිරීම හා විරෝධය, අධිරාජ්‍ය විරෝධී ගෝසා කිරීම් හා හිස් පොරොන්දුවල සංයෝජනයක් මඟින් ගසා කෑම මඟින් ශ්‍රීලනිප-ලසසප-කොප හවුල 1970 මැතිවරනයේ දී විශාල බහුතරයක් සහිතව පෙරලා බලයට පත්වූයේය.

මැතිවරනයේදී අලුතින් පිහිටුවා ගනු ලැබූ විකොස උපායාත්මක වරදක් සිදුකලේය. ලසසපයේ හා කොපයේ ද්‍රෝහිත්වය හෙලා දකිමින් සභාගයේ ප්‍රතිගාමී අරමුනු පිලිබඳව අනතුරු හඟවන අතරම, එය ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාගයට විවේචනාත්මක ඡන්දයක් ලබා දෙන ලෙස කැඳවුම් කලේය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාකයේ) බි්‍රතාන්‍ය ශාඛාව වූ සෝෂලිස්ට් ලේබර් ලීගයේ (එස්එල්එල්) නායකයෙකුව සිටි මයිකල් බන්ඩා විකොසට එවූ ලිපියකින් පැහැදිලි කල පරිදි එය, “ප්‍රතිසංස්කරනවාදීන්ට හා රැඩිකල් ධනපතීන්ට අයුතු සහනයක් ලබා දීමේ පිලිවෙතක් විය.”

ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් ආන්ඩුවට කිසිදු සහයක් නොදක්වන ලෙසත්, සභාගයෙන් බිඳී සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා සටන් වදින මෙන් ලසසපයට හා කොපයට බල කිරීමේ උපායාත්මක ඉල්ලීම වටා කම්කරුවන් බලමුලු ගන්වා ගැනීමට සටන් වදින ලෙසත් බන්ඩා විකොසට උපදෙස් දුන්නේය. මෙකී උපායේ අරමුන වූයේ ලසසපයේ හා කොපයේ අවස්ථාවාදී උපාමාරු හා පිලිවෙත් පිලිබඳ මිත්‍යාවන් පෝෂනය කිරීම නොව, ඔවුන් හෙලිදරව් කිරීම මඟින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය වර්ධනය කිරීමයි.

විල්ෆ්‍රඞ් “ස්පයික්” පෙරෙයිරා, කීර්ති බාලසූරිය හා මයික් බන්ඩා

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් හි පැහැදිලි කෙරෙන පරිදි: “කීර්ති බාලසූරිය හා විකොස විසින් දක්වන ලද ප්‍රතිචාරය, මාක්ස්වාදී පක්ෂයක් සප්‍රතිපත්තික නිවැරදි කිරීමක් සිදු කරන්නේ කෙසේද යන්න පිලිබඳ සම්භාව්‍ය උදාහරනයක් සම්පාදනය කරයි. පක්ෂ නායකත්වය පලමුවෙන්ම බන්ඩාගේ ලිපිය හා දෝෂයේ දේශපාලන ගම්‍යමානයන් පිලිබඳ නිරවශේෂයෙන් සාකච්ඡා කෙරෙන පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කලේය.” ඉනික්බිති එය, ප්‍රකාශනයක් මඟින් එකී දෝෂය ප්‍රසිද්ධියේ නිවැරදි කලේ; “සමසමාජවාදී හා ස්ටැලින්වාදී නායකයන්ට සභාග ආන්ඩුවෙන් බිඳී ඉවත්වීමට බලකිරීම කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහා සටන අත්පත් කරගන්නා ආකෘතියයැ”යි ප්‍රකාශ කර සිටිමිනි.

ඒ අතරම, මෙකී වරද සුලු ධනපති රැඩිකල්වාදය විසින් පක්ෂය මත ඇති කරනු ලබන මහත් පීඩනය විසින් නිර්මිත එකකැයි විකොස ප්‍රධාන ලේකම් බාලසූරිය වටහා ගත්තේය. “විකොස මත බලපැවැත්වූ එකී සතුරු පන්ති පීඩනයන් වෙනත් තතු යටතේ තවත් ආකෘතීන්ගෙන් මතු වී ආ හැකි හෙයින්, මෙම දෝෂයේ මූලයන්” ග්‍රහනය කර ගැනීම අත්‍යවශ්‍යයැයි පක්ෂ නිවේදනය අවධාරනය කලේය.

එම නිගමනය කරා එලැඹි බාලසූරිය, මාඕ කස්ත්‍රෝ හා හෝ චි මින්ට තැරව්කාරකම් කිරීමේ “මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ සංක්ෂේපයව (සංකේතාත්මක මූර්තිය)” පැවැති ජවිපෙය දේශපාලනිකව හා න්‍යායිකව හෙලිදරව් කිරීමට තීරනය කලේය. ඔහු විකොස සිංහල පුවත්පත වූ ‘කම්කරු පුවත්‘හි ‘ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය‘ යන මැයෙන් යුත් ලිපි පෙලක් පල කල අතර එය පසුව පොතක් ලෙස ප්‍රකාශයට පත් කෙරින.

ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය

එම පොතේ සංඥාපනය තුල, ජවිපෙ හෙලිදරව් කිරීමේ අරමුන වනුයේ, “විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමේ අරටුවෙහිම පවතින” මාක්ස්වාදී න්‍යාය, ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම බැව් බාලසූරිය සටහන් කලේය. විකොස පිහිටුවා ලනු ලැබුයේ, විශේෂයෙන්ම කස්ත්‍රෝ හා කියුබානු විප්ලවය උත්කර්ෂයට නංවනු ලැබීමට එරෙහිව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අරගලයන්හි පදනම මතය. ආර්ථික වශයෙන් පසුගාමී රටවල දී මාක්ස්වාදී පක්ෂයකින් හා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගන්වා ගැනීමෙන් තොරව කම්කරු රාජ්‍යය පිහිටුවිය හැකියැයි පැබ්ලෝවාදීහු සාවද්‍ය නිගමනවලට එලැඹ සිටියෝය.

සිය පොත තුල බාලසූරිය මෙසේ පැහැදිලි කරයි: “කස්ත්‍රෝ, ගුවාරා හා මාඕ මෙන්ම ජවිපෙ ද කම්කරු පන්තියට ඓන්ද්‍රීය ලෙස සතුරු වන අතර, ප්‍රතිගාමී ජාතිකවාදය තුල මුල් බැස ඇත. ජවිපෙහි විකෘත පාරිභාෂිකය තුල ‘නිර්ධන පන්තිය‘ ලෙස හඳුන්වනු ලබන්නේ ගොවි ජනයාගේ පීඩිත ස්ථරයන්ය. කම්කරුවන්ගේ ආර්ථික සටන් අධිරාජ්‍යවාදයට එරෙහි ‘දේශප්‍රේමී’ අරගල කෙරෙන් ඉවතට යොමු කෙරෙන ‘කැඳ කෝප්ප අරගල’ ලෙස බාල්දු කිරීමට එම සංවිධානය කටයුතු කලේය. කස්ත්‍රෝගේ ආදර්ශයෙහි පිහිටමින් ජවිපෙ නිවේදනය කලේ ‘දේශප්‍රේමින් කන්ඩායමක් විසින් කරලියට ගෙන එනු ලබන නැඟිටීමකින් පාලක පන්තියේ බලයට වල කැපිය හැකි බවයි.’ ”

ජවිපෙහි “දේශප්‍රේමය” යනු, වාර්ගික පදනම මත “කම්කරු පන්තිය බෙදීම සඳහා” සහ එමඟින් “එය ධනපති පන්තියට යටත් කොට තැබීම” සඳහා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් යොදා ගනු ලැබූ “සිංහල දේශප්‍රේමය”ම විනා අනෙකක් නොවන බව බාලසූරිය පැහැදිලි කලේය. ඊනියා ජාතික ධනපති පන්තියේ ප්‍රගතිශීලී ස්වභාවය පිලිබඳ අනතුරුදායක මිත්‍යාවන් පෝෂනය කිරීමට ජවිපෙ ක්‍රියා කලේය. ශ්‍රීලනිප-ලසසප-කොප සභාගය 1970 මැතිවරනය ජය ගත් විට මුල් කාලයේ එය “ප්‍රගතිශීලී ආන්ඩුවක්” ලෙස හඳුන්වා දෙමින් ජවිපෙ ඊට සහාය දැක්වීය.

ජවිපෙ ආස්ථානයන් හෙලිදරව් කිරීමේදී විකොස එහි විශ්ලේෂනය පදනම් කලේ, පසුගාමී රටවල ජාතික ධනේශ්වරය නොවිසඳුනු ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සම්පූර්න කිරීමෙහි හෝ සමාජ ගැටලුවලට ආමන්ත්‍රනය කිරීමෙහි ලා ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටුකිරීමට අසමත් බව අවධාරනය කරන ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මතය. මෙකී නොවිසඳුනු ගැටලු විසඳාලිය හැක්කේ ග්‍රාමීය දුගීන් හා පීඩිතයන් තම නායකත්වය යටතේ ගොනු කර ගනිමින් ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවා ගන්නා කම්කරු පන්තියට පමනි. 1917 රුසියාවේ ජයග්‍රාහි සමාජවාදී විප්ලවයේ පාඩම වූයේ එයයි.

කීර්ති බාලසූරිය රැස්වීමක් අමතමින්)

ජවිපෙහි අධිරාජ්‍ය-විරෝධී ඝෝෂාවට ඇතුලත් වූයේ “ඉන්දියානු ව්‍යාප්තවාදය” හා සිංහල කම්කරුවන්ගේ සතුරන් ලෙස ඔවුන් විසින් හංවඩු ගසන ලද දෙමල කතා කරන “වරප්‍රසාදිත” වතු කම්කරුවන් හෙලාදැකීමත් ය. රටේ වතු කම්කරුවන්ට එරෙහිව මතු කෙරුනු, විෂකුරු කම්කරු පන්ති විරෝධී හා වර්ගවාදී වූ මෙම අපවාද, ශ්‍රීලනිපය හා එහි අනුචරයන්ගේ සිංහල ජනතාවාදය යොදා ගන්නා එකී තීරනාත්මක භේදකාරී අරමුන වෙනුවෙන්ම සේවය කලේය.

බාලසූරිය මෙසේ අනතුරු හැඟවීය: “වතු කම්කරුවන්ගේ ජීවන කොන්දේසි වනසාලීමට තමන්ගේම පන්ති උත්සුකයන්ගෙන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය හා ලංකාවේ ධනපති පන්තිය මෙහෙයවී ගත් කාල පරිච්ඡේදයක, එම කම්කරුවන් කෙරේම එල්ල වන සුලු ධනපති සතුරුකම් ඒකාධිකාරී ධනපති ක්‍රමය අතෙහි ඇති ආයුධයක් බවට පත් වෙයි. ෆැසිස්ට්වාදය කරා මඟ පාදන්නේ මෙම වර්ගවාදයයි. ජවිපෙ ලංකාව තුල නිර්මානය කරමින් සිටින්නේ අනාගතයේ දී ෆැසිස්ට් ව්‍යාාපාරයක් මඟින් උපයෝජනය කරනු ලැබීමට හොඳටම ඉඩ ඇති කම්කරු පන්ති විරෝධී ව්‍යාපාරයකි.”

දෙවැනි සභාග ආන්ඩුව, “ප්‍රගතිශීලී” එකක් වනවාට පටහැනි ආකාරයට, කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජයීය අයිතීන්ට වඩවඩාත් පහර දුන්නේය. ඊට ප්‍රතිචාර ලෙස ජවිපෙය, ශ්‍රීලනිප-ලසසප-කොප සභාගයට අවිවේචනාත්මකව සහාය දීමේ සිට වියරුහුනු ආකාරයෙන් එය හෙලාදැකීම දක්වා හැරී ගත්තේය. 1971 අප්‍රේල් මාසයේ ජවිපෙ නාගරික කම්කරු පන්තියෙන් හුදෙකලා ව, ග්‍රාමීය තරුනයන්ගේ (ඇඞ්වෙන්චරිස්ට්) අතිධාවනකාරී කැරැල්ලක් දියත් කරමින් පොලිස් ස්ථානවලට පහර දුන්නේය. සභාග ආන්ඩුව ඊට ප්‍රතිචාර ලෙස තක්සේරු කොට ඇති පරිදි 15,000 ක් පමන තරුනයන් ඝාතනය කරමින් ද, ජවිපෙ නායක රෝහන විජේවීරත් ඇතුලුව දහස් ගනනක් රඳවා ගනිමින් ද පොලිස් - මිලිටරි රුධිර ස්නානයක් මුදා හලේය. රඳවා ගනු ලැබූවෝ ක්ෂනිකවම විශේෂ අධිකරන මඟින් ලුහුඬු නඩු විභාග පවත්වා අවුරුදු ගනනකට සිරගත කරනු ලැබූහ.

විකොස මෙම කුරිරු රාජ්‍ය මර්දනයට එරෙහිව සප්‍රතිපත්තික ආස්ථානයක් ගනිමින්, ජවිපෙහි ප්‍රතිගාමී ප්‍රතිපත්ති දිගටම හෙලිදරව් කරන අතරම, ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස විකොස නායකත්වය සභාග ආන්ඩුව විසින් ඉලක්ක කරන ලදී. එහි මධ්‍යම කාරක සභිකයන් දෙදෙනෙකු වූ ලක්ෂ්මන් වීරකෝන් හා එල්.ජී. ගුනදාස අත් අඩංගුවට ගනු ලැබ මහනුවර බන්ධනාගාරය තුල දී මරා දමනු ලැබූහ. පක්ෂ කාර්යාලය ලෙස භාවිතා කෙරුනු විල්ෆ්‍රඞ් පෙරෙයිරාගේ නිවෙසට කඩා පිනූ පොලිසිය පක්ෂ පුස්තකාලය හා ලේඛන විනාශ කලේය. හදිසි නීතිය යටතේ විකොසහි හා එහි තරුන සංවිධානයේ ප්‍රකාශන තහනම් කෙරුනු අතර පක්ෂයට හා එහි නායකයන්ට රහසිගත දේශපාලන කටයුතු කරා එලැඹීමට බල කෙරෙන තතු නිර්මානය කලේය.

කෙසේ වෙතත් විකොස සියලු දේශපාලන සිරකරුවන් මුදා හරින ලෙස ඉල්ලා රට පුරා කම්කරුවන් අතර ප්‍රබල උද්ඝෝෂනයක යෙදිනි. ඒ අතරතුරම එය, ජවිපෙ සිරකරුවන් නිදහස් කරන ලෙස ආන්ඩුවට හිස් ආයාචනා ඉදිරිපත් කරමින්, එනමුත් ආන්ඩුවට එරෙහිව හා රාජ්‍ය මර්දනය අවසන් කර ගැනීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට එරෙහි වෙමින් සිටි ලසසප(වි)ය වැනි කන්ඩායම්වල මවාපෑම් හෙලිදරව් කලේය.

රෝහන විජේවීර

විකොස උද්ඝෝෂනය පුලුල් සහායක් දිනාගත්තේය. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, 1976 දෙසැම්බරයේ සභාග රජයට එරෙහිව පැනනැඟුනු මහා වැඩවර්ජනයේ ප්‍රධාන ඉල්ලීමක් බවට පත්විය. 1977 මැතිවරනයෙන් බලයට පත් යූඇන්පීයට විජේවීර ඇතුලු අනෙකුත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සිදුවිය. තමන් නිදහස් කෙරුනු පසු විජේවීර විකොසට ප්‍රසිද්ධියේ ස්තුතිය පලකිරීමට එහි කාර්යාලයට පැමිනියේය.

ඊලඟ දශක හතර ජවිපෙ තියුනු දක්ෂිනාවර්ත හැරීමක් සනිටුහන් කලේ සුලු ධනපති රැඩිකල්වාදයේ දේශපාලන පරාවක්‍රය හා එහි ආවෘත අන්තය පිලිබඳ බාලසූරියගේ අනතුරු හැඟවීම් තහවුරු කරමිනි. මෙකී දක්ෂිනාවර්ත හැරීම පසුපසින් පැවතුනේ, ජාතික ආර්ථික නියාමනයේ පැරනි වැඩ පිලිවෙල මත පදනම් වූ සියලු පක්ෂ සංවිධාන හා ආයතනවලට යටින් ඒවායේ අඩිතාලම බිඳ හෙලමින් නිෂ්පාදනයේ ගෝලීයකරනය විසින් ලෝක ආර්ථිකයේ හා දේශපාලනයේ ඇති කරන ලද දැවැන්ත වෙනස්කම්ය.

අගමැති ජේ.ආර්. ජයවර්ධනගේ යූඇන්පී ආන්ඩුව, සමාජ පිරිවැය වනසා ලීම ද, රජය සතු සංස්ථා හා සේවා පෞද්ගලීකරනය කිරීම ද ඇතුලුව විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති ක්‍රියාවට ලූ ලෝකයේ මුල්ම ආන්ඩු අතරින් එකක් විය. නැවතනැවතත් දෙමල-විරෝධී වර්ගවාදය අවුස්සා ලමින් ද පුලුල් ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීම මඟින් ද ජයවර්ධන කම්කරු පන්තියට එරෙහි ඔහුගේ ආන්ඩුවේ පන්ති යුද්ධය සූදානම් කලේය.

1980 ජූලියේ ආන්ඩුවේ ප්‍රහාරයන්ට විරුද්ධව රාජ්‍ය සේවයේ කම්කරුවෝ මහා වැඩ වර්ජනයක් දියත් කල අතර සේවකයන් 100,000 ක් සේවයෙන් නෙරපා හරිමින් ජයවර්ධන එය තලා දැමීය. වැඩ වර්ජිත කම්කරුවන් හුදෙකලා කිරීමට ආන්ඩුවට සහාය දෙමින්, එමඟින් මහා පරිමාන දොට්ට දැමීම්වලට පදනම සපයමින් ජවිපෙ එහි ලා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය.

”[කම්කරු] පන්තිය සටන් කිරීමට සූදානම් නැති” බවට හා “එය මර්දනය සඳහා කෙරෙන ආරාධනයක් වනු ඇති” බවට තරයේ කියා සිටිමින් මුල පටන්ම ජවිපෙ වර්ජනයට එරෙහි වූයේ ය. ප්‍රශ්නය වූයේ කම්කරුවන් සටන් කිරීමට අකමැත්තෙන් සිටීම නොව, ජවිපෙ ද ඇතුලු ඔවුන්ගේ නායකත්වය, වර්ජනය ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් බවට පරිවර්තනය කිරීමට එරෙහි වීමයි. එහි සාමාජිකයන් අතර පුලුල්ව පැතිර ගිය කෝපය හමුවේ, වර්ජනයට සම්බන්ධ නොවන ලෙස ජවිපෙ දුන් විධානය නොතකා හල ලංකා ගුරු සංගමය (සීටීයූව) ජවිපෙන් බිඳී වර්ජනයට එක් වූයේය.

ආන්ඩුව කෙරේ විරෝධය දිගටම වර්ධනය වන තතු තුල ජයවර්ධන එකක් පසුපස තවෙකක් වශයෙන් දෙමල-විරෝධී ප්‍රකෝපකරනයන් කරලියට නැංවීය. එය කුලු ගැන්වුනේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊය) එරෙහිව දිගු කල් ඇදුනු වර්ගවාදී යුද්ධයකට රට ඇද දැමූ, 1983 රට පුරා ඇවිල ගිය ජන සංහාරයෙනි. කොලඹ ජන ඝාතන පිලිබඳව චෝදනා නඟමින් ජයවර්ධන ජවිපෙ තහනම් කලේය. ඇත්තෙන්ම එම සංහාර ආරම්භ කරන ලද්දේ ආන්ඩුවේ සහාය ලත් මැරයන් විසිනි. ඒ කෙසේවෙතත්, ඉන් ඉහත සමයේ සිය සමාජවාදී හා ව්‍යාජ මාක්ස්වාදී වචන හරඹ වෙනුවට ගොරහැඩි සිංහල “දේශප්‍රේමී” ආයාචනයන් ආදේශ කර ගනිමින් ජවිපෙ යුද්ධයේ උද්‍යෝගිමත් සහායකයෙකු බවට පත් විය.

ආර්.ඒ.පිටවල

1987 දී යුද්ධයත් වර්ධනය වෙමින් පැවැති සමාජ අසහනයත් විසින් නිර්මිත ගැඹුරු දේශපාලන අර්බුදයකට මුහුන දී සිටි කොලඹ ආන්ඩුව එහි පාලනයට මුක්කු සපයා ගැනීමට ඉන්දියාව කරා හැරුනි. ඉන්දු-ලංකා ගිවිසුම එල්ටීටීඊයට අවි බිම තබන ලෙස දැනුම්දෙන අතරම, දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල ප්‍රභූන්ට සීමිත බලයක් පවරා දුන්නේය. ගිවිසුම අධීක්ෂනය කිරීමට හා එල්ටීටීඊය බලහත්කාරයෙන් නිරායුධ කිරීමට ඉන්දියානු “සාමසාධක” භටයන් 100,000 ක් එවීමට නව දිල්ලිය කටයුතු කලේය.

ජවිපෙ ක්ෂනිකවම ජාත්‍යෝත්තමවාදී “මව්බිම පලමුව” උද්ඝෝෂනයක් දියත් කලේ, “ඉන්දියානු ව්‍යාප්තවාදය” හෙලා දකිමින් හා ජාතිය බෙදීම පිලිබඳව ජයවර්ධනට චෝදනා නඟමිනි. ජවිපෙ එම ගිවිසුමට එරෙහිව කැරලි සංවිධානය කල අතර එහි වර්ගවාදී උද්ඝෝෂනයට සහාය දීම ප්‍රතික්ෂේප කල කවරෙකුට හෝ එරෙහිව ෆැසිස්ට් වර්ගයේ ප්‍රහාර එල්ල කලේය. ජවිපෙ තුවක්කුකරුවෝ විකොස සාමාජිකයන් තිදෙනෙකු - ආර්.ඒ. පිටවල, පී.එච්. ගුනපාල හා ග්‍රේෂන් ගීකියනගේ - ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් සිය ගනනක් මරා දැමූහ.

පී.එච්. ගුනපාල

විකොස එම ගිවිසුමට එරෙහි වූයේ සිංහල ජාතිය නොව, කම්කරු පන්තිය ආරක්ෂා කිරීමේ ආස්ථානයේ සිටය. එනයින් එය, ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ කම්කරුවන් පොදු සමාජවාදී ඉදිරි දර්ශනයක් මත එක්සත් කිරීම සඳහා සටන් වැදුනේය. හජාජාකයේ සහාය ද සහිතව එය යූඇන්පී ආන්ඩුවේ මර්දනයට හා ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්ති සංවිධානවල එක්සත් පෙරමුනක් සඳහා කැඳවුම් කරමින්, ශ්‍රී ලංකාවේ සිය පන්ති සහෝදර සහෝදරියන් ආරක්ෂා කරන ලෙස ලොව පුරා කම්කරුවන්ට ආයාචනා කලේය.

මෙම අරගලය තුල සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමේ උද්ඝෝෂනය ශක්තිමත් කිරීමට හා දකුනු ආසියා හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා කෙරෙන අරගලයේ කොටසක් ලෙස, හජාජාකය හා විකොස ප්‍රථම වරට ලංකා හා ඊලම් එක්සත් සමාජවාදී රාජ්‍යයක් පිලිබඳ ඉදිරිදර්ශනය ඉදිරිපත් කලෝය.

ග්‍රේෂන් ගීකියනගේ

පලමුව ජවිපෙ සමඟ සභාගයක් ඇති කර ගැනීමේ අදහස සිතා බලමින් සිටි යූඇන්පී ආන්ඩුව, මුලින් ජයවර්ධන යටතේ ද, පසුව ආර්. ප්‍රේමදාස යටතේ ද, හුදු ජවිපෙට එරෙහිව පමනක් නොව, අන් සියල්ලටත් වඩා, ජවිපෙහි සමාජ පදනම වූ හුදෙකලා වී සිටි සිංහල ග්‍රාමීය තරුනයන්ට එරෙහිව මහා පරිමාන මර්දනයක් මුදා හලේය. 1989-90 කාලය තුල හමුදා හා පොලිසිය 60,000 ක් පමන තරුනයන් සංහාරය කල අතර, විජේවීර ද ඇතුලුව ජවිපෙ නායකයන් ඝාතනය කරමින් ජවිපෙ වනසා දැමීය. තම ක්‍රියාධරයන් ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබීම නොතකා විකොස ප්‍රතිපත්තිමය පදනමක පිහිටා සිටිමින් ජවිපෙට එරෙහි ආන්ඩුවේ ඝාතන ව්‍යාපාරයට විරෝධය දැක්වීය.

එකී කාල පරිච්ඡේදය තුලම, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍ර හා සෝවියට් සංගමය විසුරුවා හරිනු ලැබූවේ වෙලඳපොලේ විජයග්‍රහනය හා සමාජවාදයේ අවසානය ප්‍රකාශයට පත් කරමින් ධනේශ්වර කව තුල විජයග්‍රාහීවාදී රැල්ලක පුලිඟු නංවමිනි. සෝවියට් සංගමය විසුරුවා හැරීම ගෝලීයකරනයේ බලපෑමෙහි හා ජාතික ස්වතන්ත්‍රය පිලිබඳ ස්ටැලින්වාදී වැඩ පිලිවෙලෙහි ප්‍රතිඵලයක් බවට විකොස හා හජාජාකය තහවුරු කල අතර, ජවිපෙ “සමාජවාදයේ අසාර්ථකත්වය” නිවේදනය කල සුලු ධනපති රැඩිකල් සංවිධානවල දිගු පෝලිමට එක් වූවේය.

චන්ද්‍රිකා බන්ඩාරනායක (කුමාරතුංග) යටතේ ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාගය 1994 බලයට පත් වන විට ජවිපෙ එම අවස්ථාව පාවිච්චි කලේ, පාර්ලිමේන්තු ආසන සඳහා සිය ගරිල්ලා යුද ඇඳුම් කට්ටල හුවමාරු කර ගැනීමට ය. ප්‍රධාන ධනපති පක්ෂ දෙක - යූඇන්පීය හා ශ්‍රීලනිපය - කෙරේ මහජන වෛරය වැඩෙන විට, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විරෝධය පාර්ලිමේන්තුවාදී දේශපාලනයේ ආවෘත අන්තය කරා හරවා යවමින් ජවිපෙ පාලක පන්තිය සඳහා තීරනාත්මක දේශපාලන ආරක්ෂක කපාටයක් ලෙස ක්‍රියාත්මක වූයේය.

පසුගිය ශතවර්ෂ කාල තුල ජවිපෙ කොලඹ දේශපාලන සංස්ථාපිතය තුලට තමා මුලුමනින්ම සමෝධානය කොට ගෙන ඇත. 1960 ගනන් හා 1970 ගනන්වලදී ශ්‍රීලනිපය සමඟ ලසසපය පැවැත්වූ සභාගය සම්බන්ධයෙන් ලසසපය හෙලාදැකීම මඟින් ජවිපෙ සිංහල තරුනයන් අතර ශ්‍රාවකයක් දිනා ගත්තේය. 2004 දී එය කුමාරතුංගගේ ශ්‍රීලනිපයේ නායකත්වයෙන් යුත් ආන්ඩුවට ඇතුලු වූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල ක්‍රියාවට නැංවීමේ ඍජු වගකීමට ජවිපෙ ඇමතිවරු උර දුන්හ.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් ආන්ඩුව 2006 දී එල්ටීටීඊයට එරෙහිව වර්ගවාදී යුද්ධය යලි ආරම්භ කල විට, ආන්ඩුවේ සියලු යුද අපරාධ ආරක්ෂා කරමින්, 2009 දී දසදහස් ගනන් සිවිල් වැසියන් මරා දමා ලක්ෂ තුනක් සිර ගත කල යුද්ධයේ අවසන් රුධිර ස්නානය දක්වාම උච්ඡතම හඬින් ඊට පක්ෂව පෙනී සිටියේ ජවිපෙයයි.

පසුගිය වර්ෂවල අධිරාජ්‍ය විරෝධී ගෝසා නැඟූවෝ දැන් එජ අධිරාජ්‍යවාදයේ වහල් ආධාරකරුවන් බවට පත්ව සිටිති. 2001 දී ජවිපෙ බුෂ් පාලනයේ රැවටිලිකාර “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”ට ද, 1947-48 කාලයේ බි්‍රතාන්‍ය පාලනය අවසන් වීමෙන් පසු ඉන්දියානු උප මහාද්වීපයේ සිදු වූ ප්‍රථම අධිරාජ්‍යවාදී හමුදා අත්පත් කර ගැනීම වූ ඇෆ්ගනිස්තාන ආක්‍රමනයට ද සහයෝගය දුන්නේය. ජවිපෙ නායකයෝ සාකච්ඡා සඳහා කොලඹ එජ තානාපති කාර්යාලයට යලියලිත් ගියෝය.

ජනාධිපති රාජපක්ෂ බලයෙන් පහ කරමින් මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒම සඳහා වොෂින්ටනය විසින් සංවිධානය කරන ලද 2015 ජනවාරි 8 තන්ත්‍ර මාරු මෙහෙයුමට ජවිපෙ සහය දීම කිසිසේත් අහම්බයක් නොවේ. එක්සත් ජනපදය විරුද්ධ වූයේ රාජපක්ෂගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයන්ට නොව, චීනය සමඟ ඔහුගේ සමීප සබඳතාවලටය. සිරිසේන ආන්ඩුව ලහිලහියේ විදේශ පිලිවෙතෙහි දිශානතිය බීජිනයෙන් ඉවතට හරවමින් වොෂින්ටනය දෙසට යොමු කලේය.

ජවිපෙ හා සියලු ආකාරයන්හි සුලු ධනපති රැඩිකල්වාදය හෙලිදරව් කිරීමට විකොස / සසප කල අරගලය, හජාජාකය තුල පමනක්ම මූර්තිමත් වන අද දවසේ මාක්ස්වාදයේ - එනම්, ට්‍රොට්ස්කිවාදයේ - බලගතු සනාථවීමක් සනිටුහන් කරයි. සිදුවෙමින් පවත්නා කොල්ලයට හා ලාභය මත පදනම් වූ ධනේශ්වර ක්‍රමය විසින් නිර්මානය කරනු ලබන ව්‍යසනයන්ට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන් වැදීමට මාවතක් සොයන සියලු කම්කරුවන් හා තරුනයන් එහි දේශපාලන වාර්තාව ප්‍රවේශමෙන් අධ්‍යයනය තීරනාත්මකව වැදගත් වේ.

මතු සම්බන්ධයි.

Share this article: