ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), පිහිටුවනු ලැබීමේ 50වැනි සංවත්සරය
ලංකා සම සමාජ පක්ෂයේ මහා පාවාදීමේ පාඩම්
The lessons of the Lanka Sama Samaja Party’s Great Betrayal
විලානි පීරිස් හා රොහාන්ත ද සිල්වා විසිනි, 2018 සැප්තැම්බර් 24
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), 1968දී පිහිටුවනු ලැබීමේ 50වැනි සංවත්සරය ගැන ලිපි මාලාවක් පල කරයි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස පිහිටුවනු ලැබූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, 1996දී සමාජවාදී සමානතා පතක්ෂය ලෙස යලි නම් කරන ලදී. 1968 ජූනි (16-17) ආරම්භක සම්මේලනය සැමරීමේ ප්රකාශනයක් මේ වන විටත් පල කෙරී ඇත.
සසප වැඩ කටයුතුවල හරි මැද තිබුනේ, ධනේශ්වර වර්ධනය කල්පසුවූ රටවල, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටනේ කොටසක් ලෙස, කම්කරුවන් හා ග්‍රාමීය දුප්පතුන්ගේ මූලික ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් සඳහා අරගලයට නායකත්වය දිය හැක්කේ, කම්කරු පන්තියට පමනක් බව අවධාරනය කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය සඳහා වන අරගලය යි. ශ්‍රී ලංකාව තුල පමනක් නො ව ආසියාව තුලින් සහ ලෝකය පුරා ම ද පැන නගිමින් තිබෙන කම්කරු පන්ති අරගලයන්ට මෙම පාඩම් තීරනාත්මක ය.
1968දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවන ලද්දේ, 1964 ජූලි මස සිරිමා බන්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට එකතු වූ ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) පාවාදීම්වලට එරෙහි දේශපාලන අරගලය තුල දී ය. එහිදී ලසසප, දිවයිනේ ධනේශ්වර පාලනයට තර්ජනයක්ව පැවති කම්කරු පන්තියේ දැවන්ත ව්‍යාපාරය කඩාකප්පල් කලේ ය. මෙම පවාදීම ශ්‍රී ලංකාව තුල පමනක් නොව, කලාපය පුරා ද ජාත්‍යන්තරව ද කම්කරුවන් අතර දේශපාලන ව්‍යාකූලත්වය වැපිරී ය.
මෙම අවමංගත කිරීම මධ්‍යයේ, වියට්නාම් යුද්ධය හා ඉන් ඔබ්බේ කොල්ලකාරී අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වලට එරෙහිව පෙරලිකාරීවූ, ප්‍රධාන වසයෙන් ම තරුන කන්ඩායමක්, ලසසප පාවා දුන්නේ මන් දැ යි වටහා ගැනීමට අවශ්‍ය යැයි සිතූහ. ඒ අතරතුරය ඔවුන්ට, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) බ්‍රිතාන්‍ය ශාඛාව වූ සෝෂලිස්ට් ලේබර් ලීගයේ (එස්එල්එල්) නියෝජිතයින් හමුවුනේ. එ මගින් ඔවුහු පිලිතුර සොයා ගත්හ.
එය හුදෙක් ලසසප නායකයින්ගේ ද්‍රෝහිත්වය, හෝ සදොස් ප්‍රතිපත්ති පිලිබඳ කාරනයක් නොවීය. පාවාදීමේ සැබෑ මූලයන් පැවතුනේ, ලසසප සම්බන්ධව සිටි පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ අවස්ථාවාදී දේශපාලනය තුල ය. ශ්‍රී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදය සඳහා වන අරගලයක්, පැබ්ලෝවාදය හා ජාත්‍යන්තර ව සියලු රූපාකාරයන්ගේ අවස්ථාවාදයන්ට එරෙහි අරගලයේ කොටසක් ලෙස, හජාජාක ශාඛාවක් ස්ථාපිත කිරීම අවශ්‍යතාවක් බවට පත් කලේ ය.
වසර පනහකට පසුව ද සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක් ට්‍රොට්ස්කිවාදයේ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් වදියි. ශ්‍රී ලංකා ධනේශ්වරයේ ප්‍රධාන දේශපාලන මුක්කුව ලෙස දශක ගනනාවක් ක්‍රියාත්මක වූ ලසසප, දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි 30ස් අවුරුදු යුද්ධයේ විනාසයන් ද ඇතුලු ධනේශ්වරයේ සියලු අපරාධයන්ට වග කිව යුතු ය. අද ලසසපය, සැලකිය යුතු කිසිම මහජන පදනමක් නැති, ශ්‍රීලනිපයේ මැතිවරන අතකොලුවකට නොවැඩි දෙයක් පමනි.
1964 ලසසපයෙන් වෙන් වූ නමුත් පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයෙන් නො බිඳුනු, ලසසප(වි)යේ නොයෙකුත් කන්ඩායම් සියල්ල බිඳ වැටී ඇත. ලසසපයෙන් බිහිවූ, නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය යන දැනට පවතින ව්‍යාජ වාම කන්ඩායම් දෙකක්, නිර්ලජ්ජිත ලෙස කොලඹ දේශපාලන සංස්ථාපිතයේ උපග්රහයන් ලෙස ක්‍රියාත්මක වන අතර, වර්තමාන දක්ෂිනාංශික “ජාතික සමගි” ආන්ඩුව පිහිටුවීමේ දී එයට සහාය දුන්හ.
මෙම සියලු ප්රවනතාවන්ගේ පරිනාමයේ ලකුනු, ලසසප පාවාදීම තුල කල්තියා දැකගත හැකි විය. විශිෂ්ට දුරදක්නා නිගමනයක් තුල හජාජාක මෙසේ පැහැදිලි කලේ ය: “ලසසප සමාජිකයින් බන්ඩාරනායකගේ සභාගයට ඇතුලු වීම සලකුනු කරන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ පරිනාමයේ සම්පූර්න කාලපරිච්ඡේදයක අවසානය යි. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ (පැබ්ලෝවාදී) සංශෝධනවාදීන්, තම ප්රකාශනය සොයා ගෙන ඇත්තේ, අධිරාජ්‍යවාදයේ ඍජු සේවාකම් තුල, කම්කරු පන්තිය සඳහා පරාජය සූදානම් කිරීම තුලය.”
1953දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවන ලද්දේ, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල්ගේ අවස්ථාවාදී ප්රවනතාවට එරෙහි අරගලයක දී, එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක ජේම්ස් පී. කැනන්, සම්මත ධාරී ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව ඉල්ලා සිටිමින්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට “විවෘත ලිපියක්” නිකුත් කිරීමෙන් පසුව ය.
පැබ්ලෝවාදීහූ, ලෝක ධනවාදයේ පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ ප්‍රති ස්ථායිකරනයට අනුගත වූ අතර, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය ප්‍රතික්ෂේප කලහ. ඒවෙනුවට ඔවුන් ඉල්ලා සිටියේ, කම්කරු පන්තියේ ආධිපත්‍යය දැරූ නොයෙකුත් සමාජ ප්රජාතන්ත්රවාදී, ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී පක්ෂ වමට තල්ලු කිරීමේ රැවටිල්ල යටතේ, ඒවා තුලට හතරවැනි ජාත්‍යන්තරයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ දිය කර හැරීම යි.
ශ්‍රී ලංකාව වැනි රටවල දී පැබ්ලෝවාදය, නොනවතින විප්ලව න්‍යාය අතහැර දැමූ අතර, නොයෙකුත් “වාම” ධනේශ්වර හා සුලු ධනේශ්වර පක්ෂ හා නායකයින්ට, මහජනතාවගේ සමාජ හා ප්රජාතන්ත්රවාදී අභිලාශයන් ඉටු කල හැකි ය යන මාරක මිත්‍යාව ප්‍රචාරය කලේය. සෑම අවස්ථාවක දී ම පැබ්ලෝවාදීහූ, බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලු වීමෙන් කූඨප්රාප්ත වූ ලසසපයේ පසුබැසීම දිරිමත් කර, ඊට පාවඩ එලූහ.
ශ්රීලනිපය සමග ලසපයේ සභාගය, දේශීය ධනේශ්වරය සමග බ්‍රිතාන්‍ය විසින් ඇති කර ගැනුන ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස, 1947-48 ඉන්දියානු උපමහාද්වීපයේ ස්ථාපිත කෙරෙනු ප්රතිගාමී රාජ්‍ය ව්‍යූහයන් පිලිගැනීමක් විය. කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලය අතහැර දමමින් ලසසප, ශ්‍රීලනිපයේ භේදකාරී සිංහල ජනතාවාදය පිලිගත් අතර, එහි රාජ්යසතු කිරීමේ හා සීමිත සමාජ ශුභසාදන වැඩසටහන්, සමාජවාදය සඳහා මාවතය යන බියකරු මිත්‍යාව ප්‍රචාරය කලේ ය. මෙය මහජනතාවගේ ප්රජාතන්ත්රවාදී හා සමාජ අපේක්ෂාවන් විසඳීමට ධනේශ්වරයේ මොන ම කන්ඩායමක හෝ ඓන්ද්‍රීය නොහැකියාව පෙන්වා දී, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස, ධනවාදය තුරන් කිරීමේ විප්ලවවාදී අරගලයේ දී, කම්කරු පන්තිය තමන් වටා ගොවි ජනතාව රැලි කර ගත යුතු බව අවධාරනය කල ට්‍රොට්ස්කිගේ නොවතින විප්ලව න්‍යායේ ප්රතිවිරුද්ධය විය.
1930ස් ගනන්වල ලසසප පලමුව පිහිටු වන ලද්දේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට විරුද්ධ වූ රැඩිකල් ජාතික ව්‍යාපාරයක් ලෙස නමුත්, එහි සමාජිකයින් අතර ප්‍රමුඛයින් වූයේ, ට්‍රොට්ස්කිවාදය වෙත දිනා ගෙන සිටි බුද්ධිමතුන් ස්ථරයකි. දෙවැනි ලෝක යුද්ධය පිපිරී යාමත් සමග ඔවුහු, පක්ෂය තුල ස්ටැලින්වාදී කන්ඩායමට එරෙහිව අරගලයක් ගෙන ගියහ. මොස්කෝවේ නියෝග සමග පෙල ගැසුනු මෙම ස්ටැලින්වාදී කන්ඩායම, බ්‍රිතාන්‍යයට මෙන් ම නාසි ජර්මනිය හා එහි සහචරයන්ට එරෙහි ඊනියා ප්රජාතන්ත්රවාදී අධිරාජ්‍යවාදීන්ට සහාය දුන්හ. ස්ටැලින්වාදීහූ පක්ෂයෙන් නොරපා හැරුනු අතර යුද්ධය අවධියේ කලාපය පුරා පිපිරී යමින් තිබුනු, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහි ව්‍යාපාරයක් සඳහා එහි සූදානමේ දී, ශ්‍රී ලංකාව ඇතුලු ඉන්දියානු උපමහාද්වීපය පුරා කම්කරු පන්තිය එක්සත් කිරීමට, හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛාවක් ලෙස ඉන්දීය බොල්ශේවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) පිහිටුවා ගන්නා ලදී.
කොල්වින් ආර්. ද සිල්වා හා ලෙස්ලි ගුනවර්ධන වැනි බීඑල්පීඅයි නායකයෝ, යුද්ධය අවධියේ හා එහි ක්ෂනික ඉක්බිත්තේ දී, තම ධෛර්යසම්පන්න හා සප්රතිපත්තික අරගලයේ ප්‍රතිඵලයක් ලෙස, ඉමහත් දේශපාලනික පෞරුෂයක් දිනා ගත්හ. යුද්ධයෙන් පසු ලසසප නැවත ස්ථාපිත වීමේදී මතුව ආ අවස්ථාවාදී ප්රවනතාවකට විරුද්ධව, බීඑල්පීඅයි, 1948දී බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවට ප්රදානය කල “ව්‍යාජ නිදහස” ද වාර්ගික රේඛා ඔස්සේ ඉන්දියාව හා පකිස්තානය ලෙස උපමහාද්වීපයේ ලේවැකි බෙදීම ද හෙලිදරව් කලහ.
කෙසේ නමුත් මධ්‍යම පන්තියේ කන්ඩායම් වලට, ව්‍යාපාර හා දේශපාලනය තුල අවස්ථාවන් විවෘත වීමත් සමග, ඊනියා නිදහස, පක්ෂය මත නව පීඩනයන් ජනිත කලේ ය. මයිකල් පැබ්ලෝ විසින් දිරිමත් කරනු ලැබ, බීඑල්පීඅයිය ජාතික රේඛා ඔස්සේ බිඳ දැමුනි. ශ්‍රී ලංකාවේ දී බීඑල්පීඅයිය, පක්ෂ දෙක අතර පැවති අතිමූලික දේශපාලන වෙනස්කම් පිලිබඳ කිසිදු සාකච්ඡාවකින් තොරව, 1950දී අවස්ථාවාදී ලසසපය සමග හදිසි එකතුවක් ඇති කර ගත්තේ, ය.
1953 නොවැම්බරයේ දී, එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක, ජේම්ස් පී. කැනන්, පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව හතරවැනි ජාත්‍යන්තරය තුල සිටි සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීන් එක් රැස් කිරීම සඳහා විවෘත ලිපියක් නිකුත් කලේ ය. පැබ්ලෝට හා ස්ටැලින්වාදයට අනුගත වීම කෙරෙහි ලසසප විවේචනශීලී වූ නමුත්, පැබ්ලෝවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හජාජාක නිකුත් කල විවෘත ලිපිය ප්‍රතික්ෂේප කලේ ය. හජාජාක සප්රතිපත්තික ආස්ථානයට සහාය දුන්නේ නම්, තමන්ගේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව හා වෘත්තීය සමිති සමාජිකයින් සමග ලසසපයේ ම එන්ට එන්ටම අවස්ථාවාදීවූ සම්මුතිය බිඳ වැටීමට ඉඩ ඇතැයි ඔවුන් බියපත් විය.
වැඩවර්ජන, කඩසාප්පු වැසීම හා විරෝධතා හෝ හර්තාලය හමුවේ ආන්ඩුව ඇද වැටීමේ අද්දරට පත් කල 1953 අගෝස්තුවේම, ලසසපයේ විප්ලවවාදී නැඹුරුව අතැහැර දැමීම දක්නට ලැබුනි. කෙසේ නමුත් විරෝධතාකරුවන් රාජ්‍ය මර්දනයට අතහැර දමමින් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සමග ලසසප, එක් දිනකට පසු අරගලය අත්හැර දැමු අතර, මහජන විරෝධය නව මැතිවරනයක් වෙත හරවා යැවීමට උත්සාහ ගත්තේ ය. විප්ලවවාදී නායකත්වයක් සැපයීමට ලසසපයේ අසමත්කම, ග්‍රාමීය මහජනතාවගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටීම සඳහා 1951 පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, කොන්දේසි සකස්කර දුන්නේය. ඒ අතරම, මහජන නැගිටීමෙන් කම්පාවට පත් වූ ද තම පාලනයට ශක්තිමත් පදනමක් සොයමින් සිටියා වූ ද ධනේශ්වරයේ කන්ඩායමකගේ සහාය ශ්රීලනිපය විසින් දිනා ගන්නා ලදී.
හජාජාක ලිපියට සහාය නො දීම සඳහා එම වසර අවසානයේ ලසසප ගත් තීරනය, පැබ්ලෝ, මැන්ඩල් හා ඔවුන්ගේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග අවස්ථාවාදී සාමකාමී සහජීවනයේ ආරම්භය විය. සිය ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලේඛනය තුල සසප පැහැදිලි කල පරිදි, “මේ මගින් ආසියාව තුල තමන්ට ‘ට්‍රොට්ස්කිවාදී ජනතා පක්ෂයක්’ ඇතැ යි කයිවාරු ගැසීමට ජාත්‍යන්තර ලේකම් මන්ඩලයට හැකි වූ අතර ජාතික කරලියේ දී ලසසපයට, තම ප්රතිසංස්කරනවාදී දේශපාලනය සඳහා ට්‍රොට්ස්කිවාදී අක්තපත්‍රය ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසුනි. පැබ්ලෝවාදය සඳහා ලසසප දුන් සහයෝගය, ට්‍රොට්ස්කිවාදයට එරෙහිව ද ඒ මගින්, විශේෂයෙන් ම ආසියාවේ කම්කරු පන්තියට එරෙහිව ද බලගතු ප්‍රහාරයක් විය.”
පැබ්ලෝවාදීන් විසින් ආධාර, අනුබල දුන්නා වූ ලසසපයේ පසුබැසීම, ඊ ලඟ දශකය පුරා වේගවත් වුනි. මෙය, සමාජවාදී පුරසාරම් දෙඩවීම සමග සිංහල ජනතාවාදය හා දෙමල විරෝධී වර්ගවාදය එකට කලවම් කල ශ්රීලනිපය සමග වඩ වඩාත් විවෘතව අනුගත වීමේ රූපාකාරයක් ගත්තේ ය. ප්‍රධාන හැරවුම් ලක්ෂයන් වූයේ:
*1956 මැතිවරනයේ දී ශ්රීලනිපය, කම්කරු පන්තිය බෙදීම සඳහා, දැනුවත් ව දෙමල විරෝධී මනෝගතීන් උසි ගැන්වී ය. ඔහුගේ (බන්ඩාරනායකගේ) වාර්ගික උද්ඝෝෂනය පදනම් කෙරුනේ, සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීම හා සිංහල බහුතරයේ ආගම වූ බුද්ධාගමට රාජ්‍යය තුල විශේෂ තත්වයන් ආරෝපනය කිරීම මත ය. නොවැරදීම එහි අර්ථය වුයේ, විශේෂයෙන් ම දෙමල හා මුස්ලිම් ඇතුලු දිවයිනේ සුලුජනතාව, දෙවැනි ගනයේ පුරවැසියන්ගේ තත්වයට කොන් කිරීම යි.
ලසසප සිංහල පමනක් ප්‍රතිපත්තියට විරුද්ධ වූ අතර ඒ, ජාතිය බෙදනු ඇතැ යි යන පදනම මත මිස, කම්කරු පන්තිය බෙදනු ඇතැ යි යන පදනම මත නො වේ. සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීම කෙසේ වෙතත් ලසසප, සිංහල ජනතාවාදීන්ගේ උද්ඝෝෂනයට අනුගත වූ අතර ශ්රීලනිපය සමග “නිතරඟ” ගිවිසුමක් ඇති කර ගත්තේ ය. ශ්රීලනිපය මැතිවරනය ජය ගත් පසුව ලසසප, ආන්ඩුව වෙත ‘අනුකූලතා සහයෝගිතා’ පිලිවෙතක් අනුගමනය කරමින්, 1957දී ආන්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කෙරුනු රාජාසන කතාව සඳහා ඡන්දය දුන්නේ ය.
*ලසසපයේ දක්ෂිනාංශික හැරීම, 1960 පැවති මැතිවරන දෙකේ දී තීව්ර විය. මාර්තුවේදී ලසසප, ආසන 100ට තරගකරමින් හා “සමසමාජ ආන්ඩුවකට” උද්ඝෝෂනය කරමින් පැහදිලිව ම විප්ලවවාදී ඉදිරිදර්ශනය අතහැර සමාජවාදය සඳහා පාර්ලිමේන්තු මාවත වැලඳ ගත්තේය. පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය උද්යෝගිමත් ලෙස ලසසපට සහාය දැක්වූයේ, එහි මැතිවරන උද්ඝෝෂනය “බලය සඳහා තීරනාත්මක අරගලයක්” ලෙස විකාර සහගතව විස්තර කරමිනි.
ලසසප 1956ට වඩා අඩු ආසන සංඛ්‍යාවක් ලැබූ විට, එහි නායක එන්.එම්. පෙරේරා විවෘතව ම ශ්රීලනිපය සමග සභාග ආන්ඩුවක් වෙනුවෙන් පෙනී සිටියේ ය. පලමු පියවර ලෙස, ශ්‍රී ලංකා ධනේශ්වරයේ මෙම පක්ෂය සමග “නිතරඟ ගිවිසුමක්” ඉල්ලා සිටි ඔහු, “හවුල් ආන්ඩුවක් සැකසීමේ අදහස ඇතිව ශ්රීලනිපය සමග ‘ක්රියාමාර්ගික ගිවිසුමක්’ ඇතිකර ගැනීම” ඉල්ලා සිටියේය.
නැවත වතාවක් එක්සත් ලේකම් මන්ඩලය, යටත් හා අර්ධ-යටත් විජිත රටවල “කම්කරු පන්තික නොවන ආන්ඩුවකට විවේචනාත්මක සහාය දීමට” හැකි බව ප්‍රකාශ කරමින් ඊට තම දේශපාලන ආශීර්වාදය ලබා දුන්නේය. ශ්රීලනිපය සමග සභාගයක් සඳහා පෙරේරාගේ යෝජනාව පක්ෂය විසින් නො පිලිගත් නමුත් 1960 ජූලි මැතිවරනයේ දී නිතරඟ ගිවිසුමකට එලඹෙමින් නැවත වතාවක් රාජාසන කතාවට ඡන්දය දුන්නේ ය.
*1963 ජූනියේ දී ඇමරිකානු එස්ඩබ්ලිව්පීය, 1953 විවෘත ලිපියේ ප්‍රතිපත්තිමය ආස්ථානය අත්හැර පැබ්ලෝවාදීන් සමග නැවත එක්සත් විය. “කම්කරු රාජ්‍යයක්” ස්ථාපිත කර ඇතැ යි ප්‍රකාශ කෙරුනු, ෆිඩෙල් කැස්ත්‍රෝ විසින් නායකත්වය දෙන ලද සුලුධනේශ්වර ගරිල්ලා ව්‍යාපාරයේ ජයග්‍රහනය පිලිබඳ ඔවුන් පලකල ඉමහත් ප්‍රශංසාවෙන් පැහදිලි වුනේ, එස්ඩබ්ලිව්පීය මුලුමනින් ම පැබ්ලෝවාදය පිලිගෙන තිබූ බව යි. අලුතින් ඇති කෙරුනු එක්සත් ලේකම් මන්ඩලය ප්‍රකාශ කලේ, කියුබාව වැනි රටවලදී “මොට්ට වූ ආයුධයක්” මගින් පවා බලය අත්කර ගැනීමට හැකි වූ බව යි, එනම්, බලය ගැනීමට කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සටන් කරන ලෙනින්වාදී පක්ෂයක් නොමැති ව බලය ගත හැකි බව යි.
යලි එක්සත් වීමේ සමුලුව, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා සිංහල වර්ගවාදී මහජන එක්සත් පෙරමුන (මඑපෙ) සමග එක්සත් වාමාංශික පෙරමුනක් (එවාපෙ) ගොඩනැගීමේ ලසසප සැලැසුම්වලට ද ප්‍රශංසා කලේ ය. එවාපෙ ගොඩනැගීමේ දී වර්ගවාදී මඑපෙට සහනයක් ලෙස ලසසප, සිංහල හා දෙමල භාෂාවලට සමතත්වය සඳහා වූ තම මුල් ඉල්ලීම අත්හැර දැමුවේ, ‘සිංහල පමනක්’ යන පවත්නා නීතිය අහෝසි කල යුතු නැති නමුත්, වෙනස්කම් කිරීම වඩා අඩු කරන ලෙස ඉල්ලා සිටිමිනි. පැබ්ලෝවාදීන්ගේ ආශීර්වාදය සහිත එවාපෙ, ලසසපයේ පාවාදීම සඳහා පිනුම් පිත්තක් විය.
බ්‍රිතාන්‍ය සෝෂලිස්ට් ලේබර් ලීගය, 1961 සිට යලි එක්සත් වීමේ දිසාවට යොමුවූ එස්ඩබ්ලිව්පී පියවරවලට විරුද්ධ වී තිබුනි. එය “විප්ලවයේ ම තර්කය” විසින් සුලුධනේශ්වර නායකත්වයන්ට කම්කරු පන්තිය බලය ගැනීම කරා මෙහෙය විය හැකි ය යන ඒස්ඩබ්ලිව්පී ආස්ථානය ප්‍රතික්ෂේප කල අතර, හතරවැනි ජාත්‍යන්තරය මුහුන දෙන කේන්ද්‍රීය කර්තව්‍යය, බොල්ශෙවික් වර්ගයේ පක්ෂ ගොඩනැගීම මගින් කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳීම බව අවධාරනය කලේ ය.
1963 ජූනි මස එස්ඩබ්ලිව්පී ජාතික කමිටුව අමතන ලද ලිපියකින් එස්එල්එල් නායක ජෙරී හීලී, එස්ඩබ්ලිව්පීය පැබ්ලෝවාදීන් සමග යලි එක්සත්වීම හෙලා දුටු අතර ලසසප පාවාදීමක් සුදානම් කරමින් සිටින බවට කම්කරු පන්තියට අනතුරු ඇඟවීමට එය අසමත් වීම විශේෂයෙන්ම විවේචනය කලේ ය. ඒකාබද්ධ මැයිදින රැලියක වතුකම්කරුවන් නියෝජනය කිරීමට වර්ගවාදී මඑපෙ විරුද්ධත්වය දක්වා තිබීම ගැන සඳහන් කරමින් හීලි මෙසේ ප්‍රකාශ කලේ ය: “ලසසප මෙම විකාරයට එකඟ වීම අන්ත ලැජ්ජාවකි. අතීතයේ දී ඉන්දියානු දෙමල කම්කරුවන්ගේ සමානත්වය සඳහා ලංකාව තුල කොන්දේසි විරහිතව නැගී සිටි පක්ෂය ලසසප බව සිහිපත් කර ගත යුතු ය.”
මහජන එක්සත් පෙරමුනට ලසසපයේ යටත්වීම, ධනේශ්වර ආන්ඩුවක් සඳහා සහාය දීම කරාම ගමන් කරනු ඇතැ යි ලිපිය අනතුරු ඇඟවී ය. “ලසසපය තුල දැන් විවෘතව පිලිගැනෙන්නේ, දෙමල හා සිංහල සමතාව පිලිබඳ ප්රශ්නය මත, සැබෑ හා විශාල සහනයන් ඇති කිරීමට එහි නායකයින් සූදානම් බව යි. බන්ඩාරනායක මහත්මියගේ ධනේශ්වර ආන්ඩුවට සහාය දීම කරා ඔවුන් මෙහෙය වූ යටත් වීමේ තර්කය මෙයයි” හීලි සඳහන් කලේ ය.
*කම්කරු පන්තිය තුල වැඩෙන නොසංසුන්තා මැද්දේ, 1963 පොදු ඉල්ලීම් 21ක් වටා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඇති කෙරුනි, මෙය පලමු වරට දෙමල කතා කරන වතු කම්කරුවන් නාගරික කම්කරුවන් සමග එක් කලේ ය. 1963 සැප්තැම්බරයේ දී, මිලියන ගනනාවක් කම්කරුවන් නියෝජනය කරමින් සිය ගනනක් නියෝජිතයින් ඉල්ලීම් 21 ව්‍යාපාරය දියත් කිරීම, ශ්‍රීලනිප ආන්ඩුව බරපතල අර්බුදයකට ඇද දැමීය.
තම සැමියා ඝාතනය කිරීමෙන් පසුව ශ්‍රීලනිප සභාපතිනිය වූ බන්ඩාරනායක මහත්මිය, 1964 මාර්තු මාසයේ දී, වාඑපෙ නායකයින් සමග සාකච්ඡා ඇරඹී ය. සාකච්ඡා ප්‍රසිද්ධ වූ විට අගමැතිනිය ඇගේ තීරනය යුක්තිසහගත කලේ, ඒකාධිපතිත්වයක් ඇති කර, වැඩවර්ජනය කරන කම්කරුවන් “තුවක්කු හා බයිනෙත්තු එල්ල කර වැඩට” දැක්කීම ඇතුලු යෝජිත අනෙකුත් විකල්ප කිසිවක් “අප යා යුතු තැනට අප ගෙන යනු නැත” යයි ප්‍රකාශ කරමිනි. තමන්ගේ පැත්තෙන් ලසසප නායකයින්, බන්ඩාරනායකගේ යෝජනාව වැලඳ ගත්තේ, එය “වාමවාදී” පියවරක් වනු ඇතැ යි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමිනි.
ශ්රීලනිපය සමග සභාගයක් ඇටවීමේ තීරනය අනුමත කර ගැනීමට එන්.එම්. පෙරේරා, ජූනි 6-7 දිනවල පක්ෂ සම්මේලනයක් කැඳවී ය. පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය, ලසසප විසින් සමාජවාදී ජාත්‍යන්තරවාදය එක එල්ලේ අත්හැර දැමීමට නිල වසයෙන් විරුද්ධ වූ නමුදු, පාවාදීම සඳහා වූ සෑම පියවරකට ම පාර කපනු ලැබුවේ එය විසිනි.
පෙරේරා විසින් නායකත්වය දෙන ලද බහුතරයට “මධ්‍යස්ථ” කන්ඩායමක් විරුද්ධ වූ නමුත්, ඔවුන්ගේ එකම විවේචනය වූයේ, වාඑපෙ අයත් අනෙකුත් පක්ෂ ද සභාග ආන්ඩුවට ඇතුලත් කර ගත යුතු බවයි, එමෙන් ම සුලුතර කන්ඩායමක් ශ්‍රීලනිප ආන්ඩුවට ඇතුලුවීම පැහැදිලිවම ප්‍රතික්ෂේප කලේ එය, “නිර්ධන පන්ති විප්ලවයට ද්‍රෝහී වීමක්” ලෙස දක්වමිනි. ඡන්දයෙන් පසු (පෙරේරාගේ යෝජනවාට 501, “මධ්‍යස්ථ” කන්ඩාමට 75, හා විරුද්ධ පාර්ශ්වයට 159) සභාගයට විරුද්ධ වූ අය එක එල්ලේම සම්මේලනයෙන් ඉවත් වී ලංකා සම සමාජ පක්ෂය (විප්ලවකාරී) හෝ ලසසප(වි) නමින් වෙනම පක්ෂයක් පිහිටුවා ගන්නා ලදී.
ලසසප සම්මේලනයට මැදිහත්වීම සඳහා ජෙරී හීලී කොලඹට පැමිනියේ ය. රැස්වීම් ශාලවට ඇතුලු වීමෙන් වැලක් වුව ද ඔහු, සභාගයට විරුද්ධත්වය දැක්වූ කම්කරුවන්ට හා තරුනයන්ට කතා කලේ ය. එම දේශපාලන සාකච්ඡා හරහා 1968 විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගොඩනැගීමේ දී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල අය සමග ඔහු වැදගත් සම්බන්ධතා ඇති කර ගත්තේ ය. පැබ්ලෝවාදී පාවාදීමට එරෙහිව විප්ලවවාදී පක්ෂ ගොඩනැගිය යුතු යැයි හීලි හා හජාජාක විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකාවේදී විකොස පිහිටුවීම මගින් එලෙස සාක්ෂාත් කෙරුනි.
මීලඟ කොටස
Follow us on